Wednesday, April 25, 2018

සදානුස්මරණිය ප්‍රථම ප්‍රේමය ~ මේ ආදරයයි ~ 127



සදානුස්මරණිය ප්‍රථම ප්‍රේමය


මේ ආදරයයි




127

මගේ තීරණය අහලා හැමෝම සතුටු වුනා.

අම්මා නැගිටලා ඇවිල්ලා මාව බදා ගත්තා.

“එතකොට පුතේ... ඉතිරි වැඩ කටයුතු ගැන මොනව හරි අදහසක් තියෙනවද?”

අම්මා ඇහුවා.

“එක දෙයක්.... වෙඩින් එකක් ගන්නවනම් මේ අවුරුද්දේ බෑ... ලබන අවුරුද්දේ මාර්තු විතර ගමු. ඒ කියන්නේ තව මාස නවයක් තියෙනවා.”

“ඒක ප්‍රශ්ණයක් නෑ... ඒත් පුතා ඇයි කිව්වේ වෙඩින් එකක් ගන්නවනම් කියලා. එහෙම එකක් කරන්න ඔයා කැමති නැද්ද?” මාලිකාගේ තාත්තා ඇහුවා.

“අකමැත්තක් නෑ... ඒත් අංකල් මගේ මතයට කරනවා නම් මම ඒක කරන්නේ නෑ.”

“අපි ලොකුවට නැතුව ටිකක් සිම්පල් විදිහට කරමු පුතා. නැත්නම් ඒක හරි නෑ.”

“ආන්ටි කැමති විදිහක්. මගේ අකමැත්තක නෑ.”

ඒ උත්තරේ දීලා මම එළියට ආවා.

මාලිකා මගේ පස්සෙන දුවගෙන ඇවිත් මගේ අත් දෙක යටින් එයාගේ අත්දෙක දාලා මාව බදා ගත්තා.

“මම ඔයාට ආදරෙයි කාවින්ද..... අයි ලව් යූ..”

මම මාලිකාගේ අත් දෙකෙන් අල්ල ගන්න අතරේ එයා තවත් මට ලං වුනා.

“බලාගෙන, මේ ගෙදර...” මම කිව්වා.

“කමක් නෑ..... දැන් ඔයා මගේ... කව්රු දැක්කත් මට වැඩක් නෑ.”

එතකොටම මාලිකා ගේ නංගි ඇවිත් මට කතා කළා.

“අයියේ සුභ පැතුම්.......... ඔයා වගේ අයියා කෙනෙක් මගේ මස්සිනා වෙන එක කොච්චර හොඳද...”

“තෑන්ක්ස් නංගා.”

“මේ අපි දෙන්නට ටිකක් ඉන්න දීලා යනවකෝ...” මාලිකා නංගිව එලවගත්තා.

“අනේ කාවින්ද... මට සතුට කියලා ඉවර කරන්න බෑ..... ඔයා ඔය තීරණය කියනකම්ම මම මාසයක් මොන තරම් ගිනි ගොඩකද හිටියේ.”

“දැන් හරිනේ ඩාලිං....”

“ඔව්... මම මගේ යාළුවෝ හැමෝටම ඔයාව පෙන්වනවා.... උන් ඉරිසියාවේ පැලෙයි. ඔයා වගේ කෙනෙක් මට ලැබුනා කිව්වහම උන්ට නම් ඉවසගෙන ඉන්නම බැරි වෙයි...”

“අනේ මේ... මාව නිකං ඩිස්ප්ලේ දාලා වගේ නම් කරන්න එපා. යාළුවෙකුට අඳුන්වලා දෙන එක වෙනම දෙයක්...”

“සොරි කාවින්ද... මට සතුට දරාගන්න බැරි නිසා එහෙම කියවුනේ.”

“ඇයි ඉතින් මොකක්ද මගේ තියෙන විශේෂත්වය..”

“ඔයා වගේ කෙනෙක් ලබාගන්න කෙල්ලෙක් ඕනේ දෙයක් කරයි කාවින්ද...! ඔයා කොච්චර හොඳද, බොරුවට රඟපාන්නේ නෑ වෙන කොල්ලෝ වගේ... ඔයා අවංකයි... ගෑණු ළමයෙකුට කොහොමද සලකන්න ඕනේ කියන එක ඔයා හොඳට දන්නවා. ඉතින් එහෙම කෙනෙක් ලබාගන්න මට නම් ඕනෙම දෙයක් කරන්න පුළුවන්.”

මාලිකා එහෙම කිව්වහම මම ගැස්සුනා. දිලිනිගේම වචන.

මමයි දිලිනියි මුලින්ම හම්බවෙලා කතා කර කර ඉන්නකොට එයා කිව්ව වචන ඒ විදිහටම මාලිකා අද කියනවා. ‘ ඔයා කව්ද මාලිකා...? මගේ හිත ඇහුවා.

අපි ගෙදර එනකොට සචියයි අමිලයි දෙන්නා ඇවිල්ලා. දීපා නැන්දව අන්දගෙන හොඳ කෑම එකක් හදාගෙන වැඩේ දෙනවා.

“ආ පුතාලා ඇවිල්ලා...!” අම්මා කිව්වා.

“ඔව් ආන්ටි.... අපි අද ආවේ ආන්ටිලා ගිය ගමනේ ප්‍රතිපල දැනගන්න.”

“ආ... ඒක යාළුවාගෙන්ම අහගන්න....” අම්මා එහෙම කියලා ගේ ඇතුලට ගියා.

අපි තුන්දෙනා මගේ කාමරේට ආවා.

“කාවා... මොකද සීන් එක?”

“මොන සීන් එකද?”

“මාලිකාගේ සීන් එක?”

“මොකුත් නෑ... මම මාලිකාව මැරි කරනවා.”

මම ඒක කිව්ව ගමන් සචියා කෑ ගහන්න පටන් ගත්තා.

“නියමයි මචං... අන්න අද තමා උඹ අවුරුදු ගාණකට පස්සේ වැදගත් තීරණයක් ගත්තේ. මාලිකා තමයි මචං කෙල්ල..... උඹට ගැලපෙන වෙන කෙල්ලෙක් නෑ කියලා අපි මුල ඉඳලම දැනගෙන හිටියා. එල එල....”

“ඔව් කාවා... බැචෙලර් පාටි එකක් පුළුවන් ඉක්මනට ඕනේ... මම අපේ සෙට් එකේ හැමෝටම කියනවා.... දවසක් දාලා වැඩේ ඇරෙන්ජ් කරමු. අයියගේ රෙස්ටොරන්ට් එකේ කරමු. කොස්ට් එකට වැඩේ කරගන්න පුළුවන්.”

අමිල කිව්වා.

එදා දවස ඉවර වුනේ ගෙදර හැමෝම එක්ක සචියයි අමිලයි එකතු වෙලා ඩිනර් එක ලොකු පාටි එකක් කරගෙන.

*****************************************************************

ඊළඟ දවසේ මම හොටෙල් එකේ වැඩ ටිකක් තිබුණ නිසා වැඩට ගියා. සචියත් එක්ක කතා කරලා ‍හොටෙල් එකේ අළුතින් කරපු වෙනස් කම් ටික හරිගස්සලා මිදුලට ගිහින් ප්ලේන් ටි එකක් බොන්න ගත්තා.

