Monday, May 08, 2017

සදානුස්මරණිය ප්‍රථම ප්‍රේමය ~ මේ ආදරයයි ~ 6

සදානුස්මරණිය ප්‍රථම ප්‍රේමය
මේ ආදරයයි




6.
මොකද අද නුවර ආවේ, මම සෑහෙන වෙලාවක් බලාගෙන හිටියා ඔයා කල්පනාවෙන්ම ඉන්නවා, මාව දැක්කේ නෑ නේද?”

මම දන්නෙම නැතුව සිතාරා ආන්ටි මාගේ ළගට ඇවිල්ලා.

සිතාරා ආන්ටි කියන්නේ දිනිගේ අම්මා…..!

මම ගොළු වුනා.

මම නටපු පිස්සු ආරංචි වෙලාද, මාව හොයාගෙනම ඇවිල්ලද? මගේ හිතේ දාහක් ප්‍රශ්න.

ආ….. නෑ…… ආන්ටි, මම මේ…… යාළුවෙක් එනකම් ඉන්නේ…”

යන්තම් වචන කීපයක් ගලපගන්න පුලුවන් වුනා.

ආ මම හිතුවා පුතා ගෙදර යන්න කියලා, මමත් අද යන්නේ කටුගස්තොට පැත්තෙන්, ඒ නිසා ඕනෙනම් මාත් එක්ක යන්න පුලුවනි.”

මම වටපිට බලනකොටයි දැක්කේ ආන්ටි ඇවිල්ලා තියෙන්නේ කාර් එකේ, මාව දැකලා තමයි බැහැල ඇවිල්ල කතා කරල තියෙන්නේ.

නෑ ආන්ටි මම ටිකක් ඉදලා එන්නම්”

එහෙම කියන ගමන් මම ආන්ටිත් එක්කම කාර් එක ලගට ගියා.

ඒත් එක්කම පිටිපස්සේ ආසනයේ හිටපු කෙනා දැක්කහම මම ගැස්සිලා ගියා.

දිනි………!

මට හිතාගන්න බැරි වුනා මොනවද මම කරන්නේ කියලා. හිනා වුනත් මටම තේරුනා ඒක හිනාවක් නොවන බව.

අපි යන්නම් පුතා”

හොදයි ආන්ටි”

මම දිනි ගේ පැත්ත බැලුවා. එයා කෙලින්ම මගේ  ඇස්දෙක දිහා බලාගෙන ඉන්නවා. ඒ ඇස්වලින් මොනවද කියන්න හදනවා, මට හිතාගන්න බැරිවුනා මොනවද කරන්න ඕන කියලා.

මම පිටිපස්සේ ෂටර් එකට ළංවෙලා. මට ඔයාව හම්බවෙන්න ඕන” කියලා කිව්වා.

දිනි හිනා වුනා, ඊට පස්සේ තොල් දෙකට ඇගිල්ල තියලා නිශ්ශබ්ද වෙන්න කියල කිව්වා.

ඊටත් පස්සේ හිනා වුනා.

යන්නම් අයියේ”

කාර් එක යන්න ගියා. මගේ හිත හිස් වෙලා.

ඇයි මම දිනිව හම්බවෙන්න ඕනෙ කිව්වේ. හම්බවුනත් මොනවද මම කියන්නේ.

හැමදාමත් මේ වගේ වෙලාවට පිහිටට ඉන්නේ එරංග අයියා තමයි. මම දෙපාරක් හිතන්නේ නැතුව ගියා එරංග අයියාගේ තැනට. 

එතනින්ම අම්මට කෝල එකක් දීල කිව්වා මම අද එන්නේ නැහැ කියලා. හේතුව කිව්වේ මොකක්ද කියලනම් දැන් මතක නැහැ.

එරංග අයියා මගෙන් කිසිම දෙයක් ඇහුවේ නැහැ. එයාටත් තේරෙන්න ඇති මම මේ දවස් ටිකේ ඉන්නේ ප්‍රශ්නයක කියලා. ඒ නිසා කිසිම දෙයක් ඇහුවේ නැහැ. මට කාමරයක් ලෑස්ති කරල දීල සැන්ඩ්විච් වගයක් එව්වා.

මමත් ප්‍රශ්ණ ඔක්කොම යන්න වගේ පැයක් විතර හොදට නාලා, එලියට ආවා. බාර් එක පැත්තෙනම් අද කිසිම කෙනෙක් නැහැ, පෝය නිසා.

මම ඒ පැත්තේ කැරකෙනවා දැකලා එරංග අයියා ආවා.

මොකද උඹ බාර් එක පැත්තේ, දැන් ඔරිජිනල් බේබද්දෙක් වෙලා වගේ නේද?”

නෑ අයියේ එහෙම සීන් එකක් නැහැ, මම මේ ඇතුලේ ඉන්න කම්මැලිකමට ආවා.”

මොකද මේ දවස්වල උඹ නිකං ආතක් පාතක් නෑ වගේ පාවෙන්නේ. උඹ කවදාවත් ඔය විදිහට ඉන්නවා මම දැකල නැහැ”

පොඩි සීන් එකක් අයියේ, ඔයාට මේක කියන්න ගියොත් අද වෙන වැඩක් ඔයාට කර ගන්න බැරිවෙයි. මම පස්සෙ වෙලාවක මුල ඉදලම කියන්නම්”

මොකද උඹ ගෙදරින් ආවෙ, තරහවෙලාද නැත්නම් එලවලාද?”

පිස්සුද අයියේ, එහෙම සීන් එකක් නැහැ. ඒකනේ මම අම්මට කෝල් කරේ, ආපු ගමන්ම”

මට උඹව තේරෙනවා, උඹට කවදාහරි කියන්න හිතුන දවසට කියපං, ඒත් මතක තියා ගනින් කොහෙවත් ඉන්න කෙල්ලෙක් නිසා ජීවිතේ පාර වරද්ද ගන්න එපා. උඹලට තාම මොන වයසක්ද?”

මම දන්නවා අයියේ”

ඒක හොදයි, මම පොඩ්ඩක් ඇතුලට ගිහිල්ලා එන්නම්, බියර් එකක් එවන්නද?”

එපා අයියේ, මම පස්සේ එන්නම් ඩයිනින් පැත්තේ”

හරි, මට තව පැයකින් වැඩ අඩුයි.”

එරංග අයියා ඇත්තටම මගේම අයියා වගෙයි. එයා සචිත්‍රගේ අයියා වුනත් මට පුදුම විදිහට සමීපයි.

අද අම්මගෙන් පාඩම් කරන්න කියලා කරදරයකුත් නැති නිසා මම හිතුවා මුළු රෑ තිස්සේම හොදට හිතලා තීරණයක් ගන්නවා කියලා.

මේ වැඩේ මේ විදිහට දිගටම අරගෙන යන්න බැරි තරමට හිතට බරක්.

මම සෑහෙන වෙලාවක් කාමරේට වෙලා කල්පනා කළා මොනවද කරන්න ඕනේ කියලා.

ජීවිතේ පළමු වතාවට හිත ඇදිල ගිය කෙල්ල වුනේ ලයාංගි.

ඒත් ඒක ලොකු ආකර්ෂණයක් නෙවෙයි. මම ලයාංගි දිහා බලන්න පෙළඹුනේ සචිත්‍ර කියපු නිසා. මම මොනවද ලයාංගි ගැන දන්නේ, අඩුගානේ එයාගේ හිතේ මාව මතක තියෙන්න තරම් කාලයක් මම එයාව ආශ්‍රය කළේවත් නැහැ. අනිත් එක මම එයාව ආශ්‍රය කළා වුනත් එයා මට ආදරය කරයිද? එයාගේ හිතේ වෙන කෙනෙක් ඉන්නවද? මේ කිසිම දෙයක් නොදැන මම තවදුරටත් ලයාංගි ගැන බලාපොරොත්තු තියා ගෙන ඉන්න එක හොද දෙයක්ද?

ඒත් දිනි, එයා මට පොඩි කාළෙ ඉදලම සමීපයි. මම එයාගේ ගතිගුණ, හොද නරක, සිතුවිලි යම් තරමකට දන්නවා. එයා ඉන්න විදිහ, එයාගේ යාළුවෝ, දෙමව්පියෝ, ඒ හැම දෙයක්ම මම දන්නවා. අනිත් වැදගත්ම දේ තමයි දිනි මට ආදරේ කරන බව මම දැන් දන්නවා. ඉතින් තරාදියේ මේ දෙන්නගෙන් බර වැඩි දිනිගේ පැත්තට.

ඒත්………

මම දිනිගේ හැම දෙයක්ම දන්නවද. අඩුම තරමින් මම එයා මං ගැන හිතුව විදිහවත් දැනගෙන හිටියද, උත්තරේ නැහැ කියන එකයි. එයා මට මේ තරම් ආදරය කරද්දිත් මම ඒ ගැන දැනගෙන හිටියේ නැහැ. මම එයාගේ හිත කවදාවත් අදුරගත්තේ නැහැ. අනිත් එක දිනි දන්නවා මම ලයාංගි ට කැමැත්තෙන් හිටි බව.

මේ විදිහට කල්පනා කරල බලනකොට නම් තරාදියේ දෙපැත්තම එක සමානයි!

තුන්වන කාරණය තමයි මේ දෙකෙන්ම ඈත් වෙලා හිටපු විදිහට ම ඉන්න එක. ස්පෝර්ට්ස් කරගෙන, ඉගෙන ගන්න එකත් හොදට කරගෙන, කොලු කාලෙ කරන්න පුලුවන් පිස්සු වැඩ කරගෙන ආදරය කියන දේ ඔලුවට ගන්නේ නැතුව ඉන්න එක.

ඒත් දැන් මම කොහොමද එහෙම කරන්නේ. ආදරය මොන තරම් ලස්සනද, ගැහැණු ළමයෙකුගේ ස්පර්ශය, ඒ හැගීම් මොන තරම් සුන්දරද කියන එක මට දැනිලා තිබුන නිසා, ඒ සුන්දරතාවයෙන් ගැලවෙන්න කැමැත්තක් මගේ තිබුණේ නැහැ.

පැය දෙකක් විතර ගතවුනාට පස්සේ එරංග අයියා මගේ කාමරේට කෝල් එකක් දුන්නා. ඒ වෙනකොට වෙලාව රෑ දහයට විතර ඇති.
මල්ලි, වරෙන් මගේ රූම් එක පැත්තේ, පොඩි ඩ්‍රින්ක් එකක් තියෙනවා.”

මම හිතාගෙන හිටියේ නම් අද බොන්නේ නැහැ කියලා, ඒත් මේ දේවල් වල පැටලුම වැඩිවෙන්න වැඩිවෙන්න මට හිතුනා හොදට දෙකක් දාලා නිදා ගත්තා නම් අද ඉවරයි කියලා.

දිනිගේ ප්‍රශ්ණයට මොකද කරන්නේ කියල තීරණයක් නැතුවම මම එරංග අයියාගේ කාමරයට ගියා.

එතන බැල්කනි එකේ හැම දෙයක්ම සූදානම් කරලා.

එරංග අයියා පොඩි ඩ්රින්ක් එකක් කිව්වට අද නැතිවෙන්නම ගහන්න වගේ යන්නේ. මට හිතුනා.

ජොනී වෝකර් බෝතලයයි, සෝඩා බෝතලයයි, කෝක් එකයි, අයිස් කැට පුරවපු කන්ටේනර් එකයි, තව බයිට් එකට කෑම පීරිසි දෙකකුයි එතන තිබුනා.

එරංග අයියා,මොකද අද විශේෂ?”

විශේෂයක් නෑ බං, මම උඹ එක්ක අවුරුද්දකින් විතර සෙට් වුනෙත් නැහැනේ”

ඊයෙත් ගහලා අදත් මේක ගැහුවොත් නම් දවස් දෙක තුනක් නැගිටගන්න බැරි වෙයි වගේ?”

ටිකක් බීපං”

මම වැඩියි වගේ කිව්වත් හිතේ තිබුණ නොසන්සුන් කමටද දන්නේ නැහැ පැයක් විතර යනකොට බෝතලෙන් බාගයක් විතර ඉවරයි, ඒකෙනුත් හතරෙන් තුනක්ම ගත්තේ මම.

මොකද මල්ලි උඹට වෙලා තියෙන්නේ, ඔහොම බොන්න එපා යකෝ. ප්‍රශ්නයක් තියෙනවනම් කතා කරමු. කතා කරල විසදමු. ඇල්කොහොල් වලින් ප්‍රශ්න දියකරල දාන්න බැහැ”

ඒත් මට ඕන වුනේ හොදටම බොන්න, එරංග අයියා මට ඒක කරන්න දුන්නේ නැහැ.

මල්ලි යං අපි කමු, අර ඩයිනින් එකේ වැඩ කරන වුන් අපි එනකං යන්න විදිහක් නැතුව ඉන්නවා”

එහෙම කියල එරංග අයියා මාත් එක්ක යන්න පිටත් වුනා. කලින් දවසෙත් බීපු නිසාද කොහෙදෝ මට හොදටම වැඩියි වගේ. කොහොමහරි අපි පැයක් විතර එතනත් ගත කරලා, නැගිටින්න හදනකොටම වේටර් කෙනෙක් දුවගෙන ආවා.

සර්ට කෝල් එකක්”

මට?”

මම පුදුමෙනුත් පුදුම උනා.

මම අද මෙතන ඉන්න බව කව්රුවත් දන්නේ නැහැ.

මට කව්ද කතා කරන්නේ?”

නම කිව්වේ නැහැ සර්, ගැහැණූ කටහඩක්”

මට හිතාගන්න බැරිවුනා. කෝල් එකට උත්තර දෙන්න ගියොත් කවුරු නමුත් මම මෙතන බව දැනගන්නවා. සමහර විට අම්මා හිතේ සැකේට කතා කරනවද දන්නේ නැහැ.

ඒත් මම ගිහිල්ල බලන්න හිතා ගත්තා.

මම රිසීවර් එක කනට තියලා කටහඩ ටිකක් වෙනස් විදිහට “හලෝ” කිව්වා.

එහා පැත්තේ ඉදලා ලස්සන කටහඩක් කතා කළා.

කාවින්ද අයියේ”

මම ආයෙත් මොහොතකට ගොළු වුනා, කව්ද මේ කියල හිතා ගන්න බැරිව.

හෙලෝ කාවින්ද අයියද කතා කරන්නේ?

ඔව්, කව්ද මේ?

මහ රෑ දොලහට විතර කව්ද කෙල්ලෙක් මට කතා කරනවා. මම නිකං හොල්මන් වෙලා ගියා.

අයියේ, සමාවෙන්න මේ වෙලාවේ කතා කළාට, මම ලයාංගිඔයාට මතක ඇති නේද මාව?”

මට නිකං උතුර දකුණ මාරු වුනා වගේ වුනා. ලයාංගි මොකද මේ වෙලාවේ මට කතා කරන්නේ. එයා මාව දන්නේ දවස් කීයද, අනිත් එක මම මෙතන ඉන්න බව අම්මවත් නොදන්නකොට කොහොමද එයා දන්නේ? මේ වගේ දාහක් ප්‍රශ්න මගේ ඔලුවට ආවා.

අයියේ, මම මේ වෙලාවේ කතා කළාට තරහ වෙන්න එපා, මට ඔයාට කියන්න හදිසි පණිවිඩයක් තියෙනවා”

නෑහ්  ලයාංගි මම මොකටද තරහ වෙන්නේ, කියන්න මොනවද මම කරන්න ඕනේ?”

අයියේ ඒක මෙහෙම කියන්න බැහැ. මම හෙට රෑ ලංකාවෙන් යනවා ටික කාලෙකට, ඊට කළින් මට ඔයාව මුණ ගැහිලා කතා කරන්න ඕනේ.”

හරි, ඒත් ඇයි මේ හදිස්සියේ?”

හදිස්සියක් නැහැ අයියේ, ඒත් මම ඹයාට කතා කරන්නම ඕනේ යන්න කලින්, මම උදේ ඉදලා හොයලා හොයලා බැරිම තැන දිනි නංගිට කතා කරලා තමයි ඔයාගේ නම්බර් එක හොයා ගත්තේ. ඒත් එයා හොයලා කිව්වා ඔයා ගෙදර නැහැ ඉන්නේ මෙතන කියලා. ඉතින් මම රෑ කියල බලන්නෙත් නැතුව ඔයාට කෝල් කළේ ඒ නිසා”

හොදයි ලයාංගි, මම හෙට එන්නම්”

ඔයා ඉස්කෝලෙ යනවා නේද, කොහොමද උදේ එන්නේ?”

නෑ මම යන්නේ නෑ හෙට, කියන්න කොහෙටද එන්න ඕනේ?”

මම ඕලු එකේ ඉන්නම්. එතනට උදේ දහයට එන්න”

ඕලු එක?”

ඔව්, බය වෙන්න එපා ඕලු එක මගේ රිලේෂන් කෙනෙකුගේ, ඔයා ඇතුලට ඇවිල්ල මාව අහන්න”

ඕකේ, මම එන්නම්”

මම තියන්නම් කාවින්ද අයියේ, ගුඩ් නයිට්”

ගුඩ් නයිට්”

මොකක්ද මේ වෙන්නේ? ලයාංගි මම ඉන්න තැන දැනගෙන තියෙන්නේ දිනිගෙන්. එයාට මොනවා හිතෙන්න ඇද්ද?

අනිත් එක දිනි කොහොමද දන්නේ මම මෙතන ඉන්න බව?

දිනිට නම් පුදුම ඉවක් තමා තියෙන්නේ. එයාට මම හිතන දේවල් දැනෙනවද කියලා මට සැකයි.

මේ වෙන දේවල් වලින් මගේ ඔලුව හොදටම අවුල් වෙනවා.

ලයාංගිට තියෙන උවමනාව මොකක්ද මාව හම්බවෙන්න, නැතත් ඇයි එයා මේ හදිස්සියේම ලංකාවෙන් පිටවෙන්නේ. ඊට කලින් ඇයි මාව හම්බවෙන්න උත්සහ කරන්නේ? මේ කිසිම ප්‍රශ්නයකට උත්තර නැහැ.

හොදම දේ තමයි හෙට වෙනකම් ඉදලා ලයාංගිගෙන්ම ඒක දැනගන්න එක. මට එහෙම හිතුනා.

ඒත් දිනි මොනවා හිතනවා ඇද්ද? පුදුම කෙල්ලෙක්, මේ තරම් මට ආදරේ කරලත් ලයාංගි අහපුවාම කොහොම හරි මම ඉන්න තැන එයාට හොයල දීල.

මේකට වෙන්න ඇති නියම ආදරේ කියන්නේ, මට එහෙම හිතුනා.

අර කතාවකට කියන්නේ හිත යකාගෙ කම්මල වගේ කියල, මගේ හිතත් අන්න ඒ වගේ කියල මට දැනුනා.

නිදාගන්න ගියත් නින්ද අහලකටවත් එන්නේ නැහැ. බැරිම තැන එරංග අයියට කියල තව බියර් දෙකක් ගෙන්නගෙන බීල නිදා ගත්තා.

උදේ මම නැගිටිනකොට 9 ත් පහුවෙලා, ඉක්මනට නාලා, ඇදගත්තා, එරංග අයියගේ මෝටර් බයිසිකලයත් ඉල්ලගෙන ඉගිලුනා ලයාංගි එන්න කියපු තැනට.

මම යනකොට ලයාංගි බලාගෙන හිටියා.

සොරි, ටිකක් පරක්කු වුනා නේද?”

නැහැ, මමත් දැන් ආවෙ”

මේ ප්ලේස් එක ඔයාගෙ කාගෙද?”

ආ…….. මගේ අයිය කෙනෙකුගේ. පුංචි අම්මගේ පුතාගේ”

ඇත්තද? මම අදයි දන්නේ”

ඔයා මීට කලින් මෙහේ ඇවිල්ල තියෙනවද?”

මොනවා කියන්නද, අපි බොන්න සෙට් වෙන එක තැනක් තමයි මේක

, මේ….. ඔව්, කාගේ හරි යාළුවෙකුගේ බර්ත් ඩේ එකක් වගේ සෙලිබ්රෙට් කරන්න වගේ වුනාම එන්නේ මෙහෙට තමා.”
බොන්න නේද?”

බොන්න විතරක්ම නෙවෙයි, මං කිව්වේ අපි බියර් එකක් විතරනේ බොන්නේ.”

මම හිතුවා”

ඔයා දැන් ආවා කිව්වනේ, ඉන්න මම බොන්න මොනවහරි ඕඩර් කරන්න”

මම එහෙම කිව්වට මගේ අතේ තිබුණේ රුපියල් 100, ඊයෙ පුහුණුවීම් වලින් පස්සේ ආපු ගමන් තාම ගෙදර ගියේ නැහැනේ.
ඒක හරියන්නේ නැහැනේ, මමයි ඔයාට එන්න කිව්වේ, මම ඕඩර් කරන්නම්”

යන්තම් ඒකෙනුත් බේරුණා.

ලයාංගි මගේ දිහාම බලාගෙන ඉන්නවා. කිසිම දෙයක් කියන්නේ නැහැ. ඒත් මට නොඉවසිල්ලක් තිබුණේ එයා මට එන්න කිව්ව  හේතුව දැන ගන්න.

ඒත් මම ඉස්සරවෙන්න හොද නෑ කියලා හිතල මමත් අහන්නේ නැතුව හිටියා.

ටිකකින් ලයාංගි කතා කළා.

“යූ මස්ට් බී වොන්ඩරින් වයි අයි ආස්ක්ඩ් යූ ටු මීට් මී?

“යර්ස්, අයි ඇම් ටෝටලි සර්ප්‍ර‍යිස්ඩ්“

ඔය විදිහට කතාව ඇදිල ගියා.

 “ලයාංගි, මම ඇත්තම කියන්නම්. මම ඔයාව දන්නේ බොහොම ළගදි ඉදලා, දවස් දෙක තුනකට වඩා කතා කරලත් නැහැ. අනිත් එක අපි දෙන්නා එකිනෙකා ගැන දන්නේ බොහොම අඩුවෙන්, ඉතින් ඔයා මේ විදිහට මට එන්න කියපු එක ඇත්තටම පුදුමයක්.”

මම දන්නවා, සාමාන්‍යයෙන් ග්ර්ල් කෙනෙක් බෝයි කෙනෙකුට මේ වගේ එන්න කියන්නේ නැහැ, ඒත් මම අනිත් අයට වඩා වෙනස් කාවින්ද අයියේ.”

ඒක මට ප්‍රශ්නයක් නෙවෙයි.”

මම ඔයාට එන්න කිව්වේ, මම සෑහෙන කාලෙක ඉදලා ඔයාට කතා කරන්න හිතා ගෙන හිටපු නිසා.”

ඔව්, ඉතින්?”

අද මගේ තාත්ති පෝස්ටින් එකකට රෝම් වලට යනවා. තාත්ති වැඩ කරන්නේ ෆොරින් මිනිස්ට්‍රි එකේ. ඉතින් ලබන මාසේ ඉස්කෝල නිවාඩු නිසා අපිත් ඒ එක්ක යනවා.”

ලයාංගිගේ තාත්තා රස්සාව කරන්නේ විදේශ අමාත්යාංශයේ බව මම දන්නේ දැන්.

ඉතින් ඔයා ආපහු එනවනේ?”

එන්න තමයි හිතාගෙන ඉන්නේ, ඒත් මට එහේ හොද ඉස්කෝලයක් හම්බවුනොත් එන්න වෙයිද කියන්න අමාරුයි”

ඒකත් එහෙමද?”

ඔව් අයියේ. ඒත් මම එන්න කිව්වේ මේක කියන්න නෙවෙයි”

එහෙනම්?”

මතකද මම ඔයාට මීට් එකක් දවසක සචිත්‍ර කියන ඔයාගේ යාළුවා අතේ පනිවිඩයක් එව්වා මම ඔයාට කතා කරන්න කැමතියි කියලා?”

ඔව්”

ඒත් ඔයා මට කතා කළාම මම ගණන් ගත්තේ නැහැ”

ආ… ඒක සිම්පල්”

ඒක ඇත්ත, ඔයා හිතන්න ඇති මම ඔයාව සවුත්තු කරන්න බොරු පනිවිඩයක් එව්වා කියල”

ඉතින්?”

ඇත්තටම මම සෑහෙන කාලෙක ඉදලා ඔයාව දැකල තිබුනා. මීට් වලදි ඔයා ඉන්න විදිහ දැකලා තිබුනා, අනිත් එක ඔයා අනිත් පිරිමි ළමයින්ට වඩා ටිකක් වෙනස් විදිහට ඉන්න බව මම දැක්කා. මගේ යාළුවෝ නම් කිව්වේ ඔයා මහ ආඩම්බරකාරයෙක් කියලා, පරම්පරා, කුල මල ඔළුවේ තියාගෙන ඉන්න පරණ තාලේ කොල්ලෙක් කියලා, ඒත් මම ඔයාව දැක්කේ වෙනස් විදිහකට”

ඉතින්?”

ඉතින් අයියේ මමත් නොදැනීම, මම ඔයාට වචනයක්වත් කතා කරල නොතිබ්බත් මම ඔයා ගැන හිතනවා කියලා මට දැනුනා. වරදවා හිතන්න එපා මට ඕනෙ වුනා හැමෝම ආඩම්බරයි කියල කියපු කාවින්දව මගේ යාළුවෙක් කරගන්න”

හ්ම්”

ඒ නිසා තමයි මම ඔයාට කතා කරන්න ඕනෙ කියලා ඔයාගෙ යාළුවට කිව්වේ.”

ඉතින් මම කතා කළානේ?”

ඔව්, ඒත් මම ඔයාව මග හැරියා. එදා ගෙදර ගිහිල්ලා මම සෑහෙන්න දුක් වුනා මම කරපු වැඩේ ගැන”

මට ඕන වුනා ඔයාගෙන් සමාව ගන්න”

අයියෝ ඒක සුලු දෙයක් ලයාංගි”

ඔයාට සුළු දෙයක් වුනාට ඒක මගේ හිත නොසන්සුන් කළා, ඉතින් මම ට්‍රයි කළා ඔයාව හම්බවෙන්න. දවසක් අහම්බෙන් ටෙන්ඩ්රිල්ස් එකේදි ඔයාව හම්බවුනා, ඒත් මගේ යාලුවෝ ඉද්දි මම කොහොම කතා කරන්නද?”

ඔයාගේ යාළුවෝ එදා මම දැක්කේ නැහැනේ”

හිටියා, ඔයාව දැකලා මමයි ඒ අයව මගහැරලා ඔයා ළගට ආවේ, ඒත් එතන මේ වගේ කතාවකට සුදුසු නැහැනේ”

හොදයි, දැන් මොනවද ඔයා බලාපොරොත්තු වෙන්නේ?”

මම ආයෙත් අන්ධයෙක් වගේ වෙලාද කියල මට හිතුනා. මේ කෙල්ල මේ කියන්න හදන්නේ එයා මට කැමතියි කියලද? ඒත් තවම මට එයාව පැහැදිලි නැහැ. ඒ නිසා හොදම දේ එයාගෙම කටින් ඒක දැනගන්න එක.

ලයාංගි, ඇත්තටම එදා සචිත්‍ර කිව්ව නිසා තමයි මම ඔයාට කතා කළේ, එහෙම නැතුව වෙන කිසිම අදහසකින් නෙවෙයි. ඒත් සචිත්‍ර හිතාගෙන හිටියේ ඔයා මට කැමැත්තෙන් කතා කරන්න හදනවා කියලා. ඒත් එදායින් පස්සේ, ඒ කියන්නේ ඔයා මාව ඉග්නෝ කළාම මම හිතුවා ඇයි මම මේ කෙල්ලෙක් පස්සේ ගිහින් සවුත්තු වෙන්නේ කියල. ඒ නිසයි මම පැත්තකට වෙලා හිටියේ”

මට ඔයාට ලංවෙන්න හිතෙන්නෙත් ඔයාගෙ ඒ ගතිගුණ නිසාම තමයි”

දැන් ඔයා හදිසියේම මට කියන්න තියෙනව කිව්වේ මොනවද?”

කාවින්ද?”

ලයාංගි පළමු සැරේට මට නම විතරක් කියල කතා කළා

ඇයි?”

මම ඔයාගෙන් එක දෙයක් අහන්නම්, මාව වරදවා තේරුම් ගන්නේ නැතුව මට අවංකව උත්තරයක් දෙනවද?”

මම බොරු කියන්නේ මොකටද, අහන්න”

ඔයාට ගර්ල් කෙනෙක් ඉන්නවද ආදරේ කරන, නැත්නම් ඔයා කාට හරි දැන් ආදරේ කරනවද?”

ඒ ප්‍ර‍ශ්ණයෙන් මම ගැස්සිලා ගියා. මම බලාපොරොත්තු වුනේ නැහැ මේ විදිහේ කෙලින් ප්‍රශ්නයක්.

මොනවද මම කියන්නේ. නැහැ කියනවද? ඒත් දිනි. එයා මට ආදරේ කරන බව ඇත්ත ඒත් මම එයාට ආදරේද. උත්තරයක් දෙන්න බැරුව මම හිරවුනා.

ඇයි කල්පනා කරන්නේ, මගේ බය සාධාරනද?”

මොන බයද?”

ඔයා වෙන කෙනෙකුට ආදරේ කරනවද?”

ඇයි ඒක ඔයාට බයක් වෙන්නේ?”

හලෝ මිස්ටර් කාවින්ද තාම ඔයා මගේ ප්‍රශ්නෙට උත්තර දුන්නේ නැහැ.”

හ්ම් මොනවද මම කියන්නේ ලයාංගි. මම මේ වෙනකම් කිසිම කෙනෙකුට ආදරේ කරල නැහැ. ඒත් එක ගර්ල් කෙනෙක් මට ආදරේ කරනවා.”

ඔයා එයාට ආදරේද?”

මම දන්නේ නැහැ”

කවදාහරි ඔයා එයාට කැමති වෙයිද?”

ඒකත් දන්නේ නැහැ”

ඔයා හරි අවංකයි අයියේ. මම දැනගෙන හිටියා ඔය බව. ඒත් මම හිතුවා ඔයා මට මොනවා කියයිද කියලා”

මොනවද ඔයා දැනගෙන හිටියේ?”

දිනි නංගි ඔයාට ආදරේ කරනවා කියලා අපේ කොලෙජ් එකේ ගොඩක් අය දන්නවා. ඔයා ගොඩක් දවස්වලට එයාව හම්බවෙනවා කියලත් දන්නවා”

අනේ ලයාංගි ඒක නම් බොරුවක් අපි දෙන්නා අතර එෆෙයාර් එකක් නැහැ. එයා මගේ කසීන් කෙනෙක් ඒ නිසයි මම එයාව හම්බවුනේ. පොඩි කාලෙ ඉදලා අපි හොදම යාළුවෝ”

ඒත් දිනි ඔයාට ආදරෙයිනේ?”

ඔව්, ඒක මම දන්නේ ළගදි”

එතකොට ඔයා?”

මම දන්නෑ ලයාංගි, මම කවදාවත් දිනි ගැන එහෙම හිතලා නැහැ”

මට දැනගන්න ඕන වුනේ එච්චරයි කාවින්ද, මම දැන් යන්න ඕනේ”

ඉන්න ඇයි ඔයා මේව ඇහුවේ කියල මට කිව්වේ නැහැනේ”

ඔයාට මම ලියුමක් තියල ඇති මගේ යාළුවෙක් ගාව, හෙට ඔයාට ඒක ලැබෙයි. ඒක කියෙව්වහම ඔයාට මාව තේරුම් ගන්න පුලුවන් වෙයි”

ඒත් ඇයි ලියුම්, අපි හම්බවුන එකේ ඒකත් කියන්න ලයාංගි”

මට සමාවෙන්න කාවින්ද, මගේ හිත එච්චර හයිය නැහැ”

එහෙම කියපු ලයාංගි යන්න නැගිට්ටා.

ඕල් ද බෙස්ට්, හැව් එ නයිස් ජර්නි”

මම කිව්වා

එයා නැගිටලා මම හොල්මන් වෙලා බලාගෙන ඉදිද්දි මට හග් (hug) එකක් දුන්නා.

ඊට පස්සේ යන්න ගියා.

මේ මොකක්ද වුනේ. මම නිකං කරකවලා අතහැරියා වගේ.

මම ලයාංග යන දිහා බලාගෙන හිටියා.

ලයාංගි ඇත්තටම ලස්සනයි.

වෙන කෙල්ලොත් එක්ක බලනකොට නම් අමුතුම වෙනසක් තියෙනවා. එකක් එයාගේ උස, ස්පෝර්ට්ස් කරන නිසාද වෙන්න ඇති එයා අනිත් අයට වඩා උසයි වගේම ලස්සන ෂේප් ඇඟක් තියෙනවා. ඇදුම් අදින්නේ වුනත් ටිකක් වෙනස් විදිහට. ටිකක් පොෂ් ලුක් එකක් තියෙන විදිහට තමයි ඇදුම් පැලඳුම් කරන්නේ.

මම දැනුවත්ව ම කීප දෙනෙක්ම ලයාංගිගේ කැමැත්ත ගන්න උත්සහ කරනවා. ඒත් මම දන්න විදිහට එයා කිසම කෙනෙක් එක්ක කතා කරන්නෙවත් නැහැ.

මේ මොන දේ තිබුනත් මම ලයාංගි දිහා පළමුවෙන්ම බැලුවේ සචිත්‍රගේ උවමනාවට, කතා කළෙත් ඒ නිසා. ඒත් කීප දවසක් ගියාට පස්සෙ නම් මගේ හිතෙත් පොඩි හැඟීමක් ඇතිවුනා.

ඒත් දැන් මේ වෙන්න යන්නේ මොකක්ද?

මම මුලින්ම කෙල්ලෙක් දිහා ආදරය සම්බන්ධ කරලා බැලුවේ ලයාංගි දිහා, ඒත් මගේ ජීවිතේ පළමු වතාවට ආදරෙයි කියලා කිව්වේ දිනි. මේ හැම දෙයක්ම වුනේ බොහොම කෙටි කාලයකදි.

ලයාංගි මාව මුණගැහිලා කතා කරලා ගියත් එයාගේ මේ ගමනේ අරමුණ මොකක්ද කියන එක මට සම්පූර්ණ ප්‍රහේලිකාවක්.

ඇයි එයාට ඕනෙ වුනේ මං ගැන විස්තර හොයන්න මේ හදිස්සියේ. ඇයි මට කතා කරලා කියන්න පුලුවන් වෙලාවේ එහෙම නොකර ලියුමක් ලියල එයා ලංකාවෙන් ගියාට පස්සේ මගේ අතට ලැබෙන්න සලස්වලා තියෙන්නේ? මේ කිසිම දෙයක් මට උත්තර නැති ප්‍රශ්ණ.

මම බයික් එකේ නැගල ටවුමට ගියා. ගෙදර යන්න හිතකුත් නැහැ. ඉස්කෝලෙ ඇරෙන්නත් තව පැය තුනක් විතර තියෙනවා. සචියා එහෙම ඉස්කෝලෙ ඇරිලා නුවරට එනකොට කොහොමත් තුන හමාරවත් වෙනවා. එතකං මම මොනව කරන්නද?

මම කරන්න දෙයක් නැති කමට පැලස් එකට ගියා. හයිලන්ඩ් කිරි එකකුයි සිගරට් එකකුයි අරගෙන වාඩිවුනා මේසයක් ළඟ.

සිගරට් එක පත්තු කරන්න හදනකොටම……

අඩෝ, සිගරට් බිව්වහම ප්‍රශ්ණ වලින් ගොඩ එන්න බැහැ

මම බලනකොට සචිත්‍ර, අමිල, චතුර තවත් ඉස්කෝලෙක අපේ යාළුවෝ වෙන එවුන් සෙට් එකක් එක්ක සිගරට් කීපයකුත් පත්තු කරගෙන ඉන්නවා

යකෝ, යුනිෆෝම් එක චාටර් කරන්න එපා”

මම කිව්වා

යුනිෆෝම් චාටර් වෙන්න අපි බබ්බුද, නිකං පලයං ඩෝ උඹල ගේ පැනි හැලිල්ල නිසා තමයි ඉස්කෝලෙ නෝන්ඩි වෙන්නේ. උඹව අනිත් ඉස්කෝල වල හැම එකාම දන්නවා, කෙල්ලොත් දන්නවා, මහ ලොකුවට ……… කොලෙජ් එකේ කියලා… ඒ වුනාට උඹ රෑ තිස්සේ ගෙදර යන්නේ නැතුව කෙල්ලන්ගේ රෙද්ද අස්සෙයි, බාර් වලයි……………….”

චතුරගේ කටට මොනව වෙලාද දන්නේ නැහැ. වටපිට ඉන්න මිනිස්සුත් බලනවා.

සචිත්‍ර හෙමිහිට මගේ ළඟට ආවා.

බූරුවා… මොකද යකෝ කරන්නේ, ඉස්කෝලෙ එන්නෙත් නැහැ, ක්ලාස් එකකටවත් යන්නෙත් නැහැ, ප්‍රැක්ටිස් වලට යන්නෙත් නැහැ. මොකක්ද බං උඹ කරන්න හදන්නේ?”

මම කතාවක් නැතුව හිටියා

එක අතකට මගෙයි වැරැද්ද, අපරාදෙ මම උඹට ලයාංගි ගැන වුනත් කිව්වේ”

නැහැ සචියා, මම පිස්සු කෙලින්නේ නැහැ.”

නැත්තේ මොකද බං, උඹ මොනවද මේ කරන්නේ, උඹ ක්‍රිකට් රගර් දෙකම නැවැත්තුවේ ඉගෙන ගන්න නේද, ඒත් දැන් මොනවද කරන්නේ, කැම්පස් යන්න තියා පාස්වෙන්නවත් පුළුවන් වෙයිද ඔය විදිහට?”

මූ මේ බයිල කතා කරනවා. අපිට කැම්පස් යන්න නම් ඉතින් අපිම තමයි ප්‍රශ්ණ පත්තර බලන්න ඕනෙත්.

නෑ බං, කැම්පස් යන එකනම් මම බලාගෙන ඉන්න දෙයක් නෙවෙයි, මට ඕනේ ටිකක් හරි හොදට පාස්වෙලා ස්පෝර්ට්ස් මොනවහරිත් කරලා මාකටින් සයිඩ් එකේ යන්න”

යකෝ මොන මගුල කරන්නත් දැන් විභාගේ පාස් වෙන්න බලපං”

පිස්සු නැතිව හිටපං බං, තව අවුරුදු එක හමාරක්ම තියෙනවනේ, මම දාගන්නම් ගේමක් නැතුව”

එහෙනම් හොදයි. යකෝ උඹ තමා කොලෙජ් එකෙන් 4 වෙනියට හොදටම ඕ ලෙවල් පාස් වුනේ, මී හරකෙක් වෙන්න එපා.”

අපේ කතාව අහගෙන හිටපු බොනී, කතා කළා.

මචෝ කාවා, අපිට කැම්පස් යන්න ස්පෝර්ට්ස් වලින් ලකුණු දෙනවා නේද?”

ඔව්”

කීයක් විතර දෙනවද?”

දන්නෑ බං, ඒත් මං හිතන්නේ අඩුම ගානේ නැෂනල් කලර්ස් වත් තියෙන්න ඕනේ“

ඉතින් බං මට හය පාරක් තියෙනවා, උඹට මං හිතන්නේ අනිත් ස්පෝර්ට්ස් දෙකත් එකතු කළොත් ඊටත් වැඩී, නිකම්ම කැම්පස් යන්න පුලුවන්”

මූ හිතන් ඉන්නේ විභාගෙට ලකුණු සීයක් විතර අරගෙන ඉතුරු ඔක්කොම මේවයින් ගන්නද දන්නෑ

අනේ ගොනෝ, එහෙම ලකුණු දෙන්නෑ, උඹ දහපාරක් නැෂනල් ගියා කියල ලකුණු සීයක් දෙන්නේ නැහැ. යන්තං ලකුණු පහක් හයක් අඩුවුනොත් ඒක දෙනවා”

ඒක හරි අසාධාරණයිනේ බං,අපි මැරිල මැරිල ඉස්කෝලේ නම දිනවලා දෙනවා මුං දෙන්නේ ලකුණු දෙකයි”

නැත්තං යකෝ උඹ වගේ මැටි අල කැම්පස් ගියොත් ඒවත් වහන්න වෙනවනේ”

මම ආයෙත් කල්පනාවට වැටුනා

මූ කියනව වගේ විභාගෙ පාස් වෙන්නත් ඕනේ.

ඒත් කැම්පස් යන්න නම් මගේ ලොකු බලාපොරොත්තුවක් නැහැ.

පොඩි කාලෙ ඉදලම මම ඉගනෙගන්න දක්ෂයි හැබැයි හොදටම කම්මැලියි. පන්තියේ පස් වෙනියගෙන් පහළ ගියේ නෑ කවදාවත්. ඒත් වැඩිපුරම හිත තිබුණේ ක්‍රීඩා වලට තමා. ඉස්කෝලේ ක්‍රිකට් කණ්ඩායමට සහ බාස්කට්බෝල් කණ්ඩායමට ක්‍රීඩා කළා. ඒක ඇති වුණාම රග්බ් සෙල්ලම් කරන්න පටන් ගත්තා. ඒ ලෙවල් නිසා ඒ ඔක්කොම අතහැරලා 11 පහළ ඉදළම මට හොදටම පුළුවන් මළල ක්‍රීඩා වලට කාලය වෙන්කළා. තවම වුනත් මැච් එකක් තියෙනවා නම් මොන වැඩේ තිබුනත් දාලා ඒක බලන්න යනවා. ඒ කාළෙත් එහෙමම තමා.

ඒක නෙවේ කාවා, ලබන සතියේ බිග් මැච් එක, අපරාදේ බලපං උඹ මේ මගුල් නැතුව ඒක කරගනෙ හිටියනම් උඹ මැච් එක ගේමක් නැතුව ගහනවනේ. අපිටත් උඹ ගාණේ බීලා පොඩි චියර් පාරක් දෙන්න තිබ්බා”

ඒකෙන් කමක් නැහැ අපි මේ සැරේ මොකද බං කරන්නේ”

චතුර අහනවා

මොනව කරන්නද, උදේම මැච් එක බලමු. දවල්ට ගිහිල්ලා කොහෙන් හරි නන්න වෙන්න ගහල මොනවා හරි කාලා වැටුන තැන නින්දකුත් දාලා, සවසට ස්කෝර් එක කාගෙන් හරි අහගෙන ගෙදර යමු”

බොනී උගේ දින චරියාව අවංකවම දිගෑරියා.

හරක් කතා කියන්න එපා යකෝ. ගිය පාර බීල මාට්ටු වුනා. හොද වෙලාවට අපි ප්‍රථිපල එනකං ගෙදර හිටපු කාලෙ නිසා ෂේප් වුනා, මේ සැරේ නම් මාට්ටු වුනොත් ඇරියසුත් එක්ක කාලා සදහටම ඉස්කෝලෙ ගමන නතර කරන්න වෙනව”

අවුලකුත් නැහැ ඉතින් මොකද උඹ ඉස්කෝලෙ ගියා කියල මළපොතේ අකුරක් දන්නවයැ. ඕ ලෙවල් කරෙත් වෙන එකෙක් නේ. අඩු ගාණේ බස් ගාස්තුවවත් ඉතුරුවෙයිනේ සිගරට් එකක්වත් ගහන්න”

අඩෝ කැත කතා කියන්න එපා හරිද, මම පාස් වෙන විදිහ උඹ බලාගෙන හිටපං, ඇඩ්රස් නැති වෙන්න”

කාටද උඹටද?”

මුන්ගේ කතාව පටන් ගත්තොත් අර කොටි වලිගේ වගේ තමා ඉවරයක් නැහැ.

වෙනදනම් මම මේ කතාවට සෙට් වුනොත් අනිත් උන්ට කට වහගන්නම දෙනවා. ඒත් අද මට ඒ ගැන හැඟීමක් නැහැ. මම නොදැනුවත්වම මම ආයෙත් කල්පනාවට වැටිල. බොනී කතා තරනකොට තමයි මගේ දැහැන බිදුනේ.

කාවාට නම් මොකක් හරි නන්නත්තාර වෙන ප්‍රශ්ණයක් තියෙනවා බං, එක ඉස්කෝලෙ ඉඳල උඹලවත් දන්නේ නැද්ද?”

අපි කොහොම දැනගන්නද බං, ඌ ගල් ගිලපු හොතඹුවා වගේ උඩ බලාගෙන ඉන්නකොට”

සචිත්‍ර ආයෙත් මට ඇනල කතා කළා.

යකෝ දැන් මෙතන ඉඳලා කාඩ් එකක් හදා ගන්නේ නැතුව යමං”

අපි දෙන්නා අනිත් උන්ටත් කියලා එළියට ආවා.

කාවා උඹ ඊයෙ කොහෙද හිටියේ?”

කොහෙවත් නෑ බං ගෙදර”

බොරු කියන්න එපා යකෝ, උඹ ගෙදර නෑ කියල මම දන්නවා”

ආයෙත් අරකිව බලන්න ගියාද රෑ තිස්සේ?”

කාවද?”

කාවද? දන්නෑ වගේ අහන විදිහ, දිනිව”

පිස්සුද යකෝ”

මේ මචෝ, උඹ මොනව කරනවද කියල මමනම් දන්නේ නැහැ. ලව් කරනවනම් ලව් කරපං නැත්තං අතෑරලා දාලා පාඩුවේ වෙන වැඩක් බලා ගනින්. උඹට දැන් ප්‍රශ්නයක් නෑනේ.”

ඇයි ප්‍රශ්නයක් නෑ කියන්නේ?”

ඇයි බං, දැන් උඹට දිනි ආදරෙයි, උඹ ඒකිට ආදරෙනම් වැඩේ පටන් ගනින්, නැත්නම් උඹ ලයාංගිට නම් කැමති ඒක දාගන්න බලපං, නැත්නතං දෙකම අතහැරලා හිටිය වගේ හිටපං”

ඕව කියන්න ලේසි වුනාට කරන්න ආමාරුයි බං”

අනේ මං දන්නේ නැහැ, උඹට ඕනෙ දෙයක් කරපං”

මම ගෙදර යන්න කම්මැලි නිසා සචිත්‍රටත් යන්න නොදී හවස් වෙනකම්ම ඉදල තමයි ගෙදර ගියේ.

යනකොට අම්මට හොදටම  තරහ ඇවිල්ලා. නවත්තන්නේ නැතුව බනිනවා. බොහොම අමාරුවෙන් අම්මට විහිලුවක් කරලා බෙල්ල බදාගෙන කිස් එකක් එහෙම දීල ෂේප් කරගන්න පුලුවන් වුනා.

තරහනම් අඩුවෙලා, ඒත් බැනිල්ලනම් අඩුවුනේ නැහැ.

මට ගෙදර ගියත් කිසිම හිතේ සැනසීමක් තිබුණේ නැහැ. හෙට වෙනකම් ඉන්න වෙනවා ලයාංගිගේ ලියුම ගන්න. කොහොම නිදා ගන්නද?

මම හිතන්නේ පාන්දර එකට විතර ඇති මට නින්ද යනකොට.

3 comments:

  1. [ටෙන්ඩ්‍රිල්ස්]
    [ඕලු එක]

    දෙය්යනේ මේ මතක හරි වේදනාවක් වගේ මට! :-(

    ReplyDelete
    Replies
    1. ඇයි වේදනාවක් වෙන්නේ....? මටනම් ඒවා සුන්දර මතකයන්...
      ඕලු එක නම් නම වෙනස් කරලා...ඕකේ නම වෙන එකක්...
      කව්ද මේ ලිඛිතා... මට මේ කතාවේ එක ගෑනු චරිතයක් මේ වෙනකොට මග හැරිලා. අවුරුදු විස්සකින් විතර මුණ ගැහිලා නෑ... කව්ද මේ ලිඛිතා...

      Delete
    2. ටෙන්ඩ්‍රිල්ස් වෙනස් කරලා නැහැනේ...!

      මට ඒවා වේදනාවක් දෙන්නේ ඇයිද කියන්න මම දන්නේ නැහැ. වේදනාවක් කියන්නේ වියෝවක්ම නෙවෙයි. සමහර වෙලාවට මම ඒ කාලෙට එතරම්ම ලෝබ නිසා වෙන්න ඇති

      Delete