Friday, April 20, 2018

සදානුස්මරණිය ප්‍රථම ප්‍රේමය ~ මේ ආදරයයි ~ 125




සදානුස්මරණිය ප්‍රථම ප්‍රේමය


මේ ආදරයයි



125

අවුරුදු ගාණකට පස්සේ ලයාංගි ආයෙත් මගේ ජීවිතේට එන්න හදනවා. මමත් මොන කරුමයකට කර ගහලද මන්දා, එකක් යන්තම් විසඳගෙන එනකොට තව එකක් පටන් ගන්නවා.

ලයාංගි පුදුම හොඳ ගතිගුණ තියෙන කෙල්ලෙක්... ඒත් දිනිට වගේම තමයි මගේ හිතේ එයාට ඉඩ වෙන් වෙලා නෑ.

“කාවා.... උඹ යන්න එපා ඔය කෙල්ලවත් හම්බවෙන්න..... එකක් ඉවර වෙනකොට තව මරාලයක් පැටලෙන්න එනවා. ගිහාන් එක්ක දාගත්ත වලි ඉවර වෙන්නත් කලින් උඹට අර ලයාංගිගේ පොරත් එක්කත් පැටලෙන්න තමා වෙන්නේ.”

“මම පොරොන්දු වුනා බං එනවා කියලා... කොහොමද බං මග අරින්නේ?”

“ඕකනේ බං... උඹේ හිත හොඳ වැඩී... ඉල්ලං කනවා. උඹ අමතක වුන ගාණට මෙන්න මේ වැඩක් බලාගෙන හිටපං. කෙල්ල කතා කළොත් පොඩ්ඩක් කතා කරලා, අම්බානක බිසී වගේ පෙන්නලා හිටපං. ටික දවසක් යනකොට කෙල්ලටම ඇති වෙලා අමතක කරලා දායි.”

“උඹ ලයාංගි ගැන දන්නෑ... ඒකි එහෙම අතෑරලා දාන කෙල්ලෙක් නෙවෙයි.”

“අනේ පලයං බං යන්න... මුල කාලේ උඹ වැඩි කැමැත්තක් පෙන්නුවේ නැති වුනාම තාත්තා එක්ක ඉතාලියට ගියා. ඇයි උඹ පස්සේ යනවට වඩා ඒක මාරයිනේ. ඊට පස්සේ උඹ උන්නද මලාද කියලා හොයල බැලුවද? මම කියන්නේ එක දෙයයි... යන්න එපා.”

කවුරු මොනව කිව්වත් හිතාගත්ත දෙයක් මම කරන නිසා, මම ඊළඟ දවසෙම ලයාංගිට කතා කළා.

අපි දෙන්නා එදාම හවස පාක් එකේදි හම්බ වුනා.

අපි දෙන්නා ගොඩක් දේවල් කතා කළා. මම මට වුන හැම දෙයක්ම ලයාංගි ට කිව්වා. අන්තිමට එයා ගියේ මට දිලිනිව හොයාගන්න උදව් කරනවා කියලා. තාත්තා විදේශ අමාත්‍යාංශයේ ලොකු තනතුරක් දරන නිසාත්. ලයාංගිත් දැන් වැඩ කරන්නේ එතනම නිසා එයා කිව්වේ එයාට පිට රටවල වුනත් දිලිනි ගැන හොයල බලන්න පුළුවන් කියලා.
ඒ මොන තරම් දේවල් කිව්වත් ලයාංගිගේ හිතේ තාම මං ගැන හැඟීමක් තියෙන බව මට දැනුනා.

“උඹ නම් හැදෙන එකෙක් නෙවෙයි කාවා... ඒ පාර ගියා නේද ලයාංගි එක්ක....” මම ලයාංගිව හම්බවුනා කියලා දැනගත්ත ගමන් සචියා කිව්වා.

“ඒක නිකං චැට් එකක් විතරයි. අපි දෙන්නා අතරේ වෙන දෙයක් නෑ කියලා උඹ දන්නවනේ.”

සති අන්තේ මම ගෙදර ගියා.

එදාම මාලිකා ගේ දෙමව්පියෝ අපේ ගෙදර ආවා. අහම්බයකින් ආවා වගේ පෙනුනත් ඒ ආවේ අපි දෙන්නගේ යොජනාව ගැන කතා කරගන්න කියලා මට තේරුණා.

අම්මලා තාත්තලා කතා කර කර තේ බොන අතරේ මාලිකා මාත් එක්ක මිදුලට ආවා.

“කාවින්ද.... අම්මලා කිව්වා ඇවිත් ඔයාගේ අදහස දැනගෙන ගියොත් හොඳයි කියාලා. ඇත්තටම මම නම් කිව්වා තව ටිකක් කල් දෙන්න කියලා... ඒත් අම්මලා දන්නවනේ...”

“කමක් නෑ... ඒ අයට අයිතියක් තියෙනවනේ. අපි දෙන්නා අදුරගෙනත් දැන් මාස දෙකක් විතර ගතවෙලා නේද,?”

“කාවින්ද වැරදි විදිහට හිතන්න එපා මෙහෙම කිව්වට, අපි දෙන්නා කොච්චර දවසක් හම්බවුනත්, කතා කළත්, මට හිතෙනවා ඔයා ගේ හිත වෙන තැනක කියලා. මම ඔයාගේ අතීතේ ගැන කිසි දෙයක් දන්නේ නෑ, ඒත් මට හිතෙනවා ඔයා මාත් එක්ක ඉන්න වෙලාවට වුනත් සම්පූර්ණයෙන්ම මාත් එක්ක නෑ කියලා. ඒ නිසා මම අම්මලාට කිව්වා තව ටිකක් කල් දෙන්න කියලා.”

මාලිකාට මගේ වෙනසක් පේන්න ඇති. එයාව හම්බවෙන හැම වෙලාවකම මට දිලිනිව මතක් වෙනවා. මාලිකාගේ ගොඩක් ගතිගුණ දිලිනිට සමානයි. ඉතින් එයා හම්බවෙන හැම වෙලාවකම මම කල්පනා කරන්න පටන් ගන්නවා. ඒක මාලිකාට තේරිලා වගේ.

“ඇයි කාවින්ද කතා නැත්තේ... දැක්කද ඔයා දැනුත් වෙන දෙයක් ගැන කල්පනා කරනවා.”

“නෑ... නෑ.... මම ඔයාට දෙන උත්තරේ මොකක්ද කියලා මම හිතුවේ. ඔයා දන්නවනේ මට වුන දේ.... එයින් පස්සේ මට ටිකක් බයයි ආදරේ කරන්න.”

“බය වෙන්න එපා... මට ඒ වගේ ප්‍රශ්ණ නෑ.. ඒ නිසා ඒ ගැන සැකයක් ඇති කරගන්න එපා. ඒක නෙවෙයි දැන් අපේ අම්මා ඇහුවොත් ඔයා මොකද කියන්නේ?”

“බලමු.....”

“අන්න හොරා ආයෙත් මග අරිනවා.”

“නෑ... අම්මා ඇහුවොත් මම දෙන උත්තරේ ඔයාට කියලා වැඩක් නෑනේ. ඔයා බය නැතුව ඉන්න බබෝ...”

මම ඒක කියලා ඉවරකරන කොටම අම්මා කතා කළා.

“ඇයි අම්මා.?”

“එන්නකෝ... මේ ආන්ටි කතා කරනවා.”

මම මාලිකාගේ අම්මා දිහා බැලුවා.

“පුතේ එන්න ටිකක්... මගේ ලඟින් ඉඳගන්න.”

මම මාලිකා ගේ අම්මා ලඟින් ඉඳ ගත්තා.

දැන් කොහොමද ඔයාගේ වැඩ කටයුතු. මාලිකා නම් කියනවා වැඩමයි කියලා.”

“ඔව් ආන්ටි.... ටිකක් දුරට බිසී. මගේ යාළුවෙකුට උදව් කරනවා. එයා ටිකක් ලොකු හොටෙල් දෙකක් කරනවා. තනියම කරගන්න බැරි නිසා මම එකක මැනේජ්මන්ට් එක බලනවා.”

“ආ.... ඒක හොඳම වැඩක් නේ..... මොනවද ඔයාගේ අනිත් තොරතුරු. ආපහු යන අදහස වෙනස් වුනාද?”

“ටික කාලයක් ලංකාවේ ඉන්නවා ආන්ටි. හැබැයි මම කොහොමත් ආපහු ඇමරිකාවට යනවා. ලංකාවේ දිගටම ඉන්න අදහසක් නෑ.”

මම අවංකවම මගේ අදහස කිව්වා.

“ඒ මොකද දරුවෝ... උපන් රට එපා වෙලාද?”