ඒත් එක්කම වගේ මාලිකා කොල් කළා.

“කාවින්ද...... ඔයා වැඩද?”

“ඔව් අප්පා. ෆුල් බිසී...”

“අපෝ හරි නරකයි... මම ඔයාව හම්බවෙන්න එයි කියලා හිතලද ගත්ත ගමන් අහන්නත් කලින් බිසී කියලා කිව්වේ?”

“නෑ බබෝ... ඇත්තටම ටිකක් වැඩ.... හැබැයි දෙක තුන වෙනකොට නම් වැඩ ඉවරයි.”

“මටත් ඒ වෙලාව වෙනකොට උසාවියේ වැඩ ඉවරයි... එන්නද මං?”

“කොහෙටද?”

“ඔයාව බලන්න.. ඔයා කැමති තැනකට.”

“එපා... මම තුනට උසාවිය ළඟට එන්නම්.”

“අනේ.... හරිම හොඳයි....” මාලිකා ලස්සනට කිව්වා.

“මට මොනවද දෙන්නේ....?”

“ඔයා ආවොත් මම ඔයා ඉල්ලන ඕනෙම දෙයක් අරන් දෙනවා.”

“මම ඉල්ලන්නේ ඔයා ළඟ දැනටම තියෙන දෙයක්... දෙනවද?”

“ඔයාට දෙන්න බැරි දෙයක් මගේ ළඟ නෑ කාවින්ද... කියන්න!”

“දැන් එපා... මම ඇවිත්ම කියන්නම්.”

“හරි... මම තුනට ලෑස්ති වෙලා ඉන්නවා.”

මම ෆෝන් එක තියනකොට සචියා ආවා.

“කාවා.. මට ඇත්තටම සතුටුයි උඹ ගැන... අන්තිමේදිවත් උඹ හරි දෙයක් කරන්න පටන් ගත්තා.”

“මොකක්ද?”

“යකෝ... උඹ දැන් බඳින්න කාලෙ හරි... මෙච්චර කල් ඇද ඇද හිටියත් උඹ ඊයේ ගත්ත තීරණය හරි. අපෙ අම්මත් දැන් මට යෝජනා ගේනවා. ලඟදිම එකක් හරියයි. අමිලටනම් දැනටම එකක් කතා කරලා. ඒ කියන්නේ අපි තුන් දෙනාම එකම කාලේ සෙට්ල් වෙයි.”

“මම කල්පනා කළේ සචියා... අපිට වෙච්ච දෙයක්...”

“ඇයි....”

“ඇයි බං... ඉස්කෝලෙ යන කාලෙ ඉඳලා කෙල්ලන්ට ට්‍රයි කරලා, පැල් බැඳගෙන ලව් කරලා.... අනංගයා වගේ ඉඳලා අන්තිමට අම්මලා ගේන යෝජනාවකින් කසාද බඳිනවා. ලැජ්ජයි යකෝ.....” මම කිව්වා.

“ඒක නම් ඇත්ත බං.... උඹම බලහං... උඹ කෙල්ලෝ කී දෙනෙක් එක්ක යාළුවෙලා හිටියද? ඒත් අන්තිමට..... අපේ අනිත් උන් දැනගත්ත දාට රෙද්දක් ඇඳන් යන්න බැරි වෙනවා.”

“පිස්සු වගේ තමා බං.... මොනව කරන්නද? ඒක නෙවෙයි සචියා... උඹ මොකද හිතන්නේ අපි දෙන්න ගැන?”

“මම? මම හිතන එක උඹට වැඩක් නෑනේ....”

“නැත්තේ මොකද යකෝ... දිලිනි ගැනත් මම මේ ව‍ගේම උඹෙන් ඇහුවා... උඹ කිව්වා ඉවරයක් නැති වලි සෙට්වෙන.... ලේසියෙන් ගොඩ යන්න බැරි වැඩක් කියලා.... ඒක ඒ විදිහටම වුනානේ... කියපංකෝ බලන්න මාලිකායි මමයි ගැනත්.”

“උඹලා දෙන්නා ගැලපෙනවා..... දිලිනියි උඹයි තරම්ම නම් නැහැ..... ඒත් අවුලක් නෑ... අනික කෙල්ල හොඳ උගත්.... ලෝයර් ‍කෙනෙක්..... හැම පැත්තෙන්ම කට්ටිය කැමතියි... උඹට මැරි කරලා අවුලක් නැතුව ලස්සනට ඉන්න පුළුවන් වෙයි.”

“ඔක්කොම හොඳයි සචියා... ඒත් උඹ අර මුලින්ම කතාවක් කිව්වේ ඇයි?”

“මොකක්ද... දිලිනි තරම් ගැලපෙන්නෑ කියපු එකද?”

“ඒක තමයි...”

“කාවා... තිත්ත වුනත් ඇත්ත කියන්න ඕනෙනේ.... දිලිනි ට මොනව වුනාද කින්ද මන්ද අපි දන්නෑ.... ඒ වුනත් උඹලා දෙන්නා තරම් ගැලපෙන කපල් එකක් මම දැකලම නෑ.... සිරාවට මචං... වෙන වෙනම ගත්තත්, උඹට දිලිනි තරම් වෙන කිසිම කෙල්ලෙක් පෙනුමෙන් ගැලපෙන්නේ නෑ.... දිලිනිටත් උඹ තරම් වෙන එකෙක්වත් මැච් වෙන්නේ නෑ... කට කැපුවත් ඒක කියන්න ඕනේ බං.”

“උඹ තමා සචියා අතිජාත කියන්නේ... සිරාවටම... උඹට විතරයි ඒ ඇත්ත කියන්න කොන්දක් තිබුණේ.. අඩුම තරමේ මමත් ඒක පිළිගන්න බය වුනා. පෙනුමෙන් විතරක් නෙවෙයි ගතිගුණ, සිතුම් පැතුම් වලිනුත් අපි දෙන්නා සියයට සියයක්ම ගැලපෙනවා. ඒත් මොන කරුමෙකටද දන්නෑ අපිට එකතු වෙන්න බෑ.”

“සමාවෙයං මචං පරණ කුණු ඇද්දට.. උඹ ඇහුව නිසා කිව්වේ.. දැන් ඕක අමතක කරලා දාලා මාලිකා ගැන බලපං... සමහර විට දිලිනි උඹට මොන තරම් ගැලපෙනවා කිව්වත් කසාද බැඳලා ජීවිතේ ගතවෙන කොට මාලිකා උඹට හොඳම වයිෆ් වෙන්න බැරි නෑ.”

“මටත් වෙලාවකට එහෙම හිතෙනවා සචියා.... බලමු..... තව ටික කාලයක් තියෙනවානේ වෙඩින් එකට!”

සචියත් එක්ක කතාව දාගෙන හිටපු නිසා මම මාලිකාව ගන්න උසාවිය ලඟට යනකොට වෙලා‍ව පහුවෙලා.

මම එනකං කෙල්ල උසාවියේ ගේට්ටුව ලඟට වෙලා ඉන්නවා මම ඈතදීම දැක්කා. බලාගෙන යනකොට දිලිනි තරම් නොවුනත් කෙල්ල මාර ලස්සනයි. සුදු පාට සාරියක් ඇඳලා, ලස්සන ජුවලරි දාලා, කෝට් එකකුත් අතේ අරන් ඉන්නකොට කෙල්ල මාර වැදගත් පෙනුමයි.

