Recent Post

Monday, June 05, 2017

සදානුස්මරණිය ප්‍රථම ප්‍රේමය ~ මේ ආදරයයි ~ 34


සදානුස්මරණිය ප්‍රථම ප්‍රේමය
මේ ආදරයයි


34.

ගරාජ් එකේ වැඩ නිසා මට නිදහසක් තිබුණේම නෑ.

මමත් පොඩිකාලේ ඉඳලම ආසා වෙලා හිටියා ජීප් එකකට. ලොකු එකක් නෙවෙයි සාමාන්‍ය එකක්. ජීප් කියලා මොඩ්ල් එකක් තිබුණා මම කැමතිම එකක්. ඒකට කිව්වේ Jeep CJ කියලා.

ධනුෂ්ක අයියගේ ගරාජ් එකේ මේ ජාතියේ මොඩ්ල් එකක් තිබුණා, කවුරු හරි ගෙනත් දාලා, ඒක 1984 විතර වාහනයක්.

මම කීප දවසක්ම ‍මේක හදන්නේ නැද්ද කියලා අහපුවාම ධනුෂ්ක අයියා මොනවත් කිව්වේ නෑ.

මම ආසම මොඩ්ල් එකක් නිසා ඒ වීක් එ‍න්ඩ් එකේ මේක අරගෙන රෙපෙයාර් කරන්න මම හිතා ගත්තා.

මම ඉරිදා උදේම වාහනේ ට අත ගහනකොට ම ධනුෂ්ක අයියා කිව්වා මේක එයාගේ යාළුවෙකුගේ කියලා.

“ඉතින් අයියේ මේක හදලා දෙමුකෝ ඉක්මනට. යාළුවෙකුගේනම් අපිටත් රවුමක් යන්න ඕනේ වුනාම ඉල්ල ගන්න පුළුවන්නේ.”

“යකෝ.... ඕක අයිති එකා දැන් නෑ.”

“ඒ කියන්නේ?”

“කාවින්ද, ඕක අයිති විරංග කියලා ‍මගේ හොඳම ළඟින් හිටපු එකෙකුට. ඉස්සර ඌ මේක නැතුව කඩේටවත් යන්නෑ. බෙන්ස් එකක් තිබුණත් වෙඩින් එකකට වුනත් ගියේ මේකේ.”

“ඉතින්.”

“පස්සේ මේක රෙපෙයාර් ඇවිල්ලා ඌ මේක ගෙනත් දැම්මා. ඒ වෙනුවට ෆියට් එකක් පාවිච්චි කළා.”

“ඉතින්...”

“ඌ ඒ ෆියට් එක හැප්පිලා කඩුගන්නාවෙදි මැරුණා.”

“නෑ.....”

“ඔව් බං. පවුලේ එකම දරුවා. අංකල්ට ඇති වෙන්න සල්ලි තිබුණා.”

“ඉතින් මේක ගිහින් ‍දුන්නේ නැද්ද?”

“මළ ගෙදරින් පස්සේ, අවුරුද්දකට විතර පස්සේ මම අංකල්ගෙන් ඇහුවා මේක හදලා ගෙනත් දෙන්නද නැත්නම් විකුනලා සල්ලි දෙන්නද කියලා.”

“හ්ම්.”

“අංකල් කතාවක් නැතුව ඉඳලා ගෙට ගිහින් වාහනේ පොත මට ගෙනත් දීලා කිව්වා, පුතේ මගේ කොල්ල නැතිවුනාට පස්සේ මට වාහනේවත් සල්ලිවත් වැඩක් නෑ. ඒ නිසා ඔයා කැමති දෙයක් කරන්න. ඕක හදන්න අමාරුනම් අයින් කරලා දාන්න, නැත්නම් කැමති දෙයක් කරන්න, මට සල්ලි එපා කියලා.”

“මාර සීන් එකනේ.”

“ඔව් බං, පස්සේ දවසක අංකල් මට වාහනේ ට්‍රාන්ස්ර් ෆෝම්ස් ටිකත් ගෙනත් දුන්නා. එදා අංකල් පුදුම විදිහට දුක් වුනා. ඇඬුවා.”

“පස්සේ.”

“පස්සේ අංකල් දුකින්ම ඉඳලා අවුරුද්දකට විතර පස්සේ මැරුණා. දැන් ඉන්නේ ආන්ටි විතරයි. එයත් හොඳටම ලෙඩ. ඉස්සර අපි ඉස්කෝලේ යන කාලේ නිතරම ගියේ එහේ. උදේට කෑවෙත් එහෙන්, දවල්ට කෑවෙත් එහෙන්, සමහර විට රෑට කාලා යන්නෙත් එහෙන්.”

