Friday, October 27, 2017

සදානුස්මරණිය ප්‍රථම ප්‍රේමය ~ මේ ආදරයයි ~ 101



සදානුස්මරණිය ප්‍රථම ප්‍රේමය


මේ ආදරයයි



101.

ටිකට් එක ගත්ත දවසේ කොල්ලෝ සෙට් එකම ගෙදර ආවා.
“උඹ නැතිවෙන එක අපිට මාර පාඩුවක් කාවා. අපි සෙට් එක අවුරුදු දහටක් විතර එකටම හිටියා. දැන් උඹ යන්න යනවා.” අමිල කිව්වා.
“නෑ බං උඹ යන එක හොඳයි. මෙහෙට වෙලා චාටර් වෙනවට වඩා යන්න පුළුවන් වෙලාවේ ගිහින් වැඩක් කරගනින්.”
“ඔව් ඔව්.... උඹ ගිහින් සෙට්ල් වුනොත් උඹ අපිවත් ගෙන්න ගනින්. අපිට නිව්යෝක් හන්දියේ මේ වගේම සෙට් වෙලා ටවුම රන් කරන්න පුළුවන් නේ. අර නිව්යෝක් හන්දියේ දකුණු පැත්තේ  පෙට්ටි කඩෙන් ප්ලේන්ටියයි සිගරට් එකයි ගහලා, නිව්යෝක් වැව ඉවුරේ සෙට් වෙලා....”
අමිල ආයෙත් කිව්වා.
“අනේ මේ පලයං බං..... උඹ හිතාගෙන ඉන්නේ උඹ ඇමරිකාවේ ගිහින් ගැන්සි බහින්නද. උන් වෙඩි තියල දායි මීයෙකුට වගේ තොට.”
“මට නම් කිසිම දුකක් නැ බං.”
මම එහෙම කිව්වහම උන් සෙට් එකම කන්න වගේ මගේ දිහා බලාගෙන හිටියා.
“උඹට අපිව දාල යන්න දුක නෑ?”
“මට මෙහේ ඉඳලා කරන්න දෙයක් ඔළුවට එන්නේ නෑ. මට ඇමරිකාවේ ගිහින් කරන්න ලොකු දේකුත් නෑ. මම මේ ගමන යන්නේ අම්මයි, සමාධියි නිසා. දිලිනිත් හොල්මනක් නැති වුනා වගේ අතුරුදහන් වෙලා. ඉතින් මට ලංකාවෙන් යනවා කියන  එක දුකක් නෙවෙයි.”
දිලිනිගෙයි මගෙයි ප්ලෑන් එකේ අන්තිම ටිකත් මම කියලා දැම්මා.
“ඔව් කාවා... මේ යන විදිහට උඹ යන එක හොඳයි. උඹ කොච්චර අවුලා වෙලාද කියලා උඹ දැන් කියපු කතාවෙන්ම පේනවා. උඹ කවදාවත් අපි ගැන ඔහොම හිතලා නෑ. උඹ උළුමනාවෙන් හිතන්නෙත් නෑ. උඹ හිතාගන්න බැරි තරම් අවුල් වෙලා. පලයං... මොනව හරි කරගෙනම වරෙන්. එන්න හිත හදාගන්න බැරිනම් එහේම වුනත් සෙට්ල් වෙයං. උඹ හොඳින් ඉන්නයි අපිට ඕනේ”
“මම ඒක දන්නවා බං. මම කිව්වේ ජීවිතේ ඉස්සරහට මට බලාපොරොත්තු නෑ කියලා. උඹලා ඉන්න බව දන්නවා. ඒත් තව අවුරුදු කීපයකින් උඹලා හැම එකාම පවුල් වෙලා වගකීම් එනකොට මේ ඉන්නවා වගේ ඉන්න බෑ. අන්න ඒකයි මම කිව්වේ.”
“කාවා මේ එක බූට් එකට දාර්ශණිකයෙක් වෙලානේ... යකෝ අපේ පැණියා එහෙම නෑනේ.” අමිල කිව්වා.
“ඒකට බූට් කන්න ඕනේ නෑ බං.... තමන්ගේ හිතට එකඟව වැඩ කරපං. එච්චරයි. මම යනවා. කාත් එක්කවත් තරහින් නෙවෙයි... මගේ හිත හදාගන්න පුළුවන්ද බලන්න. මට උඹලා කවදාවත් අමතක වෙන්නෑ. ජීවිතේ අමාරුම වෙලාවේ ළගින් හිටියේ උඹලා. ඒක අමතක වෙන්නෑ කවදාවත්.” මම කිව්වා.
මටම පුදුමයි මගේ රඟපෑම ගැන. මුන් කවදාහරි දැන ගනී මේ මම කළේ බොරුවක් කියලා. එදාට මුන් මාව නැති කරයි. ඒත් කරන්න දෙයක් නෑ.... ප්ලෑන් එක වැඩ කරන්න නම් කොහෙවත් දුර්වල තැනක් තියන්න බෑ.