උසාවියට ආපු සමහර සාමාන්‍ය මිනිස්සු එතනින් යද්දි හිනාවෙලා කෙල්ල එක්ක කතා කරනවා. සමහර වයසක මිනිස්සු බොහොම ගෞරවයෙන් ඔළුව නමලා කෙල්ලට කතා කරනවා... මට නම් ඕවා හිනාවට කාරණයක් වුනාට කෙල්ලට ඒවා ලොකු දෙයක් වගේ පේනවා.

මාව දැකපු ගමන් කෙල්ලට ලස්සන හිනාවක් ගියා. ඒ වුනා‍ට තරහ මූණක් හදාගෙන ඇවිත් කාර් එකේ ඉඳගත්තා.

“මොකද ගෑස්...” මම ඇහුවා.

“හරි නරකයි අනේ... විනාඩි විස්සක් පරක්කුයි. මම අර අව්වේ හිටගෙන බෙල්ල රිදෙනකං බලාගෙන හිටියා.”

“මොකටද අව්වේ හිටියේ.... ඇතුලට වෙලා හිටියනම් මම ඇවිත් කතා කරනවානේ?”

“මම බලාගෙන හිටියේ මම අඳුරන අය කීප දෙනෙකුට ඔයාව අඳුන්වලා දෙන්න... කොහෙද ඔයා එනකොට ඒ අය ගිහින්... හැමෝම අහනවා යන්නේ නැද්ද කියලා... මට තරහේ බෑ...”

“අනේ මේ.... මම බය නෑ ඔයාගේ තරහවට....” මම කිව්වා.

මම කාර් එක ස්ටාට් කරන්න යනකොටම වයසක අම්මා කෙනෙක් ඇවිත් මාලිකා ඉන්න පැත්තෙන් කතා කළා.

මාලිකා වීදුරුව පාත් කළා.

“අනේ සුදු නෝනේ..... මගේ පුතාගේ නඩු ෆයිල් එක.....”

“ආ... ඒක මගේ ලඟ අම්මේ... මම කියපු විදිහට විසි දෙවෙනිදා උදේ එන්න... එදාට නඩුව කතා කරයි.... ෆයිල් එක මගේ ලඟ තිබුණ දෙන්...”

“අනේ නෝනේ.... ලබන සැරේ වත් රස්තියාදුවක් නැතුව කොල්ලව එළියට ගන්න පුළුවන් වෙයිද?”

“අපි උපරිම උත්සහ කරමු අම්මේ..... මේ වගේ කේස් වලට ඇප ගන්න ටිකක් අමාරුයි... ඒත් පුතා ඇත්තටම වැරැද්දක් කරලා නැති නිසා අපිට බැරිවෙන එකක් නෑ.. අම්මා බය නොවී ඉන්න... මම පුළුවන් උපරිම දේ කරනවා.....”

“සුදු නෝනේ.... නෝනා අපිට නෑදෑයෙක්වත් නොකරන උදව් කරන්නේ...”

“ඒක ලොකු දෙයක් නෙවෙයි අම්මේ.. විසි දෙවෙනිදා එන්නකෝ...”

මාලිකා එහෙම කියලා වීදුරුව වහන්න යනකොටම ඒ වයසක අම්මා රුපියල් දාහක් අතේ ගුලි කරලා මාලිකාට දුන්නා.

“සුදු නෝනේ.... මේ සතියේවත් ගාස්තුව ගන්න...”

ඒ අම්මා කිව්වා.

“එපා අම්මේ.... නඩුව කතා කළාට පස්සේ අපි සල්ලි ගැන බලමු. අදත්  නඩුව කල් ගියා විතරනේ.... මට සල්ලි එපා....”

“අනේ නෝනේ... මේ උසාවියේ එහෙම කවුරුවත් කරන්නේ නෑනේ.... මේ සල්ලි ගන්න නෝනේ.. නඩුව කතා කළාට පස්සේ මම ඒ ගාස්තුවත් කොහොම හරි ගෙවන්නම්.”

“මට එපා අම්මා... අම්මා දැන් යන්න... බස් එකේද යන්නේ?”

“ඔව් රත්තරන් සුදු නෝනේ... දැන් ඉතින් උඩුදුම්බරටම යන්න එපැයි.”

“අම්මා පරිස්සමින් යන්න... පුතාව බේරගන්න අපි බලමු.”

මාලිකා එහෙම කියලා වීදුරුව වැහුවා. මම කාර් එක ස්ටාට් කරගෙන පාරට දැම්මා.

“ඔයා නොමිලේත් නඩු කතා කරනවද?” මම ඇහුවා.

“ඇයි කාවින්ද?”

“නෑ... මම නම් දැකලා තියෙන විදිහට නඩුව කල් දැම්මත් ලෝයර් ගාස්තුව ගන්නවා. ඔයා ඇයි සල්ලි ගන්නේ නැත්තේ?”

“මම සල්ලි ගන්නවා කාවින්ද... සල්ලි තියෙන මිනිස්සුන්ගෙන්... ඒ වගේ දුප්පත් අම්මා කෙනෙකුගෙන් පුළුවන්ද නඩු වාරය කල් දැම්මා කියලා සල්ලි ගන්න.... සමහර විට ඒ මනුස්සයා මොන දුකක් විඳින්න ඇද්ද ඔය රුපියල් දාහ හොයන්න... මනුස්සයා මැරිලා, දුව බැඳලා දැන් සත පහක උදව්වක් නෑ.. ඒකම පුතා රස්තියාදු කාරයෙක් වෙලා, පිස්සු නටලා දැන් ලොකු හොරකමකට සැකකාරයෙක් වෙලා. අනිත් එක ඒ අම්මගේ හිත හදන්න ඇප ගන්න බලමු කිව්වට, මට සැකයි ඒක පුළුවන්ද කියලා. ඒ නිසා මට බෑ ඒ වගේ අයගෙන් සල්ලි ගන්න... ඔය රුපියල් දාහ නැතිවුනා කියලා අපිට කන්න බොන්න නැති වෙන්නේ නෑනේ කාවින්ද.. ඒ වුනාට සමහර විට ඔය අම්මට ඒක සතියක වියදම වෙන්න පුළුවන්.”

“ඔයා ටිකක් අමුතුයි...” මම කිව්වා.

“ඇයි කාවින්ද? මොකක්ද මගේ අමුත්ත?
“හරි ඔයා මනුස්ස කමට ඔහොම කරනවා කියමු... ඒත් අනිත් ලොයර්ස්ලා ඔයාට ප්‍රශ්ණ දාන්නේ නැද්ද...? ඔයා ඔහොම කරන කොට ඒ අයට පාඩුයිනේ...”

“ප්‍රශ්න කීපයක් ආවා. මම බය නෑ කාවින්ද.... සල්ලි ගන්නවද නැද්ද කියන එක තීරණය කරන්නේ මම...”

“කව්රුහරි කිව්වොත් ඔයා අළුත් නිසා නඩු අල්ලගෙන ෆේමස් වෙන්න තමා ඔහොම කරන්නේ කියලා...”

“කියපුදෙන්.. මගේ හිත දන්නවා මම කරන දේ... මම හිතක් පපුවක් තියෙන කෙල්ලෙක්.... මට බෑ ගිනි කන ලෝයර් කෙනෙක් වෙන්න....”

