Recent Post

Friday, June 02, 2017

සදානුස්මරණිය ප්‍රථම ප්‍රේමය ~ මේ ආදරයයි ~ 33


සදානුස්මරණිය ප්‍රථම ප්‍රේමය
මේ ආදරයයි


33.

“හෙලෝ.... දිලිනි.”

“කාවින්ද? ඔයාට කොහොමද? මම ෆෝන් එක දුන්න දවසේ ඉඳලා ඕෆ් කරලා. මම කොච්චර ට්‍රයි කලාද ඔයාට ගන්න. හරිම නරකයි.”

“අනේ සොරි දිලිනි. මට වැඩක් සෙට් වුනා. හැරෙන්නවත් වෙලාව නැතිවුනා. ඔයාට කොහොමද?”

“මම නම් අවුලෙන් තමයි කාවින්ද. ඔයත් පහුගිය ටිකේ කතා කළේවත් නෑනේ.”

“පොඩි වැඩකට සෙට් වුනා දිලිනි. අද තමයි නිවාඩුවක් ලැබුනේ.”

“ඔයා මොකද කරන්නේ. ‍ජොබ් එකක්ද?”

“ඔව්...”

“අනේ ෂෝක්.. මොකක්ද?”

“ඒක මෙහෙම කියන්න බෑ.. පස්සේ හම්බවුනාම කියන්නම්.”

“ඉතින් අද ඔයාට නිවාඩුනම් මාව බලන්න එන්නේ නැද්ද?”

“කොහේටද?”

“ඔයාට මම කොහාටද එන්න ඕනේ. ඔයා කියන ඕනෙම තැනකට මම දැන්ම එන්නම්.”

“ඒ වුනාට ඔයා‍ට ආයෙත් ගෙදරින් ප්‍රශ්ණ එයි.”

“ඒක මම බලාගන්නම් කාවින්ද. ගිහාන්ට බෑ මම ඔයාව ආශ්‍රය කරන එක නවත්තන්න.”

“හරි එහෙනම් මම දැන් ඉන්නේ ලේක් ෆ්‍රන්ට් එකේ. ඔයා ඒ පැත්තට එන්න. හරියටම ඩෙවෝන් එක ඉස්සරහ මම ඉන්නම්.”

“ඕකේ... මට විනාඩි විස්සක් දෙන්න කාවින්ද?”

මම අපේ එවුන්ගෙන් ඈත් වෙලා වැව රවුමේ අමිපිටිය  පැත්තට ආවා. ඇවිත් ඩෙවෝන් එක ඉස්සරහ තිබුණ බංකුවක වාඩි වුනා.

දිලිනි ගැන හිතන්න දාහක් දේවල් මගේ හිතේ තියෙනවා. වෙන කිසිම කෙල්ලෙකුට කරන්න බැරි වුන දේ, මගේ හිත ගන්න එක එයාට ආදරෙයි කියන වචනේ එක පාරක්වත් නොකියා කරන්න පුළුවන් වුනා.

වෙන කිසිම කෙල්ලෙක් මගේ හිත සසල නොකරපු තරමට එයා මගේ හිත සසල කළා. එයා නිසා මගේ හිත පුදුම විදිහට නොසන්සුන් වෙලා.

එයා නිසා මම ප්‍රශ්ණ ගොඩකටත් මැදි වෙලා. ඒත් තාමත් මට එයාව ඈත් කරන්නත් බැරි වෙලා.

පිට ඉඳලා බලන ඕනෙම කෙනෙකුට තේරෙනවා අපි දෙන්නා අතරේ ආදරයක් තියෙන බව. ඒත් අපි දෙන්නා තාම ඒ ගැන වචනයක්වත් කියලා නෑ.

මම මේ කල්පනාවෙන් ඉන්නකොට පිටිපස්සේ ඉඳලා කෙනෙක් මගේ කණට ලංවෙලා හුස්ම ගන්න හඬ ඇහුනා.

“දිලිනි....”

එයා තවත ලස්සන වෙලා. ලස්සන කහ පාට ගවුමක් ඇඳලා, ඇත්තටම සුරංගනාවියක් වගේ ලස්සනයි.

මේ කෙල්ලෝ දවසින් දවස ලස්සන වෙන්න මොන උලව්වක් කරනවද මන්දා?

“මොකද කාවින්ද කතා නැත්තේ?”

“කාවින්ද... ඔයා මොන ලෝකෙද ඉන්නේ?”

“ම්.... ආ.... සොරි.”

“සොරි තමයි... මම ආව කියලවත් නෑ. කෙල්ලෝ දිහා බලාන කෙල පෙරනවා.”

“නෑ බබා....” මට කියවුනා

ඒක ඇහුනා විතරයි දිලිනිට ලස්සන හිනාවක් ගියා.

“ඇයි තනියම හිනා වෙන්නේ. පිස්සුද?”

“නෑ.. ඔයා මට බබා කිව්වහම මට ආසාවේ බෑ කාවින්ද?”

“අප්පේ මම එහෙම කිව්වද? සොරි සොරි....”

“අනේ නෑ මට හැමදාම එහෙම කියන්න.”

“හොඳට තියෙයි, මට වැරදිලා කියවුනාට හැට පැන්න ඔයා වගේ ආච්චි කෙනෙකුට බබා කියන්න.”

“අන්න නරකයා... මාව පේන්නේ හැට පැන්න නාකි ගෑණියෙක් වගේද?”

“නෑ නෑ... නිකං කිව්වේ.”

“එයා මගේ ළඟින් වාඩි වුනා.”

“මේ හලෝ....”

“ඇයි....”

“මේ... කාවින්ද, මම ඔයාගේ අත අල්ලගන්නද?”

“හා.”

“තැන්ක්ස්.”

අපි දෙන්නා ටිකක් වෙලා කතාවක් නැතුව හිටියා.

දිලිනි ආයෙත් මට ඇඟිල්ලෙන් ඇනලා කතා කළා.

“මේ ....”

“ඇයි... ඒ පාර මොකක්ද?”

“මම ඔයාගේ උරහිසට ඔළුව තියාගන්නද?”

“හා...”

එයා මගේ මූණ දිහා බැලුවා.

“අනේ ඒක කියපු සැර. ඕන්නෑ...”

“හරි ඉතින්.... මම එපා කිව්වද?”

“කාවින්ද,”

“ඇයි?”

“මට ඔයාගෙන් ප්‍රශ්ණයක් අහන්න තියෙනවා.”

“අහන්න.”

“ඇත්තම කියනවද?”

“මම බොරු කියන්නේ නෑ.”

“ඇයි කාවින්ද ඔයා මං වෙනුවෙන් මේ හැම දෙයක්ම කරන්නේ?”

“මොන හැම දෙයක්මද?”

“ඔයා මාව බලන්න එන්නේ. මට කවුරුවත් නැති වෙන හැම වෙලාවෙම ඔයා මගේ ළඟ ඉන්නේ? කොටින්ම ඇයි ඔයා මට මෙච්චර කෙයා කරන්නේ.”

මම කතා නැතිව හිටියා.

“කියන්න කාවින්ද, මම ඔයාගේ කව්ද?”

මම කතා කළේ නැහැ.

“අනේ කාවින්ද, අදත් හැමදාම වගේ සද්ද නැතුව ඉන්න එපා. මට කියන්න ඇයි ඔයා මට මෙහෙම කරන්නේ?”

“ඔයාට මගේ උදව් ඕන වුනාම ඒක කරන්නේ ඇයි කියලාවත් ඔයා මගේ කව්ද කියලාවත් මම හිතන්නේ නෑ. ඒක මට අදාල නෑ. කෙනෙකුට උදව්වක් ඕන වුනාම එයාගේ තරාතිරම මට වැඩක් නෑ. මොන වැඩේ තිබුණත් මම ඒව නවත්තලා ඒ උදව්ව කරනවා.”

“ඔයාට මාවත් ඒ අනිත් අය වගේම කෙනෙක් විතරද කාවින්ද?”

“මොකක්ද ඔයා අහන්නේ?”

“ඇයි දෙයියනේ ඔයා මට මේ තරම් විශේෂයක් කරන්නේ? ඔයාට තවත් ඕන තරම් ගෑණු යාළුවෝ ඇතිනේ. ඒ කිසිම කෙනෙකුට ඔයා මේ තරම් උදව් කරනවද?”

“සමහරවිට ඒ අයට උදව් ඕන වෙලා නැතුව ඇති.”

“අනේ කාවින්ද, ඔන්න ඔයා ප්‍රශ්ණෙට උත්තර නොදී ඉන්නයි හදන්නේ.”

“හරි දැන් මොකක්ද කියන්න ඕනේ?”

“මම අහපු දේට උත්තරේ.”

“ඒකට උත්තරයක් නෑ දිලිනි.”

මම දැක්කා දිලිනිගේ ඇස්වල කඳුලු.

“ඒයි මේ මෝඩයා ඇයි අ‌‌ඬන්නේ?”

“නෑ කාවින්ද මම අඬනවා නෙවෙයි, මට ඇ‍ඬෙනවා.”

“මේ පිස්සු නැතුව ඉන්න, මේ මිනිස්සු ඉන්න තැනක්. ඔයා ඔහොම අඬනකොට විකාරයක් වගේ තියෙයි.”

දිලිනි කඳුලු පිහ දාගත්තා.

“කාවින්ද ඔයා මාව අවුල් කරනවා. ඔයා මාව හම්බවෙලා යන හැම දවසකම මම අතරමං වෙනවා. මම දන්නෑ මට ඕනේ මොනවද කියලවත්. ඒත් ඉන් පස්සේ ඔයා නැතුව ගතවෙන හැම පැයක්ම මට හීනයක් වගේ.”

“සොරි දිලිනි. මම හිතලා ඔයාව අවුල් කරනවා නෙවෙයි. ඔයාට කවුරුවත් නැති වෙලාවකට මම ඔයාට උදව් කරනවා.”

“ඒ වුනාට කාවින්ද, මොකක්ද ඔයා මගෙන් බලාපොරොත්තු වෙන්නේ, මට මේ හැම දෙයක්ම දීලා?”

“මොනවත් නෑ. ඔයා සතුටින් ඉන්න. එච්චරයි මට ඕනේ.”

දිලිනි ටිකක් වෙලා කල්පනා කරන්න ගත්තා. ඊට පස්සේ එයා මගේ මූණ දිහා කෙලින් බලලා කතා කළා.

“කාවින්ද, ඔයා ආයෙ මාව හම්බවෙන්න එන්න එපා.”

“මොකක්? ඒ මොකද?”

“ඔයාට තේරෙන්නේ නැද්ද කාවින්ද. මම ඔයාට ලං වෙනවා වැඩී. ඒක කවදාහරි ලොකු දුකක් වෙයි අපි දෙන්නටම.”

“පිස්සු කෙල්ල. විකාර කියවන්න එපා.”

“මම කියන්නේ ඇත්ත කාවින්ද. මම මහ කාලකන්නි කෙල්ලෙක්. මට මේ ජීවිතේ ආදරේ කරන්න ලැබීම නෑ. මට ආදරේ කරන කෙනෙක් එක්ක ජීවත් වෙන්න ලැබීමක් නෑ. මොනවා කරන්නද? ඔයා ඒ තැනට ඇවිත් මට ලංවෙලා අපි දෙන්නම දුකට වැටෙයි. මට නම් දැන් වෙන්න දෙයක් තවත් නෑ. ඒත් ඔයා.”

“මේ දිලිනි. දැන් ඔයා කතාව නවත්තගන්න. අපිට ජීවිතේ ගැන අනාවැකි කියන්න බෑ. අපි මේ වර්ථමානේ හිනාවෙලා ජීවත් වෙමු.”

“මට හිනාව කියන එක මතක් වෙන්නේ ඔයා ළඟ ඉන්නකොට විතරයි කාවින්ද.”

“ඉතින් එහෙනම් ඇයි මට එන්න එපා කියන්නේ?”

“මම නිසා ඔයාවත් ලොකු කරදරේක වැටෙනවා බලන්න මට බෑ.”

“ඔයා ගිහාන් ගැන නම් කතා කරන්නේ ඒක අමතක කරන්න. මම ඌට බය නෑ. ඌට බෑ මට මොනවත් කරන්න.”

