Recent Post

Tuesday, June 27, 2017

සදානුස්මරණිය ප්‍රථම ප්‍රේමය ~ මේ ආදරයයි ~ 43




සදානුස්මරණිය ප්‍රථම ප්‍රේමය
මේ ආදරයයි



43.

“මේ වැඩේ මෙහෙම කරලා හරියන්නේ නෑ කාවා.”

“කොහොමද බං?”

“උඹ මෙහෙම තනියම යන එක නම් ආරක්ෂාවට ෆුල් අවුල්. දැන් පේන විදිහට උඹව ගාඩ් කරන්න අපිට බැරි වෙයි.”

“උඹල මොනව කරන්නද බං. අනිත් එක මේ කෙල්ලෙක්ගේ සීන් එකකට මිනී මරාගන්න තරං උන් මෝඩ වෙයිද බං?”

“උඹයි මෝඩයා. මම එදත් කිව්වා මේක නිකං කෙල්ලෙක්ගෙ ලව් සීන් එකක් නෙවෙයි, උඹටයි දිලිනි මිස්ටයි නොතේරුනාට මේක මිලියන ගාණක ඩීල් එකක්. එහෙම දේවල් උන් නිකං අතාරියි කියල හිතනවද?”

“ගිහානයාට තියෙන බිස්නස් මොනවද?”

“ඇයි කාවා, මම ඒවා හොයාගෙන් ගොඩක් කල්. මිනිහගේ ලෑන්ඩ් සේල් එකක් තියෙනවා, තව ස්පයිස් එක්ස්පෝර්ට් කරන බිස්නස් එකක් තියෙනවා.  ඒ අතරේ ඌ ඔය හොටෙල් සප්ලයර්ස් කියලා, කට්ලරි වගේ දේවල් ලංකාවට ගෙන්නනවා.”

“අම්මා.... ඒ කියන්නේ සෑහෙන බරක්.”

“නෑ.... මං හිතන්නේ දැන් මෑන්ගේ බිස්නස් වල බහින කලාව. සපයිස් එක්ස්පෝට් එක කෙලවෙලා තියෙන්නේ, හොටෙල් සප්ලයි එකත් ඩවුන්. දිලිනිගේ තාත්ත‍ගෙයි එයාගේ යාළුවෝ කීප දෙනෙකුගෙයි හොටෙල් නිසා තමයි ඒක ඇදගෙන යන්නේ. වෙන අවුට් සයිඩ් බිස්නස් නැති තරම්. ලෑන්ඩ් සේල් එක විතරයි හොඳට යන්නේ.”

“එහෙනම් ඒ නිසයි මෙයා මේ දිලිනිගේ තාත්තට කොක්ක දාන්න හදන්නේ.”

“ඔව්.”

“එතකොට ඔය අවුල දිලිනිගේ තාත්තා දන්නේ නැද්ද?”

“දන්නවා බං. ඒ වුනාට මෑන් හිතන්නේ අරූගේ වැටුන බිස්නස් ටිකත් ගොඩ දාලා කෙල්ලවත් දෙන්න.”

“ඇයි බං ඌ ගිහාන්ට ඔච්චර භක්තිය?”

“ඒක නම් මම දන්නෑ කාවා. ඒත් ඒක එහෙම තමයි.”

“දැන් යමං වාහනේ දාලා නාලා ගෙදර යං.”

“යං යං. උඹට කෙල්ල ‍දැක්කාම මාවත් අමතක වුනානේ.”

“නෑ බං.. ගෙදර ගිහින් දාන්න කිව්වා. ලස්සන කෙල්ලෙක් එහෙම කිව්වාම මොන හිතකින්ද බං බෑ කියන්නේ.”

“ඒ කියන්නෙ උඹල දෙන්නට දැන් ටික දවසක්වත් නොදැක ඉන්න බෑ?”

“පිස්සු.”

“මේ මම කියන්නද කාවා.”

“මොකක්ද බං.”

“දැන් උඹ මේ දිලිනි නිසා චාටර් වෙවී, ගුටි කන එකේ, නරකද ඇත්තටම උඹ කෙල්ලව සෙට් කරගත්තොත්. එතකොට ගුටි කෑවත් ගුටි කන එකේ තේරුමක් තියෙනවනේ.”

“මොකක්ද බං ඒ කතාව.”

“මේකයි කාවා. උඹම කියපං, කෙල්ල ලස්සනයිනේ.... උඹ කෙල්ලට කැමතියි. ඒ වගේ ලස්සන කෙල්ලෙකුට අකමැති වෙන්න බෑනේ. දැන් අනිත් එක උඹ කියන විදිහට කෙල්ල ගතිගුණ වලිනුත් හොඳයි. සල්ලිත් තියෙනවා. ඉතින් නිකං ගුටි කන එකේ, කෙල්ලව ඇත්තටම සෙට් කරගෙන ගුටි කෑවත් කෙල්ලවයි, සල්ලියි අයිති වෙනවනම් පාඩුවක් නෑනේ.”

“උඹ ඇත්තටමද කියන්නේ?”

“සිරාවට බං. උඹට කෙල්ලෙක් නෑ, දිලිනිට කොල්ලෙක් නෑ. උඹලා දෙන්නා යාළුවෝ කිය කිය ගෑණියි මිනිහයි වගේ ඉන්නේ. ඉතින් යාළුවෙන්න විතරයි තියෙන්නේ. සමහර විට ගිහාන්ගෙන් උඹට විතරයි නෙවෙයි අපි සෙට් එකටත් ගුටි කන්න වෙයි. නිකං නෙවෙයි ජල ගුටි. ඒත් උඹ මොන ජල ගුටි කෑවත් ‍ගොනා වගේ අල්ලගත්ත දෙයක් අතාරින්නේ නැති නිසා, කෙල්ල උඹට ලැබෙයි. නිරපරාදේ සත පහක්වත් නොලැබී ගුටි කනවට වඩා ඒක එකක් නේ.”

“උඹ මාව බයිට් එකට ගන්න එපා යකෝ. බලමුකෝ උඹ කෙල්ලෙක් සෙට් කරගත්ත දවසට, මම නම් මෙහෙම හරි ඉන්නවා, උඹට වෙන්නේ කෙල්ලගෙන් ගුටි කන්න.”

“මම නෑනේ බං උඹ වගේ ගුටි කන ලව් වලට සෙට් වෙන්නේ. දෙයියනේ කියලා කාත් කවුරුවත් නැති කෙල්ලෙකුට සෙට් වෙලා සෙට්ල් වෙලා ආතල් එකේ ඉන්නවා.”

“හරි හරි, දැන් මෙන්න මෙහෙ නැගපං.. යමු.”

“අපි දෙන්නා ගරාජ් එකට එන ගමන් බියර් දෙක තුනකුයි කොත්තු දෙකකුයි දාගෙන ආවා.”

“මොකද කාවා, උඹට ගෙදර යන්න හිතක් නැද්ද?”

“නෑ බං.. රෑ වෙලා යං. ගිහිල්ල කරන්න දේකුත් නෑනේ”

“ඒ වුනාට මට හිතෙන්නේ උඹට ප්‍රශ්ණයක් තියෙනවා.”

“මට ප්‍රශ්ණයක් නෑ බං. ඒ වුනාට දිලිනි මට ප්‍රශ්ණයක්. එයාගේ ජීවිතේ මොකක් හරි එයා මට නොකියන ලොකු ප්‍රශ්ණයක් තියෙනවා.”

“මොන ප්‍රශ්ණයක්ද බං, ගිහාන් තමා ප්‍රශ්ණේ.”

“නෑ නෑ... ඒක නෙවෙයි. ඊට වඩා වෙනස් දෙයක් තියෙනවා. කෙල්ල ගැන මට දුකයි. ඒත් උදව්වක් කියලා කරන්න දේකුත් නෑ.”

“ඇයි උඹ එහෙම හිතන්නේ?”

“පහුගිය දවස් වල එයාගේ හැසීරීමෙන් මට එහෙම හිතෙනවා. මාත් එක්ක මරාගන්න ආපු ගිහාන් දැන් කීප දවසක ඉඳලා මාව ෆලෝ කරලා විතරක් නිකං ඉන්නවා. දිලිනිගේ අම්මත් මේ ගැන සද්දයක්වත් නෑ. තාත්තා මොන ලෝකේ ඉන්නවද දන්නෑ. අනිත් එක බං ඒ දෙන්නා කොයිම වෙලාවකවත් ගෙදර නෑ. මම කවදාවත් දැකලා නෑ දිලිනි ඒ දෙන්නා එක්ක ගමනක් වත් යනවා. කෙල්ල තමන්ගේ හැම වැඩක්ම කරගන්නේ තනියම.”

“ඒක නම් මටත් තේරුණා තමයි.”

“අනිත් එක සචියා, මෙච්චර සල්ලි තියෙන කෙල්ලෙක්, මොන මගුලකටද මේ ඉස්කෝලෙක උගන්වන්න ආවේ. පොඩිකාලේ ඉදලා ටීචර් කෙනෙක් වෙන්න ආසාවෙන් හිටියා කිව්වට මම හිතන්නේ ඒවා බයිලා කියලා. රස්සාවක් ඕනෙ නම් ඔච්චර තාත්ත‍‍ගේ බිස්නස් එකකට සෙට් වෙන්න තිබුණනේ?”

“උඹ කියන එකෙත් පොඩි සැකයක් තියෙනවා. ඒත් මොකක් වෙන්න පුළුවන්ද?”

“නෝ අයිඩියා. ඒත් මොකක්ම හරි තියෙනවා. ඒක මට ෂුවර්.”

ඒ මොකක්ද කියන එකත් මටම තමා හොයාගන්න වෙන්නේ.

වෙලාව රෑ දහයට විතර ඇති. අපි දෙන්නා කොත්තු දෙකත් කාලා පාර පැත්තට ආවා.

ඒත් එක්කම මම දැක්කා වෑන් එකක් කළුවරේම හෙඩ් ලයිටුත් ඕෆ් කරගෙන අපිව පහුකරගෙන යනවා.

වීදුරු කළු කරලා තිබ්බ නිසා ඇතුලේ කව්ද කියලා පෙනුනේ නෑ.

“කව්ද කාවා ඒ.”

“මං දන්නෑ බං.”

“මටනම් සැකයි. යකෝ මුං අපි යන යන තැන ඔත්තු බලනවානේ.”

“උඹ කියන්නේ ගිහාන් කියලද?”

“අනිවා උගේ ගෝලයෙක් වෙන්න ඇති. නැත්නම් බං අපේ පස්සේ  ඔය තරම් පන්නලා වැඩක් තියෙන්නේ මොකාටද?”

“බලමුකෝ ඌ මොකාටද එන්නේ කියලා.”

“මේ කාවා, ඩී.අයි.ජී. වීරරත්න අංකල්ටවත් කියලා බලමුද?”

“උඹට පිස්සුද යකෝ. ඕක අංකල්ට කිව්වොත් අනිවා අපේ අම්මගේ හරි තාත්ත‍ගේ හරි කනේ තියනවා. ඊට පස්සේ ඉතින් අපිට අර මොනවද කාපු උගුඩුවෝ වගේ තමා ඉන්න වෙන්නේ. අනිත් එක බං ඔය වගේ ගෑණු සීන් එකක් කොහොමද බං අංකල්ට රෙද්දක් ඇඳගෙන කියන්නේ. ඊට වඩා සැපයි අරූගෙන් ගුටිකනවා.”

“මටනම් තේරෙන්නේ නෑ කාවා. එක්කෝ උඹ අතදාල තියෙන්නේ ජීවිතේම ගොඩයන වැඩකට. එහෙම නැත්තං ජීවිතේම නැති වෙන වැඩකට. මොන කෙහෙල්මලක් හරි කමක් නෑ, උඹට අපි ඉන්නවා.”

මේ විදිහට වැඩි කාලයක් යන්න කලින් ගිහාන්ගේ ඉවසීම ඉවර වෙයි, මොකද අපි දෙන්නා කවුරු එපා කිව්වත් හම්බවෙනවනේ. එදාට අනිවාර්යයෙන් ගිහාන් මට සෑහෙන ලොකු ඩැමේජ් එකක් කරන්න බලයි. ඒ නිසා කෝකටත් ටිකක් පරිස්සම් වෙන එක හොඳයි කියල මට හිතුනා.

“කාවා, මෙතන අපි දෙන්නා විතරයි, වැඩි වෙලාවක් ඉන්නේ නැතුව දැන්ම යමු. ගනින් බයික් එක. මේක පරිස්සම් මදි. අද රෑ උන් උඹේ පස්සේ පන්නනවා වැඩී.”

“ඔව් යමං.... අදට කරපු දේවල් ඇති, දැන් වලියකුත් දාගන්න බෑ.”

“ලොකු දෙයක් උඹ එහෙම දෙයක් හරි හිතුවා. නැත්නම් පැටලෙන්නමනේ උඹත් යන්නේ. ගිහාන් එපා කියන දේමනේ උඹ කරන්නේ.”

“යකෝ මට කරන්න ඕනේ එපා මොකක්ද කියලා කියන්න ඌ මගේ තාත්තද?”

අපි දෙන්නා බයික් එක ස්ටාර්ට් කර ගත්තා. ගරාජ් එකේ ඉඳලා මීටර් දෙතුන් සීයක් යද්දි මම දැක්කා පිටිපස්සෙන් වාහනයක් හෙඩ් ලයිට් ඔන් කරනවා.

බලනකොට කලින් ආපු වෑන් එක වගේ.

මම සයිඩ් කන්නාඩියෙන් ඒ ගැන අවධානය තියාගෙනම බයික් එක අතුරු පාරෙන් කටුගස්තොට ප්‍රධාන පාරට දැම්මා. කිලෝමීටර් දෙකක් ගිහිල්ලා අපේ ගෙවල් තියෙන පාරට බයික් එක හරවනකොට වෑන් එක ටිකක් ලංවුනා.

පාරේ වාහන කිසිම එකක් නෑ.

ඒ පාර නම් මට හොඳටම තරහ ආවා.

මම බයික් එක රේස් කරලා එකපාරටම හරවලා ආපහු වෑන් එක පැත්තට ගියා. තත්පරයකදී වෑන් එකත් යූ ටර්න් එකක් ගහලා පිම්මේ යන්න ගියා.

“අරුන් නේද ආයෙත්?”

සචිත්‍ර ඇහුවා.

“ඔව් බං. මට දැන්නම් මල පනිනවා. මොක්කුද බං මේ. මේ වැඩේ දෙකෙන් එකක් බේරගන්නේ නැතුව මම අද ගෙදර යන්නේ නෑ.”

මම පාරෙන් එලියේ බයික් එක දැම්මා. එතන තිබුණ පඳුරු අතරේ බයික් එක හංගලා සචිත්‍රවත් ඇදගෙන කොන්ක්‍රීට් කාණුවට බැහැලා හැංගුනා.

“මොකද බං කරන්නේ. සෙල්ලමක් නෙවෙයි උන් ළඟ පිස්තෝල තිබුණා.”

“මෝටාර් තිබුණත් මම මේක විසඳගෙන තමා යන්නේ. උඹ බයනම් පලයං.”

“හරි මොකද කරන්න යන්නේ දැන්.”

“ඔහොම හැංගිලා හිටපං. උන් ආයෙත් එයි. වෑන් එකේ එලිය දැක්ක ගමන් මේ ලී කොටේ ඇදපං පාර මැදට.”

“ඊට පස්සේ..?”

“ඊට පස්සේ මොකද වෙන්නේ බලමු. උන් ගේමට නම් අපිත් අතාරින්න හොඳ නෑ.”

“උඹ උන් එක්ක වලියක් දාගන්නද යන්නේ? උඹට පිස්සුද යකෝ... අපි දෙන්නා මේ ලී කෑලි දෙකක් අතේ තියාගෙන, උන් පිස්තෝල, කඩු කිනිසි අරගෙන ඇති. කන්න තමා වෙන්නේ. අනික් උන් කී දෙනෙක් ඉන්නවද දන්නෙත් නෑ.”

“උඹ බය නැතුව හිටපං. උන් මේ පාර මැද මට වෙඩි තියන්නේ නෑ.”

ඒ අතරේ මම මගේ ගෙවල් ළඟ ඉන්න මගේ ඥාති සහෝදරයට කෝල් එකක් ගත්තා. මිනිහගේ ගේ මෙතන ඉඳල මීටර් පන්සීයක් විතර දුරින් තියෙන්නේ.”

කතාව කිව්ව ගමන් මිනිහා මගේ තව මල්ලිලා දෙන්නෙකුත් එක්ක එන්නම් කිව්වා.

අපි එහෙමම විනා‍ඩි දහයක් විතර හිටියා. ඒත් වාහනේක ලකුණක්වත් නෑ. එනවා කියපු මල්ලිලා තුන් දෙනත් නෑ.

ඒත් එක්කම වාහනේක ලයිට් එලියක් වැටුනා.

“කාවා... ඒක තමා වාහනේ.”

මීටර් සීයක් විතර වාහනේ ලං වෙද්දි මම පාරට පැනලා ලී කොටේ පාර හරහට දැම්මා. උන් ආවේ හෙමින් වුනත් ළඟටම එනකං දැක්කේ නෑ ඒ අපි කියලා.

කොටේ ළඟටම ඇවිත් වාහනේ නැවතුනා. පාර පොඩි නිසා හරවගන්නත් බෑ.

මම හැංගිලා සචියා එලියට ආපු නිසා උන්ගේ එකෙක් වාහනෙන් බැස්සා.

“මොකක්ද යකෝ මේකේ තේරුම, මිනිහෙකුට නිදහසේ පාරේ යන්න බැරිද?”

එතකොටම මම එලියට ආවා. මාව දැකපු ගමන් ඌ අවුල් වුනා කියලා මට තේරුණා.

“ඒක මම යි උඹලගෙන් අහන්නෙ ඕනේ. මට නිදහසේ පාරෙ යන්න නොදී ඇයි ය‍කෝ ෆලෝ කරන්නේ.”

“අපී උඹව ෆලෝ කරේ නෑ.”

“ඇයි උඹ හිතුවට මට ඇස්‍ පේන්නෑ කියලා. මම දන්නෑ උඹලා කාටද වැඩ කරන්නේ කියලා. මොකාට වුනත් ගිහිල්ලා කියපං මේ වගේ ෆලෝ කරලා මාව බය කරන්න බෑ කියලා. අනිත් එක ඔය එක එකාට බයේ වැඩ කරන්න නෙවෙයි මගේ අම්ම තාත්ත මාව හදල තියෙන්නේ කියලත් කියපං. කොන්දක් තියෙනවනම් මිනිහෙක් වගේ එලිපිට මට කතා කරන්න කියපං, නිකං මේ වගේ ගෑණු වැඩ නොකර.”

එතකොටම වෑන් එකේ හිටපු තව එකෙක් ආවා. සද්දයක් දාගෙනම.

“මේ අඩෝ... පාරට කොට දාලා බ්ලොක් කරලා අපිව බය කරන්නද හදන්නේ. ඇයි උඹලා අයියලද?”

ඌ ඒක කියලා ඉවර කරන්න කලින් සචියා පැන්න ගමන් ඌට ගහගෙන ගහගෙන ගියා. මම අනිත් එකාව කානුවට තල්ලු කරලා ඩ්‍රයිවර් ව සීට් එකෙන් ඇදලා ගත්තා. ඌ ළඟ පිස්තෝලෙ තිබිල ඒක ඇදල ගත්තොත් සේරම ඉවරයි. ඒත් එක්කම මගේ මල්ලිලා තුන්දෙනා දුවගෙන ආවා.

“අඩෝ, අපේ ගමට ඇවිල්ලා අපේ උන්ට ගහන්න උඹලා කව්ද යකෝ?”

තත්පරයක් යන්න කලින් මගේ කසීන් අතේ තිබුණ යකඩ පොල්ලෙන් දුන්න පාරට ‘සලාං’ ගාලා වෑන් එකේ වින්ඩ්ස්ක්‍රීන් එක කුඩුවුනා.

“ගහන්න එපා යකෝ.”

මම ඒ ටික කියනකොටත් වෙන්න ඕනේ ටික වෙලා ඉවරයි.

උනුත් ලේසි පාසු උන් නෙවෙයි. සචියා චන්ඩියා වගේ පැන්නට ඌට හොඳටම වැදිලා. අපේ පැත්තේ පස් දෙනාට උන්ගේ තුන් දෙනෙක නිසා යන්තම් ෂේප් වුනා.

“ඇති ඇති යමං.”

මම සචියවත් ඇදගෙන බයික් එකට දාගත්තා. මල්ලිලා තුන්දෙනත් බයික් දෙක හරවගත්තා.

“යමං.”

අපි එක පිම්මේ කෙලින්ම අපේ ගේ ළඟටම ඇවිල්ලා බයික් එක නැවැත්තුවා.

සචිත්‍ර‍ගේ නහයෙන් ලේ එනවා. කැඩිලද මන්දා. එක මල්ලි කෙනෙකුටත් අතට වැදුන පාරකින් ලේ එනවා.

“උඹලට ගහන්න කිව්වේ නෑනේ බං මම. මේ සචියා තමයි වැඩේ කෑවේ ගහගන්න පටන් අරන්.”

“යකෝ උඹල දෙන්න අපිට එන්න කිව්වේ උන්ට නෙලන්න නෙවෙයි සාම සාකච්චා කරන්නද?”

ඒ මගේ කසීන්.

“උඹත් මාර වැඩ තමයි බං කරන්නේ. බලපං වින්ඩ්ස්ක්‍රීන් එක කුඩු. උන් පොලිසි ගිහින් ඇන්ට්‍රියක් දැම්මොත් අපි මාට්ටු. පාර හරස් කරලා වාහනයක් නවත්තලා උන්ට ගැහුවත් කියලා.”

“බය වෙන්න එපා කාවා. උන් ඒක කරන්නෑ.”

“ඇයි.”

“වෑන් එකේ නම්බර් ප්ලේට් එක බොරු එකක්.”

“උඹ කොහොමද දන්නේ?”

“මම අරූව අදිනකොට දැක්කා ඒක ඇතුලේ තියෙනවා.”

“ඒ වුනාට බං, උන් කව්ද කියලා ලස්සනට හොයාගන්න තිබ්බ එක නැතිවුනා.”


අන්තිමට මගේ කසීන් ගේ අතට බෙහෙතුත් දාලා, සචිත්‍රගේ නහයේ ලේ එන එකත් නවතිනකං ඉඳලා අපි දෙන්නා ගෙදර යනකොට රෑ එකොළහ හමාරට විතර ඇති. 

10 comments:

  1. මම මේ ලියන එකේ ස්ටයිල් එක අනිත් කතා ලියන අයත් එක්ක හොඳද බලන්න පොත් කීපයක් කියෙව්වා. ඔය දැන් තියෙන ආදර කතා.
    ඒවගේ කොල්ලා සිගරට් අරක්කු කටේ ති‍යන්නේ නෑ... හතර පෝයට පන්සල් යනවා. කේන්දර බලනවා... කෙල්ලට ලෙඩ වුනාම නොකා නොබී ඉන්නවා. අත් බෙහෙත් දෙනවා.

    කෙල්ල ඊට හපන්... කෝවිල් පන්සල් ගානේ යනවා. බෝධි පූජා තියනවා.... කේන්දර බලනවා, විශ්වාස කරනවා. කොල්ලට ලෙඩ වුනාම මාකට් ගිහිල්ලා කන්න හොඳ දේවල් ගෙනල්ලා උයලා දෙනවා... තව කවනවා. වමනේ ගියාම ඒව සුද්ධ කරනවා. ඇයි යකෝ කොල්ලගේ කකුල් දෙක අල්ලලා වඳිනවා.

    දැන් බලන් ගියාම මේ කතාවේ චරිත ඇත්තම ජීවිතේ චරිත වුනත් ඔය එකක් වත් කරනනේ නෑනේ. මගේ කතාව අන්තර්ජාතිකව කොන් වෙයිද මන්දා..

    ReplyDelete
    Replies
    1. සමාජෙන් කොන් වෙයි තමයි... ගානක් නෑ ඒ කොනේ ඔබ තනිවම නෙවෙයි!

      Delete
  2. ඒවා නම් නැතිඋනත් කමක්නෑ මේ තියන ටිකෙන් ගොඩ දාගන්න පුළුවන්...

    හැබැයි වැදගත්ම දේ තමයි කථාවේ ඉන්න හැම එකාම අඬන්න ඕනේ... ඒක කොල්ලද, කෙල්ලද, උන්ගේ අම්මා තාත්තද, උන්ගේ යාලුවෝද, උන්ගේ ගෙදර බල්ලද පූසද කියල නෑ.... හැම එකාම අනිවාර්යයෙන් දවසට සැරයක්වත් අඬන්න ඕනේ....

    අඩුමගානේ එහෙම කරගත්තොත් නම් අන්තර්ජාතිකේට ඔළුව ටිකක් රිංගවා ගන්න පුළුවන් වෙයි...

    ReplyDelete
  3. අතින් කෑලි දානකොට පරිස්සමෙන් දාන්න....

    මම විස්වාස කරන එක දෙයක් තියෙනවා. ඒ තමයි සත්‍ය, ප්‍රබන්ධයට වඩා විස්වාස කල නොහැකියි. මම ඒ බව මගේ පොත ලියනකොටත් කිව්වා

    keep writing

    ReplyDelete
  4. Is this a real story? If so, man u had one hell of a life

    ReplyDelete
    Replies
    1. Yes. Events are true... but dialog and places are not 100% correct since i did not remember them after a long time

      Delete
    2. ඔයාද එතකොට කාවිංග?

      Delete
    3. ඒක රහසක්... ඒක කතාව අන්තිමට කියන්නම්...

      Delete