“එතකොට ඔයා දැන් තනියම නඩු කතා කරනවා?”

“ඔව් කාවින්ද.... හැමදාම ඇසිස්ටන් වැඩේ කරලා හරියන්නේ නෑ... දිනන්න හරි පරදින්න හරි මම නඩු කතා කරනවා. එකම දේ මට ක්ලයන්ට්ස්ලා ගොඩක් නෑ... මම අළුත් නිසා. අනිත් එක මට තාම මේක හොඳටම පුරුදු නෑ. මගේ යාළුවෙක් ඉන්නවා, මට වඩා අවුරුදු හයක් විතර සීනියර්. අපි දෙන්නා හිතාගෙන ඉන්නේ එකතු වෙලා ලෝ ෆර්ම් එකක් පටන් ගන්න. පොඩි ඔෆිස් එකක් ඇරලා වැඩේ කරගෙන යනවා.”

“ඔයාට තනියම කතා කරන්න කම්ෆිඩන්ස් තියෙනවද?”

“තාම නෑ... ඒකයි මම යාළුවාව එකතු කරගන්නේ....? දැනට මම එන නඩු බාරගන්නේ ගාස්තු බලලා නෙවෙයි. මට සල්ලි වලින් ලොකු ප්‍රශ්ණයක් නෑ දැනට... ඒ නිසා මම ආසයි දුප්පත් මිනිස්සුන්ට උදව්වක් විදිහට බොහොම අඩු මුදලකට නඩු කතා කරන්න...”

“ඔයා ඒ විදිහේ කෙනෙක් කියලා මම දැනගෙන හිටියේ නෑනේ.....”

“ඒවා කිය කිය ඉන්න ඕනේ දේවල් නෙවෙයි කාවින්ද..... මම හැමදාම ඒ වගේ තමයි. ඒක නෙවෙයි කාවින්ද... අපි මේ කොහෙද යන්නේ....?”

“අයිඩියා එකක් නෑ.... පාක් එකකට වත් යන්න බෑ.. ඔයා උසාවි අඳින ඇඳුම ඇඳලා නේ.”

“ඔව් අනේ.... මෙහෙම නම් ඒ වැඩ කරන්න බෑ. කාවින්ද අපිට ගිහින් ටිකක් කතා කර කර ඉඳලා හතට විතර ඩිනර් ගන්න හොඳ තැනක් නැද්ද?”

“ම්.... අපි යන ගමන් කල්පනා කරමු.... හොඳයි කියලා හිතෙන තැනකට යමු.”

“යමු...”

Friday, April 20, 2018

සදානුස්මරණිය ප්‍රථම ප්‍රේමය ~ මේ ආදරයයි ~ 126



සදානුස්මරණිය ප්‍රථම ප්‍රේමය


මේ ආදරයයි







126

ඊළඟ දවසේ උදේ මම නැගිට්ට ගමන් ප්ලෑන් එකක් කල්පනා කළා.

මොනව කරන්නත් තියෙන්නේ මාසයයි.

එකක් එරංග අයියගේ හොටෙල් එකේ වැඩේ ගොඩ දාලා දෙන්න ඕනේ. ඒක නම් දැනටම ගොඩක් දුරට ඉවරයි. සචියයි අමිලයි එකතු වෙලා මම හදලා දීපු ක්‍රමයට මැනේජ්මන්ට් එක ලස්සනට කරගෙන යනවා.

දෙවෙනි එක දිලිනි ඉන්න තැනක් දැනගන්න එක. එකම ක්‍රමයයි තියෙන්නේ.... ගිහාන්ගෙන් අහන එක. මට සියයට සියයක් විශ්වාසයි ගිහාන් දිලිනි ගැන මොනවම හරි දන්නවා. ඒත් ප්‍රශ්ණේ තියෙන්නේ අර සචියා කියනවා වගේ ඌත් මං වගේම කිසිම කෙනෙක් කියන දෙයක් අහන්නෙ නැති තමන් හරියි කියලා හිතන දේම කරන මුරණ්ඩු යකෙක්. ඒ නිසා උගෙන් හොඳින් ඇහුවා කියල නම් කිසිම දෙයක් දැනගන්න බෑ. ඒ කියන්නේ වෙන ක්‍රමයක් පාවිච්චි කරලා අහන්න වෙනවා. සචියගෙනුයි අමිලගෙනුයි ඒකට උදව් ගන්න වෙනවා.

ඒ නිසා මම කල්පනා කරන එක පැත්තක තියලා හොටෙල් එකට යන්න ලෑස්ති වුනා.

ඇත්තටම දැන් හොටෙල් එකේ වැඩ ලස්සකට වෙනවා. ඉස්සර වගේ කව්රුත් පීඩනයකින් වැඩ කරන්නේ නෑ. ඒ නිසා හැමෝම සතුටින් වැඩ කරනවා. මටත් ඕන වුනේ ඒක. වැඩ කරන අය සතුටින් වැඩ කරනකොට තමයි නියම සර්විස් එක එන්නේ. මම හදපු ක්‍රමයට නිසා ඒ වැඩේ ලේසි වුනා. ඇත්තට මට තිබුණේ පැත්තකට වෙලා වැඩ යන විදිහ බලාගෙන ඉන්න එක. ඉඳලා හිටලා විශේෂ දෙයක් දැනගන්න ඕනේ වුනොත් මිසක් මාව වැඩක්ම නැති වුනා. ඇත්තටම ඒ ගෞරවය දෙන්න ඕනේ සචියටයි අමිලටයි.

සෑ හෙන කාලෙකට පස්සේ එදා එරංග අයියා හොටෙල් එකට ආවා.

“මල්ලි වැඩේ ලස්සනට වෙනවා නේද... අපේ මල්ලි මට කිව්වා. උඹනම් මාර පොරක් බං....”
“ඇයි අයියේ?”

“නෑ මේ ටික කාලෙට උඹ මේ ඔක්කොම කරපු එකම මදෑ.”

“අයියෝ ඒ ගැන ප්‍රශ්ණයක් නෑ... ඔයාගේ ස්ටාෆ් එක හොඳයි... වැඩේට සම්පූර්ණ සහයෝගය දුන්නා. සචියයි අමිලයි නම් සම්පූර්ණයෙන්ම සපෝට් එක දුන්නා. උන් දෙන්නා දවල් රෑ නැතුව වැඩ කළා. ඉතින් අවුලක් නෑ. මම කළේ පොඩි දෙයක් විතරයි. වැඩ වෙන්න ඕනේ විදිහ පෙන්නලා දීපු එක.”

“ඒක තමා කාවින්ද මල්ලි වටින්නේ... උඹ දිගටම මෙහේ වැඩ කරපං... හොටෙල් එකේ අළුතින් හදපු කාමර ටික අපි ලබන සතියේ ඕපන් කරමු. ඊට පස්සේ මගේ තව අයිඩියා එකක් තියෙනවා අනුරාධපුරේ හොටෙල් එකක් කරන්න. උඹට ඒකත් බාර අරන් කරන්න පුළුවන්. මම දෙකෙන්ම පඩි දෙන්නම්.”

“අනුරාධපුරේ... අයියා මේ ඇති නේද? තව ඒවා අරන් කරන්නේ කොහොමද?”

