Monday, May 08, 2017

සදානුස්මරණිය ප්‍රථම ප්‍රේමය ~ මේ ආදරයයි ~ 9

සදානුස්මරණිය ප්‍රථම ප්‍රේමය
මේ ආදරයයි


9.
පළාත් මළල ක්‍රීඩා තරගාවලිය අද. මම කණ්ඩායම් නායක නිසා අනිවාර්යයෙන්ම යන්න වෙනවා. මම කොයිතරම් පුහුණුවීම් වුනත් හිතේ තිබුන නොසන්සුන් කම නිසා මේ වෙලාවෙ මට මගේ ඉවෙන්ට් එක ගැන තිබුණේ සැකයක්.

එදා උදේම අපි ඉස්කෝලෙදි එකතුවෙලා ආවා. තරගාවලිය තිබුණේ ගම්පොළ මීගුලවත්ත ක්‍රීඩා පිටියේ. මම ගිය ගමන් කල්පනා කළේ දිනිට කතා කරනවනද කියලා. එයා ඒ අයගේ ඉස්කෝලෙ ළමයිනුත් එක්ක ඉන්නවා මම දැක්කා. මාව දැකලා හිනා වුනා, ඒත් කතා කළේ නැහැ.

මම තියෙන වැඩ වලින් හතරෙන් තුනක් ම සචිත්‍රගේ පිටට දාලා පැත්තකට වෙලා හිටියා. මට ඕනෙ වුනේ මගේ ඉවෙන්ට් එක හොඳට කරලා පැත්තකට වෙලා ඉන්න.

ඒත් වැඩිවෙලාවක් ගියේ නැහැ. සර් ආවා.

මොකද කාවින්ද වෙලා තියෙන්නේ. මම ඇන ඇන කියල දෙන්නද මොකද කරන්න ඕනෙ කියල. බලනවා සමීරගේ ඉවෙන්ට් එකට ෆයිනල් කෝල් එකත් කරලා. මිනිහා කොහෙද කියල නැහැ. යනවා ගිහින් හොයාගෙන එනවා”

මම ජීවිතේ පළමු වතාවට ක්‍රීඩා සම්බන්ධයෙන් මගේ වගකීමක් පැහැර හැරලා. මටම මා ගැන දුක හිතුනා.

සමීර කියන්නේ අපිට ෂුවර්ම පළමුවෙනි තැන තියෙන කෙනෙක්. එත් මිනිහට හැකියාව තිබුනට කිසිම උනන්දුවක් නැහැ

මම ගියා පිට්ටනිය වටේ රවුමක්. කොහොම හරි මිනිහව හොයාගෙන වැඩ ටික ඉවර කළා.

මම දිනි ඉන්න පැත්තට ගියේ අපේ ඉස්කෝලෙම මල්ලි කෙනෙක් ඒ කිට්ටුව තිබුන තරගයකට සහභාගි වෙමින් සිටි නිසා.
ඒත් එක්කම එරන්දිකා ආවා මගේ ළගට. දිනි පේන්න හිටියේ නැහැ.

මොකක්ද අයියේ මේකෙ තේරුම, ඔයයි දිනියි හරියට තරහ කාරයෝ වගේ රවාගෙන ඉන්නවා. කෙල්ලට හොඳටම දුක හිතිලා. පිස්සුවෙන් වගේ ඉන්නේ. ඔය දෙන්නා අතරෙ සිද්ධ වුනේ මොකක්ද කියල නම් මම දන්නේ නැහැ, ඒත් ඇයි මේ තරහකාරයෝ වගේ”

මම කා එක්කවත් තරහ නැහැ එරන්දි, දිනි තමයි මාව මග හරින්නේ.”

අනේ මම දන්නේ නැහැ අයියේ, මොනව වුනත් කෙල්ලට මේ වගේ දුකක් දෙන්න එපා.”

කෝ දැන් දිනි?”

