Thursday, August 23, 2018

සදානුස්මරණිය ප්‍රථම ප්‍රේමය ~ මේ ආදරයයි ~ 138



සදානුස්මරණිය ප්‍රථම ප්‍රේමය!
මේ ආදරයයි!







138.
දිලිනි නිසා අරමුණක් හදාගෙන, ඇමරිකාවේ ගිහින් ඉගෙනගෙන, ගොඩ දාගත්ත ජීවිතේ ආයෙත් අරමුණක් නැතුව ඉබාගාතේ යන්න පටන් ගත්තා.
මම අසනීප වෙලා ඉන්නකොට කොහොම හරි ඒ අසනීප හොඳ කරගන්න අරමුණක් තිබුණා... හේතුව දිලිනි. එයා හැම වෙලාවෙම මගේ ළඟින් ඉඳලා මාව උනන්දු කළා.
ඊට පස්සේ ඇමරිකාවේ ගිහින් ඉගෙන ගෙන ඉවර ගන්න මට අරමුණක් තිබුණා. ඒක ඉවර කරලා දිලිනිව විවාහ කරගෙන අපි දෙන්නා තනියම නැගිටින්න. අන්තිම කාලෙ දිලිනි නොහිටියත් මම ඉගෙනගෙන ඉවර කරන කොට එයා එයි කියන බලාපොරොත්තුව නිසා මම ඒ හැම දෙයක්ම කරගත්තා.
ඒත් අවුරුදු ගාණකට පස්සෙ දැන් ඒ අරමුණු, බලාපොරොත්තු නැති වෙලා. මෙච්චර කාලයකට ආපු නැති කෙල්ල තවත් එයි කියලා බලාපොරොත්තු වෙන්න බෑ කියලා හිතට ඒත්තු ගිය වෙලාවෙ ඉඳලා මගේ ජීවිතේ අරමුණත් නැති වුනා.
එරංග අයියට දුන්න පොරොන්දුව අමතක කරන්න බැරි නිසා කොහොම හරි දවල් වරුවේ හොටෙල් එකට ගිහින් වැඩ කරනවා. මාලිකාට දුන්න පොරොන්දුව අහක දාන්න බැරි නිසා, එයාව බලන්න යනවා. ඒත් කිසිම හැඟීමකින් නෙවෙයි. ඒ හැම දේකටම පස්සේ රෑ වෙලා තනි වුනාට කාලකණ්නියෙක් වගේ පාරවල් ගාණේ ඇවිදිනවා...
මේ දවස් වල මගේ ජීවිතේ ගතවුනේ ඒ විදිහට තමා.
නඩුව තියෙන දවස් ලං වුනෙත් මට නොදැනීම.
තාත්ත කිව්ව වගේම ලොකු කෙනෙකුගෙ බලපෑමක් තිබුණ නිසාද කොහෙදෝ, වැඩේ ගොඩින් බේරගන්න තාත්තට බැරි වෙලා තිබුණා.
මම දන්න විදහට තාත්තා පුළුවන් තරම් උත්සහ කළා නඩුව ඊළඟ වාරේ අහන්නෙ නැතුව බේරගන්න. ඒත් ඒක කරගන්න පුළුවන් වෙලා නැහැ.
නඩු දවසේ උදේ මාලිකා අපේ ගෙදර ආවා.
“කාවින්ද... ඔයා බයවෙන්න එපා... අද අපි කොහොම හරි මේක ඉවරයක් කරගමු. ඒක අපි දෙන්නටත් හොඳයි.”
“පුළුවන් වෙයිද?”
“මිස්ටර් අබේකෝනුත් කිව්වා පුළුවන් වෙයි කියලා. පොලිසියත් කැමතියි වැඩේ ඉවරයක් කරන්න... බලමු පැමිණිල්ල මොකද කියන්නෙ කියලා.”
“ඒ කියන්නෙ මම වැරැද්ද පිළිඅරන් බේරුමක් කරගමු කියලද?”
“අපෝ නෑ... ඔයා කොහොමටවත් වැරැද්ද පිළීගන්න එපා. එහෙම වුනොත් ඔයාට ලොකු කරදර වලට මූණ දෙන්න වෙයි.”
“මට වෙලාවකට හිතෙනවා ඕනෙ බම්බුවක් කියලා එහෙම කරන්න. එතකොට අම්මට, තාත්තට, ඔයාට, කිසි කෙනෙකුට කරදරයක් නෑ... මේක මම පටන් ගත්ත දේ මම ම කොහොම හරි විසඳගන්න ඕනෙ.”
