Recent Post

Monday, May 15, 2017

සදානුස්මරණිය ප්‍රථම ප්‍රේමය ~ මේ ආදරයයි ~ 20


සදානුස්මරණිය ප්‍රථම ප්‍රේමය
මේ ආදරයයි


20.
සෙනසුරාදා දවස පටන් ගත්තේ ටිකක් වැඩිපුර නින්ද ගිහිල්ලා. උදේම ක්ලාස් එකක් තියෙනවා. බොට්නි. තුන් දෙනෙක් විතරක් හිටපු ප්‍රයිවට් ක්ලාස් එකක් නිසා යන්න කම්මැලි කමක් නැහැ. මොකද කෙලින්ම පාඩමට බැහැලා වැඩ කරන්න, ටීචර්ගෙන් කැමති අමු ගොන් ප්‍රශ්ණයක් වුනත් අහන්න ඉඩ තිබුනා.

එදා උදේ හත හමාර වෙනකොට ක්ලාස් එක පටන් ගන්නව වුනත් මම නැගිටිනකොට හතහමාරයි.

“බබා, අද ක්ලාස් යන්නේ නැද්ද? ඉක්මනට නැගිටින්න. මෙන්න ජූස් එක!”

දීප නැන්දගේ සුපුරුදු රෙකෝඩ් එක. අම්මපා මෙයාටත් හැමදාම අවුරුදු ගාණක් මේ එකම දේ කරල, එකම දේ කියල එපා වෙන්නේ නැද්ද මන්ද?

කොහොමහරි මම ඇඳගෙන පහලට එනකොට වෙලාව හතයි පනහයි. බයිසිකලේට පින් සිද්ද වෙන්න මාපනාවතුර ක්ලාස් එක තියෙන තැනට විනාඩි දහයෙන් ආවා.

ලයාංගිව හම්බවෙන්න යන්න තියෙන්නේ එකොළහට. ඊට පස්සේ දිලිනි මිස් මට එන්න කිව්වා‍ දෙකට, ඊට පස්සේ පහට සචියා ඉන්නවා බලාගෙන මම එනකම් ෆිසික්ස් ක්ලාස් එකට යන්න. අම්මපා ඇමති කෙනෙකුටවත් මට තරම් වැඩ නැතුව ඇති. මේව මතක තියාගෙන ඉන්න එකම තෑගි දෙන්න වටින දෙයක්.

බොට්නි ක්ලාස් එකේ ඉඳගන්නකොටම සචියා අඬවැඩියාව පටන් ගත්තා.

“කාවා, යකෝ උඹට මේකටවත් වෙලාවට එන්න බැරිද? උඹ දැන් පන්ති වැඩ අතහැරලම දාලා, යකෝ උඹල තාත්තා වෙලාවක මටත් දානවා ලෙඩක් උඹ නිසා.”

“අඬන්නේ නැතුව හිටපන් බං. මට තියෙන වැඩ වල හැටියට මේ වෙලාවට ආව එකට සතුටු වෙයන්.”

“උඹව නම් හදන්න බැහැ කාවා. විභාගේ ගැන හිතපං. මොනව වුනත් එක ගොඩ දාගෙන කැම්පස් යන්න බලපං. නැත්නම් අපිට ගොඩ යාමක් නැහැ.”

“විභාගේ විභාගේ....... උඹට ඕක ඇර වෙන වචනයක් නැද්ද බං. ඔය මගුල ෆේල් වුනා කියල ලෝක විනාසේ වෙන්නේ නැහැනේ.”

“ඒක ෆේල් වෙලා ලෝක විනාසය වෙනවනම් එකක් බං. ගෙදරට උත්තර දෙන්න වෙන එක ට වඩා ඒක හොඳයි.”

“එහෙනම් කට වහගෙන හිටපං. මොන මගුලක්ද යකෝ... මට දැන් මේ විභාගේ ඇතිවෙලා තියෙන්නේ.”

“අනේ මම දන්නෑ කාවා. උඹට වගේම මටත් ඇති වෙලා තමයි තියෙන්නේ. ඒත් මොනව කරන්නද බං, ඕක කරල පාස් වුන් නැත්නම් අපි අනාතයි බං”

“පිස්සුද බං.  ඒ ලෙවල් ෆේල් වෙලා ජීවිතේ ගොඩ ගිය උන් ඇත්තෙම නැද්ද?”

යන්තම් ටීචර්ට වැඳල වගේ ක්ලාස් එක දහය හමාරට ඉවර කර ගත්තා.‍

“කාවා, මාවත් දාගෙන පලයං බං නිකං ඉන්න එකේ.”

“උඹ හරියට මගේ ගෑනි වගේනේ බං එල්ලිලා කරදර කරන්නේ. පයින් ආවනම් පයින් පලයං. මට ගමනක් තියෙනවා.”

“කාවා උඹ දැන් වෙනස් වෙලා.... තනියම ගමන් වැඩියි. ඉස්සර උඹ මම නැත්නම් ටොයිලට් එකටවත් යන්නැති එකා‍‍‍.... උඹට මොකද වුනේ මගෙ පුතේ.‍”

“බයිල නැතුව හිටපං සචියා.... මම ගියා බායි.”

කොහොමහරි සචියගෙනුත් ගැලවුනා. ඌට මේක ඉව වැටුනොත් කියන කතා අහගෙන ඉන්න එක තමා අමාරුම.”

හරියටම වෙලාවට මම ලයාංගි කියපු තැනට ගියා. මොනව වුනත් කෙල්ලව ආයෙත් දකිනව කියල හිතුවහම පොඩි ගතියක් එනවා ඇඟට.

නුවර ලේක් ෆ්‍රන්ට් එක ළඟ එකම එක කෙල්ලෙක් විතරයි හිටියේ. උස සුදු ලස්සන කෙල්ලෙක්. කොන්ඩෙ ලේයර් විදිහට දාලා ටින්ට් කරල පිටිපස්ස හරවගෙන හිටපු කෙල්ලව දැක්ක ගමන් මම හිතුවා මේ ලයාංගි වෙන්න බැහැ කියල. මොකද කෙල්ල යනකොට මේ වගේ පොෂ් වෙලා හිටියේ නැහැ.

මම ළඟට ගිහින් කෝකටත් කියල බැලුවා.

“ආනේ කාවින්ද අයියේ....”

මේ ඉන්නේ ලයාංගි තමයි. අඳුරගන්නත් බැරි තරමට වෙනස් වෙලා. ලස්සන වෙලා.

“මයි ගෝඩ්... ඔයාව මට අඳුරගන්න බැරිවුනානේ ලයාංගි.”

“මාව අමතකම වෙලා නේද?”

“නෑ.... ඔයා හිතාගන්නවත් බැරි තරමට වෙනස් වෙලා. ඇත්තටම මම හිතුවේ ෆොරිනර් කෙනෙක් කියල.”

“බොරු කියන්න එපා අයියේ... මම ඒ තරම් වෙනස් වෙලා නැහැ.”

“නැත්තේ නැහැ ලයාංගි, ඔයා ඇත්තටම වෙනස් වෙලා. කම්ප්ලීට් චේන්ජ්.‍ ලස්සන වෙලා.”

“තෑන්ක්ස් අයියේ. ඉතින් කියන්න ඔයාට කොහොමද?”

“ෆයින්.... ඔයාට කොහොමද? ඇයි හදිස්සියේ ලංකාවට ආවේ?”

“ඇයි මම ආපු එක ඔයාට කරදරයක් වුනාද?”

කෙල්ල මාරම ෆෝවඩ්. නිකං පොල්ලෙන් ගහනවා වගේ ප්‍රශ්ණ අහන්නේ. මට කටඋත්තර නැතිවුනා.

“නෑ නෑ ලයාංගි, ඔයාව දැකපු එක සතුටක්. මට ඔයා කවදාවත් කරදරයක් වුනේ නැහැ.”

“ඇත්තමද ඔය කියන්නේ?”

“ඔව් ඇයි?”

“නෑ.... මට දැනගන්න ආස හිතුනා කාවින්ද තාමත් මාත් එක්ක කතා කරන්න කැමතිද කියල‍.”

“ඒකෙන් වැඩක් නැහැ... අපි යං කොහේට හරි ටිකක් කතා කරන්න. ඔයා ඔච්චර දුර ඉඳලා ආවේ මාව බලන්නනේ.”

“අන්න හොඳයි අයියේ.... ඒත් අපි කොහේද යන්නේ?”

“යං ගඟ අද්දර එකට.”

“අර ඔයාගේ යාළුවගේ අයියගේ ප්ලේස් එකට නේද?”

“ඔව්. බය වෙන්න එපා. එතන කරදරයක් නැහැ. නැත්නම් ඔයාට වෙන අයිඩියා එකක් තියෙනවද වෙන තැනක් ගැන?”

“දැනට නම් නෑ අයියේ..”

“එහෙනම් යමු.”‍

“ඉතින් කාවින්ද... අයියේ. කොහොමද ඔයාගේ ජීවිතේ?”

“අවුලක් නෑ‍.”

“මට සමාවෙන්න කාවින්ද අයියේ.... මම දන්නවා අපි දෙන්නා අතරේ තියෙන සම්බන්ධය බොහොම පො‍ඩි යාළුකමක් විතරයි කියලා. ඒ වුනත් මම ලංකා‍වට ආයෙත් ආවට පස්සේ මට හිතුන පලවෙනි දේ ඔයාව බලන්න ඕනේ කියන එක.”

“ආ.... ඒකට කමක් නැහැ.... ඒක නෙවෙයි ඉතින් කියන්න ඔයාට කොහොමද? දැන් ඒ ඉස්කෝලේ දාලා මෙහේ ඇවිල්ලා මොනවද කරන්නේ?”

“මම එහේ ගියේ ඉන්ටර්නැෂනල් නිසා දැන් මෙහෙත් ඒ ලෙවල් කරන්න වෙන්නේ ලන්ඩන් සිලබස් එක තමයි. ආයෙත් සිංහල එක ෆලෝ කරලා කරන්න කල් මදි. මම ලබන සතියේ ඉඳලා සීඅයිඑස් එකට යනවා.”

“අපරාදේ නේද... ඔයා හිටපු තැන?”

“ඒක නම් එහෙම තමයි අයියේ... පරණ ඉස්කෝලේ.... යාළුවෝ... මිස්ලා හැමෝම නැතිවෙනවා. ඒත් කරන්න දෙයක් නැහැ.”

“කොහොම හරි කමක් නැහැ... ඔයා ඒක කරන්න. අන්තිමට අපිට මොන දේ තිබ්බත්, නැතිවුනත් ඉගෙනගත්ත දෙයක් නැතිවෙන්‍නෑ”

අපි ඔය විදිහට සෑහෙන වෙලාවක් කතා කර කර හිටියා.

“ඉතින් ලයාංගි... දැන් අපි යමු නේද? මට තව ගමනක් යන්න තියෙනවා. ඊට පස්සේ ක්ලාස්.”

“යමු අයියේ... මම ආසයි පුළුවන් වෙලාවල් වලට ඔයාව හම්බ වෙන්න... ඔයාට කරදරයක් නැත්නම් විතරයි.”

මේක නම් මාරම වැඩක් වුනා. දිලිනි මිස් බලාගෙන ඉන්නේ කොයි වෙලාවෙද මාව මීට් වෙන්නේ කියලා. පුළුවන් නම් හැමදාම එයා එක්ක ඉන්නලු. දැන් ලයාංගි. මේ විදිහට ගියොත් මේ කෙල්ලෝ එක්ක ඉන්නවා ඇරෙන්න මට වෙන වැඩක් කරන්න වෙලාවක් නැතිවෙයි.

“බලමු ලයාංගි.. මම ඔයාව දැක්කොත් කවදාවත් කතා නොකර ඉන්නේ නැහැනේ. ඔයාට ඕනේ වෙලාවක ඕනේ උදව්වක් කියන්න, මම එතන ඇති.”

ලයාංගිගේ හමුවීම නොහිතපු විදිහට ඉවර වුනා. කෙල්ලගේ හිතේ නොකියපු ගොඩක් දේවල් තිබුණ බව මම දැක්කා... ඒත් ඒ දේවල් ඇදලා අරන් ආයෙත් ප්‍රශ්ණ ඇතිකරනවට වඩා  ඒවා එහෙමම යටපත් වෙලා යන එක හොඳයි කියලා හිතල මම කතා නොකර හිටියා.

දැන් ඊළඟ මිෂන් එක දිලිනි මිස්ව හම්බවෙන එක. බලමු එයාට මොනවද කියන්න තියෙන්නේ කියලා.


මම මේ කරන වැඩේ සචියා දැක්කනම් මට විසුමක් වෙන්නෑ. උදේ එක කෙල්ලෙක්, දවල්ට තව කෙල්ලෙක්.

0 comments:

Post a Comment