“ඒ වුනාට මම නිසා ඔය දෙන්නා රණ්ඩුවෙනවම මම කැමති නෑ. ඔයත් රණ්ඩු කෙක්කනේ.”

“ඒ කියන්නේ ඔයා මාව ආයෙත් හම්බවෙන්නේ නැතුව ඉන්නද යන්නේ?”

“ඔව් කාවින්ද.”

“ඔයාට පුළුවන්ද?”

“බෑ දෙයියනේ.... ඒත් ඒක කරන්නම වෙනවා.”

“ඔයාට කැමති දෙයක් දිලිනි. ඒත් මට ඔයා හොඳින් නෙවෙයි කියලා දැන දැනත් ඔයා ගැන හොයා නොබලා ඉන්න බෑ.”

“අනේ කාවින්ද ඔයා මාව අතරමං කරවනවා. අපි දෙන්නගේ සම්බන්දේ මොකක්ද කියලා නොදැන මම අතරමං වෙනවා.”

“කවදාවත් මම ඔයාව අතරමං කරන්නෑ. ඔයාට යන්න ඕනේ තැනට අරන් ගිහිල්ලා තමයි මම නවතින්නේ.”
“මම කොහේටද යන්න ඕනේ කියලා මම ම දන්නේ නෑ කාවින්ද?”

“විශ්වාස කරන්න මම දන්නවා. ඒ නිසා මම කියන විදිහට කරන්න. මම ඔයාව යන්න ඕනේ තැනට අරන් යනවාමයි. ඒක පොරොන්දුවක්.”

“ඒක වැඩක් නෑ කාවින්ද. මේ කාලකන්නි කෙල්ලව අමතක කරන්න.”

“බෑ... මම ඔයාගැන හොයලා බලන එක කරනවා. ඔයා දුකින් ඉන්නකොට මට බෑ අහක බලන්න.”

“අනේ දෙවියනේ, ඔයාට තේරෙන්නේ නැද්ද, මට මගේ හිත හදාගෙන ඉරණමට මූණ දෙන්න වෙනවා කියලා. මම උත්සහ කළා ඒකට විරුද්ධ වෙන්න ඒත් මට තනියම ඒක කරන්න අමාරුයි.”

“ඔයාට එකපාරටම මොකද වුනේ දිලිනි. ඔයා කලින් කිව්වේ ඔයා අකමැති දේට විරුද්ධව ඔයා සටන් කරනවා කියලා. දැන් මොකද වුනේ.”

“එහෙම කරන්න තිබුණා මම ආදරේ කරන කෙනා මට අයිති වෙනවනම්. ඒත් එයා වෙන මට නැති වෙන්නයි නියම වෙලා තියෙන්නේ. ඉතින් මම මොනවා වෙනුවෙන් සටන් කරන්නද?”

“මොන දේ වුනත් බලාපොරොත්තු අතහැර ගන්න එපා. එහෙම වුනොත් ඔයාට ජීවත් වෙන ආසාවත් නැතිවෙයි.”

“මට දැනටමත් ජීවත් වෙන ආසාව නැතිවෙලා තියෙන්නේ කාවින්ද. මට මැරෙන්නත් බෑ. ඒ නිසා ඉන්නවා.”

“මම දැන් කිව්වනේ, ඔයාට අතරමං වෙන්න මම ඉඩ දෙන්නේ නෑ. ඒ නිසා බය නැතුව ඉන්න.”

“නෑ කාවින්ද, අපි වෙන්වෙමු.”

ඉන් පස්සේ සෑහෙන වෙලාවක් අපි කතා නැතුව හිටියා. මට දැනුනා දිලිනි අඬන බව. එයාගේ කඳුලු මගේ අතට දැනුනා. ඒත් මම කිසිම දෙයක් කියන්න ගියේ නෑ.

ටිකකින් එයා කතා කළා.

“කාවින්ද, මට අමතක වුනා අහන්න. ඔයා කරන ජොබ් එක මොකක්ද? මැනේජ්මන්ට් ට්‍රේණි වගේ එකක්ද?”

“පිස්සු... මොන මැනේජ්මන්ට්ද? මම ගරාජ් එකක මිකැනික් වැඩ ඉගෙන ගන්නවා.”

“මොනවා!”

“ඇයි?”

“ඔයාගේ තාත්තා ඕකට කැමති වුනාද. අනේ ඇයි කාවින්ද ගරාජ් එකක වැඩට ගියේ.”

“ඇයි මොකද? ගරාජ් එකක මිකැනික් කෙනෙක් කියන්නේ නරක රස්සාවක්ද?”

“නෑ ඒ වුනාට ඔයාට හොඳට ඉගෙනගන්න පුළුවන් කෙනෙක් නේ. අපරාදෙනේ ඔයාගේ හැකියාව.”

“මේක නිකං ගරාජ් එකක් නෙවෙයි දිලිනි. මගේ අම්මගේ හොඳම යාළුවගේ පුතාගේ. ඌ මගෙත් යාළුවා. අනිත් එක මෙතන නිකං කුණු කේස් බාර ගන්නෑ. 4x4 වාහන විතරයි හදන්නේ. ‍එහෙම ඒවා හදන්න පුළුවන් ගරාජ් ලංකා‍වෙම තියෙන්නේ කීපයයි. මිකැනික්ලා ඉන්නෙත් අතලොස්සයි. අනිත් එක මම කරන්නේ අමතර දෙයක් විදිහට. ඉගෙනගන්න එක මම නවත්තන්නෑ.”

“මොනවද 4x4 කියන්නේ.”

“අයියෝ..... ඔයා දැකල නැද්ද අර ලොකු ජීප්. ඕෆ් රෝඩ් රේසින් වලට එහෙම යන්නේ.”

“අර හෙන ලොකු රෝද තියෙන ඒවද?”

“අන්න හරි.”

“ඒ වුනාට මට දුකයි කාවින්ද. ඔයා මහන්සි වෙනවා.”

“ගාණක් නෑ. දැන් මට ඉස්කෝලේ යාමකුත් නෑනේ. ඒ නිසා හැම දේටම අම්මලගෙන් සල්ලි ඉල්ලන්න බෑ.”

“ඔයාට මම හොඳ ජොබ් එකක් හොයල දෙන්නද? හොටෙල් එකක මැනේජ්මන්ට් ට්‍රේණි වගේ. වැඩිය මහන්සි වෙන්නේ නැතුව කරන්න පුළුවන් දෙයක්.”

“මම මේකට ආසයි දිලිනි. බලමු වැඩ අල්ලගන්න අමාරු වුනොත් මම කියන්නම්කෝ. හොටෙල් එකක පිඟන් හෝදන්නවත් දාල දෙන්නකෝ.”

“මම ඔයාව හෝටල් වල පිඟන් හෝදන්න දාන්නෑ කාවින්ද. තාත්තගේ යාළුවෝ ඕන තරම් ඉන්නවා හොටෙල් ෆීල්ඩ් එකේ. එයාලගේ දරුවෝ තමයි දැන් ඒව කරන්නේ. ඒ අය මගේ හොඳ යාළුවො. ඔයාව හොඳම රස්සාවකට දාල දෙයි.”

මොන තරම් පහසු වුනත් හෝටලේක රස්සසාවට මම කැමති වුනේ නැහැ. වෙලාවට වැඩට යන්නයි එන්නයි මට බෑ. මෙතන වගේ මට ඒ පහසුව නෑ.

“ඇයි කැමති නැද්ද?”

“පස්සේ බලමු.”


******************************************************************************

කතාව කියවන හැමෝම මගේ FB Profile එකට එන්න. ඒ වගේම Page එකටත් ලයික් එකක් දාන්න. එතන මම ලියන මේ කතාවට අමතර වෙන කතා කීපයකුත් දාන්න බලාපොර‍ොත්තු වෙනවා.

https://www.facebook.com/kool.tempo.5

https://www.facebook.com/%E0%B6%B8%E0%B7%9A-%E0%B6%86%E0%B6%AF%E0%B6%BB%E0%B6%BA%E0%B6%BA%E0%B7%92-1842192422708283/

0 comments:

Post a Comment