Thursday, December 07, 2017

සදානුස්මරණිය ප්‍රථම ප්‍රේමය ~ මේ ආදරයයි ~ 111



සදානුස්මරණිය ප්‍රථම ප්‍රේමය


මේ ආදරයයි








111.

දවස් කීපයක් කිසිම වෙනසක් නැතුව ගෙවුනා. ඒ අතරේ මම ආපහු යන දවසත් ලං වුනා.
මම යන්න දවස් පහක් තියෙද්දි මම දිලිනිත් එක්ක ගිහින් ටිකට් එක ගත්තා. ඊට පස්සේ මම දිලිනිව ඇරළලා තනියම බයික් එකේ ගෙදර යන්න පිටත් වුනා. නුවර ටවුන් එකේදි කොල්ලෝ ටික හම්බවුන නිසා ටිකක් රෑ වෙනකම්ම අපි හිටියා.
හැන්දෑවේ හයට විතර දිලිනි ආයෙත් මට කතා කළා.
“කාවින්ද.. ඉන්න බෑ පාළුයි අප්පා... බැරිද එන්න..”
“එන්නම්... ඒත් දැන් කොහේ යන්නද?”
“අද ගෙදර ඉන්නේ මම විතරයි.. ඔයා එන්න..”
“බෑ... ගෙදර නම් එන්න බෑ....”
“එහෙනම් මම එන්නම්....”
“හරි... කීයටද ඔයා එන්නේ...?”
“මම දැන් වොෂ් එක ගන්න යන ගමන්... ඔයාට පුළුවන්ද හරියටම අටට මාව ගන්න.”
“බැරි කමක් නම් නෑ තරූ.... ඒත් කොහෙද අපි යන්නේ...?”
“කොහේ හරි... ඔයා එක්ක ටිකක් නිස්කලංකව ඉන්න පුළුවන් තැනකට... මිල්ටන් ගේ ෂෝ එක බලපු දවසේ ඔයා මාව එක්ක ගිය තැන වගේ තැනකට... මට ඔයා එක්ක එළිවෙනකං ඉන්න පුළුවන් තැනකට.” දිලිනි කියවගෙන ගියා.
“හෝව් හෝව් මැඩම්.... එහෙම තැනක් මම දන්නේ නෑ නේ....”
“ඔයා එන්නකෝ.... තැනක් නැතිම වුනොත් අපි බයික් එකේ නුවර වටේ රවුම් ගහමු ඇති වෙනකං.”
මේ කෙල්ලට පිස්සුද මන්දා... ඒ කාලේ වගේම විකාර කියවනවා.
කොහොම වුනත් මම රෑ හත හමාරට විතර සචියා හොයාගෙන ගියා.
“කොහේ යන්නද බං.... අනික් මේ රෑ... පරිස්සම් වෙයං..... මට පොඩි සාදුත් කිව්වා උඹට පරිස්සම් වෙන්න කියන්න කියලා. තව මාසයක් යනකං තනියම ගමන් බිමන් එපා කිව්වා.”
“පොර උඹටත් කිව්වද....? මට ඇති තනියක් නෑ බං.... රෑ වුනා කියලා මොනව වෙන්නද...?”
“මම දන්නෑ... ඒත් මට හිතෙනවා උඹ රෑ ගමන් අඩු කළා නම් හොඳයි කියලා.. ගිහානයා වුනත් එදා සීන් එකෙන් පස්සේ නයා වගේ ඇති.”
“මම ඌට බය නෑ බං... අනික ඌ තාම හොස්පිට්ල් එකේ...”
“එක පාරකුත් එහෙම කියලා වුනා දේ මදෑ.“ සචියා කිව්වා.
මම හරියටම අට වෙනකොට දිලිනිගේ ගේ ළඟට ගියා.
මම බයික් එක හරවගන්නවත් එක්කම දිලිනි දුවගෙන ආවා. ලස්සන පොඩි කෙල්ලෙක් වගේ... ඩෙනිම් කලිසමක් ඇඳලා... ලස්සන කලු පාට ටොප් එකක් ඇඳලා... අද නම් වෙනදටත් වඩා ලස්සනයි...
“කාවින්ද එන්න ගේ ඇතුළට... අපි ටිකක් ඉඳලා යමු.”
මම අදිමදි කළා.
“අනේ කාවින්ද... ටිකකට එන්න...”
දිලිනිගේ පෙරැත්තය නිසාම මම ඇතුළට ගියා.
“යමු මගේ කාමරේට...”
මේ කෙල්ල මොනව කරන්න හදවනද මන්දා.. වැඩට ඉන්න මිනිස්සුත් බලාගෙන ඉන්න අතරේ මාව එයාගේ කාමරේට ඉන්වයිට් කරන්නේ.
“අනේ එන්න...”
දිලිනි මගේ අතින් ඇදගෙන එයාගේ කාමරේට ගියා.
“මට මේක දකිද්දි මතක් වෙන්නේ එදා...” කෙල්ල කිව්වා.
“කවදද...?”
“මුලින්ම මම ඔයා ගේ ළඟින් හිටපු දවස... හොරෙන් මගේ කාමරේට ආපු දවස.”
මම හිනා වුනා.
“ලස්සනයි නේද කාවින්ද ඒ දවස්...”
“හම්...” මම නැගිටලා කාමරේ ඇතුළේ ඇවිද්දා.
 දිලිනි නාලා පාවිච්චි කරපු ටවල් එක පැත්තක තිබුණා. මම ඒක අතට ගත්තා.
“ඔයාව බලන්න මට ආසයි...” මම කිව්වා.
“ඉතින් බලන්න.. මේ ඉන්නේ...”
“එහෙම නෙවෙයි..”
“එහෙනම් කොහොමද?”
මම කෙල්ල දිහා බැලුවා.
“කොහොමද කාවින්ද.. කියන්න...” දිලිනි මට ලං වුනා.
“එදා වගේ... මේ ටවල් එක විතරක් ඇඳගෙන....”
දිලිනි ලැජ්ජාවෙන් රතුවුනා.
“අනේ.... ඒක මතක් කරන්න එපා... මම මහා වල් කෙල්ලෙක් වුනා එදා... මතක් කරන්න එපා ලැජ්ජයි.”
“ඒ වුනාට ඔයා එහෙම ඉන්නකොට පුදුම ලස්සනයි... සෙක්සි....”
“මෝඩයා... කොයි කෙල්ල වුනත් ටවල් එකක් විතරක් ඇඳගෙන ඉන්නකොට ඕනේ කොල්ලෙකුට ලස්සනට තමයි පේන්නේ...” දිලිනි කිව්වා.
“ඉතින් එහෙනම් පෙන්නන්නකෝ.... මම දිලිනිගේ කන මගේ දත් වලින් අල්ලලා කිව්වා.”
“බෑ බෑ... අපෝ මෙයාව කාමරේට අරන් මම කරගත්ත දෙයක්... ටිකක් ඉවසගෙන ඉන්නකෝ අපි මැරි කරනකං...”
දිලිනි මගෙන් ඈතට පනින ගමන් කිව්වා....
“අනේ මාව අවුස්සන්න එපා කාවින්ද...... මට මාවම කන්ට්‍රෝල් නැතුව යන වැඩක් ඔයා කරන්න හදන්නේ... හරි නරකයි.. මතක නේද පොරොන්දුව...”
“මොකක්ද...?”
“මැරි කරනකං කිසිම නෝටි වැඩක් බෑ....”
මම දිලිනිව අල්ලගන්න හදද්දි එයා ටවල් එකෙන් මගේ මූණට ගහලා එළියට දිව්වා.
අපි දෙන්නා ටික වෙලාවකින් බයික් එකට නැග්ගා.
“කාවින්ද... අපි යමු පොඩි ගමනක්..”
“කොහෙද?”
“කොහේ හරි... අර ඉස්සර වගේ ඔළුව හැරුණු අතේ...”
“හම්..... ඒක නම් ගුඩ් අයිඩියා... කාලෙකින් ඔළුව හැරුණ අත යන්නත් බැරි වුනා.” මම කිව්වා.
ඇත්තටම මට අදහසක් තිබුනේ නෑ අපි කොහේ යන්නද කියලා. වෙලාව නවයත් වෙලා. අපි දෙන්නා බයික් එකේ මුළු නුවර වටේම රවුම් ගැහුවා....
“කාවින්ද... යමුද අපි පොල්ගොල්ලේ...?”
“මේ රෑ.....”
“ඔව් අනේ.....”
“මේ රෑ ගඟ පළාතක යන්න බෑ.. කරුවලයි.. ලයිට් එකක්වත් නෑ...”
“ඒක තමයි හොඳ... අපි කරුවලට වෙලා ඉමු.”
“මුලින් අපි මොනව හරි කාලා ඉමු.”
“කොහෙන්ද...”
“අද අපි අර ෂෝ එක බලපු දවසේ කරපු දේවල්ම කරපු නිසා, කෑමත් එදා වගේම නයිට් කඩේකින් කමු.. හ්ම්.. දැන් වෙලාව දහයයි... යං... මම දන්න තැනක් තියෙනවා.... නියම කොත්තු... ඔරිජිනල් බඩු... මාසයක් විතර පදම් කරපු සුපිරි රොටී...”
“ඊයා... මාසයක් පරණ එවා...” දිලිනි කිව්වා
“ඔව් තරූ.... ඔයාට ඒවට පුරුදු වෙන්න වෙනවා... මාත් එක්ක ඉන්නවනම් පුරුදු වෙන්න වෙනවා.” මම කිව්වා.
අපි ලේවැල්ල පැත්තට යන්න පිටත් වුනා. මට මතක විදිහට ඒ හරියේ නයිට් කඩ දෙකක්ම තිබුණා. අපි පොල්ගොල්ලේ නයිට් කඩේට ගිහින් කෑම කෑවා. රෑ එකොළහට විතර අපි එතනින් පිටත් වුනා.
“සුදූ.. අද නම් පැය කීයක් අපි පිස්සු නැටුවද... කව්රු හරි දැකලා තිබ්බා නම් අපි ඉවරයි.”
“දැකපු දෙන් කාවින්ද... මම දැන් ඔයාට අයිති වෙලා ඉවරයි... තවත් හංගන්න දෙයක් නෑ මට. ඒක නෙවෙය අදට ඇති නේද.. මාව ගෙදරින් දාන්න...”
දිලිනි කිව්වා.
මම දිලිනිවත් දාගෙන පොල්ගොල්ලෙන් වටපුළුව පාරට බයක් එක දැම්මා. හන්දිය පහුවෙලා කිලෝමීටර් බාගයක් විතර ගියාට පස්සේ පැත්තම පාළුයි... පාරේ ලයිට් එකක් වත් නෑ... අපේ ගෙවල් වලට ළඟ නිසා මට පාර පුරුදුයි.
“කාවින්ද මේ හරියේ මාර පාළුයි නේද.. මටනම් බයෙත් බෑ...” දිලිනි කිව්වා.
මේ වෙලාවේ පාරේ එක වාහනයක් වත් නෑ.... ඒත් අපි ඒ හරිය පහුකරනකොටම නවත්තලා තිබුණ වෑන් එකක් ස්ටාට් කරලා ලයිට් දැම්මා. හෙඩ් ලයිට් එක සැරටම මගේ මූණට වැදුන නිසා මම බයික් එකේ වේගේ අඩු කළා.
තත්පරයක්වත් ගතවෙන්න කළින් ලොකු සද්දයක් එක්ක බයික් එකේ ටයර් එක පුපුරලා ගියා. වේගේ හොඳටම අඩු නිසා මම ඉක්මනට දිලිනිව බස්සලා මාත් බැස්සා. ඒත් එක්කම වෑන් එක ළඟ හිටපු කීප දෙනෙක් මගේ දිහාවට ආවා. ලයිට් එකේ සැරට මට කිසිම දෙයක් පෙනුනේ නෑ... ඒත් එක්කම එකෙක් පැනලා දිලිනිව ඇදලා ගත්තා. මම ඌට ගහන්න යනකොටම වෑන් එකේ ලයිට් එක නිවුනා. කට්ට කරුවලේ මට කිසිම දෙයක් පෙනුනේ නෑ... දිලිනි කොහෙද කියලා දැක්කෙත් නෑ...