“විකාර කරන්න ලෑස්ති වෙන්න එපා කාවින්ද...! එහෙම වුනොත් ඔයා අමාරුවේ.”මාලිකා බය වෙලා වගේ කිව්වා. “බලන්න අංකල් මෙයා කරන්න හදන දේ...” මාලිකා මගේ තාත්තට කිව්වා.
“මම අහගෙන... කාවින්ද.... දරුවෙක් මුරණ්ඩු වෙන එකේ සීමාවක් තියෙනවා...” තාත්තා කිව්වා “තමුසෙ හදන්නෙ හිරේ යන්නද?”
“කාවින්ද... ඔන්න ඕක අමතක කරන්න.... යමු මාත් එක්ක. උසාවියෙදි ඔයා මම කියපු දේ කියන්න. ඉතුරු ටික මම බලාගන්නම්. විශ්වත් අද එනවා කිව්වා.” මාලිකා ආයෙත් කිව්වා.
මාලිකා මොන තරම් විශ්වාස කළත් එදා නඩු වාරෙදි මේක ඉවරයක් කරගන්න බැරි වුනා.
තවත් නඩු වාරයකට, සති දෙකකට කල් තිබ්බා මගේ නඩුව.
ගිහාන්ගෙ ලෝයර් කියපු විදිහට ගිහාන් තාම ඉන්නේ හොස්පිට්ල් එකේ... තාම හරි සනීපයක් නෑ. හොස්පිට්ල් රිපෝට් ඉදිරිපත් කරලා තිබුණා. ඒවගෙ තත්වෙ ටිකක් හොඳ නැති නිසා, තව දුරටත් සාක්ෂි විමසලා බලන්න කියලා තමයි නඩුව කල් තිබ්බේ.
“බලන්නකො කාවින්ද... අර රිපොර්ට්ස් ටික අදම ආවනේ... ඒකෙන් තමා වැඩේ කල් ගියේ.”
“ඔයා මොනව කරන්නද බබා ඒකට... දැන් ඉතින් අපි තව සති දෙකක් ඉමු.”
“මට දුක ඔයා ගැනටත් වඩා ඔයාගෙ අම්මා ගැන කාවින්ද... එයා කෑමක් බීමක් ගන්නෙ නෑ හරියකට කියල දීප නැන්ද කිව්වා.”
“මටත් තියෙන දුක ඒක තමා මාලිකා. කොහෙද අම්මට කොච්චර කිව්වත් මට ප්‍රශ්ණයක් නෑ කියලා අහන්නෙම නෑනේ... හරියට මම මරණ දඬුවමට යටත් කරලා වගේ මගේ දිහා බලන්නේ.”
“එහෙම තමා කාවින්ද අම්මලා. එයා පව්... කොයි අම්මටද පුළුවන් තමන්ගේ පුතා උසාවි ගාණේ යනවා බලන්න...” මාලිකා කිව්වා. “අනිත් එක කාවින්ද මේ දවස් වල ටිකක් පරෙස්සම් වෙන්න. අඩුගාණේ වාහනේ එළවන කොට වැරැද්දක් කරලවත් පොලිසියට අහුවෙන්න එපා. ඒක නඩුවට අවාසියක් වෙනවා.”
මාලිකා මට නොසෑහෙන අවවාද ගොඩක් දුන්නා.
“පුතා... දෙන්නම එන්න කෑම කන්න. දවල්ට හරි හමං කෑමක් නැහැනේ.” අම්මා කතා කළා. “දුවේ... ඔයා කෑම ටිකක් කාල එහෙම යන්න. අද වෙන වැඩක් නැහැනේ.”
“දැක්ක නේද අම්මා ඔයාට වඩා මට ආදරෙයි.” මාලිකා එහෙම කියලා මට හිනා වුනා.
“ඒක වෙන්නම ඕනෙ දෙයක්නේ... මම අදෙමව්පියන්ගේ බලාපොරොත්තු ඔක්කොම නැති කරලා දාපු කාලකන්නි පුතෙක්... ඔයා එහෙම නෙවෙයි... හොඳට ඉගෙන ගත්ත, දැන් ලෝයර් කෙනෙක් විදිහට වැඩ කරන කෙනෙක්... මගේම අම්ම වුනත් මඩ වඩා ඔයාට ආදරේ කරන එක පුදුමයක් නෙවෙයි.” මම කිව්වා.
“අනේ කාවින්ද... ඔයාගෙ හිත රිද්දන්න හිතලා කිව්ව දෙයක් නෙවෙයි.” මාලිකා දුකෙන් මගේ දිහා බලලා කිව්වා.
“ප්‍රශ්ණයක් නෑ... ඒකෙන් මට දුකක් ඇති වුනේ නෑ...” මම කිව්වා. “එන්න අපි කෑම කන්න යමු.”
දවල් කෑමෙන් පස්සේ අම්මා අපිට කෑම මේසෙන් නැගිටින්න දුන්නේ කට කපලා පුරවපු මුදවපු කිරි එකකුත් කෑවට පස්සේ... සෑහෙන කාලෙකට පස්සේ මම අම්මගේ අතින් හදපු කෑම ටිකක් ආසාවකින් කෑවා.
ටී.වී. එක බලන්න කියලා ඉඳ ගත්තත්, මට තද නිදිමතක් ආවා. මාලිකාත් මගේ ළඟින්ම ඉඳගෙන ඉන්නවා.
“මට මාර නිදිමතයි බබා.” මම කිව්වා.
“නොකියා හිටියට මටත් එහෙමයි.” මාලිකාත් කිව්වා.
“ඔයාට ඕනෙ නම් මගේ කාමරේ නිදා ගන්න... මට මෙතනම පොඩි නින්දක් දාන්න පුළුවන්. හවස් වෙලා ඔයාව ඇහැරවන්නම්.”
“අනේ... මට බෑ තනියම ඔයාගෙ කාමරේ නිදා ගන්න. ඔයත් එන්න.”
මම වටපිට බැලුවා. ගෙදර කව්රුවත් පේන්න නෑ.
“යං අපි උඩට.” මම මාලිකාගේ අතින් අල්ලගෙන කාමරේට ආවා.
මම ඇමරිකාවෙ ඉන්න කාලෙ එවපු සල්ලි වලින් ගෙදර උඩ තට්ටුව ලොකු කරලා අලුත් කරලා හදලා තිබුණ නිසා මගේ කාමරේ ඉස්සරට වැඩිය පිළිවෙලයි. ඇටෑච් බාත් රූම් එකකුත් හැදුව නිසා පාඩුවේ කාමරේටම වෙලා ඉන්න පුළුවන් වුනා. අනිත් එක මම මේ දවස් ටිකේම ගෙදර හිටපු නැති නිසා දීප නැන්දා කාමරේ ලස්සනට අස් කරලා තිබුණා.
“අප්පා... ඔයාගෙ කාමරේ හරිම පිලිවෙළයි නේ කාවින්ද... කොල්ලෙක්ගේ කාමරයක් කියල කියන්නවත් බෑ.”
“මම ගෙදර හිටියෙ නැති නිසා දීප නැන්දා අස් කරපු විදිහටම තියෙනවා. ඒකයි...” මම කිව්වා. “ඔයාට නිදිමතනම් ටිකක් නිදා ගන්න.”
මම යන්න හැරුනා.
එක තත්පරයකදි මාලිකා මගේ අත අල්ලගෙන ඊට පස්සේ මට තුරුල් වුනා.
“කාවින්ද... මාව දාල යන්න එපා.”
“මම...?”
“මේ දවස් ටිකේම මට දැනුනා ඔයා මගෙන් ඈත් වෙනවා වගේ... ඇයි කාවින්ද... ඔයාට මාව එපා වෙලාද?”
“නෑ... එහෙම එකක් නෑ...” මම අමාරුවෙන් කියා ගත්තා.
“නැත්තෙ නෑ... ඔයා දැන් සෑහෙන්න වෙනස් වෙලා... මම ඔයාව අඳුරගන්න කොට හිටපු කාවින්ද දැන් නෑ. ගොඩක් වෙනස් වෙලා.”
“නෑ බබා. මේ නඩු කේස් එක නිසා මම ටිකක් අවුලෙන් හිටියා... එච්චරයි. මට ඔයාව එපා වෙලා නම් මේ වගේ උදව් ගන්නවද?”
“එහෙම නම් දැන් යන්න එපා. මෙහෙම මාත් එක්කම ඉන්න... මට ටිකක් ඔයාට ලං වෙලා ඉන්න ඕනේ.”
“අම්මා ගෙදර ඉන්නවා මාලිකා. වෙන ප්‍රශ්ණයක් නෑ... එයා දැක්කොත් හරි නෑ.”