“අපි කොහොම හරි කරමු බං.... මම මේ ෆීල්ඩ් එකට ආසයි. සල්ලිම නෙවෙයි,... මගේ හීනේ කවදාහරි මේ රට වටේම මගේ හොටෙල් තියෙන එක.”

“අම්මා.... නරක නෑ බිස්නස් අයිඩියා එක.... ඒත් ඔච්චර වැඩ ඔළුවට දාගන්න එපා... ජීවිතේ කිසිම නිදහසක් නැති වෙයි.”

“එහෙම වෙන්නෑ කාවින්ද මල්ලි... මේක සල්ලි වලට වඩා මගේ ආසාව... මගේ හීනේ. ඒකයි මම උඹට කියන්නේ දිගටම මාත් එක්ක ඉන්න කියලා.”

“බලමු අයියේ.. දැනට මම කරගෙන යන්නම්. තාම වෙන දෙයක් කරන්න මගේ අයිඩියා එකක් නෑ. ඒත් මට යන්න හිතෙන දවසට අයියා මට යන්න දෙන්න ඕනේ. ඒ පොරොන්දුව රකිනවානම් මම මට ඇතිවෙනකම් අයියා එක්ක වැඩ කරන්නම්.”

“උඹ නම් මාර අවුල් කේස් එකක් බං... ඒ පාර මොනවද කරන්න හදන්නේ... හරි කමක් නෑ.... උඹගේ කන්ඩිෂන් වලට එකඟයි...”

ඇත්තටම මගේ අදහස වුනේ ටික දවසකින් මේකෙන් අයින්වෙලා දිලිනි හොයන වැඩේ පටන් ගන්න. ඒකට මට ගිහාන්ව හොයාගන්න වෙනවා මුලින්ම. ඌ තව කී කාලයක් ලංකාවේ ඉඳීද දන්නේ නැති නිසා ඉක්මන් වෙන්න වෙනවා. හොටෙල් එකේ වැඩ එක්ක ඒක කරන්න අමාරුයි.

කොහොම වුනත් මම සචියව මේ හැමදේටම පුරුදු කළා. මොන හේතුවකට හරි මට යන්න වුනොත් සචියට පුළුවන් දැන් මගේ වැඩ ටික කරගෙන යන්න.

මේ හැම වැඩක්ම අතරේ මාලිකාත් හැමදාම වගේ මට කෝල් කළා. දවස් කීපයකට වතාවක් අපි හම්බවෙලා කතා කළා.

ඒ අතරේ එක දවසක් මම මාලිකාව දිලිනි මට දුන්න ගෙදරට එක්කගෙන ගියා.

“කාවින්ද.... මේ ගේ කාගෙද?”

“මගේ....”

“මට පැහැදිලි නෑ... ඔයාගේ අම්මා ඔහොම කතාවක් මට කිව්වෙ නෑනේ.”

“මේක මගේ යාළුවෙකුගේ.... එයා ලංකාවෙන් ගියා ආයෙත් නොඑන්නම.. ඉතින් ගේ මට දීලා ගියා.”

“ඒක වෙන්න පුළුවන් දෙයක්ද කාවින්ද... යාළුවෙක් පිටරට යනවා නම් නොඑන්නම් ගේ විකුණලා සල්ලි අරගෙන යයි... ඒත් ඇයි කෙනෙක් එහෙම නොකර මේක ඔයාට දීලා යන්නේ.”

‘අනේ මාලිකා මේ... ඔයා ලෝයර් කෙනෙක් උසාවියේ ප්‍රශ්ණ අහනවා වගේ මගෙන් ප්‍රශ්ණ අහන්න එපා. දැන් මේක මගේ... මම කාවවත් බය කරලා වත් රවට්ටලා වත් නෙවෙයි ගත්තේ. මට තෑග්ගක් හම්බවුන එකක්. ඒ නිසා ප්‍රශ්ණ අහන්නේ නැතුව ඉන්න. ප්ලීස්.”

“සොරි... ඔයාව අවිශ්වාස කළා නෙවෙයි.... ඒත් මේක මට විශ්වාස කරන්න අමාරුයි. මේ තරම් හොඳ ලස්සන ගෙයක් ඔයාට ලැබුණා කිව්වහම. කොහොම වුනත් කමක් නෑ.... ඔයා ගේ නම් ලස්සනට තියාගෙන ඉන්නවා.”

‘මට ලැබෙනකොටත් මේක මෙහෙමම තිබුණේ.... මේ බඩු මුට්ටුත් එක්ක....”

“නියමයිනේ... ඔයා නම් මාර වාසනාවන්තයි.”

මාලිකා එහෙම කිව්වත් හැම දෙයක් දිහාම සැකෙන් බලනවා මම දැක්කා.

“ඒක නෙවෙයි කාවින්ද ඔයාගේ මේ යාළුවා ගෑණූ කෙනෙක් නේද?”

“ඇයි...?”

“නෑ මට ඒක බැලුවාම තේරෙනවා. කොල්ලෙකුට බෑ මේ වගේ ගෙයක් මෙච්චර ලස්සනට තියාගෙන ඉන්න... කෙල්ලෙක් වුනත් එයා හරිම ස්පෙෂල් කෙනෙක් වෙන්න ඇති... නැත්නම් ලංකාවේ මේ කොලිටි එකට ගෙයක් නඩත්තු කරන්න ලේසි නෑ.”

“ඔව්.. එයා විශේෂ කෙනෙක් තමා. මම කලින් යාළු වෙලා හිටපු ගෑණු ළමයා...”

“කව්ද.... අර.... අම්මා කිව්වේ....”

“ඔව්... එයා තමා.... අම්මා නම් ඔයත් එක්ක එයාට බනින්න ඇති දහ අතේ... හැබැයි මේ කාර් එකයි ගේයි දෙකම එයා මගේ නමට ලියලා තමයි ගිහින් තියෙන්නේ. මම කැමැත්තෙන් හිටියේ නෑ මේවා පාවිච්චි කරන්න... ඒත් එයා මට දීපු දෙයක් විකුණන්න අයිතියක් මට නෑ. පාවිච්චි නොකළොත් නාස්ති වෙනවා. ඒ නිසා මම හිතාගත්ත ඒවා පාවිච්චි කරන්න.”

“පුදුම කෙනෙක්.... ඔයා දැන් එයා ගැන මොකද හිතන්නේ කාවින්ද?”

“හිතන්න දෙයක් නෑ... එයා ආයෙත් එන්නේ නෑ.... එනවනම් එන්න කල් හොඳටම ඇති. ඒ නිසා මම දැන් ඒ ගැන වැඩිය හිතන්නේ නෑ.. අනික ආවත් මගේ අම්මා කැමති වෙන්නෙ නෑ මේකට... ඒ නිසා වැඩක් නෑ... අපි අමතක කරලා දාමු.”

“එතකොට අම්මා මේ ගේ ගැන, කාර් එක ගැන දන්නේ නැද්ද?”

“නෑ... ප්ලීස් ඔයත් කියන්න එපා ඒවා කාගෙද කියලා. මේක මම ඔයාට කිව්වේ මට ඔයාව විශ්වාස නිසා.”

