Tuesday, June 13, 2017

සදානුස්මරණිය ප්‍රථම ප්‍රේමය ~ මේ ආදරයයි ~ 36




සදානුස්මරණිය ප්‍රථම ප්‍රේමය
මේ ආදරයයි



36.

බොහොම කෙටි කාලයක් ඇතුලත ගිහාන් මට තුන් පාරක් ඇටෑක් කළා. තව ඉස්සරහට මොනවා කරන්න මිනිහගේ හිතේ තියෙනවද කියන එක දෙයියොවත් දන්නවද දන්නෑ.

අද ඉරිදා නිසා දිලිනි හවස නුවර ටවුමට එනවා. එයා ක්ලාස් එකකට යනවා. එයාව හම්බවෙනවද?

උදේ වුන සිද්ධිය නිසා දිලිනිට කෝල් එකක් වත් දෙන්න බැරිවුනා. කෝල් ඕනේ නෑ , දැන් ක්ලාස් එක පැත්තට ගියානම් එයා ඉන්නවා ෂුවර්. ඒත් උදේ වුන දේ නිසා මගේ හිත ටිකක් හෙල්ලිලා තිබුණේ.

සචියත් මගේ පස්සෙන්ම ආවා. අපි දෙන්නා සචිත්‍රලාගේ ගෙදර මිදුලේ ගහක් යටට පුටු දෙකක් දාගෙන කතා කර කර හිටියා.

“කාවා. මේක සීරියස් කේස් එකක් බං.”

“මොකක්ද?”

“දිලිනිට ගිහාන්ව ප්‍රපෝස් කරලා.....! උඹලා දෙන්නා ඒ අස්සේ මුළු රට වටේ රවුම් ගහනවා. ඒ වුනාට උඹලා දෙන්නා සෙට් වෙලත් නෑලු. ගිහාන් උඹට ගහන්න ට්‍රයි කරනවා. උඹත් ඒ මොනවා වුනත් දිලිනිව බලන්න යනවා. මට තේරෙන්නේ නැහැ මේක”

“දැන් මොකක්ද උඹට තේරෙන්නේ නැත්තේ?”

“මචං විහිලු නෙවෙයි. උඹලා දෙන්නා සෙට් වෙලා නැත්නම්, ඒ කියන්නේ උඹලා දෙන්නා ලව් කරන්නේ නැත්නම්, මොකටද බං උඹ ගිහාන් එපා කියන දේවල් වලට අත දාලා ඉල්ලගෙන කන්නේ.”

“මට ඕනේ දිලිනිව මේ උගුලෙන් ගලවන්න. එයාට ඒකට මගේ උදව් ඕනේ.”

“හරි උඹ දිලිනිව ගිහාන්ගෙන් ගලවගත්තා කියපංකෝ. ඊට පස්සේ?”

“දන්නෑ. ඒක දිලිනි කැමති දෙයක් කරයි. කෙල්ල ගිහාන්ට කැමති නෑ. කෙල්ල මගේ හොඳම යාළුවෙක්. ඉතින් මගේ යුතුකම එයාට ඒකෙන් ගැලවෙන්න උදව් කරන එක.”

“යාළුවෙක්ලු, යුතුකමලු, උඹට පිස්සුද බං. කොහෙවත් ඉන්න කෙල්ලෙක් වෙනුවෙන් උඹට මොන යුතුකම්ද බං. නිකං ඇටකටු ටික කඩා ගන්නැතුව මෙන්න මෙහේ පැත්තක‍ට වෙලා හිටපං බං.”

“මචං සචියා, මේ කාවා කාටවත් බයවෙලා කරන්න ඕනේ දේ නොකර ඉඳලා නෑ. දිලිනි මගේ හොඳම යාළුවෙක්, උඹ වගේ. ඉතින් උඹ මේ සිටුවේෂන් එකේ හිටියන්ම මම මේ කරන දේම තමයි මම දිලිනිටත් කරන්නේ.”

“හරි දැන් උඹ මොකක්ද කරන්න යන්නේ?”

“මම තාම හරියට එක දෙයක් හිතලා නැහැ. දිලිනිට මේ වෙලාවේ මාව අවශ්‍යයයි. ඉතින් මට බෑ බං පස්ස ගහන්න.”

“ඒ කියන්නේ උඹ දිලිනි ඉල්ලන ඕනේ උදව්වක් කරනවා. එයාව බලන්න යනවා.”

“ඔව්.”

“මට ඇත්ත කියපං කාවා, උඹේ හිතේ කොනක හරි දිලිනි ගැන ආදරයක් තියෙනවද?”

“මම දන්නෑ බං. මේ වෙනකම් මට කැමති වුන, නැත්නම් මම කැමති වුන වෙන කිසිම කෙල්ලෙකුට වඩා දිලිනි මගේ හිතට වැදිලා තියෙනවා. ඒත් ඒක ආදරයක්ද කියන එක තාම ප්‍රශ්ණයක්.”

“දිලිනි උඹට ආදරෙයි කිව්වොත් උඹ කැමතිද?”

“තාම ඒ ගැන හිතලා නෑ බං. මට ඕනේ අතරමං වෙලා ඉන්න කෙල්ල හරි පාරට ගන්න. එතනින් එහාට මම මොනවත් බලාපොරොත්තු වෙන්නේ නෑ. ඇත්ත උඹ කියන එක මම පිළිගන්නවා, අනිත් කිසිම කෙල්ලෙකුට නැති සැලකීමක් මට මෙයා වෙනුවෙන් තියෙනවා. ඒත් ඒකට විශේෂ හේතුවක් නෑ.”

“උඹේ ටාගට් එක හොඳ එකක් වුනත්, සියයට අනූනවයක්ම මිනිස්සු ඕක දිහා බලන්නේ වැරදි පැත්තෙන්.”

“ඒකට මට කරන්න දෙයක් නෑ බං.”

සචිත්‍රගේ අම්මා කෑම කන්න කතා කළා.

කෑමෙන් පස්සේ මම යන්න ලෑස්ති වුනා.

“කාවා කොහෙද දැන් උඹ යන්නේ?”

“නුවර.”

“පොලිස් ග්‍රවුන්ඩ් එක පැත්තෙද?”

“ඇයි උඹ ‍එහෙම ඇහුවේ?”

“නෑ මම දන්නවා මොනවා වුනත් උඹ යන්නේ කොහේද කියලා?”

“කොහේද?”

“අරකි බලන්න.”

“අරකි කව්ද බං?”

“දිලිනි දිලිනි.”

“ඔව්. මම උඹට කලිනුත් කිව්වේ මෙතන වෙන දේ. ඒ නිසා මම යනවා.”

මම එහෙම කියලා බයික් එකට නැංගා.

“කාවා හිටපං, මාත් එනවා. උඹව තනියම යවන්න බෑ.”

“සචියා, ප්ලීස් බය වෙන්න එපා. මට කරදරයක් වෙන්නෑ. උඹට තේරෙනවනේ, මට උඹව එක්ක යන්න බෑ.”

“හරි, උඹ මාව නුවර ලේක් සයිඩ් එකේ දාලා පලයං. උඹ දිලින හම්බවෙලා එනකං මම ඉන්නම්.”

“සිරාවටම තෑන්ක්ස් මචං. ඒත් මම හොඳින්. ඕන වුනොත් මම උඹට කෝල් කරන්නම්. මොබයිල් එකක් තියෙනවනේ මගේ අතේ.”

“හරි. හැබැයි, මොකා පාට් දාගෙන ආවත් තනියම ගේමට සෙට් වෙන්න එපා. මුලින් මට කෝල් එකක් දාපං.”

“ෂුවර්.”

මේක තමා අපේ සෙට් එකේ යාළුකම. කාටහරි කරදරයක් නම් පණ වුනත් දෙන්න පුළුවන් උන් තමයි හිටියේ. මොන තරම් දරුණු වලියක් වුනත් අතක් පයක් නැති වෙන්න හරි එකෙක් වත් පස්ස ගැහුවේ නැහැ.

හරියටම හවස තුනට මම දිලිනිට කෝල් කළා.

“කාවින්ද, පුදුමයි ඔයා මට කතා කළා.”

“ඇයි?”

“නෑ මම හිතුවේ මාව අමතක වෙලා ඇති කියලා.”

“මේ මට?”

“ඔව් අනේ. අනිත් එක මම එදා කිව්වා වගේ තව දුරටත් ඔයාව අමාරුවේ දාන්න මට බෑ.”

“මොකක්ද ඒ කතාවේ තේරුම? කවදාද ඔයා මාව අමාරුවේ දැම්මේ?”

“ඇයි කාවින්ද මම එදත් කිව්වේ, මම නිසා ගිහාන් ඔයාට කොච්චර ප්‍රශ්ණ ඇති කරනවද?”

“අයියෝ......... ඒවා කවුද ගණන් ගන්නේ.... ඔය වගේ වලි කොච්චර නම් සෙට් වෙලා තියෙනවද අපිට!”

“ඒ වුනාට මේක වෙනස් කාවින්ද, මට ඔයා ගැන බයයි.”

“පිස්සු කතා කියන්න එපා. ඔයා ඒ ගැන බය සම්පූර්ණයෙන්ම අයින් කරගන්න.”

“ඒ වුනාට අපි මෙහෙම ෆෝන් එකෙන් විතරක් කතා කරමු.”

“ඒ කියන්නේ ඔයා අද එලියට එන්නේ නැද්ද?”

“අපි හම්බ නොවී ඉමු කාවින්ද.”

“ඇයි ඒ?”

“එහෙම තමයි. ප්‍රශ්ණ අහන්න එපා. ඔයා හොඳ ළමයා ව‍ගේ ඔයාගේ වැඩ පාඩු කර‍ගන්නේ නැතුව හොඳින් ඉන්න.”

“එහෙම බෑ. මට ඔයාව බලන්න ඕනේ. අපි හොඳ යාළුවෝ, ඉතින් මට ඔයාට කතා කරන්න ඕනේ.”

“නෑ කාවින්ද, මට බෑ. සොරි....!”

“ඔයා ඔය සීරියස්ද කියන්නේ?”

“ඔව් දෙයියනේ... මට බෑ මේක තවදුරටත් මේ විදිහට කරන්න.”

“මොන විදිහටද?”

“අපි මේ ඉන්න විදිහට කාවින්ද? මට බෑ තවත් හිතට බොරු කරගන්න!”

“මේ මැඩම් කියන දෙයක් තේරෙන්න කියනවද.”

“කාවින්ද, ප්ලීස් මම කියන දේ අහන්න. අපි මේක මෙතනින් නවත්තමු. ඔයා ඕනේ වෙලාවක මට කතා කරන්න. ඕන උදව්වක් මම කරන්නම්. ඒත් අනේ අපි හම්බනොවී ඉමු.”

“මට ඔයාගෙන් උදව් ඕනේ නැහැ දිලිනි. මම එදත් කිව්වා වගේ මට ඕනේ දුකට වැටිලා අතරමං වෙලා ඉන්න ඔයාව හරි පාරට ගන්න.”

“ඔයාට ඒක පුළුවන් බව මම දන්නවා කාවින්ද, ඒත් ඔයා ඒක ක‍ළොත් මම තවත් අතරමං වෙනවා.”

“මොන අණ්ඩර දෙමලයක්ද ඔයා කියවන්නේ?”

“ඔයාට තේරෙන්නේ නෑ කාවින්ද.”

“එහෙනම් තේරුම් කරලා දෙන්න.”

“දැන් බෑ.”

“එහෙනම් අපි හම්බවෙලාම කතා කරමු.”

“ඔයා හරි නරකයි කාවින්ද, ඒ පාර වෙන දෙයක් කියලා මාව ගෙන්න ගන්න බලනවා.”

“ඔයාට ඒක තේරුණාද?”

“ඔව්... ඔයා හිතුවට ගෑණු අපිට ඕව තේරෙන්නේ නෑ කියලා. අපිට හැට හතර මායම් තියෙනවා.”

“හරි එහෙනම් ඔයා එන්නේ නෑ?”

“ප්ලීස් මාව තේරුම් ගන්න කාවින්ද?”

“බෑ... මට ඔය කියන එක තේරුම් ගන්න ඕනේ නෑ.”

“අනේ... මාව ඒ තත්වෙට පත් කරන්න එපා කාවින්ද.”

“මොන තත්වෙටද?”

“මට බෑ කියන්න බැරි වෙන තත්වෙට.”

“මම තරහයි. මම යනවා එහෙනම් තනියම.”

“කොහේද?”

“කියන්නෑ. වැඩක් නෑනේ ඔයා එන්නේ නැත්තං”

“අනේ කියන්නකෝ...”

“බෑ බෑ....”

“අනේ.. ඔන්න එහෙනම් මමත් එනවා.”

“කොහේ යන්නද?”

“ඔයා යන දිහා.”

“එහෙනම් දැන් කිව්වේ මාව බලන්න එන්න බෑ කියලා.”

“අනේ ප්ලීස් කියන්නකෝ මාව මඩවන්නේ නැතුව.”

“මම යනවා..........”

“කොහේද........?”

“මම යනවා.... මේ මේ.....”

“කියන්නකෝ....”

“ම්....... ඔළුව හැරුණු අතේ.”

“එදා වගේ?”

“ඔව් දිලිනි එදා වගේ....”

“අනේ කාවින්ද මම හරි ආසයි.... මාත් එනවා.”

“කොහේ යන්නද?”

“එදා වගේ ඔළුව හැරුණු අතේ යනවා කිව්වේ ඔයා.”

“එහෙනම් මම එන්නද ඔයාව ගන්න.”

“හා... පැය බාගයක් දෙන්න මම ලෑස්ති වෙන්නම්.”

දිලිනි කිව්වා.


මට මොනවා වෙලාද? කෙල්ල මට කරදරයක් වෙයි කියලා මාව ඈත් කරන්න උත්සහ කරද්දි මම තවත් එයාට ලං වෙනවා.

0 comments:

Post a Comment