Monday, October 23, 2017

සදානුස්මරණිය ප්‍රථම ප්‍රේමය ~ මේ ආදරයයි ~ 99


සදානුස්මරණිය ප්‍රථම ප්‍රේමය


මේ ආදරයයි


99.

එදා හම්බවුනාට පස්සේ මම ගෙදර ආවේ සචියයි අමිලයි දෙන්නම එක්ක.
ඒත් මම එනකොට ගෙදර මොකක් හරි වෙනසක් දැනුනා. අම්මයි, තාත්තයි දෙන්නම ඇවිත්, ඩැනී අංකලුත් ඇවිත්.
අපි ගේට්ටුවෙන් ඇතුල් වෙනකොටම ඩැනී අංකල් මගේ ඉස්සරහට ආවා. පිටිපස්සෙන් අම්මා...
“පුතා.... ඔයා දැන් කරන දේවල් නම් හොඳටම වැඩියි...“ අංකල් කිව්වා
“ඇයි අංකල්....? මම මොකද කළේ?“
අංකල් වෙනුවට අම්මා කතා කළා.
“ලොකු පුතා... ඔයා ඇයි අපිට බොරු කරන්නේ? අර ළමයා එක්ක කිසිම සම්බන්ධයක් නෑ කියලා ඔයා ඇයි එයා එක්කම ඉන්නේ?“
මලා.... අද ගිය ගමන මාට්ටු වෙලා වගේ... එහෙම වුනොත් අමිලටයි, සචියටයි වුනත් අපේ ගෙදර වීසා කැන්සල් වෙන්න බැරි නෑ.
උන් දෙන්නත් බය වෙලා වගේ ඉන්නවා. නවතින්නත් බෑ මාව දාලා යන්නත් බෑ.
“ඇයි අම්මා... මොනව ගැනද කියන්නේ...?“
“අද තාත්තා නුවර ගිය වෙලාවේ යාළුවෙක් හම්බවෙලා තියෙනවා. මිස්ටර් විජේසුන්දරගේ කම්පැණී එකේ වැඩ කරන... ඔයා සිංගප්පූරුවේ ගියේ අර ළමයගේ සල්ලි වලින් කියලා එයා කියලා තියෙනවා.“
මම මොනවත් කිව්වේ නැහැ. කියන්න දෙයක් නැහැ... හැම දේම අහුවෙලා.
“ඊට පස්සේ අපි අද හොයලා බැලුවා. තව කීප තැනකින් විස්තර හොයා ගත්තා. ඔයා රස්සාව කරන්නෙත් ඒ කම්පැණි එකේම. අපිට කිව්වේ නැහැ. මේ සැරේ ඔයා රට ගියෙත් ඒ සල්ලි වලින්. ලෙඩේට බෙහෙත් කරන අතරේ ඔය දෙන්නා එහේදි හම්බවෙලා තියෙනවා. එයා තනියම ඒ රටට ඇවිත් ඔයා එක්ක ඉඳලා තියෙනවා. ඔයාට ලැජ්ජා නැද්ද? ඔයාට විතරක් නෙවෙයි, ඒ කෙල්ලට ලැජ්ජා නැද්ද?“
බලාගෙන ගියාම අද ගමන දැනගෙන නෑ... ලොකු දෙයක්.
“කතා කරන්න ලොකු පුතා. ඔයාට මේ අපිට වඩා ඔය කෙල්ල ලොකු වුනාද? හැම දෙයක්ම ගැලපුනත් වයස ගැලපෙනවාද? වැඩිමල් ගෑණු කෙනෙක් බඳින්න ඔයාට පිස්සුද? මම නම් මැරුවත් ඕකට කැමති වෙන්නේ නෑ.“
සචියයි අමිලයි මගේ මූණ දිහා බලාගෙන ඉන්නවා. ‘මොනව හරි කියපං... උන් දෙන්නගේ මූණේ ලියවිලා තියෙනවා.
