Recent Post

Tuesday, May 16, 2017

සදානුස්මරණිය ප්‍රථම ප්‍රේමය ~ මේ ආදරයයි ~ 22


සදානුස්මරණිය ප්‍රථම ප්‍රේමය
මේ ආදරයයි


22.

ජීවිතේ හැම දෙයක්ම වෙනස් වෙන කාලේ ඇවිල්ලා කියලා මට හිතුනා. අවුරුදු දහතුනක් දෙමව්පියන්ගේ යටතේ ඉස්කෝලේ ගියා.

තව මාසයකින් ඒක ඉවර වෙනවා. ඒත් එක්කම ජීවිතේ සම්බන්ධකමුත් වෙනස් වෙනවා.

අවුරුදු ගාණක් පුරාවට මගේ හොඳම යාළුවා වුනේ දිනි.

එයා නිසා මම මොනතරම් හැදුනද? මොනතරම් දේවල් ඉගෙනගත්තද? ගොඩක් වෙලාවට මම අමාරුවේ වැටෙන්න යන වෙලාවල් වල දිනි මාව බේරගත්තා. කවුරු නැති වුනත් කොන්දේසි විරහිතව මගේ පැත්තේ හිටියා.

එයා මං වෙනුවෙන් කරපු දේවල් පුදුමයි.

ඒත තව දවසකින් පස්සේ ඒ හැම දෙයක්ම නැතිවෙයි.

ඒක තාවකාලිව අහිමිවීමක්ද නැත්නම් සදාකාලිකවම වෙන දෙයක්ද කියලා තාම කියන්න බැරි වුනත්... ඒක ‍එහෙම වෙයි කියලා මට ලොකු බයක් දැනුනා.

පහුවෙනිදා උදේම මම නැගිට්ටා.

කන්නාඩියෙන් බැලුවාම මටම මගේ වෙනස අඳුරගන්න බැරිවුනා.

අනාගතේ තීරණය කරන විභාගෙට තව තියෙන්නේ එක මාසයයි. මම මොකද කරන්නේ?

පිස්සෙක් වගේ පාරවල් ගාණේ ඇවිද ඇවිද, රෑ වෙනකම් නිදි මරණවා. ඊට පස්සේ එලිය වැටෙනකම් නිදා ගන්නවා.

දීප නැන්දා කාමරේට ආවේ ඒත් එක්කම.

“බබා.”

“මොකද දීප නැන්දේ?”

“බබා, මොකක්ද මේ කරන දේ තේරුම. ඊයෙත් අම්මා හොඳටම තරහෙන් හිටියේ. බබා මොනම වෙලාවක බැලුවත් ගෙදර නැහැ. විභාගේ කට උඩ. පාඩම් කරනවා තියා පන්තියකටවත් යන්නේ නැහැ.”

“මට කරදර කරන්න එපා දීප නැන්දේ.”‍

“මම කරන කරදරයක් නෑ බබා. පොඩ්ඩක් කල්පනා කරලා බලන්න. අඩුගාණේ අද ඉඳලවත් පාඩම් කරන්න බලන්න.”‍

“දීප නැන්ද දන්නවද? අද දිනි පිටරට යනවා. මුළු පවුලම. ආයෙත් එන්නේ නැහැ.”

“මම දන්නවා.”

“ඒ කොහොමද?”

“සිතාරා නෝනා මට කිව්වා. අනිත් එක ඒක ඒ පවුලේ දෙයක්. බබාට තියෙන ප්‍රශ්ණේ මොකක්ද?”

“මට ප්‍රශ්ණයක් නම් නෑ... ඒත් මගේ අවුරුදු ගාණක් තිබ්බ දිනිගේ යාළුකම.... ඒක නැතිවෙන්න දෙන්න බෑ.”

“ඒක ඇත්ත යාළුකමක්නම් ඔය දෙන්නා කොහේ ගියත් ඒක වෙනස් වෙන එකක් නෑ. ඒ නිසා බබා ඔය මනස්ගාත ඔළුවෙන් අයින් කරලා පාඩම් කරන්න. තව මාසයයිනේ තියෙන්නේ. ඊට පස්සේ කැමති දෙයක් කරන්න.”

“දීප නැන්දා මොනවද මේ කියන්නේ.... දිනි කියන්නේ අවුරුදු ගානක් මම දන්න කියන කෙනෙක්.... මේ අද ඊයේ අඳුරගත්ත කෙනෙක් වගේ ඇයි කතා කරන්නේ?”

“අනේ බබා, මම ඕව දන්නේ නෑ. ඒත් මේ කාලේ ඔය වගේ දේවල් වල පැටලිලා ප්‍රශ්ණ ඇති කරගන්න එපා. ජීවිතේ ඉස්සරහට තව එහෙමම.”

මේ මොන විකාරයක්ද මෙයා මේ කියවන්නේ?

ඒත් එක්කම මට තේරුණා දිනි කියපු දේ තමා මේ පත්තුවෙලා තියෙන්නේ කියලා.

මම ඉන් එහාට කතා කරන්න ගියේ නෑ.

කාටවත් කියන්නේ නැතුව ඇඳ‍ඟෙන මම ගියේ සචිත්‍රලාගේ ගෙදරට.

මම යනකොට ඌ දාගෙන පාඩම් කරනවා.

“යකෝ කොහෙද පාවෙන්නේ... පාඩම් කරන්නේ නැතුව?”‍

මාව දැක්ක ගමන් සචිත්‍ර ඇහුවා.

“පාවුනා තමයි බං. මම ආවේ උඹෙන් පොඩි උදව්වක් ඉල්ලන්න.”

“මොකක්ද බං?”

“තරහ නැතුව හොඳ කොල්ල වගේ අද මාත් එක්ක ගමනක් යන්න වරෙන්.”

“කොහෙද බං?”

“කොළඹ!”

“මොකක්.... උඹට පිස්සුද බං. ඒ මොන එකකටද?”

“උඹ පුළුවන්ද කියපංකෝ. අද දවස විතරක් මං වෙනුවෙන් නාස්ති කරපං.”

“ඒක අවුලක් නෑ කාවා. උඹ වෙනුවෙන් ඕන මගුලකට මං එන්නම්. හැබැයි මට කෙලින් කියපං මොකටද කියලා?”

“මචං උඹ දන්නවනේ, දිනි අද යනවා. මට එයාර් පෝට් යන්න ඕනේ.”

“කෙල්ල උඹට එන්න කිව්වද?”

“ඔව් බං...”

“කීයටද බං ෆ්ලයිට් එක?”

“රෑ එකොළහයි ගාණකට.”

“යකෝ ඒ වෙලාවට ගිහිල්ලා එන්නේ මොකේද? බස් තියෙනවද බං ඒ වෙලාවට.”

“අපි බයික් එකේ යං බං.”

“එච්චර දුර?”

“උඹ බය නැතුව වරෙන්කෝ. බයික් එකේ යන්නේ නැතුව මේ වැඩේ කරන්න බෑ බං. ඔය රෑ වෙලාවල යන්න එන්න බස් නැතුව අපි අනාථ වෙනවා.”

මම එහෙම කිව්වට මම කවදාවත් ඒ තරම් දුරක් බයික් එකේ ගිහිල්ලා නැහැ. පැය තුනක් හතරක් එක දිගට බයික් එක රයිඩ් කරන එක ලේසි නැහැ.

අපි දෙන්නා සෑහෙන අමාරුවෙන් කොහොමහරි එයාර් පෝට් එකට ආවා.

දිනි තාම ඇවිල්ලා නැහැ වගේ.

අපි දෙන්නා මහන්සියටත් එක්ක එන්ට්‍රන්ස් එක ඉස්සරහින් තියෙන පාක් එක වගේ තැන බංකුවක ඉඳ ගත්තා.
පැය බාගයක් ගතවෙන්න ඇති. මම ඇහුනා කව්රු හරි මට කතා කරනවා. බලනකොට දිනි.

“අයියේ, ඔයා සෑහෙන මහන්සි වෙලා.”

“නෑ දිනි. ඕක මොකක්ද? දැන්ද ඔයා ආවේ?”

“ඔව් අයියේ... ලොකු අම්මයි, ලොකු තාත්තයි ආවා මාත් එක්ක.”

“ඉතින් දිනි...?”

“මට දුකයි අයියේ. මේ විදිහට ඔයාව දාල යන්න මම හීනෙකින්වත් හිතුවේ නැහැ. මගේ හීනේ වුනේ මේ ගමන ඔයත් එක්ක යන්න. ඒත් අන්තිම ඉරණම මේකයි.”

“එහෙම හිතන්න එපා නංගා.... අපි අනිවාර්යයෙන්ම ඉක්මනටම හම්බවෙමු.”

“එහෙම වෙනවනම් හොඳයි අයියේ. ඒත් මම කියන මේ දේ හොඳින් අහගන්න.”

“මොකක්ද?”

“ඔයාට කලිනුත් මම කිව්ව වගේ අපි අතර තිබ්බ සහෝදර බැඳීම නැති කරලා දැම්මේ මම. මම ඔයාට ආදරේ කළා. ඒකෙන් මේ තරම් ප්‍රශ්ණ ගොඩක් ඇතිවෙයි කියලා මම හිතුවේ නැහැ. අන්තිමට මේ ආදරය නිසා අපි දෙන්නට අපි දෙන්නා නැතිවුනා. මගේ වරද අයියේ. ඔයා හැමදාම මට මගේම අයිය කෙනෙක් වුනා. ඔයාට මගේ දේවල් ගොඩක් අමතක වුනත්, ඔයා මට හොඳ ආරක්ෂාවක් වුනා. ඕනෙම වෙලාවක ඔ‍‍ළුව කෙලින් තියාගෙන වැඩකරන්න පුළුවන් වුනේ ඔයාගේ ඒ හයිය නිසා. ඒ වගේම ඔයා මට ආදරණිය අයියා කෙනෙක් වුනා. ඒත් මොන කරුමෙකටද දන්නෑ මගේ හිත ඔයාට ආදරේ කරන්න පටන් ගත්තා.”

“ඒක ඔයාගේ වැරැද්දක් නෙවෙයි නංගා. ඒ මොනවා වුනත් එදා වගේම අදත් ඔයා මගේම නංගි.”

“මම ඒක දන්නවා අයියේ. මම දැනුත් කැමතියි ඔයා මගේ අයිය කෙනෙක් වෙලා මගේ ළඟ ඉන්නවනම්. ඒත් දැන් තියෙන සිටුවේෂන් එක අනුව මට යන්නම වෙනවා.”

“මට තේරෙන්නේ නෑ.”

“මේ ප්‍රශ්ණෙදි මගෙ අම්මයි තාත්තයි අසරණයි අයියේ. මුළු නෑදෑ පරම්පරාවක්ම ඒ දෙන්නට, විශේෂයෙන් මගේ අම්මට විරුද්ධ වෙද්දි, මොනතරම් හොඳ වුනත්, මොනතරම් සල්ලි තිබ්බත් ඒ දෙන්නට ලංකාවෙදි කරන්න පුළුවන් දේවල් සීමිතයි. ඒ නිසා ඒ දෙන්නා ලංකාවෙන් යන්න ගත්ත තීරණේ සාධාරණයි අයියේ.”

දිනි ඒක කියපු විදිහෙන් මට තේරුණා මෙතන මේ කියනවට වඩා වැඩි දෙයක් තියෙනවා කියලා.

“දිනි ඔයා මට මොනව හරි හංගනවා.”

දිනි කෙලින්ම මගේ දිහා බැලුවා.

“මට ඔයා දිහා බලාගෙන බොරු කියන්න බැහැ අයියේ. ඔව් මම දෙයක් හංගනවා. අපි යන්න ලොකුම හේතුව මම හංගනවා. ඒත් ඒක හැංගිලා තියෙන එක අපි දෙන්නටම හොඳ වෙයි. එදත් මම කිව්වා වගේ කවදාහරි දවසක ඔයාට ඒක දැනගන්න පුළුවන් වෙයි. ඒ වෙනකම් ඉවසන්න.”

“මොනවද මේ කියන්නේ. ඔයා දැන් ඔය විදිහට දෙයක් බාගෙට කියල යන්නද හදන්නේ?”

“මාව විශ්වාස කරන්න අයියේ, ඒක දැන් ඔයා දැනගන්න එක වැදගත් නෑ. දැනගත්තා කියලා මගේ ගමන නතර වෙන්නෙත් නෑ. ඒ නිසා ඒක අහන්න එපා. මම හිතන්නේ මම ගියාට පස්සේ ඉක්මනටම ඔයාට ඒක දැනගන්න පුළුවන් වෙයි.”

මට කියන්න දෙයක් නැතිවුනා. ඒත් ඉක්මනටම මේකේ ඇත්ත නැත්ත දැනගන්න ඕනේ කියලා මම හිතුවා. දිනි මට ආදරේ කරපු එක ඒ මුළු පවුලටම ලංකාව දාල යන්න තරම් දෙයක් වෙන්නේ කොහොමද?

දිනි මාත් එක්ක තව පැය බාගයක් විතර ඉන්නකොට මාලනී ආන්ටි ආවා. දිනිගේ ලොකු අම්මා.

“පුතේ...”

ආන්ටි මාව දැක්ක ගමන් කිව්වා.

වෙනදා තියෙන සැර ගතිය ඒ ටෝන් එකේ නැහැ.

“ආන්ටි, මට සමාවෙන්න. මම නිසා මේ හැම කරදරයක්ම වෙලා.”

“ඔයා සමාව ඉල්ලන්න ඕනේ නෑ දරුවෝ. ඔයා හොඳ දරුවෙක් බව මම දන්නවා. ඔය මුළු පරම්පරාවෙන්ම එදා ඉඳලා හිටපු හිත හොඳ අවංක එකම කෙනා ඔයා. හැමෝටම එකවගේ කතා කරලා හැමෝම එක්ක එකට ඉන්න පුළුවන් කෙනෙකුට ඔය පරම්පරාවෙන්ම ඉන්නේ ඔයා විතරයි. ඒක මම හොඳටම දන්නවා.”

“මාලනී ආන්ටි මොනව කියනවද?”

“දැන් ඒකෙන් කමක් නෑ... අපිට යන්න වෙනවා. ඔය දෙන්නා ආවේ කොහොමද?”

“අපි බයික් එකේ ආවේ ආන්ටි.”

“දුව, අයියට යන්නම් කියල එන්න.”

දිනි මගේ ළඟට ආවා. කෙල්ල අමාරුවෙන් තදකරලා ඇ‍ඬෙන එක නවත්තගෙන ඉන්නවා.

“අයියේ මම යන්නම්!”

මම දෙපාරක් නොහිතා දිනිව තදකරලා බදාගත්තා.

“අයියේ, මට ඇඬෙන්න යනවා.. ප්ලීස්...”

කෙල්ල ඒක කියලා එක තත්පරෙන් මගෙන් ඈත්වෙලා අනිත් පැත්ත හැරුණා. මාලනී ආන්ටි එයාව ලං කර ගත්තා.


“නංගි, මට ලියන්න... ප්ලීස්.”

0 comments:

Post a Comment