හොටෙල් එකේ වැඩයි, මාලිකා එක්ක ගත කරපු දවසුයි නිසා හරියටම මාසයක් ගතවෙන කොටත් මට දිලිනිව හොයන එක ගැන කිසිම දෙයක් කරන්න බැරි වුනා. ලොකුම හේතුව වුනේ ගිහාන් ලංකාවෙන් යන්න ගිහිල්ලා තිබුණ එක.

ඒ සති අන්තයේ සෙනසුරාදා, අම්මා මට කෝල් එකක් දාලා ගෙදර ගෙන්නා ගත්තා.

“පුතා... ලෑස්ති වෙන්න මාලිකා දරුවගේ ගෙදර යන්න... ඔයාගේ තීරණය අපිට දැනගන්න කාලේ දැන් හරි.”

අම්මා එහෙම කිව්වහම මට හිතුනා තවත් මේක ඇදගෙන ගිහින් වැඩක් නෑ කියලා. ඒ නිසා මම කතාබහක් නැතුවම ලෑස්ති වෙලා... කාර් එකට නැගලා අම්මයි තාත්තයි එක්ක පිටත් වුනා.

මාලිකාගේ අම්මා අපිව ආදරයෙන් පිළිගත්තා. අම්මලා කතා කරන අතරේ මම මාලිකාත් එක්ක පැත්තකට වුනා.

“මාලිකා.... මම දැන් මොනවද කියන්න ඕනේ...?”

“ඔයානේ තීරණය කරනවා කිව්වේ... ඔයා කියන්න ඔයා මට කැමතිද නැද්ද කියලා.”

“ඒ වුනාට මට තීරණයක් ගන්න බැරිවුනා මාලිකා.”

“එහෙනම් අදත් මොනවත් නොකියා යන්න.”

“එහෙම නෙවෙයි ඩාලිං.... ඔයාගේ අදහස මොකක්ද අපි දෙන්නා ගැන. අපි දෙන්න ගැලපෙනවද? මැරි කරලා අපිට ජීවිත කාලෙම ආදරෙන් ඉන්න පුළුවන් වෙයිද?”

“ඇයි කාවින්ද ඔයා ඕව මගෙන් අහන්නේ..... ඔයා තමයි තීරණය කරන්න ඕනේ. මොකද ඔය ප්‍රශ්ණ හැම එකකටම මම ඔයාව අඳුරගෙන ටික දවසකින්ම උත්තර හොයා ගත්තා.”

“හරි... හරි.... කියන්නකෝ මොනවද ඒ උත්තර.”

“උත්තරේ හැම එකකටම ඔව් කියන එක.”

“ඔයාට මාව විශ්වාසද මාලිකා....”

“ඔව්.... ඔයා හිතේ එකක් තියාගෙන තව එකක් කරන ජාතියේ කෙනෙක් නොවන බව මම හොඳටම දන්නවා. ඒ නිසා මට ඔයාව විශ්වාසයි. අනිත් එක කාවින්ද.... ඔයාගේ හැම දේකටම මම ආදරය කරන්න පටන් අරන් ගොඩක් කල්.”

මාලිකා ඒක කෙලින්ම කියලා දැම්මා. ඒ කියන්නේ දැන් මම තමා කිසිම තීරණයක් නැතුව වැනෙන එකා. කල්පනා කරපං හිත... කල්පනා කරපං...

අපි කතා කර කර ඉන්න අතරේ මාලිකාගේ නංගි ඇවිත් අපිට තේ බොන්න කතා කළා.
ඒත් එක්කම මාලිකා මගේ අතින් ඇදගෙන ගේ ඇතුලට ආවා.

“ඔන්න උත්තර දෙන්න අපේ අම්මට.... එකක් මතක තියාගන්න... මම ඔයාව දැක්ක පලවෙනි දවසේ ඉඳලාම ඔයාට කැමති වුනා. ඔයාට ආදරේ කළා.”

මාලිකා මගේ කණට කරලා කිව්වා.

මම රූකඩයක් වගේ ඉඳගත්තා. ජීවිතේ කවදාවත් මේ වගේ තත්වෙකට මම පත්වෙලා නෑ. සචියා දැක්කනම් මම ඉන්න විදිහ ඌ කටින් නෙවෙයි අනිත් පැත්තෙනුත් හිනා වෙයි.
“පුතා එන්න තේකක් බොමු...” මාලිකාගේ අම්මා මට ආදරෙන් කතා කළා.

ඒ අතරේ මාලිකාගේ තාත්තා මට කතා කළා.

“පුතා... දැන් මාසයක් ගතවුනා... ඔයාට පුළුවන් වුනාට තීරණයක් ගන්න. නැත්නම් තව කල් ඕනෙද?”

“නෑ එපා අංකල්.... මම කැමතියි මාලිකාව මැරි කරන්න....!!!!!!”


සදානුස්මරණිය ප්‍රථම ප්‍රේමය ~ මේ ආදරයයි ~ 125




සදානුස්මරණිය ප්‍රථම ප්‍රේමය


මේ ආදරයයි



125

අවුරුදු ගාණකට පස්සේ ලයාංගි ආයෙත් මගේ ජීවිතේට එන්න හදනවා. මමත් මොන කරුමයකට කර ගහලද මන්දා, එකක් යන්තම් විසඳගෙන එනකොට තව එකක් පටන් ගන්නවා.

ලයාංගි පුදුම හොඳ ගතිගුණ තියෙන කෙල්ලෙක්... ඒත් දිනිට වගේම තමයි මගේ හිතේ එයාට ඉඩ වෙන් වෙලා නෑ.

“කාවා.... උඹ යන්න එපා ඔය කෙල්ලවත් හම්බවෙන්න..... එකක් ඉවර වෙනකොට තව මරාලයක් පැටලෙන්න එනවා. ගිහාන් එක්ක දාගත්ත වලි ඉවර වෙන්නත් කලින් උඹට අර ලයාංගිගේ පොරත් එක්කත් පැටලෙන්න තමා වෙන්නේ.”

“මම පොරොන්දු වුනා බං එනවා කියලා... කොහොමද බං මග අරින්නේ?”

“ඕකනේ බං... උඹේ හිත හොඳ වැඩී... ඉල්ලං කනවා. උඹ අමතක වුන ගාණට මෙන්න මේ වැඩක් බලාගෙන හිටපං. කෙල්ල කතා කළොත් පොඩ්ඩක් කතා කරලා, අම්බානක බිසී වගේ පෙන්නලා හිටපං. ටික දවසක් යනකොට කෙල්ලටම ඇති වෙලා අමතක කරලා දායි.”

“උඹ ලයාංගි ගැන දන්නෑ... ඒකි එහෙම අතෑරලා දාන කෙල්ලෙක් නෙවෙයි.”

“අනේ පලයං බං යන්න... මුල කාලේ උඹ වැඩි කැමැත්තක් පෙන්නුවේ නැති වුනාම තාත්තා එක්ක ඉතාලියට ගියා. ඇයි උඹ පස්සේ යනවට වඩා ඒක මාරයිනේ. ඊට පස්සේ උඹ උන්නද මලාද කියලා හොයල බැලුවද? මම කියන්නේ එක දෙයයි... යන්න එපා.”

කවුරු මොනව කිව්වත් හිතාගත්ත දෙයක් මම කරන නිසා, මම ඊළඟ දවසෙම ලයාංගිට කතා කළා.

අපි දෙන්නා එදාම හවස පාක් එකේදි හම්බ වුනා.