“ඒ ළමයත් පොරොන්දු වුනා මට මේක නවත්තනවා කියලා. බලාගෙන යනකොට එයත් බොරු කාරියක්.... ඔයා අදම ඕක නවත්තන්න ඕනේ.... නැත්නම් මම අම්මා නෙවෙයි....“
“අම්මා... කෑ ගහන්න එපා..... මම මිනීමැරුවේ නෑ... කෙල්ලෙක් එක්ක යාළු වුනා විතරයි...“
“නෑ... නෑ.... ඕක අදින් ඉවර කරන්න.. ඔයා ඒ රස්සාවට යන්නත් එපා. තාත්තා ඔයාට හොඳ රස්සාවක් අරන් දෙයි.... අනිත් එක ඔයා ඒ කෙල්ල නිසා ඔය කරගත්ත දේවල් මදිද.... හොඳට හිටපු ඔයා අද ඇවිදින්නේ කාගේ හරි වාරුවෙන්... තව කොච්චර කාලෙකට ඔහොම ඉන්න වෙයිද? අනිත් එක ආයෙත් වතාවක් ඔය වගේ ලෙඩ වුනොත්... අම්මා කෙනෙක් විදහට කොහොමද මම මේව දරාගෙන ඉන්නේ... මේ හැමදේම ඔයාට වුනේ අර ළමයා නිසා... මට බෑ ඔයාට මේ කරපු දේවල් වලට එයාට සමාව දීලා ලේලි විදිහට පිළිගන්න...“
“ඇයි බැරි අම්මා... එයා නරක කෙනෙක් නෙවෙයි.“
මම එහෙම කිව්වහම අම්මා අඬන්න පටන් ගත්තා. ඉස්සරහට ආපු තාත්තා අන්තිම වචනේ දුන්නා.
“උඹට කෙල්ලවනම් ඕනේ... මීට පස්සේ මේ ගෙදර බෑ....“
සචියයි අමිලයි හොල්මන් වෙලා බලාගෙන ඉන්න අතරේ මම කාමරේට ගියා. මගේ පස්සෙන් ඩැනී අංකලුත් ආවා.
“පුතා... මේක නවත්තන්න...... ඔයාට මේ අම්මටයි තාත්තටයි වඩා අර කෙල්ල ලොකු වුනාද? දැක්කනේ ඒකිගේ තාත්තගේ පාට්.“
ඩැනී අංකල් මේවට අත දාන එකට මම කැමැත්තෙන් නෙවෙයි හිටියේ... ඒ නිසා ඒ කියපු එකට මට තරහ ගියා.
“ඩැනී අංකල්... ඒක මගේ වැඩක්... ඩැනී අංකල් තාත්තට නම් වැඩ කරන්නේ ඒ විදිහට ඉන්න... මගේ දේවල් වලට අත දාන්න අංකල්ට කිසිම අයිතියක් නෑ.. මම වයස දහ අටට වැඩී, ඒ කියන්නේ මට තනියම තීරණයක් ගන්න පුළුවන්... ඒ නිසා කරුණාකරලා ඩැනී අංකල් මගේ පස්සෙන් හරි දිලිනිගේ පස්සෙන් හරි එන එක නවත්තන්න....“
“ඒ වුනාට පුතා ඔයා දන්නවනේ මේ වෙන දේවල්... ඒ කෙල්ල ඔයාට ගැලපෙන්නේ නෑ... අනික ඒ තාත්තත් නාහෙට අහන්නේ නැති කෙනෙක්.... මේ නිසා ඔයාගේ තාත්තට ප්‍රශ්ණයක් වුනොත් නම් මම ඔය එකෙක් වත් යහතින් තියන්නෑ... ඔයාටත් එක්ක මම කියන්නේ.... ඒ මිනිස්සුන්ගේ පැත්ත ගන්න ගිහිල්ලා නිකං අනාථ වෙන්න එපා... තමන්ගේ දෙමව්පියෝ කියන දේ අහන්න....“
“අංකල් මේ... මම බය නෑ චන්ඩින්ට..... අංකල් දන්නවනේ ඒක... මම යකාටවත් බය නැති එකෙක්... කව්රු හරි මට එකක් ගැහුවොත් මම ඌට දහයක් ගහනවා.... මාත් එක්ක හැප්පිලා දිනන්න කිසිම චන්ඩියෙකුට බෑ... ඒ නිසා මම කියන්නේ දිලිනිට හරි එයාගේ ගෙදර කෙනෙකුට හරි නිකරුනේ කරදර කරලා තිබුණොත් ඩැනී අංකල්ගේ චන්ඩින්ව මම පොලිසියට අල්ලලා දෙනවා. මම ඔය එකෙකුටවත් බය නෑ... මල පැන්නොත් මමත් යකෙක් තමයි.“
“කමක් නැ තව ටිකක් කල්පනා කරන්න...“
එහෙම කියපු ඩැනී අංකල් පල්ලම් බැස්සා.