“ඒක නෙවෙයි කාවා, උඹ දැන් ගිහිල්ලා කැසිනෝ පාරක් දාලා, රෑට පොඩි ෂොට් එකකුත් දාලා, නිකං මයිකල් ජැක්සන් වගේ ඉඳියි නේද, ආ මේ මචං... සිරාවට උඹ කොහොම හරි මයිකල් ජැක්සන්ව හම්බවෙයන් හරිද. උඹේ කැමතිම ගායකයනේ. ආ අනිත් එක ජූලියා....”
“කව්ද බං ජූලියා..”
“ඇයි යකෝ... උඹට ජූලියා අමතකද? ජූලියා රොබට්ස්... උඹ ටී වී එකෙන් ලව් කරන්නේ ඒකිටනේ.”
අමිල නොන්ස්ටොප් කියවනවා.
“යකෝ... කැසිනෝ තියෙන්නේ වේගාස් වල. එහේ ගිහින් කැසිනෝ ගහන්න සල්ලි තියෙනවනම් ඒ සල්ලි වලින් මෙහේ රජෙක් වගේ ඉන්නවනේ. අනික මයිකල් ජැක්සන්, ජූලියා රොබට්ස් හම්බවෙන්න මම කව්ද. උන් ඉන්නේ හොලිවුඩ් වල, මම යන්නේ මොන්ටානා වලට. වියදම් අඩු පැත්තකට.”
“ඒකත් එහෙමද, මම හිතුවේ උඹ වොෂින්ටන් හරි නිව්යොර්ක් හරි හොලිවුඩ් හරි යයි කියලා.” අමිල සෑහෙන දුක් මූනක් දාගෙන කිව්වා.
“හැබැයි කාවා, උඹ නිකමට හොලිවුඩ් පැත්තේ පලයං. උඹ උසත් තියෙනවා, පොඩි හැන්ඩි ලුක් එකකුත් තියෙන එකේ නිකමට හරි උඹට ටෙලියකටවත් කතා කළොත්, ජීවිතේම ගොඩ....”
“මේ යකෝ... පිස්සු කියවන්න එපා බං. උඹ හිතුවද අර ඉන්දියාවේ වගේ නළු නිළියන්ගේ ගෙවල් ගාව ඇමරිකාවේ මිනිස්සුත් දවස් ගණන් ඉන්නවා කියලා උන්ව බලන්න, නැත්තං රඟපාන්න ඉල්ලන්න.”
“ඇයි නැද්ද?”
“ඒ ඉන්දියාවේ ගොං හැත්ත බං.”
“අපරාදේ.....” අමිල කිව්වා.
“ඇයි බං....?”
“නෑ මං හිතං හිටියේ කවදා හරි ඇමරිකාවේ ගිහින්, සෙට් එකට තේ ඇදලා, ලයිට් අල්ලලා හරි රඟපාන්න පොඩි කෑල්ලක් ඉල්ලගන්න.” අමිල කිව්වා.
“ඇයි බං, උඹ හින්දිත් දන්න එකේ නරකද ඉන්දියාවට ගිහිල්ලා ෂාරුක් ඛාන්ගේ ගෙදර වැඩ කරන්න සෙට් වුනොත්.”
ඔය විදිහට එදා දවස වල්පල කියව කියව ගෙවුනා.
හවස් වෙලා මට දිලිනිව හම්බවෙන්න යන්න ප්ලෑන් කරගෙන තිබුණ නිසා යාළුවෝ ටික ගියාට පස්සේ මම එයාට කෝල් කලා.
“කාවින්ද.... ඔයා හයට එන්න...“
“පුරුදු තැනටනේ.... අවුලක් නෑ.... මම සචියගේ ගෙදර යනවා කියලා එන්නම්.“
“පුරුදු තැනට නෙවෙයි කාවින්ද.... මට අද ඔයා එක්ක නිදහසේ පැය දෙක තුනක් ඉන්න ඕනේ... ඔයා යන්න කළීන් මට ආයෙත් ඔයාව දකින්න බැරි වෙයි.“
“ඔයා හිල්ටොප් එකට එන්න. කෙලින්ම රූම් නම්බර් 63 එකට එන්න. මම ඒක බුක් කරලා තියෙන්නේ.“
“කව්රුවත් දැක්කොත්...“
“නෑ බබා... මම උදේ ඉඳලා එතන ඉන්නේ... කව්රුවත් දන්නෑ...“
හරි මම එන්නම්....
මම ඇඳගෙන ඉවර වෙලා දිලිනිව බලන්න යන්න කළීන් යන්න අවශ්‍ය තැනක් තිබුණා. සචිත්‍රගේ ගෙදර. මොනව වුනත් ඌටයි අමිලටයි බොරු කියලා යන්න බෑ. මේ හැම ප්‍රශ්ණයක්ම මැද්දේ උන් දෙන්න මං වෙනුවෙන් හිටියා. අන්තිම මොහොතේ හරි ඇත්ත කියලා යන්න වෙනවා. මම දන්නවා මේ වෙනකොට අමිල ඉන්නෙත් සචිත්‍රෙග් ගෙදර කියලා.
මම යනකොට උන් දෙන්නා පුදුම වෙලා බලාගෙන හිටියා.
“කාවා...!“
“මට උඹලට පොඩි දෙයක් කියන්න තියෙනවා.“