“මොකද කාවින්ද හරි නැත්තේ. අපි මැරි කරන්න එන්ගේජ් වෙලා ඉන්නේ. අනික අපි පොඩි ළමයි නෙවෙයි.” මාලිකා ටිකක් තරහින් කිව්වා.
“ඔයාට තරහ ගියාද?”
“නෑ... ඔයා ඕනෙකමින්ම මාව මග අරිනවා කියලා මම කිව්වේ බොරුද?”
“මාලිකා... ඔයාට ඕනේ මාත් එක්ක රණ්ඩු වෙන්නද? එහෙම එකක් නෑ කියලා මම කිව්වට පස්සෙත් ඒකම කියන්න එපා.” මමත් කිව්වා. “අනිත් එක ඔයා උසාවියේ ප්‍රශ්ණ අහනවා වගේ මගෙන් හරස් ප්‍රශ්ණ අහන්න එපා. මම කැමති මාව පාලනය කරන්න හදන කෙල්ලෙකුට වඩා, මට ආදරෙන් මගේ ළඟ ඉන්න කෙනෙකුට.”
“ඇයි ඔයා හිතන්නේ මම ඔයාට ආදරේ නෑ කියලද?” මාලිකා ඇහුවා.
“ආදරේ නම් රණ්ඩු වෙන්නෙ නෑ. ආදරේ කියන්නේ කැපකිරීමක්, තමන් ආදරේ කරන කෙනාව බලෙන් ලඟ තියාගන්න බෑ. යන්න ඕනෙ නම් යන්න දෙන්න වෙනවා. සමහර විට ආයෙත් ජීවිත කාලෙම ඔයාට එයාව නොලැබෙන්න පුළුවන්. ඒත් ආදරේ කියන්නේ තමන්ගෙ සතුටට වඩා තමන් ආදරේ කරන කෙනාගේ සතුට. සමහර විට එයාව ඔයාගෙ ජීවිත කාලෙම ආයෙත් නොලැබුණත්, ඒ ආදරේ හිතෙන් අයින් වෙන්නෙ නෑ. ඒකයි මම නම් ආදරේ කියලා විශ්වාස කරන්නේ...”
මම එහෙම කිව්වහම මාලිකා පුදුමෙන් වගේ මගේ දිහා බලාගෙන හිටියා.
“පුදුම වෙන්න එපා මාලිකා... ඒ විදිහට ආදරේ කරන්න දන්න අය මේ ලෝකෙ ඉන්නවා. එහෙම කෙනෙක් මටත් ආදරේ කරලා තියෙනවා. අදත් එයා මගේ ළඟට නොඑන්නේ මට කරදර වෙයි කියන බයට. ඒක තමයි නියම ආදරේ කියන්නේ...”
“මොකක්ද කාවින්ද එහෙම ආදරේ කරලා ඇති වැඩේ... ආදරේ කරන කෙනා තමන්ට නොලැබෙනව නම් ඒ ආදරේ වැඩක් තියෙනවද? ජීවිත කාලෙම ඒ වෙනුවෙන් දුක් විඳින්න පුළුවන්ද? තමන් ආදරේ කරන කෙනා වෙන තැනකට නොයා තියාගන්න පුළුවන් වෙන්න ඕනේ.”
මාලිකා තනිකරම ආත්මාර්ථකාමී කතාවක් කිව්වා. මට එතනින් එහාට කියන්න දෙයක් තිබුණෙ නෑ.
“ඇයි කාවින්ද ඔයා මොනවත් කියන්නේ නැත්තේ... මම වැරදිද.”
“මම දන්නෑ...  මොනව වුනත් ඔයා හිතන විදිහයි මම හිතන විදිහයි වෙනස්.”
“මට ඔයත් එක්ක රණ්ඩු වෙන්න ඕනේ නෑ කාවින්ද... දෙයියනේ ඔයාට තේරෙන්නේ නැද්ද මම ඔයාට කොච්චර ආදරේද කියලා. මට ඔයා දිලිනි ගැන හිතනකොට දුකයි. මට ඔයාව නැතිවෙයි කියලා බයයි. මම ඔයාව දැනගෙන නොහිටපු කාලේ මෙහෙම බයක් තිබුණේ නෑ... ඔයා තමයි මට කැමතියි කියලා මගේ හිතේ බලාපොරොත්තු ඇති කළේ. මාව මැරි කරන්න පොරොන්දු වුනේ... මාත් කෙල්ලෙක් කාවින්ද... ඔයා එහෙම කිව්ව දවසේ ඉඳලා මගේ හිත ඔයාට ආදරේ කරන්න පටන් ගත්තා. දැන් ඔයා කියන්නේ ඒ ආදරේ ඔයාට වැඩක් නෑ කියලද? එහෙම නම් මුලදිම මට කියන්න තිබුණා.”
මාලිකා අඬන්න පටන් ගත්තා.
“සමාවෙන්න මාලිකා... ඔයාගේ චෝදනාව වැරදයි. මට කවදාවත් ඕනෙ වුනේ නෑ ඔයාව රවට්ටන්න. මම ඔයාට දුන්න පොරොන්දුව අද, මේ වෙනකම්ම කඩ කරලා නෑ.”
“ඔයා ඇත්තදට කියන්නේ මාව එපා වෙලා නෑ කියලා.”
“ඔව්... සීරියස්.”
මම එහෙම කිව්වට තාමත් දිලිනි මගේ හිතේ හොල්මන් කරනවා. ඒක දන්නෙ මම විතරයි. ඒත් මේ වෙලාවේ මාලිකාව ප්‍රතික්ෂේප කළොත් ලේසියෙන් ගොඩ දාගන්න බැරි අවුලක් හැදෙනවා.
හවස පහට විතර මම මාලිකාව ගෙදර ගිහින් ඇරලුවා.
ආපහු එන අතරේ සෑහෙන කාලෙකින් හම්බ නොවුන මගේ යාළුවෙක් කතා කළා.
“කාවා.... උඹලට අපිව මතක් වෙන්නේ යූඑස්ඒ වල බීල වැටිල ඉන්නකොට විතරයි නේ.”
“අම්මා... යකෝ... සනුජයා.... කොහොමද බං... උඹ ලංකාවට ආවේ කවදද?”
“යකෝ මම ඇවිත් මාසයක් වෙනවා. උඹලා දීපු එක නම්බර් එකක් වත් වැඩ නෑ. උඹේ ගෙදර නොම්මරේ මගෙ අතින් නැතිවෙලා. අමාරුවෙන් සචියව අල්ලගෙන උගෙන් උඹේ නම්බර් එක ගත්තේ.”
“එල එල... උඹ දැන් කොහෙද ඉන්නේ... අපි හම්බ වෙමු.”
“මම ඉන්නේ මීගමුවේ... වරෙන් වෙලාවක. යාළුවෙකුගේ හොටෙල් එකක් තියෙනවා මේ පැත්තේ.”
“අනිවා.. අපි සෙට් වෙමු...”
“හෙට අනිද්දම වරෙන්...”
“මේ දවස් වල වැඩකුත් නෑ සනුජයා... මම සිකුරාදා එන්නම්.”
“නියමයි.... උදේ වරෙන්.. අපි මුහුදේ නාලා, ෂොට් එකක් දාලා, රෑට සුපිරියටම සෙට් වෙමු.”
සනුජය ව මම අදුරගත්තේ පිට්ස්බර්ග් වලදි. සනුජය කොළඹ රෝයල් එකේ ඉගෙනගෙන ඩිග්රි එක කරන්න එහේ ඇවිත් තිබුණා. කොහේ එකෙක් වුනත් මම වගේම චරිතයක් තමා සනුජය. ඒ නිසා අපි දෙන්නා සෑහෙන්න සෙට් වුනා ඒ කාලේ... හැබැයි සනුජයගේ නරකක් තියෙන්නේ කිසිම වැඩක පාලනයක් නෑ. පිස්සු නටන්න ගියාමත්, බොන්න ගියාමත්, වෙන වැඩකදි වුනත් කෙලවරක් නෑ. හැබැයි හිත හොඳ එකා, මගේ කිසිම වැඩකදි බෑ කියලා නෑ ඇමරිකාවෙදි. එහෙම එකෙක් කතා කළාම නොයා පුළුවන්ද. සචියවත් ඇදගෙනම යන්න මම හිතුවා.
*************************
සිකුරාදා ටිකක් දවල් වෙලා මම පිටත් වුනා මීගමු යන්න. සචියා ආවේ නැහැ හොටෙල් එකේ වැඩ නිසා.
කුරුණෑගල හරහා මීගමුවට යන්න මට පැය දෙක හමාරක් විතර ගතවුනා. සනුජ කියපු හොටෙල් එක හොයා ගන්න ටිකක් වෙලා ගියේ ඒක පොඩි තැනක් නිසා.
