Monday, May 15, 2017

සදානුස්මරණිය ප්‍රථම ප්‍රේමය ~ මේ ආදරයයි ~ 18


සදානුස්මරණිය ප්‍රථම ප්‍රේමය
මේ ආදරයයි




18.
ඇත්තටම දිලිනි මිස් ට මගෙන් ඕන වුනේ මොනවද කියල මට තේරුම් ගන්න බැරි වුනා. අදත් මාත් එක්ක කතා කරන්න ආසයි කියලා ආවට කතා කරපු වැදගත් දෙයක් නැහැ. ඔහේ වල්පල කියවලා හිනා වුනා විතරයි. අනිත් අතට අපි දෙන්නට කතා කරන්න මොන වැදගත් දෙයක්ද?

එයා ඇයි මෙහෙම කරන්නේ..... එයාට මාව නිකං හම්බවෙලා මේ වගේ කතා කරල යන්න විතරද ඕනේ. ‘කාවින්ද මට ඔයත් එක්ක ටිකක් කතා කරන්න ඕනේ’ කියලා හැමදාම කරන්නේ මේ වැඩේ.

මම දිලිනි මිස්ව දාලා ගෙදර එනකල්ම කල්පනා කළේ මේ ගැන.‍

මම ගෙදරට බයික් එක හරවනවත් එක්කම දැක්කා කොල්ලෝ සෙට් එකක් ඉන්නවා ගෙදර.

හප්පා මුන් සෙට් එක අද මෙහේ ආවේ ඇයි. දැන් ඉතින් ඉතියෝපියාවෙන් හරි ‍සෝමාලියාවෙන් හරි සාගත සෙට් එකක් ආවා වගේ ගෙදර තියෙන කන්න පුළුවන් හැම දෙයක්ම ඉවර කරනවා. ගිය සැරේ මුන් හතර දෙනෙක් ඇවිල්ලා පාන් ගෙඩි දෙකකුයි, තනිකර ජෑම් බෝතලේකුයි, ඇන්කර් බටර් එකකුයි, ඉඳිආප්ප අසූවකුයි, තනි කුකුලෙකුගෙන් උයපු කුකුල් මස් කරි එකකුයි ඉවර කළා උදේ කෑමට.

“කාවා, කොහෙද බන් ගියේ අද පොය දවසේ ක්ලාසුත් නැති එකේ?”

සචියා සුපුරුදු කට කැඩිච්ච කතාව පටන් ගත්තා.

මම මොනවත් නොකිය හිටියා.

“කාවා දැන් සත්‍ය ප්‍රේම බෘංග රාජයා වෙලා බං.”

චතුර කවදත් වගේ කට කැඩිච්ච කතාවක් කිව්වා.

“ඒක වැඩක් නැහැ. මොකද උඹල මේ පැත්තේ...? වලියක්වත්ද?”

“පිස්සුද බං... උඹ පහුගිය සති ගාණක්ම අපේ සෙට් එකෙන් ඈත් වෙලානේ. අපි ආවේ උඹ අපිත් එක්ක ඔරොප්පුවක්වත් තියෙනවද අහන්න.”

“මගුලක් කියවන්න එපා චතුර. මම මොකටද උඹලත් එක්ක අප්සෙට් වෙන්නේ. අනික උඹල දන්නවනේ මම එහෙම සීන් එකක් තියෙනවනම් කෙලින්ම කියල දෙකෙන් එකක් විසඳගන්නව. නැතුව ගෑණු වගේ බුම්මගෙන ඉන්නෑ.”

“ඒක තමා කාවා අපිටත් තිබුණ ප්‍රශ්ණේ. උඹ දැන් ගොඩක් වෙනස් වෙලා. ඉස්සර උඹ තමයි අපේ සෙට් එකෙන් ෆන් එකේම ඉන්න එකා. ඒත් දැන් උඹ සීරියස් වෙලා. උඹ යන්නෙ කොහෙද, ඉන්නේ කොහෙද, කරන්නෙ මොනවද කියන එක සම්පූර්ණයෙන්ම රහසක් වෙලා.”‍

චතුරයා, උගේ සුපුරුදු ධර්ම ටෝක් එක පටන් ගත්තා‍. මොනව වුනත් අපේ සෙට් එකේ දෙයක් හරියට විග්‍රහ කරල වලියට බර අඩු කරල වැඩ කරන්න පුළුවන් එකා චතුර.

“හරි ඒක මම උඹලට රහසක් කරන්නෑ. ළඟදිම කියනවා.”

“ළඟදි කියන්නේ දරුවෝ කොච්චර කාලෙකින්ද? මොකද අපිට උඹව නැති වෙනව බලාගෙන ඉන්න බැහැ. හැමදාම අපේ ප්‍රශ්ණ වලදි මුල් තැන ගත්තේ උඹ.”

චතුර කතාව නවත්තන්නෙම නැති ගාණයි.

“ඉක්මනට කියන්නේ ඉක්මනට බං. මේ හිටිය වගේ තව ටිකක් ඉවසගෙන හිටපං. ඒක මගේ ප්‍රශ්ණයක්. ඒකට උඹලව ගාවගත්තොත් උඹලටත් ඇඩ්‍රස් නැති වෙනවා. අනිත් එක ප්‍රශ්ණේ අනිත් කොනේ ඉන්න එක්කෙනා කැමති නෑ ඒක වෙන කාවුරුවත් දැනගන්නවට‍.”

“හරි මම හිතුවා හරි. අපේ දරුවා ප්‍රේමෙක පැටලිලා. නැත්නම් අනිත් කෙලවරේ ඉන්න එකා කියන්නේ ටෙලිෆෝන් කෝල් එකක් වෙන්න එපැයි.”

අනේ අම්මපා.. චතුරයත් කල්පනා කරල වැඩ කරන එකෙක් කිව්වට මූත් වෙලාවකට මරු කියවනවා.‍

“චතුරයා මේ. ප්ලීස් පොඩ්ඩක් කට වහගනින්. කියපං දැන් උඹල ආවේ මේක අහන්නමද කියල?”

“නෑ තව දෙයක් තියෙනවා. අපේ පැනියා ප්‍රේමෙක පැටලිලා. හැබැයි ඒක අනුන්ගේ කාර් එකක්.”

“ඉතින්”

“ඉතින් ඌ ගුටි කන්න නියමිතයි කියල අපිට සහ සුද්දෙන්ම වැටහෙනවා. අපේ එකෙකුට නුවරදි ගුටි කන්න වුනොත් ඒක අපි සෙට් එකටම නරකයි.”

“ඉතින් උඹ මොකක්ද කරන්න කියන්නේ? ඇයි ඌට කිව්වේ නැත්තේ?”

“ඌට කියල වැඩක් නැහැ බං. ඌ ප්‍රේමෙන් අන්ධ වෙලා. අහෝ දුකකි ඉරකි තිතකි.”

ඒ අන්තිමට කියපු එකනම් මට තේරුණේ නැහැ. ඒත් පැනියා හැමදාම ඔය වගේ ගුටි කන ප්‍රේම වලට සෙට් වෙනවා. අපිත් ෆුල් ගේම දීල ඌව ගුටි කන එකෙන් බේරගන්නවා. ඒත් වැඩේ කියන්නේ මේකා මේ කිසිම ලව් එකක් මාස දෙක තුනකට වඩා කරල නැහැ.‍ ඒ නිසා මේකත් ඒ වගේ එකක් නම් නිකං පරිප්පු කනවට වඩා හොඳයි ඌට ඕනෙ මගුලක් කරගන්න කියනවා.

“මොකද කාවා කතා නැත්තේ?”

“මූට උදව් කරලා වැඩක් නෑ බං. ගිය වතාවල වගේම ඌ මාස තුනෙන් චැප්ට ක්ලෝස් කරයි, අපි නිකං ගා ගන්නවා.”

“මේකනම් ඒ වගේ එකක් නෙවෙයි දරුවෝ. මට පේන්නේ මේ සැරේ අපේ එකා කෙහෙල් ගහට කොටල කියල. මේ මං කියන්නේ මේක සීරියස් එකක්. කෙල්ල ලස්සනයි, හොඳයි, බරත් හොඳයි, අහිංසකයි.”

“එහෙනම් උඹ කිව්වේ වෙන එකෙකුගේ වාහනයක් කියලා?”

“වාහනයක් කිව්වේ දරුවෝ, වෙන එකෙක් මේකිට ට්‍රයිලු දැන් අවුරුදු දෙකක විතර ඉඳලා. ඒ අස්සේ අපේ ගොනා පැනලා කෙහෙල් පැලේ කාලා.”

චතුරයාගේ මේ උපමා උපහැරණ තමා මට තේරෙන්නේ නැත්තේ‍.

“මොකක්ද බං ඒ අලුගුත්තේරු කතාවේ තේරුම? කෙහෙල් පැලේ කාල කියන්නේ?”

“යකෝ අරූ පැල් බැඳගෙන අවුරුදු දෙකක් ට්‍රයි කරද්දි අපේ එකා මැදින් ‍පැනල පැනි හලල කෙල්ලව සෙට් කරගෙන මාස දෙකකදි. ඉතින් අරූට මල පනින්නේ නැතුව තියෙයිද?”

“දැන් උඹල කියන්නේ මොකක් කරන්න කියලද?”

“මේකයි කාවා.... උඹ කල්පනා කරල කියපං මොකක්ද හොඳ කියල.”

“මම දන්නෑ බං.”

“එකක් උඹ කිව්වොත් ඌට ටිකක් පැහැදිලි කරල අඩුගානේ ආරක්ෂාකාරී පියවරවල් වත් ඌ ගනී.”

“ඇයි දැන් මොකද වෙන්නේ?”

“උඹට කියන්න කාවා, මූට කිසිම චාරයක් නැහැ බං. අපි කිව්වා මේක ගුටිකන වැඩක් පුතෝ ටිකක් පරිස්සම් වෙයං, කෙල්ල එක්ක තැන තැන අහුමුලු වල ලව් කරන්න එපා, පොඩ්ඩක් අවධානෙන් හිටපං කියල‍‍.”

“ඉතින්?”

“ඉතින් බං මේකා අපි කියපු ඒවා ඇහුනෙවත් නෑ වගේ අරකි එක්ක දෙනෝදාහක් ඉන්න තැන්වල ලව් කරනවා. කී දෙනෙක් දකිනවා ඇද්ද බං. අරූට මල පනින එක අහන්නත් දෙයක්ද. මූ ගොන් වස්සා වගේ කිසිම චාරයක් නැතුව ආලයෙන් අන්ධ වෙලා බං.”

“මං ඕක කිව්ව කියල පැනිය අමුතුවෙන් අහන්නේ නැහැ බං. ඌට ටික කාලයක් යනකං පරිස්සමින් ඉන්න ඕනෙ කියන එක තේරෙන්නේ නැත්තං ගුටිකාපු දෙන්.”

“එහෙම කියන්න එපා කාවා. මොනවා වුනත් ඌ අපේ එකානේ. අනිත් එක මේ සැරේවත් සිරාවට ලව් කරනවනම් උදව් කරන එක අපේ යුතුකමනේ.”

“ඉතින් බං උඹලමනේ කියන්නේ උදව් කරන්න තියා අපි කියන දෙයක්වත් ඌ අහන්නේ නැහැ කියලා.”

“ඒකනම් එහෙම තමයි කාවා. ඒත් අපි මොනවම හරි කරන්න වෙනවා. විශ්වාස කටයුතු මාර්ගයකින් දැනගන්න ලැබුනා හෙට ඌ දිගන යනවා කියලා. අරූත් හෙටම එතනදි ඌට නෙලන්න ලෑස්ති වෙලා ඉන්නවා.”

“කොහොමද උඹ දන්නේ?”

“මම දන්නවා බං. ඒක ඩෙඩ් ෂුවර්.”

“එහෙනම් අවවාද දිදී ඉන්න වෙලාවක් නෑ අපිට ක්‍රියාත්මක වෙන්න වෙනවා.”

“අන්න කාවා... මම කැමති උ‍ඹේ ඒ ගතියට.”

“අපි මෙහෙම කරමු චතුර, අපි ඉස්සෙල්ලම ඌට කියමු මෙහෙම සීන් එකක් තියෙනවා, ඒ නිසා යනවද නැද්ද තීරණය කරපං කියල.”

“වැඩක් නෑ කාවා. ඌට අපි කිව්වා‍. ඌ කියනවා අවංකව ලව් කරන්න කාටවත් බය වෙන්න ඕනේ නැහැලු. ගුටි කන්න වෙනවනම් ඌ ඒකටත් රෙඩිලු. උගේ අවංක ආදරේ ගුටිකෑව කියල නැති වෙන්නේ නැහැලු.”

“අම්මපා මූට මොලේ මැලේරියාවද? මොන ලව් කරත් කව්ද බං කැමති ගුටි කකා ලව් කරන්න?”

“ඒක තමයි කාවා මාත් කියන්නේ, ඌට මොලේ අපස්මාරය වගේ ලෙඩක් වැලඳිලා.”

“එහෙනම් අපි මෙහෙම කරමු. අපිත් දිගන ඔය පොට් එකට.”

“ඇයි අපිත් ලව් කරන්නද?”

“ලව්, උඹයි මායි ලව් කරන්නද?”

“නෑ මං කිව්වේ අපි හතර දෙනෙක් යනවනේ. කොල්ලෝ වුනාට කමක් නෑ කපල් දෙකක් ඉන්නවා.”

“පිස්සු කියවන්න එපා බං. අප ගිහිල්ලා බලමු මොකද වෙන්නේ කියලා.”

“හින්දි ෆිල්ම් එකක් වගේ තියෙයි බං. මට මැවිල පේනවා, අරුන් දෙන්නා ලව් කරනවා. අපි සෙට් එක හැංගිලා බලාගෙන ඉන්නවා ඌට සපෝට් එකට, ඒ අස්සේ අරුන් සෙට් එක හැංගිලා ඉන්නවා වෙලාව එනකම් අපේ පැනියට නෙලන්න.... උන් ගහන්න එනකොටම කාවා පැනලා උන්ට නෙලලා අපේ ලව් කපල් එක බේරගන්නවා, අපිත් වටෙන් පිටෙන් අරුන්ට දෙකක් අනිනවා..... අම්මපා පට්ට සීන් එකක් කවර් කරතහැකි බං මේකෙන්...”

අමිල හැමදාම වගේ උගේ හින්දි පිස්සුව ඇදල ඇරියා.

“උන් යන වෙලාව කීයද?”

“උදේ දහයට උන් ඇතුලේ....”

“එහෙනම් අපි නවය හමාරට ගිහිල්ල ඉන්න ඕනේ.”

“ඕකේ කාවා,”

“එහෙනම් අපි ඊට පස්සේ කතා කරගත්ත විදිහට කරමු.”

“කතා කරගත්ත විදිහ කියන්නේ කාවා, අපි මොනවත් කතා කරගත්තේ නැහැනේ.”

“ඇයි බං අමිලයා ෆිල්ම් එකේ සීන් එකක් ගැන කිව්වේ. ඒක තමයි අපි කරන්නේ.”

“එහෙනම් අපි ගියා.”

මම ගෙදර ඇවිල්ලා වොෂ් එකක් දාගෙන ඇඳට වැටෙන්න ඔන්න මෙන්න කියනකොට දීපා නැන්ද කතා කළා.

දීප නැන්ද තමා අපේ ගෙදර හැම දේම බලා ගන්නේ. අම්මත් තාත්තත් දෙන්නම රස්සා කරන නිසා‍ ගෙදර හැම දේම පාලනය වෙන්නේ දීප නැන්දගේ අතින්. මම දන්න විදිහට දීප නැන්ද අපේ ගෙදරට ඇවිල්ල තියෙන්නේ මම ඉපදුන දවසේ. එයා අම්මගේ පැත්තෙන් අපිට දුරින් නෑදෑ කමක් තියෙන කෙනෙක්.

“කාවින්ද බබා, අද කෝල් එකක් ආවා.”

ෂික් අම්මපා, දීලා නැන්දත් තාම මට බබානේ කියන්නේ. මම කොච්චර කියල තියෙනවද මට බබා කියන්න එපා කියලා. මට නිකං බබා කිව්වම වස කැතයි වගේ.

“කාගෙන්ද දීප නැන්දේ?”

“හතරපාරක් කතා කළා. මමයි ෆෝන් එක ගත්තේ‍. මම කිව්වා රෑ වෙලා එයි කියල. මම හිතන්නේ දැන් ආයෙත් ගනී.”

“ඔන්න ඕවට තමයි කියන්නේ මල අතේ කියල... ඇයි දීප නැන්දේ, ඔයා මට තාම කිව්වේ නැහැනේ කතා කළේ කව්ද කියල.”

“බබාගේ ගෑණු ළමයා.”

දීප නැන්දා ඒක කිව්වේ මාර ප්‍රේමණිය විදිහට.

“මොකක්, මොන ගෑණු ළමයා.”

“බබා යාළු වෙලා ඉන්න ගෑණු ළමයා.”

මොන මරාලයක්ද මේ වෙන්නේ. කව්ද මේ ගෑණු ළමයා. දිනි වෙන්න බෑ මොකද දීප නැන්ද දිනිව දන්නේ මටත් කලින් ඉඳලා. අනිත් එක දිලිනි මිස් වෙන්නත් බෑ. එයා හිටියේ මගෙත් එක්කනේ.

“නම අහගත්තේ නැද්ද දීප නැන්දේ?”

එතකොටම ෆෝන් එක රිංග් වුනා.

“ඔන්න දැන් නම අහගන්‍නකෝ”

දීප නැන්ද එහෙම කියල යන්න ගියා.

මම නිකං නපුරු සතෙක් ළඟට ලංවෙනවා වගේ ෆෝන් එකට ගියා.

මම කතා නොකර රිසීවර් එක කනේ තියා ගත්තා.

“හෙලෝ, කාවින්දට කතා කරන්න පුළුවන්ද?”

ඇත්ත තමයි, කව්දෝ කෙල්ලෙක් මාව අහනවා. කව්ද යකෝ මේ?

මම හිතට ෆිට් එක අරගෙන කතා කළා.

“කාවින්ද තමයි කතා කරන්නේ.”

“හානේ... කාවින්ද අයියේ... මම ඔයාට කතා කරන්න කොච්චර ට්‍රයි කළාද? කෝ ඔයා කොයි වෙලාවකවත් ගෙදර නෑනේ. ඇති යන්තම් රෑ වෙලා හරි ගෙදර ආවා.”

කෙල්ල කියාගෙන ගියා. අඩුගානේ තමන් කව්ද කියලවත් අඳුන්වල දෙන්න තරම් මැනස් නෑ වගේ.

“මම කාවින්ද වුනාට ඔයා කව්ද කියල දන්නේ නෑනේ. කරුණාකරලා මේ කතාකරන්නේ කව්ද කියනවද?”

“අනේ අයියේ ඔයාට මාව අමතක වුනාද?”

කව්ද කියල අහැව්වාම මගෙන් අහනවා එයාව අමතක වුනාද කියලා. ඇයි දෙයියනේ අමතක වුන නිසානේ ඇහුවේ කව්ද කියල.

“මේ ඔයා කව්ද කියල තාම කිව්වේ නැහැනේ.”

“අනේ අනේ කාවින්ද අයියේ, මම තරහම තරහයි....”

කව්ද කියල දන්නෙත් නෑ. ඇහුවම කියන්නෙත් නෑ. දැන් කියනවා තරහලු. දන්නෙ නැති එකෙක් එක්ක තරහ වෙන්නේ කොහොමද කියල මටනම් තේරෙන්නේ නැහැ.

මම ෆෝන් එක තිබ්බා.

ඇයි අප්පා, විකාර කියවනවනේ මෙතන.

මම ඇඳට යන්න නැගිටිනකොටම ආයෙත් රින්ං වුනා.

මේ අටමගුලත් වදිනවා ඉවරයක් නෑ.

“හලෝ,”

“කාවින්ද අයියේ තරහ වුනාද? මට ඇතිවුන සන්තෝසෙට ඔයාට කව්ද කියල කියන්නත් අමතක වුනා. ඒත් මම හිතුවේ ඔයාට යන්තමට වගේ වත් මතක් වෙයි කියල.”

දැන් නම් මේක විකාරයක් වගේ. මම ආයෙත් ෆෝන් එක තියන්න යනකොටම මට ඇහුන දෙයින් මම හොල්මන් වෙලා ගියා.

“කාවින්ද අයියේ... මම ලයාංගි!”

අම්ම ගහයි බැට් එකෙන් කිව්වලු. යකෝ මට මේක අමතකම වුනානේ. ඒත් ලයාංගි ලංකාවේ නැහැනේ. කෙල්ල රෝම් වල ඉඳලද කතා කරන්නේ.

“හලෝ ලයාංගි. ඔයා කලින්ම නම කියන්න එපැයි. මට මෙච්චර කාලෙකට පස්සේ ඔයාගේ කටහඬ අදුරන්න පුළුවන්ද?”

“අනේ අයියේ සොරි. සන්තොසේ නිසා මට ඒකත් අමතක වුනා. ඉතින් අයියේ, කොහොමද දැන්?”

“අවුලක් නෑ. ඔයාට කොහොමද? දැන් කොහේ ඉඳලද කතා කරන්නේ?”

“මම ඊයේ ලංකාවට ආවා කාවින්ද අයියේ. එහේ අපිට හරියන්නේ නැහැ. තාත්ත ඉද්දි මමයි අම්මයි ආවා.”

“නැහ්....”

මට හීල්ලුනා. දැන් යන්තම් යටගිහිල්ලා තිබ්බ එකක් ආයෙත් මතු වෙයිද?

“ඉතින් අයියේ මම කතා කළේ මට ඔයාව බලන්න ආස නිසයි. අපි කවදද හම්බවෙන්නේ.”

ආයෙ ඇහිල්ලක් බැලිල්ලක් නැහැ මෙයා පොල්ලෙන් ගැහුවා වගේනේ කතා කරන්නේ. කෙලින් වැඩිද මන්ද?

“මෙහෙමයි ලයාංගි, මට හෙටනම් ටිකක් අමාරුයි. අපි ලබන සෙනසුරාදා හම්බවෙමු.”

මම ෂේප් එකේ වැඩේ ටිකක් කල් දාගත්තා. එතකොට මට නිවිසැනසිල්ලේ ටිකක් හිතන්න පුළුවන් ලයාංගි ගැන මම මොනවද කරන්න ඕනෙ කියල.

“අනේ අයියේ.... එච්චර දවසක් යනකං ඔයාට එන්න බැරිද? මට ආසයි අදම වුනත් ඔයාව බලන්න.”

“මම මේ සතියෙම ඉස්කෝලෙ ප්‍රැක්ටිස් නිසා වෙලාවක් නැහැ ලයාංගි. ඒව කට් කරනනත් බැහැ. දන්නවනේ.”

“ඕකේ ඕකේ. මම එහෙනම් බලාගෙන ඉන්නම්. වරද්දන්න එපා.”

එයා ෆෝන් එක තිබ්බා.

කාවා දැන් දිලිනි මිස් ට මැදිවෙලා හිටිය මෙච්චර දවස්, දැන් ඒකට තව එක්කෙනෙක් ඇවිත්.

තිබ්බ නිදිමත කොහේ ගිහිල්ලද දන්නෑ. මම ඇඳට වෙලා කල්පනා කරන්න පටන් ගත්තා.

ලයාංගි යන්න කලින් මට ආදරේ බව කියලයි යන්න ගියේ. මම ඒ වෙලාවේ මොකුත් කිව්වේ නැහැ. දැන් එයා ආපහු ඇවිල්ල ඒ ආදරේ අළුතින් පටන් ගන්න යනවද දන්නෑ. එහෙම වුනොත් මේ කාවට ආයෙත් හිතන්න වෙනවා. මොකද තාම මම කාටද ආදරේ කියල බේරලා වෙන් කරගන්න බැරිවුනා මට. ටික කාලෙකින් දිනි මාව හම්බවුනෙත් නැති නිසා මම දිලිනි මිස්‍ගේ ආශ්‍රයත් එක්ක පොඩ්ඩක් රිලැක්ස් වුනා. අපි දෙන්න‍ෙ ආදර කතාවක් නැතුව බොහොම සැහැල්ලුවෙන් හිනා වෙලා කතා කරලා.... ඇවිදලා සැහැල්ලුවෙන් හිටියා. දැන් ලය‍ාංගි අ‍ාවට පස්සේ මොනව කරයිද දන්නෑ. මම දිලිනි මිස් ව ආශ්‍රය කරනවා කියල දැක්කොත් ලයාංගි මොනව හිතයිද? ආයේ හිතන්න දෙයක් නැ ෂුවර් එකටම අපි දෙන්නා යාළුයි කියල හිතයි.


මම හිතුවේ මම වැඩියෙන්ම කැමති කාත් එක්ක ඉන්නද කියලා. දිනි එක්ක මගේ තියෙන සම්භන්ධතාව ආදරේ කියන එකට වඩා වැඩි හැඟීමක්. ඒ නිසා ම තමයි දිනි මට පැල් බැදගෙන ආදරේ කළත් මට එයාට ආදරේ කරන්න බැරි. ඒත් ලයාංගි වෙනස්ම කෙනෙක්. මම එයාව ආශ්‍රය කරල නැති තරම් කියන්න පුළුවන්.

0 comments:

Post a Comment