Monday, May 15, 2017

සදානුස්මරණිය ප්‍රථම ප්‍රේමය ~ මේ ආදරයයි ~ 17


සදානුස්මරණිය ප්‍රථම ප්‍රේමය
මේ ආදරයයි


17.
එදා ඉඳල මම ඉස්කෝලෙදි හිටියේ බයෙන්. ඇයි අපිව කාව හරි දැකලනම්. මම පුළුවන් තරම් මිස් දිලිනිව මුණගැහෙන්න තියෙන ගමන් අඩුකළා. බැරිවීමකින් වත් ඉස්කෝලෙ ලයිබ්‍රි එකට ගියේ නැහැ.

ඒත් අපේ වාසනාවට අපිව කවුරුවත් දැකල තිබුණේ නැහැ.‍

දවස් කීපයක් වෙනසක් නැතුවම ගෙවිලා ගියා. සතියකට විතර පස්සේ දවසක මම ඉස්කෝලෙ ප්‍රැක්ටිස් කරනකොට මිස් දිලිනි ආවා ඒ පැත්තට. මගේ හිත ගැස්සිලා ගියා. දැන් මෙයාව දකිනකොට මාව නිකම්ම ගැස්සෙනවා. තොල කට වේලිලා යනවා. මොන මගුලක්ද මන්දා, කෙල්ලෙකුට මම මේ තරම් බය වෙලා ම නැහැ.

මට ඇත්තටම වතුර තිබහක් ආවා. මම ඉක්මනට ගිහිල්ලා වතුර බෝතලේ අතට ගත්තා.

“මොකද කාවා උඹ මිස් දිලිනිව දැක්ක ගමන් තොල ක‍ට වේලිලා, හොල්මනක් දැක්කා වගේ වතුර හොයාගෙන ආවේ.”

මේ ටිකට සචියා ඒක දැකල. මූ නම් හොඳයි ශර්ලොක් හෝම්ස් ගේ ගුරා වෙන්න.

“උඹට පිස්සුද බං... මට වතුර ඕනේ නිසා ආවා. මිස් දිලිනිගේ ඒකට සම්බන්ධයක් නැහැ.”

එහෙම කියන ගමන් මම හෙමිහිට ඒ පැත්තට ඇහැ යැව්වා.

මම දැක්කා එයා පිට්ටනිය අයිනේ තියෙන ගල් බැම්ම උඩ වාඩි වෙනවා. ඊට පස්සේ පිට්ටනිය දිහා බලාගෙන හිටියා. මම පුළුවන් තරම් එයාගේ බැල්ම මගහරින්න උත්සහ කළා.  

යකෝ මේක හරි වැඩක්නේ. මෙයාට වෙන වැඩක් නැහැ වගේ මගේ දිහාම බලාගෙන ඉන්නවා. එයා එහෙම බලාගෙන ඉන්නකොට මට හිතෙන්නේ මම ඇඳුම් නැතුව ඉන්නවා වගේ. කිසිම දෙයක් කරගන්න බැහැ. එදා හොටෙල් එකේදි මම පන්ඩිතයා වගේ කිව්වට එයාට ඕන වෙලාවක ළඟ ඉන්නම් කියලා, දැන් හිතෙනවා මොන මෝඩකමක්ද මම කරගත්තේ කියලා.

වෙලාව හවස හතරත් වුනා. මම ගෙදර යන්න ලෑස්ති වුනා. දිලිනි මිස් තාමත් එතනමයි. මම දැක්කා සර්ල කීප දෙනෙක් එයාට කතා කරනවා. ඉස්කෝලෙ ඉවර වෙලා තාමත් ඉන්නේ ඇයි කියල අහන්න ඇති. මොනවා කිව්වද දන්නෑ මේ පිස්සුව.

මම බෑග් එකත් අරගෙන පිට්ටනියෙන් එලියට ආවා. ඒත් එක්කම මිස් දිලිනිත් ආවා. මම ගේට්ටුවෙන් එලියට යනකම්ම එයා ළඟට ආවේ නැහැ. මම එලියට ඇවිල්ලා ටිකකින් එයා පිටිපස්සේ ඉඳල කතා කළා.

“කාවින්ද....”

මම හැරිලා බැලුවා.

“ඇයි මිස්?”

“කාවින්ද ඔයා ඇයි මාව දැක්කේ නැහැ වගේ යන්නේ. ඔයාට කතා කරන්න ඕනෙ නිසා මම ඔයා ගේ වැඩ ඉවර වෙනකම්ම හිටියා. ඒත් ඔයා දැක්කේ නැහැ වගේ යනවනේ.”

“අනේ සොරි මිස්. මම බයවුනා ඔයා ට කතා කරන්න.”

“ඒ මොකද?”

“තේරෙන්නේ නැද්ද මිස්. අපි දෙන්නා මේ වගේ කතා කර කර පාරේ යන එක දන්න කියන කෙනෙක් දැක්කොත් අනිවාර්යයෙන් ලොකු කතාවක් සෙට් වෙනවා. ඒක ඔයාටත් මටත් දෙන්නටම ලොකු ප්‍රශ්ණයක් වෙයි‍. විශේෂයෙන් ඔයාට නරකක් වෙයි මිස්.”

