Monday, May 15, 2017

සදානුස්මරණිය ප්‍රථම ප්‍රේමය ~ මේ ආදරයයි ~ 16


සදානුස්මරණිය ප්‍රථම ප්‍රේමය
මේ ආදරයයි




16.
 “මොකද කාවින්ද බය වෙලා වගේ?”

“නැහැ. එහෙම දෙයක් නැහැ.”

“බය වෙන්න එපා ළමයෝ... මේ තැනට ආවා කියල මම ඔයාව බලෙන් බැඳ ගන්නේ නැහැ.”

“හරි හරි. ඉතින් මිස් කියන්නකෝ ඔයාට කියන්න තියෙන දේ.”

“ගොඩාක් දේවල් තියෙනවා කාවින්ද. ඒත් වෙලාවකට මටම හිතාගන්න බැහැ ඇයි මම මේ දේවල් ඔයාට කියන්නේ කියල.”

“ඉතින් අකමැතිනම් නොකිය ඉන්න.”

“අනේ කාවින්ද, මම එහෙම කතාවක් නෙනෙයි කිව්වේ. මම ඔයාව අඳුරගෙන දවස් කීයද? අපි දෙන්නා කතා කළෙත් දවස් කීයද? ඔයා කව්ද කියල මම මොනවත්ම දන්නේ නැහැ. ඒත් මටත් නොදැනීම මම ඔයාට මේ හැම දෙයක්ම කියන්න තරම් සමීප වෙලා.”

“ඇයි ඒ?”

“මටත් තේරෙන්නේ නැහැ කාවින්ද ඇයි ඒ කියලා!”

“ඉතින්?”

“මම ඔයාව දැක්ක පළවෙනි දවස මට මතකයි. අනිත් ළමයින්ගේ දකින්න නැති වෙනසක් මම ඔයාගේ දැක්කා. මුළු ඉස්කෝලෙම ළමයි මා දිහා බැලුවේ අමුතු සතෙක් දැක්ක විදිහට. ඒ මේක බෝයිස් ස්කූල් එකක් නිසා වෙන්න ඇති. ඒ මදිවට තරුණ ගුරුවරු පවා මා දිහා බැලුවේ අමුතු විදිහට. ඒත් ඔයා මාව ගණන් ගත්තේ නැහැ. මට පුදුම හිතුනා මොකද ඔයා මේ තරම් ආඩම්බර කියලා.”

මම හිනා වුනා. මොනවා කියන්නද?

“මම දන්නේ නැහැනේ මිස් ඔයා ඔය තරම් උනන්දුවෙන් මාව ස්ටඩි කරල තියෙන බව.”

“ස්ටඩි කරන්න දෙයක් නැහැ කාවින්ද, ඔයා දිහා උවමනාවෙන් බලන ඕනෙම කෙල්ලෙකුට ඒ විශේෂ වෙනස කැපිල පේනවා.”

“ඉතින්?”

“මම හිතා ගත්තා අනිත් හැමෝම මගේ දිහා අමුතු විදිහට විශේෂයෙන් බලනකොට මම ඔයා දිහා විශේෂයක් අරන් බලන එකෙන් අපි දෙන්නටම වැඩක් වෙන්නේ නැති නිසා මට වුන ලැජ්ජාව අමතක කරල මේ ආඩම්බරකාර කාවින්ද කියන කොල්ලව අමතකම කරල දාන්න.”

“හ්ම්”

“ඒත් ටිකෙන් ටික මගේ හිතේ කුතුහලය වැඩි වුනා. මට දැනගන්න ඕනෙ වුනා ඔයා ඇයි ඒ වගේ හැසිරෙන්නේ කියල දැනගන්න. මට ඕන වුනා ඔයාව අල්ලගෙන අනිත් අය ඉස්සරහ ඔයාගේ ආඩම්බරකම් නැතිවෙලා යන්න මොනවා හරි කරන්න. එතනදි මගේ ගුරුවරිය කියන චරිතේ නැති වෙලා පොඩි කෙල්ලෙක්ගේ හිත මතුවුනා. මගෙ දිහා නිකමටවත් බලපු නැති කාවින්ද කියන කොල්ලට පාඩමක් උගන්වන්න මට ඕන වුනා.”

“ඉතින්, පුළුවන් වුනාද?”

“නැහැ කාවින්ද! ඒත් මට දැනුනේ නැහැ ඔයාගේ ආඩම්බර කාර පෙනුමට යටින් තියෙන අවංක තරුණ කොල්ලෙකුගේ හදවතට මම නොදැනීම සමීප වෙලා කියලා.”

“මගේ හිතේ හැමවෙලාවෙම තිබුනා‍ අපි දෙන්නා අතරේ ගුරු-ගෝල සම්බන්ධතාවය නිසා යම් දුරක් තියාගන්න ඕනෙ බව, ඒත් ඒ මොනවා වුනත් මමත් අවුරුදු විස්සක පොඩි කෙල්ලෙක් කාවින්ද.”

“මිස් මට තේරෙන්නේ නැහැ ඔයා මේ කියන්න හදන්නේ මොනවද කියල?”

“සමාවෙන්න කාවින්ද, මම කියන්න හදන්නේ ඇයි මම මේ හැම දෙයක්ම කියන්න ඔයාවම තෝර ගත්තේ කියලා.”

“දැන් ඒක අවශ්‍ය නැහැනේ මිස්. ඔයා ගැන කියන්න තියෙනවා කිව්වේ මොනවද?”

“මේකයි කාවින්ද, ඔයා අද දැනගත්තනේ මම හැදුනේ කොහොමද කියලා. මගේ ජීවිතේ පොඩි කාලෙ ඉඳලම මට අම්මා තාත්තා ළඟ හිටියේ නැහැ. ඒ නිසා ඒ අය මගේ සිතුම් පැතුම් අඳුරන්නේ නැහැ. මගේ පොඩි කාලෙ ඉඳලම ජීවිතේ වීරයා වුනේ තාත්තා. ඒත් එයා මගෙන් ඈත් වෙලා ඒ දේ නැතිකරලා දැම්මා.”

“ඉතින් දැන් මොකක්ද තියෙන ප්‍රශ්ණේ?”

“ඒ අය මට කසාදයක් බන්දන්න හදනවා.”

“ඉතින් ඒක ඇයි ප්‍රශ්ණයක් වෙන්නේ?”

“හොඳ වෙන්නේ කොහොමද කාවින්ද?  එයා මම කලින් දන්න කෙනෙක් වුනත් එයාවගේ කෙනෙක් මගේ ජීවිතේට ලංකරගන්න මගේ ආසාවක් නැහැ. එයා ළඟදි මට ආදරය කියන හැඟීම දැනෙන්නේ නැහැ. ඒ මොනවත් හිතන්නේ බලන්නේ නැතුව අම්මයි තාත්තයි මේක තීන්දු කරන්න හදනවා.”

“ඒත් ඉතින් ඔයාට පුළුවන්නේ ඒ දෙන්නට මේක තේරුම් කරල දෙන්න. ඔයාට තව වයස තියෙනවා, ඔයා කැමති කෙනෙක් තෝරගන්න ඔයාට කල් තියෙනවා කියන්න. අනික ඔයා ඒ අයගේ එකම දුවනම් ඒ එය ඔයාට ගොඩක් ආදරේ ඇති.”

“ඒ ආදරේම තමයි ප්‍රශ්ණේ කාවින්ද. ඒ අයට ඕනේ මේක තීන්දු කරලා තියලා තව අවුරුදු කීපයකින් අපේ වෙඩින් එක ගන්න. ඒකට හේතුව ඒ අය බයයි මම වැරදි දේක පැටලෙයි කියල. ඒ අයට ඕනේ මට කිසි දේකින් අඩුවක් නොවන විදිහේ තැනක කොල්ලෙක්ව බන්දලා දෙන්න. මේ කතාකරලා තියෙන කෙනා ඒ වගේ කියලා ඒ අය හිතනවා.”

“ඒක හරි ප්‍රශ්ණයක්නේ මිස්. දැන් ඔයා මොනවද කරන්න හිතන්නේ?”

“මටත් තේරෙන්නේ නැහැ කාවින්ද. මම මොනව කරන්න ඕනෙද කියලවත් මට හිතාගන්න බැහැ. ඒත් මම දන්නවා අකමැත්තෙන් මේ කසාදේ කළොත් මට ජීවිතයක් නැති වෙනවා.”

“එහෙමනම් ඔයාට හොඳයි කියල හිතෙන තීරණයක් ගන්න. මොකද ඔයා වැඩිහිටියෙක්, අනිත් එක බඳින්නේ ඔයානේ. ඒ බඳින කෙනා එක්ක ජීවිත කාලෙම එකට ඉන්න වෙන්නේ ඔයාටනේ.”

“මට එහෙම තීරණයක් ගන්න අමාරුයි කාවින්ද! මම කෙල්ලෙක්.”

“වෙන්න ඇති. ඒත් මම නම් කවදාවත් මගේ හිත හරියි කියන දේ කරන්න බය වෙලා නැහැ.”

“ඒ ඔයා පිරිමියෙක් නිසා. ගැහැණු අපිට ඒ වගේ තීරණ ගන්න අමාරුයි. විශේෂයෙන් දෙමව්පියන් ඉස්සරහ.”

“ඔව් මට තේරෙනවා. ඒත් ඔයා ආදරේ කරන්නේ නැති කෙනෙක් එක්ක ජීවිත කාලෙම එකට ඉන්න පුළුවන්ද?”

“කොහොමටවත් බැහැ කාවින්ද!  ඒ නිසා තමයි මම මේ තරම් උත්සහ කරන්නේ ඒ අයගේ හිත් වෙනස් කරන්න. මම නැන්ද හම්බවෙලා අද කිව්වෙත් ඒ ගැන. ඒත් එයා බයයි මේකට මැදිහත් වෙන්න.”

“ඇත්තටම ඔයාට එයා ගැන ආදරයක් ඇති වෙන්නෙම නැද්ද මිස්? එයා ඔය කියන විදිහට හොඳ කෙනෙක් නම්, සල්ලි ඇති වෙන්න තියෙනවා නම්, එයා ඇත්තටම ඔයාට ආදරෙයි නම් ඇයි ඔයාට එයා ගැන ආදරයක් ඇති නොවෙන්නේ?”

“මම කොහොමද දන්නේ කාවින්ද? ආදරේ කියන එක බලෙන් ඇති කරවන්න බැහැ. ආදරේ ඇති වෙන්නේ කොහොමද, නැති වෙන්නේ කොහොමද කියල අපි කව්රු.ත් දන්නේ නැහැ. ඒ නිසා තමයි ආදරේ ඒ තරම් ලස්සන.”

“ඇත්තටම ඔයා එයාට ආදරේ නොකරන්න හේතුව ඒක විතරක්මද?”

“මට තේරෙන්නේ නැහැ කාවින්ද?”

“මම අහන්නේ මිස් ඔයා වෙන කෙනෙකුට ආදරේ කරනවද?”

“ඕව්.”

“ආ ඒක තමයි. ඉතින් ඒ ඔයා ආදරේ කරන කෙනා හොඳ කෙනෙක් නම් කෙලින්ම ගිහිල්ලා දෙමව්පියන්ට කියන්න. ඒ අය හොයල බලල කැමැත්ත දෙයි.”

“ඒත් කාවින්ද එහෙම කෙනෙක් ඇත්තටම නැහැ!”

“මොකක්! මොකක්ද මිස් ඒකෙ තේරුම?”‍

“මට දැනුම් තේරුම් ඇති කාලේ ඉඳලම මගේ හිතේ හීනයක් තිබුනා. ලස්සන රූපයක් තිබුනා. ලස්සන විතරක් නෙවෙයි මම හිතේ මවා ගත්ත කොලිටිස් වගයක් තිබුණා. මම හිතා ගත්තා මම කවදාහරි ආදරේ කරන්නෙත්, විවාහ වෙන්නෙත් ඒ වගේ කෙනෙක් එක්ක විතරමයි කියලා. මගේ යාළුවෝ හැමෝම මට විහිලු කළා මගේ හිතේ ඉන්න සිහින කුමාරයා හම්බවෙන්නෙත් හීනයකම විතරයි කියලා. ඒත් මගේ හිතේ විශ්වාසයක් තිබුනා මට කවදාහරි ඒ වගේ කෙනෙක් හම්බවෙයි කියල.”

“මට ඕන වුනේ කාවින්ද, මම සියයට සියයක්ම ආදරේ කරන කෙනෙක් වගේම මටත් ඒ තරමටම ආදරේ කරන කෙනෙක්. මම බඳින කෙනා ඇර වෙනත් කෙනෙක් මගේ ලෝකේ කිසිම දෙයක ඉන්න බැහැ කියලා මම විශ්වාස කරනවා.”

“ඇත්තටම ඒ විශ්වා‍සය තාමත් තියෙනවද?”

“ඔව් කාවින්ද.”

“එහෙමනම් ඒ විශ්වාසය දිගටම තියා ගන්න. ඔයා ඔයාගේ හිත විශ්වාස කරන්න. කවුරු මොනව කිව්වත්  ඔයාට  ඕනේ දේ ලැබෙයි. ෆලෝ යුවර් හාට්.... කියන එක මතක තියා ගන්න. මම මොලෙන් කල්පනා කරල තීරණයක් ගන්න බැරි හැම වෙලාවෙම කරන්නේ ඒක.”

“ඔයා නම් පුදුම කෙනෙක් කාවින්ද! ඔයා හිතන විදිහ හරිම වෙනස්!”

“මම හැමදාම කල්පනා කරන්නේ මේ ජීවිතේ මගේ කියල. මම විශ්වාස කරන දේ මගේ කියල.”‍

“ඇත්තටම මේ ටික දවසට ඔයා මට හොඳ යාළුවෙක් වුනා කාවින්ද. මගේ හැම දෙයක්ම අහගෙන හිටියා. ඔයාට පුළුවන්ද දිගටම මාත් එක්ක ඒ විදිහට ඉන්න.”‍

“හ්ම්”

“මොකද හ්ම් කියන්නේ? දැනටම ඔයාට මාව වදයක් වෙලාද?”

“වදයක් වෙලා නම් නැහැ මිස්. ඒත් අපි කොහොමද යාළුවෝ වගේ ළඟින් ඉන්නේ? අපි දෙන්නට කොහෙට හරි ගිහිල්ලා නිදහසේ කතා කරන්නවත්, මගදි හම්බවෙන්නවත් අමාරුයි. අනිත් අය දැක්කොත් අපි දෙන්නා කව්ද කියල දැනගත්තොත් ඇති වෙන ප්‍රශ්ණ ඔයා ට හිතා ගන්න පුළුවන්නේ. අනිත් එක ඉස්කෝලෙ කව්රු හරි දැනගත්තොත් නැති දේවල් හදලා කියලා නැති ප්‍රශ්ණ ඇති කරයි.”

“මට ඒක නොතේරෙනවා නෙවෙයි කාවින්ද. ඒත් ඔයා මගේ ළඟින් ඉන්නකොට මට ලොකු කම්ෆිඩන්ස් එකක් එනවා.”

“එහෙම වෙන්නේ කොහොමද මිස්. ප්‍රශ්ණයකදි මට ඔයා වෙනුවෙන් කරන්න පුළුවන් දේ බොහොම සීමිතයි. මේ වෙලාවෙදිනම් මට කරන්න දෙයක් ඇත්තේම නැති තරම්. එහෙම තියෙද්දි ඔයා මගෙන් මේ බලාපොරොත්තු වෙන දේ බොරුවක් වෙයි.”

“මට ඔයාගෙන් කිසිම දෙයක් එපා කාවින්ද. මට කාට හරි කතා කරන්න ඕනේ වෙනකොට විතරක්වත් මගේ ළඟින් ඉන්න. ඒක මට ලොකු හයියක්.”

“අනිවාර්යයෙන්ම මම ඉන්නවා.”

“ඒ මට හොඳටම ඇති කාවින්ද. අපි අපේ සීමාවල් තියාගෙන වැඩ කරමු. එතකොට මම නිසා කවදාවත් ඔයාට ප්‍රශ්ණයක් ඇති වෙන එකක් නැහැ.”

“ඒ ගැන බය වෙන්න එයා මිස්.”‍

“තෑන්ක්ස් කාවින්ද.”

“එහෙනම් අපි යමුද මිස්?”

“අනේ තව ටිකක් ඉමු කාවින්ද! මට ආසයි ඔයා ගැන විස්තර ටිකක් දැනගන්න.”

“මොනවා ගැනද?”

“ඔයාගේ පවුලේ විස්තර. ඔයාගේ ගෑණු ළමයා ගැන විස්තර.”

“පලවෙනියට අහපු එකටනම් ලේසියෙන්ම උත්තර දෙන්නම්, ඒත් දෙවෙනි එක ගැන නම් කියන්න දන්නේ නැහැ. මොකද මට ආදරේ කරන ගෑණු ළමයෙක් නැහැ.”

“ඇත්තම කියන්න කාවින්ද, ඔයාට ගෑණු ළමයෙක් ගැන කිසිම අදහසක් නැද්ද?”

“නෑ කියන්නමත් බෑ මිස්. මම දැන් ඉන්නේ ගෑණු ළමයි දෙන්නෙක් මැද්දේ. ලොකු ප්‍රශ්ණයක.”

“ඒ කියන්නේ තුන් කොන් ආදර කතාවක්ද?”

“එහෙම එකක් නෙවෙයි මිස්. ඒ දෙන්නම මට කැමතියි. මටත් හිතාගන්න බැහැ මම මොකද කරන්නේ කියලා. එක්කෙනෙක් පොඩිකාලෙ ඉඳලම මගේ යාළුවෙක්. අපි දෙන්නා‍ හොඳටම සමීපයි. අනිත් කෙනා මගේ හිත ගිය එක්කෙනෙක්.”

“බලාගෙන ගියාම ඔයත් ඉන්නේ මම වගේම ප්‍රශ්ණෙක.”

“මම දිනිතිව දන්නේ පොඩිකාලෙ ඉඳලා මිස්. අපි දෙන්නම අපේ නැන්දගේ ගෙදර යනවා ‍අපිට අවුරුදු 3-4 කාලෙ ඉඳලා. ඒ කාලෙ ඉඳලම අපි දෙන්නා තමයි හොඳම යාළුවෝ. අදටත් ඒක එහෙමමයි. මම කවදාවත් එයාට ආදරේ කරන්න හිතුවේ නැහැ. ඒත් දිනිතිගේ හිතේ මං ගැන ආදරයක් ඇතිවෙලා. ඒක නිසා දැන් අපි දෙන්නා ඈත් වෙලා. මම අවුරුදු ගානක්ම හිටියේ දිනිති එක්ක. මගෙ හැම දේකදිම එයා මට උදව් කළා. ලඟින් හිටියා. ඒත් දැන් ඒක නැතිවෙලා. මට ලොකු අඩුවක් දැනෙනවා.”

“ඉතින් කාවින්ද ඔයා එයාට ආදරේ කරන්නේ නැද්ද?”

“මට තේරෙන්නේ නැහැ මිස්. වෙලාවකට මට හිතෙනවා එයා තමයි මට ගැපලෙන එකම කෙනා කියලා මොකද අපි තරම් දෙන්නට දෙන්නා දන්න කපල් එකක් තවත් නැතුව ඇති. ඒත් මගේ හිතේ පොඩි සැකයක් තියෙනවා මම ඇත්තටම දිනිතිට ආදරේද කියලා.”
“ඒ ප්‍රශ්ණේ නම් ටිකක් බරපතලයි. ඔයා එයාට සියයට සියයක්ම ආදරේ නැත්නම් කවදාවත් එයාව ඔයාගේ ආදරේ කරගන්න එපා. ඒක හරියන්නේ නැති ආදරයක්. කවදාහරි ඔයාට පසුතැවෙන්න වෙයි.”

“මම ඒක දන්න නිසා තමයි තාම කිසිම දෙයක් තීරණය කරල නැත්තේ මිස්.” 

“මට ඔයාට කරන්න පුළුවන් උදව්වක් තියෙනවද කාවින්ද?”

“මම හිතන්නෑ මිස්. ඒ ප්‍රශ්ණේ මම ම විසඳගන්නම්.”

 “හොඳයි කාවින්ද, තෑන්ක් යූ, මගේ ළඟින් ඉදලා මගේ හිතේ බර සැහැල්ලු කරගන්න උදව් කළාට.”


ආයෙත් අර ලස්සන නිල් ඇස් මගේ මූණට එබුනා.

0 comments:

Post a Comment