අන්න අර පැත්තේ ඇති”

මම දිනිව හොයාගෙන ගියා.

නංගි දිනි, මට ඔයාට කතා කරන්න ඕනෙ”

දැන්”

ඔව්, අපි පොඩ්ඩක් පැත්තකට යමු”

එයා කතාවක් නැතිව ආවා. මමත් ටිකක් සෙනග නොගැවසෙන තැනකට ගියා. දිනි කිසිම කතාවක් නැතුව බිම බලාගෙන ඉන්නවා.
ඇයි දිනි කතා නැත්තේ”

ආ”

ඇයි කතා නැත්තේ”

මොනවද මම කියන්න ඕනේ”

වෙනදත් අපි හම්බවුනාම මගෙන් අහලද කතා කරන්නේ”

ඒක නෙවෙයි, ඔයා ට මාව නොදැක ඉන්න එක හොඳ ඇතිනේ. නැත්නම් ලයාංගි වුනත් මොනව හිතයිද”

ලයාංගි මොනව හිතන්නද, මම ඔයාව අඳුනගත්තේ එයාට ගොඩක් කළින් නේ”

අයියේ මම දන්නෑ මොනව කියන්නද කියලා. මම හිතුවා ඔයා මට ආදරේ නැතත් කළින් විදිහටම යාළුකමෙන් ඉන්න පුළුවන්නම් ඒකවත් ලොකු දෙයක් කියල. ඒත් මට දැන් ඔයාව දකින දකිනි වෙලාවට මහා දුකක් දැනෙනවා. ඔයාගෙ ආදරේ මට නොලැබෙන බව හිතෙනකොට මට මාවම එපා වෙනවා. මම මෙහෙම කියනවට සමාවෙන්න අයියේ, මට හිතෙනවා ඔයාගේ ආදරේ නැතුව මට ඉන්න බැහැ කියලා. විශේෂයෙන් ඔයාව දැක දැක එහෙම ඉන්න අමාරුයි.”

කව්ද ඔයාට කිව්වේ මම ඔයාට ආදරේ නැහැ කියල?”

කව්රුවත් කිව්වේ නැහැ, ඒත් මට හිතෙනවා”

ඕව ගැන දැන්ම හිතන්න එපා දිනි. ඒව කාලය ආවහම හරියයි. ඔයා මට ආදරේ කරනවනම් කවදාහරි ඔයාට මාව ලැබෙයි.”

එහෙම හිතාගෙන විතරක් මම කොහොමද අයියේ ඉන්නේ, මාගේ ජීවිතේ පළමු වතාවට ආදරය කළේ ඔයාට, ඒ හැගීම හිතට දැනුනේ ඔයා නිසා, ජීවිතේ පළවෙනි වතාවට මාව කිස් කළේ ඔයා. ඒ මොහොත මොන තරම් ලස්සනද කියලා මට තාමත් විශ්වාස කරන්න අමාරුයි”

දිනි”

පොඩ්ඩක් ඉන්න මම කතා කරල ඉවර නැහැ.”

දිනි මට කිව්වා

ඔයාට තේරෙනවද දන්නේ නැහැ අයියේ, මම මේ නිසා මොන තරම් දුක් විඳිනවද කියල. ඒත් මට බැහැ ඔයාට කියන්න මට ආදරේ කරන්න කියලා, මට ඒ තරම් ආත්මාර්ථකාමී වෙන්න බැහැ. අනිත් එක මම කියන නිසාම ඔයා මට ආදරේ කරන්නත් එපා. මම ඒකට කැමති නැහැ. ඔයා හෝ වෙන කව්රු හෝ මට ආදරේ කරනවනම් එයා සීයයට සීයයක්ම මගේ වෙන්නම ඕනේ. වෙනත් කෙනෙක් ගැන හිතේ කොනකවත් තියෙන්න බැහැ. ඒ නිසා ඒ විදිහට මම දුක් විඳිනවා කියල හිතලනම් මට ආදරේ කරන්න හිතන්නවත් එපා”
දිනි හිතේ තියෙන දුක සම්පූර්ණයෙන්ම මට කියනවා

