Saturday, June 24, 2017

සදානුස්මරණිය ප්‍රථම ප්‍රේමය ~ මේ ආදරයයි ~ 40





සදානුස්මරණිය ප්‍රථම ප්‍රේමය
මේ ආදරයයි


40.

“කාවින්ද මොකද ඔයාට වෙලා තියෙන්නේ අද?”

මම කතා නැතුව එයාව අල්ල ගන්න පැන්නා.

“කාවින්ද, කතා කරන්නකෝ... ඔයාට මොනවද ඕනේ?”

“ඔයාව.”

“මාව?”

“ඔව්... ඔයා හිතුවද දෙවෙනි පාරටත් ඔයාගේ කාමරේට ඇවිල්ලා කවුරුවත් ගෙදර නැති දවසක මම නිකං යයි කියලා. ඔයාට ඕන දෙයක් කරන්න මට අද පුළුවන්. ගෙදර ඉන්නේ අපි දෙන්නා විතරයි.”

“අනේ කාවින්ද, මොකද මේ... ඔයාට දෙන්න බැරි දෙයක් මගේ ළඟ නෑ. හැබැයි ඒ දේවල් ඔයාට බලෙන් ලබාගන්න නම් බෑ.”

“බෑ කියලද හිතන්නේ.”

එහෙම කියලා මම දිලිනිව මගේ ළඟට ඇදලා ගත්තා. ඊට පස්සේ එයාව ඇඳ ගාවට ඇදගෙන වගේ ගියා.

දැන් නම් කෙල්ල හොඳටම බය වෙලා. ඇඬෙන්න ඔන්න මෙන්න.

මම එයාව ඇඳට තල්ලු කරලා තද කරලා අල්ල ගත්තා.

“අනේ කාවින්ද එපා...”

“මොනවද?”

“මට මෙහෙම කරන්න එපා.”

“කොහොම කරන්නද?”

“ඔයා දැන් ඔය කරන්න හදන දේ.”

“මම මොනවද ඔයාට කරන්න හැදුවේ?”

ඒක කියද්දි මට හිනා ගියා. මම එයාව අතහැරලා ඔළුව අත ගෑවා.

“මෝඩයා. බය වුනා නේද? හිතුවද මම ඒ වගේ කොල්ලෙක් කියලා? මම විහිලුවක් කළේ හලෝ.”

යන්තම් දිලිනිගේ මූණේ හිනාවක් මතුවුනා.

“පිස්සා. මාව මැරෙන තරමට බය කළා.”

“ඇයි බය වුනේ? මෙච්චර කාලයක් ඔයා ආරක්ෂා කරගත්ත දේවල් මම නැතිකරලා දායි කියලා හිතුවද?”

“ඒ දේවල් මම ආරක්ෂා කරගත්තේ ඔයා වගේ ආදරේ කරන්න දන්න පිරිමියෙකුට දෙන්න තමයි කාවින්ද. හැබැයි මේ විදිහට නෙවෙයි.”

“තරහද?”

“නෑ... ඒ වුනාට ආදරෙන් ගන්න ඕනේ දේ බලෙන් ගනී කියලයි මම බයවුනා.”

“මම ඒ වගේ කෙනෙක් නෙවෙයි කියලා හිතුනේ නැද්ද?”

“හිතුනා. ඒ වුනාට ඒ වෙලාවේ ඔයා ඇත්තටම සීරියස් ව‍ගේ පෙනුනා.”

“මැට්ටී.”

එයා ඒ පාර ඇ‍ඳේ ඉඳගෙනම මට ළංවුනා. පූසියෙක් වගේ මට තුරුල් වෙලා කතා කළා.

“කාවින්ද, බලෙන් ගන්න දෙයක් නෑ. ඔන්න මම ඔයා ළඟ.”

එයා තවත් මට ලං වුනා.

“ඔයානම් ඇත්තටම පිස්සියෙක්....”

“ඔයා ළඟ ඉද්දි පිස්සු හැදෙනවා තමයි අනේ. මට ඉරිසියයි.”

“ඇයි  ඒ?”

“නෑ තව කෙල්ලෝ කී දෙනෙක් ඔයාට පිස්සු වැටිලා මේ වගේ ඉඳලා ඇද්ද?”

“විකාර කියවන්න එපා. ‍එහෙම දකින දකින කෙල්ල ළං කරගන්න තරම් අමාරුවක් මට නෑ.”

“එහෙනම් මාව විතරද ලං කරගන්නේ?”

“නෑ එහෙමත් නෑ... තව කීප දෙනෙක් ඉඳලා තියෙනවා.......”

“මට වඩා ලස්සන අය.”

“හ්ම්....”

“ඒ අයවත් මේ වගේ බය කරලා තියෙනවද?”

“නෑ....”

“ඒ වුනාට මට තාම ඉරිසියාවයි.”

“ඒ මොකද දැන්?”

“නෑ ඉතින්.... ඒ ය ළඟට ගියාම මාව මතක නැති වෙනවනේ.”

මම සද්ද නැතුව හිටියා.

“මේ... මේ දවස් වල ඒ අයගෙන් කවුද ඔයාගේ හිතේ ඉන්නේ?”

“ම්... කියන්නද?”

“දුක නම් හිතෙයි තමා. කමක් නෑ කියන්නකෝ.”

“මේ දවස් වල නම් එ‍ක්කෙනෙක් විතරයි.”

“ලස්සන කෙනෙක් වෙන්න ඇති නේද?”

“හ්ම්... ලස්සනම ලස්සනයි.”

“ස්වීට් ඇති නේද?”

“කාලා බලලා නම් නෑ. ඒත් ස්වීට් ලුකින් තමා. හැබැයි හරිම හොඳයි.”

“කව්ද, මම දන්න කෙනෙක්ද?”

“ඔව්.”

“නම කියන්නකෝ.”

“බෑ.”

“දිනි ද?”

“නෑ....”

“එහෙනම් අනේ. අර ස්පෝර්ට්ස් කරන ගර්ල්ද?”

“නෑ.”

“එහෙනම්. ඊට අමතරව තවත් කෙනෙක් ඉන්නවද මෙයාට. අපෝ හරිම ඇඹලයෙක්නේ.”

“එහෙනම් කියන්න බෑ.”

“ඕන්නෑ. අ‍ප්පෝ ඔච්චර ගණන් උස්සනකොට මම මොකටද අහන්නේ.”

“මේ දවස් වල නම් මගේ හිතේ ඉන්නේ එක්කෙනෙක් විතරයි. අනිත් අයව මතක් වෙන්නවත් ඉඩ නෑ මොකද එයා හැම වෙලාවෙම මගේ ළගමයි.”

“දැනුත් එයා එක්ක ඉඳලද ආවේ.”

“නෑ, දැනුත් එයා එක්ක තමයි ඉන්නේ.”

මම ඒක කිව්වා විතරයි දිලිනි මගේ කරවටේ අතදාලා මාව බදාගත්තා.

“මොකද මේ.”

“මට මැරෙනකම්ම මෙහෙම ඉන්න දෙන්න කාවින්ද?”

“අපෝ... අවුරුදු කීයක් මෙහෙම මෙතන ඉඳගෙන ඉන්නද?”

“කාවින්ද, ඔයා ආයෙත් මට විහිලු කරනවද?”

“නෑ.... ඇත්තනේ මම කිව්වේ. මේ දවස් වල වෙන කෙනෙකුට ඉඩ තියෙයිද? දවසේ පැය විසි හතරෙන් පැය දහ අටක් විතරම ඔයා නිසා මම කොයි වෙලේ ගුටි කන්න වෙයිද කියලා ඉන්නේ. අනිත් වෙලාවට ඔයා මගේ ළඟ.”

“අනේ සොරි කාවින්ද. මම කිව්වනේ පැහැදිලි කරලා ඔයාට මේ කරදර වෙන නිසා මම ඔයාගෙන් ඈත් වෙන්නම් කියලා. ඒත් ඔයා තමයි මාව ගෙන්න ගත්තේ. අපි මේ කරදර නවතිනකං ටිකක් ඈත් වෙමු.”

“මොකුත් නොකර නිකං හිටියහම මේ ප්‍රශ්ණ නැතිවෙයි කියල ඔයා හිතනවද?”

"නෑ. ඒ වුනත් මට නම් වෙන කරන්න දෙයක් පේන්නේ නෑ.”

“ඇයි ඔයා කිව්වේ ගිහාන්ව බඳින්නේ නෑ. ඔයා ඔයාගේ ජීවිතේ වෙනුවෙන් ඕනෙ දෙයක් කරනවා කියලා. කෝ ඒ ෆිට් එකට මොකද වුනේ?”

“මට මොනවත් වුනේ නෑ. ඒ වුනාට මට බයයි ඔයා ගැන. මගේ ඉරණමට විරුද්ධව මම ෆයිට් කරන එකෙන් වෙන්නේ ඔයාට ප්‍රශ්ණ ඇතිවෙන එක.”

“ඒ ගැන හිතන්නවත් එපා. මට මොනවත් කරන්න ගිහාන්ට බෑ. මම නිසා ඔයා ඔයාගේ ජීවි‍තේ විනාශ කරන ඉරණම බාරගන්න එපා.”

“ඔයාට පොඩි හරි කරදරයක් වෙනවා මට බලන් ඉන්න බෑ.”

“මම කිව්වනේ, මං ගැන වද නොවී ඉන්න. පරිස්සම් වෙන්න මම දන්නවා.”

“කාවින්ද ඔයා දවසක් කිව්ව නේද අතරමං වෙලා ඉන්න මාව හරි පාරට ගන්න ඔයාට පුළුවන් කියලා.”

“ඔව් කිව්ව තමා... ඇයි?”

“ඔයාට පුළුවන්ද කාවින්ද ගිහාන්ගෙන් මාව බේර ගන්න.”

“හරියටම දන්නෑ. ඒත් මම මට පුළුවන් උපරිමෙන් ඒක කරනවා.”

“ඔයා ඔයාගේ ගැනත් හිතන්න කාවින්ද. මම නිසා අනවශ්‍ය රණ්ඩු වලට පැටලෙන්න යන්න එපා. ගිහාන් කියන්නේ හොඳ මිනිහෙක් නෙවෙ‍යි.”

“ඒක තමයි මම කියන්නේ.... නරක මිනිස්සුන්ට මේ ලෝකේ රන් කරන්න වැඩි කාලයක් බෑ... මොකද බොරුව වැඩි කාලයක් ඇදගෙන යන්න බෑ... ඒ නිසා අවංකව වැඩ කරන කෙනෙකුට පරක්කු වෙලා හරි දිනන්න පුළුවන්. හැබැයි හරි විදිහට... ඒ ජයග්‍රහණය කවදාවත් තව කෙනෙකුට ගන්නත් බෑ...මොකද අපි දිනන්නේ ජෙනුයින් විදිහට නිසා.”

“ගිහාන් ඔයාට ලං වෙන්න හදන්නේ ඔයා‍‍ට තියෙන ආදරේකට වඩා වෙන අරමුණක් හිතේ තියාගෙන නම් ඒ ගැන බය වෙන්න එපා.... ඒ බොරුවට වැඩි කල් යන්න බෑ..”

“ඒ වුනත් මට බයයි... ඔයාට කරදරයක් වුනොත් මම ජීවත් වෙලත් වැඩක් නෑ.. මාව බේරගන්න ආපු ඔයාට කරදර වෙලා මට හරිගිහිල්ලා මොනවටද?”

“ඇති ඇති මැඩම් දේශනාව. කියන්න දැන් අපි මොකද කරන්නේ?”

“මොකද කරන්න ඕනේ කාවින්ද? ටීවී බලනවද? මූවී එකක් බලනවද, නැත්නම් පහලට ගිහින් මොනව හරි කමුද? ඒත් නැත්නම් ඔයාට කම්මැලි නම් නිදා ගන්න.”

“බඩගින්නක්නම් නෑ දැන්. අර සැන්ඩ්විච් කාලා බඩ ෆුල්. ඒක නෙවෙයි දිලිනි, මම දැන් යන්නම්. දහයත් වෙලානේ.”

“ඔයා යන්නද හදන්නේ? අද රෑ මාව තනියම දාලා. සර්වන්ට් විතරයි ගෙදර ඉන්නේ. එයත් පහල එයාගේ කාමරේ.”

“ඒ වුනාට මම ඉන්න එක හරි නෑ. කවුරු හරි දැක්කොත් ඒක ‍ඔයාට හොඳ නෑ.”

අපි කතා කර කර පහලට ආවා. තණකොල වවල තියෙන මිදුල හරහා ඇවිල්ල මම බයික් එක ළඟට ආවා. දිලිනි මගේ අතින් අල්ලගෙන....

“මම යන්නම් සුදූ.”

මම එහෙම කිව්වා විතරයි එයාගේ මූණේ ලස්සන හිනාවක් ඇඳුනා.

“පරිස්සමින් යන්න.”

“ගුඩ් නයිට් සුදූ.”

මම පිටත් වුනා.

බයික් එක පාරට දානකොට පිටිපස්සෙන් ලයිට් එලියක් වැදුනා.

මම කෝකටත් කියලා බයික් එක වේගෙන් අරගෙන ගියා. මහයියාවට එනකොටත් ඒ වාහනේ පස්සෙන්. කැබ් එකක්.

කැබ් එකක් එක්ක මොන ට්‍රේල් බයිසිකලයකටවත් රේස් යන්න බැරි නිසා මම නැවැත්තුවා.

මොන මල යකෙක් ආවත් කණ පුරවලා දෙකක් අතාරිනවා කියලා හිතාගෙන මම ඒ පැත්තට හැරුණා.


කැබ් එක මාව පහුකරගෙන ගියා. යනකොට ඇතුලේ හිටපු කෙනා මම දැක්කා. ඒත් දන්න කියන කෙනෙක්වත්, කලින් දැකලා තියෙන කෙනෙක්වත් නෙවෙයි.

0 comments:

Post a Comment