“මාර අප්සෙට් එක.”

“ඔව් කාවින්ද මල්ලි. ඒ පවුලට වුණ දේ දැකලා මට මේ වාහණෙත් එපා වුනා. ඒ අවුරුදු දෙකකට කලින්. එදා ඉඳලා අද වෙනකම් මම මේක දිලා බැලුවේවත් නෑ.”

“අපරාදයක් වෙලා තියෙන්නේ.”

“කරන්න දෙයක් නෑ බං. ඒක තමයි ජීවිතේ කියන්නේ.”

“ෂිට් හොඳ මිනිස්සුන්ටමනේ මේවා වෙන්නේ.”

“හරි දැන් උඹ මේ කරන්න යන්නේ මොකක්ද?”

“මම හිතුවේ මේක මගෙත් ආසම වාහනේ නිසා හදලා ගිහින් දෙන්න.”

“දැන් කාට දෙන්නද බං. අනිත් එක උඹට ඕක හදන්න පුළුවන්ද? ක්ලච් ප්ලේට් දාන්න ඕනේ, එන්ජින් එක බලන්න ඕනේ. සයිලන්සර්, රේඩියේටර් එහෙම නම් දැන් ගන්න දෙයක් නෑ මලකාලා. ඒ ඔක්කොම දාන්න වෙනවා. මාස තුන හතරක වැඩක්.”

“තනියමනම් බෑ අයියේ. එයා ගයිඩ් කරනවානම් පුළුවන් වෙයි. ඒත් දැන් මොකටද?”

“මේක දැන් කාටවත් අයිති නෑ. උඹට ආස නම් හදලා ගනින්. හැබැයි ඔය පාට්ස් නම් හොයන්න අමාරු වෙයි. උඹ එක්කෝ මේ තියෙන පරණ කෑලි වලින් මොනවා හරි කරගන්න වෙනවා, නැත්නම් පංචිකාවත්ත පැත්තේ කැරකෙන්න වෙනවා.”

“අවුලක් නෑ අයියේ. සයිලන්සර් එක මම අනිල් ගරාජ් එකෙන් ඉල්ලගන්නම්. අනිල් අයියගේ ගෝලයා විශ්වජිත් ගාව බඩු තියෙනවා. මිනිහා ගාව අළුත්ම මේඩ් ඉන් ශ්‍රී ලංකා ඒවා තියෙනවා. කිව්වොත් මේකට එකක් හදලා දෙයි. සල්ලි ගන්නෑ. රේඩියේටර් එකත් ටැංකිය හදලා ගන්න පුළුවන්. මෑන්ස් පිත්තල වලින් ගේම දෙනවා. ෆිල්ටර් එකයි ඒ ටික විතරක් සල්ලි වලට ගන්නම්.”

“පුළුවන් නම් කරපං.  හදලා උඹ ගනින්. මොකද මට වැඩක් නෑ. හිතක් නෑ බං.”

මේක නම් කියලවත් කරගන්න පුළුවන් දෙයක් කෙවෙයි. වාහනේ පරණයි, දිරලා, ඒත් එහෙම එකක් වත් සල්ලි වලට ගන්න තරම් අපිට පුළුවන් කමක් නෑ. දන්න ශිල්ප ඔ‍ක්කොම දාලා, වැඩේ ගො‍ඩ දාගත්තනම් කාවා ගේ එක හීනයක් ගොඩ.”

“මොකද බං හිතන්නේ?”

“මම වැඩේ ගොඩ දාන්නම්. අයියා මට මේක නකම්ම දෙනවද?”

“මම කිව්වනේ දැන් මේක කාටවත් අයිති නෑ. උඹ නොවී වෙන කෙනෙක් මේක ඉල්ලුවත් මම දීල දානවා.”

“එල අයියේ. තෑන්ක්ස්. මම මේක හදාගන්නම්, වැඩ වෙලාවෙන් පස්සේ ඉඳලා.”

මට එදා පුදුම සතුටක්.

සිකුරාදා නිසා ටිකක් කලින් නිවාඩුවක් ඉල්ලගෙන ගියා සචියා හම්බවෙන්න.

පුදුමෙකට වගේ මේ දවස් කීපයම දිලිනි කතා කළේම නැහැ. එයා දීපු ෆෝන් එකෙන් තාම මම කෝල එකක් ගත්තෙත් නෑ එයා කතා කරන්නම් කිව්ව නිසා.

මම බයික් එක පාරට් දැම්මා. සචියව බලන්න යනවද, දිලිනිව බලන්න යනවද?

මුලින් සචියා. ඌ නැත්නම් මොන වැඩේ වුනත් කරලා හමාරයි.