“මට මොනවා වුනත් මම බය නැහැ කාවින්ද. මට කැමති කෙනෙකුට කතා කරන්න මට පුළුවන්. අනිත් එක ඔයාට ප්‍රශ්ණයක් වෙන්න මම ඉඩ දෙන්නේ නැහැ. ඒත් කියන්න මම ඔයාට කතා කරන එක වදයක් නම්... මම නවතින්නම්.”

“ඔයා කතා කරන එක මට වදයක් නෙවෙයි මිස්. ඒත් මට බයයි. අනිත් එක ඔයා මේ ඉස්කෝලෙ පිටිපස්සේ ගේට්ටුවෙන් ආවේ ඇයි. මම යන්නේ පයින්, ඒත් ඔයා අනිත් පැත්තෙන් පාරට ගිහින් බස් එකක් ගන්න ඕනේ නේද?”

“මම ආවේ ඔයත් එක්ක යන්න. තනියම යන්න ඕනේ නම් මම මීට කලින් යනවා.”

“ඒත් මිස් මගේ ගෙදරට තව ටික දුරයි. මම කොහොමද ඔයාව ඇරලවන්නේ.... බයික් එකත් ගෙදර.”

“ඉතින් මම එන්නම් ඔයත් එක්ක ගේ ළඟට. ඔයා ගෙදර ගිහින් බයික් එක අරන් එන්න. ඊට පස්සේ මාව ඇරලවන්න.”

මේ කෙල්ලට පිස්සුද මන්දා. කෙලින්ම නඩු ඇහීමකුත් නැතුවම එල්ලුම් ගස් යන වැඩක් තමා සෙට් කරගන්න හදන්නේ.
“මොනවද කාවින්ද කල්පනා කරන්නේ. අමාරු නම් මම යන්නම්.‍”

එහෙම කියල එයා යන්න හැරුණා.

“නෑ මිස් විනාඩි දහයක් ඉන්න. මම බයික් එක අරන් එන්නම්. ඒ අතරේ අපේ තාත්තා එහෙම ආවොත් මෙන්න මේ පාර හැරෙන තැන හැංගෙන්න. පේන්න ඉන්න නම් එපා අපි දෙන්නටම එල්ලුම් ගහ තමයි.”

“හරි හරි. ඔයා බයවෙන්න එපා.”

මොන මගුලක්ද මන්දා. මට මෙයාව මග අරින්න හිතෙන්නෙම නෑ. ඒ නිල් කැට වගේ ඇස් වලින් බලලා, ‘අනේ බෑ කියන්න එපා’ කිව්වහම මට මොනවා වෙනවද මන්දා?

මේ කරන්නේ මොනවද කියලවත් හිතන්නේ නැතුව මම දිව්වා ගෙදර. බෑග් එක් විසි කලා කාමරයට. හොඳ වෙලාවට අම්ම ගෙදර හිටියේ නැහැ. මම බයික් එකත් අරන් ගියා දිලිනි ඉන්න තැනට.

“යමු.”

“එයා කතාවක් නැතුව බයික් එකට නැංගා. සාරිය ඇඳගෙන ඉන්න කෙල්ලෙකුත් බයික් එකක දාගෙන ඉස්කෝල යන කොල්ලෙක් මොනවද කරන්නේ කියල කී දෙනෙක් හිතන්න ඇද්ද. ඒත් අපි දෙන්නට ඒ කිසිම දෙයක් හිතුනේ නැහැ. මේ පිස්සු කෙල්ල ඇත්තටම මටත් පිස්සු හදවනවා.

මම මිස් දිලිනිව ගෙදර දාන්න යන අතරමග එයා මට නවත්තන්න කිව්වා.‍

“කාවින්ද!  අපි විනාඩි පහක් ඉදල යමු.”

මම බයික් එක නැවැත්තුවා‍.

“ඇයි මිස්?”

“මට ඔයත් එක්ක ටිකක් කතා කරන්න ඕනෙ කියල හිතුනා කාවින්ද‍.”

ඒ වෙනකොට අපි හිටියේ මහයියාවේ‍. මේ පැත්තේ මාව නොදන්න එකෙක් නැහැ. අපේ ඉස්කෝලෙ කොල්ලො සෑහෙන තරමක් ඉන්නෙත් මේ පැත්තේ‍. අපිව අනිවාර්යයෙන් කවුරු හරි දකිනවා. එත් කරන්න දෙයක් නැහැ. තරුණ කාලේ පිස්සුවට මේ කිසි දෙයක් දැනෙන්නේ නැහැ.

මම බයික් එක මහයියාව සොහොන තියෙන පාරට හරවලා ඒ අයිනේ නැවැත්තුවා. මේ හරිය ටිකක් නිස්කලංකයි‍.

“අනේ කාවින්ද, මේ සොහොන නේ. මෙතන ඉන්න බෑ”

“ඇයි බැරි. මෙතන හරිම කාල්ම් නේ. නිස්කලංකයි‍”

“අපෝ ඔයාටනම් පුරුදුයි වගේ.”

“ඔව් මිස් ගොඩක් දෙනෙක් සොහොන් වලට බය වුනාට මම නම් බය නැහැ. ඒවගේ ඉන්නේ මැරිච්ච මිනිස්සු. කරදර නෑ, ඕපදූප නෑ, අපිව දැක්කත් කාටවත් කියන්න බැහැ. මොකද උන් මැරිලනේ.”

“ඒ වුනාට හොල්මන් ඉන්නවලුනේ. මටනම් රෑට තියා දවල්ටත් සොහොනක් ළඟ ඉන්න බයයි.”‍

“බොරු කතා මිස්. මම හොල්මන් බලන්න කියලා කී සැරයක් නම් මේ සොහො‍නටම ඇවිත් තියෙනවද? රෑ එක දෙක වෙනකම් නිදි මරල තියෙනවද, මම නම් මොකෙක්වත් දැක්කේ නැහැ.”

“අම්මේ කාවින්ද. ඔයාට පිස්සුද? මොන දේකටද හොල්මන් හොයන්න යන්නේ. මට නම් බයේ බැහැ.”‍

“හොල්මන් කියල දෙයක් නැහැ මිස්. ඒ ඔක්කොම අපේ හිත. මම රෑ දෙගොඩ හරියේ මේ පාරවල් වල පයින් එනවා. කිසිම දවසක බයක් දැනිල නෑ. ඕව හිතේ මැවෙන දේවල්.”

“මම නම් දන්නෑ ඕවා. ඒත් මටනම් කරන්නම බැරි දෙයක්‍.”

“හරි මිස් බය වෙන්න එපා දැන් මම ඉන්නවනේ. දැන් කියන්නකෝ ඇයි මට එන්න කිව්වේ කියලා.”

“ඒකත් ඇත්ත. කාවින්ද!..... මට ආස හිතුනා ඔයත් එක්ක ටිකක් කතා කරන්න. ඔයා ගැන දවසින් දවස දැනගන්න දේවල් වලින් මම පුදුම වෙනවා. ඔයා වගේ කෙනෙක් ආශ්‍රය කරන්න මට ලොකු ආසාවක් එනවා.”

“දැන් කියන්නකෝ මිස් මොකක්ද ප්‍රශ්ණේ? ආයෙත් පරණ එකමද?”‍

“ඒක කොහොමත් ප්‍රශ්ණයක්නේ කාවින්ද. මම දැන් ඒ ගැන හිතන්නේ නැහැ. එන දේකට මූණ දෙනවා. මම මගේ ලයිෆ් එක ගෙනියනවා.”

“එහෙනම් ඇයි කතා කළේ මට?”

“නිකං ළමයෝ...... ඇයි බයද?”

“ඇත්තටම බයයි මිස්. මේ පැත්තේ මාව දන්නැති එකෙක් නැහැ.”

“එහෙනම් මම කියන්නද? යමු අපේ ගෙදර. අපිට නිදහසේ කතා කරන්න පුළුවන්.”

“පිස්සුද? ඔයාගේ අම්ම තාත්තා?”

“ඒ අය අද ගෙදර නැහැ. එන්නේ රෑ වෙලා. අපි යමු.”

“අනේ මිස් බැහැ. අපි වෙන දවසක හම්බවෙමු. මම එන්නම් මේ ඉරිදා.‍”

“හොඳයි කාවින්ද, මම බල කරන්නේ නැහැ. එහෙනම් ෂුවර් එකටම ඉරිදා ඉන්න.”

“අනිවා.”

එයාට යන්න ඇරල මම දෙතුන් පාරක්ම ආපහු හැරිල බැලුවා. ළඟ ඉන්නකොට කව්රුහරි දකී කියල බය හිතුනත් යනකොට අපරාදේ කියලා හි‍තෙනවා.

වෙලාවකට මට ඇත්තටම බය හිතෙනවා මේ වෙන දේවල් කල්පනා කළාම. දිලිනි කියන්නේ තවදුරටත් මගේ ගුරුවරියක් නොවන තත්වෙට පත්වෙලා. එයාට කිසිම බයක් නෑ එයා කරන දේවල් ගැන. ඇත්තටම එයා පොඩි කෙල්ලෙක් වගේ නිදහසේ හැසිරෙනවා මං ඉස්සරහ. මම දන්න විදිහට නම් කෙල්ලෙක් ඒ තරම් විවෘත වෙන්නේ ආදරේ කරන කොල්ල ඉස්සරහ විතරයි. මොනතරම් නෑ කිව්වත් දිලිනි මට හිතෙන් හරි ආදරේ කරනවා වත්ද?

එහෙමනම් මේ වැඩේ ලේසි වෙන එකක් නෙවෙයි. මොකද මටත් දැන් මේකෙන් ගැලවීමක් නැති තැනට වැඩ සිද්ධ වෙයි.

මොන තරම් බය තිබුණත් ඉරිදා වෙන්නේ කවදද කියල නොඉවසිලි ගතියක් මගෙ තිබුණා.

ඉරිදා උදේම මගේ ඔළුවට ආවේ දිලිනි. ‘මෙයා ඇයි දන්නෑ මට එන්න කිව්වේ?’ මගේ හිතේ වැඩකළේ මේ ප්‍රශ්ණය.

මම වෙනද වගේම ක්ලාස් යන්න පිටත් වුනේ බයික් එකේ. මේ වගේ වැඩ වලදි බයික් එක තිබුණොත් නෝට් වෙනවා අඩුයි. හදිස්සියට කැලේට හරි දාලා පැනගන්න පුළුවන්. පාරේ බස් වල ගියොත් සදා අනාතයි, මොකද ගමන් වලටම පැය ගනන් ගත වෙනවා. උන් කොට කොට මිනිස්සු අහුල අහුල යන්නේ වෙලාව කියන එකේ කිසිම වටිනාකමක් නැතුව.

මම දිලිනි කියපු නිසා නුවර ටවුන් එක පැත්තට යන්නේ නැතුව අස්ගිරිය හරහා යන පාරට වැටුනා. මම කෝකටත් එයාගේ ගෙවල් ළඟට යන්නේ නැතුව මග නැවතිලා බලාගෙන හිටියා. විනාඩි කීපයකින් මම දැක්කා දිලිනි එනවා.

අප්පා අද වෙනදටත් වැඩිය ලස්සනයි. අර සාරිය ඇඳගෙන ඉස්කෝලෙ ඉන්නකොට වැහිල තියෙන ලස්සන දැන්නේ පේන්නේ. මේ තරම් ලස්සන කෙල්ලෙක් මගේ ළඟට එනවා කියලා හිතුනාම මට පොඩි ආඩම්බරයකුත් ආවා. කවුරුහරි දැක්කොත් කියන බය නැතිවෙලා අපරාදේ දන්න කියන කොල්ලෙක්වත් මම මේ වගේ එලකිරි කෑල්ලක් එක්ක ඉන්නවා දැක්කනම් කියලා හිතුනා.

දිලිනි මගේ ළඟට එනකම් මම මේ පිස්සු සිහින ලෝකේ අතරමං වෙලා කියල තේරුණේ එයා මගේ පිටට තට්ටුවක් දාලා කතා කරනකොටයි.

“මොකද, මම එනව දැක්කෙවත් නෑ නේද? කව්රු හරි කෙල්ලෙක් ගැන හීන බල බල හිටියා නේද?”

“අහ්.... සොරි දිලිනි මිස් මම දැක්කා ඔයා එනවා, ඒත් වෙන කල්පනාවක හිටපු නිසා....”

“ඇති ඇති එක්ස්කියුසස් දුන්නා. ෂුවර් එකටම වෙන කෙල්ලෙක් ළඟින් යන්න ඇති.”

“පිස්සුද මිස්?”

“හරි හරි, අපි කොහෙද යන්නේ අද?”

යකෝ මෙයා මේක අහන විදිහ, හරියට මම එයාගේ කොල්ල ව‍ගේ....

“ම්..... මට හිතාගන්න බැහැ මිස්. ඔයාට ලොකු කතාවක් තියෙනවද , නැත්නම් පොඩි කතාවක්ද තියෙන්නේ....?”

“කතාව ලොකුද පොඩිද දන්නේ නැහැ මම, ඔයා දන්න තැනක් තියෙනවනම් නිස්කලංකව ඉන්න යමු.”

“මම දන්න තැනක් නැහැ මිස්. තියෙන තැන් වලට ඔයාව එක්ක යන්න බැහැ.”

“ඒකත් ඇත්ත... මම කියන්නද කාවින්ද, අපි ටිකක් දුරකට යමු. මම පෙට්‍රල් වලට සල්ලි දෙන්නම්.”

“දුරකට කියන්නේ කොහේද?”

“බය වෙන්න එපා ඔයා හරවගන්න කෝ දිගන පාරට.”

“ඒ කොහේ යන්නද?”

“යමුකෝ ළමයෝ බය නැතුව. අපි යන්නේ ඔරුතොට.”

“ඔරුතොට කොහේද? එතන මිනිස්සු නාන තැනක්නේ.”

“නාන තැනට නෙවෙයි ළමයෝ... ඔරුතොට හොටෙල් එකට.”

“හොටෙල් එකට?”

“බය වෙන්න එපා, ඒක අයිති මගේ නෑදෑ වෙන අයිය කෙනෙකුට. මම එයාට යන්න කලින් කෝල් කරන්නම්. අපිට නිදහසේ පැය දෙක තුනක් ඉන්න පුළුවන් ගඟ අයිනේ.”

“ඒත් ඔයාගේ අයිය මං කව්ද කියල ඇහුවොත්?”

“එන්න එතනනම් පොඩි ප්‍රශ්ණයක් තියෙනවා. අනිවාර්යයෙන්ම ඔයා මගේ බෝයි කියල තමයි කියන්න වෙන්නේ. එතකොට අවුල් නෑ.”

“එහෙම වෙන්නේ කොහොමද? දැන් ඔයාට ප්‍රපෝසල් එකකුත් කතා කරල තියෙන වෙලාවේ එයා කියයි ඔයාගේ අම්මට හරි තාත්තට හරි.”

“නෑ එයා කියන්නෑ. මට ෂුවර්.”

“ඕන දෙයක් යමුකෝ එහෙනම්.”

මම බයික් එක ස්ටාර්ට් කරගත්තා.

අපි ඔරුතොට හොටෙල් එකට එන්න පැයකටත් වඩා ගතවුනා.

මෙයා අතරමගදි තැන් කීපයකම නවත්තන්න කියලා, වට පිට ලස්සන බලනවා. මටනම් මෙලෝ රහක් නැහැ.

‘අර බලන්න කාවින්ද ලස්සනයි නේද? අර මීදුම බලන්න හරිම ලස්සනයි’ කිය කියා විකාර කියවනවා. මමත් ඉඳල ඉඳල සෙට් වුනේ පිස්සු කෙල්ලෙකුටද මන්ද?”

“සෑහෙන වෙලාවත් ගියානේද කාවින්ද?”

“කොහෙද ඔයාට පාරේ නවත්ත නවත්ත වටපිටේ ලස්සන බල බල එන්න ඕනෙනේ.”

“එහෙම තමයි අනේ ගමනක් යනකොට...”

“එහොම ගමන් ගියොත් හොඳට තියෙයි.”

“ඕකේ ඕකේ ෆොගෙට් ඉට් නව්...”

“දැන් මොකද කරන්නේ මිස්?”

“ඉස්සෙල්ලම අපි මොනව හරි කමු කාවින්ද, මට බඩගිනියි.”

“මම නම් හැමදාම වගේ එම්ප්ටි පොකට් තමයි මිස්....”

“හරි හරි කව්ද ඔයාගෙන් ඉල්ලුවේ...”

අපි ඇතුලට යනවත් එක්කම දිලිනිගේ නෑදෑ වෙන අයියා ආවා.

“හෙලෝ.... කොහොමද නංගා ඉතින්...?”

“හොඳයි අයියේ.... අයියේ මේ තමයි කාවින්ද, මම කිව්වේ මෙයාගැන තමයි...”

ඔය තියෙන්නේ... මෙයා මොනවා කියලද දන්නේ නැහැ?

“කාවින්ද මේ මගේ අයියා, ලොකු තාත්ත‍ගේ පුතා‍‍‍... සාලිය.”

“හෙලෝ...”

මම කිව්වා.

“ඉතින් නංගා. මොනවද බොන්නේ, මොනවද කන්නේ?”

“හම්... අපි දෙන්නටම බඩගිනි වෙලා තමයි ආවේ...”

“ලන්ච් නම් ටිකක් වෙලා යයි... ඒ අතරේ මම ක්ලබ් සැන්ඩ්විචස් දෙකක් එවන්නම්.”

“අන්න හොදයි අයියේ....”

“අප්පා ඇති යන්තම් අයිය කාරයා ගියා.”

මට කියවුනා...

“මොකද කාවින්ද අයියා කාරයා කියන්නේ.... බය වෙන්න එපා එයා අපිට උදව් කරයි. එයාගේ ලව් එකටත් මම තමයි බැනුම් අහගෙන උදව් කළේ...”

“ඉතින් අපි අතරේ ලව් එකක් නෑනේ මිස්....”

“ඇත්තටම නැද්ද කාවින්ද?”‍

මොකක්. මෙයා මේ මරු කියවනවද? අපි ලව් කරන්න.... හොඳට තියෙයි.... ඊට වඩා හොඳයි ගහකට නැගල, බෙල්ලේ වැල දාගෙන පනින ගමන් වහ බෝතලයකුත් බොන එක...

“මොක්කද කාවින්ද කල්පනා කරන්නේ....”

“කල්පනා කරන්නේ අපි දෙන්න අතරේ මොකක්ද තියෙන්නේ කියල මිස්.”

“ඒක වැඩිය කල්පනා කරන්න එපා කාවින්ද”

මම දිලිනිත් එක්ක ගඟ පැත්තට යනකොටම දැකල පුරුදු ඩයල් එකක් ඉන්නවා දැක්කා ඒ පැත්තේ...

යකෝ..... මලින්දයා..... අපේ ඉස්කෝලෙ දහතුනේ පන්තියේ එකෙක්.

මම දිලිනිගේ අත අල්ලගෙන දුවගෙන ගියා ගහක් ළඟට.

“ඔයා නම් හොඳම නෑ කාවින්ද?”

“මොකක්?”

“මේ බලන්න මගේ අත, ඔයාගේ යකඩ වගේ අතට තදවෙලා... ඔය මාව ඇදගෙන ආවේ සතෙක් ඇදගෙන යනවා වගේ...”

දිලිනි මිස් එහෙම කියලා මගේ දිහා බැලුවේ අමුතු විදිහට.

මමත් එයාගේ අත දිහාම බලාගෙන හිටියා.

බලද්දි දිලිනිගේ සුදුම සුදු අත මැණික් කටුව ළඟ තද රතුපාට වෙලා ලේ පිරිලා... මට දුකේ බෑ. ඒ ලස්සන හීනි දිග ඇඟිලි රෝසපාටයි. අල්ලගත්ත අත අතාරින්න හිතෙන්නේම නැහැ.

“එක්ස් කියුස් මී මිස්ටර් කාවින්ද, ඔයා තාම මගේ අත අල්ලගෙන....”

ලස්සන නිල් කැට වගේ ඇස් දෙක ආයෙත් මගේ මූණට එබුනා. මෙයාව මගේ කර ගන්න ඇත්නම්. මට තත්පරයෙන් සීයෙන් එකකදි එහෙම හිතිලා නැතිවෙලා ගියා.

එතකොටයි මට තේරුණේ මම තාම එයාගේ අත අල්ලගෙන ඒ දිහා කන්න වගේ බලාගෙන ඉන්නවා කියල.

“ඔයා මගේ අත අල්ලගෙන අතාරින්නේ නැතුව හිටපු දෙවෙනි වතාව මේක. ඇයි අල්ලගත්තහම අතාරින්න බෑ වගේද?”

මොකක්ද කාවින්ද මේ වෙන්නේ. මීට කලිනුත් උඹ මෙයාගේ අත අල්ලගෙන අතාරින්නේ නැතුව හිටියද. වෙන්න බෑ. ඒත් මෙයා බොරුවක් කරනවා වෙන්නත් බැහැ. බලමු කල්පනා කරලා‍

යකෝ ඇත්තනේ. මට අර නුවරදි නවකතා පොතක් දුන්න දවසෙදි මෙයාගේ අත අල්ලගෙන අතාරින්න මට අමතක වුනානේ... වස ලැජ්ජාව.

“සොරි මිස්.”

“හරි හරි කියන්නකෝ ඇයි මේ හදිස්සියේ හොල්මනක් දැක්ක වගේ මාවත් ඇදගෙන දිව්වේ කියල.”

“හොල්මනක් නම් කමක් නැහැ මිස්. අපේ ඉස්කෝලෙ දහතුනේ පන්තියේ මලින්ද ඉන්නවා.”

“කව්ද මලින්ද?”

“මලින්ද කව්ද කියල ඔයාට කිය කිය ඉන්න බැහැ දැන්. ඌ ඔයාවත් මාවත් දෙන්නවම දන්නවා. ඒ නිසා ඌ දකින්න කලින් අපි මාරු වෙමු මෙතනින්.”

“දැක්කොත් නම් ප්‍රශ්ණයක් තමයි කාවින්ද, ඒත් අපි ආවා විතරනේ...”

“අනේ මිස් ඔයාට ඕනේ නම් ඉන්න. මට නම් පරිප්පු කන්න බෑ. මම යනවා.”

“මාව එක්කන් ඇවිල්ලා දැන් දාල යන්නද හදන්නේ?”

යකෝ මේකි කතා කරන්නේ හරියට මම එයාව බලෙන් එක්කන් ආවා වගේනේ.....

“දාල යන්න නෙවෙයි මිස්.... ඔයාවත් ඇදගෙන යන්න. ඕකා කොහොමත් මාත් එක්ක හොඳ නැහැ. අපි දෙන්නා ඉන්නවා දැක්කොත් නම් ඉතින් ජීවත් වුනා ඇති කියල තමයි අපිට හිතන්න වෙන්නේ....”

“ඇයි එයා ඔයත් එක්ක තරහ?”

“ඔන්න ආයෙත් අනවශ්‍ය ප්‍රශ්ණයක් අහනවා. එන්න යන්න”

“ඒ වුනාට කාවින්ද ? ඇයි ඔය දෙන්නා තරහා?”

මෙයාටත් තැනට අදාල නැති ප්‍රශ්ණමයි තියෙන්නේ.

“මම දවසක් ඌට ගැහුවා මට සීන් එකක් දාන්න ඇවිල්ලා. ඌ ඊට පස්සේ උගේ ප්‍රයිවට් ක්ලාස් එකක සෙට් එකක් එක්ක ආවා. අපේ උන් සෙට් එක උන්ට දුන්නා එදා නැතිවෙන්න. දැන් ඉතින් යමු කොහෙට හරි.”

“ඉන්නකෝ කාවින්ද, අපි මිනිහ යයිද කියල බලමු. මම හිතන්නේ ගෙදර අයත් එක්ක ලන්ච් එකකට ඇවිල්ල. දැන් ඉවර ඇති.”

“ඒ වුනාට මිස් මූ දැන්ම ගියේ නැත්නම් අපි අනාථ වෙනවා.”

“ඉන්න අපි බලමු.”

“අපි දෙන්න පොඩි එවුන් දෙන්නෙක් වගේ ගස් යට හැංගිලා සෑහෙන වෙලාවක් හිටියා ඌ යනකම්ම.”

“මූටත් අපි දෙන්න ගැන අනුකම්පාවක් නැතුව වගේ තාම මේ මගුලේ කැරකෙනවනේ.”

මට කියවුනා.

“ඒක තමයි, බලන්නකෝ කාවින්ද මෙයා කාල බීල ඉවර නම් නොයා ඉන්න හැටි.... අයියෝ අපි දෙන්නා හැංගිමුත්තම් සෙල්ලම් කරනවා වගේ ගස් වගේ දුවනවා....”

දිලිනි මිසුත් මූට පලු යන්න බනිනවා....

ඇති යන්තම් ඌ යන්න ගියා. ඒකෙන් වුනේ අපි පැයක් විතරම හැංගිමුත්තං සෙල්ලං කරපු එක... බඩගින්න ඩබල් වෙලා....

“කාවින්ද අපි යමු මොනව හරි කන්න. අරයා සැන්විච් එවලා අපි නැතිකොට මොනව කරාද දන්නෑ”

“ඒකත් ඇත්ත... මට නම් අම්බානකට බඩගිනියි මිස්...,”

අපි දෙන්න යනකොට සැන්ඩ්විච් ලෑස්ති කරලා තිබ්බා. තිබුණ බඩගින්නට මම දිලිනි මිස්ගේ එකෙනුත් බාගයක් කෑවා.

“අනේ කාවින්ද, ඔයා ඔච්චර බඩගින්නේ ඉන්නවා කියල දන්නවනම් අපිය ලන්ච් වලට රයිස් වගේ දෙයක් ගන්න තිබ්බා. අපරාදේ.”

“නෑ මිස් ප්‍රශ්ණයක් නෑ.... මම දැන් ෆුල්... මට‍ තියෙන දුක මිස්ගේ එකෙනුත් බාගයක් නොදැනීම මගේ බඩට ගිය එක.”

“අනේ ප්‍රශ්ණයක් නෑ කාවින්ද... මම කොහොමත් දවල්ට කන්නේ ටිකයි. අනිත් එක බත්නම් කන්නෙම නෑ.”

“එහෙනම් හොඳයි...”

“ඉතින් කාවින්ද අපි ටිකක් කතා කරමු.”

ඇයි යකෝ මෙයාට මොලේ අවුල්ද” අපි මෙච්චර වෙලා කතා කරන එක නෙවෙයි නම් මොනවද කළේ.

“ඇයි මිස් මොකක්ද විශේෂ දේ?”

“විශේෂයක් නෑ කාවින්ද.... මට ආසයි ඔයා ගැන ටිකක් දැනගන්න.”

“මගේ ලොකු දෙයක් කියන්න නෑ මිස්.”

“ඔයාගේ ගෙදර කව්ද ඉන්නේ?”

“අම්මයි, තාත්තයි, මමයි, මල්ලියි, උයන්න ඉන්න දීප නැන්දයි, පූසයි, බල්ලෝ තුන් දෙනයි.”

“අනේ විහිළු කරන්න එපා..... බල්ලෝ පූසෝ ගැන මම ඇහුවේ නැහැ.  ඒත් ඇයි අප්පා බල්ලේ තුන් දෙනෙක්?”

යකෝ. බල්ලෝ පූසෝ ගැන ඇහුවේ නැහැ කියල ඒ වාක්‍යයේම අගට අහනවා ඇයි බල්ලෝ තුන් දෙනෙක් කියල. මේ කෙල්ලෝ එක්ක කතා කරනවා කියන්නෙත් අම්මපා පිස්සු හැදෙනවා.

“කියන්නකෝ කාවින්ද... ඇයි බල්ලෝ හතර දෙනෙක්. වල් බල්ලොද, හොඳ බල්ලොද?”

මෙන්න මේ ගෑනි ඒ පාර අහනවා බල්ලෝ වල්ද, හොඳද කියලා.

“මොකද කාවින්ද කතා නැත්තේ?”

“නෑ මිස් මම බැලුවේ මොකකට උත්තර දෙන්නද කියලා? බල්ලෝ පූසො ගැන වැඩක් නෑ කියල දැන් ඒ ගැන ම අහනවා. මටද පිස්සු ඔයාටද පිස්සු.”

“හරි හරි, ලොකු සයිස් නැතුව කියන්නකෝ.... මමත් ආසයි බල්ලන්ට ඒකයි අහන්නේ...”

එතකොට අද මාව මෙතනට එක්කරගෙන ඇවිල්ලා, කෑම අරන් දීලා මේ ඔක්කෝම කළේ බල්ලෝ ගැන අහන්නද?

“ඔයා නම් පිස්සු ‍හටනක්.  හරි එපා... අපි වෙන දෙයක් කතා කරමු.”

ඒ පාර මෙයා ආයෙත් ට්‍රැක් එක මාරු කළා.

“අනේ කාවින්ද, මම දැන් ප්‍රශ්ණ කීයක් ඇහුවද... ඔයා ගල් ගිල්ලා වගේ වචනයක්වත් නැතුව බලාගෙන ඉන්නවා.”

එතකොටයි මට තේරුනේ මම සෑහෙන වෙලාවකින් මොනවත් කිව්වේ නැහැ කියලා.

“බල්ලෝ නම් වල් නෙවෙයි. තුන් දෙනාම ඩොබමන්. මගේ ගොන් කමට නිකං දුන්න පැටව් නිසා තුන් දෙනාම අරගෙන ආවා. උන් දැන් මාව සත පහකට ගණන් ගන්නෑ. අම්ම පස්සෙමයි. අම්ම කුස්සියට යනකොට තුන් දෙනා ඒ පස්සේ යනවා. මිදුලට යනකොට ඒ පස්සේ යනවා. හරියට බොඩිගාඩ්ල වගේ. ඒත් මාව මුන් සත පහකට ගණන් ගන්නෑ.”

“ඔය ආයෙත් බල්ලෝ ගැන කියවනවා. දැන් ඔයාමනේ මට බැන්නේ බල්ලෝ ගැන අහනවා කියලා. මට ඔයා ගැන කියන්න.”
මොකක්, මට ආයෙත් ට්‍රැක් එක මාරු වුනාද. ඒත් මෙයා අන්තිමට ඇහුවේ බල්ලො ගැන නෙවෙයිද?

“කාවින්ද බල්ලෝ තුන් දෙනාම එක වයසද?”

දිලිනි ඒක අහපු ගමන් අපි දෙන්නටම වක්කඩ කැඩුවා වගේ හිනා ගියා. දිලිනි පොඩි කෙල්ලෙක් වගේ උඩ පැන පැන හිනා වෙනවා.

“යු ආර් සච් එ සෙන්සිබල් ගයි කාවින්ද. යූ ආර් සෝ ෆනී ඇන්ඩ් ලව්ලි.”

“මොකක්?”‍

“අපි දෙන්නටම පිස්සු වගේ කාවින්ද? මම අහන එකට නෙවෙයි ඔයා උත්තර දෙන්නේ. ඔයා අහන එකට නෙවෙයි මම උත්තර දෙන්නේ. හිනාවෙලා මට පණත් නැහැ.”

“හරි මිස් ... අපි ආයෙත් මුලින් පටන් ගමු. මොකක්ද ඔයා මුලින්ම ඇහුවේ?”

මම ඒක කිව්වා විතරයි දිලිනි මිස් ආයෙත් හිනා වෙන්න ගත්තා‍.

“අයියෝ මිස් දැන් පැයක් නාස්ති වුනා, අරූ නිසා හින්දි ෆිල්ම් එකක් වගේ ගස් වටේ දුවලා. දැන් තව පැයක් ඔයා හිකි හිකි ගගා හිනා වෙනවා.”

ඒක ඇහුනම දිලිනි මිස් කලින්ටත් වඩා හයියෙන් හිනා වුනා.

“මොකක්ද වෙලා තියෙන්නේ. මාව සර්කස් එකක ජෝකර් කෙනෙක් වගේ පේනවද?”

“අනේ නෑ කාවින්ද, මට හිනාව නවත්ත ගන්න බැහැ. ගොඩක් කාලෙකට පස්සේ මම මේ විදිහට අවංකවම හිනා වුනේ.”

මේක හරි වැඩක්නේ... මෙයා මට එන්න කියලා හිනා වෙනවා විතරයි. ඒ මදිවට කියනවා ගොඩක් කාලෙකට පස්සෙලු මේ විදිහට හිනා වුනේ. මම ජෝක් එකක්ද. කාවා කවදාවත් මේ තරම් නෝන්ඩි වෙලා නැහැ කෙල්ලෙක් ඉස්සරහ.

දිලිනි මිස් හොඳටම හිනා වෙලා ඇස්දෙකේ කඳුලු.

“ඔන්න හිනා වෙලා වැඩිවෙලා ඇස්වල කඳුළු, කවුරු හරි දැක්කොත් හිතයි අඬනවා කියලා.”

“ඉතින් එහෙනම් පිහ දාන්න.”

ආයෙත් අර ලස්සන නිල් කැට ඇස් මගේ මූණට එබුනා. මොන මගුලක් වෙලාද මට මේ ඇස් වලින් ගැලවීමක් ඇත්තෙම නැහැනේ.

“කෝ ඉතින්.....”

එයා මගේ අත අරගෙන එයාගේ කම්මුලේ තියා ගත්තා.

මට මොනව වුනාද දන්නෑ... මම වශී වෙලා වගේ ඒ ලස්සන ඇස්දෙක දිහා බලාගෙනම හිටියා.

“කාවින්ද? හෙලෝ නව් යූ ආ සටෙයරින් ඇට් මයි අයිස් ෆෝ ලාස්ට් ටූ මිනිට්ස්”


මල කෙලියයි. නෝන්ඩි වෙනවා කියල මෙහෙමත් නෝන්ඩි වෙනවද? යකෝ මේ ඇස් වලින් ගැලවෙන්නම බැරි වෙයිද?

3 comments:

  1. අපෝ මේ දිලිනි නම් මහ ඇණයක් අප්පා.

    ReplyDelete
  2. පිස්සු දිලිනියක්නෙ

    ReplyDelete
  3. පිස්සු තමා. එයා එදත් කාවින්දව පිස්සු වැට්ටුවා. තාම කියලා වෙනසක් නෑ දිගටම කියවගෙන යන්‍නකෝ.

    ReplyDelete