Recent Post

Wednesday, May 17, 2017

සදානුස්මරණිය ප්‍රථම ප්‍රේමය ~ මේ ආදරයයි ~ 24


සදානුස්මරණිය ප්‍රථම ප්‍රේමය
මේ ආදරයයි


24.

වෙලාව හරියටම පහයි.

මම ගේට්ටුව ළඟට යනකොට කව්රුවත් හිටියේ නැහැ. මම මොකද කරන්නේ? බෙල් එක ගහනවද? ඒත් මිස් නැතුව වෙන කෙනෙක් ආවොත් මම මොනවද කියන්නේ?

මම මෙහෙම කල්පනා කර කර ඉන්නකොට ගේට්ටුව ඇරුණා. ලස්සන සුරංගනාවියක් ඇරුණු ගේට්ටුවෙන් එබුනා‍.

දිලිනි ඒ වෙලාවේ ඒ තරම් ලස්සනයි. එයාව දැක්ක ගමන් මට හිතා ගන්න බැරිවුනා මේ දිලිනිමද කියලා. ඒ තරම් ලස්සනට දිලිනිව මම කවදාවත් දැකල නැහැ.

තනි කලුපාට දිග ගවුමක් ඇඳලා. දිග කොන්ඩේ පිට දිගට දාලා. නිල් කැට ‍වගේ දිලිසෙන හැමදාමත් මට මාවත් අමතක කරවපු ඇස් වලින් මගේ දිහා බලාගෙන හිටියේ දිලිනිමයි කියලා තේරුම් ගන්න මට ටික වෙලාවක් යන්න ඇති.

“ඉතින් කාවින්ද, එහෙනම් ඔයා ආවා.”

“ඔව් නැතුව බෑනේ. ආවේ නැත්නම් අඬනවා කිව්වනේ.”

“ඇයි මම අඬනවට කැමති නැද්ද?”

“ම්?”

“කියන්න කාවින්ද... මාව අඬවන්න කැමති නෑ නේද?”

“ඇත්තම කියන්නම් මිස්. මට ඔයාව විතරක් නෙවෙයි වෙන කිසිම කෙල්ලෙක් වුනත් අඬවන්න කැමති නෑ.”‍

“හව් ස්වීට්!?”

“මොකක්ද මිස් කිව්වේ?”

“ආ.... නෑ කාවින්ද මොකුත් නෑ. අපි යමු ගේ ඇතුලට.... තව වෙලා තියෙනවනේ!”

“මම ‍මෙහෙම ඉන්නම් මිස්. ඔයා ගිහිල්ල එන්න.”

“පිස්සුද ළමයෝ..... ඔය ඔතන ඉන්නේ කොහොමද? අනිත් එක තව වෙලා තියෙන නිසා අපි ගෙට ගිහිල්ල මොනව හරි කාලා, බීල යමු. නැත්නම් එතන ගිහිල්ල බඩගිනි වෙනවා.”

මම දෙගිඩියාවෙන් ගේට්ටුවෙන් ඇතුල් වුනා. ඒත් එක්කම මිස් දිලිනි මගේ අතින් අල්ලගත්තා.

මම ඇත්තටම බයවුනා.

“මොකද කාවින්ද බය වුනාද? එන්න බය වෙන්න එපා.”

එයාගේ ගෙදරදිම මගේ අතින් අල්ලගෙන දැන් අහනවා බය වුනාද කියලා. ඇයි දෙයියනේ අම්ම හරි තාත්තා හරි දැක්කොත්.‍

මම එහෙම හිතලා මිදුලේ නැවතුනා.

බලද්දි මේක ගෙයක් නෙවෙයි, මාලිගාවක් වගේ. ගේට්ටුව ළඟ ඉඳලා ගේ දොර ළඟට යනකම් ලස්සන තණකොල වවපු ලොකු මිදුලක්.

මම ඒ මිදුල මැද නැවතිලා, අනාථ වෙලා වගේ බලාගෙන හිටියා.

“අනේ කාවින්ද, හොඳ ළමය වගේ එන්න. ගෙදර ඉන්නේ වැඩට ඉන්න දෙන්නා විතරයි. අනිත් අය කවුරුවත් නැහැ.”

ඒක ඇහුනම මගේ බය ටිකක් අඩුවුනා.

අපි දෙන්නා ඇතුළට ගියා.

ගේ ඇතුලත් පුදුම ලස්සනක්.

“එන්න ඉඳගන්න.”

සාලෙ පැත්තක තිබුන මහ විශාල සෝෆා එක පෙන්නලා දිලිනි කිව්වා.