මම යනකොට මිනිහා ගෙදර වත්ත සුද්ද කරනවා. ෆුල් වැඩ.

“අම්මෝ කාවා උඹව දකින්න තියෙන අමාරුව?”

“එහෙම තමයි බං. වැඩ තියෙන මිනිස්සු.”

“සචියා. උඹ දැන් මොකද කරන්නේ. කෝස් එකක් වත් පටන් ගත්තේ නැද්ද?”

“අයි ඩී එම් එකේ කරනවා. ඩිප්ලෝමා එකක්. කොහෙද උඹට එන්න බෑ කිව්‍වනේ.”

“මට ෆුල් ටයිම් එන්න බෑ බං. වැඩනේ. වීක් එන්ඩ් එකක් හොයලා කියපං.”

“හරි මම බලන්නම්. ඒක නෙවෙයි කාවා. උඹ ඇත්තටම මොකක්ද කරන්න යන්නේ?”

“ඇයි?”

“යකෝ. හොඳමට ඕ‍ ලෙවල් පාස්වෙලා. ඒ ලෙවල් වලට සයන්ස් කරලා. දැන් උඹ ගරාජ් එකක වැඩ ඉගෙන ගන්නවා. නරක රස්සාවක් නෙවෙයි, ඒත් උඹ කිසිම ගැලපීමක් නැති දෙයක්නේ කරන්නේ.”

“නෑ බං. තව කල් තියෙනවානේ ඉගෙනගන්න. මේ අහුවුන චාන්ස් එකෙන් මේ වගේ දෙයක් ඉගෙන ගන්න එක හොඳයිනේ.”

“ඒක නෑ කියන්නේ නෑ මම. ඒත් බං උඹ මේකටම හිරවෙලා අනුන්ගේ වාහන හද හද ඉන්නනම් හිතන්න එපා.”

“නෑ බං. දිගමට මේක කරත් මම අනුන්ගේ ගරාජ් එකක වාහන හද හද ඉන්නෑ මගේම කියලා එකක් පටන් ගන්නවා මිසක්.”

“කාවා දැන් කොහේ යන ගමන්ද?”

“වරෙන්කෝ උඹත් ගරාජ් එකට?”

“ඒ මොකටද?”

“යකෝ මම පරණ  Jeep CJ එකක් හම්බවුනා. වැඩ ටිකක් තියෙනවා හදලා ගන්න. තනියම අමාරුයි. ගරාජ් එක වැහුවට පස්සේ හදන්න ඕනේ. උඹත් වරෙන් හවස හතට විතර ටික දවසක් යනකං. අපි වැඩේ ගොඩ දාමු.”

“හම්මා... ඒ කියන්නේ උඹ වාහනේකුත් ගත්තා.”

“තාම මලකඩ ගොඩක් විතරයි බං.”

“මොකක් හරි වාහනයක්නේ බං. සිරාවටම උඹ අපිට වඩා දියුණුයි බං. ඒ ලෙවල් කරලා අපි තාම ගෙදරට වාත වෙවී ඉන්නකොට උඹ ජොබකුත් කරලා, දැන් වාහනේකුත් අරගෙන තනියම හදා ගන්නත් යනවා.”

“වාහනේ නම් සල්ලි දීල ගත්තේ නෑ. ගරාජ් එකේ අයිතිකාරයෙක් නැති එකක් තිබුණා. ධනුෂ් අයියා ඒක මට දුන්නා.”

“අයිතිකාරයා ඉල්ලුවොත්.”

“නෑ බං. මෑන්ස්ගේ යාළුවෙක්. මිනිහා මූට ඒක දීලා. ඒ වුනාට මෑන්ටත් එක් එපාලු.”

“උඹටනම් කාවා මාර ග්‍රහචාරයක් තියෙන්නේ.”

‘හරි හරි මොන මගුලක් හරි උඹ එනවද.”

“නැත්තං යකෝ... හෙට ඉඳලා වැඩ පටන් ගමු. මට හතරට ක්ලාස් ඉවරයි. ගෙදර ගියා, කෑවා... හය හමාරට මම ඔතන.”

“එල.”

“ඒක නෙවෙයි බං.... මොකද දැන් අර සීන් එක?”

“මොකක්ද?”

“දිලිනි.”

“මොකුත් නෑ.”

“අරූ ආයෙත් පාට් එකක් දැමේමේ නෑ නේද?”

“නෑ බං. ඌට මම කිව්වනේ කියන්න ඕනෙ දේ.”


“ඒ වුනාට පරෙස්සමෙන් පුතෝ. ඕකා විශ්වාස නෑ. තව පාරක් වැඩේ සෙට් කරයි. ගිය සැරේට වඩා සීරියස්.”

0 comments:

Post a Comment