Recent Post

Friday, May 26, 2017

සදානුස්මරණිය ප්‍රථම ප්‍රේමය ~ මේ ආදරයයි ~ 30


සදානුස්මරණිය ප්‍රථම ප්‍රේමය
මේ ආදරයයි



30.

දිලිනිව හම්බවෙන්න යන්න ඕනේ තුනට විතර... ඒවෙනකම් මට ඉවසිල්ලක් තිබුණේ නැහැ. ඒ ලස්සන ඇස් දෙක තවත් වතාවත් බලන්න මට පුදුම ආසාවක් ඇතිවුනා. මම මොනවා කල්පනා කළත් මටත් නොදැනීම මම කෙල්ලට ආදරේ කරනවා වත්ද?

හරියටම තුනට මම අස්ගිරියේ පොලිස් ග්‍රවුන්ඩ් එක ළඟට ආවා. දිලිනි ඇවිල්ලා හිටියේ නැහැ.

ටික වෙලාවක් ඉන්නකොට මම දැක්කා කෙල්ල එනවා.... මේ කෙල්ල දවසින් දවස ලස්සන වෙනවද දන්නෑ අප්පා. මම එදා දැක්කට වඩා අද ලස්සනයි....

මාව දැක්කහම ඒ මූණේ ලස්සන මලක් වගේ හිනාවත් පිපුනා.

දිලිනි කෙලින්ම ඇවිල්ලා මගේ අතින් අල්ල ගත්තා. එය මගේ අත අල්ලගත්තේ හරියටම මම එයාගේ වගේ.
මම ටික වෙලාවක් අත දිහා බලාගෙන හිටියා.

“කාවින්ද ඇයි අත දිහා බලාගෙන?”

“ඔයා දැන් අහන්නෙවත් නෑ නේද...”

“ඇයි මම එදා ඇහුවේ... ඔයා කිව්වේ මට ඔයාගේ අත අල්ලන්න අහන්න ඕනේ නැහැ කියලා.”

“ඒ කියන්නේ ඩ්‍රැකියුලා වගේ.”

“මොකක්?”

“ඔව්, ඩ්‍රැකියුලාට කාමරේකට එන්න බෑ හිතුමනාපෙට. කව්රු හරි අවසර දෙන්න ඕනේ. හැබැයි පලවෙනි පාර විතරයි. ඊට පස්සේ අහන්නේ නැතුව දිගටම එනවා. එපා කිව්වත් වැඩක් නෑ.”

“අයියෝ ඔයා‍ට දැන් මාව පේන්නේ ඩ්‍රැකියුලා කෙනෙක් වගේද? හරිම නරකයි අනේ.”

“මම එහෙම කිව්වද?”

“ඔය නොකියා කිව්වේ ඒකනේ.”

“නෑ මම ඇහුවේ මගේ අත ඇල්ලුවට කමක් නෑ කියලා මම කිව්වද?”

“ඔව් අනේ... අනිත් එක නාහ ඇල්ලුවත් ඔය තරම් ගණන් උස්සන්න එපා... හරියට අත ඇල්ලුවම ගෙවෙනවා වගේ....”

“ඒ වුනාට....”

“හරි හරි.... ඔන්න අතඇරියා.... ඉන්නවකෝ ආයෙත් අල්ලන්න කිව්වත් අල්ලන්නේ නැහැ..... මහ ලොකු මිනිහා...”

 “දිලිනි කොහේ යන්නද එන්න කිව්වේ?”‍

“මං දන්නෑ... මට එපා වෙලා තියෙන්නේ... ඔයා ආපු ගමන් මගේ හිත රිද්දුවා. මට හරි දුකයි....”

ඔය ටික වෙලාවට දිලිනිගේ ඇස්වල කඳුලු.

අනේ අම්මපා මේ කෙල්ලොන්ට මූඩ් චේන්ජ් කරන්න පුළුවන්නේ පට් පට් ගාලා. පුදුම හැකියාවක්. තප්පර ගාණකදි හැපී ටූ ඇන්ග්‍රි දෙන් සෑඩ්.

“හරි හරි... ඕකට අඬන්න ඕනේ නැහැ...”‍

“අ‌‌ඬන්න නෙවෙයි කාවින්ද.... මට මැරෙන තරමට දුකයි..... ඔයා හරි නරකයි. මගේ හිත රිදෙව්වා...”

“සොරි දිලිනි. වෙරි සොරි..... ඉට් වොස් එ ජෝක්...”

“නෝ ඉට් වොසන්ට් එ ජෝක්.... යූ පර්පස්ලි බ්‍රෝක් මයි හාට්...”

“දිලිනි... ඔයා මට එන්න කිව්වේ රණ්ඩු වෙන්නද?”

“නෑ...... ඒ වුනාට මතක තියා ගන්න කාවින්ද කවදාවත් මට දුක හිතෙන කතා කියන්න එපා... වෙන කව්රු කිව්වත් ප්‍රශ්ණයක් නැහැ. ඒත් ඔයා පොඩි දෙයක් කිව්වත් මට ගොඩක් දුක හිතෙනවා.”

“හරි..... නව් අයි ඇපොලජයිස්ඩ්...”

“කාවින්ද.... මට ෂොපින් යන්න ඕනේ... ඔයා එනවද?”

“ෂොපින්... කොහේද?”

“අපි යමුද....... ධනසිරි එකට....”

“අම්මෝ.... ඊට වඩා හොඳයි..... අපි දෙන්නා අත් අල්ලගෙන ඉන්න ෆොටෝ එකක් පත්තරේ දානවා...”‍

“එහෙනම් අපි එම් සී එකට යමු.”

“මොකට?”

“එම් සී එකට අනේ.”

“මේ කොළඹ තියෙන එකට?”

“ඔව් ඔව්...”

“පිස්සුද නැත්නම් හැටිද. මේ දැන් කොළඹ යන්න. එන්න වෙන්නේ හෙට තමයි.”

“එහෙනම් අපි කොහෙද යන්නේ... මෙතන හිටගෙන ඉන්න බෑ කාවින්ද... තාත්තා ටවුමට ගිහිල්ලා දැන් මෙතනින් එයි.”

“එහෙනම් නගින්න.”

මම ඉක්මනට දිලිනිව බයික් එකට දාගත්තා.

“කාවින්ද, එනි අයිඩියා වෙයාර් ආ වී ගොයින්?”

“නෝ.... අයිඩියා.... ඔළුව හැරුණු අතේ යමුද?”

“යමු...”

“කොහේද?”

“දැන් ඔයාමනේ ඇහුවේ ඔළුව හැරුණු අතේ යමුද කියලා පිස්සා. ඊට පස්සේ මගෙන් ආයෙත් අහනවා කොහේද කියලා.

“හරි ඉතින් ඔළුව හැරුණේ කොහේටද?”

“මන් දන්නෑ අනේ.... දැන් තව විනාඩියක් මෙතන හිටියොත් මම යනවා යන්න.”

මම දිලිනිවත් දාගෙන නුවර ටවුන් එක පැත්තට බයික් එක හැරෙව්වත් කොහේ යන්නද කියල අදහසක් තිබුණේ නැහැ.

“කාවින්ද..... මාව කෙහේද ගෙනියන්නේ?”

දිලිනි පිටට තට්ටුවක් දාලා ඇහුවා.

“ඔළුව හැරුනේ මේ පැත්තට.”

“හරි හරි... යංකෝ”

“ඇයි බයද?”

“නෑ... ඔයා එක්ක කොහේ ගියත් මම බය නෑ කාවින්ද?”

“ඔයා කැමති කවුරුවත් නැති තැනකට යන්නද, නැත්නම් සෙනග ගැවසෙන පාක් එකකට වගේ යන්නද?”

“පණ ඇති කවුරුවත්ම නැති කට්ට පාලු තැනකට යමු කාවින්ද....”

“ෂුවර්ද?”

“ඔව් අනේ... පණ තියෙන දේකට අපි දෙන්නා විතරක් හිටියම හොඳටම ඇති‍.”

දිලිනි ඒක කිව්වේ අත්දෙක මගේ බඩ වටේට දාලා අල්ලගන්න අතරේ.

“කාවින්ද, මේ හෙල්මට් එක මම ගලවන්නද?”

“ඇයි පිස්සුද? පොලිසියෙන් අල්ල ගනියි බෙල්ලෙන්ම.”

“මට මේ හෙල්මට් එක දාගෙන ඔයාට ලං වෙන්න බැහැනේ....”

මෙයාට පිස්සුද මන්දා....

“දිලිනි මේ වඳින්නම් හෙල්මට් එකනම් ගලවන්න එපා.”

මම මොනවා කිව්වත් එයා හෙල්මට් එක ගලවලා මගේ පිටට එයාගේ ඔළුව තියා ගත්තා. මේ කෙල්ල මොනවා කරනවද මන්දා.”

“කාවින්ද....”

“ඇයි....?

“අපි කොහේද යන්නේ කියන්නකෝ”

“ලයික් අයි සෙඩ් එර්ලියර්..... අයි හැව් නෝ අයිඩියා...”

“යූ ආර් සච් එ ලව්ලි ගයි කාවින්ද..... අයි රියලි ලයික් යුවර් ඇටිටියුඩ්...”

“වට්?”

“ද වේ යු බිහේව්.... ද වේ යූ ටේක් තින්ග්ස් ඊසි... එව්රිතින්ග් ඉස් සෝ ස්වීට්.... නෝ ගර්ල් කැන් ලූස් යූ වන්ස් ගෙට් ක්ලෝස් ටු යූ.”

“දිලිනි.... පිස්සු කියවන්නේ නැතුව ඉන්නවද? ඔයා මොනවා කියනවද කියල මට තේරෙන්නේ නැහැ....”

මම බයික් එක නුවර ක්ලොක් ටවර් එක ළඟින් උඩට හැරෙව්වා... ආයෙත් අස්ගිරිය පැත්තට.... ඊට පස්සේ මහයියාව පැත්තට.

“කාවින්ද... කොහේද මේ යන්නේ? ආයෙත් ආපු පැත්තට යන්නේ ඇයි.”

“ඔයා යන්න ඕනේ කිව්වේ පණ තියෙන කව්රුවත් නැති පාළු තැනකටනේ... දැන් සද්ද නැතුව ඉන්න.”

මම බයික් එක මහයියාව පාරට දාලා දකුණට හරවලා මහයියාව සෙමට්‍රි එක ළඟ නැවැත්තුවා.

දිලිනි බය වෙලා වගේ මගේ දිහා බලාගෙන ඉන්නවා.

“කාවින්ද.... කොහේද මේ යන්නේ...”

“ඇයි ඔයා කිව්වේ පණ ඇති දෙන්නෙකුට අපි දෙන්නා විතරක් ඉන්න කට්ට පාළු තැනකට යමු කියලා. ඉතින් මෙතන තමා තැන. මුරකාරයට හොරෙන් පැනගමු... ඊට පස්සේ අපිට කරදර කරන්න කවුරුවත් නෑ... පණ නැති අය විතරයි ඉන්නේ .... ඒ අයගෙන් කිසි කරදරයක් නෑ..... ප්‍රශ්ණ අහන්නෑ, කේලම් කියන්නෑ.... නෝ නතිං.”

“අනේ ඒ වුනාට සොහොනක ඉන්න බෑ ළමයෝ... ඔයා හරි නරකයි...”

“පිස්සුද හලෝ... මම ඔයාව බයිට් කරන්නයි මේ එක්කගෙන ආවේ. ඇයි ඉතින් ඔයා කියපු ඩිස්ක්‍රිප්ෂන් එකට හරියන එකම තැන මෙතන තමා.”

“හරි නරකයි... දැන් මාව කොහේ හරි ලස්සන තැනකට එක්ක යන්න...”

මම කරපු වැඩේට දිලිනිට නොනවත්වාම හිනා. මම බයික් එක කටුගස්තොට පැත්තට දැම්මා.

කිසිම අරමුනක් නැතුව  බයිසිකලේ දිගන පැත්තට දැම්මා. දිගටම කිලෝමීටර් ගාණක් යනකම් දිලිනි කතා කළේ නැහැ. දිලිනිගේ සල්ලි වලින්ම පෙට්‍රල් ෆුල් ටෑන්ක් ගහලා නිසා ප්‍රශ්ණයක් නැහැ.

අන්තිමට මම බයිසිකලේ දිගන පැත්තට හරවනකොට දිලිනි කතා කළා‍.

“කාවින්ද තාම අයිඩියා එකක් නැද්ද යනදිහා.”

“ම්හ්”

මම දිගන පහුකරලා තවත් ගියා.

දිගටම කිලෝමීටර් තිහක් විතර ගියාම මම නැවැත්තුවා‍‍.

“කාවින්ද මේ කොහේද?”

“මේ දිගට තව ටිකක් ගියාම ලස්සනම දෙයක් බලන්න පුළුවන්. ඒත් හතරට කලින් යන්න වෙනවා. ඒ නිසා යමු.”

“කියන්‍න කොහේද කියලා.”

“වික්ටෝරියා...”

“ඔයාට පිස්සුද කාවින්ද... තව කිලෝමීටර් තිහක් විතර තියෙනවා.‍ එච්චර දුර යන්න පුළුවන්ද?”

“දැන් ඔයා කිව්ව නේද මම එක්ක යන ඕනෙම තැනකට යනවා කියලා.”

“හරි හරි.... යමු.”

දිලිනි කතාවක් නැතුව පිටිපස්සෙන් නැගලා මාව අල්ලගත්තා.


මම ආයෙත් නවත්තන්න හිතන්නෙවත් නැතුව කෙලින්ම කිලෝමීටර් විස්සක් ඉවර කරලා වික්ටෝරියා වලට ආවා.

0 comments:

Post a Comment