Wednesday, May 31, 2017

සදානුස්මරණිය ප්‍රථම ප්‍රේමය ~ මේ ආදරයයි ~ 32


සදානුස්මරණිය ප්‍රථම ප්‍රේමය
මේ ආදරයයි


32.

මම එදා වෙච්ච කිසිම දෙයක් දිලිනිට කිව්වේ නෑ. මොකටද කෙල්ලව බොරුවට බය කරන්නේ.

ඒත් සචියටනම් කිව්වා. ඌ හැමදාම වගේ ‍අනිත් කොල්ලොත් සෙට් කරගෙන මට ගාඩ් එක දෙන්න ප්ලෑන් කරනවා.

මේ අතරේ මම මොනවහරි කෝස් එකක් පටන් ගන්නකම් නිකං ඉන්න බැරි නිසා අම්මගේ යාළුවෙකුගේ පුතෙකුගේ වාහන හදන ගරාජ් එකකට සෙට් වුනා. එතන වාහන හදනවා කිව්වට හදන්නේ 4 x 4 ජීප් විතරයි.

මමත් කැමතිම වාහනේ නිසා කැමැත්තෙන්ම වැඩ ඉගෙනගන්න ගියා. සෑහෙන්න බිස්නස් තියෙන තැනක් වුනත් ඒක කරපු ධනුෂ්ක අයියා ගෝලයෝ නැතුව තමා වැඩේ කරගෙන ගියේ. ගෝලයෝ පුරුදු කරලා උන්ගෙන් වැඩ අරන් ධනුෂ්ක අයියට එපා වෙලා තිබුනේ.

මම යද්දි ධනුෂ්ක අයියත් වීරේ කියලා තව ගෝලයෙකුත් විතරයි හිටියේ.

“මල්ලි උඹ ආපු එක ලොකු දෙයක්. සෑහෙන්න වැඩ තියෙනවා. හොඳ බිස්නස්. ඒත් කරගන්න බෑ. උඹ ඉක්මනට වැඩ අල්ල ගනින්. සෑහෙන ගාණක් හොයන්න පුළුවන්.”

“සල්ලි බලාගෙනම නෙමෙයි අයියේ... දෙයක් ඉගෙනගන්නත් එක්ක මම ආවේ.”

“උඹ මෝටර් මිකැනිසම් ටිකක් කරලා තියෙනවනේ. මේ 4 x 4 පොඩ්ඩක් වෙනස්. මම දෙන්නම් ට්‍රේනින් එක. උඹ අල්ල ගනින්.”

“ෂුවර් අයියේ.”

“පටන් ගන්න උඹ සතියට දවස් කීයක් වැඩ කරනවද?”

“අවුලක් නෑ අයියේ හැමදාම එන්නම්.”

“හරි. මෙහේ වැඩ උදේ නවයේ ඉඳලා හවස හය වෙනකම්. උඹට කලින් යන්න ඕනේ නම් අවුලක් නෑ. හැබැයි හැමදාම බෑ. මම මුලින් දහයක් දෙන්නම්. වැඩේ අල්ලගත්තොත් මම අනිවා ගාන ඩබල් කරනවා.”

යකෝ දහදාහක්! මේ කාලේ දහදාහක් ට්‍රේනි කෙනෙකුට ලැබෙනවා කියන්නේ සිරා වැඩක්නේ. මගේ යාළුවෝ ඉන්නවා කොළඹ ජොබ් කරන, උන් ගන්නෙත් මාසෙට දහ දොලොස් දාහක්. ඒ අතින් බලදද් මේ වගේ ආතල් රස්සාවට දහයක් කියන්නේ නියම වැඩක්.

මම පහුවදා ඉඳලම වැඩ පටන් ගත්තා. මූලික දැනීම තිබුණ නිසා අමාරු වුනේ නැහැ. හැබැයි හිතපු තරම් වැඩ ආතල් වුනේ නැහැ. 4 x 4 එකක ඇනයක් ගලවන්නත් බිත්තර හය හතක් කාලා එන්න වෙනවා. ඒවා මහ දඩාර් සයිස්.

මුල දවස් කීපයේම මම යාළුවෝ හම්බවෙන්නවත් ගියේ නෑ. මම උනන්දුවෙන් වැඩ ඉගෙන ගත්තා. මොන දේ කරත් මට ඕනේ වුනේ ඒකේ හොඳම එකා වෙන්න. ඒ නිසා මගේ උනන්දුව අඩු වුනේ නෑ.

නිකං ඉන්නවනම් රෙස්ටොරන්ට් එකේ වැඩට එන්න කියලා එරංග අයියත් කිව්වා. ඒත් අම්මයි තාත්තයි දෙන්නම කැමති වුනේ නෑ. නිකං රෙස්ටොරන්ට් එකක වේටර් වෙනවට වඩා මේ වගේ දෙයක් ඉගෙන ගන්න එක හොඳයි කියනව එක තමා ඒ අයගේ අදහස වුනේ.

හරියටහ දවස් දහයකට පස්සේ මට නිවාඩුවක් ලැබුනා.;

එදා මම නුවර ගියේ අපේ උන් ඉන්නවද බලන්න. එදා ගිහාන් කතා කරපු දවසෙන් පස්සේ දිලිනිව දැක්කෙත් නැති නිසා එයාව බලන්නත් ආසාවක් තිබුණා.

ධනුෂ්ක අයියා මට මේ දවස් දහයට රුපියල් පන්දාහක් දුන්නා.

ඒ තරම් සල්ලියක් එකපාර අතගාල නැති නිසා මොනව කරන්නද කියලා මට අදහසක් තිබ්බේ නෑ. මම රුපියල් දාහක් මාරු කරලා බයික් එකට ෆුල් ටෑන්ක් ගහලා ඉතුරු හාරදාහම අම්මට දුන්නා.

“පුතේ ඇයි මේ.”

“පඩි.”

“තාම මාසයක් නෑනේ.”

“නෑ දවස් දහයක් එක දිගට වැඩ කළ නිසා මට මාස බාගෙකට පන්දාහක් දුන්නා. දාහක් මාරු කරලා පෙට්‍රල් ගැහුවා. මේ ඉතුරු එක.”

අම්මා හිනා වුනා.

“මට ඔයාගේ සල්ලි එපා. මේක තියාගන්න. පලවෙනි පඩිය නිසා ඇදුම් ටිකක් අරගෙන අනිත් ඒව වියදම් කරන්න. ඔයාට ඕන දේවල් ගොඩක් ඇතිනේ. ඊළඟ පඩියේ ඉඳලා බාගයක් විතර ඉතුරු කරන්න බලන්න.”

“අනිත් එක පුතේ ඔයාව මිකැනික් කෙනෙක් කරන්න මට ඕනේ නැහැ. රිසල්ස් එනකම් තව මොනව හරි ඉගෙනගන්න. සල්ලි මම දෙන්නම්. ඊට පස්සේ ඩිග්රියක් ගන්න. හොඳ රස්සාවක් කරන්න. මම ඔයාව මේකට දැම්මේ වැඩක් නැතුව රස්තියාදු ගහන නිසා.”

මම හිනා වෙලා ආවා.

මගේ අම්මා හැමදාම ඒ වගේ තමා.

ඊට පස්සේ මම නුවර ‍ට ආවා.

මාව දැක්ක ගමන් සෙට් එක කතාව පටන් ගත්තා.

“අන්න බලපං කොල්ලෝ... ආං කොල්ලෝ... ඉස්කෝලෙන් අවුට් වුනා දවස් දෙක තුනක් ලකා ගැහුවා. ඊට පස්සේ අම්ම අප්පගේ සල්ලි විනාස කරන්නේ නැතුව ජොබක් සෙට් කරගත්තා. දැන් ඌ මිකැනික් කෙනෙක්. නිකම්ම නෙවෙයි, ලංකාවේ ඉන්න 4 x 4 රෙපෙයාර් කරන ටික දෙනාගෙන් වැඩ්වෙක්.”

“උඹට පිස්සු.”

“නෑ බං. මට අපි ගැන දුකයි. අපි මොනවද බං කරන්නේ. අම්ම අප්පගේ සල්ලි නාස්ති කර කර ඉස්කෝලේ ගියා. මෙලෝ බෝලයක් කරගන්න බැරිවුනා. එග්සෑම් ලිව්වා, ලිව්වේ මොනවද කියලවත් ෂුවර් නෑ. ඊට පස්සේ ඉස්කෝලෙන් අවුට් වෙලත් අම්ම අප්පගේ සල්ලි කකා, සිගරට් ගගහා වැව රවුමේ චාටර් වෙනවා. අපි මොක්කුද බං. උඹනේ වැඩ්ඩා.”

“මේ සචියා මම තාම වැඩ්ඩෙක් නෙවෙයි. තාම වැඩ ඉගෙනගන්න පටන් අරගෙනත් සති දෙකක්වත් නෑ.”

“හරි හරි කවදාහරි උඹ එහෙම වෙනවනේ. මට ෂුවර්. ඒක නෙවෙයි කාවා, උඹ ළඟ කියක් හරි නැද්ද. ෆැග් එකක් ගහන්න වත් අතේ සතේ නෑ.”

මම පර්ස් එක ඇද්දා. ඒත් එක්කම දිලිනි දුන්න ෆෝන් එකත් සාක්කුවෙන් එලියට ආවා.

“යකෝ... මුන්නේ මිනිස්සු... කාවා උඹ එහෙනම් අපේ සෙට් එකෙන් මුලින්ම ෆෝන් එකක් ගත්තා ඈ...”

“මොන?”

“ඇයි යකෝ ඔය අතේ තියෙන්නේ.. අන්න මචං හැදෙන කොල්ලෝ. උඹල අපි වගේ පීචං නෑ. ජොබක් කරා, පඩි ගත්තා, ෆෝන් එකක් ගත්තා. දැන් සුද්දා ව‍ගේ අපිට කන්නත් අරන් දෙනවා.

ඒත් එක්කම පර්ස් එකේ තිබුණ දාහේ කොල හතරක චතුරයා දැක්කා.

“මගේ අම්මේ කාවා. උඹනම් මාර පොරක්. දවස් දහයෙන් උඹ මෙච්චර හම්බ කළාද?”

“නෑ ඩෝ පන්දාහක් හම්බකළා. සුද්දා වගේ වියදම් කරලාත් හාරදාහක් ඉතුරු වුනා බං.”

“එතකොට ෆෝන් එක.”

“ආ ඒක තෑග්ගක්.”

“කාගෙන්ද?”

“උඹට වැඩක් නෑනේ.”

“යකෝ..... මූ නම්. මටත් හිතෙනවා බං මොකක් හරි ජොබක් කරන්න. අපි දැන් චාටර් වුනා ඇති.”

අමිල දාර්ශනික ටෝක් දෙන්න පටන් අරන්.

“කාවා උඹනම් දෙයියෙක් බං. අඩෝ යමං කොහෙන්හරි බඩ පැලෙන්න කාලා, ප්ලේන්ටියක් බීලා, ටිකක් ඇවිදලා සුපුරුදු විදිහට ගෙදර යමං.”

අපි සෞම්‍යා එකට ගිහිල්ලා වාඩි වුනා. අමිල කතා කළා වේටර්ට.

“අයියේ අපිට කන්න මොනවද තියෙන්නේ.”

“තෝස, මසාල තෝස, වඩ, උළුදු වඩ, අල බොන්ඩා, ඉඳි ආප්ප. මහත්තලාට මොනවද ඕනේ?”

“ඔය තියෙන හැම එකෙන්ම ගෙනෙන් බං අයියේ. තෝස, මසාල, වඩේ, ඉඳිආප්ප. ආ එක්කෝ ඉඳිආප්ප එපා. අනිත් ඔක්කොම ගේන්න.”

“ආ අනිත් එක ඔය අයිටම් එකකින් දෙක තුන එපා දහයක් දොළහක් එකවර ගේන්න.”

සචියත් කෑ ගහනවා.

වේටර් අයියා මේස ‍පිරෙන්නම කෑම ගෙනාවා.

අපේ උන් කන්න පටන් ගත්තා, මොනවද විනාඩි දහයක් යනකොට බාගයක් ඉවරයි.

“කාවා, කෑවයින් කෑවේ නෑ බං මේ වගේ කෑමක්. මේ වගේ හිතේ බය නැතුව අත දිගෑරලා කන්න හම්බවුනේ නෑ මතක ඇති කාලෙක.”

“මොකක්ද යකෝ ඒකේ තේරුම?”

“නෑ බං වෙනදා කනකොට පණ බයේනේ බං කන්නේ. අතේ තියෙන ගාණට වඩා බිල ගියොත් කකුල් දෙක සරණං ගච්ජාමි නේ.”

අමිල ඒක කියපු විදහට අපි හැමෝටම හිනා ගියා.

“ඒ කියන්නේ දැන් උඹලට බය නෑ.”

“මොකට බය වෙනවද බං උඹ ළඟ දාහේ කොල හතරක්ම තියෙන්නේ.”

“යකෝ දැන් උඹ හිතන්නේ මම මේ දවස් ගාණක් මැරිලා ගාණක් හොයා ගත්තේ ඒ මුළු එකෙන්ම උඹලට කන්න අරන් දෙන්න කියලද?”

“නැත්තං. එකනේ බං යාළුවෝ කියන්නේ.”

“පල යකෝ යන්න මම දෙන්නේ රුපියල් තුන්සීයයි වැඩිම වුනොත්.”

ඒක කිව්ව විතරයි අමිල කන එක නැවැත්තුවා.”

“බඩ පපුව දාලා යන කතා කියන්න එපා කාවා. අඩෝ අපි පස් දෙනා දැනටම රුපියල් දාහක විතර කාලා ඇති බං. අඩේ අපිට කුස්සියේ පිගන් හෝදන්න තමා වෙන්නේ. හොඳ කොල්ලා වගේ හා කියපං බං.”

අන්තිමේ කොහොමහරි රුපියල් හාරසිය පනහකින් ෂේප් වුනා.

මුන් හැම එකාටම ගෙවල් වලින් මදි නොකියන්න කෑම බීම හම්බවෙනවා. මේ එකෙක්වත් කන්න බොන්න නැතුව ඉන්න උන් නෙවෙයි.

අමිලගේ තාත්තා බිස්නස් කරන්නේ. සචියාගේ තාත්තා අම්මා දෙන්නම බෑන්ක් මැනේජර්ලා, චතුරගේ තාත්තා ඉන්ජිනියර් කෙනෙක්, අම්මා ලෝයර් කෙනෙක්. පැණියගේ තාත්තා විශ්ව විද්‍යාලයක ‍මහාචාර්ය වරයෙක් අම්මා ටීචර් කෙනෙක්. ඒත් ගෙදර කොච්චර කෑම තිබුණත් වැඩක් නෑ, ටවුමට ඇවිල්ලා සයිවර් කඩේකින් කන එක තරම් ආතල් එකක් මුන්ට නෑ.

“කාවා උඹට ජාති ජාතිත් මේ පින පල දෙනවා බං. පුදුම කෑමක් යකෝ අපි කෑවේ. මම හිතුවා කඩේ එකා බයවෙලා දුවයි කියලා. ඇයි බං තෝසෙම විස්සක් විතර, නිකං ඒවා නෙවේ අර අලි සයිස් ඒවා. වඩේ නම් මම හිතන්නේ කඩේ තිබුණ ඔක්කොම ඉවරයි.”

“හරි හරි, දැන් මොකද කරන්නේ කියපං. අනිත් එක මේ මම උඹලට අරන් දුන්න අන්තිම කෑම වේල. හැමදාමනම් බලාගෙන ඉන්න එපා තොපිල.”

“මචං, බඩ පපුව පිච්චිලා යන කතා කියන්න එපා ඩෝ. උඹ නැත්නම් කව්ද බං ඉන්නේ අපට කන්න අරන් දෙන්න. අනිත් එක අපේ සෙට් එකෙන් ජොබක් කරන වගකීම් සහිත පොරකට ඉන්නේ උඹ විතරයි. අපි තාම රැකියා විරහිත බං.”

“ඒක නෙවෙයි බං, කාවා, උඹ දැන් කොහෙද යන්නේ?”

සචියා ඇහුවා.

“ම්... පොඩි ගමනක් තියෙනවා.......”

“මම දන්නවා උඹේ පොඩි ගමන. අදත් ඉල්ලන් කන්න නේද යන්නේ? යකෝ මේ කාපු තෝසෙ කෑමට තව ගුටිත් කන්න බෑ.”

“මොකක්?”

“යකෝ, ටික දවසක් යනකම්වත් උඹ තනියම ගමන් බිමන් අඩු කරපං. අපි එක්ක හිටපං. අරූ කොයි වෙලාවේ උඹට වටකරලා නෙලයිද දන්නෑ?”

“මම ඌට බය නෑ බං. අනිත් එක මම ඉන්නෙත් ඌ ඒක කරනකම් තමයි. එදාට මම ඌට පෙන්නන්නම් මම කව්ද කියලා.”

“අනේ පලයං බං යන්න... උඹ එකෙකුට ගහයි, දෙන්නෙකුට ගහයි, දහයක් විතර වට කරගත්තහම මොකද බං උඹ කරන්නේ.”

“මොනවා වුනත් ඌට බයේ මට ම‍ගේ වැඩ නතර කරන්න බෑ.”

“ඒ වුනාට බූරුවෝ උඹ කොටලුවා වගේ ඌට මල පනින වැඩමනේ කරන්නේ. දැනුත් උඹ දිලිනිව බලන්න යන්නනේ හදන්නේ. ඉතින් ඌට මල පනින එක සාදාරණයි බං.”

“යකෝ දිලිනි කියන්නේ උගේ කව්රුවත් නෙවෙයි. ඉස්සර බඳින්න හිතාගෙන හිටියා. දැන් ඒකත් නෑ. දිලිනි මැරුවත් ඌව බඳින්නෑ කියලා කිව්වා.”

“අනේ පලයං බං යන්න. උඹ මොනවද දන්නේ කෙල්ලෝ ගැන. ඒකිට ටිකක් ප්‍රෙෂර් එක වැටෙනකොට නිකම්ම ඌට කැමති වෙයි. අනිත් එක බර කියලා ඌට අඩුවක්ද?”

“කෙල්ලෝ එහෙම වෙන්න පුළුවන් ඒත් දිලිනි එහෙම නෑ.”

“ආ.... දැන් උඹ කොහොමද ඒක දන්නේ?”

“ඇයි ගොනෝ දිලිනි මට කියලා තියෙනවා.”

“එතකොට ඒකි බඳින්නේ ඌව නෙවෙයිනම් උඹවද?”

සචියා ඉඳලා ඉඳලා නියම ප්‍රශ්ණේ ඇහුවා.

“ඒක...... මම දන්නෑ බං.”

“අන්න ඒක තමා ගොනෝ කියන්නේ.... උඹ අනුන්ගේ වත්තක තියෙන කෙහෙල් පැලේට හොම්බ දාලා ඉල්ලගෙන කන්න යන්නේ. උඹ විතරක් නම් මදෑ, මේ අහක ඉන්න අහිංසක අපිටත් කන්න වෙන්නේ අම්ම පොවපු කිරි පිටඋගුරේ යන්න.”

“උඹ ගෑණියෙක් වගේ නේ ඩෝ බය.”

“උඹට තේරෙයි, සෙට් එකක් බැහැලා උඹට බයිසිකල් චේන් වල රහ ‍දෙනකොට, නැත්තං දැලි පිහි පාර වදිනකොට.”

“යකෝ බයිසිකල් චේන් වලින් අපි මීට කලින් කාල නැද්ද. එහෙම වුනා කියලා අපි පස්ස ගහල තියෙනවද?”

“උඹට ඕනේ මගුලක් කර ගනින් කාවා. හැබැයි අපි ඉන්න වෙලාවට. අනිත් වෙලාවට ටිකක් ෂේප් එකේ ඉඳපං.”

“මම යනවා දිලිනිට කොල් එකක් ගන්න.”

“පලයං පලයං.... මම කිව්වේ උඹට යමක් කියලා තේරුම් කරන්න බෑ කියලා.”

සචියා බනිද්දී මම පිටත් වුනා.

හැම එකෙකුටම තිබ්බේ මට කව්රුහරි වටකරලා ගහයි කියන බය. ඒ නිසා උන් හැම වෙලාවෙම බැලුවේ මගේ පිටිපස්සෙන් ඉන්න.

කොහොම වුනත් දිලිනි ව බලන්න ඕනේ කම මට තදින්ම තිබ්බ නිසා මම එයා දුන්න ෆෝන් එකෙන්ම කෝල් එකක් ගත්තා එයාගේ මොබයිල් ෆෝන් එකට.

4 comments:

  1. දිනීට වෙච්ච දෙයක් නෑනෙ අප්පා..

    ReplyDelete
    Replies
    1. දිනිආපහු මේ ගේම් එකට ආපහු ආවා. හැබැයි වෙනම විදිහකට. තව ටිකක් ඉස්සරහට යනකොට බලන්න පුළුවන්

      Delete
  2. Please come to my FB
    https://www.facebook.com/kool.tempo.5

    ReplyDelete
  3. https://www.facebook.com/%E0%B6%B8%E0%B7%9A-%E0%B6%86%E0%B6%AF%E0%B6%BB%E0%B6%BA%E0%B6%BA%E0%B7%92-1842192422708283/

    ReplyDelete