අපි දෙන්නා ගොඩක් දේවල් කතා කළා. මම මට වුන හැම දෙයක්ම ලයාංගි ට කිව්වා. අන්තිමට එයා ගියේ මට දිලිනිව හොයාගන්න උදව් කරනවා කියලා. තාත්තා විදේශ අමාත්‍යාංශයේ ලොකු තනතුරක් දරන නිසාත්. ලයාංගිත් දැන් වැඩ කරන්නේ එතනම නිසා එයා කිව්වේ එයාට පිට රටවල වුනත් දිලිනි ගැන හොයල බලන්න පුළුවන් කියලා.
ඒ මොන තරම් දේවල් කිව්වත් ලයාංගිගේ හිතේ තාම මං ගැන හැඟීමක් තියෙන බව මට දැනුනා.

“උඹ නම් හැදෙන එකෙක් නෙවෙයි කාවා... ඒ පාර ගියා නේද ලයාංගි එක්ක....” මම ලයාංගිව හම්බවුනා කියලා දැනගත්ත ගමන් සචියා කිව්වා.

“ඒක නිකං චැට් එකක් විතරයි. අපි දෙන්නා අතරේ වෙන දෙයක් නෑ කියලා උඹ දන්නවනේ.”

සති අන්තේ මම ගෙදර ගියා.

එදාම මාලිකා ගේ දෙමව්පියෝ අපේ ගෙදර ආවා. අහම්බයකින් ආවා වගේ පෙනුනත් ඒ ආවේ අපි දෙන්නගේ යොජනාව ගැන කතා කරගන්න කියලා මට තේරුණා.

අම්මලා තාත්තලා කතා කර කර තේ බොන අතරේ මාලිකා මාත් එක්ක මිදුලට ආවා.

“කාවින්ද.... අම්මලා කිව්වා ඇවිත් ඔයාගේ අදහස දැනගෙන ගියොත් හොඳයි කියාලා. ඇත්තටම මම නම් කිව්වා තව ටිකක් කල් දෙන්න කියලා... ඒත් අම්මලා දන්නවනේ...”

“කමක් නෑ... ඒ අයට අයිතියක් තියෙනවනේ. අපි දෙන්නා අදුරගෙනත් දැන් මාස දෙකක් විතර ගතවෙලා නේද,?”

“කාවින්ද වැරදි විදිහට හිතන්න එපා මෙහෙම කිව්වට, අපි දෙන්නා කොච්චර දවසක් හම්බවුනත්, කතා කළත්, මට හිතෙනවා ඔයා ගේ හිත වෙන තැනක කියලා. මම ඔයාගේ අතීතේ ගැන කිසි දෙයක් දන්නේ නෑ, ඒත් මට හිතෙනවා ඔයා මාත් එක්ක ඉන්න වෙලාවට වුනත් සම්පූර්ණයෙන්ම මාත් එක්ක නෑ කියලා. ඒ නිසා මම අම්මලාට කිව්වා තව ටිකක් කල් දෙන්න කියලා.”

මාලිකාට මගේ වෙනසක් පේන්න ඇති. එයාව හම්බවෙන හැම වෙලාවකම මට දිලිනිව මතක් වෙනවා. මාලිකාගේ ගොඩක් ගතිගුණ දිලිනිට සමානයි. ඉතින් එයා හම්බවෙන හැම වෙලාවකම මම කල්පනා කරන්න පටන් ගන්නවා. ඒක මාලිකාට තේරිලා වගේ.

“ඇයි කාවින්ද කතා නැත්තේ... දැක්කද ඔයා දැනුත් වෙන දෙයක් ගැන කල්පනා කරනවා.”

“නෑ... නෑ.... මම ඔයාට දෙන උත්තරේ මොකක්ද කියලා මම හිතුවේ. ඔයා දන්නවනේ මට වුන දේ.... එයින් පස්සේ මට ටිකක් බයයි ආදරේ කරන්න.”

“බය වෙන්න එපා... මට ඒ වගේ ප්‍රශ්ණ නෑ.. ඒ නිසා ඒ ගැන සැකයක් ඇති කරගන්න එපා. ඒක නෙවෙයි දැන් අපේ අම්මා ඇහුවොත් ඔයා මොකද කියන්නේ?”

“බලමු.....”

“අන්න හොරා ආයෙත් මග අරිනවා.”

“නෑ... අම්මා ඇහුවොත් මම දෙන උත්තරේ ඔයාට කියලා වැඩක් නෑනේ. ඔයා බය නැතුව ඉන්න බබෝ...”

මම ඒක කියලා ඉවරකරන කොටම අම්මා කතා කළා.

“ඇයි අම්මා.?”

“එන්නකෝ... මේ ආන්ටි කතා කරනවා.”

මම මාලිකාගේ අම්මා දිහා බැලුවා.

“පුතේ එන්න ටිකක්... මගේ ලඟින් ඉඳගන්න.”

මම මාලිකා ගේ අම්මා ලඟින් ඉඳ ගත්තා.

දැන් කොහොමද ඔයාගේ වැඩ කටයුතු. මාලිකා නම් කියනවා වැඩමයි කියලා.”

“ඔව් ආන්ටි.... ටිකක් දුරට බිසී. මගේ යාළුවෙකුට උදව් කරනවා. එයා ටිකක් ලොකු හොටෙල් දෙකක් කරනවා. තනියම කරගන්න බැරි නිසා මම එකක මැනේජ්මන්ට් එක බලනවා.”

“ආ.... ඒක හොඳම වැඩක් නේ..... මොනවද ඔයාගේ අනිත් තොරතුරු. ආපහු යන අදහස වෙනස් වුනාද?”

“ටික කාලයක් ලංකාවේ ඉන්නවා ආන්ටි. හැබැයි මම කොහොමත් ආපහු ඇමරිකාවට යනවා. ලංකාවේ දිගටම ඉන්න අදහසක් නෑ.”

මම අවංකවම මගේ අදහස කිව්වා.

“ඒ මොකද දරුවෝ... උපන් රට එපා වෙලාද?”

“ඇත්තටම ආන්ටි... මට එපා වුනා. මෙහේ කවුරුත් අනිත් කෙනාට රෙස්පෙක්ට් කරන්නේ නැහැ. කරනවා නම් ඒ වාසියක් බලාගෙන විතරයි. එකෙක් උඩට යනකොට බලාගෙන ඉන්න බෑ, තමන්ට කොච්චර තිබුණත් තව එකෙක් දියුනු වෙනවට කැමති නෑ. කිසිම ඩිසිප්ලීන් එකක් නෑ... ඉතින් එපා නොවී තියෙයිද ආන්ටි.”

මම එහෙම කිව්වහම මාලිකාගේ තාත්තත් කතාවට එකතු වුනා.

“ඒ කියන්නේ ලංකාවේ මිනිස්සු කිසිම වැදගැම්මකට නෑ.”

“හැමෝම නෙවෙයි අංකල්... හැබැයි බහුතරය එහෙමයි. වැඩි දෙනෙක් ලංකාවෙන් පිට වෙන දේවල් දන්නේ නෑ.... වෙන රටවල මිනිස්සු ග්‍රහලෝකවලට යන්න ක්‍රම හොයනකොට අපි ඒ ග්‍රහලෝක වලට බයේ පන්සල් පල්ලි කෝවිල් යනවා. වැඩි දෙනෙක් මහන්සි වෙලා වැඩ නොකර නිකං ඉඳලා ගාණක් කපා ගන්න බලන්නේ. ඉතින් අංකල් අපි තව අවුරුදු සීයයකටවත් දියුණු වෙයි කියල හිතනවද?”

“කතාව නම් ඇත්ත... ඒත් පුතාගේ වයසේ තරුණ ළමයෙක් ඔහොම කතා කරනවා මම දැකලම නෑ.”

මම හිනා වුනා.

“ඒක නෙවෙයි දරුවෝ... ඔයා දැන් මොනවද අපේ දුව ගැන හිතන්නේ.” මාලිකාගේ අම්මා එහෙම ඇහුවම මම කෙලින්ම මාලිකාගේ මූණ බැලුවා.

‘ඔන්න දැන් උත්තර දෙන්න!’ මාලිකාගේ මූණේ ඒ වගේ දෙයක් ලියවිලා තිබුණා.

“හොඳයි....!”

“එහෙම නිකංම හොඳයි කියලා බෑ පුතේ. දැන් ඔය දෙන්නා මාස දෙකක් විතර ආශ්‍රය කළානේ... ඔයා මේ ප්‍රපෝසල් එකට කැමතිද නැද්ද කියලා අපිට දැනගන්න ඕනේ.”

“ආන්ටි... මාලිකා මොකද කිව්වේ....?”

“එයත් අපි අහන කිසි දේකට උත්තර දෙන්නෑ. මම මොනවා ඇහුවත් හෙමීට ලිස්සලා යනවා. දැන් ඔයාවත් අපිට කියන්න අපි මොකද කරන්න ඕනේ කියලා.”

“ආන්ටි මට මාසයක් විතරක් දෙන්න... මම උත්තරයක් දෙන්නම්.”

මම කෙලින්ම කිව්වා. මට ඕනේ වුනේ දිලිනි ගැන තව එකම එක උත්සහයක් දාලා හොයල බලන්න. ඊට පස්සේ ඒ ප්‍රතිපල අනුව මම තීරණයක් ගන්නවා.

“හොඳයි දරුවෝ... මෙච්චර කල් හිටපු එකේ තව මාසයක් කියන්නේ ලොකු කාලයක් නෙවෙයි නේ.”

මාලිකාගේ අම්මා කිව්වා.

“ඔයා බය වෙන්න එපා ස්වරණා..... කාවින්ද හොඳ තීරණයක් ගනී. දැනුම් තේරුම් තියෙන, හොඳ නරක වැටහෙන දරුවෙක්නේ...” මාලිකාගේ තාත්තා කිව්වා.

“කසාදයක් කියන්නේ සෙල්ලමක් නෙවෙයි... ඒ නිසා කාවින්ද පුතා කල් ගත්තට කමක් නෑ.... හොඳ තීරණයක් ගන්න.... දෙන්නෙක් බඳිනවානම් දෙන්නම සියයට සියයක් කැමති වෙන්න ඕනේ.... එහෙම නැතිවුනොත් වැඩි කලක් එකට ඉන්නේ නෑ.ඒ නිසා පොඩි හරි අකමැත්තක් තියෙනවා නම් අපිට කෙලින්ම කියන්න. අපි මේ යෝජනාව අයින් කරගන්නම්. ඒක ගැන බය වෙන්න එපා. අපේ පවුල් දෙකේ යාළුකම ඒකෙන් වෙනස් වෙන්නේ නෑ. කාවින්දගේ අම්මා කැම්පස් ඉඳලා මගේ යාළුවෙක්... මේ මොන දේ සිද්ධ වුනත් නොවුනත් ඒ මිතුරු කම් වෙනස් වෙන්නේ නෑ.... ඒ නිසා හොඳට හිතලා පුතා තීරණයක් ගන්න. අපි කාගෙන්වත් බලපෑමක් නෑ.”

“තෑන්ක් යූ වෙරි මච් ආන්ටි.... මම කිව්වා වගේම මම ඉක්මණටම උත්තරයක් දෙන්නම්. ඊට කළින් මට කරන්න එකම එක වැඩක් තියෙනවා. ඒක ඉවර කරගත්ත ගමන් මම උත්තරයක් දෙන්නම්.” මම පොරොන්දු වුනා.

මාලිකා ගෙදර අයත් එක්ක ආපහු ගියාට පස්සේ අම්මා මාව අල්ල ගත්තා.

“ඇයි ලොකු පුතා ඔයා තවත් කල් ඉල්ලන්නේ? ඔයාට තිබුණනේ කැමැත්ත දෙන්න... මාලිකා කොච්චර හොඳ දරුවෙක්ද? අනික ඔය දෙන්නා දැන් සෑහෙන කාලයක් ආශ්‍රය කළානේ. දෙන්නා ගමන් බිමන් යන්නේ එකට, කන්නේ බොන්නේ එකට... නිවාඩු දවස් වල හම්බ වෙනවා. ඉතින් ඔයා අකමැති නම් එහෙම කරන්නේ ඇයි?”

“අම්මා.... එයා මට කතා කරනවා. ඉතින් අපි හම්බවෙනවා. එහෙම වුනා කියලා මම කැමති වෙන්නම ඕනේ කියලා නෑනේ?”

“ඒ කියන්නේ දැන් ඔය ඒකටත් අකමැති වෙන්නද හදන්නේ. මේ තරම් කල් ආශ්‍රය කරලා අකමැතියි කිව්වොත් අපේ හිතවත් කම් ඔක්කොම ඉවරයි. ඒ දරුවා කොච්චර පව්ද?”
“අම්මා... ස්වර්ණා ආන්ටි කිව්වනේ මම මොන තීරණේ ගත්තත් ඒක අම්මගෙයි එයාගෙයි යාළුකමට ඒක බලපාන්නේ නෑ කියලා.”

“ඒක හරි... ඒ වුනාට මට මූණ දෙන්න බෑ.”

“එතකොට අම්මා කියන්නේ මම සම්පූර්ණ කැමැත්තක් නැතුව මාලිකාව බැඳලා පස්සේ කාලෙක එපා වුනොත් වෙන් වුනත් කමක් නෑ කියලද?”

“මොනවද පුතා මේ කියවන්නේ... ඔයා මාලිකාට සම්පූර්ණ කැමැත්ත නෑ කියලා කව්රු ගැනද බලාගෙන ඉන්නේ? මොකක්ද මේ කරන විකාරේ....?”

“කව්රු ගැනවත් බලාගෙන නෑ අම්මා. හැබැයි මම හිතට එකඟව තීරණයක් ගන්නවා.”

“මොනවද තවත් එකඟ කරගන්න තියෙන්නේ...? ඔයාට වෙන ගෑණූ ළමයෙක් නෑනේ..... ඉතින් මොනවද බලාගෙන ඉන්නේ?”

“අම්මා... මම මාසයක් ඉල්ලුවානේ.... එතකං ඉවසලා ඉන්න.”

“මම දන්නෑ ඔයාගේ වැඩ... කැමති දෙයක් කරන්න... හැබැයි එකක් මතක තියාගන්න... අපි අකමැති දෙයක් කරොත් නම් එදා ඉඳලා අම්මා තාත්තා ඔයාට නෑ කියලා හිතාගන්න.”

අම්ම අන්තිම තර්ජනය දැම්මා!