ජීවිතේ පළවෙනියටම හිතට එන ආදරේ ලේසියෙන් අමතක කරලා දාන්න බැහැ අයියේ. ඒක හරියට තමන්ගේ අම්මා තාත්තා අමතක කරනවා වගේ වැඩක්. මෙච්චර කාළෙකට ආදරේ නිසා ජීවිතේ නැති කරගන්න මිනිස්සුන්ට මම හිනාවුනා. ඒත් ජීවිතේ පළවෙනි වතාවට මට තේරුණා ඒ මැරුණ අය මොන තරම් දුකක් විඳින්න ඇද්ද කියලා. ඒ අය සාධාරණයි කියලා දැන් මට හිතෙනවා”

පිස්සුද දිනි, මොනවද ඔයා මේ කියන්නේ”

මට පිස්සු නැහැ අයියේ, මට හිතුන දේවල් තමයි මම කි‍යන්නේ. මේ දේවල් මම ඔයාට කියලවත් හිත සැහැල්ලු කරගන්න ඕනේ. නැත්නම් මාව පුපුරලා මැරෙයි මේ තියෙන ප්‍රෙෂර් එකට”

දිනි මේ වගේ දේවල් කතා කරන්න මේ වෙලාව නෙවෙයි, අනිත් එක මම කිව්වනේ ඉරණම් කාරයා කවදාහරි කොහේ හරි ඉඳලා හම්බවෙනවා කියල. ඒ මමනම් ඒක එහෙම වෙයි”

ඔයා වගේ ලේසියෙන් එහෙම හිතලා ඒක අමතක කරන්න පුළුවන් නම් කොයිතරම් හොඳද අයියේ, ඒත් මගේ හිත මටම පාලනය කරගන්න බැහැ.”

නංගි ප්ලීස්, අපි දැන් මේ කතාව නවත්තමු. මම ඔයාට ආදරේ නැහැ කියලා හිතන්න එපා. මොකද මම තාම ජීවිතේ කිසිම කෙනෙකුට ආදරේ කරන්න හිතල නැහැ. මම එහෙම හිතපු දවසට ඒ ඔයා වෙන්න බැරි කමක් නැහැ.”

අනේ අයියේ, ඔයා ඔය ටිකද මට කියන්නේ”

මම කියන දේ අහන්න. තාම ඔයා ඕ ලෙවල් කරලා විතරයි. තව මොන තරම් ඉගෙනගන්න තියෙනවද, දැන්ම ඔය වගේ දේවල් හිතලා ඒවා කඩාකප්පල් කර ගන්න ද හදන්නේ?”

මට එහෙම කියන්න එපා, මම දන්නවා මම ඉස්සරහට මොනවද කරන්න ඕනෙ කියල.”

හරි, ඔයාට හොඳ දෙයක් කරන්න, ඒත් මේ වගේ දෙයක් නිසා හැම දෙයක්ම නැතිකරගන්න එපා”

එදා දිනිගේ හමුවීමෙන් පස්සේ මගේ තරගය තිබුනා. අවසාන වටයට සුදුසුකම් ලැබුනා. දෙවෙනි දවසේ අවසාන තරගයෙන් මම ප්‍රථම ස්ථානය ගත්තා, නව වාර්ථාවකුත් එක්ක.

ඊළග සතියේ මම පාසලට ගියා. උදේ විවේකය ඉවර වුනාම මට ප්‍රින්සිපල්ගෙන් කැඳවීමක් ලැබුනා. මේ පාර මොන ගිනි ගෙඩියක් පාත් වෙන්න යනවද කියලා හිතා ගන්න බැරිව මම ගියා ඔෆිස් එකට

“එක්ස්කියුස්මී ෆාදර්, කැන් අයි කම් ඉන්?“

අපේ ප්‍රින්සිපල්ගේ නීතියක් තමයි සිංහලෙන් කතා කිරීම තහනම්. ඉංග්‍රීසි බැරිනම් කැඩුන ඉංග්‍රීසියෙන් හෝ කතා කරන්න ඕනේ.

“යස් යස් කම්“

මම ගිහිල්ලා ඉස්සරහින් හිට ගත්තා. විදුහල්පතිතුමා අපේ මළල ක්‍රීඩා බාර සර්ට එන්න කියල පනිවිඩයක් යැව්වා. මමත් කිසිම දෙයක් හිතා ගන්න බැරිව හිටියා.

සර් ආවා. තනියම නෙමෙයි, විදුහලේ ක්‍රීඩා භාර සර් ත් එක්ක.

විදුහල්පතිතුමා කතා කළා.

මම කාවින්දගෙන් පොඩි ඉල්ලීමක් කරන්න තමා කතා කළේ’

සර්”

මම කාවින්දගේ තාත්තටත් කතා කළා. එයානම් කිව්වේ ඒක ඔයාගේ තීරණයක් වෙන්න ඕනෙ කියලා”

මම කතාවක් නැතුව අහගෙන හිටියා.

ඔයා මේ සැරේ 400 මීටර්ස් වලින් දින්නට පස්සේ මට රග්බි කෝච්ගෙන් ඉල්ලීමක් ආවා ඔයාව ආයෙත් ටීම් එකට දාල දෙන්න කියල, ඒත් තාත්තා කිව්වා ඒ ලෙවල් කරන නිසා ඒ වගේ ස්පෝර්ට් එකක් කරන්න අමාරුයි කියලා, ඒත් මට කරන්න දෙයක් තිබ්බේ නැහැ, දෙවෙනි පාරටත් මට අහන්න වෙනවා”

ක්‍රීඩා භාර සර් මගේ දිහාවට හැරුනා

කාවින්ද මොකද කියන්නේ, කැමතිද ෆස්ට් ෆි‍ෆ්ටීන් සෙල්ලම් කරන්න”

අපි ටීම් එකේ හැමෝටම විශේෂයෙන් සයන්ස් සහ මැත්ස් කරන අයට ඉරිදා දවස් වල ප්‍රැක්ටිස් සෙෂන් එක අඩු කරලා ස්පෙෂල් ක්ලාසස් වගයක් කරන්න යනවා, මම හිතන්නේ ඔයාගේ දෙමව්පියන්ගේ වොරි එක නැති වෙයි මේ නිසා.”

සර් ඒත් මම රගර් සෙල්ලම් කරලා තියෙන්නේ පොඩි කාළයක් විතරයි ඒකත් අන්ඩර් සෙවන්ටීන්”

ඔයාට මූලික දැනීම තියෙනවනේ, අනික අපිට තියෙන ප්‍රශ්නෙ තමයි සචින්ත ඕ ලෙවල් ෆේල් වුන එක. මිනිහා තමයි වින්ත්‍රී ප්ලේස් එකට හොදම ඒත් පහුගිය අවුරුද්දෙම අපිට ඒ වෙනුවට රිප්ලේස්මන්ට් එකක් හොයා ගන්න බැරි වුනා. ඒ නිසයි කොච් මට කිව්වේ ඔයාට කතා කරන්න කියලා”

විදුහල්පතිතුමා මළල ක්‍රීඩා සර්ට කතා කළා

මොකද සර් කියන්නේ, මෙයාගේ රනින් කැපැසිටි එක අඩුවෙයිද මේ නිසා”

මෙහෙමයි සර්, ඇත්තම කියනවනම් පොසිබිලිටි එකක් තියෙනවා එහෙම වෙන්න රග්බි වල තියෙන හාඩ් ට්‍රේනින් නිසා මෙයාගේ රනින් වලට යුස් වෙන මසල්ස් ටයිට් වෙන්න බලයි. මතක නේද දිනේෂ් ට වුන දේ. 400 මීටර්ස් අයිලන්ඩ් චෑම්ප්, රග්බි වලින් පස්සේ දිස්ත්‍රික් වත් ප්ලේස් නැතුව ගියා.”

මලල ක්‍රීඩා සර් කොහොමටත් විරුද්ධයි රග්බි වලට

අපි සර් ‍මෙයාව මේ අවුරුද්දට විතරක් ගමු. ප්ලීස් රිලීස් හිම් ඔන්ලි ෆො දිස් සීසන්”

සර් ට කියන්න දෙයක් නැති කමට ඕකේ කිව්වා.

ඇත්තටම අපේ පළමුපෙළ රග්බි ටීම් එකේ හිටපු හොඳටම දුවන්න පුළුවන් සහ බෝලෙ දුන්නොත් අනිවාර්යයෙන්ම ගෝල් එකක් අරගෙන දෙන මිනිහා තමයි සචින්ත, ඒත් මිනිහා අමු මැට්ටා. ඕ ලෙවල් දෙපාරක් කරලත් පාස් වුනේ නැහැ.

මගේ තිබුන එකම විශේෂත්වය තමයි හොඳට දුවන්න පුළුවන් වීම සහ දරාගැනීමේ ශක්තිය. මීටර් සීය වගේ කරන අයට මේ ක්‍රීඩාව අමාරුයි. හොඳම තමා මීටර් 400 හෝ 800 වගේ දුවන්න පුළුවන් වීම. මොකද ඒ අයට වැඩි දරාගැනීමේ ශක්තියක් තියෙනවා.

නැත්නම් මම රග්බි ක්‍රීඩාවේ අතිශය මූලික නීති හැර වෙන කිසිම දෙයක් දැනගෙන හිටියේ නැහැ. මට ඇතුතටම ආසාවක් තිබුණා මොකද නුවර ඒ කාළේ රග්බි වලට හොද ජනප්‍රියතාවයක් තිබුණා. විශේෂයෙන්ම මහනුවර ක්‍රීඩා සමාජය එක දිගටම තරග වලින් ජය ලබන්න පටන් ගත්තේ ඒ කාළේ නිසා.

කොහොමහරි විදුහල්පති තුමාගේ මැදිහත්වීම නිසා මගේ අම්මත් අකමැත්තෙන් හරි කැමති වුනා මට තව එක සීසන් එකක් විතරක් සෙල්ලම් කරන්න දෙන්න.

ඔන්න ඔය විදිහට මම නොසිතූ විදිහට මට ඉස්කෝලෙ පළමු පෙළ රග්බි කණ්ඩායමට ක්‍රීඩා කරන්න ලැබුනා.

මේ අතරේ දවසක ලයාංගි මට කතා කළත් මම කෝල් එක ගත්තේ නැහැ. අම්මා කිව්වා මම නැහැ කියල. මට හිතුනා මම ගත්ත ඒ තීරණේ හරි කියල. ‍නැත්නම් එයා මං ගැන බලාපොරොත්තු තියාගෙන බැරිවෙලාවත් ලංකාවට ආවොත් ආයෙත් මම දෙලොවක් අතර හිරවෙනවා.

ඒත් මගේ රග්බි පුහුණුවීම් නිසා මට තිබුණ විවේක කාලය බොහොම අඩුවුණා. සඳුදා පටන් ගත්තහම සිකුරාදා වෙනකං හැම සතියේ දවසකම උදේ හයයි තිහට ශාරීරික ව්‍යායාම, අටයි තිහට පන්තියේ වැඩ, හවස දෙකයි කාලට ඉස්කෝලෙ ඉවර වෙලා ගෙදර ගිහිල්ලා ආයෙත් තුන වෙනකොට එන්න ඕනේ පුහුණුවීම් වලට. සෙනසුරාදා උදේ වරුව ටියුෂන් පන්ති යනවා, හවස් වරුව විතරයි නිදහස් වෙන්නේ. ඉරිදා දවසම අපේ ඉස්කෝ‍ලෙම ගුරුවරු මගින් ටීම් එකේ අයට මගහැරෙන පාඩම් වලට පන්ති දාලා. අනිත් එක ඉරිදා හවස් වරුව මම යොදා ගත්තා මලල ක්‍රීඩා පුහුණුවීම් වලට. මොකද මට ඒක අතාරින්න හිතුනෙත් නැහැ.