කරුවලේම වෑන් එක ස්ටාට් කරනවා මට ඇහුනා. එකකොටම කවුරු හරි මාව තල්ලු කළා. මම වැටෙනකොටම අයෙත් ලොකු සද්දයක් ආවා. මගේ කකුලේ කලව ළඟින් ලොකු වේදනාවක් ආවේ එතකොටම... අත තියලා බලනකොට මොනවා හරි කකුල දිගේ ගලනවා. ලේ..... ඒත් එක්කම තවත් වෙඩි සද්දයක් ඇහුනා. ඒක මට වැදුනේ නෑ... කරන්න දෙයක් නැති තැන මම කරුවලේම ගඟ පැත්තට බඩගාලා පල්ලමට පැන්නා. ඒත් එක්කම මගේ පැත්තට තවත් වෙඩි දෙකක් තිබ්බ උන් හෙඩ් ලයිට් නොදාම වෑන් එක අරගෙන යන්න ගියා.
මම හිතන්නේ විනාඩි ගණනකට මට සිහිය නැති වෙන්න ඇති.
සිහිය එනකොට මට කිසිම දෙයක් හිතා ගන්න බැරි වුනා. මම හිටියේ ගඟ අයිනේ පල්ලමේ පඳුරු ගොන්නක් ඇතුලේ. අමාරුවෙන් එතනින් එළියට ආවත් පාරට නැගගන්න මට බැරි වුනා. කකුළට වෙඩි වැදුන තැනින් ලේ ගලනවා නොනැවතී.. උන් අන්තිමට තිබ්බ වෙඩිල්ලකුත් මගේ අතකට වැදිලා... හොඳ වෙලාවට ඒක ගෑවිලා ගිහින් විතරයි.. ඒත් එතනිනුත් ලේ ගලනවා.
මේ පාළු තැන මිනිස් පුළුටක් නෑ... ගෙයක් පේන මානෙක නෑ.... වෙඩි සද්දෙවත් ඇහෙන්න කිසිම කෙනෙක් මේ පලාතේ හිටියා වෙන්න බෑ.
මම අමාරුවෙන් නැගිටලා පාරට නගින්න පටන් ගත්තා. ඒත් කකුලේ වේදනාව නිසා අඩියක්වත් තියාගන්න මට බැරිවුනා. මෙහෙම ගියොත් මේ කැලේ මට මැරෙන්නයි වෙන්නේ.. ලේ යන එක නැවැත්තුවේ නැත්නම් ඒක ෂුවර්... මට හිතුනා. ඒත් මොනව කරන්නද... කලබලේ අතේ තිබුණ ෆෝන් එකත් කොහේ හරි වැටිලා... ඒක හොයාගන්නවත් එළියක් නෑ...
මම අමාරුවෙන් පාරට ආවා. ඒත් ෆෝන් එක හොයාගන්න තියා අඩියක් තියන්නවත් කිසිම දෙයක් පේන්නේ නෑ....
මම ඒ විදිහටම පැයක් විතර හිටියා. මේ රෑ දොළහට විතර කවුරුවත් මේ පාරේ එන එකකුත් නෑ.
ඒත් මගේ වෙලාවට වගේ පාරේ බයික් එක වැටිලා තිබුණ තැන කිට්ටුව මම එළියක් දැක්කා. මගේ ෆෝන් එක... ඒකට කෝල් එකක් එනවා.. ඒ නිසා ලයිට් එක ඔන් වෙලා..
මම දඩබඩ ගාලා ගිහින් ෆෝන් එක ගත්තා. කෝල් එක ඩැනී අංකල්ගෙන්.
“කාවින්ද පුතා... කොහෙද ඉන්නේ...?”
“ඩැනී අංකල්... මට වෙඩි වැදුනා.... මට අමාරුයි...”
“මොකක්... කොහෙද ඉන්නේ.. කොහෙද ඉන්නේ...?”
“මම පොල්ගොල්ලේ... ඩෑම් එක් ඉඳලා ලේවැල්ල පාරේ....”
“පුතා ඔහොමම ලයින් එකේ ඉන්න... මම දැන් එනවා.”
“අංකල් ඉක්මනට එන්න... මට අමාරුයි..”
“හරි... අපි පිටත් වුනා...... ෆෝන් එකේම ඉන්න.. කට් කරන්න එපා... අපි ඔයාව හොයාගන්න කං කට් කරන්න එපා.”
ඒත් එක්කම ආයෙත් මට සිහිය නැති වුනා. ඒ පාර සිහිට එද්දි මම හිටියේ ඩැනී අංකල්ගේ අත් දෙකේ...
මම අමාරුවෙන් කතා කළා.
“අංකල් දිලිනි..”
“කතා කරන්න එපා.. ඔයාගෙන් ගොඩක් ලේ යනවා.... අපි මේ හොස්පිට්ල් යන ගමන්.”
“අංකල්.... මගෙත් එක්ක දිලිනි හිටියා..... උන් එයාව අරන් ගියා....”
“මුලින් ඔයාව හොස්පිට්ල් දාලා ඉන්න වෙනවා. ඊට පස්සේ මම බලන්නම් කෙල්ලට මොකද වුනේ කියලා... උන් කව්ද කියලා දැක්කද...?”
“නෑ.... අංකල් දිලිනිව හොයාගන්න ඕනේ.... ප්ලීස්.....”
“හරි මම පොරොන්දු වෙන්නම්... දැන් සද්ද නැතුව ඉන්න... ඔයාගෙන් හොඳටම ලේ යනවා... මම කිව්වා තනියම යන්න එපා කියලා.. ඇහුවේ නෑනේ... හොඳ වෙලාවට මම කෝල් එකක් දීලා බැලුවේ... නැත්තං එළි වෙනකං එතන හිටියනම් ලේ ගිහින් ඔයා මැරෙනවා.”
විනාඩි ගණනකදි වාහනේ නුවර රෝහලේ නැවැත්තුවා.
මාව ට්‍රොලියකට ගන්නව මතක තිබුණට පස්සේ මට කිසිම දෙයක් නොපෙනි ගියා. දිලිනි මගේ හිතේ හොල්මක් කරද්දි මට ඔපරේෂන් තියටර් එකේදි මාව නිර්වින්දනය කළා.

සදානුස්මරණිය ප්‍රථම ප්‍රේමය ~ මේ ආදරයයි ~ 110




සදානුස්මරණිය ප්‍රථම ප්‍රේමය


මේ ආදරයයි





110.

එදා රණ්ඩුවෙන් පස්සේ කිසිම විශේෂ දෙයක් වුනේ නෑ. ගිහාන් පොලිසියට ගිහින් තිබුණෙත් නෑ.. අපිට විරුද්ධව කිසිම පැමිණිල්ලක් ආවේ නෑ.
කෝකටත් කියලා පහුවෙනිදා අපි හැමෝම ගෙවල් වලට වෙලා හිටියා. කව්රුත් එලියට ආවේ නෑ.
දෙවෙනි දවසේ මම බයික් එකත් අරගෙන අමිලවත් දාගෙන සචියගේ ගෙදර ගියා.
අපි යනකොට මූ කල්පනා කර කර ඉන්නවා.
“මොකද යකෝ... කල්පනා කරන්නේ... ගෑණි මැරිලා වගේ?”
“එහෙම වුනානම් එකක්... අපේ වලි තාත්තට ආරන්චි වෙලා... මට ගෙදරින් එළියට අඩියක්වත් තියන්න තහනම්...”
“කමක් නෑ... අපි ආවනේ.... ඒක නෙවෙයි බං... අරූ සද්දයක් නෑ වගේ නේද?”
“හ්ම්.... මට පුදුමයි.... එදා අර වගේ ගුටි කාලා ගිහින් ඌ සද්ද නැතුව ඉන්නේ බයට වෙන්න බෑ.”
“මටත් සැකයි කාවා. මොනව වුනත් උඹ පරෙස්සම් වෙයං...”
අපි දවල් වෙනකම් කතා කර කර හිටියා.
එකොළහට විතර මම දිලිනිව බලන්න යන්න ලෑස්ති වුනා.
“කාවා.. පරෙස්සමෙන්...” දෙන්නම කිව්වා.
මම එනවා කිව්වේ දොළහට වුනත් යනකොට දොලහයි කාළයි. දිලිනි තරහ මූණක් පෙන්නගෙන හිටියා.
“මොකද තරූ...?”
“මොකද තමා.. වෙලාවට එන්න බැරිද.....?”
“අයියෝ... විනාඩි දහයනේ පරක්කු වුනේ...“
“ඒ වුනාට මට ඔයාව හම්බවෙනකම් ඉවසිල්ලක් නැතුව ඉන්නවා... ඒ මදිවට මෙයා පරක්කු වෙනවා. මට තරහේ බෑ....”
“සොරි සොරි...... දැන් ඉතින් හිනා වෙන්න.”
“බෑ.... මට හොඳ ලන්ච් එකක් අරන් දෙනකං මම තරහයි.”
“ආ... ඒක මොකක්ද... දෙන්නම්කෝ බඩ පැලෙන්න... කොහෙද යන්න ඕනේ...?”
“අනේ කාවින්ද... පෙරේදා වැඩෙන් පස්සේ මට බයයි. අපි ටිකක් ඈතට යමු.”
“මම කියන්නද? අපි........ පොඩි සාදු බලන්න යමු... යන ගමන් කඩුගන්නාවේ නියම හොටෙල් එකක් තියෙනවා, එතනින් කමු.”
“ම්..... යමු...”
අපි දෙන්නා පිටත් වුනා. අපි එනවා පොඩි සාදු ඈතදීම දැක්කා.
“එන්න එන්න..... කාවින්දට ගොඩක් කාලෙකින් මාව මතක් වෙලා තියෙන්නේ....”
“එහෙම එකක් නෑ පොඩි සාදු.... ටිකක් වැඩ තිබුණා... අනිත් එක සෑහෙන කාලෙකින් ගෙදර ආවා නිසා අම්මා කැමති නෑ කොහේවත් යනවට.”
දිලිනි පොඩි සාදුට වැන්දා.
“සුවපත් වේවා.. පුංචි නෝනා දකින්න ලැබීමත් සතුටක්... කොහොමද සැප සනීප.”
“හොඳින් එන්නවා සාදු....”
“පහුගිය කාලේ කාවින්දට මම කියපු විදිහේ දේවල් වුනා නේද...?”
“ඔව් සාදු.... ඒත් පොඩි සාදු මට කතා කරපු නිසා මම බයවුනේ නෑ...”
දිලිනි කිව්වා.
“කවදද පොඩි සාදු කතා කළේ.... ඔයා මට කිව්වේ නෑනේ?” මම ඇහුවා.
“ඔයා අසනීපෙන් ඉන්න මුළු කාලෙම පොඩි සාදු මට කතා කරලා මගේ හිත හැදුවා කාවින්ද... පොඩි සාදු තමයි මට බය නැතුව ඉන්න කියලා දුන්නේ...”
“ඔව් කාවින්ද.... මම මුලින්ම කිව්වා වගේ කාවින්දගේ ඉරණම් කාරි මේ පුංචි නෝනාම තමයි කියලා මම විශ්වාස කළා. ඒ නිසා කාවින්ද අසනීපෙන් ඉන්නකොට මම මේ දරුවගේ හිත හැදුවා. එයාගේ හිත ශක්තිමත් කළා. මේ දෙන්නගේ කතාව අතරමග නවතිනවා දකින්න මට ඕනේ වුනේ නෑ.”
“පොඩි සාදු කරපු දේ නම් හොඳයි... ඒත් මට හිතාගන්නවත් බැරි විදිහට අසනීප වුනේ. අර වගේ පොඩි රණ්ඩුවකින් වැදුන පොඩි පාරක් නිසා මෙහෙම වෙයි කියලා හිතන්නවත් පුළුවන්ද?”
“ඒවා එහෙම තමයි කාවින්ද..... අපි නොහිතන බොහොම පොඩි දේකින් ජීවිතේම වෙනස් වෙනවා. ඒක අපිට නවත්තන්න බෑ....”
මම අහගෙන හිටියා.
“මේවා අනුමාන කරලා කියන අනාවැකි නෙවෙයි කාවින්ද ළමයෝ.... මම කියන දේවල් ඇත්ත. මම එදත් කිව්වා... ඔය දරුවෝ දෙන්නගේ ජීවිත එක් වෙනවා... ඒක ස්ථිරයි.... ඉර හඳ වගේ සිථිරයි.....”
“පොඩි සාදු හැමදාම අන්තිමට ඔය දේ කියනවනේ.... එහෙනම් කියන්න බලන්න අපේ දෙමව්පියෝ මේ ගැන මොන විදිහටද වැඩ කරන්නේ කියලා. අන්තිමට ඒ අයත් කැමති වෙනවද?”
මම එහෙම ඇහුවම පොඩි සාදු හයියෙන් හිනා වුනා.
“අන්න කාවින්ද මගේ ගැන වැරදියට හිතලා... මම පේන කියන්නෙක්වත්, ජෝතිශ්‍යෙව්දියෙක්වත් නෙවෙයි... ඔය වගේ අනාවැකි කියලා මිනිස්සුන්ගේ හිත් වශී කරලා සල්ලි හොයන අයයි මමයි වෙනස්... මට ඔය වගේ අනාවැකි කියන්න බෑ.”
එහෙම කියලා පොඩි සාදු දිලිනිට කතා කළා.
“පුංචි නෝනා... දෙන්නත් එක්ක එන්න තේ ටිකක් බොන්න.”
අපි ඇතුළට ගියා.
“කාවින්ද, කොහොමද ඇමරිකාවේ ජීවිතේ....?”
“වරදක් නෑ පොඩි සාදු... ඒත් ඉතින් තනියම..... අනිත් එක අවුරුද්දේ වැඩි කාලයක් සීතල...”
“එහෙම තමයි ඒ රටවල්... අපේ මේ පොඩි රටේ අගේ දැනෙන්න නම් පිටරට යන්නම ඕනේ නේද?”
“ඒකනම් ඇත්ත පොඩි සාදු.... මට වෙලාවකට එපා වෙනවා.”
“හරි දැන් කියමු බලන්නේ දෙන්නගේ අනාගත සැලසුම් මොනවද කියලා. මම හිතන්නේ දෙන්නා දැන් මොනවා හරි සැලසුම් කරලා ඇති නේද?”
“පොඩි සාදු....” මම කතාව පටන් ගත්තා.
“අපි ලොකු දෙයක් හිතලා නෑ... මට ඩිග්රි එක ගන්න තව අවුරුදු දෙකක් තියෙනවා... මගේ අන්තිම අවුරුද්දේ අපි හිතාගෙන ඉන්නේ මැරි කරලා එහේම පදිංචි වෙන්න... ලංකාවේ ඉන්න තරම් තත්වයක් අපිට තියෙයි කියලා හිතන්න බෑ.”
“පුංචි නෝනා..... එතකොට දැන් කරගෙන යන වැඩ...?” පොඩි සාදු දිලිනිගෙන් ඇහුවා.
“මට තේරෙන්නේ නෑ සාදු.... මම එකම දරුවා.... තාත්තගේ හැම දෙයක්ම අයිති වෙන්නේ මට. ඒත් අපි මැරි කළොත් තාත්ති ඒවා මට නොදී ඉඳයිද කියලා හිතෙනවා. එහෙම වුනත් ප්‍රශ්ණයක් නෑ අපි ජීවිතේ අළුතින්ම පටන් ගන්නවා.”
“දෙන්නා දැන් තදින්ම තීරණය කරගෙනද ඉන්නේ...?”
“ඔව් පොඩි සාදු... මොන දේ වුනත් අපි වෙන් වෙන්නේ නෑ... අපි දෙන්නට දෙන්නා නැතුව ඉන්න බෑ...”
“ලැබෙන්න තියෙන දේවල් අවශ්‍ය වෙලාවට ලැබෙයි... කිසිම දෙයක් බලෙන් ලබාගන්න යන්න එපා... හිතාගෙන ඉන්න විදිහ හොඳයි... .තව අවුරුදු දෙකක් ඇතුළත දෙන්නා විවාහ වෙන්න.... හැම දෙයක්ම හරියයි.”
“පොඩි සාදු ඇත්තටමද කියන්නේ...?” මම ඇහුවා.
පොඩි සාදු මොනවත් නොකියා හිනා වෙවී ඇතුළට ගිහින් අපිට තේ දෙකක් ගෙනාවා.
“බොන්න....”
අපි තේ දෙක අරගත්තා.
“මම කවදාවත් බොරු කියලා නෑ.. කියන්නෙත් නෑ....”
ඔය විදිහට අපි සෑහෙන වෙලාවක් කතා කර කර හිටියා. වැඩි වෙලාවක් පොඩි සාදු දිලිනි එක්ක කතා කරන එක තමයි කළේ. මම දෙන්නට කතා කරගන්න දීලා එළියට වෙලා හිටියා. අන්තිමට පහට විතර අපි ගෙදර යන්න පිටත් වුනා.
“මොනවද තරූ පොඩි සාදු එක්ක ඔච්චර වෙලා කතා කළේ?”
“ඒක ඔයාට වැඩක් නෑ...”
“ඒක නම් මාරයි ආ.... මමයි පොඩි සාදුව අඳන්නලා දුන්නේ... දැන් දෙන්නා එකතු වෙලා මාව හලලා.”
“නෑ කාවින්ද... ඒ දේවල් ඔයාට කියලා වැඩක් නෑ... ඔයා විශ්වාස කරන්නේ නෑනේ”
“දැන් එතකොට ඔයා ඔය විකාර විශ්වාස කරනවද....?”
“ඔව්.... ඒවා විකාර නෙවෙයි කාවින්ද.. පොඩි සාදු කියපු හැම දෙයක්ම වුනේ නැද්ද...?”
“මම කිව්වා ඔයාට.... පොඩි සාදු ඔය වැඩේ කරයි කියලා..... ප්ලීස් මේ.... මාත් එක්ක ඉන්නවනම් ඔය විකාර ඔළුවෙන් අයින් කරන්න.....”
“හරි හරි බබා.... මම ඒවා එක්ක එල්ලිලා ඉන්නේ නෑ....”

සදානුස්මරණිය ප්‍රථම ප්‍රේමය ~ මේ ආදරයයි ~ 109



සදානුස්මරණිය ප්‍රථම ප්‍රේමය


මේ ආදරයයි





109.

දවස් කීපයක් මම ගෙදරට වෙලා අම්මා හදලා දෙන දේවල් කකා හිටියා. නෑදෑ ගෙවල් කීපයක ගියා.

අපි ලංකාවට ඇවිල්ලා දෙවෙනි දවසේ දිලිනි තාත්තත් එක්ක මැලේසියාවට ගියා බිස්නස් වැඩ වගයකට. මේ වෙනකනුත් එයා ආපහු ඇවිල්ලා තිබුණේ නැහැ.

ඒ අතරේ මමයි සචියයි ආයෙත් ගරාජ් ඇඳුම දාගෙන, පැත්තකට දාලා තිබුණ මගේ ජීප් එකට පොඩි අළුත්වැඩියාවක් කරලා ගත්තා.

“නියමයි කාවා. මේක දැන් කළින් වගේම තියෙනවා. ඒත් වැඩක් නෑ බං... උඹ ආපහු ගියාම මේක අයෙත් දිරනවා.”

“නෑ... මේ සැරේ මම මේක උඹට තියාගන්නම දීලා යනවා. පරිස්සමින් පාවිච්චි කරපං මම එනකං...”

“උඹට පිස්සුද යකෝ... මෙච්චර වටින එකක් නිකංම මට දෙන්නේ...?”

“ඇයි බං... උඹ මගේ යාළුවා නෙවෙයිද....? එක් නෙවෙයි බං... අද හවස යමුද ටවුන් එක පැත්තේ... පරණ පුරුදු පොට් එකේ ටිකක් සෙට් වෙලා.... දන්නැද්ද.... මොනව හරි කරලා, අපර් ලේක් පැත්තේ ගිහින්... රෑ වෙලා එමු.”

“අන්න අදහස.... හිටපං... මම අනිත් උන්ටත් කියන්නම්......” සචියා ෆෝන් එකත් අරන් පැත්තකට ගියා.

දිලිනි නම් මට ආපහු ටවුන් එකේ ගැවසෙන එක තහනම් කරලා තිබුණේ... ඒත් මම ඒක එච්චර හිතුවේ නැහැ. අනිත් එක ගිහාන් මෙච්චර කාලයක් ගිහින් මාගේ පස්සේ එන එකක් නෑ.

හවස හතරට විතර මමයි සචියයි නුවරට ගිහින් අපේ පුරුදු තැනට ආවා. අපි යනකොට අමිල අනිත් උන් ඔක්කොම එක්ක ඇවිත්.

“යකෝ... තාම උඹලා මෙතන වල බහිනවද?” මම ඇහුවා.

“දැන් ඉස්සර වගේ නෑ බං... හැම එකාම මොනව හරි වැඩක්.... සතියකට දවසක් නම් සෙට් වෙනවා.” අමිල කිව්වා.

“ඒක නෙවෙයි කාවා... පහුගිය දවස් වල ගිහානයා මෙහේ කැරකුනා. මටත් පොඩි පාට් එකක් දැම්මා. උඹ ගියේ ඌට බයේලු.. අපිටත් පරෙස්සම් වෙලා ඉන්නලු.” අමිල කිව්වා.

“ඉතින් උඹ මොකද කිව්වේ?”

“මම ඌට කිව්වා........ අපි ගැරඬි මරලා පව් පුරවගන්නේ නෑ කියලා.”

“නෑ... උඹ සිරාවටම එහෙම කිව්වද?”

“ඕව් බං... මට මල පැන්නා. කොහොමත් ඌට අම්බානක මල ඇති... ඇයි උඹ කෙල්ලවත් අරන් පැන්නා කියලා ඌ දන්නවනේ... අනික ඌ පොඩි කාලේ ඉඳලා බලාපොරොත්තු තියාගෙන හිටපු කෙල්ලව උඹ අවුරුදු දෙකක් ඇතුලත අරන් පැන්නාම අප්සෙට් නැද්ද?”

“එක අතකට ඌ පව් බං.... ඒත් මොනව කරන්නද කෙල්ල ඌට කැමති නැත්නම්...” අමිල කිව්වා.

“හොඳ කෙල්ලෙක් ඌට කැමති වෙයිද බං... ඌ ගොනා වගේ හිතන්නේ සල්ලි තිබුණොත් ලෝකේ ඕනෙම කෙල්ලෙක් කැමති වෙනවා කියලා. හරකා වගේ කොච්චර කිව්වත් තේරෙන්නේ නෑ.” මම කිව්වා.

****************************

දවස් දෙකකට පස්සේ දිලිනි ලංකාවට ආවා....

එයා මුලින්ම කළේ මට කෝල් කරන එක.

“කොහොමද කාවින්ද.... අනේ සොරි මම කෝල් නොකරට.... හොඳටම වැඩ වැඩි වුනා.”

“ප්‍රශ්ණයක් නෑ සුදූ... ඔයා හොඳන් නේ... ඒ ඇති.”

“ඔයා කාවදද මාව බලන්න එන්නේ කාවින්ද?”

“අද...”

අපි දෙන්නා නුවරදි හම්බ නොවී, පේරාදෙනියේ මල් වත්තේ හම්බවෙන්න කල්පනා කළා. එතනදි අඳුරන කෙනෙක් දකින්න තියෙන ඉඩ අඩුයි.

ඒත් සචියා නම් කැමති වුනේ නෑ මම උන් කවුරුත් නැතුව යනවට.

“උඹ තනියම යන්න එපා කාවා. ගිහානයා දන්නවා උඹ ඇවිල්ලා ඉන්නේ කියලා.”

“ඌ දන්නෑ බං අපි පේරාදෙනියේ යනවා කියලා.“

“කියන්න බෑ බං..... නේද අමිලයා....”

“ඔව් කාවා... අපිත් එන්නම් උඹත් එක්ක....”

“යකෝ, මම යන්නේ ටිකක් ඒ කෙල්ල එක්ක නිදහසේ ඉන්න... ලව් කරන්න... උඹලා ඇවිත් මොනව කරන්නද?”

“අපි උඹට කරදර නොකර පැත්තකට වලා හොරෙන් උඹලා දිහා බලාගෙන ඉන්නම්.”

“මොකක්... අපි දිහා හොරෙන් බලා ගෙන ඉන්න.. යකෝ තොට ලැජ්ජා නැද්ද.... ලව් කරන දිහා හොරෙන් බලාගෙන ඉන්න...”

“ඒ වුනාට අපි අහක බලාගෙන ඉඳලා අරූගේ මොකෙක් හරි ඇවිත් උඹට නෙළුවොත්...”

“මගුල් කතා කරන්න එපා බං.... ඌ එන්නෑ.....”

එදා අපි දෙන්නා පැය දෙක තුනක් හිටියා... ඒත් කිසිම කෙනෙක් ආවේ නෑ කරදර කරන්න. ඒත් අමිලයි සචියයි දෙන්නත් ඇතුලට ඇවිත් ඇතුල්වෙන හරියේ හිටියා මගේ ආරක්ෂාවට.

දන්නෙම නැති විදිහට ලංකාවේ සති දෙකක් ගතවුනා.

ඊළඟ ඉරිදා උදේ මම දිලිනිව හම්බවුනා....අපර් ලේක් වලදි....

