Saturday, June 24, 2017

සදානුස්මරණිය ප්‍රථම ප්‍රේමය ~ මේ ආදරයයි ~ 38



සදානුස්මරණිය ප්‍රථම ප්‍රේමය
මේ ආදරයයි


38 කොටසයි 39යි මාරුවෙලා. දැන් හැදුවා. කියවන්න!


38.

මම දිලිනි ඉන්න පැත්තට ගියා. එයා ගලක් උඩ ඉඳගෙන ලොකු කල්පනාවක.

ඇත්තටම මට දිලිනි ගැන ලොකු දුකක් දැනුනා. මට ඕනේ වුනේ කොහොමහරි එයාගේ මේ ප්‍රශ්ණෙට විසඳුමක් දෙන්න. ඒත් මම කියලා මොනව කරන්නද?

“ඔයා මොකද ඔතන, බය නැද්ද පහලට වැටෙයි කියලා.”

දිලිනි මගේ දිහා බැලුවා. ඒ මූණේ ලස්සන හිනාවක්.

“දැන් මම මොනවටවත් බය නෑ.”

“ඒ මොකද?”

“මට මොනව වුනත් ඒක ගිහාන්ව බඳිනවට වඩා හොඳ වෙයි.”

“වැටුනොත්?”

“මැරෙයි කාවින්ද. ඒකත් හොඳයි කියලා හිතෙනවා.”

“පිස්සු කෙල්ල.”

මමත් එයා ළඟින් ඉඳ ගත්තා.”

“ඇයි ඔයා බය නැද්ද කාවින්ද?”

“නෑ.. වැටුනොත් ඔයත් එක්කමනේ.”

 “කාවින්ද, පන්සලට එන අය දකීද?”

“නෑ මේ පැත්ත පන්ස‍ලට අයිති නෑ. කවුරුවතත් එන්නේ නෑ.”

“මම ඔයාගේ අත අල්ලගන්නද?”

“පිස්සී. ඕක අවසර ගන්න ඕනෙ දෙයක්ද?”

එයා මගේ අත තද කරලා අල්ල ගත්තා.

“කාවින්ද, ඇයි කාවින්ද ඔයා මාව ගෙන්න ගත්තේ. මට ගෙදර ඉන්න දුන්න නම් ඉවරයි නේ. මට දැන් ඔයාව දාලා ආපහු යන එක අපායකට යනවා වගේ.”

මම ගොලු වුනා. මොනවා කියන්නද?

“කතා කරන්න කාවින්ද, ඔයා මොනවද මට කරන්න යන්නේ?”

“මොනවත් නෑ.”

“එහෙනම් ඇයි මාව මෙහෙම අතරමං කරන්නේ?”

“මම එදත් කිව්වා. මම ඔයාව අතරමං කරලා පැනල දුවන්නේ නෑ.”

එයා මගේ උරහිසට ඔළුව තියා ගත්තා.

පැය බාගෙකට පස්සේ අපි දෙන්නා ආයෙත් පන්සලට ගියා.

පොඩි සාදු අපි දෙන්නට කතා කළා.

“මේ දරුවාගේ සම්පූර්ණ නම මොකක්ද?”

“විජේසුන්දර මුදියන්සේලාගේ දිලිනි තාරුකා විජේසුන්දර.”

පොඩි සාදු මගේ මූණ බැලුවා.

“කාවින්ද කිව්වා නේද මෙයා කතෝලික ආගමේ කියලා? එතකොට මේ උඩරට රදල පෙලපත් නාමයක් ආවේ කොහොමද?”
මම වෙනුවට දිලිනි උත්තර දුන්නා.

“පොඩි සාදු, මගේ අම්මා උඩරට, පිළිමතලාවේ ජයසුන්දර පරම්පරාවේ කෙනෙක්. ජයසුන්දර මුදියන්සේලාගේ සුනේත්‍රා ජයසුන්දර. තාත්තා කතෝලික. ජයලත් විශ්වනාත් පෙරේ‍රා”

“එතකො‍ට අම්මගේ වාසගම මේ දරුවට දැම්මා. ඒත් ජයසුන්දර පරම්පරාවේ කෙනෙක් කතෝලිකයෙක්ව විවාහ කරගත්ත එක ප්‍රශ්ණයක් වෙලා නැද්ද?”