මම ඇතුළට යනකොට ඉස්සරහට ආවේ මම ඇමරිකාවෙදි දැකපු සනුජට වඩා වෙනස්ම කෙනෙක්.
“යකෝ... උඹට මොකද වෙලා තියෙන්නේ?”
“කාවා....!” එහෙම කියලා සනුජ මාව බදා ගත්තා. “ඇඟ නම් ටිකක් අවුට් ඔෆ් ෂේප් ගිහින් තමා බං. ඒ වුනාට හිත තාම ඒ වගේම තමා බං.”
“ඒ වුනාට යකෝ... බලපං උඹේ බඩ...! චාටර් වෙලා බං. ටිකක් එක්සසයිස් කරපං. කෑම අඩු කරපං.”
“උඹ නම් එහෙම කරන බව පේනවා. සික්ස් පැක් එකක් ඇවිත් වගේ බං උඹ. ආයෙත් ස්පෝර්ට්ස් කරනවද?” සනුජ ඇහුවා.
“නෑ බං.. අන්තිම පාර අසනීප වුනාට පස්සේ නෑ. ඒ වුනාට ටිකක් ලයිට් එක්සසයිස් ටිකක් කරනවා. මට කොහොමත් බඩ දාගෙන ඉඳලා පුරුදු නෑ බං.”
“මට නම් බියර්ම බීලා බං...” සනුජ කිව්වා.
“ඒක නෙවෙයි සනුජයා... උඹ දැන් ලංකාවෙ මොකද කරන්නේ...?” මම ඇහුවා.
“ලංකාවෙ කරන්න දෙයක් නෑ බං... මේ ටික දවසට මට එපා වුනා. මම මාස දෙක තුනකින් ආපහු යනවා. ඇයි කාවා උඹ මෙහේ සෙට්ල් වුනේ. කසාදයක්වත් බැන්දද?”
“පිස්සුද යකෝ.... තාම එහෙම එකක් නෑ. ටික දවසකට කියල ආවට නිකංම ස්ටේ එක දික්වුනා. කොහොමත් මමත් ඉක්මනටම යන්න ඉන්නේ බං. අපිට මෙහෙ හරියන්නේ නෑ...”
“එල එල... අපිට ආයෙත් සුද්දන්ව අන්දන්න පුළුවන්. ඒක නෙවෙයි කාවා... උඹට මහන්සි නැත්නම් යමු බීච් එකට...”
“මොන මහන්සියක්ද බං.... යමං... හිටපං මම චේන්ජ් එකක් දාගෙන එකනං.”
මමයි සනුජයි හවස් වෙනකම්ම බීච් එකේ හිටියා. ටිකක් හවස් වෙනකොට සනුජගේ යාළුවෝ දෙන්නෙකුත් ආවා.
“පිස්සුද යකෝ ඇතුලට යන්න... මෙතනම කරන දෙයක් කරමු.”
**********
අපි හොටෙල් එකෙන් ටිකක් නාලා, දවල්ට කාලා  ටිකක් නිදාගෙනත් ඉඳලා එනකොට සනුජගේ යාළුවෝ දෙන්නා හැම දෙයක්ම ලෑස්ති කරලා.
“කාවා... බයිට් එකක් නම් හොටෙල් එකේ ලෑස්ති වෙලා තියෙන්නේ... අපි ඇතුලට යනවද, නැත්නම් බීච් එකේම සෙට් වෙනවද?”
“මෙච්චර ලස්සන පොට් එකක් තියාගෙන වෙන කොහෙ යන්නද බං... බීච් එකේම ඉමු.”
ඒ විදිහට අපි පුටු ටිකක් දාගෙන ඉඳගන්න කොට වෙලාව රෑ අටට විතර ඇති. සනුජගේ නංගියි, එයාගේ යාළුවෝ දෙන්නෙකුයි, සනුජගේ ගෑණු ළමයයි කියන හතර දෙනාත් අපි එක්කම හිටියා. ඒ වෙනකොටත් සනුජගේ ගෙදර අයත්, ඒ ගෑණු ළමයගේ ගෙදර අයත් කැමැත්ත දීලා තිබුණ නිසා ප්‍රශ්ණයක් තිබුණේ නෑ.
හොටෙල් එකේ ලස්සන කැලිප්සෝ ගෘප් එකේ සංගීතයටත්, ලස්සන ගෑණු ළමයි හතර දෙනෙකුගේ කතාවත් එකතු වුන පාටි එක රෑ දහය විතර වෙනකං ගියා.
සනුජගේ නංගිගේ එක යාළුවෙක් මුල ඉඳලම ටිකක් මට කිට්ටු වෙලා හිටියා.
ටිකක් වෙලා යනකොට එයා මට කතා කළා.
“අයියෙ ඔයා ගැන සනුජ අයියා ගොඩක් කියලා තියෙනවා.”
“ඇත්තද? මොනවද අප්පා. පිස්සු වැඩ ගැන වෙන්න ඇති?”
“එහෙමමත් නෑ... ඔයාත් සනුජ අයියා වගේම හිත හොඳ කෙනෙක් කියල නම් නිශානිත් කියනවා.”
නිශානි කියන්නේ සනුජගේ නංගි.
“නිශානි එහෙම කිව්වද? එයාට පොඩ්ඩක් පැටලිලා. මම එච්චර හොඳයි කියලා කිව්වනම් ෂුවර් වැරදිලා.”
“හරි හරි... ඒක නෙවෙයි අයියේ... මම ඔයාට කාවින්ද කියන්නද, නැත්නම් අයියා කියන්නද?”
“මම ඔයාගෙ අයියා නෙවෙයිනේ.. ඒ නිසා නම කියන්න සුදෝ...” මම එයාගේ නිකටින් අල්ලලා කිව්වා. කෙල්ලට ඒකට නම් ලස්සන හිනාවක් ගියා.
“මොනව වුනත් දෙන්නටම බොන්න නම් බෑ....” කෙල්ල එහෙම කියලා හිනා වුනා.
“දැන් ඔයා මට කතා කළාට මට ඔයාගේ නම මතකම නෑනේ...” මම කිව්වා.
“දැන් සනුජ අයියා අඳුන්නලා දුන්නේ.... ඔයා මට හායි කියල ෂේක් හෑන්ඩ් කළේ.”
“ඒ වුනාට මතක නෑ අප්පා.”
“මම සයුරි..”
“මුහුඳ ළඟ ඉන්නකොට තව සයුරක් මොකටද අප්පා.” මට කියවුනා.
“මුහුඳ නෙවෙයි මගේ නම සයුරි...”
“හරි හරි... දෙකම එකයිනේ... මතක් වුන එක කියන්නම්.”
එහෙම කියලා මම සිගරට් එකක් පත්තු කරගන්න පැත්තකට ගියා.
සිගරට් එක පත්තු කරගෙන අනිත් පැත්ත හැරෙද්දි මෙන්න අර කෙල්ල එතන.
“මටත් ලයිටර් එක දෙන්න...” කෙල්ල එහෙම කියලා මගේ අතින් ලයිටර් එක ඉල්ලගෙන ඩන්හිල් වර්ගයේ සිගරට් එකක් පත්තු කරගත්තා.
කෙල්ල ෆාස්ට් නම්බර් එකක් වගේ.
අපි දෙන්නා එතන ඉන්න අතරේ අපිට ටිකක් එහායින් ටේබල් එකේ හිටපු කෙනෙක් අපි ඉන්න තැනට ආවා.
“නංගි... අපිටත් ගින්දර ටිකක් දෙන්න පැටියෝ.” ඌ කිව්වා.
සයුරි මගේ දිහා බැලුවා. මම කතාවක් නැතුව ලයිටරේ ඒ දිහාවට දික් කළා.
“ඇයි... නංගියෝ... ඔයා අතින් ඕක දුන්නහම මොකද වෙන්නේ...?” මගේ අතින් ලයිටර් එක නොගෙන ඌ කෙල්ල පැත්තට හැරිලා කිව්වා. ඊට පස්සේ නොහිතපු විදිහට කෙල්ලගේ අත අල්ල ගත්තා.
“අනේ.. අතාරින්න....” සයුරි කිව්වා.
ඒ වෙනකොට අපි හැමෝම ටිකක් පදමට ඇවිත් තිබුණේ...
මම කෙලින්ම සයුරිගෙ අත අල්ලගත්ත එකාගෙ අත තල්ලු කළා. ඌත් ටිකක් වැඩි වෙලා හිටපු නිසා නිකම්ම විසි වෙලා ගියා.
“යකෝ මේක අපේ වැල්ල. උඹ කව්ද මට පාට් දාන්න...” ඌ අමාරුවෙන් කියා ගත්තා.
ඒ වෙනකොට මගේ ඇඟ රත් වේගන ඇවිත් තිබුණේ. මම දැක්කා සනුජයා උගේ යාළුවොත් එක්ක අපි දිහා බලාගෙන ඉන්නවා.
“උඹලගේ වැල්ල කියලා ලියලා තියෙනවද... කෑව නම් බ්ව්ව නම් මේ අහිංසක කෙල්ලන්ට කරදර නොකර පලයං.” මම කිව්වා.
“කව්ද ඩෝ අපිට යන්න කියන්නේ.... අපි උපන්නෙත් මේ වැල්ලේ... මැරෙන්නෙත් මේ වැල්ලේ... අපි යන්නේ අපිට ඕනෙ වෙලාවට.” ඌ එහෙම කියාගෙන ආයෙත් මං ඉන්න දිහාවට ආවා.
සයුරි බයවෙලා මගේ අත අල්ලගත්තා. එත් එක්කම අපේ පැත්තට ආපු කෙනා ආයෙත් සයුරිගේ අතින් ඇද්දා. මගේ රතු කට්ට පනින්න ඒ ටික ඇති.
මම උගේ බෙල්ලෙන් අල්ල ගන්න කොට උගේ සෙට් එකයි, සනුජයාගේ සෙට් එකයි ඔක්කොම අපි ඉන්න තැනට එනවා මම දැක්කා.
“අනේ අයියේ එපා. අපි යමු.” සයුරි එහෙම කියලා මගේ බෙල්ල බදා ගත්තා. ඒත එක්කම මගේ අත අතෑරුනා. ඌ ඒ තත්පරෙදි මාව ඉලක්ක කරලා මිට මොලවපු අතින් එකක් ගැහුවා. ඒක වැදුනේ මට නෙවෙයි සයුරිට. සයුරි බිම වැටෙද්දි මගේ සිහි කල්පනාව නැති වෙන තරමට තරහ ඇවිස්සුනා.
දෙවෙනි පාරටත් උගේ බෙල්ලෙන් අල්ලගත්ත මම මූණ මැදට එකක් දෙන ගමන් කකුල් දෙක මැදටත් පාරක් දුන්නා. එතකොට ටේබල් දෙකේ හිටපු උන් එකාට එකා ගහගන්න පටන් ගත්තා. මගේ ඉවසීම කවදාවත් නැති තරමට ඉක්මවලා තිබුණේ. මම සැර පාරවල් හත අටක් උන් ඔක්කොටම දෙන අතරේ සනුජයි, යාළුවෝ දෙන්නයි මට උදව්වට ආවා.
හිතාගන්න බැරි තරම් පොඩි වෙලාවකදි, අනිත් සෙට් එකේ එකෙක් එකපාරටම පිහියක් ඇදලා අරන් සනුජට අනින්න පැන්නා. මම එකපාරටම පැනලා පිහිට උදුර ගත්තා. ඒත් අහුවුනේ පිහියේ මිට නෙවෙයි, තලේ... මගේ ඇඟිලි දෙකක් කැපිලා ලේ ගලන අතරේ වුනත් මම ඒ පිහියෙන්ම ඌට දමලා ඇන්නා. පිහිය උගේ බෙල්ල කිට්ටුවටම වදිනවත් එක්කම මට පිහි තලය අතෑරුනා. පිහි පාරත්, ගලාගෙන යන ලේත් දැකලා බයවුන උන් සෙට් එක පිහි පාර කාපු එකාවත් ඇදගෙන යන්න හදනකොටම ගමේ තවත් උන් සෙට් එකක් අපි ඉන්න දිහාවට දුවගෙන ආවා.
එන පොට හරි යන්නේ නැති බව දැක්ක මම බිම තිබුණ යකඩ පොල්ලක් අරගෙන දුවගෙන එන දෙතුන් දෙනෙකුටම ලේ පනින්න හොඳ පාරවල් දෙක තුනක් දුන්නා.ඒ සැනින් මම සයුරිව නැගිට්ටවලා, අනිත් කෙල්ලෝ තුන්දෙනා එක්ක පැත්තකට යැව්වා.
මේ අතරේ සනුජගේ යාළුවාගේ හොටෙල් එකේ මැනේජර් පොලිසියට කෝල් කරලා, පොලිසියෙන් ආවා.
දෙපැත්තෙම අය පොලිස් ජීප් එකට දාගන්න ගමන්, මගේ තුවාල වුන අතට බෙහෙත් දාන්න මාව මීගමුව ඉස්පිරිතාලෙට අරන් ගියා.

0 comments:

Post a Comment