“කාවා... උඹ නම් සිරා පොරක් බං... මුළු නුවරම බය ඩැනී අංකල්ගේ සෙට් එකත් එක්ක උඹ ගේම ඉල්ලන්නේ උඹට පිස්සුද බං?“
මම කතා කළේ නෑ... ඒ වෙනුවට මම බෑග් දෙකක් අරගෙන මගේ ඇඳම් අහුරන්න පටන් ගත්තා.
“කාවා... මොකද යකෝ කරන්නේ?“ අමිල ඇහුවා.
“මම යනවා.... උඹලට ඇහුනනේ.. තාත්තා කිව්වා දිලිනි ඕනේ නම් මේ ගෙදර ඉන්න බෑ කියලා... මම යනවා.“
“යකෝ... තොට පිස්සුද? කොහේ යන්නද?“
“මට තනියම ජීවත් වෙන්න පුළුවන් බං... මට රස්සාවක් තියෙනවා... ඒක නැතිවුනොත් ගැරේජ් වැඩ දන්නවා... වාහනයක් තියෙනවා... මොකටද බං බය වෙන්නේ...?“
ඇත්තටම තව මොහොතක්වත් මට ගෙදර ඉන්න හිත දුන්නේ නෑ.. දිලිනිගේ අඩුපාඩුවක් වැරැද්දක් තියෙනවනම් මට ඉවසන්න පුළුවන්... ඒත් හැම අතින්ම හොඳ දිලිනි වගේ කෙනෙකුට කිසිම හේතුවක් නැතුව අකමැති වෙන එකට මට තේරුම් ගන්න බැරිවුනා.
විනාඩි ගණනකදී ඇඳුම් බෑග් දෙක ලෑස්ති කරලා සචියගේ උදව්වෙන් මම ජීප් එකට දාගත්තා.
“යකෝ උඹට ඩ්‍රයිව් කරන්න බෑ...“
“නෑ මට පුළුවන්... උඹ හිටපං.... වරෙන් මම උඹල දෙන්නවත් ගෙදරින් දාගෙන යන්නම්.“
අම්මයි තාත්තයි වචනයක්වත් මට කිව්වේ නෑ... මම අම්මට යනවා කියලා වාහනේට නැංගා.
“උඹ පලයං.... අපි එන්නම්....“ සචියයි අමිලයි කිව්වා.
මම ටිකක් දුර ඇවිල්ලා දිලිනිට කෝල් එකක් ගත්තා.
“සුදූ.... අම්මා අපි ගැන හැම දේම දැනගෙන... මට කිව්වා එක්කෝ ඔයා නැත්නම් ‍ගෙදර කියලා. මම ඔයාව තොරගත්තා.“
“අනේ කාවින්ද....“
“ඔව් සුදු.... මම තලවකැලේ යනවා... හෂිනි අක්කා ළඟට....“
“එපා කාවින්ද...ඔයාට බෑ ඔය අසනීපෙ තියාගෙන එච්චර දුර යන්න.. අනිත් එක බෙහෙත් කරන්න හොස්පිට්ල් යන්නේ කොහොමද?“
“මට යන්න වෙන තැනක් නෑ...“
“ඔයා මම හිටපු එපාර්ට්මන්ට් එකට යන්න... මම යතුර එවන්නම්.... දැන් කවුරුත් ඒක පාවිච්චි කරන්නේ නෑ... මම පෙරේදත් අප්පු යවලා ඒක ක්ලීන් කළා. එහේ හැම දෙයක්ම ඇති. අදට ඔයා එහේ ඉන්න... ඒත් ඔයා අම්මගේ තරහ නිවුනම ගෙදර යන්න... දිගටම තරහ වෙලා ඉන්න එපා... ඒ ඔයාගේ අම්මා කාවින්ද?“
“මට බෑ ආපහු යන්න.....“
“හරි හරි... දැන් ඔයා මගේ තැනට යන්නකෝ... මම දැන්ම යතුරු එවන්නම්.“
මම අසනීප වුනාට පස්සේ පළවෙනි වතාවට තමා වාහනයක් එලවන්න ගත්තේ. මාස ගාණකින් නිසා පොඩි නුපුරුදු බවක් දැනුනා. අනිත් එක ජීප් එක එලවන එකත් ලේසි නෑනේ.
මම යනකොට දිලිනි කෙනෙක් අතේ යතුරු එවලා තිබුණා.
යට තට්ටුවේ පොඩි ලිවින් හෝල් එකක් එක්ක ලස්සන පොඩි පෑන්ට්‍රි එකකුයි, ස්ටඩි වලට පොඩි කාමරයකුයි, බාත් රූම් එකකුයි තියෙනවා... දෙවෙනි තට්ටුවේ නිදන කාමර දෙකකුයි, ඒකටම අල්ලපු ලොකු බැල්කනි එකකුයි එක්ක ලස්සන ගෙයක්. දිලිනි ඒක ක්ලීන් කරලා සුදුවට දිලිසෙනවා හරියට ලංකාවේ ගෙයකට වඩා පිටරට ගෙයක් වගේ.
මම බෑග් දෙක තියලා ලොකු නිදන කාමරේ කබඩ් එක ඇරලා බැලුවා. එක පැත්තක දිලිනිගේ ඇඳුම් පුරවලා, අනිත් පැත්තේ ඇඳ ඇතිරිලි, පොරවන ඒවා, කොට්ට ගොඩක් එක්ක ටවල් පුරවලා.
මම එහෙමම ඇඳේ ඉඳගෙන දිලිනිට කතා කළා.
“සුදූ.... මම ආවා.....“
“කාවින්ද.... ඔයා මගේ කාමරේ ගන්න... පොඩි කාමරේ පොඩි ඇඳක් තියෙන්නේ.. අනික ඒක ඒසී කරලා නෑ.... කබඩ් එකේ ඇති ඇඳට දාන රෙදි... ඒවා අරන් දාගන්න.... එතන කොට්ටයි, කොට්ට උරයි ඇති. තව ටවල් ඇති. මම පාවිච්චි කරපු ටවල් තුනක් ඇති,  ඒවා අයින් කරලා අළුතෙන් තියෙන ඒවා ගන්න.“
“අයියෝ සුදූ... මට ඔය අස්කිරිලි නම් බෑ.... මේ ඇඳේ තියෙන එක හොඳයි. මම එහෙමම නිදාගන්නම්.“
“අනේ කාවින්ද... ඒකේ දූවිලි, කම්මැලියා නොවී අස් කරගන්න.“
“බෑ අනේ... ඇත්තටම කම්මැලියි... ඔයාට බැරිද ඇවිත් කරලා දීලා යන්න.“
“අන්න කපටියා... මාව ගෙන්න ගන්න නේද බොරු කියන්නේ...?“
“නෑ.... ඇත්තටම මට ඔය වැඩ බෑ...“
“මම එන්නම්... හැබැයි ඔන්න නරක වැඩ නම් බෑ... මම ඇවිත් වැඩ ටික කරලා දීලා යන්නම්...“
“හා... දැන්ම එන්න...“
“හැබැයි නරක වැඩ බෑ හරිද... පොරොන්දු වෙන්න...“
“හරි... ප්‍රොමිස්...“
දිලිනි එන අතරේ මම සචියට කෝල් එකක් ගත්තා.
“උඹ තාම අපේ ගෙදරද?“
“ඔව්....“
“අම්මට කියපං මම එරංග අයියගේ රෙස්ට් එකේ ඉන්නේ කියලා. බය වෙන්න එපා කියපං.“
“උඹ මාර පොරක් බං... උඹ ඇත්තටම කොහේද ඉන්නේ.?“
“ඒක පස්සේ කියන්නම්... දැනට අම්මව ෂේප් කරපංකෝ.. මම උඹට රෑ වෙලා කෝල් එකක් දෙන්නම්.“
පැයක් විතර යනකොට දිලිනි ආවා.
එයා කෙලින්ම දුවගෙන ඇවිත් මගේ පපුවට තුරුල් වුනා.
