Recent Post

Wednesday, May 17, 2017

සදානුස්මරණිය ප්‍රථම ප්‍රේමය ~ මේ ආදරයයි ~ 25


සදානුස්මරණිය ප්‍රථම ප්‍රේමය
මේ ආදරයයි


25.

අපි ෂෝ එක තියෙන හෝල් එකට එනකොට හරියටම හය හමාරයි.

සෑහෙන සෙනගක් හිටියා ඒ අවට. මම බයික් එක ටිකක් ඈතින් නවත්තලා දිලිනිව යැව්වා. අපේ ඉස්කෝලෙ රොයිටර් ටික මොන ලෝකෙ ඉඳල හරි ඇන්ටනා එක දාගෙන ඇති.

දිලිනිට යන්න ඇරල විනාඩි පහකින් විතර පස්සේ මම ගියා. දොර ළඟම හිටියේ අපේ සෙට් එක. කාලා වරෙන් කිව්වලු...

“යකෝ බලපංකෝ කාවාගේ ලස්සන. උඹ අපිත් එක්ක එන්නෑ කියලා කාත් එක්කද බං ආවේ?”

“මම තනියම බං ආවේ.... උඹල වගේ අපත මිත්‍රයෝ ආශ්‍රය කරන එක අද ඉඳලා අතහැරල දාන්න හිතුවා. ඒ නිසා තනියම ආවා. දැන් කරදර නොකර මට යන්න දීපං”

“අඩෝ පලයං බං යන්න.... උඹ එයි තනියම... ඇත්ත කියපං කෑල්ලක් එක්ක නේද ආවේ.....?”

අමිලයගේ කට තමා කට.

“උඹලට ඒක වැඩක් නැහැනේ.... මම යනවා...”

“හා උඹ එහෙමද කාවා..... බලමුකෝ.... උඹ අපි නැතුව මොනවද කරන්නේ කියලා....?”

අමිල කෑ ගහනවා.

මම විහිලු කරාට ඌට සිරවටම වැදිල වාගේ....

“නෑ අමිලයා..... මම පස්සේ සීන් එක කියන්නම්... මම ආවේ කෙල්ලෙක් එක්ක තමයි... ඒත් කවුද කියල පස්සේ කියන්නම්....”

“පලයං පලයං. ආදර සීන් වලට අප බකට් දාන්නෑ නේ බං....”

මම හෙමින් එතනින් ගැලවිලා ආවා. එක වැඩක් ගොඩ... දැන් දිලිනි මිස් ව හොයාගන්න එක....

පොතේ හැටියට එයා ඉන්න ඕනේ තුන්වෙනි සීට් පේලියේ.... මම බැලුවා... ම්හ් පේන්න නැහැ..... තව ටිකක් හොඳට බැලුවා......

තුන්වෙනි සීට් පේලියේ දකුණු පැත්තේ එයා ඉන්නවා.... ඒත් මගේ සීට් එකක් හිස් තියෙන්න ඕනේ වුනත් එතන තව කවුද කෙල්ලෙක් ඉන්නවා... දැන් මොකද කරන්නේ ..?

ඕනෙ දෙයක් වුනදෙන් කියල මම ගියා...

“කාවින්ද එන්න.... මේ මගේ යාළුවෙක්.... ඕෂධී...”

“හෙලෝ ප්ලෙෂර් ටූ මිට් යූ...”

මම කිව්වා....

සොරි කාවින්ද මම ඔයාගෙ සීට් එකේ ඉඳගත්තා.. අපි දෙන්නාගේ කතාව ඉවර වෙනකම් ඔයාට හිටගෙන ඉන්න වෙනවා.... එහෙම කියල එයා හිනා වුනා.

“නෝ ප්‍රොබ්ලම්... අයි කැන් ෆයින්ඩ් එනදර් ප්ලේස්...”

“නෝ නෝ අයි මස්ට් ගෝ නව්.... ටේක් යුවර් සීට්.....”

එහෙම කියල එයා නැගිට්ටා.

“මම යන්නම් දිලි..... එනිවේ.. යූ ෆයිනලි ෆවුන්ඩ් සච් එ හැන්ඩ්සම් ගයි....”

එහෙම කියාගෙන එයා යන්න හැරුනා.....

“වට් ඩිඩ් යූ සෙඩ්... මමයි දිලිනියි දෙන්නම එකට ඇහුවා....”

“නෑ කාවින්ද... දිලිනි තමා අපේ ඉස්කෝලෙ හිටපු ලස්සනම කෙල්ල..... දිලිනි පස්සේ කොල්ලෝ කී දෙනෙක් නම් ආවද. හැබැයි ඒ ‍එක්කෙනෙක්වත් දිලිනිගේ ලස්සනට මැච් වුනේ නෑ. ඒ ලස්සනට ගැලපෙන්න ඔයා වගේ බෝයි කෙනෙක් එයාට හම්බවුන එක ගැනයි මම කිව්වේ... යූ බෝත් ඊවන්ලි මැචින්...... බියුටී විත් එ ස්පාක්ලින් අයිස් ඇන්ඩ් එ ටෝල් නයිස් ලුකින් ගයි.... යූ ආර් එ පර්ෆෙක්ට් කපල්.... විශ්වාස කරන්න ඔය දෙන්නා තරම් මැච් වෙන කපල් එකක් මම දැකල නැහැ...”

එයා යන්න ගියා.

දිලිනි හිනා වෙවී මගේ දිහා බලාගෙන ඉන්නවා....

හෝල් එක ඇතුලේ කලුවරෙත් ඒ ඇස් තරුකැට වගේ දිලිසෙනවා.

“මට ඒ තරමට ලැබීම නැහැ කාවින්ද?”

“මොන තරම්ද දිලිනි...?” මම ඉඳගන්න ගමන් මම ඇහුවා...

“ඔයා වගේ කෙනෙක් ලබන්න තරම්....”

“ඔව් අමතක කරන්න දිලිනි..... දැන් ෂෝ එක පටන ගන්නයි යන්නේ.....”

මොන ප්‍රශ්න තිබුනත් වැඩකට ගියාම මම ඒ වැඩේට සම්පූර්ණ අවදානය දෙනවා. මට ඕනේ වුනේ ඒ වගේ මේ ෂෝ එක බලන්න. මිල්ටන් මල්ලවාරච්චි කියන්නේ අපේ යුගයේ ආදරණියම ගායකයා.... මිල්ටන්ගේ සින්දු කියන්නේ අපිට කවදාවත් අමතක වෙන්නේ නැති දේවල්.

“කාවින්ද....” දිලිනි කලුවරේම කතා කලා..

“හ්ම්....”

“කලුවරේ බකමූණෙක් වගේ හ්ම් ගාන්නේ නැතුව කතා කරන්නකෝ.”

“මොනවද දිලිනි කතා කරන්නේ....?”

“මොනව හරි කියන්න කාවින්ද, ඔයා කතා නැතුව ඉන්නකොට මට පාලුයි.”

“ඔයා කැමතිම මිල්ටන්ගේ සින්දුව මොකක්ද දිලිනි?”

“සුළගේ පාවී....... ඒ තරම් මගේ හිතට වැදුන සින්දුවක් වෙන නැහැ....”

“බොරු කියන්නේ මොකටද දිලිනි.... මටත් ඒකට ගහන්න සින්දුවක් ඇහිල නැහැ.”

“ඒ කියන්නේ අපි දෙන්නගෙම චොයිස් එක එකයි.....”

දිලිනි කිව්වා‍.

“කාවින්ද.....”‍

“හ්ම්”

“ඔය ආයෙත් හ්ම් ගානවා....”

එහෙම කියල දිලිනි මගේ අතින් අල්ල ගත්තා.

“ඇයි දිලිනි....?”

“අර ඉස්සෙල්ල වැව රවුමේ වගේ මම ඔයා ළඟට එන්නද?”

“කොහොමද දිලිනි..?”

“ඔයාගේ අත අල්ලගෙන, පපුවට ඔළුව තියාගෙන ඉන්නද?”

“පලවෙනි එකනම් ඔයා අහන්න කලින්ම කරලා... ඔයා‍ දැනුත් ඉන්නේ මගෙ අත අල්ලගෙන...”

“අනේ සොරි කාවින්ද,... ඒක නො‍හිතාම වුනේ....”

එහෙම කියන ගමන් දිලිනි මගේ උරහිසට හේත්තු වුනා. මම එයාගේ ඉන වටේ අත දාල අල්ලගත්ත.

මේ කෙහෙල්මල් පුටුව නිසා කෙල්ලෙක්ව හරියට අල්ලගන්නවත් බැහැනේ...

මිල්ටන්ගේ සින්දු පටන් ගත්තා. ඇත්තටම ඒවා සීඩී එකකින් වත් කැසට් එකකින් වත් රේඩියෝ එකෙන්වත් අහනවට වඩා හැඟිම්බරයි මේ විදිහට. මිල්ටන්ගේ සදාකාලික වොයිස් එක හදවතේ පතුලටම වදිනවා... විශේෂයෙන් ලස්සනම ලස්සන කෙල්ලෙක්ගේ අතින් අල්ලගෙන ඉනව‍ටේ අත දාලා තුරුලු කරගෙන ඒ ගීත මිල්ටන්ගේ හඬින් සජීවීව අහනකොට දැනෙන්නේ පපුව කඩාගෙන යනවා වගේ....

දිලිනි කිසිම සද්දයක් නැතුව මට ලංවෙලා සින්දු අහනවා.

“දිලිනි...”

“ඇයි කාවින්ද?”

“ලස්සනයි නේද?”

“හ්ම්... මට ඇස්වලින් කඳුලු එනවා කාවින්ද ඒ වොයිස් එකට.... මට වෙලා තියෙන දේ එක්ක මේ සින්දු ඇහෙනකොට මට වාවන්නේ නැහැ.”

“ඒ ඇයි....?”

“ආදරේ කියන එක මොන තරම් ලස්සනද කාවින්ද... ඒත් මට උරුම වෙලා තියෙන්නේ ආදරය නොකරන කෙනෙක් බඳින්න.... මම ආදරය කරන කෙනා කවදාවත් මට ලබාගන්න බැරි තරම් බාධක ඇවිල්ලා. මගේ ආදරේ මට නැතිවෙලා යයි කාවින්ද?”

“මොනවද දිලිනි මේ කියන්නේ....? මට තේරෙන්නේ නැහැ.”

“තේරුම් ගන්න උත්සහ කරන්නත් එපා කාවින්ද... අපි දැන් මේ සින්දු අහමු...”

එහෙම කියලා දිලිනි මට තවත් තුරුල් වුනා. මේ මගේම ඉස්කෝලෙ හෝල් එක... දන්න අඳුරන එවුන් හතර වටේටම කියන එක මට දැනුනේවත් නැහැ. ඒ තරමටම මම දිලිනිගේ උණුසුමට වශි වුනා...

