Recent Post

Tuesday, June 27, 2017

සදානුස්මරණිය ප්‍රථම ප්‍රේමය ~ මේ ආදරයයි ~ 42




සදානුස්මරණිය ප්‍රථම ප්‍රේමය
මේ ආදරයයි



42.

විනාඩියක් යනකොට දිලිනි එලියට ආවා.

කෙල්ල අපි ඉන්න පැත්ත බැලුවත් අපිව දැක්කේ නෑ. ඒ නිසා මම අත වැනුවා.

දිලිනි අපි ඉන්න පැත්තට එනකොට සචියා පැත්තකට ගියා. මොනවා වුනත් අපේ ඉස්කෝලේ ටීචර් කෙනෙක් නිසා ඌට අවුල් ඇති.

“අපිව අඳුර ගන්නත් බෑ නේද?”

“කව්ද අප්පා දන්නේ මේ වගේ තඩි වාහනේම ගරාජ් කිට් එකත් දාගෙන මාව බලන්න එයි කියලා.”

“කව්ද ඔයාව බලන්න ආවේ. මම මේ සචියත් එක්ක රවුමක් යනකොට කාර් එක දැක්කා.”

“කෝ සචිත්‍ර.”

“ඇතුලේ.”

එතකොටම ඌ බැහැලා ආවා.

“මිස්.”

ඌට ෆුල් අවුල් වගේ.

“යාළුවෝ දෙන්නම එකටද වැඩ?”

“ඔව් මිස්. අපි දෙන්නා මේ ගරාජ් එකක්වත් දාගන්න කියලා. විභාගෙත් අනාගත්ත එකේ මේකවත් කරගන්නවා.”

“මචං කාවා, මම කඩේට ගිහිල්ලා එන්නම්.”

සචියා මාරු වුනා.

“ඉතින් කාවින්ද, ට්‍රයල් එකක් යනවද?”

“නෑ දිලිනි. මේක දැන් මගේ.”

“ඒ කියන්නේ... ඔයා ගත්තද?”

“නෑ අප්පා. මේව ගන්න අපිට කොහේද සල්ලි. ගරාජ් එකේ අයිතිකාරයෙක් නැති එකක් තිබ්බා. පස්සේ මම හදලා ගත්තා.”

“නියමයි. ඒ වුනාට වාහනේ ලොකු වැඩී අප්පා.”

“ඒ වුනාට නියම වාහනේ නේ. කොහොමද ගතිය.”

“තව හදන්න තියෙනවා නේද?”

“සීට් ටික අළුතින් දාලා පේන්ට් කළාම ඉවරයි.”

“ඔන්න ඔයා හදලා ඉස්සෙල්ලම මාව රවුමක් එක්ක යන්න ඕනේ.”

“අනිවා.... ඔයා නැතුව කාව එක්ක යන්නද?”

“කාවින්ද මම කියන්නද වැඩක්.”

“මොකක්ද?”

“ඔයා මේකෙන් මාව අද ගෙදර ඇරලවන්න.”

“එතකොට ඔයාගේ කාර් එක?”

“අයියෝ ඒකත් ඇත්ත.”

“අපි වෙන දවසක යමු.”

“නැත්තං කාවින්ද සචිත්‍රට කරදරයක් නැත්නම් එයාම මගේ කාර් එක අරන් එන්න කියන්න.”

“අප්පා.. ඕක කිව්වොත් ඕකා මගේ ඔළුව කනවා.”

“උදව්වක්නේ..”

“හරි බලමුකෝ.”

මම ඌට ඒක කිව්වා විතරයි ඌ මාව කන්න වගේ බැලුවා. ඒත් කතාවක් නැතුව යතුර අරගෙන කාර් එකට නැග්ගා.

“සචියා, උඹ පස්සෙන් වරෙන්.”

“හරි යමං.”

දිලිනි ජීප් එකට නැග්ගා.

“අප්පා මේකට නගින්න ඉනිමගකුත් ‍ගේන්න වෙනවා.”

“එහෙම තමයි රියල් කොල්ලෝ යන වාහන. ඔයාගේ වගේ සූටි කාර් නෙවෙයි.”

“අප්පා මේක ඇතුලේ ගඳ.”

“ඔව් ඉතින් මාස ගාණක් ගරාජ් එකේ මලකඩ කකා තිබිලා ගත්තහම ඔහොම තමා.”

“යමු කාවින්ද?”

මම වාහනේ පාරට ගත්තා.

“ඔයා දන්නවද කාවින්ද, මම අද ඔයා ගැන කල්පනා කර කර ආවේ. පැයක් ගියේ නෑ ඔයා මගේ ළඟ. ඇත්තටම ඔයාට මාව දැනෙනවද කාවින්ද?”

“ඒක අහම්බෙන් වුන දෙයක්. කොහොම වුනත් මම ඔයාව දැක්කෙත් නෑ නේ  දවස් ගාණක්.”

“මේක මහ පුදුම දෙයක් කාවින්ද. මම හැමදාම හිතනවා ඔයාව හම්බවෙන එක අඩුකරලා ඔයාව මේ ප්‍රශ්ණෙන් ඈත් කරන්න. ඒත් අහම්බෙන් හරි අපි දෙන්නා හම්බවෙනවා.”

“කාවින්ද අපි මොනව හරි කාල යමුද? සචිත්‍රටත් එන්න කියන්න.”

“පිස්සුද දිලිනි, අපි මේ මජං කිට් එක ඇඳගෙන, ඔයා මේ පාටියකට යන්න වගේ ඇඳගෙන. මින්ස්සු බලං ඔයාට පිස්සුද කියලා.”

“ඔයා හිතුවද ඔයාගේ ඔය ඇඳුම නිසා මට ලැජ්ජා හිතෙයි කියලා? ඔයා මොන තත්වෙන් හිටියත් මොන රස්සාව කළත් ඔයා එක්ක තැනතට මම යන්නේ ආඩම්බරෙන්.”

“ඒ වුනාට අද බෑ දිලිනි. මෙහෙම කඩවලට යන්න බෑ. ප්ලීස්.”

“එහෙනම් මේ කොහේ හරි ටිකක් නවත්තමු.”

මම පාළු තැනකට කරලා වාහෙන් නැවැත්තුවා. මම දැක්කා සචියත් පිටිපස්සෙන් නවත්තනවා.

අද ගියාම මූ මාව කනවා.

“කාවින්ද මට ඔයාගෙන් අහලා දෙයක් දැන ගන්න තියනවා.”

“මොක්කද?”

“මට ඇත්තම කියනවද?”

“දන්න දෙයක් නම් අනිවා කියනවා.”

“ඔයයි දිනියි අතරේ තියෙන්නේ මොන වගේ සම්බන්ධයක්ද?”

“අපි දෙන්නා හොඳම යාළුවෝ, පොඩි කාලේ ඉඳලම.”

“එච්චරද?”

“නෑ... අපි නෑදෑයෝ වෙනවා. ටිකක් දුරින්.”

“වෙන.”

“වෙන මොකුත් නෑ. අපි දෙන්නා ආශ්‍රය කළේ අයියයි නංගියි වගේ.”

“ඒ වුනාට දිනි එහෙම හිතන්නේ නෑනේ.”

“ඔව්.. මම කලිනුත් කිව්වනේ, මොන කරුමෙකටද දන්නෑ, දිනි මට ආදරේ කරන්න පටන් ගත්තා.”

“දිනි විතරද?”

“ඔව්. මගේ හිතේ ඒ වගේ ආදරයක් නෑ. එයා මගේම නංගි. එච්චරයි.”

“ආ යූ ෂුවර්.”

“හන්ඩ්‍රඩ් පර්සෙන්ට්. ඇයි ඔයා අහන්නේ?”

“නෑ නිකං... ඒක අමතක කරලා දාන්න.”

“එහෙම අමතක කරන්න බෑනේ. ඇයි ඒක ඇහුවේ කියන්න.”

“නිකං අනේ.....”

“දිලිනි අපි යමුද. අපිට ගරාජ් එකට ගිහිල්ලා, නාලා, ගෙදර යන්නත් තියෙනවා.”

“හරි යමු.”

අපි දෙන්නා දිලිනිව දාලා වාහනේ හරවගන්න කොට වෙලාව දහයයි.

වාහනේට නැග්ග සචියා කතාවක් නෑ. වෙනදනම් මූ මට සුද්ද සිංහලෙන් කියලා ඌව චාටර් කරපු එකට.

“මොකද බං කතා නැත්තේ.”

“මොනව ද කාවා කතා කරන්න තියෙන්නේ. සිද්ධිය ගෙඩි පිටින් දැක්කහම.”

“මොන සිද්ධියද?”

“උඹල දෙන්නගේ ලව් එක. මේක සීරියස් කේස් එකක් පුතෝ... උඹල දෙන්නම උඹලගේ හිත් වලට බොරු කරගන්නවා.”

“පිස්සුද?”

“පිස්සු නෑ බං. උඹල දෙන්න එකට ඉන්නකොට උඹලගේ ඇස් දිහා බලපුවාම ඕනේ ගොනෙකුට තේරෙනවා උඹලගේ ලව් එක. ඒ වෙලාවට උඹලට වෙන ලෝකයක් නෑ.ඒත් උඹලා උඹලාවම රවට්ටගන්නවා.”

“වරෙන් අපි මේ හරියේ නවත්තලා සිගරට් එකක් ගහලා යං.”

“උඹ ගාව තියෙනවද?”

“ඔව්.”

“අපි දෙන්නා වාහනේ නවත්තලා සිගරට් දෙක පත්තු කරගත්තා.

විනාඩි දෙක තුනක් යනකොට කව්දෝ කොල්ලෙක් අපේ වාහනේට එබුනා.

“ඇයි. මම ඇහුවා.”

“නෑ බොස් මරු වාහනේ එකයි බැලුවේ.”

ඌ මගේ මූණට එබිලා බලලා කිව්වා.

“මොකද යකෝ මූණට එබෙන්නේ.”

“නෑ බොස් කරුවලනේ කව්ද කියලා පේන්නෑ.”

“ඇයි උඹ මාව දන්නවද?”

“නෑ නෑ බොස්, දන්න කෙනෙක්ද කියලා බැලුවේ. යන්නං.”

ඌ එහෙම කියලා ගියා.

“කාවා, මට මෑන් ෂුවර් නෑ.”

“නිකං රස්තියාදුකාරයෙක් බං.”

“වෙන්න බෑ. ඌ උඹේ මූණ හොඳට බැලුවා. අනිත් එක උගේ ඉනේ පිස්තෝලයක් තිබ්බා.”

“උඹට ෂුවර්ද? දැන්ද ගොනෝ කියන්නේ?”

“ඕක ඒ වෙලාවේ කිව්වනම් උඹ ඌ එක්ක පැටලිලා, ඌ පිස්තෝලේ ඇදලා මිනීමැරුම් දෙකක් තුනක් වෙනවා.”

“බූරුවෙක් වෙන්න එපා බං. යමං බලා ගන්න ඌ කොහේද ගියේ කියලා.”

“මේ මේ කාවා හිටපං කෝ.”

සචියා මගේ අතින් අල්ල ගත්තා.

“කාවා, නිකං ඇදගෙන නාන්න එපා බං. පිස්තෝලයක් එක්ක සෙල්ලම් කරන්න එපා.”

ඌ කියන එක අහන්නේ නැතුව මම අර ආපු කොල්ලා පස්සේ දිව්වා.

මම එනවා දැකපු ඌ හයියෙන් දුවලා ගිහිල්ලා බයික් එකකට නැග්ගා. සීට් එකේ හිටපු එකා ඒත් එක්කම අද්දලා වේගෙන් ගියා.

1 comment:

  1. හම්මේ ඇති යන්තම් කතාව දාලා. ඔක්කොම ටික එක පාර කියෙව්වා.

    මේ දැන්වත් දිලිනිට කියමු නේ. මදෑ දෙන්නම හිතේ තියාගෙන හිටියා.

    ReplyDelete