අම්ම නම් කොහොමවත් කැමතිවුනේ නැහැ මේ කාල සටහනට. හේතුව තමයි පුහුණුවීම් වලින් පස්සේ ගෙදර ගියාම ආයෙත් පාඩම් කරන්නනම් කොහොමවත් බැහැ. ඉරිදත් ඒ වගේමයි. සෙනසුරාදා තමයි මම පොඩ්ඩක් වලක් බහින්න වගේ තියාගෙන ඉන්නේ. ඒ නිසා එදාටත් මම ගෙදර නැහැ.

මේ අතරේ ඉස්කෝලෙ වාර විභාගෙත් ආවා.

මොන අතිරේක පන්ති, ටියුෂන් තිබුණත් විභාගේ කිට්ටු වෙනකොට තේරුණා ඔලුවේ කිසිම දෙයක් නැහැ කියල.

එදා වාර විභාගේ පළවෙනි දවස උදේ...................

මම උදේම පන්තියට ආවා, ඉස්කෝලෙ ප‍ටන් ගන්නෙ අටයි කාලට වුනත් අදනම් හැමෝම කළින් ඇවිත්. මාස ගාණක් පාඩම් කරපු නැතිවා අද උදේම පාඩම් කරගන්න වගේ සමහරු පොත් පෙරළගෙන.

සචිත්‍ර ලොකු පොතක් පෙරළගෙන කියවනවා.

මම කතා කළා

යකෝ, තුන්සිය හැ‍ටපස් දවසම වල බැහැලා, විභාගේ දවසේ උදේ පාඩම් කළාට පාස් වෙන්න බෑ, වරෙන් යන්න ඉස්කෝලෙ පටන් ගන්න කළින් ෆැග් එකක් වත් ගහල එන්න.”

යකෝ අදවත් උදේ පාන්දර ඔය සිගරට් එක නැතුව හිටපං”

ආ.. උඹ එහෙමද, මම යනවා චූටි අයියගෙ කඩේට, උඹ ඕනෙනම් වරෙන්”

මම එහෙම කියල ගේට්ටුව පැත්තට ඇවිදගෙන ගියා.

සචිත්‍ර මොනවා කිව්වත් එන බව මම දන්නවා. අපි දෙන්නා කඩේට යනකොට අපේ ඉස්කෝලෙම උන් පිරිලා. අපි දෙන්නා එක සිගරට් එකක් පත්තු කරගත්තා.

මචං කාවා, පිස්සු කෙළියා වගේ නෙවෙයි බං, ටර්ම් ටෙස්ට් එක වුනත් ‍ගොඩ දාගත්තේ නැත්නම් අනාථයි”

සචිත්‍ර කියන එකත් ඇත්ත. අපේ ඉස්කෝලෙ වාර විභාගයට ලකුණු අඩු වුනොත් දෙමව්පියන් ගෙන්නලා ඒ අයත් එක්ක කතා කරනවා. ලකුණු අඩු වෙන්න හේතු හොයනවා. විශේෂයෙන්ම මේ වතාවේ මට ප්‍රශ්නයක් තිබුනා, මම හොඳ ලකුණු ගත්තේ නැත්නම් විදුහල්පතිතුමා එකග වෙලා තිබුණා මගේ රග්බි ආයෙත් නවත්තන්න.

ඒත් මොනව කරන්නද, යන්තම් භෞතික විද්‍යෘව විතරයි මට අල්ලලා ගිය විෂය වුනේ. ඒකටනම් මම හැමදාම ලකුණු හැටෙන් එහා ගත්තා. සත්ව විද්‍යාව සහ උද්භිද විද්‍යාව නම් තනිකරම පාඩම් කරන්න නිසා, එපාම වෙලා තිබුණේ, රසායන විද්‍යාව නම් තනිකරම ග්‍රීක් වගේ. මට කවදාවත් ලකුණු පහලොවට වඩා තිබිලා නැහැ.

විභාගේ තනිකරම පිස්සුවක් වුනා. පළවෙනි වාරය නිසා, ඉස්කෝලේ අතිරේක වැඩ වැඩිම වාරය, ක්‍රීඩා උත්සවය, බිග් මැච් එක, මලල ක්‍රීඩා තරග සහ මෙකී නොකී දේවල් හැම දෙයක්ම තිබුණේ මේ වාරෙ නිසා කිසිම කෙනෙක් පාඩම් කරලා තිබුණේ නැහැ. පාඩමටම හිත යොදවන කීප දෙනෙක් නම් හැමදාම වගේ කිසිම ප්‍රශ්නයක් නැතුව ලිව්වා. ඒත් මම සහ මගේ කාණ්ඩෙට වැටෙන් ගොඩක් එවුන් සම්පූර්ණයෙන්ම අතරමං වෙලා. ප්‍රශ්න පත්තර හදපු සර්ල, ටිචර්ස්ලා වුනත් කිසිම අනුකම්පාවක් කරල නැහැ වගේ. අඩුම ගාණේ පොතක් පෙරලලා ලියන්නවත් ඒ පාඩම ඉගෙන ගත්තදවත් කියල මතක නැහැ.

ඒත් පාඩම් කරල තිබුණ කීප දෙනා කිසිම ලෝබ කමක් නැතුව උන් ලියල අතරේ උන්ගේ උත්තර පත්තර අපිට පාස් කරල එව්වා.
සචිත්‍ර හිටියේ මට දෙන්නෙකුට ඉස්සරහ. මට කෙලින්ම පිටිපස්සේ හිටියේ අපේ රග්බි කණ්ඩායමේ අංක 8 ක්‍රීඩා කරන අමිත්. වම් පැත්තේ ජෙරා. ජෙරා අනිත් වුනට වඩා හොදින් පාඩම් කරපු ටිකක් බ්‍රයිට් කේස් එකක්. හැබැයි කිසිම ආඩම්බරකමක් නැහැ. අපිට විභාග වල වැඩියෙන්ම උදව් කළේ මිනිහා තමයි.

අමිත් කතා කරනවා මට ඇහුනා.

මචං ජෙරා, මේ ටිකට උත්තර කියපං බං”

ජෙරා උත්තර පත්තරයක් අමියා දිහාවට දික් කළා

අමියා ටිකක් වෙලා ඒ දිහා බලාගෙන හිටියා.

මචං ජෙරා, මට මේ මගුල තේරෙන්නේ නැහැ බං, අඩේ හොඳ කොල්ල වගේ ලියලම දීපං”

මට ඒකට හොදටම හිනා ගියා. මූ උත්තරේ අහනවා මදිවට ලියලා දෙන්නත් කියනවා.

කොහොම හරි දන්න සෙල්ලම් ඔක්කොම දාලා යන්තං හිතට සැනසීමක් ලැබෙන විදිහට විභාගෙ කරගත්තා. පාඩම් කරපු උන් හොඳට වැඩේ කරල තිබ්බොත් අපිත් ගොඩ.

විභාගේ අන්තිම දවසේ ප්‍රශ්න පත්තරේ ඉවර වෙලා අපි ඔක්කොම සෙට් වුනා. අමියා, ජෙරා, කන්නා, විජේ, සචියා, චතුර, දිලීප්, චානා, මදාවියා, මලා, සම්මා, මාපිලා, ඇන්ඩි, කිරියා, බඩුපියා, තඩියා කුලා, හේමන්ත සහ මම තමයි අපේ බයෝ, මැත්ස්, කොමර්ස් සහ ආට්ස් පන්ති හතරේ අතිජාත සෙට් එක.

අපි ටික දෙනා ගිය ගිය තැන මොකක් හරි ලෙඩක් දාල තමයි එන්නේ. ඒත් ඉස්කෝලෙ හිටපු හොඳම හැකියාවන් තිබුන උන්. ඉස්කෝල ක්‍රිකට් නායක, රග්බි නායක, මලල ක්‍රීඩා නායක, ඒ වගේම බෞද්ධ සංගමයේ සභාපති, ලේකම්. විද්‍යා සංගමයේ සභාපති, ලේකම් සහ මෙවැනි මෙකී නොකී හැම එකකම ක්‍රියාකාරී සාමාජිකයෝ වුනේ අපි. එක්කෝ අනිත් එවුන්ට අපිත් එක්ක ඒ ගැම්මට වැඩ කරන්න බැරිවුනා, නැත්නම් අපි ඒ කාටවත් වැඩ කරන්න දුන්නේ නැහැ.

විභාගේ අන්තිම ප්‍රශ්න පත්තරේ ඉවර වුනා විතරයි චතුරගෙන් ආවා අදහසක්

මචංලා හිතේ තියෙන ප්‍රශ්න යන්නත් එක්ක ‍අද සෙට් වෙමුද. යන්තං විභාගේ ගොඩ වගේ පේනවානේ”

යකෝ, මේක මේ වාර විභාගේ”

හරි හරි, වාර විභාගෙට ලකුණු 35 ගාණේ ගත්තත් ඒ‍ ලෙවල් උඩින්ම ගොඩ. අපේ සර්ලා හදන පේපර් වලට වඩා ඒවා ලේසියි බං”
ඒකනම් ඇත්ත. අපේ ඉස්කෝලේ ගුරුවරු හදන ප්‍රශ්න පත්තර තරම් අමාරු ඒවා මම කවදාවත් දැකලා නැහැ. අපි ටියුෂන් වල එහෙම පාස්ට් පේපර්ස් කරනකොට ඒවට ලකුණු තියෙනවා මීට වඩා

යකෝ මේකෙත් 35 ගන්නේ කොපි කරලනේ, උඹ ඒ ලෙවල් ගිහිනුත් කොපි කරන්නද යන්නේ”

ඒක ඒ වෙලාවට බලාගමු බං, දැන් මේ මගුල් කතා නොකර පොඩි ආතල් එකක් දාමු”

අපි අන්තිමට ගෙවල් වලට යන්න කල්පනා කරනකොට වෙලාව හවස පහට විතර ඇති.

සචිත්‍ර මට කතා කළා

කාවා උඹ ගෙදර යනවද නැත්තං ...... අපි පොඩ්ඩක් හවසට සෙට් වෙමුද”

දැන් හවස තමයි බං”

එහෙම නෙවෙයි කිව්වේ. අපි අයියගේ ප්ලේස් එකේ සෙට් වෙමුද”

අද?”

ඔව් බං, චතුරත් එන්නම් කිව්වා, මම අයියවත් අදට ෂේප් කරගත්තා”

බලමු, ගෙදර ගිහිල්ලා අයෙත් එළියට එන එක තමයි කෝස් එක”

අද විභාගේ අන්තිම දවසනේ, අපි ෆිල්ම් එකක් බලනවා කියපං”

රෑ?”

ඇයි බං හතයි තිහද කොහෙද තියෙන්නේ”

සල්ලි”

ඒව මගේ ගාණේ”

අම්මා, සචියා උඹනම් දෙයියා”

එනවද”

නිකං දෙනවනං දෙමළ පත්තරෙත් ගන්නවනේ බං, අනිවා එනවා”


එහෙනං හතට ජෝයි බෝට් එක ළග, මටත් එක්ක හෙල්මට් එකක් ගෙනෙං”

1 comment: