Recent Post

Tuesday, June 13, 2017

සදානුස්මරණිය ප්‍රථම ප්‍රේමය ~ මේ ආදරයයි ~ 37





සදානුස්මරණිය ප්‍රථම ප්‍රේමය
මේ ආදරයයි


37.

මම අනිත් අතට සචියට කෝල් එකක් ගත්තා.

“සචියා මම...”

“කාවා මොකද සීන් එක. අපි එන්නද?”

“මොකටද බං?”

“ඇයි බං උඹ කතා කළාම මම හිතුවේ උඹට ගේමක් කියලා.”

“පිස්සුද බං. මම කතා කළේ ඒකට නෙවෙයි.”

“එහෙනම්.”

“මේ දවස්වල පහල කඩුගන්නාවේ රජ මහා විහාරේ පොඩි සාදු ඉන්නවද?”

“මොකද බං උඹට එකපාරටම පොඩි සාදු මතක් වුනේ?”

“ඒ මගුල් වැඩක් නෑනේ. ඉන්නවද කියපංකෝ.”

පොඩි සාදු සචිත්‍රගේ තාත්තගේ නෑයෙක්. ඒ නිසා අපිව හොඳට දන්නවා. ඒ වගේම පොඩි සාදු මාත් එක්ක හොඳටම ෆිට්. මම ආගමක් විශ්වාස කරන්නේ නැති නිසාත් විශේෂයෙන් කේන්දර වගේ දේවල් විශ්වාස කරන්නේත් නැති නිසා පොඩි සාදු හැම වෙලාවෙම මාත් එක්ක කතා කරන්න කැමතියි.‍

පොඩි සාදු තදින් මේ දේවල් විශ්වාස කරනවා. ඒ නිසා ඒ දේවල් ඇත්ත කියලා ඔප්පු කරන්න උන් වහන්සේ ඒවා විශ්වාස නොකරන මම වගේ කෙනෙක් එක්ක කතා කරන්න කැමතියි.

පොඩි සාදු කිව්වට උන් වහන්සේ අවුරුදු හතලිස් පහක් වයසයි. කලින් හිටපු ලොකු හාමුදුරුවන්ගේ ගෝල හාමුදුරු නම නිසා හැමෝම උන් වහන්සේට කියන්නේ පොඩි සාදු කියලා.

“කාවා, පොඩි සාදු පෙරේදා මෙහෙට වැඩියා, ලබන සිකුරාදා වෙනකං පන්සලේ ඉන්නවා කිව්වා. අද ෂුවර් එකටම ඇති.”

“හරි මචං.”

“මේ ඒක නෙවෙයි, උඹ ඔය යන එකේ උඹේ කේන්දරේ බලාගනිං. උඹ විශ්වාස නොකරාට කමක් නෑ, පොඩි සාදු කියන දේ අහලා මට කියපං. මොකද මේ දවස් වල උඹට ඉල්ලගෙන කෑමක් අත ළගයි.”

“උඹට ඕනේ නම් අහගනින්. මම යන්නේ වෙන වැඩකට.”

“උඹ මහණ වෙන්න යනවා නෙවෙයි නේද?”

“යකෝ මේ උඹට ඇත්තටම පිස්සුද?”

මම හිතුවේ දිලිනිවත් එක්කගෙන පොඩි සාදු ළඟට යන්න. ආගම් කෙසේ වෙතත් යමක් හොඳින් හිතලා බලලා කරන්න ඕනේ දේ කියන්න පොඩි සාදුට හොඳට පුළුවන්. දිලිනිගේ ප්‍රශ්ණේ පොඩි සාදුට කියලා ඒයාට හොඳ දෙයක් කරන්න මගේ හිත කිව්වා.

දිලිනි හරියටම හතරට පොලිස් ග්‍රවුන්ඩ් එක ළඟට ආවා.

“එයාගේ ලස්සන හිනාව දකිද්දි මගේ හිතත් පිරුණා වගේ. කෙල්ල අද දිග කලිසමක් ඇඳලා, කහපාට බ්ලවුස් එකකට මැච් කරලා.”

“මොකද බලන් ඉන්නේ?”

“අදනම් ඔය ටිකක් මැචුවර්ඩ් පාටයි. ඒත් ලස්සනයි.”

“අනේ කාවින්ද මං ගැන ඔය විදිහට හැමදාම කමෙන්ට්ස් දෙන්න එපා අප්පා. මට ලැජ්ජයි.”

“ඇයි ඒ?”

“ඔයා එක එක දවසට එක එක ඒවා කියනවා. මම ගෙදර ගිහින් පැය ගණන් කල්පනා කරනවා. ඊළඟ දවසේ එන්න යනකොට අඳින්නේ මොකක්ද කියලා හිතා ගන්න බෑ. ඇයි මොකක් හරි කියනවනේ.”

“හරි... මම කැතයි කිව්වේ නෑනේ.”

“අනේ යන්න...”

“ඒක නෙවෙයි දිලිනි, අපි දැන් කොහේද යන්නේ?”

“මම දන්නේ නෑ. ඔයානේ කිව්වේ ඔළුව හැරුණ අතේ යමු කියලා. මම බයික් එකට නැගලා ඉඳ ගන්නම්.”

“මම යන ඕනේ තැනකට එනවද? බය නැද්ද?”

“ඔයා එක්ක කොහේ ගියත් මම බය නෑ කාවින්ද? කෙල්ලෙකුට කරදරයක් කරන්න බැරි තරම් ඔයා හොඳ වැඩී.”

“හරි හරි, ඔච්චර බටර් ගාන්න එපා.”

දිලිනි හිනා වෙලා බයික් එකට නැගලා ඉඳ ගත්තා.

“යං.”

යන තැන මම කලින්ම හිතාගත්ත නිසා මම පේරාදෙනිය පාරට බයික් එක දැම්මා.”

“කාවින්ද කොහේද යන්නේ.”

“ඔළුව හැරුනේ මේ පැත්තට ඉතින් යනවා.”

“අපෝ මෙයාගේ ගණං.... හරි හරි යන දිහාක යමුකෝ.”

දිලිනි කිසිම කතාවක් නැතුව මගේ පිටට ඔළුව තියාගෙන ඉන්නවා.

මම පහල කඩුගන්නාවට ඇවිත් බයික් එක නැවැත්තුවා.

දිලිනි බයික් එකෙන් බැස්සා.

“දැන් අපිට මෙතන ඉඳන් පයින් තමයි යන්න වෙන්නේ.”

“මේ පල්ලමට. මොනවද කාවින්ද තියෙන්නේ?”

“මාව විශ්වාස කරලා යමු. ඔයා හිතන්නේ නැති ලස්සන තැනක්.”

මම බයික් එක ළඟ තිබුණ කඩේට දැම්මා. ඉස්සර මම සචි‍යත් එක්ක නිතර මෙතනට යන නිසා කඩේ අය මාව දන්නවා.

“අයියේ පොඩි සාදු ඇති නේද?”

“ඔව් මල්ලි ඉන්නවා. මම දැක්කා උදේ පහලට වඩිනවා.”

“කාවින්ද පන්සලටද යන්නේ?”

“ඔව් ඇයි.”

“මම පන්සල් වලට ගිහිල්ලා නෑනේ. අනිත් එක මෙහෙම ඇඳගෙන කමක් නැද්ද? මම”

“ඇයි ඔයා හොඳට ඇඳගෙන ඉන්නේ. රෝමන් කැතලික් අයට පන්සල් යන්න එපා කියලත් නෑනේ. අනිත් එක පන්සලේ පොඩි සාදු මම දන්න කෙනෙක්, බය නැතුව යමු.”

“ඒත් කාවින්ද ඔයාම නේද කිව්වේ ඔයා ආගම් අදහන්නේ නෑ කියලා.”

“ඔව්... මේ යන්නේ වඳින්න නෙවෙයි. පොඩි සාදුව ටිකක් හම්බවෙලා එන්න. අනිත් එක ඒ පන්සල පුදුම ලස්සන තැනක තියෙන්නේ.”

මහ පාරෙන් ඇතුලට යන්න තියෙන්නේ ‍අඩි පාරක් විතරයි ඒ පන්සලට. අඩි පාර ටිකක් දර යනකොට ගල් තලාවක් වෙනවා. ගල් තලාව පහුකරලා මීටර් පන්සීයක් විතර පල්ලම බැස්සහම තමයි පන්සල තියෙන්නේ.

“අනේ කාවින්ද මේ සපත්තු දාගෙන මට යන්න අමාරුයි නේ. හීල්ස්.”

“එහෙනම් ගන්න අතට.”

“එතකොට කකුල් වල ගල් ඇනෙනවානේ.”

“එහෙනම් මට වඩා ගන්නද කියන්නේ?”

“බැරිද?”

එයා කට ඇද කරලා ඇහුවා.

“හොඳට තියෙයි... ඔයාව වඩාගන්න... මේ මම? ආස ඇති නේද?”

“ආසයි තමයි... ඔයා වගේ ස්පෝර්ට්ස් කරන කොල්ලෙකුට මාව වඩා ගන්න බැරි නම් ඇති වැඩේ මොකක්ද?”

අපි දෙන්නා කතාවෙන් කතාවෙන් පන්සල ළඟටම ආවා.

“අනේ කාවින්ද හරිම ලස්සනයි. ඒ වුනාට සෑහෙන්න මහන්සියි. වතුර තිබහයි.”

“අයියෝ මෙයා නම් වාතයක්නේ. පයින් යන්න අමාරුයිලු, දැන් මහන්සිලු, වතුර තිබහලු, තව ටිකකින් නිදිමතත් කියයි.”

දිලිනි හිකි හිකි ගාලා හිනා වුනා.

“මේ කිචි බිචි ගාන්න එපා, මේක පන්සලක්.”

“සොරි.”

පොඩි සාදු ආවාස ගේ හිටියා.

“මම පහත් වෙලා හාමුදුරුවන්ට වැන්දා. දිලිනිත් වැන්දා.”

“කාවින්ද.... සෑහෙන කාලෙකින්.”

“ඔව් පොඩි සාදු.”

“ගෑණු දරුවෙකුත් එක්කම.”

“මගේ හොඳම යාළුවෙක් සාදු. අපි දෙන්නා මේ පැත්තට එද්දි මට සාදු මතක් වුනා.”

“අර දඬුමොනරෙද මේ දරුවත් දාගෙන ආවේ?”

“බයික් එකේ තමයි ආවේ සාදු.”

“ඕක මම එක වතාවකුත් කිව්වා. අර එදා මාව දාගෙන ගිය දවසේ මම දැනගත්තා ඔය යන්තරේ නිසා කාවින්ද  ලොකු අනතුරක් කරගන්නවා කියලා. මේ මල් වගේ දරුවෝ දාගෙන ඕකේ යන්න එපා.”

මම හිනා වුනා.

“දෙන්නා කෑම කාලද? නැත්නම් දානේ වගයක් තියෙනවා කමු.”

“බෑ සාදු. අපි කාලා.”

“එහෙනම් කියමු බලන්න මේ දෙන්නා මොකද මේ පැත්තේ. මේ දැරිවිගේ ගෙවල් කොහේද?”

“මම නුවරම තමයි සාදු.”

දිලිනි කිව්වා.

“රූපේ වගේම ලස්සන කඩහඬකුත් පිහිටලා තියෙනවා.”

 “කාවින්ද මම ඇවිදලා එන්නම්, ඔයා පොඩි සාදු එක්ක කතා කරන්න.”

දිලිනි මට රහසින් කිව්වා.

“දරුවෝ යන්න කලින් මට මේ දරුවගේ අත පෙන්වන්න.”

දිලිනි අත සාදුගේ පැත්තට දික් කළා. එයාගේ මූනේ ප්‍රශ්ණාර්ථයක්.

“මේ දරුවගේ උපන් වෙලාව දන්නවද?”

“ඔව් සාදු.”

“දිනෙයි වෙලාවයි කියන්න බලන්න?”

“දෙසැම්බර් මාසේ විසි පහ, හවස .... ට.”

“ජේසුතුමාගේ උපන් දිනේ... ම්..... හොඳයි. වාසනාවන්තයි.”

දිලිනි ආයෙත් මට රහසින් කතා කලා.

“කාවින්ද, ඔයා මාව අරන් ආවේ කේන්දරේ බලවන්නද?”

“නෑ මැට්ටි. මේ සාදුගේ වැඩ එහොම තමයි. කවුරු ආවත් කේන්දරේ බලවලා තමයි යවන්නේ.”

“ඒ කියන්නේ මගෙත් බලයිද?”

“නෑ හලෝ... ඔයාගෙන් වෙලාව ගත්තනේ... දැන් ඕකෙන් ඔයාගේ කේන්දරේ හදයි. ඒකට දවස් කීපයක් යයි. ඊට පස්සේ මට ඔයාව එක්ක එන්න කියලා කේන්දරේ කියලා දෙයි.”

“ඔයාගේ කෙන්දරේ සාදු ගාව තියෙනවද?”

“අපෝ ඔව්. ඒක එයා හදාගෙන තියෙන්නේ.”

“ඔයා විශ්වාස කරන්නේ නෑ නේද කාවින්ද?”

දිලිනි බයෙන් වගේ ඇහුවා.

“නෑ පිස්සි. සාදු කියන දේ අහගෙන ඉන්නවා විතරයි. ඕවා විකාර.”

“යන්තම් ඇති.”

දිලිනි කිව්වා.

අපි කතා කර කර බෝ මලුවට ආවා. මම සාදු එක්ක කතා කරන අතරේ දිලිනි පහලට ඇවිදගෙන ගියා.

“කාවින්ද...දැන් මේ කාලේ මොකද කරන්නේ.”

“මම විශේෂ දෙයක් නෑ පොඩි සාදු. යාළුවෙකුගේ ගරාජ් එකක උදව්වට වැඩ කරනවා ප්‍රතිපල එකනං.”

“ඒක හොඳයි. ඉ‍ගෙනගත්ත දෙයක් අපතේ යන්නේ නෑනේ.”

“ඔව් සාදු.”

“මට පොඩි කුතුහලයක් තියෙනවා. කාවින්ද කවදාවත් ගෑණු දරුවෙක් එක්ක යාළුවෙලා හිටියා කියලා මම දන්නේ නැහැ. ඉතින් එකපාරටම මෙහෙම ආවේ ඇයි?”

“මේකයි පොඩි සාදු...”

මම කතාව සම්පූර්ණයෙන්ම පොඩි සාදුට කිව්වා.

“දැන් කාවින්ද මොකක්ද කරන්න යන්නේ. හිතනවද මේ වගේ ප්‍රශ්ණයත් ඔයාට විසඳන්න පුළුවන් කියලා.”

“මට බෑ සාදු. මම ආවේ සාදුගෙන් අහන්න මේකට කරන්න දෙයක් තියෙනවද කියලා.”

“ඒක ඒ දරුවගෙත්, දෙමව්පියන්ගෙත් කැමැත්ත. මේ පිට ඉන්න අපිට බෑ ඒකට තීරණ දෙන්න.”

“ඒ වුනාට පොඩි සාදු. දිලිනි ඉන්නේ පුදුම දුකකින්. ගිහාන් ව බඳින්න වුනොත් ජීවිතේ නැති කරගන්න වුනත් පුළුවන්.”

පොඩි සාදු හිනා වුනා.

“කාවින්ද දන්නවද මම ඇයි ඒ දැරිවිගේ අත බැලුවේ කියලා.”

“නෑ.”

“ඔය දෙන්නා මෙහාට ආපු ගමන්ම මගේ හිතට බලගතු ආත්මයක් සම්ප්‍රාප්ත වුන බව දැනුනා. ඒකයි මම අත බැලුවේ. මගේ සැකය වැරදි නෑ කියලා අතේ රේඛා වලින් පේනවා. ඒ වගේ කෙනෙක් මේ වගේ දේකට ජීවිතේ නැති කර ගන්නෙ නෑ. කාවින්ද බය නැතුව ඉන්න.”

“ඒ වුනාට පාඩි සාදු මට එයා ගැන දුකයි. එයාගේ ප්‍රශ්ණෙට ඉස්සරහට මොනවා වෙයිද?”

“කාවින්ද එහෙනම් ඒ දැරිවිත් එක්ක ටිකක් ඇවිදලා එන්න. මම පැය බාගෙන් ඒ දැරිවිගේ කේන්දරේ හදන්නම්. ඊට පස්සේ මම විසඳුමක් දෙන්නම්.”

මම ආයෙත් හිනා වුනා.

“කාවින්ද මේවා විශ්වාස නොකරට කමක් නෑ. අපි බලමුකෝ මේකෙන් මොකද වෙන්නේ කියලා.”

පොඩි සාදු ආවා‍ස ගේ පැත්තට ගියා.

1 comment: