Recent Post

Friday, May 19, 2017

සදානුස්මරණිය ප්‍රථම ප්‍රේමය ~ මේ ආදරයයි ~ 26


සදානුස්මරණිය ප්‍රථම ප්‍රේමය
මේ ආදරයයි


26.

අපි දෙන්නා මේ විදිහට සෑහෙන වෙලාවක් ඉන්න ඇති.. මටත් නොදැනීම මගේ ඇස් පියවුනා... මට ඇහැරෙනකොට දිලිනිත් මට ලං වෙලා නිදි....

වෙලාව දැක්කහම මට තරු පෙනුනා. රෑ එකොළහ හමාරයි...

දිලිනි ඉන්න විදිහ දැක්කහම මට ඇහැරවන්න ලෝබයි. සුරංගනාවියක් මගේ ළඟට වෙලා වගේ....

මම හෙමිහිට කතා කළා.

“දිලිනි... අපි යමුද?”

“අනේ කාවින්ද තව ටිකක් ඉමු..”

“බබෝ මේ වෙලාව බලන්න...”

“ඇයි කාවින්ද.... මට නින්ද ගියා නේද? අනේ සොරි....”

“ඒකෙන් කමක් නෑ... ඒත් දැන් වෙලාව තමයි ප්‍රශ්ණේ....”

“දෙයියනේ... එකොළහත් පහුවෙලා නේද....? අනේ කාවින්ද අපි මොනවත් කෑවෙත් නැහැ...”

“කෑම නම් මොකක් හරි කරගන්න පුළුවන්.... ඒත් ඔයා දැන් කොහොමද ගෙදර යන්නේ...? අනිත් එක දැන් හොයනවත් ඇති....”

“ඒ අය බය වෙන එකක් නෑ කාවින්ද... මම රෑ වෙනවා කියලා ඒ අය දන්නවා...”

“ඒත් මාත් එක්ක යන්න බෑනේ...”

“ඇත්තම කිව්වොත් කාවින්ද මට අද ගෙදර යන්න හිතක් නැහැ... ඒත් ඔයාව අමාරුවේ දා‍න්න බැරි නිසා මම යන්නම්....”

“මම ගිහින් දාන්නම්..... ඒකෙ ප්‍රශ්ණයක් නෑ... ඒත් ගෙදර අය බලයි මම කව්ද කියල...”

“කාවින්ද.... ඔයා අද ගෙදර නොගියොත් අම්ම හොයයිද?”

“ම්.... නැහැ.. අද මට ගෙදර ගියොත් තමයි ප්‍රශ්ණේ. මම කලින් කියල තිබ්බනේ කොල්ලෝ සෙට් එකත් එක්ක යන නිසා ගෙදර එන්නේ නැහැ කියලා‍.”

“එතකොට කාවින්ද එළිවෙනකම් ඔයා කොහෙද ඉන්නේ?”

“අයියෝ දිලිනි ඒක අවුලක් නෑ... මම කොහෙට හරි සෙට් වෙන්නම්... කොහොමත් අපේ එවුන් ෂෝ එක ඉවර වෙලා ගෙවල් වලට යන්නේ නෑ.... කොහේ හරි ඇති. මම ඔයාව දාලා උන්ව හොයාගන්නම්‍.”

“එහෙනම් යමු... මාව ගෙදරින් දාන්න...”

“ඇයි ඒ... ඔයාව දාන එකෙයි මම ගෙදර නොයන එකෙයි සම්බන්දේ මොකක්ද?”

“ඒක මම පස්සේ කියන්නම්.... ඒක නෙවෙයි කාවින්ද අපි මොනව හරි කාල යමු. නැත්නම් දෙන්නම බඩගින්නේ...”

“මේ වෙලාවේ ඉතින් නයිට් කඩ තමයි...”

“මං ආසයි නයිට් කඩේකින් කොත්තුවක් කන්න... ඔයා ආස නැද්ද....?”

දිලිනිට පරක්කු වුනා කියල කිසි ගාණක් නෑ වගේ....

“මටනම් කොත්තු පේන්න බෑ.... ඔයා කොත්තුවක් කන්න....”

“දිලිනි දැන් මේකයි සීන් එක... ඔය මොනව කරන්නත් කලින් අපි මෙතනින් පැන ගන්න ඕනේ... කාවුරුත් නොදකින්න... මේ රැ දොලහට විතර අපි දෙන්නා අහු වුනොත් ඉතින් අනාථයි.”

අප දෙන්නා එතනින් හෙමින් සීරුවේ එලියට ආවා. ඉස්කෝලේ ගේට්ටු ඔක්කොම මේ වෙලාවේ ලොක් කරලා කියන එක සීයට දෙසීයක් ෂුවර්.

මම දිලිනිවත් අරගෙන පිටිපස්සේ තාප්පේ පැත්තට ගියා. ඒ හරියේ කැලෑව වැවිලා...

“කාවින්ද කොහෙද මේ යන්නේ... අපි ඉස්සරහින් නෙවෙයිද යන්නේ.?”

“ඔයා හිතුවද මේ රෑ දොලහට අපි දෙන්නට යන්න ගේට්ටු ඇරල තියෙනවා කියලා... අපි යන්නේ වැටෙන් පනින්න...”

“අනේ අම්මේ මට නම් බෑ...”

“බෑ කියල හරියන්නෑ දිලිනි... බය නැතුව එන්න... ඉස්කෝලේ ඉන්න කාලේ හැම සතියකම අපි මේ වැ‍ඩේ ප්‍රැක්ටිස් කරනවා...”

මම එහෙම කියල තාප්පෙන් පනින්න අපි සෙට් කරගෙන හිටපු තැනට ආවා. එතන කැලෑව වැවිලා... තාප්පේ ටිකක් කැඩිලා නිසා උස අඩුයි...

“අනේ ඇත්තට.... එහෙනම්  ගේට්ටු ඔක්කොම වහලා... උසට තාප්ප ගහලා තිබ්බත් මේ ගොල්ලන් පන්තිවල නැත්තේ මේකයි...”

“අන්න දිලිනි... මේකත් අර අපි හිටපු තැන වගේම ටොප් සීක්‍රට් එකක් හරි.... කාටවත් කියන්නම් එපා...”
එයා හිනා වුනා.

“අනේ කාවින්ද දිගට දිගේ මේ ගවුමකුත් ඇඳගෙන මම කොහොමද තා‍ප්පෙකින් පනින්නේ?”

“මෙන්න මෙහෙමයි... ඔයා මුලින් මගේ අත් දෙක උඩ කකුල් තියලා නගින්න‍‍... ඊට පස්සේ තාප්පේ උඩට ගොඩ වෙන්න... ඊට පස්සේ මම ඇවිල්ලා අනිත් පැත්තට පැනලා ඔයාව බස්සවා ගන්නම්.”

“ඔයාගේ අත්දෙක උඩට නගින්න. ඔන්න මම බරයි හරිද?”

“පිස්සු කෙල්ල. ඔයා මොන බරක්ද බබෝ....”

දිලිනි මගේ අත් උඩට කකුල තිබ්බා. මොන බරක්ද මට මේ ටූචි කෙල්ල. උස විතරයි.

මම කියපු විදිහට වැඩේ වුනා... ඒත් මම අනිත් පැත්තට පැන්නට පස්සේ තාප්පේ උඩ හිටපු දිලිනි බයෙන් බලාගෙන ඉන්නවා.

“ඇයි දිලිනි... සපත්තු දෙක මේ පැත්තට දාලා බය නැතුව පනින්න මම අල්ල ගන්නම්..”

“මට බයයි කාවින්ද පනින්න.... වැටෙයි...”

“පිස්සු නැතුව පනින්න... ඕක උඩ ඉන්න එපා... වටේටම පේනවා. ඉක්මන් කරන්න...”

“ඔන්න එහෙනම් මාව අල්ල ගන්නවා නේද?”

“ඔව් ඔව්.... පනින්න...”

දිලිනි එකපාරටම පැන්නා.. මම එයාව අල්ලගත්තත් එයාගේ බරට මම බිම වැටුනා... දිලිනි මගේ ඇඟ උඩ... අපි දෙන්නටම හිනා.. මම බොහොම අමාරුවෙන් කට තද කරලා අල්ලගෙන හිනාව නවත්ත ගත්තා.‍..‍ ඒත් දිලිනිගේ හිනාව එලියට පැන්නා....

ඒත් එක්කම ඉස්කෝලේ මුර කාරයගේ බල්ලා බුරනවා ඇහුනා... අපි දෙන්නා වැටුන විදිහටම සද්ද නැතුව හිටියා.... විනාඩි දෙක තුනකින් මුරකාරයාගේ හට් එක පැත්තේ ලයිට් එක දැම්මා‍....

“දිලිනි දුවමු...”

අපි දෙන්නා‍ කිසි කතාවක් නැතුව පාරට එනකම් මීටර් සීයක් විතර එක හුස්මට දිව්වා‍‍‍‍.... දිලිනිගේ අඩි උස සපත්තු දෙක මගේ අතේ....

“අනේ කාවින්ද මගෙ යටිපතුල් රිදෙනවා... සපත්තු නැතුව දුවලා..‍.”

පව් කෙල්ලගේ කකුල් වල හොඳට ගල් ඇනෙන්න ඇති...

කොහොම හරි අපි බයිසිකලේත් හොයා‍ගෙන මහයියාවේ නයිට් කඩේට ආවා.

එතන හිටපු උන් අපි දිහා බැලුවේ අමුතු සත්තු දෙන්නෙක් දිහා බලනවා වගේ... ඇයි ඉතින් ෆුල් පොෂ් විදිහ‍ට පාටියකට යන්න වගේ ඇඳලා... දිලිනි ලස්සන ජ්වලරි දාලා.... හයි හීල්ස් දාලා.... බයිසිකලේක නයිට් කඩේට ඇවිල්ල කොත්තු ඉල්ලනකොට වෙන කොහොම බලන්නද?”

අපි දෙන්නා කෑම කන්න ලෑස්ති වෙනකොට මගේ පිටිපස්සෙන් බර අතක් වැටුනා...

“ආ කාවින්ද පුතා.... කවදාවත් නැතුව කොහෙද මේ වෙලාවේ....”

මම බලද්දි නුවර ඉන්න හොඳ මර්සියෙක්..... යන්තම් තාත්තට පින්සිද්ද වෙන්න මිනිහා මාත් එක්ක ෂේප්...

“ආ..... ඩැනී අංකල්. මම දැක්කේ නෑ අංකල් ඉන්නවා...”

“ඉතින් කොල්ලෝ... කොහෙද මේ රෑ දෙගොඩහරි ජාමේ ලස්සන සුරංගනාවියකුත් අතින් අල්ලගෙන...”

“ආ මේ..... අපි පොඩි පාටියකට ගියා‍‍‍‍.... යාළුවෙකුගේ..... රෑ වුනා.... කෑම කෑවට මගදි බඩගින්නක් ආවා... ඒකයි‍ මෙතෙන්ට ප්ලග් වුනේ...”

මම වචන ටිකක් ගැට ගහගත්තා. මේ යකා මේක තාත්තට ලීක් කළොත් නම් චාටර් එකේ හොඳ එක.

“ඒත් කව්ද බං මේ සුරංගනාවි.... මම කලින් දැකල නෑනෙ උඹට කෙල්ලෙක් ඉන්නවා....”

“නෑ අංකල්... යාළුවෙක් විතරයි....”

“හරි හරි ඔය යාළුකම් තමයි පස්සේ ලව් වලට හැරෙන්නේ.... කමක් නෑ... සන්තෝසයි අපේ මාස්ටර්ගේ පුතා... කාවින්ද පුතා හාල් කෑල්ලක් නැතුව සුරංගනාවියක් සෙට් කරගත්තට අපිටත් ආඩම්බරයි...”

දිලිනි බයවෙලා වගේ මගේ දිහා බලාගෙන ඉන්නවා.

“දෝනි බය නැතුව ඉන්න.... මම  මෙයාගේ තාත්තාටත් පණ වුනත් දෙනවා... ඒ කියන්නේ කාවින්ද කියන්නෙත් අපේ දරුවෙක්.”

මේ යකා මොනව කියවනවද දන්නෑ.. දිලිනි හිතයි අපි චන්ඩි ආශ්‍රය කරනවා කියලා...

“කොත්තු මල්ලි හොඳට සලකපං මේ කස්ටමර්ස්ලට දෙන්නට හරිද... අපේ ෆිට් එකක් තමයි...”

“හරි ඩැනී අයියේ....”

කොත්තු දාන පොරත් බයවෙලා වගේ...

ඩැනී අංකල් කියන්නේ කොටින්ම කිව්වොත් අමුම මැරයෙක්... ඒත් මොන හේතුවකටද දන්නෑ මගේ තාත්තට මිනිහගේ තියෙන්නේ බයක්ද ගෞරවයක්ද කියලා දන්නෑ. මොනවා වුනත් තාත්තා මොනවා හරි කිව්වද මිනිහා පැනලා පිලිගන්නේ.

මම දන්න විදිහට ‍ගොඩක් කාලෙකට කලින් මිනිහා කරපු මැර වැඩකදි බෙල්ල ළඟටම එරිලා ඉද්දි තාත්තා අඳුරන ලෝයර් කෙනෙක් සෙට් කරල මිනිහව ගොඩ දාලා තියෙන්නේ තාත්තා. ඒ නිසා වෙන්න ඇති මිනිහා මේ තරම් තාත්තාට සපෝට්...

“කාවින්ද මටනම් බයයි....”

දිලිනි රහසින් මට කිව්වා...

“ඔයා බය වෙන්න එපා දිලිනි... මේ යකා ඉන්නකං යකාටවත් බය වෙන්න එපා... මිනිහා මගේ තාත්තට පණ...”

“ඇයි ඒ....”

“මම දන්නෑ හරියටම දිලිනි... ඒත් කාලයකට ඉස්සර මිනිහව ලොකු කේස් එකකින් බේරලා තියෙනවා අපේ තාත්තා... ඒක නිසා වෙන්න ඇති...”

“මිනිහා තාත්තට කියයිද?”

“නෑ..... මම හිතන්නෑ..... මේ බජාර් එකේ එවුන් ඒ වගේ බලුවැඩ කරන්නෑ මට.”

“එහෙනම් හොඳයි.... නැත්නම් තව නඩුවක්...”

“ඒක නෙවෙයි දිලිනි... අපි දැන් යමු නේද?”

“යමු කාවින්ද...”

මම කොත්තු වලට සල්ලි ගෙවලා එලියට ආවා...

“කාවින්ද පුතා..... දැන් දෙන්නා කොහෙද යන්නේ.... පරිස්සමින් යන්න පුළුවන්ද? නැත්නම් මමත් එන්නද බැකප් එකේ. මාස්ටර් කියලා තියෙන්නේ කොල්ලා රෑ පානේ එලියේ දැක්කොත් පරිස්සම ගැන බලා ගන්න කියලා.”

මේ යකා මගේ පස්සෙන් එන්නද යන්නේ.

 “නෑ ඩැනී අංකල්..... මට යන්න පුළුවන්.... බයික් එකේ නේ.....”

“හොඳයි.... පරිස්සමින් කොල්ලෝ... තාත්තා මට කියල තියෙන්නේ කොල්ලව කොහේ දැක්කත්... කීයට දැක්කත් ආරක්ෂාව ගැන බලන්න කියලා...”

“මට ප්‍රශ්ණයක් වෙන්නෑ ඩැනී අංකල්....”

“හොඳයි ගුඩ් නයිට්”

“ගුඩ් නයිට්...”

මම ෂේප් වෙලා ආවා...

“මටනම් බයේ බෑ කාවින්ද... අපි දෙන්නෑ ගැන ආරංචි වෙලා තාත්තා මේ වගේ කෙනෙකුට කිව්වොත් එහෙම මේ මිනිහා මාව නැති කරලා දායි...”

“පිස්සුද දිලිනි... බය වෙන්න එපා... අපි යමු දැන්..”

2 comments:

  1. සත්‍ය සුදුවීමක් මම මේ ලියන්නේ.

    ඒත් මේක කතාවක් විදිහට ගැලපෙන්න පොඩි පොඩි වෙනස් කම් කළා. දෙබස් වුනත් සමහර ඒවා සිද්ධියේ මතකයෙන් ලියපුවා. ඒ දවස් වල කියපු දේවල් දැන් ඒ විදිහටම මතක නැහැ. මේ කිසිම දේකින් ඇත්තටම වුන සිදුවීමම හානියක් නෑ. ඒක කතාව ඇතුලේ ඒ විදිහටම යනවා.

    මොකද කට්ටිය හිතන්නේ....

    ලියන ස්ටයිල් එක නම් තාම ලස්සන නැතුව ඇති, පොඩි වැරදීමුත් ඇති. කියවන අයගේ කමෙන්ට් වලින් තමයි ලොකු උදව්වක් වෙන්නේ ඊළඟ කොටස් දාන්න

    ReplyDelete
  2. ලියන ස්ටයිල් එක ගැන වැඩිය හිතන්න එපා. ඔහේ ලියවෙන්න අරින්න. ඊට පස්සෙ ආපහු කියවන්න. එතකොට පෙනෙයි අඩුපාඩු තියෙනවනං. ඒවා හදාගන්න පුලුවං . මේක හොඳට යනවා. දැනට නං මට කියන්න අඩුපාඩුවක් පේන්නෙ නෑ

    සත්‍ය කතාවක් කියල කිව්වට පස්සෙ කතාව ගැන කුතුහලය තවත් වැඩිවුනා. කොහොම හරි ඉකමනින් ඉතුරු ටික ලියන්න. අපි මේ මග බලාගෙන ඉන්නෙ

    ReplyDelete