Recent Post

Monday, May 15, 2017

සදානුස්මරණිය ප්‍රථම ප්‍රේමය ~ මේ ආදරයයි ~ 19


සදානුස්මරණිය ප්‍රථම ප්‍රේමය
මේ ආදරයයි


19.
පහුවෙනිදා මම මිෂන් එකට ලෑස්ති වුනා. පැනියා ට පිස්සුද කියල හිතෙනවා වෙලාවකට‍. ඌට ඕ ලෙවල් කාලෙ ඉඳලම පුදුම ලව් පිස්සුවක් තියෙන්නේ. මම දන්න විදිහට කෙල්ලෝ තිහ හතලිහකට ට්‍රයි කරලා හත් අට දෙනෙක් යාළු කරගත්තා. ඒත් ඒ එකක්වත් දිගමට කරගෙන ගියේ නැහැ. ඌ නම් කියන්නේ ඌටම එපා වුනා කියලා. ඒ වුනාට මම නම් දන්නේ ඒ හැම කෙල්ලෙක්ම ඌට බූට් එක තිබ්බ බව.

මොනව වුනත් පැනිය කියන්නේ මගේ තවත් හොඳම යාළුවෙක්. ගෑණු ළමයි ගැන සබ්ජෙක්ට් එකේදි වාතයක් වුනත්, යාළුකමේදි මොන ප්‍රශ්ණේ තිබුණත් අපි වෙනුවෙන් ඉන්න එකෙක්. මට මතකයි එක සැරයක් මටයි ඌටයි වඩා තුන් හතර ගුණයක් ඇඟපත ලොකු එකෙක් මට කැත කතාවක් කිව්වා කියල මූ බය නැතුව ඌට ගහන්න ගියා. ඒ තරම් හිත තියෙන කොල්ලෙක් පැණියා කියන්නේ. ඒ නිසා මේ වෙලාවේ ඌට ගුටිකන්න දීල බලාගෙන ඉන්න එක මේ කාවින්දට කරන්න බැහැ.

ඒත් මූ රට හරකෙක් වගේ අපි කියන එක අහන්නේ නැතුව ඌට ඕනේ එකම කරන නිසා වැඩේ අමාරුයි. මොන මෝඩයද ගුටි කන්න වෙනවා කියල කියල දැන දැනම ඒකම කරන්නේ.

මම උදේම නැගිටලා හිටිය නිසා දීප නැන්දටත් පුදුමයි.

‍”අද මොකද බබා උදේම නැගිටලා?”

“ඇයි දීප නැන්දේ මට අද ලොකු වැදගත් ගමනක් යන්න තියෙනවා.”

“මම දන්නවා...!”

“මොකක්? මොකක්ද දීප නැන්ද දන්නේ?”

“ඇයි අර කෝල් එක දීපු ගෑණු ළමයා. එයාව බලන්න නේද යන්නේ?”

“අනේ පිස්සුද දීප නැන්දේ? මට ඒ වගේ පිස්සුවක් නෑ. මම මේ අපේ එකෙක් මරණිය අනතුරකින් බේරගන්න යනවා.”

මම ඒක කිව්ව විතරයි දීප නැන්දගේ කට බාගෙට ඇරුණා, ඇස් උඩ ගියා.

“මොකද දීප නැන්දා බයවෙලා?”

“බය වෙන්නේ නැද්ද බබා, ඔයා කාත් එක්කද ගහ ගන්න යන්නේ?”

“කව්ද දීප නැන්දේ උදේම නැගිටලා, නාලා, කාලා, හොඳට ඇඳගෙන ගහගන්න යන්නේ?”

“එහෙනම් දැන් කිව්වේ?”

“මම කිව්වද මම කාවවත් එක්ක ගහගන්න යනවා කියලා? මම කිව්වේ මම යන්නේ ගුටි කන එකෙක් බේර ගන්න කියල.”

“ඒ වුනාට බබා ඕවට පැටලෙන්න යන්න එපා. බේරන්න ගිහිල්ල අන්තිමට ගුටි කන්න වෙන්නේ බබාට. ඊට පස්සේ දන්නවනේ අම්මගෙන් විසුමක් වෙන්නෑ.”

“එහෙම කියල බෑ දීප නැන්දේ. බය වෙන්න එපා, මම ගුටි කන්නේ නැහැ.”

මම එලියට එනකොටත් දීප නැන්ද මගේ දිහා පුදුම දුකකින් බලාගෙන හිටියා. හරියට ආයෙත් එන්න වෙයිද දන්නේ නැතුව යුද්ධෙට යන සෝල්ජර් කෙනෙක් දිහා බලනවා වගේ.

මට වෙලාවකට පුදුමයි දීප නැන්ද මට මේ තරම් ආදරේ කරන්නේ ඇයි කියල. සමහර විට මම ඉපදුන දවසේ ඉඳලම මාව බලාගෙන තියෙන නිසා වෙන්න ඇති.

මම මගින් සචියවත් දාගෙන දිගනට ආවා.‍

“කෝ බං මුන් ඇවිත් නෑනේ?”

“ඒක තමා. මූ චතුරයගේ අවවාද අහලා වැඩේ අතෑරලා දැම්මද?”

“එහෙමනම් ඒකත් එකක් බං. නැත්නම් අපි මොන පාට් දාන්න හිතාගෙන ආවත් උන්ගේ සෙට් එකත් මොන වගේද දන්නෙ නෑනේ?”

සචියා දැන්මම බයවෙලා වගේ.‍ මේ කාවින්ද කවදාවත් මේ වගේ දේවල් වලදි පස්සට ගිය එකෙක් නෙවෙයි. ගුටි කන්න හරි සාධාරණය වෙනුවෙන් කතා කරපු එකෙක්.

“උඹ දැන්ම බය වෙලානේ සචියා.”‍

“බයක් නෙවෙයි බං. මේ විභාගේ කට උඩ තියාගෙන මේ වගේ කුණු වලි වලට සෙට් වෙලා ගෙදරටත් පීචං වෙන්න බෑ බං.”

“හිටපංකෝ පොඩ්ඩක්. අපි බලමු.”

අපි විනාඩි කීපයක් ඉන්නකොට චතුර, බොනී, දිලිප් එක්ක අමිල ආවා.

“කාවා, අරුන් ඇවිත් නෑ නේද?”

“ඒක තමා බං. කෝකටත් අපි ටිකක් බලමු, නැත්නම් අපි ආපු ගමනෙන් වැඩක් නැති වෙනවා.”

දහයයි කාල වෙනකොට අපි හිටපු තැනට ටිකක් එහායින් තිබුණ සමර් හට් එන ළඟට තවත් කොල්ලෝ සෙට් එකක් ආවා. එතන හය දෙනෙක් ඉන්නවා.

“කාවා අරුන් තමයි සෙට් එක.”

චතුර කිව්වා.

“කෝ කව්ද උන්ගෙන් කෙල්ලට ලව් ක‍රපු එකා?”‍

“ඌ ඇවිල්ල නැහැ බං. මම හිතන්නේ ඌ කෙල්ලට පේන නිසා සීන් එකෙන් අයින් වෙලා යාළුවෝ දාල වැඩේ සෙට් කරල වගේ.”
“බලහං බං, ෂොට් එකට සීන් එක රෙඩි. සටන් නළුවෝ, දුෂ්ඨයෝ, සපෝටින් ඇක්ටර්ස්ල එක්කෝම ඇවිල්ල ඒත් මේන් කැරක්ටර් එක නෑනේ.”

අමිලනම් මොනව කරත් හින්දි ෆිල්ම් වලින්ම තමයි උත්තර දෙන්නේ.

“මට බය තියෙන්නේ අපි ඔක්කොම මෙතන බලන් ඉද්දි ප්‍රධාන නළුවා වෙන තැනකදි ගුටි කාලද කියල.”

මම හිතේ තිබුණ සැකය කිව්වා.

එතකොටම චතුර මගේ කට වැහුවා. ඌ අත දික් කරපු දිහා මම බැලුවා.

“බලපං කාවා, දැන් මරන්න ඉන්න හරකෙක් වගේ ඉන්න මූ කිසිම ගාණක් නැතුව කෙල්ලගේ අතින් අල්ලගෙන එන ප්‍රේමණිය විදිහ. අපි මෙච්චර අනතුරු අඟවලා තියෙද්දිත් අම්මපා මූට ගාණක් වත් නෑනේ.”

ඒකනම් ඇත්ත. ඌට වට පිටේ ඉන්නේ කව්ද කියල බලන්නවත් ඉස්පාසුවක් නෑ, කෙල්ලෙගේ අතින් අල්ලගෙන මෙලෝ සිහියක් නැතුව මොනවද කියව කියව ඇවිදිනවා.

අපි කෝකටත් කියල අර අනිත් සෙට් එක ගැන තියෙන අවධානය අඩු නොකරම ගස් අ‍ස්සේ හැංගුණා.

විනාඩි කීපයක් යනකොට අර සෙට් එක හෙමීට උන් ඉන්න පැත්තට කිට්ටු වුනා.

ඒ වෙනකොට පැණියයි උගේ කෙල්ලයි සමර් හට් එකක් ඇතුලේ.

“මේ කාවා, මෙතෙන්ට වෙලා හිටියොත් වැඩේ අල වෙනවා. වරෙන් අපි කිට්ටු කරමු.”

සචියා කිව්වා.

“ටිකක් හිටපං, උන් තාම මොනවත් කළේ නැහැනේ. අනිත් එක ගැහුවත් ඌට දෙක තුනක් කන්න දීල ඉමු.”


“මොකක්ද කාවා ඒ කතාව, යකෝ අපේ එකා.”
“හරි බං, ඒ වුනාට මේ හරකා මෙලෝ සංසාරයක් වට පිට බලන්නැතුව හරියට මේ ලෝකෙ ඉන්නේ උන් දෙන්න විතරයි වගේ ලව් කරනකොට දෙකක් කන්න දෙන්න වෙනවා. එතකොට තමයි ඌ ඊළඟ සැරේ පරෙස්සම් වෙන්නේ.”

“උඹ හරි කාවා. ඌට දෙකක් වැදිලා දැනෙන්න දෙමු.”

අමිලයා කිව්වා.

“ඔව් බං. අනික අපි දැනගන්න දෙන්න නරකයි අපි මේ ආවේ ඌව ආරක්ෂා කරන්නමයි කියල. එතකොට ඕකා ඊළඟ පාරත් ඔය ගොන් වැඩේ කරයි අපි ඉන්නව කියල හිතාගෙන‍. අපි අහම්බෙන් ආවා සෙට් වුනා වගේ පෙන්නමු.”

“ඒත් බං කාවා. අපි සෙට් එකම එකතු වෙලා මේ ලවර්ස්ලා එන තැනක මොකද කරන්නේ කියල ඌට සැක හිතෙයි.”

“මචං අපි මුලින්ම දෙන්නෙක් බහිමු. අනිත් උන් හැංගිලා ඉඳලා වැඩේ දරුණු වුනොත් බැහැපං”

එහෙම කියල මමයි, සචියයි ඒ පැත්තට ගියා. අනිත් වුන හැංගුණා.

අපි දැක්කා අර කොල්ලෝ සෙට් එක හෙමිහිට අරුන් හිටපු සමර් හට් එක වටකරලා එකෙක් පැණියා ඉස්සරහට ගියා.

තත්පරයක්වත් ගියේ නෑ ඌ පැණියාගේ කොලර් එකෙන් අල්ලගෙන ළඟට ඇදල ගත්තා‍.‍ අර කෙල්ල හොඳටම බයවෙලා අඬන්න ගත්තා‍‍.

එතනට යන්න හදපු සචියව මම නවත්ත ගත්තා‍‍.

“හිටපං තව ටිකක්.”

මම දැක්කා පැණියා අරුගේ අත ගසල දානවා. ඒත් එක්කම තව එකෙක් පැනලා පැණියට කම්මුල් පාරක් ගැහුවා. පැණියා ඒ පැත්තට හැරෙනකොටම අනිත් එකා උගේ බඩට පාරක් ගැහුවා. පාරේ සැරකටම වගේ පැණියා නැමෙන කොටම තව එකෙක් උගේ ඔළුවට ගැහුවා.

එතකොටම මම එතෙන්ට පැන්නා. සචියා මගේ පස්සෙන්.

මම පැනපු ගමන් එකෙක්ගේ බෙල්ලෙන් අල්ල ගත්තා. මම දැක්කා සචියා අනිත් එකාව අල්ල ගන්නවා. එතකොටම උන් සෙට් එකේ අනිත් හතර දෙනා ආවා. පැණියා හොල්මනක් දැක්කා වගේ බලාගෙන ඉන්නවා. ඌ හිතන්න ඇති අපි කොහොමද මේ වෙලාවේ මෙතෙන්ට සෙට් වුනේ කියලා.‍‍

“කව්ද ඩෝ අපේ වැඩ වලට අත දාන්නේ?”

“උඹලගෙ වැඩ කරගනින් හැබැයි අපේ එවුන්ට අත තියන්නේ නැතුව හරිද? අහිංසකයෙක් අල්ලගෙන ගහන්න හැදුවොත් අපිත් නිකං ඉන්නෑ?”

සචියා කියල දැම්මා.

පුදුමෙකට වගේ උන්ගේ එකෙක් වත් මේ වෙනකම් අපිට ගැහුවේ නැහැ.‍

ඒත් මම ඇස් කොනින් දැක්කා උන්ගේ එකෙක් මගේ පස්සෙන් එනවා අත මිට මොලවගෙන‍‍. ක්ලාස් එකේ කරාටේ මාස්ටර්ගෙන් ඉගෙනගත්ත දේවල් වලට පින්සිද්ධ වෙන්න මම බ්ලයින්ඩ් ෂොට් එකක් ඇදල ඇරියා. මට ගහන්න ආපු එකා ගහක් කඩා වැටෙනවා වගේ නහයෙන් ලේ දාගන බිම.

ඒත් එක්කම හැංගිලා හිටපු අපේ එවුනුත් දුවගෙන ආවා. උන් වට කරගන්නවත් එක්කම පැණියට ගහන්න ආපු සෙට් එක ටිකක් පස්සට වුනා. මගෙන් ගුටි කාපු එකා නහය අල්ලාගෙන තව එකෙක්ගේ වාරුවෙන් බිම ඉඳ ගත්තා‍.

මට පෙනුනා උන් තවත් අපිට ගහන්න පුළුවන් තත්වෙක නෑ කියලා. මම ගහපු පාරේ සැරට ගුටි කාපු එකාට වඩා අනිත් උන් බයවෙලා වගේ. බලාගෙන ගියාම මුන් මේ යාළුකමටම මේ වගේ වලියකට සෙට් වුනාට, වලි දාගෙන පලපුරුද්දක් නැති උන් ‍වගේ.
“මම දන්නෑ උඹල කව්ද කියල, ඒත් අපි අහම්බෙන් මෙතනින් යනකොට අපේ යාළුවාව දැක්කා, ඒත් එක්කම උඹල ඌට ගහනවා දැක්කා. අපි දන්නෑ ප්‍රශ්ණේ මොකක්ද කියල, ඒත් ප්‍රශ්ණ විසඳගන්න ගහගන්නවට වඩා හොඳ ක්‍රම තියෙනවා.”

“ඔව්, උඹල කවුරු වුනත් ඇපිට වැඩක් නැහැ. ඒත් අපේ යාළුවට අත තියල තිබ්බොත් අපි නරකයි කියන්න එපා. දන්නවනේ නුවර මාකට් එකේ කළු අයියා. ඒ මගේ තාත්තා.”

සචියා මහපොළොව නුහුලන බොරුවක් කිව්වා.

ඒත් එක්කම අමිලයා උන්ගේ තවත් එකෙකුට කනට ගැහුවා.‍

“ඕක උඹල අපේ එකාට ගහපු කනේ පාරට හිලව්ව.”

අමිලයත් දැන් අමු මැරයා පාට් එක දානවා.

“අපි හොඳට හොඳයි, ඒත් නරකට ඊටත් වඩා හොඳයි.”

අමිලයා හින්දි ෆිල්ම් වල දෙබස් සිංහලෙන් කියනවා වගේ.

මට හිනාව නවත්තගන්න බෑ.

“නෑ යකෝ නරකට නරකයි. හොඳයි නෙවෙයි.”

මම අමිලයගේ කනට කරලා කිව්වා.

“වෙන්න ඇති. උඹ ඉතින් මාව අල කරන්නේ නැතුව ඉඳපංකෝ.”

“හරි කියපං, මොකක්ද මේ කේස් එක.”

“නෑ මචං, මූ අපේ එකෙකුට බලු වැඩක් කරලා. උඹල ‍මූට ෆිට් එකට මේකට අත දැම්මා වගේ තමයි අපි අපේ එකාගෙ ෆිට් එකට මේකට සෙට් වුනේ.”

“මොකක්ද කරපු බලු වැඩේ? අනිත් එක මම කලිනුත් කිව්වා මේව විසඳගන්න කතා කරල පුළුවන්.”

“මූ අපේ එකෙක්ගේ කෙල්ලෙකුට ට්‍රයි කරලා සෙට් කරගෙන.”

“කව්ද කෙල්ල...?”

මම එහෙම අහන ගමන් පැණියගේ කෙල්ල දිහා බැලුවා. කෙල්ල හොඳටම බයවෙලා අඬනවා.

“කෙල්ල තමයි මේ ඉන්නේ.”

අරූ පැණියගේ කෙල්ල දිහාවට අත දික් කළා.

“පැණියා, ඇත්තද මේ කියන්නේ?”

මම ඇහුවා.

ඌ ගල් ගිල්ලා වගේ බලාගෙන ඉන්නවා.

“හරි කව්ද උඹලගේ මේ කෙල්ලව සෙට් කරගෙන හිටියේ?”

මම ආයෙත් ඇහුවා.

“අපේ හොඳ යාළුවෙක්. සමන්ත‍.”

මම පැණියගේ කෙල්ල දිහාවට හැරුණා.

“නංගි, මම අදමයි ඔයාව දැක්කෙත්, ඒත් මට දැන් මේ ප්‍රශ්ණෙට ඇත්ත කියන්න.”

කෙල්ල හොල්මන් වෙලා බලාගෙන ඉන්නවා. ඒ අතරේ පැණියා කතා කළා.

“මචං කාවා, මුන් බොරු කියන්නේ. දිනූෂි මීට කලින් කා එක්කවත් යාළු වෙලා ඉඳලා නැහැ.”

“උඹ කට වහගෙන ඉඳපං පැණියා. ඒක මම මෙයත් එක්ක බලාගන්නම්.”

මම එහෙම කියල ආයෙත් පැණියගේ කෙල්ල දිහාට හැරුණා.

“මම ඇත්ත කියන්නේ අයියේ. මම දන්නවා ඔය සමන්ත ගැන. එයා මා ගැන හිතාගෙන සෑහෙන කාලයක් ආවා. මට එක වතාවත් කැමතියි කියලත් තියෙනවා. ඒත් මම කවදාවත් එයාට කැමැත්ත දුන්නේ නැහැ.”‍

කෙල්ල කනට ගහනවා ‍වගේ කියල දැම්ම. බලාගෙන ගියාම මේ කෙල්ල පැණියට හොඳ වැඩී වගේ.

“මෙයා කියන්නේ බොරු. අපේ එකාට බූට් එක තියල දැන් බොරු කියනවා.”

උන්ගේ එකෙක් කිව්වා.

“කට වහගනින්.... මේ ප්‍රශ්ණේ විසඳන්න ඔය සමන්ත කියන එකා මෙතන ඉන්න ඕනේ. පුළුවන් නම ඌව මෙතෙන්ට ගෙන්න ගනින්. එතකොට හැමෝම ඉස්සරහ ප්‍රශ්ණේ විසඳගන්න පුළුවන්.”

මම කිව්වා.

“දැන් සමන්ත ඉන්නේ කොහෙද කියල අපි දන්නේ නැහැ.”

“එහෙනම් සද්ද වහලා පලයන් ගුටි නොකා. ඌව හොයාගන්න පුළුවන් ‍වුන වෙලාවක වරෙන් ප්‍රශ්ණේ විසඳගන්න. එහෙම නැතුව ආයෙත් මේ වගේ දෙකයි පනහේ වලි දාලා අහු‍වුනොත් දන්නවනේ.....”

අමිලයා මැරයා පාට් එක ආයෙත් දැම්මා.

“මේ අමිල මම වඳින්නම් ආයෙත් නම් ෆිල්ම් වල දෙබස් වරද්දලා කියන්න එපා. මේ වලි අස්සේ හිනා කාලා මැරෙනවා යකෝ.”

මම ආයෙත් අමිලයාගේ කනට කරලා කිව්වා.

“දැන් පලයන්.”

උන් සෙට් එක අපිට රව රව යන්න ගියා.

“කාවා, උඹ ගහපු පාරේ සැරට මටත් උණ වගේ බං. ඒක නිසා තමයි උන් ‍ෂේප් වුනේ. නැත්නම් මෙතන ගිනි සැරේට වලියක් යනවා.”

චතුර කතා කළා.

ඒ අතරේ මම බැලුවේ පැණියා දිහා. ඌ මොනවදෝ ගිලපු මොකාද වගේ ඉන්නවා.

“පැණියා, මොකක්ද බං මේ චාටර් වැඩේ. උඹට අපේ උන් කියල තිබුණා පරෙස්සමින් ඉඳපන් කියලා. උඹ මෙලෝ චාරයක් නැතුව පිස්සු කෙලිනවා.”

“නෑ බං.... දිනූෂි කවදාවත් ඌ එක්ක යාළුවෙලා නැහැ.”

“ඒකෙන් වැඩක් නැහැ. දැන්වත් පරිස්සම් වෙයං.”

“තෑන්ක්ස් කාවා. මම ඇත්තටම හිතුවේ නැහැ උන් මට ගහන්න සෙට් වෙයි කියල.”

“තෑන්ක්ස් එකෙන් වැඩක් නැහැ, පරිස්සමින් හිටපං. අනිත් එක අපේ උන්ගේ ඇලර්ට් වලට කන් දීපං.”

“හරි කාවා, තෑන්ක්ස්!”

කෙල්ල තාමත් මගේ දිහා බලාගෙන ඉන්නවා. මටත් ටිකක් පුරුදු ගතියක් තියෙනවා මේ කෙල්ලගේ මූණ.

තත්පරයක් ගියේ නෑ කෙල්ල කතා කළා.‍

“ඔයා කාවින්ද නේද?”

මම උඩ ගියා. කෙල්ල කොහොමද යකෝ මගේ නම දන්නේ. මුන් එකෙක්වත් නම කියල කතා කළේ නැහැනේ.

“ඔයා කොහොමද මාව දන්නේ.?”

“අනේ අයියේ, අපේ කව්ද කාවින්ද අයියව නොදන්නේ. අනිත් එක දිනිගේ යාළුවෙක් නම් අනිවාර්්‍යයෙන්ම නොදැන ඉන්න බැහැ.”

මලා, එතකොට මෙයා දිනිගේ යාළුවෙක්ද? කොහේ ගියත් මට ලෙඩක් වැටෙනවා වගේ.

“ඔයා දිනිගේ යාළුවෙක්ද?”‍

එහෙම අහන ගමන් මම කෙල්ලව පැත්තකට එක්කගෙන ගියා. ඒ පාර පැණියා විතරක් නෙවෙයි අපේ සෙට් එකේ අනිත් එවුනුත් හොල්මනක් දැක්කා වගේ.

“මම දිනිගේ හොඳම යාළුවෙක් අයියේ. දිනි ඔයා ගැන කතා නොකරන එකම දවසක්වත් මම දැකලා නැහැ. මම ඉන්නේ ඉස්කෝලේ හොස්ටල් එකේ අයියේ. ඒ නිසයි ඔයාව කලින් දැකල නැත්තේ‍. ඒත් එයා ඔයා ගැන දිනි කියන දේවල් වලින් මම හිතේ මවාගෙන හිටපු කාවින්ද ඇත්තටමත් ඒ වගේමයි කියලා අද දැනගත්තා.”

“ඒ කියන්නේ?”

“දිනි කියන විදිහේ කෙනෙක්ම තමයි මම අද දැක්කේ. යාළුවන්ට උදව් කරන්න පණ වුනත් දෙන, සුදු, උස හැන්ඩ්සම් කොල්ලෙක් තමයි කාවින්ද කියල මම හිතාගෙන හිටියේ. ඒක ඇත්ත තමයි අයියේ.”

මෙන්න ඒ පාර මේ කෙල්ල මට ලව් ටෝක් දෙනවා. පැණියට එහෙම ඇහුනනම් ඌ වහ බොනවා.

“ඉතින් නංගා, ප්ලෙෂර් ටු මීට් යූ.”

“මී ටූ. මම දිනිට අදම කියන්නම්කෝ එයාගේ කුමාරයා මම අද මුණ ගැහුනා කියලා‍‍.”

මාර සීන් එක. කෙල්ල මං ගැන මුන්ට මොනව කියලද දන්නේ නැහැ.

“ඇයි අයියේ එපාද අහන්න?”

“නෑ ඇහුවටනම් කමක් නෑ නංගා. ඒත් ටික දවසක ඉඳලා දිනි මගෙන් ඈත් වෙලා. මට සෑහෙන කාලෙකින් එයාව හම්බවෙන්නත් බැරිවුනා.”

“දිනි මට එහෙම කතාවක් කියල නැහැනේ අයියේ. ඉතින් ඇයි ඔය දෙන්න හම්බවෙන්නේ නැත්තේ. ඕන උදව්වක් කියන්න මම කරන්නම්. මම දිනිව එක්කගෙන එන්නද?”

“ඔයා ‍කොහොමද එයාව එක්කගෙන එන්නේ?”

“ඇයි අයියේ මම දැන් යන්නේ හොස්ටල් එකටනේ‍.”

“ඉතින් ඒකම තමයි මම අහන්නේ. ඔයා හොස්ටල් යනවනම් කොහොමද දිනිව එක්කගෙන එන්නේ?”

“අනේ අයියේ, ඔයා දන්නේ නැද්ද? දැන් දිනි ඉන්නේ හොස්ටල් එකේ. එයාගේ අම්මයි තාත්තයි ආපහු රට ගියා.”


ඒක ඇහුව විතරයි මම හොල්මන් වෙලා ගියා. මේ මොනවද වෙන්නේ.

2 comments:

  1. කාවා තනිකරම නළු කොල්ලෙක්නෙ

    ReplyDelete
  2. නැ බං. ඒ කාලේ කරපු ගොං වැඩ නිමක් නෑ. ඒ කාලෙ නම් හිතුවේ නියමයි කියලා. දැන් තමයි තේරෙන්නේ ගොං කියලා.

    ReplyDelete