අපේ එවුන සෙට් එකත් එක්ක අපතයෝ වගේ මොනවහරි බීල මේ වගේ ෂෝ එකක් බල බල කෑ ගහනවට වඩා මේ වගේ ආදරේ හිතෙන කෙල්ලෙක් එක්ක මේක බලන එක ?

කොල්ලෝ සෙට් වෙලා මොන ආතල් ගන්නවා කිව්වත්... කෙල්ලෙක් එක්ක ඉන්නකොට දැනෙන හැඟිම තේරුම් ගන්න නම් ඒක කරලම බලන්න ඕනේ.

දිලිනි අද ම‍ට ඒ වෙනස පෙන්නුවා. මේ මොහොත මොන තරම් ආදරණියද?

“දිලිනි...”

“මට කතා කරන්න එපා කාවින්ද.... මට මේ විදිහට අද ඉන්න දෙන්න... ඊට පස්සේ හෙට මම මැරිල ගියත් දුකක් නෑ කාවින්ද”

කෙල්ල මොනවා කියවනවද දන්නෑ. මේ ප්‍රශ්ණේ නිසා හිත හොඳටම අවුල් වෙලා වගේ.

මම එයා දිහා බැලුවා. කෙල්ල මට තුරුල් වෙලා ඇස් පියාගෙන සින්දු අහනවා. එයා ළඟින් එන සුවඳ මට අමුතුම හැඟීමක් ඇති කළා.

මටත් නොදැනීම මම එයාව තවත් මගේ ළඟට ගත්තා. දිලිනි කිසි කතාවක් නැතුව මගේ දිහා බැලුවා. ඒ දිලිසෙන ඇස්, ඕෂධී කිව්වා වගේ ‘ස්පාක්ලින් අයිස්’ දිහා බලාගෙන ඉන්න මට තවත් බැරිවුනා.

මගේ දිහා ආදරයෙන් බලාගෙන හිටපු දිලිනිගේ නලලට මගේ දෙතොල් ස්පර්ශ වුනා. එයා ඇස් දෙක වහගෙන ඒ පහස විඳිනවා කියලයි මට දැනුනේ. මම එයාගේ නලල කීප සැරයක්ම සිප ගත්තා.

තත්පර ගණනකදි දිලිනි ඇස් ඇරලා මගේ දිහා බැලුවා. එයාගේ ඇස්වල කඳුලු.

“දිලිනි. මට සමාවෙන්න මම කළේ වැරැද්දක් නම්.”

“නෑ කාවින්ද... ඔයා වැරැද්දක් කළේ නැහැ.”

“ඇයි එහෙනම් ඇස්වල කඳුලු?”

“මට මේ ‍වගේ ආදරයක් කවදාවත් ලැබෙන එකක් නැහැ කාවින්ද ඒකයි මට දුක.”

“සොරි දිලිනි මම එහෙම නොකර ඉන්නයි තිබුනේ. මම ඔයාගේ බෝයි ෆ්‍රෙන්ඩ් නෙවෙයිනේ. ඒත් මට මාව පාලනය කරගන්න බැරි වුනා. සමාවෙන්න...”

“සමාව ඉල්ලන්න එපා දෙයියනේ... ඔයා වැරදි නැහැ කාවින්ද... මමයි වැරදි... නොලැබෙන දෙයක් පස්සේ පොඩි ළමයෙක් වගේ දුවනවා. අන්තිමට ඔයාවත් ඒ ප්‍රශ්ණ වලට ඇදල දානවා. මමයි වැරදි කාවින්ද. මට සමාවෙන්න‍‍‍....”

මටත් හිතාගන්න බැරිවුනා මොනව කරන්නද කියලා. එයා මට තුරුල් වෙලා ඉන්නකොට ඇතිවුන හැඟිම පාලනය කරගන්න මට බැරිවුනා. මම දිලිනිට ආදරය කරනවාවත්ද?

ඒක නම් කවදාවත් කරන්න පුළුවන් දෙයක් නෙවෙයි කාවින්ද! මගේ හිත කිව්වා.‍

ඒත් මේ තරම් ලස්සන කෙල්ලෙකුගේ ඉල්ලීමක් අහක දාන්නේ කොහොමද? අනිත් එක එයා ළඟ ඉන්නකොට මටත් මොන තරම් ලස්සන හැඟිම් දැනෙනවද?

ඔය අතරෙදි මිල්ටන් අපේ ප්‍රියතම ගීතය පටන් ගත්තා‍‍.‍

‘සුළ‍ඟේ පාවී.... ඈ වෙත යාවී.... මා සිතූ සිතුම්.....

සිහින විමානෙන් ගෙනා... මා පැතූ... පැතුම්.....

සිහින විමානෙන් ගෙනා... මා සිතූ සිතුම්.....’

සින්දුවේ මැදක් යද්දි දිලිනි මගේ අතින් ඇද්දා.

“කාවින්ද..,”

“ඇයි?”

“මාව මැරෙයි කාවින්ද.....!”

දිලිනිගේ ඇස් කඳුලු වලින් තෙත් වෙලා.....

“ඇයි දිලිනි ඔයාට මොකද වෙලා තියෙන්නේ...”

“මට තවත් මේ වගේ ඉන්න බැහැ දෙයියනේ.... මට බෑ ගිහාන්ව බඳින්න... මම මගේ ජීවිතයටත් වඩා ආදරය කරන කෙනෙක් ඉන්දැද්දි මට බැහැ අපායකට යන්න...”

“කාටද ඔයා ඒ තරමට ආදරය කරන්නේ...?”

“අපෝ මේ තරම් මෝඩයෙක්.”

දිලිනි ඒක අහක බලාගෙන කිව්වේ මට නොඇහෙන ගාණට.

“කව්ද මෝඩයා?”

“නෑ කාවින්ද.... මමයි මෝඩයා.”

“හරි කියන්නකෝ දැන් ඉස්සෙල්ල මම අහපු දේට උත්තරේ. කව්ද ඒ වාසනාවන්ත කොල්ල?”

“ඒක ඔයාට කියන්න බැහැ කාවින්ද? කවදාහරි දවසක අවස්ථාවක් ආවොත් මම කියන්නම්... ඒත් දැන් ඒ ගැන අහන්න එපා... ප්ලීස්.”

“ඇයි දිලිනි මාව විශ්වාස නැද්ද?”

“නෑ දෙයියනේ... මට ඔයාව විශ්වාස නැත්නම් මට මේ ලෝකේ කිසිම කෙනෙක් විස්වාස නැතිවෙයි‍. ඒත් මම ආදරේ කරන්නේ කාටද කියල කිසිම කෙනෙකුට කියන්න තරම් මට පුළුවන් කමක් නැහැ. මම ඒ තරම් කාලකන්නි කෙල්ලෙක් කාවින්ද...”

“පිස්සු කියවන්න එපා.... ඔයා කාලකන්නි කෙල්ලෙක් කියන්නෙ කවුද? ඔයා මොනතරම් හොඳද දිලිනි. ඔයා වගේ ලස්සන, හොඳ කෙල්ලෙක් ලබන්න ලේසියෙන් කෙනෙකුට බැහැ.”

“ඔයා බොරු කියනවා කාවින්ද... මට හිතෙනවා ඔයාටත් දැන් මාව කරදරයක් වෙලා කියලා.”

“ඔන්න ආයෙත් ප‍ටන් ගත්තා... මම කිව්වනේ ඔයාව මට කරදරයක් වෙලා නැහැ. ඔයා මට හොඳ යාළුවෙක් නම් වෙලා තියෙනවා. අපි දෙන්න අතර ලොකු බැඳිමක් ඇතිවෙලා නම් තියෙනවා.”

ඔය විදිහට කාලය ගතවෙලා ගියා දැනුනෙම නැහැ. යුගයේ ආදරණියම ගායකයා මිල්ටන් මල්ලවාරච්චි ප්‍රසංගය ඉවර කරන්න තිබ්බේ විනාඩි ගාණයි.

මම දිලිනි දිහා බැලුවා.

“දිලිනි, අපි යමුද?”

“ඉවර වෙනකම් ඉමු කාවින්ද”

“මේකයි දිලිනි... වට පිටේ ඉන්නේ ඔක්කොම දන්න කියන උන්. මේ ලයිට් ඔෆ් කරල තියෙන වෙලාවේ පැනගත්තොත් කාඩ් එක බේරගන්න පුළුවන්. ඒ නිසා අපි දැන් පැනගමු.”

“ඒකත් ඇත්ත කාවින්ද යමු.”

අපි දෙන්නා කාටවත් නොදැනෙන්න එලියට ආවා.... එලියේ ඉන්නේ සිකුරිටි එකේ අය විතරයි. අප දෙන්නා බයික් එකට නැගලා පාරට ආවා.

“දිලිනි..... අපි කෙලින්ම ඔයාව ගෙදර දාන්නද? නැත්නම් බඩගිනි නම් මොනව හරි කාල යනවද?”

“මට ගෙදර යන්න බෑ කාවින්ද... මාව කොහේ හරි එක්ක යන්න. ලස්සන තැනකට... අපිට ගොඩක් වෙලා කතා කර කර ඉන්න පුළුවන් තැනකට.”

“මේ රෑ කොහේ යන්නද මිස්... අනිත් එක ගෙවල් වලින් හොයන්න පටන් ගත්තොත් පොලිසිත් යයි.”

“මම බය නෑ කාවින්ද... මගේ ආදරේ මට නැතිවෙනවනම්, වෙන නැතිවෙන්න දෙයක් මට නෑ... ප්ලිස් මාව කොහේ හරි එක්ක යන්න.”

“ම‍ට තේරෙන්නෑ දිලිනි..... අපි කොහේ යන්නද මේ රෑ? අනිත් එක ඊට පස්සේ ඔයා ගෙදර යන්නේ කීයටද?”
“මට අද ගෙදර යන්න බෑ කාවින්ද. මම කිව්වනේ...”

මට හිතාගන්න බැහැ මොනව කරන්නද කියල. දිලිනි කියන්නේ තේරුමක් නැති දේවල්. මේ රෑ අපි කොහේ යන්නද? අනිත් එක ඊට පස්සේ ගෙදර යන්නේ කොහොමද... කොහෙද ගියේ... මොනවටද ගියේ‍‍‍... ප්‍රශ්ණ සීයක් වැටෙයි.

“මොනවද කාවින්ද කල්පනා කරන්නේ.”

“මම කල්පනා කරන්නේ මොනවද කරන්නේ කියල.”

“කාවින්ද.... මට ඔයා ළඟට වෙලා තව ටික වෙලාවක් ඉන්න පුළුවන් තැනකට මාව එක්ක යන්න. කොහේහරි කමක් නැහැ. කාටවත් පේන්නේ නැති තැනකට.”

“හරි තැනක් තියෙනවා... හැබැයි ඉස්කෝලෙ ඇතුලෙම......”

“ඒ කොහෙද කාවින්ද මමත් දන්නැති තැනක්ද.”

“ඔගොල්ලන් ටීචර්ස්ලනේ... ඕගොල්ලන් කොහොම දැන ගන්නද...?”‍

“ඒකත් ඇත්ත නැත්නම් මෙච්චර කාලයක් ඔයාට කට්ටි පැනල හිටියේ කොහෙද කියල අහුවෙන්න එපැයි.”

“හැබැයි එක පොරොන්දුවක් වෙන්න දිලිනි.”

“මොකක්ද?”

“දැන් ඉස්කෝලෙ ඉන්න කොල්ලොත් ඔතන පාවිච්චි කරනවා අපි වගේම හැංගෙන්න. ඒ නිසා මම ඔයාව එක්ක ගියා කියල ඔයා ඒ තැන ප්‍රසිද්ධ කරන්න බැහැ. එතකොට ඉස්කෝලේ ඉතිහාසේ හිටපු ලොකුම පාවාදෙන්නා මම වෙනවා. මොකද ඔය තැන චිරාත් කාලයක් පරම්පරාවෙන් පරම්පරාවට ඒ ලෙවල් ක්ලාස් වල කොල්ලෝ පාවිච්චි කරපු තැනක්”

“නෑ කාවින්ද ප්‍රොමිස්... අනිත් එක මේ ඉස්කෝලෙ මම වැඩි කලක් ඉන්න එකක් නැහැ. මම කවදාවත් ඔයාලව පාවාදෙන්නේ නැහැ.”

“‍එහෙනම් යමු. ඉන්න මම බයික් එක හංගලා එන්නම්.”

“කොහෙද අපි යන්නේ.?”

“ඒක තියෙන්නේ සෙකන්ඩරි ස්කුල් එකේ... පිටිපස්සේ.. පරණ කාලේ පාවිච්චි කරල අතෑරලා දාපු තැනක්. පරණ කාලේ කියන්නේ එක්දාස් නවසිය හතලිස් ගණන් වල.”

“අම්මෝ කාවින්ද මට නම් බයයි.”

“බය වෙන්න එපා. ඔයා පුදුම වෙයි අපි එතන හදල තියෙන ෆැසිලිටිස් දැක්කොත්...”

“ෆැසිලිටිස්”

“ඔව් ඇයි අපි කම්මැලි හිතුනාම නිදාගන්න, සිගරට් එකක් ගහන්න එන්නේ එතෙන්ටනේ....”

“ඒත් කාවින්ද සිකුරිටි එකට අහුවෙයිද? සමහර විට ගේට් කීපර් ඒ පැත්තේ ඇති.”

“මොන පිස්සුද... ඔය මොකෙක් වත් නැහැ. ඒ කාලේ මැරිච්චි අයගේ හොල්මන් තියෙනවා කියල අපි ඇරෙන්න වෙන කිසිම කෙනෙක් ඔය පැත්ත පලා‍තේ දවාලටවත් යන්නේ නැහැ.”

“අනේ කාවින්ද ඔයා මාව එක්ක යන්නේ හොල්මන් තියෙන තැනකටද?”

“මොන විකාරද දිලිනි. අපිට වඩා හොල්මන් තව කෙහෙද? අනිත් එක ඔය හොල්මන් කියන කතා පට්ටපල් බොරු.”

“ඔයා බය නැති වුනාට මම නම් බයයි කාවින්ද... ඒත් කමක් නැහැ ඔයා කියනවනම් යමු.”

දිලිනි වෙන කිසිම දෙයක් අහන්නේ නැතුව මාත් එක්ක ආවා.

මම බයික් එකත් හංගලා දිලිනිවත් ඇදගෙන ඉස්කෝලේ පිටිපස්ස පැත්තට ආවා. මේ හරියේ ලයිට් එකක් වත් නැහැ. අමු කලුවර... ඒත් යන්න ‍ඕනේ කොහෙටද කියලා මම හරියටම දැනගෙන හිටියා.‍

“දිලිනි පොඩි අවුලකට තියෙන්නේ කලුවරේ තමයි එතන ඉන්න වෙන්නේ. මොකද එතන ලයිට් එකක් නැහැ. අද හඳ එලියත් තාම නැහැ.”

දිලිනි කතාවක් නැතුව මගෙ අත අල්ලගෙන එනවා.

“දිලිනි ඔයාට බය නැද්ද මම ඔයාව මේ කොහෙද එක්ක යන්නේ කියලා.‍ මට ඔයාට ඕන දෙයක් කරන්න පුළුවන්.. බලහත්කාරකමක් වුනත් කරන්න පුළුවන්... ඒත් ඔයා එන්නේ ඇයි?”

“පිස්සු කියවන්න එපා කාවින්ද.... ඔයාට බැහැ ඒ වගේ වැඩක් කරන්න. ඒ වගේ වැඩක් කරන්න බැරි තරමය ඔයා හොඳ වැඩී.”

ඉස්කොලේ පන්ති පහුකරලා ගිහිල්ලා මම නැවතුනා.

“ෂ්.... දැන් සද්ද කරන් නැතුව එන්න. මේ හරියේ සිකුරිටි කෙනෙක් ඉන්න පුළුවන්.”

අපි දෙන්නා එතනිනුත් පැනගෙන මම කියපු තැනට ආවා. ඒක මටනම් ලස්සන නිදහස් තැනක්.

“කාවින්ද අපි කෙහෙද ඉඳ ගන්නේ?”

දිලිනි රහසින් වගේ ඇහුවා‍

“දිලිනි... දැන් මේකයි කේස් එක. ඔයා මගේ අතට අඩිය තියල මේක උඩට නැගලා ඇතුලට ගිහිල්ල ඉඳ ගන්න. ඊට පස්සේ මම පැනගන්නම් ඇතුලට.”

මම දිලිනිව නංගලා මමත් පැනගත්තා‍.

“අනේ කාවින්ද නියම තැනක්නේ... ඉඳගන්න කුෂන් දාලා.... කව්ද අප්පා මේව දැම්මේ.”

“අපේ රෙස්ටින් ප්ලේස් එක... මේව දැම්මේ අපිම තමයි...”

පාරෙ තිබුන එක ලයිට් එකක එලිය මෙතෙන්ට යන්තමට වැටෙනවා. ඒ නිසා දිලිනිව මට යන්තමට පේනවා.

අපි දෙන්නා මගේ ෆයිව් ස්ටාර් රෙස්ටින් ප්ලේස් එකේ ඉඳ ගත්තා‍‍.

දිලින සපත්තු දෙක ගලවලා කුෂන් එක උඩට කකුල් දෙක ගත්තා‍‍.

“කා‍වින්ද එන්න මගේ ළඟට...”

මම ඉඳගත්තා‍‍‍... දිලිනි මට හොඳට හේත්තු වෙලා හිනාවෙන් පටන් ගත්තා‍.

“මටනම් හිතාගන්නවත් බෑ කාවින්ද මම මේ වගේ තැනකට ආවා කියල‍‍‍. හරිම ලස්සනයි‍‍.... නිස්කලංකයි.. කිසිම සද්දයක් නෑ...”

“අපි හොයාගන්න තැන් එහෙම තමයි දිලිනි.... ඔයා නිකමටවත් හිතුවද ඉස්කෝලේ ඇතුලේ මේ වගේ තැනක් තියෙනවා කියලා.”

“ම්හ්.... කිසි දවසක නැහැ.”

දිලිනි ටිකෙන් ටික මට තවත් ලංවුනා. දැන් එයාගේ කොන්ඩේ මගේ මූණේ ගෑවෙනවා. එයාගේ කොන්ඩෙන් එන අමුතු සුවඳක් මාව වශි කරවනවා වගේ.

“කාවින්ද...”

“ඇයි...?”

“ඔයා දන්නවද ඇයි මම මේ වගෙ තැනකට එමු කිව්වේ...”

“නෑ.”

“මමත් දන්නෑ කාවින්ද.... මට ඕනේ වුනේ මට ඇහුම්කන් දෙන්න පුළුවන්.. මගෙ හිත තේරුම් ගන්න පුළුවන් එකම කෙනා වුන එයා ළඟ පුළුවන් තරම් ඉන්න.‍”

“ඉතින් දැන් අපි ඉන්නවනේ.... ඔයාගේ හිතේ තියෙන දේවල් මට කියන්න. සමහරවිට උදව්වක් කරන්න බැරි වුනත් මම අහගෙන හරි ඉන්නම්.”

“මේ වගේ ලස්සන තැනකට ඇවිල්ලා දුක කියන්න බෑ කාවින්ද. අපි  ලස්සන දෙයක් කතා කරමු.”

“කැමති දෙයක්.”

“කාවින්ද...”

“ඇයි දිලිනි....?”

“මම ඔයාගෙන් ප්‍රශ්ණයක් අහන්නද?”

“අහන්න ඕනේ දෙයක්...”

“තරහ වෙන්න ඔට්ටු නැහැ...”

“හරි.”

“කාවින්ද, ඔයා කැමති මොනවගේ ගෑණු ළමයෙකුට ආදරේ කරන්නද?”

“මට තේරුණේ නැහැ ඒ ප්‍රශ්ණේ.”

“මම අහන්නේ ඔයා කැමති මොනවගේ කෙල්ලෙකුටද ආදරේ කරන්න. හැඩරුව, ගතිගුණ අනිත් දේවල්... ඔයාගේ හිතේ රූපයක් තියෙනවද?”

“නෑ... එහෙම විශේෂයක් නැහැ... ඒත් මම ආදරේ කරන කෙනා මටත් ආදරේ වෙන්නේ ඕනේ‍‍‍... ටිකක් නෙවෙයි සියයට සියයක්ම... මොකද මමත් කෙනෙකුට ආදරේ කරනවනම් ඒක සම්පූර්ණයෙන්ම තමයි‍.”

“කියන්න... ඔයා කැමතිද මං වගේ ම කෙල්ලෙකුට. මං වගේ හැඩරුව තියෙන... ගතිගුණ තියෙන..... කෙනෙකුට ඔයා කැමතිද?”

“ඔයා වගේ ලස්සන කෙනෙක්, හොඳ කෙනෙක් මට ලැබෙනවනම් මම වාසනාවන්ත වෙයි දිලිනි. ඒත් කරුමෙට ඒ වගේ අය ඉන්නේ ඔයා විතරයි... ඔයත් මට වඩා වයස වැඩියි.... අනිත් එක වෙන ඩ්‍රයිවර් කෙනෙක් ඉන්නවා....”

“ඒ කියන්නේ ඔයාට වඩා වයසින් අඩු, මං වගේ තව කෙනෙකුට තීන්දු කරල නැති කෙනෙකු හිටියොත් ඔයා එයාට ආදරේ කරයිද?”

“අනිවාර්්‍යයෙන්ම.”

“එතකොට ඇය ඔයා ලයාංගිට ආදරේ කළේ නැත්තේ... දිනි ට‍ ආදරේ කළේ නැත්තේ.‍”

“මම දන්නෑ දිලිනි. ඒ අය ලස්සනයි තමයි.. ඒත් මගේ හිතෙනවා ඒ දෙන්නම ළඟ නෙවෙයි මගේ ආදරේ තියෙන්නේ කියලා.”

“කව්රු ළඟද කාවින්ද ඔයාගේ ආදරේ තියෙන්නේ?”

“මම තාම දන්නෑ දිලිනි...”

“දැනගත්ත දවසට මට කියන්න.”

“අනිවාර්්‍යයෙන්ම කියනවා. සමහරවිට ඒක මම කියල පලවෙනි කෙනා ඔයා වෙයි.”

අපි සෑහෙන වෙලාවක් එතන හිටියා. දිලිනිත් පොඩි එකෙක් වගේ කියව කියව මගෙ ළඟටම වෙලා හිටියා.

ඒත් මට තේරුණා ටිකෙන් ටික එයාගේ මූඩ් එක වෙනස් වෙනවා.

“කාවින්ද... අද දවස ගෙවිල යන්නේ නැත්නම් මොනතරම් හොඳද.... ඔයා ළග ඉන්න මේ ‍මොහොත කවදාවත් ඉවර වෙන්නෙ නැත්නම්...”

“ඇයි  එහෙම කියන්නේ...?”

“මට ගෙදර යන්න කිසිම හිතක් නෑ කාවින්ද... ඒත් මං මොනව කරන්නද?”

“ඔයාට ඕන තරම් වෙලා අපි මෙතන ඉමු දිලිනි.”

“කාවින්ද.... ආදරේ කියන්නේ මහ පුදුම දෙයක් කාවින්ද... ඒක ඇතිවෙන්නේ ඇයි... කොයිවෙලාවෙද කියල අපි දන්නෑ. ආදරේ ඇති වෙන්න හේතුවක් හොයන්නත් බැහැ‍. ඒත් කෙනෙකුට තව කෙනෙකු ගැන ආදරයක් ඇති වුනාම මුළු ලෝකෙම දුන්නත් ඒ ආදරේ නැත්නම් වැඩක් නෑ කියල හිතෙනවා................ සමහර විට ඒ ආදරේ කියාගන්න  ජීවිත කාලෙටම බැරි වෙන්න පුළුවන්... ඒත් ඒ ආදරේ මැරිල යන්නෑ.... කෙනෙකුගේ ඇත්ත අවංක ආදරය කියන්නේ ජීවිතේ කවදාවත් අමතක කරන්න බැරි මහ පුදුම දෙයක්.... තමන් ආදරේ කරන කෙනා කවදාවත්ම ලබා ගන්න බැරි බව දැනගත්තත් ඒ කෙනා ළඟ තව විනාඩියක් හරි වැඩියෙන් ඉන්න පුළුවන් නම් කියලා හිතෙනවා.”

“සමහර විට අපි ඉස්සරහට ජීවත් වෙන්න තියෙන අවුරුදු ගාණක් කැප කරලා තමන් ආදරය කරන කෙනා ළඟ විනාඩියක් වැඩිපුර ඉන්න පුළුවන් නම් කියල හිතෙනවා‍‍‍‍..... මේක මහ පුදුම හැඟිමක් කාවින්ද...”

“ ම‍ට ඔයා කියන දේවල් ගොඩක් තේරෙන්නේ නැහැ දිලිනි. ආදරේ ගැන ඔය තරම් ගැඹුරට මම තාම හිතල නැහැ. ඒත් දිනි මට ආදරය කරපු විදිහ දැක්කහම මට හිතුනා ආදරය කියන්නේ ඔය ඔයා කියනවා වගේම මහ පුදුම දෙයක් කියලා... විශේෂයෙන් දිනි වෙනස් වුන තරම දැක්කහම මට ඒක දැනුනා.”

“මම ඉන්නේ ගොඩක් අවදානම් තත්වෙක කාවින්ද... අම්මටයි තාත්තටයි ගිහාන් තරම් හොඳ කෙනෙක් තවත් නැහැ. ඒ අය හිතන්නේ කෙල්ලෙකුගේ කසාද ජීවිතේ සම්පූර්ණ වෙන්නේ හොඳට සල්ලි තියෙන, රට රටවල් වල ඇවිදින්න පුළුවන් කමක් තියෙන, සමාජයේ ටිකක් කැපිල පේන්න පුළුවන් පිරිමියෙක්ව බඳින එක කියලා‍.”

“ඒක තේරුමක් නැති කතාවක්නේ.”

“ඒ වුනාට ඒ අය හිතන්නේ එහෙම නෙවෙයි කාවින්ද. මගේ අම්මයි තාත්තයි ප්‍රපෝසල් එකකින් මැරි කරල තියෙන්නේ. ඒ නිසා ඒ දෙන්නා‍ කියන්නේ දැන් ආදරේ නැති වුනත් බැන්දට පස්සෙ ආදරේ කරන්න පුළුවන් කියලා. ඒක විකාර කතාවක් කාවින්ද. ඒ අයට කොච්චර තේරුම් කරන්න හැදුවත් වැඩක් නෑ.”

“ඒ කියන්නේ දැන් ඔයාට මොනව වෙයිද?”

“මම දන්නෑ... ඒත් මම එක දෙයක් දන්නවා.... මොන බලපෑම් ආවත් මම ගිහාන්ව බඳින්නෑ. ඉස්සරනම් අකමැත්තෙන් වුනත් බඳින්න ඉඩ තිබ්බා.... ඒත් දැන් මගේ හිත සම්පූර්ණයෙන්ම ආදරෙන් පුරවපු කෙනෙක් ඉද්දි නම් මම ඒ දේ කොහොමටවත් කරන්නෑ. සමහර විට බැරිම වුනොත් මම ගෙදරින් යනවා... ඒත් මැරුවත් ගිහාන්ව නම් බඳින්නේ නැහැ.”

“ඔයා ඒ තරම් තද තීරණයක් අරන්ද ඉන්නේ දිලිනි?”

“ඔව්.”

“එතකොට ඔයා ඔය හැම වෙලාවෙම කියන ඔයා ආදරය කරන කෙනාට කියන්න එයාව බඳින්න කියලා. එතකොට ප්‍රශ්න ඉවරයිනේ.”

“මම එකසැරයක් කිව්වා කාවින්ද... ඒත් ඒ ගොන් වහන්සේට ඒක තේරෙන්නේ නැහැනේ. වහුපැටියෙක් වගේ උඩ බලාගෙන ඉන්නවා....”

“මොන පිස්සුවක්ද... ඔයා එයාට ආදරේනම් එයා ඇයි මුකුත් කරන්නේ නැත්තේ?”

“ඒ මැට්ටා දන්නෑ කාවින්ද මම එයාට ආදරේ කරනවා කියලා..”

“මොකක්.... ඒක මහ පිස්සු කතාවක් නේ...”

“වෙන්න ඇති.. ඒත් මම කැමති නැහැ එයාට ඒක කියන්න‍‍. එයා කවදාහරි මට ආදරේ කරනකම්, මට ආදරෙයි කියලා කියනකම් මම බලාගෙන ඉන්නවා.”

“ඒකත් එහෙමද?”

අපි දෙන්නා ටික වෙලාවක් කතා නැතුව හිටියා.

“කාවින්ද.... මම ඉස්සෙල්ල කිව්ව වගේ මම ඉන්නේ අවදානම් තත්වෙක‍‍‍... සමහර විට මට මේක ඉවසන්න බැරි වුනොත් මම ගෙදරින් යන්න ඉඩ තියෙනවා. එහෙම වුනොත් පුළුවන්ද මට උදව් කරන්න..?”

“මම කොහොමද දිලිනි උදව් කරන්නේ?”

“එදාට මම කියන්නම්. මට උදව් කරන්න පුළුවන් ද විතරක් කියන්න...”

“මට පුළුවන් දෙයක් නම් බෙල්ල කඩාගෙන හරි කරනවා දිලිනි‍‍‍... ඒ ගැන බය වෙන්න එපා.”

“තෑන්ක්ස් කාවින්ද....”

“ඉතින් දිලිනි අපි මුළු රෑම මෙතන ඉන්නද යන්නේ...”

“අනේ තව ටිකක් ඉමු....”

“ඕකේ...”

“කාවින්ද...”‍

“ඇයි....”‍

“ඔයාට මම මේ විදිහට ළඟ ඉන්නකොට මොනවද දැනෙන්නේ..?”

“අවංකවම නම් මට හිතාගන්න බෑ දිලිනි.... මම කවදාවත් කෙල්ලෙකුට මේ තරම් ලංවෙලා නැහැ. කෙල්ලෙක් එක්ක මේ විදිහට තනි වෙලා නැහැ‍.... ඔයා මගෙ ළඟ ඉන්නකොට මට දැනෙන හැඟීම මට කියන්න තේරෙන්නේ නැහැ..... ඒක හරි අමුතු දෙයක්.... දාලා යන්න බැරි බව දැනෙනවා...”‍

“පුදුමයි...”

“ඇයි පුදුම?”

“මටත් දැනුනේ ඒ විදිහටමයි කාවින්ද... මට ඔයාව දාල යන්න ලෝබ කමක් දැනෙනවා...”

“කාවින්ද.... මට දෙයක් කියන්න...”

“මොකක්ද?”

“ඔයාට බැරිද මාව කොහේ හරි ඈතකට අරගෙන යන්න. කාටවත් හොයාගන්න බැරි තැනකට....”

“ඒ කියන්නේ?”

“අයියෝ මේ මෝඩයා. කොච්චර හොඳ වුනත් මෙලෝ දෙයක් තේරෙන්නේ නැහැනේ කෙල්ලෙක් ගැන.”

“මොනවද, මට ඇහුනේ නැහැ.”

“ඒ කියන්නේ මෝඩයෝ මාව ගෙදරින් ඈතට අරන් යන්න.”

“මොනවා කියනවද... කොහේ අරන් යන්නද...? අනිත් එක මේ පොඩි රටේ පොලිසියට කිව්ව ගමන් පැය දෙක තුනකදි අපි දෙන්නම මාට්ටු. ඊට පස්සේ අනාචාරයේ ගියා කියල පොලිසියෙන් අපි දෙන්නව බන්දලත් දෙයි..”

“අනේ.. එහෙම වුනොත් නම් හරි ෂෝක්....”

“මොකක්....”

“ඔව් කාවින්ද....”


“මේ විකාර කියවන්නැතුව ඉන්න...”

5 comments: