Friday, June 09, 2017

සදානුස්මරණිය ප්‍රථම ප්‍රේමය ~ මේ ආදරයයි ~ 35


සදානුස්මරණිය ප්‍රථම ප්‍රේමය
මේ ආදරයයි


35.

ඉරිදා උදේ මම නැගිටිනකොටම කෝල් එකක් ආවා. කවුරුවත් ෆෝන් එක ගන්නේ නැති නිසා මම ඔළුව දාලා බැලුවා. ගෙදර හැල හොල්මනක් නැහැ. යකෝ මේ මිනිස්සු කොහේ ගිහිල්ලද?

මම නිකමට වෙලාව බැලුවා‍. අම්මේ, වෙලාව නවයයි. ඉතින් ගෙදර මිනිස්සු වැඩට යන්නේ නැතුව මොනව කරන්නද?

“හෙලෝ......”

“මම කතා කළා”

“කාවින්දට කතා කරන්න පුළුවන්ද?”

කව්ද යකෝ මේ කොල්ලෙක් කතා කරන්නේ කාවින්ද කියල. මම දන්න කියන එකෙක්වත් මට කාවින්ද කියල කතා කරලනම් නැහැ. එක්කෝ කාවා නැත්නම් කෙලින්ම මගේ කටහඬ අඳුරගත්තොත් ‘යකෝ’ තමා.

“ඔව් කතා කරනවා....” මමත් නලවලා දුන්නා.

“කාවින්දද කතා කරන්නේ?”

“ඔව්”‍

“මම රංගික..... මතකද මාව...?”

“රංගික... කව්ද රංගික?”

“මතක නැතුව ඇති නේද? මම කව්ද කියල දන්නේ නැති වුනාට කමක් නැහැ. මම උඹට කෑමක් ලෑස්ති කරලා තියෙනවා. අද එකොළහට කැන්ඩි කෝනර් එකට වරෙන්”

මොකාද යකෝ මේ... මට කෑම දෙන්න කතා කරන්නේ?

“මොන කෑමක්ද බං...? මම එක එකාගෙන් කන්නේ නැහැ. මට කවන්න ආවොත් උඹට කෑමක් දීලා තමයි මම යන්නේ.”

“ඒව මට වැඩක් නැහැ... උඹ අද වරෙන් නැත්නම් මම උඹේ අම්මට තාත්තට කතා කරල වැඩේ චාටර් කරනවා.”

“යකෝ අම්මට තාත්තට කතා කරන්න උඹ මගේ බාප්පද?”

“උඹ එන්නම ඕනේ...”

“මම එනවා... ඒත් උඹට බයේ නෙවෙයි..... උඹ කව්ද? ඇයි මේ කියල දැනගන්න තියෙන උවමනාවට. හැබැයි ගේමක් නම් උඹ පරෙස්සම් වෙලා හිටපං”

“‍හරි..... කොන්දක් තියෙනවනම් තනියම වරෙන්....”

“මේ කාවින්ද එදත් තනියම ආවේ අදත් තනියම තමයි එන්නේ... උඹ බය වෙන්න එපා.”

ඌ ෆෝන් එක තිබ්බා.

කව්ද යකෝ මේ රංගික කියන්නේ..? ඌට මොකක්ද මගෙත් එක්ක තියෙන සීන් එක... අනිත් එක ඌ කොහොමද මගේ නම්බර් එක හොයා ගත්තේ.....? ප්‍රශ්න ගොඩයි.

වීරයා වගේ තනියම එන්නම් කිව්වට මට පොඩි බයකුත් දැනුනා. සචියට කියනවද? එක්කෝ ඕනෙ නැහැ. ඌට කිව්වොත් ඌ සෙට් එකම එක්කන් එයි. එහෙම වුනොත් වැඩේ අල වෙයි.