“ඇත්තටම ආන්ටි... මට එපා වුනා. මෙහේ කවුරුත් අනිත් කෙනාට රෙස්පෙක්ට් කරන්නේ නැහැ. කරනවා නම් ඒ වාසියක් බලාගෙන විතරයි. එකෙක් උඩට යනකොට බලාගෙන ඉන්න බෑ, තමන්ට කොච්චර තිබුණත් තව එකෙක් දියුනු වෙනවට කැමති නෑ. කිසිම ඩිසිප්ලීන් එකක් නෑ... ඉතින් එපා නොවී තියෙයිද ආන්ටි.”

මම එහෙම කිව්වහම මාලිකාගේ තාත්තත් කතාවට එකතු වුනා.

“ඒ කියන්නේ ලංකාවේ මිනිස්සු කිසිම වැදගැම්මකට නෑ.”

“හැමෝම නෙවෙයි අංකල්... හැබැයි බහුතරය එහෙමයි. වැඩි දෙනෙක් ලංකාවෙන් පිට වෙන දේවල් දන්නේ නෑ.... වෙන රටවල මිනිස්සු ග්‍රහලෝකවලට යන්න ක්‍රම හොයනකොට අපි ඒ ග්‍රහලෝක වලට බයේ පන්සල් පල්ලි කෝවිල් යනවා. වැඩි දෙනෙක් මහන්සි වෙලා වැඩ නොකර නිකං ඉඳලා ගාණක් කපා ගන්න බලන්නේ. ඉතින් අංකල් අපි තව අවුරුදු සීයයකටවත් දියුණු වෙයි කියල හිතනවද?”

“කතාව නම් ඇත්ත... ඒත් පුතාගේ වයසේ තරුණ ළමයෙක් ඔහොම කතා කරනවා මම දැකලම නෑ.”

මම හිනා වුනා.

“ඒක නෙවෙයි දරුවෝ... ඔයා දැන් මොනවද අපේ දුව ගැන හිතන්නේ.” මාලිකාගේ අම්මා එහෙම ඇහුවම මම කෙලින්ම මාලිකාගේ මූණ බැලුවා.

‘ඔන්න දැන් උත්තර දෙන්න!’ මාලිකාගේ මූණේ ඒ වගේ දෙයක් ලියවිලා තිබුණා.

“හොඳයි....!”

“එහෙම නිකංම හොඳයි කියලා බෑ පුතේ. දැන් ඔය දෙන්නා මාස දෙකක් විතර ආශ්‍රය කළානේ... ඔයා මේ ප්‍රපෝසල් එකට කැමතිද නැද්ද කියලා අපිට දැනගන්න ඕනේ.”

“ආන්ටි... මාලිකා මොකද කිව්වේ....?”

“එයත් අපි අහන කිසි දේකට උත්තර දෙන්නෑ. මම මොනවා ඇහුවත් හෙමීට ලිස්සලා යනවා. දැන් ඔයාවත් අපිට කියන්න අපි මොකද කරන්න ඕනේ කියලා.”

“ආන්ටි මට මාසයක් විතරක් දෙන්න... මම උත්තරයක් දෙන්නම්.”

මම කෙලින්ම කිව්වා. මට ඕනේ වුනේ දිලිනි ගැන තව එකම එක උත්සහයක් දාලා හොයල බලන්න. ඊට පස්සේ ඒ ප්‍රතිපල අනුව මම තීරණයක් ගන්නවා.

“හොඳයි දරුවෝ... මෙච්චර කල් හිටපු එකේ තව මාසයක් කියන්නේ ලොකු කාලයක් නෙවෙයි නේ.”

මාලිකාගේ අම්මා කිව්වා.

“ඔයා බය වෙන්න එපා ස්වරණා..... කාවින්ද හොඳ තීරණයක් ගනී. දැනුම් තේරුම් තියෙන, හොඳ නරක වැටහෙන දරුවෙක්නේ...” මාලිකාගේ තාත්තා කිව්වා.

“කසාදයක් කියන්නේ සෙල්ලමක් නෙවෙයි... ඒ නිසා කාවින්ද පුතා කල් ගත්තට කමක් නෑ.... හොඳ තීරණයක් ගන්න.... දෙන්නෙක් බඳිනවානම් දෙන්නම සියයට සියයක් කැමති වෙන්න ඕනේ.... එහෙම නැතිවුනොත් වැඩි කලක් එකට ඉන්නේ නෑ.ඒ නිසා පොඩි හරි අකමැත්තක් තියෙනවා නම් අපිට කෙලින්ම කියන්න. අපි මේ යෝජනාව අයින් කරගන්නම්. ඒක ගැන බය වෙන්න එපා. අපේ පවුල් දෙකේ යාළුකම ඒකෙන් වෙනස් වෙන්නේ නෑ. කාවින්දගේ අම්මා කැම්පස් ඉඳලා මගේ යාළුවෙක්... මේ මොන දේ සිද්ධ වුනත් නොවුනත් ඒ මිතුරු කම් වෙනස් වෙන්නේ නෑ.... ඒ නිසා හොඳට හිතලා පුතා තීරණයක් ගන්න. අපි කාගෙන්වත් බලපෑමක් නෑ.”

“තෑන්ක් යූ වෙරි මච් ආන්ටි.... මම කිව්වා වගේම මම ඉක්මණටම උත්තරයක් දෙන්නම්. ඊට කළින් මට කරන්න එකම එක වැඩක් තියෙනවා. ඒක ඉවර කරගත්ත ගමන් මම උත්තරයක් දෙන්නම්.” මම පොරොන්දු වුනා.

මාලිකා ගෙදර අයත් එක්ක ආපහු ගියාට පස්සේ අම්මා මාව අල්ල ගත්තා.

“ඇයි ලොකු පුතා ඔයා තවත් කල් ඉල්ලන්නේ? ඔයාට තිබුණනේ කැමැත්ත දෙන්න... මාලිකා කොච්චර හොඳ දරුවෙක්ද? අනික ඔය දෙන්නා දැන් සෑහෙන කාලයක් ආශ්‍රය කළානේ. දෙන්නා ගමන් බිමන් යන්නේ එකට, කන්නේ බොන්නේ එකට... නිවාඩු දවස් වල හම්බ වෙනවා. ඉතින් ඔයා අකමැති නම් එහෙම කරන්නේ ඇයි?”

“අම්මා.... එයා මට කතා කරනවා. ඉතින් අපි හම්බවෙනවා. එහෙම වුනා කියලා මම කැමති වෙන්නම ඕනේ කියලා නෑනේ?”

“ඒ කියන්නේ දැන් ඔය ඒකටත් අකමැති වෙන්නද හදන්නේ. මේ තරම් කල් ආශ්‍රය කරලා අකමැතියි කිව්වොත් අපේ හිතවත් කම් ඔක්කොම ඉවරයි. ඒ දරුවා කොච්චර පව්ද?”
“අම්මා... ස්වර්ණා ආන්ටි කිව්වනේ මම මොන තීරණේ ගත්තත් ඒක අම්මගෙයි එයාගෙයි යාළුකමට ඒක බලපාන්නේ නෑ කියලා.”

“ඒක හරි... ඒ වුනාට මට මූණ දෙන්න බෑ.”

“එතකොට අම්මා කියන්නේ මම සම්පූර්ණ කැමැත්තක් නැතුව මාලිකාව බැඳලා පස්සේ කාලෙක එපා වුනොත් වෙන් වුනත් කමක් නෑ කියලද?”

“මොනවද පුතා මේ කියවන්නේ... ඔයා මාලිකාට සම්පූර්ණ කැමැත්ත නෑ කියලා කව්රු ගැනද බලාගෙන ඉන්නේ? මොකක්ද මේ කරන විකාරේ....?”

“කව්රු ගැනවත් බලාගෙන නෑ අම්මා. හැබැයි මම හිතට එකඟව තීරණයක් ගන්නවා.”

“මොනවද තවත් එකඟ කරගන්න තියෙන්නේ...? ඔයාට වෙන ගෑණූ ළමයෙක් නෑනේ..... ඉතින් මොනවද බලාගෙන ඉන්නේ?”

“අම්මා... මම මාසයක් ඉල්ලුවානේ.... එතකං ඉවසලා ඉන්න.”

“මම දන්නෑ ඔයාගේ වැඩ... කැමති දෙයක් කරන්න... හැබැයි එකක් මතක තියාගන්න... අපි අකමැති දෙයක් කරොත් නම් එදා ඉඳලා අම්මා තාත්තා ඔයාට නෑ කියලා හිතාගන්න.”

අම්ම අන්තිම තර්ජනය දැම්මා!

0 comments:

Post a Comment