“අන්තිමට මම නිසා ඔයාට ගෙදරත් නැති වුනා කාවින්ද... මම මහා කාලකන්නි කෙල්ලෙක්..... දේවල් අහිමි වෙන්නේ මට විතරක් නෙවෙයි, මට සම්බන්ධ වෙන අයටත් ඒ අය ආදරේ කරන දේවල් නැති වෙනවා.“
“පිස්සු කතා කියන්න එපා... ඔයා එහෙම නෑ...“
මම දිලිනිගේ මූණට එබුනා. කිස් එකක් දෙන්න ආසාවේ බෑ... ඒත් එයා මගේ අත් යටින් රිංගලා අහකට දිව්වා.
“ඔන්න ආපු ගමන් පොරොන්දු කඩන්න යනවා....“
“සොරි සොරි....“
“ඔන්න ඔයා ඉඳගෙන මහන්සි නොවී ඉන්න... මම මේක කරන්නම්.“
දිලිනි ලස්සනට ඇඳට රෙදි දාලා, කොට්ට ලෑස්ති කරලා දුන්නා. ඊට පස්සේ අළුත්ම ටවල් දෙකක් අරගෙන දුන්නා මට පාවිච්චි කරන්න.
ගැහැණු අත් දෙකකින් ගෙයක් ‍කොච්චර ලස්සන කරන්න පුළුවන්ද... පිරිමි අපි ඔය වැඩේ කලා නම් කිසිම පිළිවෙලක් නැති වෙනවා. දිලිනි අස් කරන දිහා මම ආසාවෙන් බලාගෙන හිටියා. අපි දෙන්නා කවදා හරි එක ගෙදරක පදිංචියට ගිය දවසක මේ වගේ ලස්සන දේවල්
“ඔන්න දැන් ලස්සනයි.... අද ඉඳලා මේක ඔයාගේ.... දවස් දෙකකට සැරයක් ක්ලීන් කරන්න කෙනෙක් එයි... ඒ අතරේ නම් ඔයාට ටිකක් අතුගාලා ගන්න වෙනවා.“
“ඔයාගේ තාත්තා ආවොත්....?“
“නෑ... මම කියන්නම් මේක මම මගේ යාළුවෙකුට දීල තියෙන්නේ කියලා. එතකොට එයා එන්නේ නෑ.“
“ආ අමතක වුනා.“ එහෙම කියලා දිලිනි ආයෙත් එයාගේ කාර් එකට දිව්වා.
ටිකකින් එයා බඩු මළු හතර පහක් උස්සගෙන ඇතුලට ආවා.
“මේ මොනවද?“
“ඔයාට කන්න බොන්න දේවල්.... මම කිව්වේ මම ආසයි ඔයාට මේ දේවල් අරන් දෙන්න කියලා... හොඳ විදිහට නොවුනත් මගේ ඒ ආසාව අද ඉෂ්ඨ වුනා.“
“මොනවද සුදූ මේ....? මට උයන්න බෑ...“
“උයන දේවල් නෑ බබා... මම දන්නවනේ මගේ හස්බන්ඩ් ට උයන්න බෑ කියලා. ඉතින් මම උයන දේවල් ගෙනාවේ නෑ. ඇත්තටම කාවින්ද ඔයා කොහොමද කෑම ගන්නේ... උයා ගන්න බෑනේ....“
“කඩෙන් තමයි...“
“අයියෝ... කඩේ ඒවා කෑවොත් නම් ලෙඩ වෙනවා... මම ඔයාට කෑම එවන්නම්..“
“හැමදාම?“
“ඔව්... ප්‍රශ්ණයක් නෑ... උදේට විතරක් ඔයාට මොනව හරි හදාගන්න වෙයි.... අනිත් දෙවේලම මම කෑම එවන්නම්.. අනික ටික දවසකටනේ... ඔයා ඉක්මනටම ගෙදර යනවනේ...“
“හ්ම් බලමුකෝ...“
මම එදා ගෙදර ගියේ නෑ. අම්මා කතා කළෙත් නැහැ. සචියා නම් කෝල් කරලා කිව්වා ගෙදර ප්‍රශ්ණයක් නෑ කියලා. තාත්තගේ තරහ අඩු වුනාම ගෙදර යන්න කියලා තමයි ඌත් කිව්වේ.

11 comments: