Recent Post

Tuesday, May 09, 2017

සදානුස්මරණිය ප්‍රථම ප්‍රේමය ~ මේ ආදරයයි ~ 15


සදානුස්මරණිය ප්‍රථම ප්‍රේමය
මේ ආදරයයි


15.

ඔය විදිහට සතියක් ගෙවිලා ගියා. මිස් දිලිනි මාත් එක්ක වෙනදා වගේම වෙනසක් නැතුව කතා කළා, හිනා වුනා. ඒත් මගේ හිත නොසන්සුන්. මම එදා කරපු දේ වැරැද්දක් ඒ වැරැද්ද නිසා ආයෙත් එයා දිහාවත් නොබලා මඟ හරින එක තමයි කරන්න ඕන කියලා මට හිතුනා.

ඒත් එයාව දවසක් හරි දකින්න නැති වෙනකොට මට ලෝබ කමක් දැනුනා.

මොකක්ද මේ වෙනස? මම මොනවද මේ කරන්නේ?

උත්තර නැති ප්‍රශ්ණ ගණනාවක් මගේ හිතේ.

සිකුරාදා මම හවස තුනට විතර අස්ගිරියේ පිට්ටනියට ගියා ප්‍රැක්ටිස් කරන්න. ඊළඟ මීට් එක අසිගිරියේ තියෙන නිසා අපිට එහේ ටික දවසක් යන්න වෙනවා.

මම පහට විතර එලියට ඇවිල්ලා පයින්ම බස් හෝල්ට් එකට ඇවිදින්න පටන් ගත්තා. ‍

“ෂ් ෂ්.... කාවින්ද.”

මම හැරිලා බැලුවා.

“මිස්....”

“කාවින්ද ගෙදර යන්නද හදන්නේ?”

“ඔව් මිස් හරිම තිබහයි, බඩගිනියි.”

“ඇයි ගෙදරින් පොකට් මනී දෙන්නේ නැද්ද?”

“අපේ දෙමව්පියෝ ඒ තරම් සල්ලි තියෙන අය නෙවෙයි මිස්. මල්ලිටයි මටයි උගන්වන්න වියදම් කරනකොට තව සිය ගණන් වලින් පොකට් මනී දෙන්න ඒ යට සල්ලි නෑ. අනිත් එක ඉල්ලන්නත් මම කැමති නෑ.”

“සොරි කාවින්ද... නරකකට කිව්වා නෙවෙයි.... මම නිකං ඇහුවේ.”

“ප්‍රශ්ණයක් නෑ මිස්. ඒවා හංගන්න මගේ උවමනාවකුත් නෑ.”

“හරි ඒක නෙවෙයි.... හදිස්සි නැත්නම් යමු අපි කොහෙට හරි ගිහිල්ලා මොනවා හරි බොමු. මටත් හරිම තිබහයි.”

“කොහේ යන්නද?”

“මේ ළඟ කූල් ස්පොට් එකක් තියෙනවා.. මම දන්න තැනක් යමු.”

“ඕනේ නෑ මිස්. මම ගෙදර ගිහිල්ලම මොනව හරි කන්නම්.”

“අනේ ළමයෝ ඔයාට කන්න අරන් දෙන්න පව් කියලා නෙවෙයි... දැන් අපි හම්බවුන එකේ පොඩ්ඩක් කතා කරමු.”

“මිස්ට මොනවද මාත් එක්ක කතා කරන්න තියෙන්නේ?”

“ඉස්සෙල්ලම ඔය මිස් කියන එක නවත්තගන්න. මට ලැජ්ජාවේ බැහැ කාටහරි ඇහුනොත්. ඉස්කෝලෙදි කියන ඒවා පිටදි බෑ.”

“ඒ වුනාට ඒක පුරුද්දනේ. මම කොහොමද ඔයාට නම විතරක් කියලා කතා කරන්නේ.”

“ප්ලීස් අමාරුවෙන් හරි එහෙම කරන්න.”

“හොඳයි මිස් අප යමු.”

“ඔය ආයෙත් කිව්වා ‍මෝඩයා...”

අපි විනාඩි පහක් විතර ඇවිදගෙන යද්දි බීම තියෙන තැනක් හම්බවුනා.

“කාවින්ද යමු, මම මෙතන දන්න තැනක්. නියම ෆ්‍රෙෂ් ෆෘට් ජූස් තියෙනවා.”

“හම් යමුකෝ...”

ඇත්තටම මම හිටියේ හොඳටම බඩගින්නේ....

“කාවින්ද මෙතන හොඳ චොක්ලට් කේක් තියෙනවා. කමු කෑලි දෙක තුනක්.”

මගේ බඩගින්න දැනගත්තා වගේ එයා කිව්වා.

හොඳ ලොකු චොක්ලට් කේක් කෑල්ලයි ඇවකාඩෝ බීම එකයි දැක්කහම මගේ ලජ්ජාව අමතක වුනා වගේ මම වැඩේ පටන් ගත්තා.

“මොනව වුනත් කාවින්ද කෑමෙන්නම් අපි දෙන්නම චොකලට් වලට පෙරේතයි වගේ නේද?”

“ඇයි මිස් ඔයා චොක්ලට් වලට ආසද?”

“මොන කෙල්ලද චොක්ලට් වලට ආස නැත්තේ. කාවින්දත් කැමතියි නේද?”

“නැතුව... මට හොඳ චොක්ලට් බාර්ස් දෙක තුනක් තියෙනවානම් දවසම ගොඩ.”

“ඉන්නකෝ ඊළග සැරේ මම ගෙදරින් ගෙනත් දෙන්න.”

“ඇයි ඔයාලගේ ගෙදර චොක්ලට් හදනවද?”

“නෑ මැට්ටෝ... තාත්තා රට යන හැම වෙලාවකම මට ලෝඩ් එකක් ගේනාවා. හො‍ඳේ කියන්නේ කොච්චර ඒවා කෑවත් මම මහත්වෙන්නේ නැහැ.”

ඔය විදිහට තේරුමක් නැති දේවල් කතා කර කර අපි දෙන්නා පැයක් විතර හිටියා.

“මිස් දැන් හයත් පහුවෙලා. කොහොමද තනියම යන්නේ.”

“මට ප්‍රශ්ණයක් නෑ කාවින්ද. ගෙදරට කෝල් එකක් දුන්නනම් වාහනයක් එවයි. විනාඩි දහයයි. ඒක නෙවෙයි ඔයා කොහොමද යන්නේ?”

“මම ඉතින් සුපුරුදු විදිහට බස් තමා.”

“ඇයි බයික් එක?”

“මේ දවස් වල අම්මා ඒක දෙන්නේ නැහැ. වෙලාව හොඳ නෑලු.”

“මට පුළුවන් වාහනේ එයාව ගිහින් දාන්න.”

“අනේ එපා මිස්. කරදර වෙන්න එපා. මට මේක පුරුදුයි.”

එයා වාහනේට කෝල් කළා.

විනාඩි පහක් යනකොට හෙන ලොකු කලුපාට ජීප් එකක් ආවා. මෙයාට මාර සල්ලියක් තියෙනවා වගේ.

“කාවින්ද මම යනවා... පරිස්සමින් යන්න.”

එයා අත වනාගෙන ගියා.

විනාඩියක් ගතවුනේ නැහැ... සචියා චතුරත් එක්ක දුවගෙන ආවා.

“අපි බලාගෙන උඹල දෙන්නගේ සීන් එක.”

“මොන සීන් එකද?”

“යකෝ බලු වැඩ කරන්න එපා. එකට හිටපු අපිව දාලා ඇවිත් කෙල්ලත් එක්ක බඩ පැලෙන්න කාලා මාරු වෙන්න නේද? යකෝ උඹගේ සදාදරණිය මිත්‍රයෝ දෙන්න පට්ට බඩගින්නේ ඉද්දි උඹ කෑවා නේද තනියම. මට ඇ‍‍ඬෙනවා බං. වෙරලු ගෙඩියක් තිබ්බත් අපි තුන් දෙනා ඉස්සර බෙදාගෙන කෑවා. ඇයි රත්තරනේ උඹ මේ වෙනස් වෙලා.”

“බොරු කියන්න එපා බං. අපේ ‍ගෙදර අර තඩි වෙරලු ගහක් තියෙද්දි මොකටද එක ගෙඩියක් බෙදාගෙන කන්නේ. අනිත් එක මම වෙරළු කොහොමත් කන්නේ නෑ.”

“පලයං බං යන්න. මොනව වුනත් උඹට කෙල්ලෙක් දැක්කහම යාළුවෝ අමතක වෙනවා.”

“මගුලක් කතා කරන්න එපා චතුරයා. උඹලා නාලා එනවා කියපු නිසා මම ආවා. එලියෙදි කෙල්ල හම්බවුනා. මොනවහරි බොමු කිව්වා. ඉතින් බෑ කියන්නද?”

“කාවා... දැන් කෙල්ල සෙට්ද? උඹ එහෙනම් ෆයිනලි ඉස්කෝල ටීචර් කෙනෙක්ව දාගත්තා ඈ.”

“මගෙන් කුණුහරප අහගන්න නැතුව වරෙන් යන්න. උඹලා ගෑනුන්ටත් අන්තයිනේ යකෝ... ඕපාදූප කෙලවරක් නෑ.”

“මොනවා වුනත් කෙල්ල ලස්සනයි කාවා. ආයේ හිත ඇදිලාම යනවා. ඒ වගේ ෆිගර් එකක් මම දැකලාම නෑ බං. හිනාවුනාම නිකං අපි කරකවලා උඩ දාලා පොලවේ ගැහුවා වගේ ආතක් පාතක් නැතිම වෙලා යනවා.”

“යකෝ කැත කතා කියන්න එපා. පව් බං කෙල්ලෙකුට ඔය වගේ ඉරිසියා කරන්න එපා.”

“හරි හරි..... අපි තමයි දැන් නරක. හොඳයි පුතෝ යමංකෝ ඔහොම..”

“මචංලා තරහ වෙන්න එපා. ඊළග දවසේ මම උඹලටත් කන්න අරන් දෙන්නම්කෝ. දැන් යමං ගෙදර. හොඳ  මචංලා වගේ මේ සීන් එක කාටවත් කියන්නැතුව හිටපං.”

“ආ... ඒ පාර බටර් ගාන්නේ ඒකටද?”

“අඩේ ප්ලීස් බං... මාව චාටර් කරන්න එපා බං.”

“හා හා යංකෝ. හැබැයි පුතෝ ඊළඟ දවසේ නම් තනියම කාලා තිබ්බොත් මුළු නුවරටම දෙනවා නිවුස් එක.”

“අපෝ මම නොදන්නවද උ‍ඹේ ටැලෙන්ට් එක....”

ඒ සිකුරාදා.

ඊළගට සෙනසුරාදා.

පුරුදු විදිහටය ප්‍රැක්ටිස්. එදා රගර්.

ප්‍රැක්ටිස් ඉවරවෙලා දවල් එකට විතර මම නුවර ගියා ලොකු නැන්දලගේ ගෙදර යන්න හිතාගෙන.

මම ප්‍රැක්ටිස් බෑග් එකත් අරගෙන බස් එකට නගිනකොටම පුංචි කාර් එකක් නැවැත්තුවා.

“කාවින්ද.”

දිලිනි.

මෙයා හොල්මනක් වගේ මගේ පස්සෙන්ම එනවනේ. මම ඉන්න තැන් කොහොම හොයා ගන්නවද මන් දන්නේ නැහැ.

මම බස් එකෙන් බැහැලා ආවා.

“කාවින්ද කොහෙද යන්නේ?” ගෙදරද?”

“නෑ මිස්... මම ලොකු නැන්දලගේ ගෙදර යන්න කියලා.”

“යං... මම ගිහින් දාන්නම්.”

“එපා මිස් ... ඔයා යන්න ආපු ගමන යන්න.”

“මම යන්න ගිය තැනක් නෑ ළමයෝ.”

මෙයත් මාර ලෙඩක් වුනානේ.

“මොකක්ද ඔයා කිව්වේ කාවින්ද?”

“නෑ මිස් මොකුත් නෑ.”

“හරි එන්න නගින්න.”

දිලිනි මිස් මාවත් දාගෙන වාහෙනේ පාරට ගත්තා.

“කාවින්ද..”

“ඇයි.”

“අපි කොහෙද යන්නේ?”

“මොකක්...ඇයි මම කිව්වේ මම ලොකු නැන්දලාගේ ගෙදර යන්න ගියේ.”

“හරි හරි... හදිස්සියක් නැත්නම් අපි එදා වගේ මොනවා හරි බීල යමු.”

“මට අද බඩගිනි නෑ.”

“කාවින්ද.. ඇයි ඔයා ඔය තරම් නපුරු වෙන්නේ?”

“මම.... නපුරු.?”

“ඔව් නපුරු තමයි.... මම ඔයාගෙන් ඉල්ලීමක් කරාම ඔය විදිහට බෑ කියනවද?”

“එහෙනම් කොහොමද බෑ කියන්නේ?”

“බෑ කියන්නේ කොහොමද නෙවෙයි. ලස්සන කෙල්ලෙක් ගේ මේ වගේ ඉල්ලීමකට බෑ කියන්නම හොඳ නෑ.”

“ආ ඔයා දැන් ලස්සනයි කිව්වේ කව්ද?”

“ඇයි මම ලස්සන නැද්ද?”

“ලස්සනයි ලස්සනයි... ඕනෙවටත් වඩා ලස්සනයි. ඒකම තමයි මටත් තියෙන බය.”

“බය... ඇයි ඒ?”

“නෑ ඉතින් අවුරුදු දහහතක් වෙනකම් ලස්සනට චරිතේ තියාගෙන හිටපු කාවින්දට මොනවා වෙයිද කියලා. හෙට ඉඳලා කලිසමක් ඇඳගෙන පාරේ යන්න පුළුවන් වෙයිද කියලා තමයි මට බය.”

“මොනවද අනේ කොල්ලෙකුට ඔච්චර තියෙන ලැජ්ජාව?”

“එහෙම තමයි ලැජ්ජ බය ඇතුව හැදුන හොඳ ඉස්කෝල වල කොල්ලෝ. අපි උඩරට හොඳ වැදගත් පවුල් වල ළමයි.”

“පේනවා.... ඉස්කෝලෙදි කරන පිස්සු වැඩ වලින්.”

“අනේ මේ ඔයා කරුණාකරලා මාව බස් එකකට දානවද?”

“කාවින්ද දන්නවද මම අද අහපු ආසම දේ ..?”

“ඇයි මොකක්ද?”

“ඔයා අද මට මිස් කියන්නේ නැතුව කතා කළා. නම කිව්වේ නැතත් ඔයා කියලා කිව්වනේ. මම හරි ආසයි ඒකට.”

“අනේ මිස්..... මාව බස් එකට දාන්න.”

“බෑ....”

“එහෙනම් මොකද කරන්න කියන්නේ?”

“අපි කොහේ හරි ගිහිල්ලා ලන්ච් අරගෙන යමු. මම දන්නවා ඔයා තාම දවල්ට කාලා නෑනේ.”

“කොහේද යන්නේ?”

“මමද ළමයෝ... ඔයානේ තැන් දන්නේ.”

“අපිනම් දන්නේ සයිවර් කඩ තමා මිස්. ඒවට ගියා, කෑවා ආවා. ආයේ කතා කර කර ඉන්න වෙලා නෑ. අපි කාලා නැගිටිනකං තව එකෙක් බලාන ඉන්නවා.”

“ඊයා... සයිවර් කඩ එපා අනේ... හොඳ තැනක් කියන්න. හොටෙල් එකක් වගේ.”

“මම දන්න හොටෙල් එකක් නෑ මිස්. ටවුමේ මුස්ලිම් හෝටලේ නම් තියෙනවා.”

“ඊයා... මාව විහිලුවකට ගත්තද? මම කිව්වේ හොඳ තැනක්.”

එහෙම කියලා එයා කල්පනා කරන්න පටන් ගත්තා.

“හරි අපි යමු බේක් හවුස් එකට.”

“මගෙ අම්මේ... ඊට වඩා හොඳයි අපි දෙන්නගේ ෆොටෝ එකක් ටීවී එකෙයි පත්තරවලයි දාලා, තව එකක් අම්මටයි තාත්තටයි යවන එක. මේ ටවුමේ ඉන්න රොයිටර් ගම් වලවත් නෑ. බුදු අම්මෝ.”

“අනේ මහලොකු චන්ඩියාගේ බය. හරි එහෙනම් අපි යමු අපේ ගෙදර, මම ඔයාට කෑම හදලා දෙන්නම්.”
“පිස්සු කියවනවද මන්දා. මිස් ඔයාගේ ඔළුව කොහේ හරි වැදුනද?”

අන්තිමට අපි දෙන්නා කාර් එකේම පැයක් විතර ඉඳලා වැව රවුමේ අයිස්ක්‍රීම් විකුණන කෙනෙකුගෙන් අයිස් ක්‍රීම් දෙකකුත් අරගෙන වැව අයිනේ බංකුවක වාඩි වුනා.

“ලන්ච් ගන්න ගිහිල්ලා අන්තිමට අපි දෙන්නා පාරේ ඉඳගෙන අයිස් ක්‍රිම් කනවා. අපෝ කාවින්ද ඔයා නම් ගෑණු ළමයෙකුටත් අන්තයි, කෙල්ලෙක් එක්ක ඉන්න තියෙන බය.”

“ඔයා කෙල්ලෙක් නෙවෙයිනේ.”

“එහෙනම් මම කව්ද?”

“එයා මගේ ටීචර් කෙනෙක්නේ.”

“ඒ ඉස්කෝලෙදිනේ කාවින්ද. මමත් තාම පොඩි කෙල්ලෙක්. මට ඒ වගේ සලකන්න එපා.”

“එයා ඒක කියද්දි ඇස් වල කඳුලු පිරිලා.”

“ඇයි ඔයා අඬන්නේ. මම අඬන්න දෙයක් කිව්වේ නෑනේ.”

“ඇයි නැත්තේ ඔයා මගේ හිත රිද්දුවා.”

“අනේ සොරි... මම හිතලා කරපු දෙයක් නෙවෙයි.”

“ඒකම තමයි දුක. එයා නොහිතා කරන සමහර දේවල් වලින් මට දුක හිතෙනවා.”

“මිස් මේ.... මොකක්ද අපි කරන මේ දේවල් වල ‍තේරුම.”

“ඇයි අපි කරන හැම දේකම තේරුමක් තියෙන්න ඕනේද? ඔයා මගේ යාළුවෙක්. ඉතින් ඒ ඇති. මම දන්නෑ මම ඔයාගේ යාළුවෙක්ද කියලා. ඔයා එහෙම හිතන්නේ නැත්නම් මට සමාවෙන්න මම යන්නම්.”

“අපෝ මෙයාගේ සැර... මම එහෙම දෙයක් අදහස් කළේ නෑ. මම කියන්නේ පි යාළුවෝ නම් ඇයි මේ විදිහට හැමදාම හම්බවෙන්නේ?”

“ඒක මම දන්නේ නෑ කාවින්ද. අපි දෙන්නා හම්බවෙන්නේ අහම්බෙන්නේ. ඉතින් යාළුවෝ අහම්බෙන් හම්බවුනාම කතා නොකර යන්නේ නැහැ.”

“ඒකත් එහෙමද... එහෙනම් මම මීට පස්සේ අහම්බෙන් හම්බනොවී ඉන්නම්කෝ.”

“ඒ කොහාමද අහම්බෙන් හම්බවෙනවා කියන්නේ එකක්.”

දිලිනි ටික වෙලාවක් කතාවක් නැතුව හිටියා.

“මේ මොකද කතා නැත්තේ අපි යමුද?”

“හා හා යං... මෙයාගේ පුදුම බයක්නේ.”

“නෑ මිස් ඔයාටත් හොඳ නෑනේ.”

“මට හොඳද නරකද කියලා මම දන්නවා කාවින්ද. මේක මගේ ජීවිතේ. එක මට ඕනේ විදිහට.”

“අම්මෝ මෙයාගේ සැර. තව ටිකක් හිටියොත් මට අල්ලගෙන ගහයිද දන්නෑ.”

දිලිනි මිස් පොඩි කෙල්ලෙක් වගේ හිනා වුනා.

මේ විදිහට ගෙවිල ගිය සති තුනකට විතර පස්සේ වතාවක් නුවරදී මට මිස් දිලිනි ව හමු වුනා.

එදත් මම හිටියේ බයික් එකේ.

ටියුෂන් යන්න ලෑස්තිවෙලා නුවරට ආවත් මගදි තමයි මතක් වුනේ අද ටියුෂන් මිස් නෑ කියලා. මේ දවස්වල මගේ මොලෙත් කොහේ තියලද මන්දා.

ඒ අතරේ මෙයත් හොල්මනක් වගේ මගේ මගේ පස්සෙන්ම එනවා. මට මොනවා වෙන්න යනවද කියලා හිතා ගන්න බෑ.

කාවින්ද, අද කොහේද යන්නේ, අද ශලනි මිස් නැහැ නේද?”

ඔව් මිස්, මම මේ කම්මැලි කමට ආවා ටවුමට. මිස් ගෙදර යනවද?”

ගෙදර යන්නත් ඕනේ තමයි, ඒත් මට මේ වැඩක් තියෙනවා කරගන්න ටවුමේ?”

මොකක්ද කිව්වොත් උදව්වක් කරන්නම්

හ්ම්...... මේකයි, මට මේ දිගන භාවනා මධ්‍යස්ථානයට යන්න ඕන කමක් තියෙනවා.

ඒ මොකද මහණ වෙන්නද?”

පිස්සුද කාවින්ද ජීවිතේ ලස්සනම කාලේ මහණ වෙන්න මම මෝඩ නැහැ. එතන මම මීට් වෙන්න කෙනෙක් ඉන්නවා මට පොඩ්ඩක් මුණ ගැහෙන්න ඕන

ඒත් මම කොහොමද උදව් කරන්නේ, බයික් එකේ යන්න බැහැනේ.

මට තනියම යන්න කම්මැලි නිසයි කල්පනා කළේ

මම කියන්නද, මිස් ට මාත් එක්ක යන එක අප්සෙට් එකක් නැත්නම් මට විනාඩි දහයක් දෙන්න මම බයික් එක දාලා එන්නම්. අපි බස් එකේ යමු.

මිස් මගේ දිහා ටිකක් වෙලා බලාගෙන හිටියා.

ඊට පස්සේ කතාවක් නැතුව මගේ අතේ වැඩිපුර තිබුණ හෙල්මට් එක අතට අරගෙන බයික් එකට නැංගා.
මම හොල්මන් වෙලා ගියා.

එදා කරපු වැරදි වඩේට දඬුවම තමයි අද මාව බයික් එකේ ගෙනියන එක. ඒ විතරක් නෙවෙයි, ආපහු ගෙදර ගිහින් දාන්නත් ඕන.

අනේ මිස්, මම එදා කරපු දේ වරදියි තමා, ඒත් හිතලා කරපු දෙයක් නෙවෙයි.

කට වහගෙන යං,”

එයා මගේ පිටට තට්ටුවක් දැම්මා

මේ මොනවද වෙන්නේ කියලා මට හිතාගන්නවත් බැහැ.

මොකද කාවින්ද බය වෙලා. ඉක්මන් කරන්න මට ආපහු එන්නත් ඕනේ.

යකෝ මේක මාර කෙලියක්නේ..... මේ කෙල්ලට අමු කැවිලද? නැත්නම් ඔලුව ගලකවත් වැදිලද.

මොනව වුනත් දැන් පස්ස ගහන්න බැහැ. නිල් පාට ඩෙනිමක් ඇඳලා... ලස්සන ටොප් එකක් ඇඳලා.... දිග කොන්ඩේ කඩා දාලා.... නිල් ඇස්වලින් එබිලා අනේ කාවින්ද මට උදව්වක් කරන්න කිව්වහම, මොන හිතකින් බැහැ කියන්නද.‍

ඒත් මේ මාව අඳුරන දෙනෝ දාහක් ඉන්න නුවර ටවුන් එක මැද්දේ ලස්සන කෙල්ලෙකුත් බයික් එකේ දාගෙන යන එකනම් පට්ටම සීන් එකක්.

“අනේ යමු.”

මම වෙන මොනවා කියන්නද. බයික් එක ස්ටාර්ට් කර ගත්තා. මුළු ගමනම එයා කිසිම කතාවක් නැතුව මගේ ඉන දෙපැත්තෙන් අත දාලා අල්ලගෙන හිටියා. ඒ ලස්සන චූටි ඇඟිලි වල සිනිදු පහස දැනෙනකොට මගේ හිතට අමුතුම හැඟිමක් දැනුනා.

ටිකක් දුර යද්දි එයා මගේ පිටට තට්ටු කළා.

“අනේ කාවින්ද, හෙමීට යමු...”

අපි අවශ්‍ය තැනට ආවා.

තෑන්ක්ස් කාවින්ද

නෝ වොරීස්

මම කිව්වා

ඔයා ත් එනවද ඇතුලට?”

අනේ මිස් මම එලියේ ඉන්නම් ඔයා ගිහිල්ලා එන්න.

ඕ. කේ.

එයා ගියා.

මම බයික් එක එතන තිබ්බ ලොකු ගහක් යට නවත්තලා හෙවනේ ඉඳ ගත්තා.

අපරාදේ හදිස්සියට සිගරට් එක්ක වත් ගේන්න බැරිවුනා. දැන් මෙයා පැය ගාණක හිටියොත් මාර කට්ටක් තමයි කන්න වෙන්නේ. ගිහිල්ලා ගේන්නත් බයයි, බයික් එකේ පෙට්‍රල් තත්වේ අන්තිමයි. අතේ සල්ලිත් නැහැ, ළඟ පාතක ෂෙඩ් එකකුත් නැහැ.

මම මෙහෙම ඉන්නකොට මිස් ආවා.

කාවින්ද එන්න තේ එකක් බොන්න

බෑ මිස් මම ඉන්නම්

එන්න ළමයෝ, මෙතන ඉන්නේ මගේ නැන්දා.

මෙයා මේ පිස්සු කියවනවා ඒහෙම බවක් දන්නවනම් කීයටවත් එන්නේ නැහැ.

අයියෝ මිස් ඔයා මාර වැඩ තමයි කරන්නේ. මම දන්නවනම් නැන්දා ඉන්නවා කියලා කොහොමටවත් එන්නේ නැහැ.

බය වෙන්න එපා ළමයෝ, නැන්දා මොනවත් හිතන්නේ නැහැ. එයා තමා පොඩි කාලේ ඉඳලම නැනී කෙනෙක් වගේ මාව හදා ගත්තේ

මොනවා වුනත් ඒක හරි නෑ මිස්. අනිත් එක ඔයා කිව්වද මාත් එක්ක ආවේ කියලා.

ඔව්

අයියෝ, ඔයා උගන්නන ඉස්කෝලේ ළමයෙක් එක්ක ආවා කිව්වහම මොනවා හිතයිද?”

පිස්සුද හලෝ මම කිව්වේ මගේ විශේෂ යාළුවෙක් එක්ක ආවා කියලා.

මොකක්?”

නැත්නම් ඉස්කෝලේ ළමයෙක් එක්ක ආවා කියන්නද? ඔන්න ඔයා ඇතුළට ගිහිල්ලා වැරදීමකින්වත් මට මිස් කියන්න එපා. දිලිනි හරි දිලි හරි කියන්න. නැත්නම් අපි දෙන්නම අද ගෙදර ගිහිල්ලා ඉවරයි

මෙයා මේ මොන ලෙඩකද මාව දැම්මේ

මමත් එයාගේ පිටිපස්සෙන් ඇතුළට ගියා. භාවනා මධ්‍යස්ථානයක් නිසා වෙන්න ඇති වටපිටාව හරිම නිස්කලංකයි. හැම තැනම ලොකු ගස් හැදිලා. ගොඩනැගිලි හදලා තියෙන්නේ ඒවා යට.

අපි ඇතුලට යනකොට දිලිනිගේ නැන්දා හිනාවේගන ආවා.

ආ.. මේ ළමයා ගැනද කිව්වේ.

“එන්න පුතා ඇතුළට අපි තේකක් බොමු”

බොහොම ආදරයෙන් එයා මට කතා කළා

අපි තේ බොන අතරේ නැන්දා මට කතා කළා

“දිලිනි හැමදාම මේ වගේ තමයි පුතා. සතියකට සැරයක් මොන වැඩ තිබුණත් මාව බලන්න එනවා.”

“එයා පොඩි කාලේ මම තමා එයාව හදා ගත්තේ. අම්මයි තාත්තයි ලංකාවේ හිටියෙත්   නැහැ. මෙයාව මගේ ළඟ දාලා යනකොට වයස යන්තමට අවුරුදු  තුනයි. එදා ඉඳලා අවුරුදු දහ අටක් වෙනකම් මම තමා මෙයාගේ අම්මා වුනේ.”

මම කතා නැතුව අහගෙන හිටියා.

“ඒත් දැන් අම්මා ආවට පස්සේ මම හිතුවා මේගොල්ලන්ගෙන් ටිකක් ඈත් වෙන්න නැත්නම් මෙයා අම්මා ළඟ ඉන්නවට වඩා ඉන්නේ මගේ ළඟයි.”

“තාමත් පුළුවන් හැම වෙලාවෙම මෙහේ දුවගෙන එන්නේ ඒකයි.”

“ආන්ටි මැරි කරලා නැද්ද?”

මමත් මොනවා හරි අහන්න ඕන නිසා ඇහුවා

“නෑ පුතේ, මට දරුවෙක් හිටියාගේ අවුරුදු තුනේ ඉඳලා දහ අට වෙනකම්ම. ඉතින් මට කසාදයක් බඳින්න අවස්ථාවක් වත් අවශ්‍යතාවයක් වත් තදින් දැනුනේ නැහැ.”

“නැන්දා, මම තාමත් නැන්දට ඉන්නවා”

දිලිනි කිව්වා

“ඒක මම දන්නවා රත්තරන්.”

“ඉතින් පුතේ එදා ඉඳලා මගේ ජීවිතේ වුනේ මේ දරුවා. තාමත් මේ මගේම දුව තමයි. අම්මට තාත්තට කියන්න බැරි ඕන දෙයක් මේ ළමයා කියන්නේ මට ම තමයි.”

“මම මේ දේවල් දන්නේ නැහැ ආන්ටි, මිස් ...... මේ...........  දිලිනි කිව්වා මෙතනට එන්න ඕන කියලා කෙනෙක් හම්බවෙන්න, ඉතින් මම එක්කගෙන ආවා”

“ඔයා නම් හොඳම පුතෙක් දරුවෝ. දිලිනිගේ වැඩ ඔහොම තමයි. කාටවත් කියන්නේ නැහැ මොනවද කරන්නේ කියලා. මොනවා වුනත් මම දැන් ඔයාව දැන ගත්තනේ. මගේ දුවගේ අනාගතේ ගත වෙන්නේ කොහොම කෙනෙක් එක්කද කියලා දැන ගත්ත එකම හිතට සැනසීමක්.”

අම්ම ගහයි කිව්වලු. මෙයා මේ මොනවද කියවන්නේ. මම දිලිනිගේ ලව් එක කියලා හිතාගෙන වගේ කතාව
කාවෝ, එන පොට නම් හොඳ නැහැ වගේ, දැන්ම ෂේප් වෙයන්.

මගේ හිත කිව්වා.

ඒත් ඒ දෙන්නා ගේ කතාවට බාදා කරන්න මට හිත දුන්නේ නැහැ.  

“මම ටිකක් එලියට වෙලා ඉන්නම්.”

මම එහෙම කියලා එලියට ගියා.

පැය බාගෙකට විතර පස්සේ දිලිනි ආවා

අහන්න නම් ප්‍රශ්ණ දාහක් මගේ හිතේ තියෙනවා. ඒත් මම සද්ද නැතුව හිටියා.

“කාවින්ද යංද?”

“ඕ. කේ”

ඒත් දිලිනි මාගේ දිහාම බලාගෙන ඉන්නවා. මූණේ තියෙන්නේ හොර බැල්මක්.

“මොකද මිස් නිකං හොරෙක් වගේ බලන්න?”

“කාවින්ද ඔයා තරහද මාත් එක්ක?”

“මොකටද?”

“නැන්දා ට අර විදිහට ඔයාව අඳුන්නලා දුන්නට”

“මොන විදිහටද?”

“ඔයා මාත් එක්ක යාළුයි කියලා.”

“දැන් ඉතින් වෙලා ඉවරයිනේ. මොනවා කිව්වත් මට ප්‍රශ්ණයක් නැහැ. ඒවා එකක්වත් ඇත්ත නෙවෙයිනේ.”
“ඒ වුනාට මටත් දැන් නම් දුකයි කාවින්ද.”

“ගණන් ගන්න එපා. ඔයා මගෙන් උදව්වක් ඉල්ලුවා, මම කරා.”

“මිලියන් තෑන්ක්ස්, මාව මිස්අන්ඩර්ස්ටෑන්ඩ් නොකළාට.”

“අයියෝ සිම්පල් කේස්. ෆොගෙට් ඉට්.”

මම කිව්වා

අපි ආපහු එන අතරේ දිලිනි මට නවත්තන්න කිව්වා.

“කාවින්ද මට ටිකක් ඔයත් එක්ක කතා කරන්න ආසයි. මට තියෙනව ඔයාට කියන්න දෙයක්. සමහර විට ඔයාට ඒකෙන් කිසිම වැඩක් නැතිවෙයි. ඒත් ප්ලීස් පුළුවන්නම් අහගෙන ඉන්න. මගේ හිතට සැහැල්ලුවක් එයි.”

“ඇයි ඒ?”

“මට ගෙදරින් ප්‍රශ්ණයක් තියෙනවා කාවින්ද, ඒත් මට ඒක කියන්න කෙනෙක් නැහැ. අඩුම ගාණේ හොඳ යාළුවෙක්වත් නැහැ.”

“ඇයි ඔයාට ඇත්තටම යාළුවෝ නැද්ද?”

“මට හිටියේ හොඳම යාළුවෝ තුන් දෙනයි. දෙන්නෙක් දැන් ලංකාවේ නැහැ. අනිත් එක්කෙනා මැරි කරලා. එයාට මගේ කතා අහගෙන ඉන්නවට වඩා වැඩ තියෙනවා.”

“එතකොට මට වැඩ නැහැ.”

“කාවින්ද සොරි මම කරදර කරා නම්. අපි මේ කතාව නවත්තලා දාමු.”

“මිස් කියන්න කොහේටද යන්න ඕනේ ඔයාගේ කතාව අහගෙන ඉන්න.”

මම කිව්වා.

“තෑන්ක්ස් කාවින්ද, යූ ආ සච් එ නයිස් ගයි. නෝ වොන්ඩර් ඉෆ් ගර්ල්ස් විල් ෆයිට් ඕවර් යූ ඕ ඩයි ෆෝ යු”

 දිලිනි කිව්වා

“ඩූ යූ තින්ක් සෝ?”

“ඇයි කාවින්ද එහෙම අහන්නේ?”

“නෑ මම කිව්වේ මම ඒ තරම් හොඳයිද?”

“දන්නේ නැහැ, මොකද මම ඔයාව ආශ්‍රය කරලා තියෙන්නේ බොහොම ටික කාලයයි නේ. හැබැයි ඒ ටිකට මම දැනගත්තා ඔයාට කවදාවත් ලේසියෙන් කොල්ලෙකුට තියෙන්නේ නැති හිතක් තියෙනවා කියලා.”
“ඇත්තද?”

“විහිළු නෙවෙයි කාවින්ද? ඔයා බොරුවට ඩෝන්ට් කෙයා වගේ පෙන්නන්න හැදුවට කෙල්ලෙකුට කිසිම දේකට බැහැ කියන්න ඔයාගේ හිතට බැහැ.”

“හ්ම්.”

“දෙයක් කියන්නද?”

“හ්ම්.”

“ඇත්තටම කියන්නද?”

“කියන්න මිස්.”

“ප්‍රොමිස් වෙන්න තරහ වෙන්නේ නැහැ කියල.”

“හරි හරි, ෂූවර් තරහ වෙන්නේ නැහැ, දැන් කියන්නකෝ.”

“අනේ මට බයයි කාවින්ද,”

මොකක්ද යකෝ මෙයා මේ කියන්නේ. දෙයක් කියන්නද අහනවා. හා කිව්වහම බයයි කියනවා.

“කියන්න මිස්.... ඔයා මොනව කිව්වත් මම තරහ වෙන්නේ නැහැ.”

“ඔන්න එහෙනම් කියනවා. තරහ වෙන්න එපා.”

“අයියෝ ඔයා දැන් මාව බය කරවනවා. ඉක්මනට කියන්න මිස් මොන අටමගලයක්ද කියන්න හදන්නේ කියලා.”

මේකයි කාවින්ද, මට දැනෙන විදිහට ඔයාට ලංවුන ඕනෙම කෙල්ලෙක් ඔයාට පණ වගේ ආදරේ කරන එක ෂුවර්, මේ ලෝකේ වෙන කිසිම කොල්ලෙකුට ආදරේ නොකරන තරම් එයා ඔයාට ආදරේ කරයි. ඔයාව ලබාගන්න ඕනම දෙයක් කරයි. මම ඒක ගැරන්ට් කරලා කියනවා”

“එක්ස් ක්‍යුස් මී.“

“ඔව් කාවින්ද, ඒක ඇත්ත. කෙල්ලෙකුට අතාරින්න බැරි තරම් ඔයා හොඳයි.”

“මිස් මොනවද ඔයා මේ කියවන්නේ?“

“සොරි කාවින්ද, මම මේ වගේ දේවල් ඉස්කෝලේ යන ළමයෙකුට කියන්න ඕන දේවල් නෙවෙයි. ඔයාගේ තාත්තා දැන ගත්තොත් මට හොඳටම බනියි. බැනලා විතරක් නෙවෙයි මාව ඉස්කෝලෙනුත් එලවලා දායි.”

“හරි දැන් ඒකෙන් වැඩක් නැහැ. ඔයාගේ කතාව අහන්න ඕනෙනේ. කොහාටද අපි යන්නේ?”

“අද බැරි වෙයි කාවින්ද, ඒක දිග කතාවක් දැන් රෑ වෙන්නත් ළඟයි.”

“ඒකට කමක් නැහැ, ඕන තරම් වෙලා මම අහගෙන ඉන්නම් මිස්.”

“රෑ වෙලා මාව ගෙදර ගිහින් දානවද?”

ආයෙත් ඒ නිල් ඇස් මගේ මූණට එබුනා. පුදුම වශිකරණ ගතියක් ඒ ඇස්වල තියෙනවා. ඒ දිහා බලලා බෑ කියන්නේ කොහොමද?”

“ෂුවර්.”

“එහෙනම් අපි කොහාටද යන්නේ.......?”

“කාවින්ද ඔයා දන්නවද තැනක්.”

මට එකපාරටම මතක් වුනේ එරන්ද අයියගේ හොටෙල් එක. ඒත් එක සැරයක් දිනිව එක්කගෙන ගිහිල්ලා දැන් මෙයා එක්ක ගියොත් එරංග අයියා වුනත් අප්සට් වෙන්න තියෙනවා.

“මම දන්නෑ මිස්.”

එයා කල්පනා කරන්න පටන් ගත්තා

“මම කියන්නම් කාවින්ද, අපි යමු හිල්ටොප්”

“අනේ මිස් මම ඇත්තම කියන්නම් මගේ අතේ සතේ නැහැ. අනිත් එක බයික් එකේ පෙට්‍රලුත් ඉවර වෙන්න ළඟයි.”

“අයියෝ සල්ලි ගැන බය වෙන්න එපා. අපි යමු. එතන මැනේජර් මගේ යාළුවෙකුගේ අයියා කෙනෙක්. අපි ගිහිල්ලා පූල් සයිඩ් එකට වෙලා ඉමු.”

මමත් කතාවක් නැතුව බයික් එක ස්ටාර්ට් කර ගත්තා

නුවරට ඇවිල්ලා පෙට්‍රලුත් ගහගෙන අපි හිල්ටොප් එකට ආවා.

මම කල්පනා කළේ මම කරන දේ හරිද කියන ප්‍ර‍ශ්ණය.

හරි වුනත් වැරදි වුනත් මම දැන් මේකට අහුවෙලා ඉවරයි. දැන් ආයෙත් පස්ස ගහන්න බැහැ. ඕනේ දෙයක් වෙච්ච දෙන් කියල මම හිත හදාගත්තා. බලමුකෝ මෙයාට කියන්න තියෙන්නේ මොනවද කියල?

අපි දෙන්නා ඇතුල් වුන තැන ඉදලම හැමදේම කළේ එයා. පවුලේ අය එකතු වෙලා කලින් මේ වගේ තැන් වලට ඇවිල්ල තිබුණත් තනියම මේ වගේ තැනකට කෙල්ලෙක් විතරක් එක්ක ඇවිල්ලා තිබුණේ නැහැ.

පිළිගැනීමේ කවුනටරයේ එයාගේ මිතුරා ගැන ඇහුවම අපිය විනාඩියක් ඉන්න වුනා.


එයාගේ මිතුරා ස්වේන්. එයා තමයි හොටෙල් මැනේජර්. එයා ඇවිත් අපිට පූල් සයිඩ් එකේ ටේබල් එකක් ඇරෙන්ජ් කරවලා යන්න ගියා.

0 comments:

Post a Comment