එදත් පුරුදු විදිහට සචියා, අමිල, දිලිප්, පැණියා හතර දෙනාම වැව රවුමේ බංකුවකට වෙලා හිටියා.

අපි දෙන්නා කතා කර කර ඉන්නකොට හිතාගන්නවත් බැරි තරම් ඉක්මනට ආපු වාහනේකින් ගිහාන් බැස්සා. තවත් තුන් දෙනෙක් එක්ක....

“අනේ කාවින්ද... මෙයා අපිට පාඩුවේ ඉන්න දෙන්නෙම නෑනේ..... මෙයා කොහොමද දැනගත්තේ අපි මෙතන ඉන්නවා කියලා.”

“බය වෙන්න එපා  සුදූ... මම බලාගන්නම්.....”

“අනේ කාවින්ද රණ්වුවට යන්න එපා....”  දිලිනි එහෙම කියනකොටම ගිහාන් ආවා.

“තාරුකා..... නැගපං වාහනේට...”

“දිලිනි මගේ අත අල්ලගෙන හෙල්ලෙන්නෙවත් නැතුව හිටියා.”

“මම එක පාරක් කිව්වා... උඹ තාත්තට පොරොන්දු වුනා නේද මූත් එක්ක තියෙන සම්බන්දේ නතර කරනවා කියලා... එනවා යන්න...”

ගිහාන් අවිත් දිලිනිගේ අතින් ඇල්ලන්න හැදුවා.

ඒත් එක්කම මම ගිහාන් ගේ අතට ගැහුවා.

“කාවින්ද මේක උඹේ වැඩක් නෙවෙයි... කන්නේ නැතුව පැත්තකට වෙලා හිටපං... මම දවස් ගාණක් බලාගෙන හිටියේ මේකි යන එන තැන්.”

“ගිහාන් මේ... උඹට මෙයාව ගෙනියන්න තියෙන අයිතිය මොකක්ද? උඹ එයාගේ තාත්තද, නැත්නම් මිනිහද?”

“තාම නෑ... ඒත් මෙයාගේ තාත්තා මට පොරොන්දු වෙලා තියෙන්නේ.....”

“ගිහාන්....” දිලිනි පලවෙනි වතාවට කතා කළා.

“මම එදත් කිව්වා, අදත් කියනවා... ඔයාට මාව අයිති නෑ... කවදාවත් වෙන්නෙත් නෑ.... මාව අයිති කාවින්දට... ඒ නිසා කරුණාකරලා යන්න..”

ඒක ඇහුන ගමන් ගිහාන් ටිකක් පස්සට වුනා.

“මූට උඹව අයිති කරගන්න මම දෙන්නෑ.... උඹ අයිති මට.... මම මරාගෙන මැරෙනවා....”

“පුළුවන් දෙයක් කරන්න ගිහාන්... මම එන්නෑ...... අනික පුළුවන් නම් තාත්තිට ගිහාන් කියන්න... මම බය නෑ..”

“මෙහේ වරෙන් කට වහගෙන...” ගිහාන් දිලිනිගේ අතින් ඇද්දා.

මගේ ඉවසීමේ රතු කට්ට පැන්නේ ඒත් එක්කම.

මම කෙලින්ම ගිහාන්ගේ බෙල්ලෙන් අල්ලා ගත්තා ඌට හුස්ම ගන්න බැරි වෙන්නම. එතකොටම ඌත් එක්ක ආපු අනිත් තුන් දෙනා අපිව වට කළා.

මේ වෙලාවට තමයි වැස්සට වගේ වුනත් කරාටේ ක්ලාස් ගිහින් ඉගෙනගත්ත දේවල් ඕනේ වෙන්නේ.... තුන් දෙනෙකුට තනියම ගහනවා කියන්නේ ලේසි නෑ.. වටපිටාවේ යන වාහනයක් ඇරෙන්න කිසිම කෙනෙක් නෑ... අර යාළුවෝ කියන පිස්සෝ ටික වැව පැත්තේ මාළු අල්ලනවද දන්නෑ මගේ ආරක්ෂාවට ඇවිත්.

තත්පරයකටත් අඩු කාලයකදී ගිහාන් එක්ක ආපු උන් අපිව වට කළා. මම ගිහාන් ගේ බෙල්ල තවත් තද කරලා ඌව කාණුවට තල්ලු කළා. ඒත් එක්කම වට කරපු එකෙකුට තවත් හොඳ පාරක් දුන්නා...

තවත් තත්පර ගාණකදි මම දැක්කා ගිහාන් ආයෙත් නැගිටලා එනවා. ඒ පාර ඌ ආවේ පොල්ලකුත් අතින් අරගෙන.

එතකොටම අපේ උන් සෙට් එක දුවගෙන ඇවිත් අරුන් තුන් දෙනාට වට කරගෙන ගහන්න පටන් ගත්තා.

මගේ දිහාවට ආපු ගිහාන් පොල්ලක් අරන් මට ගැහුවා. නැමිලා ඒ පාර වලක්වන ගමන් මම ගිහාන්ගේ අතට තද පාරක් දුන්නා. පාරේ සැර කමට පොල්ල පැත්තකට විසිවුනා. මට ඕනේ වුනේ එච්චරයි... තව දුරටත් මම ඉවසන්න පුළුවන් තත්වෙක හිටියේ නෑ... ගිහාන්ගේ මූණ පුරවලා මගේ අතින් දෙකකුයි, අන්තිමට රවුන්ඩ් කික් එකකුයි වදිනකොට ඌ නහයෙන් කටින් ලේ දාගෙන ආයෙත් කාණුවටම වැටුනා.

මම බලනකොට අපේ උන් අරුන් දුන් දෙනාට දුවන්නවත් බරි වෙන්න වට කරගෙන ගහනවා. උන්ගේ අත්වල තිබුණ කිතුල් පොළු වලින් උන්ටම වැදුනා. තුන් දෙනාගෙම ලේ ගලනවා...

“කාවා... දිලිනි නගින්න....” ජීප් එක ස්ටාට් කරගත්ත සචියා කෑ ගැහුවා. අරුන් ඔළුව උස්සන්නත් කළින් අපි හය දෙනා ජීප් එකට නැගලා එතනින් පැන ගත්තා.

අපි කෙළීන්ම ආවේ එරංග අයියගේ ගෙස්ට් හවුස් එකට.

මේ වෙනකම්ම දිලිනි වචනයක්වත් කතා කළේ නෑ.

අනිත් උන් වාහනෙන් බැස්සත් අපි දෙන්නා බැස්සේ නෑ.

ඒත් එක්කම දිලිනි මාව බදා ගත්තා.

“මට සමා වෙන්න කාවින්ද.....”

“ඇයි...?”

“වෙනද වගේ මම රණ්ඩුව නැවැත්තුවේ නෑ.... මට ඕනේ වුනේ ගිහාන් අදවත් පාඩමක් ඉගෙන ගන්න... ඒ නිසයි ඔයාටයි යාළුවන්ටයි ගහන්න දීලා මම බලාගෙන හිටියේ......  ඒත් මම එහෙම කරන්න හොඳ නෑ..”

“ඒක ලොකු දෙයක්... හැමදාම ඌ නැටුවේ අපි දෙන්නම ඉවසපු නිසා.. අදින් පස්සේ ඌ දැනගනී මම කව්ද කියලා. හැබැයි එකක්... අපේ රහස ආයෙත් එළි වෙනවා.. ඔයාගේ තාත්තා දැන ගනී අපි ගැන.”

“ඒක මම බලාගන්නම් කාවින්ද.... හැමදාම අපිට මෙහෙම හැංගෙන්න බෑ... බැරිම වුනොත් මමත් එන්නම් ඔයත් එක්ක මොන්ටානා යන්න... අපි මැරි කරමු...”

“හෝව් හෝව් මැඩම්.... ඔය පොඩි රණ්ඩුවට ඔච්චර බය වුනාද... දැන් ඔයාම නේද කිය කිය හිටියේ ඔයා මාව මැරි කරන්නේ හැමෝගෙම කැමැත්ත ඇතුව කියලා.”

“හොඳ පොඩි රණ්ඩුව.... අර කවුරුහරි මැරුණද දන්නෙත් නෑ... ඔයාලත් ගහන්න ගියාම පුදුම විදිහටනේ ගහන්නේ...”

එතකොටම සචියා ඇතුලට එබුනා.

“එහෙම තමයි මැඩම් ... අපි වැඩක් කරොත් තව දවසකට ඉතුරු කරන්නේ නෑ.... මෙච්චර කාලයක් ඉවසුවේ මැඩම් නිසා... කාවා ට නැගිටගන්න බැරුව හොස්පිට්ල් ඉන්නකොට, අපේ අත් වෙවුලුවා මූට නෙලන්න... ඒත් මැඩම් නිසා ඉවසුවා... අදනම් රිටර්න් එක දුන්නා ආයෙත් මදි නොකියන්න... ඇත්තම කියනවනම් ඌ රිටර්න් එක ඉල්ලගෙන කෑවා.” සචියා කිව්වා.

“දැන් අපි මොකද කරන්නේ කාවින්ද?” ඒ දිලිනි.

“මොනවත් කරන්න ඕනේ නෑ... අපි මෙතන ටිකක් ඉඳලා ගෙවල් වලට යමු... ඔයාට ගෙදර යන්න බයද?”

“නෑ කාවින්ද... මම යන්නම්...”

“ඔයා මොකුත් දන්නෑ වගේ ඉන්න... එච්චරයි...”

එතකොටම එරංග අයියා දුවගෙන ආවා.

“මොකද කාවින්ද මල්ලි... ආයෙත් වලියක්ද... අපේ එකා අවේ මූන ඉදිමිලා...”

“වලියක්නම් තමයි අයියේ... ගිහාන් ආයෙත් අපිට ගහන්න සෙට් වුනානේ... අපේ උන් දුන්නා ඇති වෙන්න.”

“මම නම් දන්නෑ උඹලා කරන දේවල්.... අන්න අර රූම් එකකට ගිහින් වොෂ් එකක් දාගනින්.. බලපං හැටි... මිණි මරලා වගේ....”

මම බලනකොට අපේ උන් කාමරයකට ගිහින්.

මම දිලිනිවත් ඇදගෙන උඩ තට්ටුවේ කාමරයකට ආවා.

“මට ලැජ්ජයි කාවින්ද... ඔයාගේ යාළුවොත් ඉන්නවා.....”

“හරි හරි..... අපි වොෂ් එකක් දාගන්නනේ ආවේ.... අනික උන් දන්නවා අපි සිංගප්පූරුවේ පොල් ගෑවෙ නෑ කියලා.”

“අයියෝ... ඔයා ඒකත් කිව්වද... මට නම් ලැජ්ජාවේ බෑ....”

“මම කියන්න ඕනේ නෑ... උන් දන්නවා.. ඒක නෙවෙයි... අපි......” මම එහෙම කියලා දිලිනිව මගේ ළඟට ඇදලා ගත්තා.

“යනවා යන්න..... ඔය බැල්ම නම් මට දිරවන්නේ නෑ.... මහ වල් පෙනුමක් තියෙන්නේ මූණේ.”

“ඇයි මොකද.... ළඟට එන්න බැරිද...” මම දිලිනිව තවත් ලං කර ගත්තා.

“එපා... මම කෑගහනවා ඔන්න...... අපෝ මෙයා නම් හරිම වල් වෙලා.... යනවා යන්න.... අපි බඳිනකම්ම ආයෙත් නම් බෑ....”

“එහෙනම් අපි අදම බඳිමු සුදූ... මට දැන් ඉඳලා ඇතිවෙලා....”

“මොකද ඔච්චර හදිස්සිය.... කොල්ලට ඉවසන්නම බැරිද?”

“බෑ සුදූ... ඔයා ළඟ ඉන්නකොට මට අරක කරන්නමයි හිතෙන්නේ...”

“මොකක්ද...?”

“එන්නකෝ ළඟට කියන්න... හයියෙන් කියන්න බෑ...” මම කිව්වා.

දිලිනි කන ලං කළා.

මම එයාගේ කනට කරලා කතා කළා.

“ඊයා...... මෙයා නම්....” මම කියපු එක අහලා දිලිනි කාමරේ අනිත් කොනට දිව්වා.

“මොකද ඔච්චර ලැජ්ජා... ඒ වෙලාවටනම් හොඳයි.... දැන්....”

“ඒ වුනාට ඒවා ඔහොම කියන්නේ නෑ අනේ.... ලැජ්ජාවේ පන යනවා....”

දිලිනි ඇත්තටම ලැජ්ජාවෙන් රතු වෙලා.