දැන් පන්ඩිතයා වගේ කිව්ව නිසා යන්නම වෙනවා. දැන් ටික කාලෙකට කලින් නම් මම මේ වගේ වලි සීන් වලට එක පයින්. ගියා ගහන්න ඕනේ එකාට නෙලුවා පැන ගත්තා.‍ ඒත් දැන් ඉස්කෝලෙනුත් අවුට් වෙලා ඉන්න එකේ ටිකක් බයයි මේ වගේ ඒවට පැටලෙන්න. මොකද තාත්තා දැනගත්තනම් මට වීසා කැන්සල්.

මම දහ අතේ කල්පනා කළා කව්ද රංගික කියන්නේ කියලා. මම සම්මජ්ජාතියකට ගිහාන් කියල නම් තියෙන එකෙක් දැනගෙන හිටියේ නැහැ.

බැරිම තැන මම ගත්තා සචිත්‍රට.

“සචියා, කව්ද බං රංගික කියන්නේ?”

“මොන රංගික?”

“යකෝ මම ප්‍රශ්ණයක් ඇහුවම උඹත් ප්‍රශ්ණයක් අහන්න එපා... මගේ යකා අවුස්සන්නේ නැතුව උත්තර දීපං”

“උත්තර දෙන්න රංගික කියල එකෙක් දැනගෙන ඉන්න එපැයි. මොකක්ද සීන් එක... කව්ද ඔය රංගික?”

“සචියා, උඹ මේ නුවර ඉන්න සෙට් වල රංගික කියල එකෙක්ව දන්නවද?”

“නෑ යකෝ.... මගේ දෙවෙනි නම නම් රංගික. සචිත්‍ර රංගික සමරසිංහ.”

“උඹේ ආච්චි‍ගේ නම කියපං...”

මට මල පැනල ෆෝන් එක තිබ්බා. යකෝ මුන්ගෙන් ප්‍රශ්ණයක් ඇහුවම හරි හමං උත්තරයක් දෙන්න බැහැනේ...

ඒත් එක්කම ආයෙත් ෆෝන් එක වැදුනා. ඒ පාර මොකාද?

“මචං කාවා... මොකක්ද සීන් එක බං... කව්ද රංගික කියන්නේ?”

“මොකුත් නැහැ සචියා.... රංගික කියල එකෙක් මට කෝල කළා.”

“ඉතින් උඹ ඇහුවේ නැද්ද කව්ද කියල? මොනවද කිව්වේ? වලියක්ද? ගෑනු කේස් එකක්ද?”

“යකෝ එක පාරට එක ප්‍රශ්ණයක් අහපං... උඹට පිස්සුද?”

මූටත් ඕන්නැති මගුලක් නැහැ.

“සචියා මම දැන් නුවර යනවා... දොලහ වෙද්දි උඹල ගෙදර එනවා..

මම කෝකටත් කියල සේෆ්ටි ප්‍රිකෝෂන්ස් ගත්තා‍. මොන චන්ඩි පාට් දැම්මත් වටකරල කෑමක් නම් එතනින් පැන ගන්න ඕනේ‍. දැන් මම වෙලාවට මුන්ගේ ගෙදර ගියේ නැත්නම් මූ මාව හොයයිනේ.... එතකොට වලියක් වුනත් මූ එතන ඉඳී.

හරියටම එකොළහ වෙනකොට මම කැන්ඩි කෝනර් එකට ගියා. ක්ලාස් ඇරෙන්නේ දොලහට නිසා මේ වෙලාවට මොකෙක් වත් නැහැ එතන. මම උඩ තට්ටුවට යන්කොටම මගේ පස්සෙන් කොල්ලෝ හතර දෙනෙක් ආවා.

“මම හිතුවේ නැහැ කතාවෙන් සද්ද දැම්මට උඹට ඔච්චරම කොන්දක් තියෙනවා කියල.”

එතන හිටපු එකෙක් කිව්වා. මම ගණන් ගන්නේ නැතුව පුටුවක් ඇදල වාඩිවුනා.

“ඒයි මම උඹටයි කතා කළේ... උඹ කාවින්ද නේද?”

“ඔව් ඇයි මොකද?”

“මමයි උඹට ෆෝන් කරල එන්න කිව්වේ.”

“ආ උඹද රංගික?”

“ඔව්, අපි ආවේ පොඩි නෙවෙයි ලොකු වෝනින් එකක් දෙන්න කෙනෙක් වෙනුවෙන්.”

“ආ කුලියට කහින උන්ද උඹලා?”

මමත් ඇදලා ඇරියා.

“යකෝ අපි ආවේ ඌට ෆිට් එකට.... අපි කුලියට කහින එවුන් නෙවෙයි.”

“ආ ඇත්තද? සොරි..... දැක්කගමන් හිතුනේ උඹල ඒ වගේ කියලා.”

“අඩෝ උඹේ කට වැඩියි හරිද?”

“මගේ කට වැඩියි කියන්න උඹ කව්ද? මගේ කට වැඩිනම් ඒක මගේ අම්ම බලා ගනියි...”

“නෑ අම්මා බලන්න කලින් අපි බලන්නම්”

එහෙම කියල එකෙක් මගේ බෙල්ලෙන් අල්ල ගත්තා.

“අතඇරපං මාව”

“ඇයි නැත්නම් මොනව කරන්නද?”

“කරන්නේ මෙන්න මේක”

දෙයියනේ කියල අවුරුදු දෙකක් ක්ලාස් ගිහිල්ල මම ඉගෙන ගෙන තිබ්බ කරාටේ පාරක් අතහැරියා මගේ බෙල්ල අල්ලගෙන හිටපු එකාට.

“අම්මෝ”

ඌ කෙලින් ම පුටුවකුත් පෙරලගෙන පඩිපෙලේ බිම.

අනිත් තුන් දෙනා ගහන්න පනිද්දිම මම පැන්නා එලියට.... මොකද මෙතන අපි නිතරම සෙට් වෙන තැනක්, මොන ප්‍රශ්නේ තිබුනත් පොට් එක චාටර් කරගත්තොත් ආයෙත් රෙද්දක් ඇඳගෙන එන්න බැහැ මෙතෙන්ට.

අනිත් උන් පස්සෙන් එද්දි මම දිව්වා පාරෙන් අනිත් පැත්තට. ඊට පස්සේ එතන තියෙන කාර් පාක් එකට ගිහිල්ලා උන් එනකං හිටියා. මට ඕනෙ වුනේ පැනල දුවන්න නෙවෙයි. මුන් එක්ක දෙකෙන් එකක් බේරගන්න. නැත්නම් ගෙදර වෙන එකෙක් ඉන්න වෙලාවට කොල් කරල වාත වුනොත් මගේ තත්වේ ඉවරයි.

“ඇයි උඹ නැවතුනේ..... බයේ දුවන්න ඉඩ මදි වුනාද?”

“මම බයේ දිව්වේ නැහැ යකෝ... දෙනෝදාහක් ඉන්න තැනක ගුටි කෙලගෙන නෝන්ඩ් වෙන්න මට බැහැ.”

උන් සෙට් එකේ හිටපු ලීඩර් වගේ වෙන එකෙක් කතා කළා.

“බලං ගියාම උඹ අපි හිතපු විදිහේ චාටර් පොරක් නෙවෙයි වගේ..... උඹට මෙතෙන්ට එන්න කොන්දක් තිබුණා. දන්න මිනිස්සු ඉන්න තැනක ගහ ගන්නේ නැතුව ඉන්න ලජ්ජාව තිබුණා.”

‘මම එහෙම තමයි... උඹල වගේ එක එකාට කුලියට කහින්නේ නැහැ.”

“උඹ ආයෙත් ඔය කුලී කතාව කිව්වොත් මරනවා මෙතනම.... මේ බලපං මගේ අත... ගිය සතියෙත් වලියකට ගිහිල්ලා එකෙක්ව මාසෙකට ඉස්පිරිතාලෙට යවලා තමයි ආවේ.... බලපං කැලල..... දැලි පිහි පාරක්...”

ඌ අත පෙන්නුවා. දැලිපිහි පාර දන්නේ නැද්ද කාවා. ඒකනම් දැලි පිහි පාරක් නෙවෙයි.... ෂු‍වර් කුඩු කාරයෙක් බ්ලේඩ් එකෙන් ඇදගත්ත පාරක්.

මට ෂුවර් මූයි මුගෙ සෙට් එකයි කුඩු කාරයෝ කියලා. දෙන්නම් පුතේ උඹලට අතින් පයින් නෙවෙයි මොලෙන්... මගේ හිත කිව්වා‍.

“උඹ මොකා වුනත් මට වැඩක් නෑ. ඒත් උඹට බෑ මාව අන්දන්න... මාත් මේ නුවර බජාර් වල කප් ගහපු පොරක් තමයි. දැලි පිහි පාරක් අඳුරන්න බැරිද බං මට. උඹ හිතුවද දැලි පිහි කියන්නේ මට මහ ලොකු දෙයක් කියලා. මට යකෝ දැලි පිහියත් එකයි, මාළු මන්නෙත් එකයි.”‍

මම දුන්නා නිකං පාතාලේ චන්ඩිත් කොර වෙන ටෝක් එක්ක.

මට පෙනුනා මිනිහගේ මූණ වෙනස් වෙනවා.

“උඹට මම මේ දෙන අන්තිම චාන්ස් එක.”

“මට චාන්ස් දෙන්න උඹ මගේ ලොකු තාත්තද? පරක්කු කරන්නැතුව කියපං ඇයි මට එන්න කිව්වේ. නැත්නම් මම යනවා.”

“උඹ අපේ බොස්ගේ කෑල්ලට බහිනවා කියලා අපිට කිව්වා. කරුණාකරලා පිහි පාරක් කන්නේ නැතුව අද ඉඳලා ඒක අමතක කරපං.”

“කව්ද යකෝ කෑල්ල? මම කවදාවත් කෑලි වල‍ට සෙට් වෙලා නැහැ නියම එලකිරි කෙල්ලෙකුට මිසක්.”‍

“උඹ දන්නවද දිලිනි කියලා මිස් කෙනෙක්?”

ඒ වචනේ ඇහුනා විතරයි මගේ ඔළුවට හැම දෙයක්ම ආවා. එහෙනම් දිලිනිගේ ලව් එක හිඟා කන එකා තමයි මේක සෙට් කරලා තියෙන්නේ.

හොඳයි කමක් නැහැ. කවුරු වුනත් දිලිනි සම්භන්ධ දෙයක්නේ. ඒ නිසා කරන දෙයක් කෙල්ලත් නෝන්ඩි නොවෙන්න කරන්න ඕනේ.

“මොකද උඹ කියන්නේ. වැඩේ නවත්තනවද, නැත්නම්..?”

“උඹලට බොස් කීයක් දුන්නද උගේ පස්ස හෝදනවට?”

“උඹේ කට වැඩියි.... තව එක සැරයක් ඔය වගේ කතා කියල තිබුනොත් උඹේ දත් ගලවනවා.”

“දත් ගලවන්න? මගේ? උඹට  මගේ දත් ගලවන්න තියා, ළඟටවත් එන්න බෑ. ආවොත් උඹ මේ‍ ලෝකේ හිටියා ඇති කියලා හිතා ගනින්”

මට ඕනේ වුනේ මුලින් මුන්ව කටින් ගහලා වට්ටන්න. මුන් කුඩු කාරයෝ, කවුරු හරි කීයක් හරි දුන්නහම එනවා අහිංසකයෙකුට පාට් දාන්න. ඒත් මුන්ට කතා කරන්න බැරිවෙන්න කටින් දුන්නහම උ‍න්ගේ චන්ඩි පාට් බාගෙට බාගයක් බහිනවා. අත්දෑකීමෙන් මම දන්න දෙයක් මේක.

“යකෝ අපිට ඕනේ වචනයක් අපේ බොස්ට කියන්න. උඹ පොරොන්දු වුනොත් අද, ආයෙ ඒ දේ කඩන්න බෑ කවදාවත්. එහෙම කරලා තිබුනොත් උඹේ හැම දෙයක්ම නැතිවෙයි.”

“මට ඇත්ත කියපං... උඹලගේ ගාස්තුව කීයද? මම දෙන්නම් ඊට වඩා.”

මම එහෙම කියලා රුපියල් පන්සීයේ කොලයක් පෙන්නුවා.

ටික වෙලාවකින් උන්ගේ ලීඩර් ආයෙත් කතා කළා.

මෙච්චර වෙලා අඩෝ, උඹ කියපු මිනිහා මට දැන් මචං කියනවා.

“මචං , උඹ මොනවා වුනත් කොන්දක් තියෙන කොල්ලෙක් කියලා මට පේනවා. නැත්නම් තනියම අපි හතරදෙනා මැදට ඇවිල්ලා බය නැතුව ඉන්න පුළුවන්ද? අපි මෙහෙම කරමු, මේ ගෑනු නිසා කොල්ලෝ දෙන්නෙක් ඇර ගන්න ඕනේ නැහැනේ, උඹ ඕක අතහැරලා දාපං, අපේ බොස් නැහීගෙන කරන ලව් එකනේ. අපි කියන්නම් උඹට අම්බානක නෙලුවා කියලා.”

මටත් ඕනේ වුනේ ඔතෙන්ට එන්න.‍

මම රුපියල් පන්සීයේ ඒවා දෙකක් දුන්නා උගේ අතට‍. දීල ඌව පැත්තකට කර ගත්තා‍‍.‍

“එකක් මතක තියා ගනින්, උඹ නෙවෙයි බොස් නෙවෙයි, අම්මා තාත්තා කිව්වත් මට ඕනේ දෙයක් මම අතහරින්නේ නැහැ. ඒත් උඹේ බොසාට ගිහින් කියපං මම උගේ කෙල්ලට තාම ලව් නෑ කියලා‍. ඒත් ඒ කෙල්ල මගේ හොඳම යාළුවෙක්. ඒ කෙල්ල අකමැත්තෙන් මොනවා හරි කලොත් ඌ විතරක් නෙවෙයි උඹත් ජීවත් වුනා ඇති කියලා හිතා ගනින්. ඒකත් ගිහින් ඌට කියපං. මීට පස්සේ මගේ පස්සෙන් ආවොත්  උඹලට වෙන දේ උඹලටමවත් හිතා‍ ගන්න බැරි වෙයි.”

මම ඒ ටික කියල ඉවර වෙනකොටම මම දැක්කා ඩැනී අන්කල් මම ඉන්න තැනට එනවා.

“මොකද කොල්ලා වෙන්නේ..... මම ඈතදීම දැක්කා උඹ මෙතෙන්ට දුවගෙන එනවා. උඹේ පස්සෙන් සෙට් එකක් පන්නගෙන ආවා නේද?”

“නෑ අංකල්.... ගණන් ගන්න එපා පොඩි සීන් එකක්.”

“මුන්ද දැන් අයියලා?”

ඩැනී අන්කල් ඇරුන් සෙට් එක දිහාට හැරැනා. උන් හොල්මන් වෙලා බලාගෙන ඉන්නවා.

“පුතා මුන් උඹට ගැහුවද?”

ඩැනී අන්කල් කෙලින්ම මගෙන් ඇහුවා.

“නෑ අන්කල් මේක මේ පොඩි සීන් එකක්.”

“උඹල ආවේ මේ කොල්ලට ගහන්නද?”

මගෙන් හරි උත්තරයක් නැති තැන අන්කල් උන්ගෙන් කෙලින්ම ඇහුවා.

උන් එකෙක්වත් වචනයක්වත් කතා කළේ නැහැ. ඇයි අප්පා මුළු නුවරම දන්න අංක එකේ මැරයා, මගේ කරේ අත දාගෙන උන්ගෙන් ඇහුවම මට ගහන්නද ආවේ කියලා, කාටද ඔව් කියන්න පුළුවන්.

“මම තව එකපාරක් අහනවා...ඇත්ත කියපං... මොක්කද මෙයත් එක්ක උඹලට තියෙන වලිය?”

“මොනවත් නෑ ඩැනී අයියේ... මේ පොඩි වැරදීමක් වුනා. අපි වෙන එකෙක් කියලා හිතලා මේ මල්ලිව අල්ලගන්න හැදුවා. අපි අතක්වත් තිබ්බේ නැහැ.”

එකෙක් යන්තම් කියා ගත්තා.

“ඔව් ඒක එහෙම වුන එක හොඳයි.... දන්නවනේ මාව. මේ ඉන්නේ මගේම දරුවෙක්. මෙයාට ආයෙත් කවදාවත් කරදරයක් වුනොත් මම බලාගන්නම්.”

අරුන් සෙට් එක ඩැනී අංකල්ට  ළඟ ඇඹරිලා, මම දුන්න සල්ලි ටිකත් මට ම දීල යන්න ගියා.

“මම යනවා පුතා. පරිස්සමින් ඉන්න. මේ දවස්වල උඹට යන යන තැන වලි සෙට් වෙනවා වගේ. මොකක්ද? චීත්තයක්ද?”

ඩැනී අංකල් ඒක අහපු විදිහට මට හිනා ගියා.

“හරි හරි මට තේරෙනවා. උඹ එක දවසක් මහ රෑ සුරංගනාවියකුත් බයික් එකේ දාගෙන රස්තියාදු වුන එක මට මතකයි.”

ඩැනී අංකල් මට ඇහැක් ගහලා යන්න ගියා.

ඩැනී අංකල් යනවත් එක්කම සචියා අපේ සෙට් එකේ දහදෙනෙක් විතර ඇදගෙන මම ඉන්න පැත්තට එනවා.

ඌ ඈතදිම කෑ ගහලා කතා කළා.

“කාවා, මොකද අලුත් සෙට් එකක් බැහැලද අපිට කපන්න. අල්ල ගනින් උන්ව.”‍

“නෑ සචියා, පව් අහිංසකයෝ ටිකක්, වේල් දෙක තුනක් කාලා නැහැ, මම සල්ලි දුන්නා කාපං කියලා.”‍

 “මොකක්ද කාවා..... උඹ යන යන තැන වලිනේ....?”

“නෑ බං පොඩි සීන් එකක්. ගණන් ගන්න එපා, කුඩ්ඩෝ.”

“උඹට අර කේස් එකට නේද උන් ඇවිල්ල තියෙන්නේ?”

අම්මප සචියාත් හොඳයි ස්කොට්ලන්ඩ්යාඩ් එකට.

“ඔව් බං... කව්ද එකෙක් උන්ව එවලා, දිලිනිව හම්බවෙන එක නවත්තන්න කියලා කියවන්න.”

“මම උඹට ඊයේ කිව්වා.”

“අනේ මං දන්නෑ බං..... කෙල්ලොත් හිටියා, මේ වගේ කුණු සීන් සෙට් වෙන කෙල්ලෙක් නම් ඉඳලම නෑ.”

චතුර කිව්වා.

සචියා මාව පැත්තකට ඇදගත්තා‍.

“කාවා, මං උඹට කිව්වා නේද? ඕක නිකං මේ සූකිරි ලව් එකක් නෙවෙයි, සල්ලි මිලියන ගානක ඩීල් එකක්. එහෙම දෙයක් ඔහොම ලේසියෙන් මිනිහෙක් අතහරින්නෑ. ඉස්සරහට පරිස්සම් වෙයං.”

“මටත් දැන් තේරෙනවා බං. බලමු‍. ඒත් මට තේරෙන්නේ නැත්තේ ඇයි ඌ මේ වගේ දෙකයි පනහේ එවුන් සෙටි කරන්නේ. ඌට ඇත්තටම මාව සීන් එකෙන් අයින් කරන්න ඕනේ නම් ඔයිට වඩා ලොකුවට අදින්න තිබ්බා. මොකද ඌ දන්නවා අපි සෙට් එකත් ලේසියෙන් ගේමක් අතාරින්නේ නෑ කියලා. ඇයි ඌ ඩිරෙක්ට් ලොකු ඇටෑක් එකක් නොදී මේ වගේ කුඩු කාරයොයි, අර එදා වගේ ගුටිකාල දුවන නංගිලයි එවන්නේ?”

“මටත් ඒ ගැන ලොකු සැකයක් තියෙනවා බං. සමහර විට ඔතන දිලිනිගේ සම්බන්ධයක් ඇති.”

“ඒ කියන්නේ.”

“යකෝ දිලිනි මේ උඹ මම හිතාගෙන ඉන්නවට වඩා ස්ට්‍රෝන්ග් කෙල්ලෙක්. උඹ දන්නැති දෙයක් කියන්නම්. ගිය සතියේ දිලිනි මට කෝල් කරලා කිව්වා උඹව ටිකක් බලාගන්න කියලා.”

“ඇයි බං මට කිව්වේ නැත්තේ.”

“උඹට කියන්න එපා කිව්වා. ඒකයි. ඒත් දැන් කියන්න වෙනවා.”

“ඉතින්.”

“මම කිව්වා ඒක අවුලක් නෑ අපි කොහොමත් අපේ කාටහරි අවුලක් වෙනවනම් අතාරින්නෑ කියලා. ඒත් එක්කම මම කිව්වා කාවින්දට ලොකු ඩැමේජ් එකක් කරන්න ගිහාන් ප්ලෑන් කරයි කියලා.”

‘ඉතින්.”

“කෙල්ල කිව්වා, දැනටනම් ඒ ගැන බයවෙන්න එපා මොකද ගිහාන් එහෙම කරන්නෑ කියලා.”

“ඉතින්.”

“මම ඇහුවා ෂුවර්ද කියලා. එයා කිව්වා සියයට දෙසීයක් ඒ ගැන ෂුවර් කියලා. එයා කිව්වා ඒ ගැන එයා බලාගන්නම් කියලා.”

“ඒ කියන්නේ සචියා දිලිනි ගිහාන්ට බල කරලා ඇති මට කරදරයක් කරන්න එපා කියලා. අහිංසකකමට හිටියට ගෑණි බය නෑ ගිහාන්ට.”

“ඔව් මටත් හිතෙනවා කාවා. දිලිනිට තියෙන බයට හරි නැත්නම් කපටිකමට හරි ඌ උඹට ‍ලොකු ගේමක් සෙට්  කරන් එකක් නෑ දැන්ම. හැබැයි පරිස්සමින්. ඌට උඹව දිලිනිගෙන් ඈත් කරන්න බෑ කියන එකයි, දිලිනිව ඌට නම්මගන්න බෑ කියන එකයි ‍තේරුණාම ඔය ඉවසීම නැති වෙයි.”

2 comments:

  1. කාවින්දට හැම දේකටම කොන්දක් තිබුණට තමන් කැමති කෙල්ල කවුද කියලා තෝරගන්න කොන්දක් නෑ. ඒක තමා අවුල.

    කතාව ගැන නම් කියන්න තියෙන්නෙ වෙනද වගේම නියමයි කියලා..

    අනිත් කොටස එනතෙක් වෙයිටින්...

    ReplyDelete
  2. එහෙම කියන්න එපා..... කාවින්ද පව්...

    ReplyDelete