“ඇයි බං.. අපි උදේ ඉඳලා උඹලා ගෙදර ඉඳලා මේ ආවා විතරයි. උඹ අනිත් පයින් මේ ගෙදර. මොකක්ද සීන් එක.“
“වරෙන්කෝ එළියට යන්න... බිත්ති වලටත් කන් තියෙනවා.“
“යකෝ... මොකක්ද රහස.... ගේමක්ද.... මූවි එකක් වගේනේ බං මේක?“
අමිල සුපුරුදු ටෝන් එකෙන් ඇහුවා.
අපි තුන්දෙන් මිදුලේ තිබුණ නෙල්ලි ගහ යටට ආවා.
“මොකක්ද කාවා සීන් එක?“ සචිත්‍ර ඇහුවා.
“මම මේක කිව්වට පස්සේ උඹලා දෙන්නා මාත් එක්ක සිරාවටම තරහවෙයි කියලා මට බයයි.“
“කියපං බං...“
“මචං.... දිලිනි මාව දාලා ගිහින් නෑ... මම දැන් යන්නෙත් එයාව හම්බවෙන්න.“
මම ඒක කිව්වා විතරයි උන් දෙන්නා මූනට මූන බලා ගත්තා.
“මම කිව්වනේ... මේක මම කළේ පොඩි ප්ලෑන් එකක් අනුව.“
‘එතකොට උඹ අපි දෙන්නව ඇන්දුව එකත් ප්ලෑන් එකක්ද?“
“කියන දේ අහපංකෝ.. උඹලා දෙන්නා මුලින් මේක දැනගෙන හිටියනම් උඹලා මම ගැන දුකෙන් සිරාවටම ඉන්නේ නෑ. ඒ වෙනස අපේ අම්මලාට වුනත් පේන්න තිබුණා. එහෙම වුනානම් සැක හිතනවා. අපිට ඕනේ වුනේ උඹලා දෙන්නත් ඇත්තටම හිතන්න මම දිලිනිගෙන් වෙන් වෙලා අප්සෙට් එකේ ඉන්නවා කියලා. එතකොට උඹලා ඇත්තටම දුක් වෙනවා. ඒක දකින අපේ අම්මලා වුනත් බින්දුවක් වත් සැක කරන්නේ නෑ.“
“අපි කිව්වේ... එතකොට මේ ගොන් ප්ලෑන් එක උඹේ විතරක් නෙවෙයිද?“
“නෑ... දිලිනිගේ වැඩක්...“
“ඔය දිලිනි නම් යකෝ දවසක උඹව දානවා නියම අමාරුවක. යකෝ උඹේ ළඟින්ම හිටපු අපි දෙන්නවත් කඩේ යැව්වනේ... බලු වැඩ බං...“
“අහපංකෝ.... උඹල දෙන්න නියමෙට වැඩේ කළා.“
“හරි... දැන් මොකක්ද තොපි දෙන්නගේ ප්ලෑන් එක.“
“කියන්නම්... ඊට කළින් පොරොන්දු වෙයං මේ ගැන තව අවුරුදු පහකටවත් කිසිම කෙනෙකුට කියන්නෑ කියලා. අපිට ඕනේ අපි දෙන්නා වෙන් වෙලා කියන එක දිගටම පෙන්වන්න.“
“අපි කියන්නෑ යකෝ...“
“මේකයි ප්ලෑන් එක....“
මම සම්පූර්ණ ප්ලෑන් එක කිව්වා.
“යකෝ මේ කෙල්ලෝ තමයි කෙල්ලෝ... උන් උන්ට ඕනේ දේ ගන්න නොකරන දෙයක් නෑ බං... මොනවා වුනත් දිලිනි කියන්නේ පට්ට කෙලින් වැඩ කරන අවංක කෙල්ලෙක්. ඒකි උඹට ලව්... බොක්කෙන්ම... හින්දි ෆිල්ම් දාස් ගාණක් බලපු එක්පීරියන්ස් එකෙන් මම කියන්නේ.. දිලිනි තමා උඹේ හදවත කඩා ගෙන ආපු ලව් එක...“
අමිල කිව්වා.
ඒත් එක්කම මම මගේ හිතේ තිබුණ අළුත්ම ප්ලෑන් එකකුත් උන් දෙන්නව කියලා දෙන්නව පිටත් කළා.
“හරි කාවා... උඹ හොඳට හිතලනේ ඔය තීරණේ ගත්තේ... අපි වැඩේ කරන්නම්.... අපි හත වෙනකොට උඹ කියපු තැන.“
සචියා කිව්වා.
ඉන් පස්සේ මම දිලිනි කියපු තැනට ආවා.
මම කාමරේට ඇතුල් වෙනකොටම දිලිනි දුවගෙන ඇවිත් මගේ බෙල්ලේ එල්ලුනා.
“මට දුකයි කාවින්ද,“
“ඇයි“
“ඔයා යනවනේ.... ඔයා නැතුව මට පාළු තියෙයි...“
“එහෙනම් ඉන්නම්...“
“අනේ එපා... යන ගමන යන්න.... අපි දෙන්නා වෙනුවෙන්නේ... මම ඉවසගෙන ඉන්නම්.“
“මටත් ඔයාව දාලා යන්න බෑ සුදූ... අපි ලංකාවෙම කොහේ හරි ඈත් පැත්තකට ගිහින් ඉමු..“
“ඔයාට පිස්සු...“
අපි කතා කර කර ඉන්න අතරේ කෙනෙක් දොරට තට්ටු කළා.
දිලිනි බයවෙලා මගේ දිහා බැලුවා.
“කාවින්ද අරින්න එපා... අපි දෙන්න මෙතන කියලා කව්රුවත් දන්නෑ.“
“පොඩ්ඩක් බය නැතුව ඉන්නකෝ...“
මම දොර ඇරියා. දොර ලඟ හිටගෙන හිටියේ සචිත්‍ර.
“කාවා... වැඩේ හරි..... කෙල්ලට කිව්වද?“
“තාම නෑ.“
ඒත් එක්කම අමිලත් ආවා.
“කාවින්ද... ඇයි මේ...?“ දිලිනි ඇහුවා.
“උඹලා දෙන්නත් ඇතුලට වරෙන්.“
උන් දෙන්නා ඇවිත් ඉඳගත්තා.
“ඇයි කාවින්ද?“ දිලිනි ආයෙත් ඇහුවා.
මම සාක්කුවේ දාගෙන හිටපු ලස්සන මුද්දක් අරන් දිලිනි ලඟට ආවා.
“තාරුකා.... ඔයා කැමති නම ඒකනේ...“
“ඔව්... ඔයා මොකද කරන්න යන්නේ...?“ මම කරන්න යන දේ අනුමාන කරලා වගේ දිලිනි පුදුමෙන් ඇහුවා.
“තාරුකා... විල් යූ මැරී මී...?“ මම මුද්ද එයා දිහාවට දික් කරලා ඇහුවා.
දිලිනි අත් දෙකෙන් මූණ වහ ගත්තා.
“සුදූ.... කියන්න ඔයා මාව බඳිනවද?“ඒත් දිලිනි කතා නැහැ.
“සුදූ... මොනවහරි කියන්න.“
“කාවින්ද.... ඇයි ඔයා මේ වෙලාවම මේකට තෝරගත්තේ....“
“වෙන වෙලාවක් නෑ සුදූ... අපි අවුරුදු කීපයක් වෙන් වෙලා ඉන්න යනවා. මට බයයි ඔයාට මොනවා වෙයිද කියලා. මේ මිනිස්සු ඔයාට මොනවා කරලා තියයිද කියලා. ඒ නිසා මම අහන්නේ ... යන්න කළින් කියන්න... විල් යූ මැරි මී...“
දිලිනි මගේ ලඟට ආවා. “ඔෆ් කෝස් කාවින්ද... අයි විල් මැරී යූ.. එනිටයිම් යූ සේ...“
මම ඒ ලස්සන ඇඟිල්ලට මුද්ද දැම්මා.
“ඔයාගේ රින්ග් එක නම් ලස්සනයි කාවින්ද... ඔයාගේ සප්‍රයිස් එක ඊටත් වඩා ලස්සනයි....“ දිලිනි කිව්වා.
“හම්මේ ඇති යන්තම් අඩු ගාණේ උඹලා දෙන්නා එන්ගේජ් වුනා. දැන් තමයි ඇඟට ලේ ටිකක් ඉනුවේ.” සචියා කිව්වා.
“ඇයි බං?”
“නෑ ඉතින් උඹලා ලව් කරනවා ඉවරයක් නෑ... අපි කටු කනවා ඉවරයක් නෑ.... දැන් අඩුගාණේ රෙජිස්ටර් නොකරත්, උඹලා දෙන්නා බඳිනවා කියලා පොරොන්දු වුනානේ... කටු කන එකේ එහෙමවත් සැ‍ටිස්ෆැක්ෂන් එකක් තියෙන්න ඕනෙනේ බං.”
“ඇයි උඹ හිතුවද අපි දෙන්නා‍ නොබැඳ දිගටම මෙහෙම ඉඳි කියලා.”
“කියන්න බෑනේ බං උඹලා කරන මොන්ගල් වැඩ දිහා බැලුවහම ඒකත් ෂුවර් නෑ. එහෙම වුනොත් මගේ අම්මේ අපිට සදාකාලිකවම මේ කට්ටනේ...”
“පිස්සු කියවන්න එපා බං...”
මම ‍එහෙම කිව්වහම උන් දෙන්නා හිනාවෙලා යන්න ගියා.
මමයි දිලිනියි ආයෙත් තනි වුනා.‍
එදා දවසේ අපි හොඳටම රෑ වෙනකම්ම හිටියා. දෙන්නටම යන්න හිතක් තිබුණේ නෑ.
“මට ඔයාව දාලා යන්න බෑ සුදූ...”
“මටත් එහෙම තමයි, ඒත් ඔයා යන්නම ඕනේ කාවින්ද... අපි ‍දෙන්නා වෙනුවෙන් මේ වැඩේ අපි කරන්නම ඕනේ. නැත්නම් අපිට මීට වඩා ප්‍රශ්න වලට මූණ දෙන්න වෙනවා.”
“මට තේරෙනවා සුදූ...”
රෑ දහයට විතර මම පිටත් වුනා.
සචියත් එකතුකරගෙන ආපහු උන්ගේ ගෙදර යනකොට රෑ එකොළහට විතර ඇති.

Thursday, October 26, 2017

සදානුස්මරණිය ප්‍රථම ප්‍රේමය ~ මේ ආදරයයි ~ 100



සදානුස්මරණිය ප්‍රථම ප්‍රේමය


මේ ආදරයයි



100.

“කාවින්ද, අපි මොනවද කරන්නේ දැන්?”
“හිතාගන්න බෑ..... අපි දෙන්නට එකතු වෙන්න නම් කවදාවත් ඉඩ ලැබෙන්නෑ මේ විදිහට.”
“හ්ම්..... මට වෙලාවකට හිතෙනවා මේ අපි කරන දේ කවදාවත් අපිට දිනාගන්න බැරි දෙයක් කියලා..”
“නෑ සුදූ... මම නම් එහෙම හිතන්නේ නෑ.”
“කාවින්ද.....”
“මොකද?”
“මම ගොඩක් කල්පනා කළා අපි ගැන.”
“ඉතින්...”
“මට හිතාගන්න පුළුවන් එක දෙයක් තියෙනවා කරන්න. ඒත් අපිට කීප දෙනෙක්ව ටික කාලයකට රවට්ටන්න වෙනවා.”
“මට තේරෙන්නෑ... මොනවද කරන්න ඕනේ?”
“මේකයි... අපි තාම මැරි කරන්න පුළුවන් තත්වෙක නෑ. එකක් අපි තාම පොඩි වයසේ, අනිත් එක අපි දෙන්නම තාම ෆයිනැන්ෂලි ස්ටේබල් නෑ... ඔයාට රස්සාවක් හරියටම නෑ. මටත් තියෙන්නේ තාත්තිත් එකක් හවුල් බිස්නස්. අපි දැන් තනි වුනොත් අපිට ගො‍ඩක් දුක් විඳින්න වෙයි. අපිට කිසිම දෙයක් නැත්නම් දුක් විඳලා ඒවා ගොඩනගා‍ ගත්තට කමක් නෑ, ඒත් ඒ දේවල් අපිට අයිති වෙලා තියෙද්දී ඒවා ගන්න උත්සහ නොකර දුක් විඳින එක අපරාධයක්.”
“ඉතින්...”
“ඔයා තාම ඉගෙනගන්නවා... ඔයාට කරන්න තියෙන හොඳම දේ පිටරටක ඩිග්රි එකක් කරන්න. වීස ඇප්ලයි කරලා කොහොම හරි යන්න බලන්න.”
“ඒක ලේසි වැඩක්ද? කෝ සල්ලි?”
“ඔයා ට බැරි නෑ.... මතකද ඔයා කිව්වා සමාධි එක වතාවක් දිනිත් එක්ක එකතු වෙලා ඔයාව ඇමරිකාවට ගෙන්න ගන්න බැලුවා කියලා?”
“ඔව්....”
“ඉතින්... අපි දෙන්නා ටික කාලෙකට වෙන්වෙලා කියලා පෙන්නමු. ඊට පස්සේ ඔයා සමාධිට කතා කරලා වැඩේ කරගන්න බලන්න... එයාගේ මාමා, අක්කා බෝයි ෆ්‍රෙන්ඩ් තුන් දෙනාම එහේ ඉන්න නිසා අපි තනියම ඇප්ලයි කරලා කරනවට වඩා ඒ අයගෙන් උදව් ගත්තොත් වැඩේ ලේසි වෙයි.”
“මට බෑ.... මම කොහොමද ආයෙත් සමාධි ලඟට යන්නේ. අපි දෙන්නට මෙච්චර දේවල් කරලා තියෙනකොට මට නම් ඒක කරන්න බෑ.”
“පුළුවන් කාවින්ද... එයා අපිට කරපු දේවල් වලට හිලව් වෙන්න අපිත් මේ වගේ දෙයක් එයාට කියලා කරගමු.”
“හරි එහෙම කළා කියමුකෝ..... ඊට පස්සේ?”
“ඔයා යන්නේ අවුරුදු තුනකටනේ.... ඊට පස්සේ ඔයාට ජොබ් සීකින් වීසා එකක් ලැබෙනවා. එතකොට ඔයාට ජොබ් එකක් කරන්න පුළුවන්. අවුරුදු දෙකක් විතර ජොබ් එකක් කරලා ඔයා ‍එහේ ස්ටේබල් වෙන්න. එතකොට මටත් ඔයා ළඟට එන්න පුළුවන්. අපි අවුරුදු දෙක තුනක් ‍‍එහේ ඉඳලා ලංකාවට එමු. ඊට පස්සේ තාත්තිගෙන් මට ලැබෙන්න තියෙන දේවල් ඉල්ලන්න පුළුවන්.”
“ඒ කියන්නේ අවුරුදු ගාණක්ම මට ඔයා නැතුව ඉන්න වෙනවද?”
“නෑ නෑ අනේ..... ඔයා ගිහින් අවුරුද්දකින් මම එනවා. මට එම් එස් සී එක කරන්න හදාගෙන එනවා. ඊට කළින් ඔයා යන්න. ඔයා නැති අවුරුද්දක කාලයේදි මම මේ බිස්නස් ටික මගේ අතට ගන්න බලන්නම්.”
“බලෙන් එහෙම දේවල් කරන්න එපා සුදූ, තාත්තා දෙනවනම් විතරක් ගන්න.”
“බබා... මේ දේවල් අයිති මට. මට වෙන සහෝදර ‍සහෝදරි‍යෝ නෑ... එතකොට තාත්තගේ දේවල් වලට සම්පූර්ණ අයිතිය තියෙන්නේ මට. ගිහානුයි, මගේම මාමයි මේ දේවල් වලට ට්‍රයි කරනවා. මම ඉන්නකම් ඒක කරන්න බෑ. මමත් හදිස්සියේ ගියොත් තමා ප්‍රශ්ණේ. ඒ නිසා ඔයා කලින් යන්න. මම මේවා සෙට්ල් කරලා එන්නම්.”
බලාගෙන ගියාම දිලිනි මාර ප්ලෑන් එකක් ගහනවා. ඒත් මගේ හිතේ බයක් තියෙනවා අපි හිතන දේවල් හරියටම හරියන් එකක් නෑ කියලා.
“කාවින්ද... මොකක්ද ඔයා හිතන්නේ?”
“ඔයා කියනවනම් මම ට්‍රයි කරන්නම්.  ඒත් ලේසි නෑ. සල්ලි ඔයා දුන්නත් අම්මා බලයි කොහෙන්ද මේ සල්ලි කියලා. අනිවා සැක කරයි ඔයා දුන්නා කියලා.”
“අපි ඒකට මොකක් හරි කරමු. ඔයා ඉක්මනටම සමාධිට කතා කරන්න. අපි ටික දවසකට තරහ වෙලා වගේ ඉමු.”
“ඒක කොහොමද සමාධිට දැනගන්න අරින්නේ?”
“ඒක මම කරන්නම්.. ඔයා ඒ ගැන කල්පනා කරන්න එපා.”
“හරි... මම සමාධිට කතා කරන්නම්.”
ටික දවසක් යනකොට අපිට තිබුණ පීඩනය වැඩි වුනා.
විශේෂයෙන් මට ලොකු ප්‍රශ්ණ ආවා.
අම්මයි තාත්තයි දෙන්නා මොන වෙලාවේ බැලුවත් කියවන්නේ දිලිනි එක්ක තියෙන සම්බන්ධය නවත්තන්න කියලා. යාළුවෙක් හම්බවෙන්න නුවරට ගියත්, අඩු තරමේ බෙහෙත් කරන්න සචියා එක්ක හොස්පිට්ල් ගියත් ඒ අය සැක කළා...

මට පුදුමයි එක පාරටම ඇයි මේ අය ඇවිස්සුනේ කියලා.

ඔය අතරේ දවසක් දිලිනි කෝල් කළා.

“බබා... ඔයාට ප්‍රශ්ණ වැඩිවෙලාද, එයා හීනියට හිනා වෙන ගමන් ඇහුවා.”

“ඔයා නම් හිනා වෙනවා... මට මේ ටොයිලට් ගියත් අම්මා කියවන්නේ ඔයාව අමතක කරන්න කියලා... මේක මල වදයක් වෙලා.”

“අයියෝ ගණන් ගන්න එපා කාවින්ද... ඒ කියන්නේ මගේ ප්ලෑන් එක වැඩ කරලා.”

“මොකක්.... මොකක්ද ඔයාගේ ඔය පිස්සු ප්ලෑන් එක?”

“ඇයි අනේ, සමාධිට දැනෙන්න අරින එක අපි වෙන්වෙනවා කියලා.”

“එතකොට...”

“එතකොට බබෝ දැන් ඔයා ඉන්නේ ලොකු ප්‍රශ්ණෙක... අම්මා තාත්තා කෑ ගහනවා හැම වෙලාවෙම.. මාව දකින්නවත් නෑ... තව දවස් කීපයකින් සමාධි හරි දිනි හරි ඔයාට කතා කරයි. ඔයාට මාව එපා ‍වෙලා වගේ පෙන්වන්න..... මේ ප්‍රෙෂර් එක නිසා ඔයාට මාව දකින්නවත් නෑනේ. දැන් ගෙදර ඉන්නත් එපා වෙලා... ලංකාවේ ඉන්නත් එපා වෙලා කියන්න.. අනිවාර්යයෙන් දිනි එතකොට ආයෙත් ඔයාට ඇමරිකා යන්න කියයි. එතකොට ඉතුරු ටික ඔයාගේ අතේ.”

“එතකොට සුදූ මේ සම්පූර්ණ අවුල ඔයාගේ ප්ලෑන් එකක්ද?”

“ඔව්... ඇයි මම එදා කිව්වේ.... ඔයා ඕක හිතට ගන්න එපා.. චාන්ස එක ආවහම වැඩේ කරගන්න.”

“හම්මේ... මේ කෙල්ලෝ කරන වැඩ.”

“එහෙම තමා... ඔයාව ලබාගන්න මට ඕනේම දෙයක් කරන්න පුළුවන් කාවින්ද?”

“මම දන්නෑ... අපි ගන්නේ ලොකු රිස්ක් එකක්...”

“බය නොවී ඉන්න.... එහෙනම් මම තියනවා... බායි.”

දිලිනි ෆෝන් එක තිබ්බා.

‍අම්මෝ මේ කෙල්ලෝ නම්... මේ වගේ මගෝඩි ප්ලෑන් ගහන්න මුන්ට වඩා ජාතියක් නෑ.... මෙච්චර ගේම් දෙන අපිටවත් ඔය වගේ හීන් නූලෙන් ගේම් දෙන්න බෑනේ.

දිලිනි කියපු විදිහට මමත් ටිකක් හැමදේම එපා වෙලා වගේ රඟපාන්න ගත්තා.

දිලිනි ගේ  ඊළඟ ප්ලෑන් එකත් වැඩ කරලා කියලා මම දැනගත්තේ සතියකට පස්සේ සමාධි මට කෝල් කරපු නිසා.

“කාවින්ද... කොහොමද?”

“හොඳින් ඉන්නවා.”

“නියමයි... ඒක නෙවෙයි කාවින්ද අයියේ... මට ටිකක් ඔයා එක්ක කතා කරන්න ඕනේ.... බැරිද වෙලාවක නුවර පැත්තේ එන්න.”

“මට ප්‍රශ්ණයක් නෑ සමාධි..... හොඳින් ඉන්නවා... මොනවද කතා කරන්න තියෙන්නේ?”
“ඔයා එන්නකෝ... මම එතකො‍ට කියන්නම්...”

“එහෙනම් අද හවස තුනට එන්න.” මම කිව්වා.

අපි දෙන්නා හරියටම තුනට ‍ලියොන්ස් රෙස්ටොරන්ට් එකේ හම්බවුනා.

“ඉතින් කාවින්ද අයියේ.. සෑහෙන කාලෙකට පස්සේ..”

“හ්ම්...”

“තරහ වෙලාද අපිත් එක්ක හ්ම් ගාන්නේ?”

“අනේ නෑ නංගා.... මම මොකටද ඔයත් එක්ක තරහ වෙන්නේ..? ඔයාට කොහොමද නංගා?

“හොඳින් අයියේ.... ඒක නෙවෙයි මම ආවේ වැදගත් දෙයක් කතා කරන්න.”
“ඒ මොකක්ද?”

“ඔයා ට මතකද මම වතාවක් කිව්වා රැන්ඩි ඔයාව ගෙන්න ගන්න කැමැත්තෙන් ඉන්නවා කියලා. ඒත් ඔයා බෑ කිව්වනේ....”

“ඔව් ඉතින්....”

“දැන් මොකද ඒ ගැන කියන්නේ?”

දිලිනි හරියටම වැඩේ කරලා තියෙනවා වගේ. මට හිතුනා.

“ඇයි දැන් මොකක්ද වෙනස?” මම ඇහුවා.

“ඔයා තාම දිලිනි ගැන හිතනවද? දැක්කනේ අයියේ අපි කියන දේ නාහ වුන දේ... දැන් ඔයාගේ දෙමව්පියෝ කැමතිත් නෑ...”

“ඒක නම් එහෙම තමයි... ඒත් ඇයි ඔයා එකපාරටම මට පිටරට යන්න කියන්නේ?”
“අයියේ ඔයා මෙහේ ඉන්න එක සේෆ් නෑ... ඔයාගේ අම්මත් ඔයා ගැන ගොඩක් වද වෙනවා.”

“ඒ වුනාට මම වෙනස් වෙලා නෑ.”

“ඒ කියන්නේ ඔයා තාම දිලිනි ගැන හිතාගෙනද ඉන්නේ?”

මට ඕනේ වුනා සමාධි මගෙයි දිලිනිගෙයි සම්බන්දේ ගැන මොනවද දැනගෙන තියෙන්නේ කියලා බලන්න.

“මම තාම දිලිනි ගැන හිතාගෙන තමා ඉන්නේ...”

“ඔයා තාම පාඩමක් ඉගෙන ගෙන නෑ අයියේ... එයා කලින් වතාවකත් ඔයා‍ව අතරමං කළා.. ඊට පස්සේ ආයෙත් ඔය දෙන්නා එකතු වුනා... දැන් ආ‍යෙත් දිලිනි ඔයාව මග අරිනවා.. ඒත් ඔයා ඒක දන්නෑ වගේ එයා ගැනම හිතනවා.”

“කව්ද කියන්නේ දිලිනි මාව මග අරිනවා කියලා?”

“බොරුවට ඔහොම කියන්න එපා අයියේ... මම දන්නවා දැන් ඔයා ආයෙත් තනි වෙලා කියලා. ඒ වගේ කෙනෙක් ගැන තවත් බලාපොරොත්තු තියාගෙන ඉඳලා වැඩක් නෑ අයියේ... මම මේ කියන්නේ මට තියෙන අමාරුවකට නෙවෙයි... ඒත් පොඩි කාලේ ඉඳලම ඔයා අපිට ගොඩක් කිට්ටුයි... අයියා කෙනෙක් නැති අඩුව මටයි දිනිටයි දෙන්නටම නැතිවුනේ ඔයාගෙන්..... ඉතින් අයියේ ඔයා විනාශ වෙනවා බලාගෙන ඉන්න අපිට බෑ. අනිත් එක ඔයාගේ අම්මත් මට කතා කළා. එයා වුනත් කැමතියි ඔයා අවුරුදු කීපයකට ලංකාවෙන් යනවනම්.”

දිලිනි මේ ටික දවසට මොනව කළාද කියලා මට නම් හිතාගන්න බෑ. මේ හැමෝම ඇවිස්සිලා තියෙන්නේ නම් එයා නිසා කියලා මට තේරුණා. ඒ නිසා පරිස්සමින් කතා කරන්න මම හිතා ගත්තා.

“මට හිතාගන්න බෑ සමාධි..”

“ඔයාට හිතන්න දෙයක් නෑ අයියේ... ඔයා යන්න ලෑස්ති වෙන්න.

එදා සමාධි මාව කොහොම හරි කැමති කරගන්න බැලුවා. ප්ලෑන් එක සැක නොකරන්න ඕනේ නිසා මම ඒ ගැන ලොකු කැමැත්තක්වක් අකමැත්තක් පෙන්නුවේ නෑ. සමාධිට හිතාගන්න ඇරලා මම නිහඬ වුනා.

මේ සමාධිගේ වැඩ හැම එකක්ම පිටි පස්සේ දිනි ඉන්න බව මම දන්නවා. මම එයාට ආදරේ නොකරන බව පැහැදිලිවම කියලා තියෙද්දිත් එයා මොනවද කරන්න යන්නේ කියන එක නම් මට ප්‍රශ්ණයක් වුනා.

මේ අතරේ මම දිලිනිව හම්බ වුනේ බොහොම රහසිගතව. මොකද කවුරු හරි අපි දෙන්නා එකට ඉන්නවා දැක්කොත් මුළු සැලැස්මම ඉවරයි.

අපි දෙන්නට හම්බ වෙන්න තිබුණ එකම තැන ශලිනිගේ ගෙදර. දිලිනිගේ යාළුවෙක් වුන ශලිනි අපි දෙන්නට උදව් කළා. එයා දිලිනිට වැඩිපුර යතුරක් දීලා තිබුණා. අපි දෙන්නා සතියකට වතාවක් එතනදී හම්බවෙලා කතා කළා.

මේ කාලය ඇතුලත මම නොකඩවා ප්‍රතිකාර ගත්ත නිසා මගේ අසනීප තත්වයක් හොඳටම හොඳ වුනා. ඇත්තටම මාස හයක කාලයකදී මම සම්පූර්ණයෙන්ම සුව වුනා කිව්වොත් හරි. සිංගප්පූරුවේ ඩොක්ටර් යුවාගේ උපදෙස් වලට අනුව ලංකාවේ ඩොක්ටර්ස් ලා කරපු ප්‍රතිකාර හරියටම හරි ගියා. මම කිසිම අමාරුවක් නැතුව ඇවිද්දා, දිව්වා, සෙල්ලම් කළා.... කකුලේවත් කොන්දේවත් වේදනාව ආයෙත් මතුවුනේ නෑ. ඒත් මහන්සි වෙලා අව්වේ ඉඳලා කරන වැඩ නම් මම කළේම නැති තරම්. ඩොක්ටර් එපා නොකිව්වත් මට බය හිතුනා.

දවස් කීපයකට පස්සේ සමාධි එයාගේ තාත්තත් එක්ක ඇවිත් මගේ අම්මව හම්බවෙලා මාව ඇමරිකාව එක්ක යන එක ගැන කතා කරලා තිබ්බා. මුලින් අකමැති වුනත් පස්සේ මම ඉන්න විදිහ දැකලා අම්මත් කැමති වුනා. මට ඕන කරන මූලික වියදම් දෙන්න අම්මා කතා වෙලා තිබුණා.

මමත් අම්මයි, සමාධියි කියන කියන විදිහට රූකඩයක් වගේ වැඩ කළා. අවශ්‍ය කරන ලිය කියවිලි ඔක්කොම සමාධි එයාගේ තාත්තට කියලා හදවගෙන තිබුණා. මට තිබුණේ අත්සන් කරන්න විතරයි.

හරියටම මාස තුනකට පස්සේ සමාධි මට වීසා අරන් දුන්නා. සමාධිගේ තාත්තා තමයි මාව මේ අවශ්‍ය කරන හැම දේකට එක්ක ගිහිල්ලා වැඩ කරලා දුන්නේ. ඇමරිකාවෙන් අවශ්‍ය කරන ලිය කියවිලි හැම එකක්ම රැන්ඩ්ත් එයාගේ මාමත්  ඉක්මනටම එවලා තිබුණා.

තව දවස් කීපයකදී හැම දෙයක්ම ලෑස්ති වුනාම මට තිබුණේ පැක් කරගන යන්න විතරයි.