කාවා මේකනම් ලේසි වැඩක් නෙවෙයි. උඹ අත දාලා තියෙන්නේ සල්ලි ගස් හිටවපු අක්කර ගානක වත්තකට වගේ. ගස් හොලවලා සල්ලි කඩාගන්න පුළුවන් විදිහේ තැනකට නෙවෙයි ගස් බර වැඩිවෙලා සල්ලි බිම වැටිලා තියෙන තැනකට. පරිස්සමින් වැඩ නොකළොත් යන්න වෙන්නෙත් ඒ වගේම තමා.

මගේ හිත කිව්වා.

දිලිනිත් මගේ ළගින් ඉඳ ගත්තා‍.

“කාවින්ද, අපි මොනවද කන්නේ?”

“මම දන්නෑ මිස්. මට බඩගින්නකුත් නෑ.”‍

“මම කේක් හැදුවා. කනවද?”

මට හිනා ගියා.

“මොකද හිනා වෙන්නේ. මට කේක් හදන්න බෑ කියල හිතුවද?”‍

“අනේ නෑ මිස්.”

“ඉන්නකෝ මම අරන් එන්න.”

එයා කේක් පුරවපු පිඟානක් අරගෙන ආවා.

“ගන්න.”

මම එක කෑල්ලක් ගත්තා. ඇත්තටම කේක් එක පුදුම රසයි. මේක මෙයා හදපු එකක් වෙන්න බෑ. නුවර තියෙන හොඳම කේක් ෂොප් එකේ කේක් එකක් වගේ.

මම ආයෙත් හිනා වුනා.

“අනේ... ඇයි කියන්න හිනා වෙන්නේ. රස නැද්ද?”

“රස නැතිකම නෙවෙයි. රසම රසයි. කොහෙන්ද ගෙනාවේ?”

“අනේ නරකයා. මම මහන්සි වෙලා හැදුවේ.”

“බොරු කියන්න එපා මිස්.”

“බොරු නෙවෙයි අනේ... මම තමයි හැදුවේ.”

“ඇත්තටම රසයි මිස්.”

“තෑන්ක්ස්.”

“මේ ඇත්තට කියනවද කොහෙන්ද ගත්තේ කියලා?”

“ඔන්න විහිළු කරන්න එපා මම ගහනවා ඔයාට.”

මම කේක් කෑල්ල කාලා ඉවර වෙලා එයා දිහා බලාගෙන හිටියා. ඒ නිල් කැට වගේ ඇස් දිලිසෙනවා බලාගෙන ඉන්න බැහැ.

එක මොහොතකට මට හිතුනා මෙයා මගේ වෙනවනම් කියලා.

“කාවින්ද ඇයි මගේ දිහාම බලාගෙන ඉන්නේ? මම ලස්සනද?”

ඕනෙම කෙල්ලෙක් අහන ප්‍රශ්ණේ එයත් ඇහුවා.

මම තවත් හොඳට එයා දිහා බැලුවා. කොහොම බැලුවත් දිලිනි මිස් ලස්සනයි. මම දන්න ලස්සනම කෙල්ලෝ කිසිම කෙනෙකුට වඩා ලස්සනයි. දිනි, ලයාංගි, එරන්දිකා කියන්නේ ඇත්තටම ලස්සන කෙල්ලෝ. මගේ යාළුවෝ ගොඩ දෙනෙක් ඒ ගැන කියල තියෙනවා. ඒත් දිලිනි මිස් ඒ හැම දෙනාටම වඩා ලස්සනයි.

ඒ ඇස්වල තියෙන්නේ පුදුම ලස්සනක්. එක පාරක් ඒ දිග ඇස් දිහා බලපුවහම මගේ ඇස් අහකට ගන්න පුළුවන් කමක් ඇත්තෙම නැහැ. ඒ දිග ඇස් වල තියෙන්නේ ලංකාවේ පෙනුමකට වඩා පිටරට කෙල්ලෙකුගේ පෙනුමක්. ලස්සන පොයින්ටඩ් නහය ඒ පෙනුම තවත් වැඩි කළා. ඒ පෙනුම මම වෙනත් කිසිම කෙල්ලෙකුගෙන් දැකල නැහැ.

“හෙලෝ කාවින්ද? කෝ මගේ ප්‍රශ්නෙට උත්තරේ?”

“මොකක්ද මිස් ඇහුවේ?”

“මං ලස්සනද කියලා?”

“මමත් කල්පනා කළේ ඒක තමයි මිස්. ඔයා ඇත්තටම ඕනවටත් වඩා ලස්සනයි. මට බයයි මගේ හිතෙන් හරි ඔයාව වැරදි දෙයක් වෙයි කියලා.”

“ඇයි ඔයා මට මොනවද කරන්න යන්නේ?”