“මම හරියට දන්නෑ සාදු. ඒත් මම හිතන්නේ ප්‍රශ්ණයක් වෙලා නෑ. ඒ අය වෙඩින් එකක් ලොකුවට අරගෙන තියෙනවා.”

“ඒකත් එහෙමද? කොහොම වුනත් කාවින්ද මට කිව්වා මේ දරුවට ජීවිතේ ගැන ප්‍රශ්ණයක් තියෙනවා කියලා. අකමැති කෙනෙක් එක්ක විවාහ වෙන්න කියලා දෙමව්පියෝ බල කරනවා කියලා.”

දිලිනි බිම බලාගත්තා. එයාගේ ඇස්වලින් කඳුලු එනවා.

“මම මේ දරුවගේ කේන්දරේ හැදුවා.”

ඒක ඇහුන ගමන් දිලිනි මගේ අතින් අල්ල ගත්තා.

“ඉතින් සාදු.... මට මොකද වෙන්නේ...?”

“මොනවත් වෙන්නේ නෑ. මේ දරුවගේ කේන්දරේ හරිම බලවත්. සාමාන්‍යයෙන් පිරිමි කෙනෙකුට තියෙන කේන්දරයක් වගේ බලවත් කමක් ඒකේ තියෙනවා. ඒ නිසා අනවශ්‍ය බයක් ඇති කරගන්න උවමනා නෑ.”

“මට තේරෙන්නේ නෑ පොඩිසාදු.”

මම ඇහුවා.

“ඒ කසාදේ කෙරෙන්නේ නෑ පුංචි නෝනා. බය වෙන්න එපා. ඊට වඩා බලගතු ග්‍රහයෙක් පුංචි නෝනාගේ කේන්දරේ ඉන්නවා.”

පොඩි සාදු ඒක කිව්වේ මගේ දිහා බලාගෙන.

“පුංචි නෝනා දෙමව්පියන්ට අකීකරු වෙලා, රණ්ඩු ඇති කරගන්න යන්න එපා. මොකද මම සහතිකේටම කියනවා මේ කසාදේ වෙන්නේ නෑ.”

ඒක ඇහුනා විතරයි දිලිනි මගේ අත තවත් තද කරලා අල්ල ගත්තා.

“තෑන්ක්ස් කාවින්ද මගේ හිතේ බය නැති කළාට.”

මේ කේන්දර මම විශ්වාස නොකරත් දිලිනිගේ හිතේ ඇතිවෙලා තිබ්බ බය නැතිවුන නිසා මම සද්ද නැතුව හිටියා.

“කාවින්ද, පොඩ්ඩක් මට තනියම කතා කරන්න ඕනේ.”

දිලිනිට යන්න ඇරලා මම පොඩි සාදු එක්ක පැත්තකට වුනා.

“කාවින්ද, මට ඇත්ත කියමුද බලන්න. මේ දැරිවි කාවින්දගේ කව්ද?”

“මම කිව්වේ හාමුදුරුවනේ... යාළුවෙක්.”

“කා‍ට බොරු කිව්වත් මට බොරු කියන්න එපා. මට මේවා දැනෙනවා.”

“ඇත්තමයි පොඩි සාදු, අපි දෙන්නා අතරේ එහෙම දෙයක් නෑ.”

“ඉස්සරහට ඇතිවෙයිද?”

“දන්නෑ....”

“එහෙනම් මතක තියාගන්න, ඒ දරුවගේ ප්‍රශ්ණයට විසඳුමක් දෙන්න පුළුවන් කාවින්දට විතරයි.”

“මට තේරුණේ නෑ.”

“කාවින්ද‍ගේ කේන්දරේත් බොහොම බලගතුයි. තමන් හිතාගන්න ඕනෙම දෙයක් මොන බාධක ආවත් කරනවා. නමුත් ඒ කේන්දරේ අනුව ලේසියෙන් ස්ත්‍රී පරාණයකට ඒ කේන්දරේ ගලපන්න බෑ. අඩුම තරමේ කිසිම ස්ත්‍රියකට ලේසියෙන් කාවින්දගේ හිත ගන්න බෑ.ඒ වගේමයි කාවින්දගේ කේන්දරේ අනුව විවාහ අවස්ථා එකයි එන්නේ. ඒක නැතිවුනොත් ආයේ මේ සම්මජ්ජාතියේ විවාහයක් ගලපනවා බොරු.

“ඉතින් පොඩිසාදු, ඒකෙයි මේ ප්‍රශ්ණෙයි සම්බන්දේ මොකක්ද?”

“මම මේක කලිනුත් කියලා තියෙනවා. මේ වෙනකම් මම බලපු කිසිම කේන්දරයක්වත් කාවින්දට ගැලපුනෙත් නෑ. ඒත් මේක වෙනස්....”

එහෙම කියලා පොඩි සාදු කල්පනා කරන්න පටන් ගත්තා.

විනාඩි දහයක් විතර එහෙමම හිටපු පොඩිසාදු කතා කළා.

“කාවින්ද, ඔයා තාම පොඩි දරුවෙක්, ඒත් මම මේක කියන්න ඕනේ.”

“මොකක්ද?”

“මේ දරුවා තනි කරන්න එපා. මට මොකක්දෝ බලගතු හැඟීමක් දැනෙනවා.”

“පිස්සු....”

“කාවින්ද එදා වගේමයි අදත්. ඕව බහුබූත.... ඒකනේ කියන්නේ. හොඳයි විශ්වාස කරන්න එපා. ඒත් මතක තියාගන්න ඒ දරුවාගේ ප්‍රශ්ණේට උත්තරේ තියෙන්නේ ඔය දෙන්නා අතරෙමයි.”

“මම ප්‍රශ්ණයක් පොඩි සාදු ළඟට අරන් ආවහම පොඩි සාදු මට තවත් ප්‍රශ්ණයක් දෙනවා.”

“කාවින්ද, අපි කේන්දර පැත්තකින් තියමු, අර වගේ රූප සම්පත්තිය තියෙන, බොහොම වැදගත් පරම්පරාවක දරුවෙක් කාවින්දත් එක්ක මේ වගේ ලංවෙලා ඉන්නවා කියන්නේ එතන මොකක්ද තියෙන්නේ? ගෑණු දරුවෙක් තමන් එක සිතින් ආදරේ කරන කෙනෙකුට මිසක් වෙන කෙනෙකුට මේ වගේ ලංවෙනවද?”

“ඒක නෙවෙයිනේ පොඩි සාදු ප්‍රශ්ණේ. මේ බඳින්න ඉන්න කෙනාගෙන් ගැලවෙන්නේ කොහොමද?”

“කාවින්ද, ඒක ඒ දරුවගේ දෙමව්පියන්ගේ තීරණය. ඒක හරි හෝ වැරදි හෝ වේවා, ඒකට මට මැදිහත් වෙන්න බෑ. අඩු තරමින් මම ඒ පවුල පෞද්ගලිකව දන්නවානම් අවවාදයක් දෙන්න තිබුණා. ඒත් දැන් ඒක කරන්න බෑ. ඒත් කලින් මම කිව්වා වගේම තමා, ඒ කසාදේ කෙරෙන්නේ නෑ.”

“පොඩි සාදු කියන්නේ අපි දෙන්නා එකතු වෙයි කියලද?”

“ඒක මට කියන්න බෑ. ඒත් ඒක එහෙම නොවෙන්නම් බොහොම බලවන්ත, බොහොම ‍දරුණු දේවල් සිද්ධ වෙන්න වෙනවා. සමහර විට ජීවිත කීපයකින් වන්දි ගෙවන්න වෙන තරම් දෙයක් සිද්ධ වුනොත් මිසක්.”

“අනේ පොඩි සාදු. ඔය කේන්දරේ අමතක කරලා දාලා කියන්න මට මේකට විසඳුමක් තියෙනවද කියලා.”

“මම ගිහියෙක් නොවුනත්, මට ඒ අයගේ සිතුම් පැතුම් හොදට දැනෙනවා. මේකට එක විසඳුමක් තියෙනවා, ඒ තමයි ඒ දැරිවි ආදරය කරන වගේම ඒ දැරිවිට පණ වගේ ආදරය කරන කෙනෙක් දෙමව්පියන් ගේ කැමැත්ත නොසලකා එයාව අරගෙන යන එක. ඒකෙන් දෙන්නගේ ජීවිතේ වාසනාවන්ත වෙනවා. ඒත් කෙටිකාලීනව පවුල් දෙකටම බොහොම දරුණු දේවල් වලට මුහුණ දෙන්න වෙනවා.”

මම අත් දෙකෙන් මූණ වහගත්තා.

“මට ‍තේරෙන්නේ නෑ.....”

“තේරුම් ගන්න උත්සහ කරන්නත් එපා කාවින්ද. මම දෙන උපදේශය තමයි ඒ දරුවාව තනි කරන්න එපා. සමහර විට කාවින්දට ලොකු බලපෑම් එයි. ඒත් එයාව තනි කරන්න එපා. මිතුරෙක් විදිහට හරි කමක් නෑ එයාගේ හැම දේටම ළඟින් ඉන්න. ප්‍රතිපල ලැබෙනකම් අනාවැකි කියන්න බෑ මෙතනදි.”

“එහෙම හිටියොත් එයාට සැනසීමක් ලැබෙයිද?”

“අනිවාර්යයෙන්ම. ඒත් කාවින්ද මතක තියාගන්න මම අනාවැකි කියන කෙනෙක් නෙවෙයි. මම කියන්නේ හඳහනෙන් කියවෙන දේ.”

“ආයෙත් පොඩි සාදු මාව ප්‍රශ්ණේකට දානවා.”

“නෑ..... මම කාවින්දට කියන්නේ හිතලා තීරණ ගන්න. එච්චරයි. ඒ දැරිවිගේ ඉරණම ලියවිලා තියෙන්නේ ඔය ගිහාන් කියන කෙනා එක්ක නෙවෙයි.”

“ඒ ඇති පොඩි සාදු. මම කවදාවත් යාළුවෙකුට පිටුපාල නෑ.”

“හොඳයි එහෙනම් දෙන්නා යන වෙලාවට මට කියන්න. මම ඇතුලට යනවා පොඩි වැඩකට.”

මම දිලිනිව හොයාගෙන ගියා. එයා බෝ මළුවේ ඉඳගෙන ඉන්නවා.

“මොකද මෙතන?”

“මෙතන ඉන්නකොට හරිම නිස්කලංක බවක් දැනෙනවා කාවින්ද. කිසිම සද්දයක් නෑ, බෝ ගහේ කොල හෙලවෙන සද්දේ විතරයි. ඒක නෙවෙයි පොඩි සාදු මොනවද කිව්වේ?”

“විශේෂ දෙයක් නෑ.”

“නැති වෙන්න බෑ. ඔයා‍ගේ මූනෙන් ඒක පේනවා.”

“මුලින් කිව්ව වගේ ඔයාට බය වෙන්න එපා කිව්වා. ගිහාන් එක්ක මැරේජ් එක වෙන්නේ නෑ කිව්වා.”

“කාවින්ද ඔය කේන්දර ඇත්ත වෙන්න බැරිද?”

“පිස්සුද හලෝ..... ඕකෙන් කරන්නේ මිනිස්සුන්ට ඇමක් දෙනවා.”

“ඒ කියන්නේ.”

“දැන් බලන්න ඔයා කලින් ඕව ගැන දැනගෙන හිටියේ නැහැ. හැබැයි ඔයාට ප්‍රශ්ණයක් වෙලා මෙහෙට ආවා. පොඩි සාදු කිව්වා ඔයාට ප්‍රශ්ණයක් වෙන්නෑ කියලා කේන්දරේ අනුව. දැන් ඔයාගේ යටි හිත ආසයි ඒක ඒ විදිහටම වෙනවනම්. එතකොට ඔයාට හිතෙනවා කේන්දර ඇත්ත වෙන්න බැරිද කියලා. ඇත්ත වුනොත් ෂෝක් නේ. මොකද කේන්දරේ කිව්වනේ ඔයාට ගිහාන්ව බඳින්න වෙන්නෑ කියලා.”

“ඉතින්.”

“දැන් ඔයා ඕක හිතේ තියාගෙන ඉන්නවා. ඒ වුනාට ඔයා ගිහාන්ගෙන් ගැලවෙන්න පුළුවන් හැම දේමත් කරනවා. මමත් ඔයාට උදව් කරනවා. දැන් කොහොමහරි ඔයාට ගිහාන්ව බඳින්න උනේ නෑ කියමු. අන්න එදාට ඔයා කේන්දර විශ්වාස කරනවා. හැබැයි ඒකට හේතුව වෙන දෙයක් වෙන්නත් පුළුවන්.”

“හරි නොගියොත්?”

“හරි නොගියොත් ඔයා දුක් වෙයි. ඒත් කේන්දරේ මෙහෙම දෙයක් කිව්වා කියලා ඔයාට මතකත් නැති වෙයි. මතක් වුනත් ඔයා හිතයි ඒකට කරන්න දෙයක් නෑ කියලා. හැබැයි ඊළඟ සැරෙත් ඔයා කේන්දර බලනවා. මොකද ඒ වෙනකොට ඔයා ඒකට ඇබ්බැහි වෙලා. අපි හැමෝම කැමතියි අනාගතේ වෙන දේ දැනගන්න. මුලින් එක වැරදුනත් මේක හරිගියොත් කියලා ඔයා ආයෙත් කේන්දර පස්සේ යනවා. එකපාරක් ඕක බැලුවොත් ආයෙ කුඩු ගැහුවා වගේ තමා.”

“ඔයා හරි ඇඩ්වාන්ස් විදිහට හිතනවනේ කාවින්ද. මම හිතන්නෑ ඔයාගේ වයසේ වෙන කෙනෙක් මේ තරම් දුරට මේ දේවල් හිතනවා කියලා.”

“මම ඕවා ගැන‍ ගොඩක් හොයල බලලා තියෙනවා. සමහර ඒවා මම ම එක්ස්පීරියන්ස් කරලා තියෙනවා.”

“කොහොම හරි දැන් පොඩි සාදු කිව්ව එක විශ්වාස කරන්න එපාද?”

“කේන්දරේ විශ්වාස කරන්න එපා. ඒත් මාව විශ්වාස කරන්න. මම කලිනුත් කිව්වා වගේ මම ඔයාව අතරමං කරන්නේ නෑ. මම පො‍ඩි සාදුත් එක්ක කේන්දර නැති ටෝකක් දැම්මා. වැඩේ ෆිට්.”

“ඒ වුනාට මට බයයි කාවින්ද!”

“බය වෙන්න එපා මැඩම්, මම ඔයාව බේරගන්නවා.”

“මට ගෙදර ඉන්න බැරි වුනොත්...”

“ම්.... එහෙම වුනොත් මම ඔයාව එක්ක යනවා.”

“කො‍හාටද?”

“ඒක ඒ වෙලාවට බලමු.”

“මට ආසාවේ බෑ.”

“මොකටද?”

“මාව එක්ක යනකං.”

“පිස්සු කෙල්ල.....”

දිලිනි මට අතින් එකක් ගහලා පන්සල පැත්තට දිව්වා. මමත් එයාගේ පස්සෙන් දිව්වා. අපි දෙන්නා දුවගෙන එනවා පොඩි සාදු බලාගෙන හිටියා.

අපි දෙන්නම දණගහලා වැන්දා.

“සුවපත් වේවා.”

“අපි යන්නම් පොඩි සාදු.”

අපි දෙන්නම එක සැරේ කිව්වා.

“ඉක්මනට යන්න... දැන් හයත් පහුවෙලා.”

0 comments:

Post a Comment