“මොනව කරන්නද? අල්ලගෙන කිස් කරගෙන කරගෙන යනවා ඇරෙන්න.”‍

ඒක මගේ කටින් පැන්නේ මමවත් නොහිතපු වෙලාවක.

දිලිනි හෙලවෙන්නෙවත් නැතුව මගේ දිහා බලාගෙන හිටියා.

මටත් කියන්න දෙයක් හිතාගන්න බැරිවුනා.

“කාවින්ද.”

දිලිනි මිස් රහසින් වගේ කතා කලා.

මම එය දිහා බැලුවා.

“කාවින්ද, ඔයා ඇත්තටමද කිව්වේ?”‍

“මොකක්ද මිස්?”

“දැන් ඔයා කියපු  දේ.”

“මට තේරෙන්නේ නැහැ.”

“ඇයි ඔයා කිව්වේ මාව ඉඔගෙන ඉඔගෙන යන්න හිතෙනවා කියලා.”

“මම කිව්වේ ඕනෙම කෙනෙකුට එහෙම හිතෙනවා‍ කියල මිස්. ඔයා ඒ තරම් ලස්සනයි.”

“ඉතින් කරන්නකෝ. එයත් ඇහෙන නෑහෙන ගාණට කිව්වා.”

“මට ඇහුන්නෑ...”

“ඒක හොඳයි....”

ඇති යන්තම් වැඩේ ගොඩින් ෂේප් කරගන්න වචන ටිකක් කටට ආවා. ඒත් මම මුලින් කියපු දේ මෙයාට ඇහුනා. දැන් ඉතින් මේ වගේ බොරු ටිකක් කියල නෝන්ඩිය වහ ගන්න තමයි වෙන්නේ.

“ඔයා හරිම හොඳ කොල්ලෙක් කාවින්ද. කෙල්ලෙක් බලාපොරොත්තු වෙන හැම දෙයක්ම ඔයා ළඟ තියෙනවා. ඔයා අවංකයි. කෙල්ලෙකුට රෙස්පෙක්ට් කරන්න දන්නවා. වෙන කොල්ලෝ වගේ කෙල්ලෝ ඉස්සරහ බොරු චන්ඩි වෙන්න යන්නෙ නැහැ. ඒ හැමදේටමත් වඩා ඔයාට කෙල්ලෙකු‍ගේ හිත රිද්දවන්න බැහැ. අපි දෙන්නා අන්ත දෙකක දෙන්නෙක් වෙලත් මේ තරම් මම ඔයාට ලං වෙන්නත් හේතුව ඒකයි කාවින්ද. කොටින්ම කියනවනම් ඔයා ළඟ ඉන්නකොට කෙල්ලෙකුට හැම දේම ලැබුණා වගේ හැඟිමක් එනවා. මටත් ඒක අඩු නැතුව දැනෙනවා. ඒ නිසාමයි මම ඔයාට හැම වෙලාවෙම කතා කරන්නේ.”

දිලිනි එක දිගට කියාගෙන ගියා.

“මිස්, අයි මීන් දිලිනි.”

“කට‍ වහගෙන අහගෙන ඉන්න කාවින්ද? මට කියන්න ගොඩක් දේවල් තියෙනවා. අනිත් එක මම අන්තිම වතාවට කියන්නේ මට ඔය බම්බු මිස් කියන එක නවත්තන්න.”

දිලිනි කිව්වා.

“කාවින්ද, ඔයාට තේරුම් ගන්න බැරුව ඇති ඇයි මම මේ හැම වෙලාවෙම ඔයාව හම්බවෙන්නේ කියලා. මමත් ඒ ගැන හිතුවා‍. ඒත් මටවත් ඒකට හරි උත්තරයක් නැහැ. මම හිතන්නේ කාවින්ද ඔයා හැමවෙලාවෙම මට ඇහුම්කන් දෙන නිසා මම දැන් ඔයාව විශ්වාස කරන්න පටන් අරගෙන. මගේ හැම දෙයක්ම බය නැතුව විවෘතව ඔයාට කියන්න තරම් අපි දෙන්නා‍ ළං වෙලා.”
“මට තේරෙනවා.”

“මට ගෙදරින් ඇතිවුන ප්‍රශ්ණත් එක්ක ඒ බැඳිම තවත් වැඩි වුනා. මගේ ප්‍රශ්ණ වැඩිවුන වෙලාවට හැම දාකම වගේ ඔයා මගේ ළඟින් ඉඳලා මම කියන් දේවල් අහගෙන හිටියා. ‍මට ඔයා ළඟ ඉන්නවා කියන්නේ ලොකු හයියක්. ඒත් කාවින්ද මම ඔයාගේ තරුණ ජීවිතේ එක්ක සෙල්ලම් කරන්නේ නැහැ. මමත් කෙල්ලෙක්, ඔයාට වඩා අවුරුදු තුන හතරක් විතරක් වැඩිමල් කෙල්ලෙක්. ඒත් ඔයාට වඩා හොඳට ජීවිතේ ගැන මට තේරෙනවා. පොඩි කාලේ ඉඳලම අම්මා තාත්තා නැතුව හැදිලා, මගේ දේවල් තනියම කරගන්න පුරුදු වෙලා මම ජීවිතේ ගැන හොඳට දන්නවා. ඒ නිසා ඔයා අවංකවම හිතනවනම් අපි දෙන්නා හම්බවෙන එකෙන් ඔයාගේ ජීවිතේට කරදරයක් වෙනවා කියලා, මට කියන්න. මම කවදාවත් තරහ වෙන්නේ‍ නැහැ. ඒත් මම ඔයාට යන්න දෙන්නම්.”

“දිලිනි මේ මොනව කියවනවද දන්නෑ. ඔයාව මට කරදරයක් නම් මම එන්නේ නැහැනේ. මමත් කෙලින් වැඩකරන කොල්ලෙක්‍. මට ඔයාව කරදරයක් නම් බොරුවට මවාපාන්නේ නැතුව මම ඔයාට කෙලින්ම කියලා ආයෙත් එන්නේ නැතුව ඉන්නවා. ඒ මගේ හැටි‍.”

“දැන් වුනත් කාවින්ද ඔයා අකමැත්තෙන් නම් ආවේ මට කියන්න. අපි මේකට නොගිහින් වෙන තැනකට යමු.”

දිලිනි එහෙම කිව්වහම මට හිතුනා මේ වගේ වැඩ බයවෙලා කරන්න බැහැ කියලා. එයා නියම කෙල්ලෙක් වගේ මගෙන් ඉල්ලනවා එයාව එක්ක යන්න කියලා. මට පුළුවන්ද බැහැ කියන්න‍. ඇරත් අර නිල් කැට වගේ ඇස් දිහා බලාගෙන නම් කොහොමටවත් බැහැ‍.

“බය වෙන්න එපා‍ මම ඔයාව එක්ක යන්නම්.”

“අප්පා දැන තමා ඇඟට ලේ ටිකක් ඉනුවේ. පන්ඩිතයා වගෙ මම අරෙහෙම කිව්වට මම පුදුම බයකින් හිටියේ ඔයා යන්න බැහැ කියයි කියලා‍‍. ඔයා දන්නවද කාවින්ද මම කොයිතරම් ආසාවකින්ද ඔයත් එක්ක මේ ගමන යන්න බලාගෙන හිටියේ කියල.‍”

මට හිනා ගියා. වයස් පරතරය පැත්තකින් තිබ්බහම මොන කොල්ලද අකමැති මේ තරම් ලස්සන කෙල්ලෙක් එක්ක ගමන් යන්න.

“තෑන්ක්ස් කාවින්ද මාව එක්ක යනවට”

ආයෙත් අර නිල් කැට වගේ ඇස් මගේ ඇස් වලට එබුනා. ඒ ඇස් තරුවගේ දිලිසෙනවා.

“කාවින්ද, ඔයා මොකද ගල් වෙලා වගේ මගේ දිහා බලාගෙන ඉන්නේ?”

“ඇත්තම කියන්නද දිලිනි?”

“කියන්න කාවින්ද.”

“ඔයාගේ ඇස් පුදුම ලස්සනයි දිලිනි. ඒ ඇස් වලින් මගේ දිහා බැලුවහම මට මගේ ඇස් අහකට ගන්න බැරුව යනවා‍‍‍. ඔයා‍ගේ ඇස් නිල්ම නිල් පාටයි. දිලිසෙන්නේ හරියට තරුකැට වගේ. ඔයා එකපාරක් මගෙ දිහා බැලුවාම මට හැමදේම අමතක වෙලා ඔයාගේ ඇස් දිහාම බලාගෙන ඉන්න හිතෙනවා.”

“මට දැන්නම් බයයි ඔයා එක්ක තනියම මේ විදිහට ඉන්න එක ගැන. කොල්ලා මට මොනව කරයිද දන්නෑ?”

“ඒක තමයි දිලිනි මිස්. මටත් මොනවා හිතෙයිද දන්නෑ දැන්. අපි යන්න ලෑස්ති වුන වැඩේට යමුද?”

“යමු කාවින්ද. ඒත් අපි මොකේද යන්නේ?”

“මගේ බයික් කට්ට තියෙනවා. නැත්නම් පාරේ බස් තමා.”

“අයියෝ කාවින්ද, ඔය බයිසිකලේ යන්නේ නැතුව අද අපි කාර් එකේ යං.”

“මොන කාර් එකේද?”

“මගේ කාර් එකේ.”

“ෂා මරුනේ. ඔයාට කාර් එකක් තියෙනවා කියල දන්නවනම් මම බයික් කට්ට දාලම එනවනේ.”

එයා ගෙට ගියා යතුර ගේන්න.

“මෙන්න කාවින්ද? ඔයා ගන්න.”

“පිස්සු හැදෙයි. මම තාම ට්‍රයල් මිස්. ලයිසන් ගත්තේ නැහැ.”

“ලයිසන් නැතිවුනාට එලවන්න පුළුවන්නේ. පොලිසියෙන් නැවැත්තුවොත් මම බලාගන්නම්.”

“ඔයා බලාගන්නව කියල මොනව කරන්නද දිලිනි. මට කූඩුවේ තමයි ඉන්න වෙන්නේ.”

“මාව විශ්වාස කරන්න කාවින්ද, අද රෑ කවුරුවත් ඔයාව නවත්තන්නේ නැහැ.”

මෙයා බය නැත්නම් මම මොකටද බය වෙන්නේ. මම ගියා වාහනේ ලඟට. ‍‍

“මිස්... සොරි දිලිනි, මම ඔයා කියන ඕන තැනකට එන්නම්. ඒත් අපි මගේ බයික් එකේ යමු. ඒක ඇත්තටම කබල කිව්වට අලුත් එකක්නේ. මට ඒක කම්ෆිඩන්ස්. “

“අනේ කාවින්ද!”

“මේකයි දිලිනි මිස්, අපි බයික් එකේ යන එක ඇඟට ගුණයි. හෙල්මට් ෆුල් ෆේස් නිසා කව්රුවත් දකින්නෙත් නෑ. මොකද කියන්නේ?”

“හොඳයි කාවින්ද කැමති විදිහක්.”

මම කොහොම හරි කාර් එකේ යන එක ගැන තියෙන අදහස අමතක කරල දැම්මා. මේ වගේ හොර වැඩක් කරද්දි නුපුරුදු වාහන අරන් යනවා කියන්නේ වහ කනවා වගේ වැඩක්. හදිස්සියකදි මොනව කරන්නද කියල කලින් හිතා ගන්න බැරි වෙලාවට මගේ පුරුදු බයික් එක තියෙනවනම් මට රේල් පාරක හරි දාලා බේරෙන්න පුළුවන්.

අපි දෙන්නා පිටත් වුනා. එයා මගේ ඇඟවටේ අත්දෙක දාලා තදකරලා බදාගෙන ඉන්නවා. වෙනදා නොදැනෙන අමුතුම හැඟිමක් මට දැනුනා. එයාගේ ඇ‍ඟේ උණුසුම නිසා මගේ හිතත් උණුසුම් වුනා.

“කාවින්ද අපි පොඩ්ඩක් වැව රවුමේ නවත්තමු‍.”

දිලිනි මගේ කනට කරල කිව්වා.

මම නැවැත්තුවා.

“ඇයි මිස්? සොරි දිලිනි?”

“මට මිස් කියන එක නවත්තගන්න කාවින්ද ප්ලීස්”

“ඔයා ඕක කියන්නද නවත්තන්න කිව්වේ?”

“නෑ බබෝ.... මට ඔයත් එක්ක මේ වෙලාවේ මෙතන ඉඳගෙන ඉන්න ආසයි.”

“මිස් මම දන්නෑ ඔයාට මොනව වෙලාද කියල? ඔයා පොඩි කෙල්ලෙක් වගේ හැසිරෙන්නේ. මම මේ පණ බයේ ඉන්නවා කවුරුහරි දකි කියල. මම නම් කොල්ලෙක් ඒත් ඔයාට හොඳ නෑ.”

“මම පොඩි කෙල්ලෙක් තමයි කාවින්ද? ඔයා ළඟ ඉන්නකොට මට දැනෙන්නේ මම සැහැල්ලුවෙන් පාවෙනවා වගේ. ඔයා කොයිතරම් හොඳද! ඔයා මං වෙනුවෙන් මොනතරම් දේවල් කරනවද! ඒ කිසි දෙයක් ඔයා කරන්නේ මගෙන් මොනවත් බලාපොරොත්තුවෙන් නෙවෙයි. අඩුම තරමේ අපි දෙන්නා ලවර්ස්ලවත් නෙවෙයි‍‍. ඒත් ඔයා මාව තේරුම් අරන් මං ආස දේවල් මොනවද කියල දන්නවා. මම වගේම ඔයත් මේ දේවල් එන්ජෝයි කරනවා. මම කැමති ඒ වගේ කෙනෙක් ආශ්‍රය කරන්න කාවින්ද. මගේ වයසට ළඟ වයසේ ඉන්න සැහැල්ලු කොල්ලෙක් ආශ්‍රය කරන්න මම ආසයි. නැතුව මාව බදින්න එන ගිහාන් වගේ මට වඩා අවුරුදු දොලහක් වැඩිමල්. මං හිතන විදිහට හිතන්න බැරි, ජීවිතේ මහා බරක් කරගත්ත කෙනෙක් නෙවෙයි.”

දිලිනි කියවගෙන යනවා. පවු කෙල්ල හිතේ තියෙන දුක කියනවා. මම සද්ද නැතුව අහගෙන හිටියා.

මට ඇත්තටම දිලිනි ගැන දුකක් දැනුනා.

එයා මේ හැමදේම කරන්නේ එයාගේ හිතේ තියෙන දුක නැති කරගන්න. ඉස්සරහට වෙන්න තියෙන දේ වලක්වන්න බැරි බව දන්න නිසා එයා ඒ ‍දේවල් අමතක කරන්න මාව ලං කරගෙන.

ඒත් මේක කොහෙන් නවතියිද කියල හිතන්නවත් බැහැ. අපි දෙන්නා ආදරේ නොකළා වුනත් කවුරුහරි දන්න කෙනෙක් දැක්කොත් නම් කතාවක හැදෙනවා. එහෙම වුනොත් අපි දෙන්නම අමාරුවේ.

“කාවින්ද මට හිතෙනවා මම මහා පව්කාරියක් කියලා. අම්මා තාත්තා, සල්ලි, දේපල මේ හැමදේම ම‍ට වැඩියෙනුත් එක්ක තියෙනවා, ඒත් ජීවිතේ වඩාම වටින සතුට මට නෑ. ඉස්සරහට මොනවද වෙන්නේ කියන එක දන්නේ නැහැ. මට ජීවිතේ ගෙවන්න වෙන්නේ මම ආදරේ කරන කෙනෙක් එක්ක නෙවෙයි කියන එක හිතෙනකොට මට මැරෙන්න හිතෙනවා කාවින්ද?”

එහෙම කියන ගමන් එයා මගෙ අත අල්ල ගත්තා. ඒ සියුමැලි ඇඟිලි තුඩු මගේ හිතට අමුතු හැඟිමක් අරන් ආවා.

මම කතා කළේ නැහැ.

“කියන්න කාවින්ද, ඒක සාධාරණද?”

“මොකක්ද මිස්?”

“මොඩයෝ මට මිස් කියන්න එපා.”

“මොකක්ද මිස් සාදාරණද කියල ඇහුවේ, මම ඔයාට මිස් කියන එකද?”

“අනේ මේ ඔයත් එක්ක වැදගත් දෙයක් කතාකරන්නම බෑනේ. පිස්සු කියවනවා. ආයෙත් මට මිස් කියල තිබුනොත් ඇත්තමයි මම මෙතනින් වැවට පනිනවාමයි.”

දිලිනි ඉස්කෝලෙ යන පොඩි කෙල්ලෙක් වගේ සැහැල්ලුයි.

“කාවින්ද, ඔයාට බැරිද මට උදව් කරන්න මේ ප්‍රශ්ණෙන් ගොඩ එන්න.”

“මම මොනව කරන්නද දිලිනි?”

මම අමාරුවෙන් දිලිනි කියල කියා ගත්තා. නැත්නම් මෙයා වැවට පැන්නොත්.

“ඒකත් ඇත්ත කාවින්ද! ඔයා මොනව කරන්නද?”

“හ්ම්”

“ඒත් එක දෙයක් තියෙනවා කරන්න පුළුවන්නම්.”

“ඒ මොකක්ද මිස්, මම පුළුවන් උදව්වක් කරන්නම්. මම ඔයාගේ අම්මලා එක්ක කතා කරල වැඩක් වෙයිද?”

“එහෙම එකක් නෙවෙයි මැට්ටෝ. ඔයා කව්ද කියලවත් නොදන්න අපේ අම්ම ඔයා කියන එකක් අහන්න එයාට පිස්සුද. ඔයාට හොඳවයින් දෙකක් කියයි දුවන්න.”

“එහෙනම්?”

“මට ඒක කියන්න බයයි කාවින්ද”

“අයියෝ කියන්න”

“ඔන්න මම කියනවා, තරහ වෙන්න ඔට්ටු නැහැ හරිද?”

“ෂුවර්”

“මොකක්ක දන්නවද කාවින්ද?”

“දන්නෑ”

“අන්න ඔයාගේ මූණ වෙනස් වුනා. ඔයා මාත් එක්ක .තරහ වෙන්න තමයි යන්නේ.”

“අයියෝ නෑ අප්පා. මට පිස්සු හැදෙන්න කලින් කියන්න."

“ඔන්න හිනා වෙන්නත් බෑ.”

“හරි හරි..... කියන්න දැන්.”

“මාව මේකෙන් බේරගන්න නම් ඔයාට එක දෙයයි කරන්න තියෙන්නේ.”

“මොකක්ද?”

“මාව බඳින්න!”

මම ගැස්සිලා ගියා. මේ කෙල්ල ඇත්තටමද මේ කියන්නේ?

“ඇයි කාවින්ද බය වුනාද?”

“බය නොවී කොහොමද දිලිනි, පොල්ලෙන් ගහනවා වගේ කියපු දේ.”

“ඔන්න ඔයා කිව්වා තරහ වෙන්නෙ නැහැ කියලා.”

“හරි හරි මම තරහ නැහැ මිස්.”

“එහෙනම් මාව මේකෙන් බේරගන්නවද?”

“කොහොමද?”

“ඇයි මම කිව්වේ . ආයෙ කියන්න ලජ්ජයි.”

“ඔයාව බඳින්න?”

“ඔව්. ඒක තමා එකම ක්‍රමය.”

“දිලිනි පිස්සු හැදිලද?”

“මට පිස්සු නැහැ කාවින්ද. මට මේකෙන් ගැලවෙන්න තියෙන එකම ක්‍රමය ඔයා මාව බඳින එක‍.”

“මේ දැන්?”

“ඔව් ඒත් කමක් නැහැ. ඒ වුනාට බබෝ ඔයාට දෑවැද්දට දෙන්න තියෙන්නේ නම් මගේ කාර් එකයි, පර්සනල් බෑන්ක් එකවුන්ට් එකේ තියෙන සල්ලියි විතරයි. ඒකේ ලක්ෂ දෙක තුනකට  වඩා නැහැ. අනික් හැම දේපලක්ම තාත්ති මට නැති කරයි.”

“මට ඔයාගේ දේපල එපා මිස්. සොරි දිලිනි.”

“දේපල විතරද එපා. මාවත් එපාද?”

“එක අතකට දේපල තිබුනනම්, මට ජීවිතේට රස්සාවක් නොකර කාලා බීලා ඉන්න ඔයාව බඳින්නත් තිබ්බා.”

“අන්න නරකයා.... සල්ලි නිසා කෙල්ලෙකුට කැමති වෙනවනම් මට ඔයාව එපාම එපා.”

“එහෙනම් අපි බඳින වැඩේ අතාරිමු නේද දිලිනි. ඔයාට මාව එපාලුනේ.”

“අනේ කාවින්ද විහිලු කරන්න එපා. මේ ලස්සන වෙලාවේ අපි ලස්සන දෙයක් කතා කරමු.”

එහෙම කියලා එයා මගෙ උරහිසට එයාගේ ඔළුව හේත්තු කර ගත්තා. ‍‍

එයාගේ කොන්ඩෙන් එන සුවඳට මාව මත් වුනා වගේ. මම මටත් නොදැනීම එයාගේ අත තදකරල අල්ලගත්තා.

“කාවින්ද මොකුත් කියන්න එපා මේ විදිහට මට ටිකක් ඉන්න දෙන්න.”

එහෙම කියල එයා තවත් තදින් මට තුරුලු වුනා.

දිලිනි මට තුරුලු වෙලා වැව දිහා බලාගෙන ඉන්නවා. මගේ හිතේ තියෙන හැඟිම මට තේරුම් ගන්න බැරිවුනා.

මේ කෙල්ල එයාව බඳින්න කියලා කිව්වේ ඇත්තටමද. කෙල්ලෙක් ලේසියෙන් කොල්ලෙකුට එහෙම කියන්නේ නැහැ. එයා ආදරේ නොකරන කෙනෙක් ඉස්සරහ නම් කවදාවත් මේ වගේ දෙයක් කියවෙන්නේ නැහැ.

අපි විනාඩි ගණනාවක් ඒ විදිහටම හිටියා. දිලිනි නැගිටින පාටක් නැහැ.

ඒ උණුසුමෙන් ඈත් වෙන්න මටත් ලෝබයි වගේ දැනුනා. ඒත් මේ වගේ තැනක මේ විදිහට වැඩි වෙලාවක් ඉන්න ගියොත් ලොකු ලෙඩක් වැටෙනවා.

මම කතා කළා.

“දිලිනි”

“හ්ම්”

“දිලිනි, අපි යමු නේද?”

“කොහේ යන්නද කාවින්ද ඔයා ළඟින් ඈත් වෙලා?”

“අපි ආවේ වෙන ගමනක් යන්න නේද? අපි යමු ඒ වැඩේට.”

“අනේ තව ටිකක් අපි මෙහෙම ඉමු කාවින්ද!”

දිලිනි ඔලුව උස්සන්නේ නැතුවම කිව්වා.”

සෑහෙන වෙලාවකට පස්සේ එයා කතා කළා.

“තෑන්ක්ස් කාවින්ද කරපු උදව්වට මගේ හිත ගොඩක් සැහැල්ලු වුනා.”

“යූ ආ වෙල්කම්, අයි ඈම් ඕල් ඉයර්ස්.”

“මම දන්නවා කාවින්ද, මේ දුප්පත් කෙල්ලට ජීවිතේ එපා වෙලා හිටපු වෙලාවක ඔයා මාව ඒකෙන් ගොඩ ගත්තා.”

“මොකක්ද මිස් වෙලා තිබ්බේ?”

“මම හරි සන්තෝසෙන් ඔයාත් එක්ක මේ ගමන යන්න ලෑස්ති වුනේ. හිනා වෙන්න එපා මට ඊයේ රෑ නින්ද ගියෙත් නෑ......... ආනේ ඔන්න ඔයා හිනාවෙනවා..... මම තරහම තරහයි.”

“හරි හරි හිනා වෙන්නෑ මිස් කියන්න.... අයි මීන් දිලිනි කියන්න වෙච්ච දේ.”

“මම එහෙම ලෑස්ති වෙලා ඉන්නකොට තාත්ති අදත් අර කතාව ඇදල ගත්තා. මම කෙලින්ම කිව්වා මට එයාව මැරි කරන්න බැහැ කියලා.”

“නැහ්.... ඊට පස්සේ.....?”

“ඊට පස්සේ තාත්තිට හොඳටම තරහ ගියා. මට කෑ ගැහුවා. ඊට පස්සේ ඇහුවා මම කැමති වෙන කෙනෙක් ඉන්නවද කියලා?”
“ඉතින්......?”

“මම කිව්වා ඔව් කියලා....”

“කව්ද?”

“වෙන කව්ද කාවින්ද? ඔයා.....”

“මොකක්, ඔයා එහෙම කිව්වද?”

“මොකද චන්ඩියා බය වුනාද? හී හී... මම එහෙම කිව්වේ නැහැ බබෝ....”

“එහෙනම්?”

“මම කිව්වා එහෙම දෙයක් නැහැ... ඒත් මම ගිහාන්ට ආදරය කරන්නේ නැති නිසා එයාව බඳින්න බැහැ කියල. ඒකට හොඳටෝම මම අඬලා හිටියේ ඔයා එනකොට...”

“ඉතින් මිස් දැන් අපි දෙන්නා මෙහෙම ඉන්නවා දැක්කොත් ඔයාගේ තාත්තා මාව මරලා හංගයි.....”

“බය වෙන්න එපා කාවින්ද, මම ඉන්නකම එයා ඔයාට මොනවත් කරන්නේ නැහැ. මම එහෙම කරන්න දෙන්නේ නැහැ. ඔයාව මරනවනම් ඊට කලින් මාව මරන්න වෙයි එයාට....”

දිලිනි ඒක කිව්ව විදිහට මට පුදුම හිතුනා.

“ඔයා මං වෙනුවෙන් මැරෙනවද දිලිනි. නිකම්ම නිකං කාවින්ද වෙනුවෙන්... මං වෙනුවෙන් ඔයා එහෙම කරනවද?”

“මට ඔයා වෙනුවෙන් ඊට වඩා දෙයක් වුනත් කරන්න පුළුවන් කාවින්ද, ඔයා මට මේ කරන උදව් වෙනුවෙන් මට කරන්න බැරි දෙයක් නෑ...,”

“මට තේරෙන්නෑ මිස් අපි මේ කරන වැඩේ තේරුම මොකක්ද කියලවත්, මේ වැඩේ අවසානය මොකක් වෙයිද කියලවත්... ඒත් ඔයා සතුටින් නම් මම ඒ දේ කරනවා....”

“ඔයාගේ ඔය ගතිය තමයි කාවින්ද මම දැකපු නියම පිරිමි ගතිය. මම ආදරය කරන්නේ ගිහාන් වගේ සාම්ප්‍රදායික පවුල් ජීවිතයක් ගත කරන්න හිතන කෙනෙකුට වඩා ඔයා වගේ ලස්සනට හිතන කෙනෙකුට....”

ටිකකින් ආයෙත් දිලිනි කල්පනා කරන්න පටන් ගත්තා.

විනාඩි දෙක තුනකදි එයා නැගිට්ටා.

“අපි යමු කාවින්ද?”


“යමු.”

0 comments:

Post a Comment