Recent Post

Tuesday, May 16, 2017

සදානුස්මරණිය ප්‍රථම ප්‍රේමය ~ මේ ආදරයයි ~ 23


සදානුස්මරණිය ප්‍රථම ප්‍රේමය
මේ ආදරයයි


23.

හරියටම මාසයක් ගතවෙලා ගියා.

හෙට ජීවිතේ තවත් ලොකු කඩ ඉමක් පටන් ගන්නවා.

උසස් පෙල විභාගේ.

දිනි ලංකාවෙන් ගිහිල්ලත් හරියටම මාසයයි.

මම කොහොම හරි හිත එකලස් කරගෙන පාඩම් කළා. ඇත්තටම යාළුවෝ ටික ළඟ හිටපු එක ලොකු හයියක් වුනා. අපි එකතුවෙලා දවසක් හැර දවසක් වගේ කාගේ හරි ගෙදරකට එකතු වෙලා එලිවෙනකම් පාඩම් කළා.

ඒකෙන් අපිට යන්තම් ගොඩ යන්න පුළුවන් වෙයි කියන හැඟීම ආවා.

ඇත්තටම අපේ එකෙක්වත් ඉගෙනගන්න බැරි එවුන් නෙවෙයි. හැම කෙනෙක්ම පොඩි කාලේ හොඳින් ඉගෙනගත්ත එවුන්. ඒත් මොකක්දෝ අවාසනාවකට වගේ දැන් හැම එකෙක්ම ඒක මග ඇරලා.

දිනි ගැන මතකය හි‍තේ කොනක තියෙද්දි මම කොහොමහරි පාඩම් කළා. මගේ පලවෙනි ටාගට් එක වුනේ විභාගේ.

ඊට පස්සේ මම හිතාගත්තා කොහොමහරි දිනි ලංකාවෙන් යන්න හේතුව හොයාගන්නවා කියලා. මට පොඩි සැකයක් තිබ්බා මේක පිටිපස්සේ අපේ ගෙදර කට්ටිය ඉන්නවා කියලා.

විභාගේ වුනත් හිතපු තරම් අමාරු වුනේ නැහැ. ෆේල් වෙයි කියල තිබුණ බය නම් අඩුවුනා.

විභාගේ අන්තිම දවස අපි හැමෝටම හැඟීම්බර දවසක් වුනා.

අවුරුදු දහතුනක් එකම ඉස්කෝලේ එකට ඉඳලා... කරන්න පුළුවන් මගෝඩි වැඩ හැම එකක්ම කරලා, වෙන්වෙලා යන දවස ඇවිල්ලා.

මින් පස්සේ අපි හැමෝටම අපේ ඉරණම හොයාගෙන යන්න වෙනවා.

ඉස්කෝලෙදි වගේ දෙමව්පියන්ගේ සල්ලි වලින් පිස්සු නටන්න බැරි වෙනවා. අපිටම කියල ජීවිතයක් හදාගන්න වෙනවා.

“කාවා මොනවද යකෝ කල්පනා කරන්නේ?”

“කල්පනා කරන්නද බං දේවල් නැත්තේ... දැන් අපි ගෙදරින් කාපු කාලේ ඉවරයි.”

“ආ ඕව ගණන් ගන්න එපා බං. කැම්පස් සිලෙක්ට් වුනොත් තව අවුරුදු හතරක් ගෙදරින් කන්න පුළුවන්.”

සචියා විකාර කියවනවා.

“ඒක නෙවෙයි කාවා..... ඉස්කෝලෙ කාලෙත් අදින් ඉවර වෙන එකේ, මොකද කියන්නේ සෙට් වෙමුද, කරටි හැලෙන්න ගහන්න?”

“අදහස නම් නරක නෑ, ඒත් සල්ලි තමා ප්‍රශ්ණේ.,...”

“ආ සල්ලි ප්‍රශ්ණයක් කර ගන්න එපා මචංලා, අපි කලෙක්ෂන් එකක් දාමු.”

ඒ දවස ඒ විදිහට ගෙවුනා.

මම විභාගේ ඉවර වෙලා සති දෙකක් යනකම් මම ගෙදරටම වෙලා හිටියා. දීප නැන්ද හදල දෙන ඒව කකා බිබී, ටීවි, චිත්‍රපටි බල බල ඉන්න එක තමයි කළේ. අඩුගා‍නේ සචියා හම්බවෙන්න වත් ගියේ නැහැ. ඌ නම් දවස් කීපයක් චිත්‍රපටි කීපයක් අරගෙන ඇවිල්ලා මාත් එක්ක බැලුවා, එත් මගේ කම්මැලි දින චරියාව දැකලද කොහෙදෝ ඌටත් එපා වෙලා දැන් දවස් කීපයකින් මේ පැත්තේ ආවේ නැහැ.

හදිසියේම මේ කම්මැලි දින චරියාව කැඩුනේ මට ආපු කෝල් එකකින්. කතා කලේ සචිත්‍ර.

“කාවා අද තියෙනවා මිල්ටන්ගේ ෂෝ එකක් කොලෙජ් හෝල් එකේ. බලමුද?”

සචියා කිව්වා.

“යකෝ, කලින් කියන්න එපැයි. දැන් කොහොමද ටිකට් හොයන්නේ?”

“නෝ වොරීස් මචාන්ස්, මේ සචියා කලින් ම බඩු බුක් කරලා තියෙන්නේ. අපේ සෙට් එකට ටිකට් හතක් තියෙනවා.”

“යකෝ උඹනම් දෙයියෙක්...... මිල්ටන්ගේ සින්දු කියන්නේ ඉතින් බොක්ක කඩාගෙන, පපුව කඩාගෙන ගිහිල්ලා දවස් ගාණක් ආතක් පාතක් නැති වෙනවා බං”

මට නිකම්ම කියවුනා. මම ඒ තරමටම ආසයි මිල්ටන්ගේ සින්දු වලට‍. සුළගේ පාවී, වගේ සින්දු ඇහෙනකොට පපුව කඩාගෙන වැටෙනවා. මිල්ටන්ගේ මේ සින්දු ටික ඇහුවාම මම කොහොමත් පැයක් දෙකක් යනකම් සිහින ලෝකෙක තමා.‍

“අම්මද බොල, කාවා මොකද බං බූට් සින්දු වලට මෙච්චර ලව්. මම දන්න විදිහට උඹට බූට් එකක් ලැබෙන්න මේ සම්මජ්ජාතියට කෙල්ලෙක් ඉඳලා නැහැ.”

අමිලයා පටන් ගත්තා‍.

“නෑ බං තාම ඌට කෙල්ලෙක් නැතිවුනාට, කෙල්ලෙක් නැතිවම ඌට ළඟදිම බූට් දෙක තුනක් වදින්න ඉඩ තියෙනවා. බූට් ඉස් ඔන් ද වේ.”

සචියගේ කට කැඩිච්ච කතාවට මටම හිනා ගියා.

“උඹට පිස්සුද යකෝ. මේ කාවා කෙල්ලෙකුට බූට් එක දුන්නත් කෙල්ලෙක්ගෙන් බූට් එකක් කන එකෙක් නෙවෙයි.”

“හා බලාගෙන හිටපංකෝ. අතේ තියෙන සූකිරි කෑල්ල කටේ දාගන්නේ නැතුව හීන ලෝකවල ඉන්න කෙල්ලන්ට ලව් කරන උඹට වෙන දේ.”

“අ‍තේ තියෙන සූකිරි කෑල්ල උනත් හිත ගියේ නැත්නම් වැඩක් නෑ ඩෝ.... හිත ගිය එක අල්ලගන්න නම් පණ වුනත් දෙන්න පුළුවන් කොල්ලෙක් මේ කාවා කියන්නේ. මොන ලෝකෙන් හරි මොන ගේම් ගහල මොන කටු කාල හරි හිත ගිය එක තමයි මම සෙට් කරගන්නේ...”

“පලයං බං යන්න. මේ කතාව නවත්තලා කියපං අපි කොහොමද ‍ෂෝ එකට සෙට් වෙන්නේ කියල.”

“මෙහෙමයි, පටන් ගන්නේ හයයි තිහට. අපි දැන් ඩිස්මිස් වෙලා ගෙදර ගිහිල්ල වොෂ් එකක් දාලා හය වෙනකොට හෝල එක ළඟ සෙට් වෙමු.”

අමිල ප්ලෑන් එක කිව්වා.

“හරි, ෂුවර්.”

මම ගෙදර ගිහින් වොෂ් එකක් දාගන්න යන්න හදනකොටම ෆෝන් එක රින්ග් වුනා.

වෙන කවුරුවත් පේන්න නැහැ. බලමු කව්ද කියලා.

“හෙලෝ.”

“හෙලෝ කාවින්ද? ඇති යන්තම් ඔයා ෆෝන් එක ගත්තා‍.”

“ඇයි මිස් දිලිනි?”

“නෑ මට ඔයාට කතා කරන්න ඕන වුනා. ඒත බයෙන් බයෙන් ගත්තේ.”

“ඉතින් කියන්න ඇයි කියල මිස්.”

“කාවින්ද ඉස්සෙල්ලම ඔය මිස් කියන එක නවත්තගන්න දැන්වත්‍‍. දැන් ඔයා ඉස්කෝලෙන් අවුට් වෙලා. මම ඔයා‍ගේ ටීචර් නෙවෙයි.”

“ඒ වුනාට මට එහෙම කරන්න බැහැ. මම ඔයාට නම විතරක් කියනවා කාට හරි ඇහුනොත් ලෙඩක්.”

“ඒ නමනේ අනිත් අය දන්නේ, එහෙනම් මගේ දෙවෙනි නමෙන් කතා කරන්න ‘තාරුකා කියලා.”

“ආ, ඔයාගේ නම තාරුකාද? ඇස් දෙකට ගැලපෙනවා.”

“මොනවද ඔය කියවන්නේ?”

“නෑ මං කිව්වේ ඔයාගේ ඇස් දෙක දිහා බලපුවහම දාල තියෙන නම ගැලපෙනවා කියලා පේනවා.”

“ඉතින් මට තාරුකා කියලා කතා කරන්න.”

“අනේ බෑ... .ඒක මට නුහුරුයි වගේ.”

“මොකක්ද අනේ.... ඔන්න මොකක් කිව්වත් කමක් නෑ මිස් කිව්වොත් නම් තරහම තරහයි.”

“බලමු.”

“අයියෝ කාවින්ද, දැන් කාටද බය වෙන්නේ. ප්ලීස් මට නම විතරක් කියන්න. නැත්නම් මට හරි ලජ්ජාවක් දැනෙනවා.”

“හොඳයි දිලිනි. එහෙනම් කියන්න ඇයි කතා කළේ කියල.”

“කාවින්ද ඔන්න මම කියන දේට බැහැයි කියන්න නම් බැහැ හරිද?”

“මුලින් කියන්න මොකක්ද කියල.”

“බෑ බෑ.... ප්ලීස් හා කියන්න.”

“මේක මාර වැඩක්නේ.... මම කොහොමද හා කියන්නේ ඔයා ඉල්ලන දේ මොකක්ද දන්නේ නැතුව?

“බය වෙන්න එපා ළමයෝ... ඔයාට දෙන්න බැරි දෙයක් ඉල්ලන් නෑ. අනේ හා කියන්නකෝ.”

“හා හරි කැමතියි. දැන් කියන්න මොකක්ද කියල.”

මම බේරෙන්නම බැරි තැන කිව්වා.

“අන්න හොඳ බබා..... එහෙනම් අද හවස පහට අපේ ගේ ළඟට එන්න. ලස්සනට ඇඳගෙන එන්න. ස්මාර්ට් කැෂුවල්.”

“ඒ මොකටද මිස්?

“ඔන්න ආයෙත් කෙහෙම්මල් මිස් කෑල්ලක්.”

“හරි හරි දිලිනි. කියන්න මේ මොකටද කියල?

“අනේ.... ඒක අහන්න එපා... ඔයා එන්නකෝ. අම්මට කියල එන්න යාළුවෙක් හම්බවෙන්න යනවා කියලා. එනකොට රෑ දහය විතර වෙයි කියල.”

මේ මොකක්ද යකෝ මේ. ලස්සනට ඇඳල එන්නලු, රෑ දහය වෙයිලු?

“අනේ දිලිනි මිස්... මොකටද කොහෙද කියන්න. අනික මට හතට වෙන වැඩක් තියෙනවා.”

“බෑ බෑ... ඒක වෙන දවසකට දාගන්න. මේකට ඔයා එන්නම ඕනේ.”

“මට බෑ මිස්. යන්නේ කොහෙද කියනකම්.”

“හරි මම කියන්නම් හැබැයි බෑ කියන්න බෑ, මොකද ඔයා මුලින් ප්‍රොමිස් වුනා එනවා කියලා.”

“හ්ම්.”

“කාවින්ද? අද මිල්ටන් මල්ලවාරච්චිගේ ෂෝ එකක් තියෙනවා කොලෙජ් හෝල් එකේ. මම ටිකට් දෙකක් ගත්තා අපි දෙන්නට. අනේ ප්ලීස් යමු.”

මළා. එතකොට මෙයා මාව කැමති කරවගෙන තියෙන්නේ මේ මරාලෙට. දැන් මොකද කියන්නේ?

අපේ එවුන්ට මොකද කියන්නේ?

ඇරත් උන්ට මොන බොරුවක් කිව්වත් මම කොහොමද මෙයත් එක්ක හෝල් එකට යන්නේ? අනිවා අපේ එවුන් දකිනවා. එතකොට මට නාන්න වෙනවා.

“මොකද කාවින්ද කල්පනා කරන්නේ. මම ආසයි ඔයා ලස්සනට එනවනම්. ප්ලීස් වෙලාවට එන්න.”

“අනේ මිස්, අපි වෙන දවසක ෂෝ එකක් බලමු. මම මිල්ටන්ගේ සින්දු වලට ආස නැහැ. මම ආස මයිකල් ජැක්සන්ගේ සින්දු වලට විතරයි. එයා ආවොත් අපි යමු බලන්න”

“බොරු විකාර කියන්න එපා කාවින්ද, මම දන්නවා ඔයා කැමතිම මිල්ටන්ගේ සින්දු වලට කියලා‍... ඒ මමත් ආසම කෙනා. ඔයා එන්නම ඕනේ. නැත්නම් පොරොන්දු කඩන කොල්ලෙක් ඔයා.”

මෙයා මාව ලස්සනට ඇන්දුවා.‍ මුලින් හා කියවගෙන, දැන් මටම කියනවා මම පොරොන්දු කඩනවලු. මේ කෙල්ලොනම් පුදුම ජාතියක්. මොන විදිහෙන් හරි උන්ට ඕනේ දේ කරගන්නවනේ අම්මපා. අපි අහුවෙනවා. දැන් ඉතින් පලයංකෝ අපේ ම ඉස්කෝලෙට ඒ ඉස්කෝලෙම ටීචර් කෙනෙක් එක්ක. ඇත්තට මේ කෙල්ලට බයක් කියල එකක් නැද්ද මන්දා?

“කාවින්ද, ඇයි සද්ද නැත්තේ?

“මට එන්න පුළුවන් මිස්. ඒත් අපේම ඉස්කෝලෙ දන්න කියන කී දෙනෙක් ඉඳීද?

“ඔයා බයවෙන්න එපා. මම ඒක ගානට සෙට් කරල තියෙන්නේ. මම ගත්තේ දෙවෙනි පේලියේ ටිකට් දෙකක්. ඒව ප්‍රී රිසර්ව් කරල තියෙන ඒව. ඒ පැත්තට දන්න කියන කවුරුවත් එන්නේ නැහැ. ඉන්වයිටීස්ල විතරයි‍. ඉන්වයිටීස්ලගේ අපිව දන්න අය නෑ. මුලින් මම ගිහින් ඉඳගන්නම්, ඊට පස්සේ ඔයා එන්න.”

මෙයා එහෙනම් හැම දේම ප්ලෑන් කරල‍.

“ඒත් මිස් මම යාළු‍වන්ට එනව කිව්වනේ.”

“ඔන්න දැක්කද හොරා.‍‍‍.... දැන් කිව්ව මිල්ටන්ගේ සින්දු අහන්නේ නැහැ කියල. දැන් කියනව යන්න ලෑස්ති වෙලාලු හිටියේ. ඒව මට වැඩක් නැහැ, ඔයා මට පොරොන්දු වෙලා ඉවරයි. මාව අඬවන්න එපා.”

දැන් ඉතින් කොරපංකෝ.  කාවා උඹ අදනම් නැගිටලා තියෙන්නේ මාරම අප්සෙට් නැකතකින්.

මම ෆුල් අප්සෙට් එකේ ඉන්නවා දැකල දීප නැන්ද කතා කළා.

“බබා මොකද අහස පොලව ගැටගහන්න වගේ කල්පනාව?

“ආ නෑ දීප නැන්දේ මට එකම වෙලාවේ තැන් දෙකක ඉන්න විදිහක් නැද්ද?”

“ඒ මොකටද අප්පේ ඒ...?

“දීප නැන්දත් ඉතින් මරු කියවනවා. මොකටද අහන්න කලින් මගේ ප්‍රශ්ණෙට උත්තර දෙන්නකෝ.”

“අනේ බබා. එහෙම දේවල් මම නම් දන්නේ බුද්ධ කාලේ විතරයි. බුදුහාමුදුරුවන්ට නම් මම හිතන්නේ ඔය වගෙ බලයක් තියෙනවා කියල මම අහල තියෙනවා.”

“දීප නැන්දත් අද අප්සට් නැකතකින් වගේ නැගිටල තියෙනනේ. නැත්නම් මේ අවේලාවේ බුදු වෙන්න කතා කරයිද?”

“අනේ දෙයියනේ පව් සිද්ධවෙන කතා කියන්න එපා බබා.”

මම අමාරුවෙන් එතනිනුත් ගැලවිලා ආවා.

දැන් මොකද කරන්නේ?

දිලිනි එක්ක ගියේ නැත්නම් ෂුවර් එයා තරහ වෙනවා. ඒකේ දෙකක් නැහැ. අපේ එවුන් එක්ක නොගියා කියල අවුලක් නැහැ. ඒත් උන් එක්ක නොයා මෙයා එක්ක ඉන්නවා දැක්කොත් ඉතින් දෙයියන්ටවත් බැහැ උන්ගේ කටවල් නවත්තන්න.

කොච්චර කල්පනා කළත් කිසිම විසඳුමක් ආවේ නැහැ හිතට.

කෝකටත් කියල මම දෙවිදිහටම සූදානමින් මගේ ප්‍රියතම ඊවිනින් කිට් එක ඇඳ ගත්තා. තදනිල් පාට ටයිට් ඩෙනිම් එකයි, කලුපාට අත්දිග කැෂුවල් ෂර්ට් එකයි, කලු සපත්තු දෙකයි.

මොන ඇඳුම ඇන්දත් මට ගමනට තියෙන්නේ සුපුරුදු ට්‍රේල් බයික් එක තමයි. මම ඒකේ නැගලා ගියා මිස් දිලිනිගේ ගේ පැත්තට. ඒ වුනත් මට අරමුණක් තිබ්බේ නැහැ මොකද කරන්න ඕනේ කියල. මම කොමියුනිකේෂන් එකකට ගිහිල්ලා ගත්තා සචිත්‍රට කෝල් එකක්.

“මචං සචියා. උඹල ලෑස්තිද?”

“ඔව් බං... මොකද සීන් එක. උඹ බයික් එකේ එන්න එපා. අනිවා රෑ බීමකට සෙට් වුනොත් පයින් යන එක තමා සැප, බීල ගිහිල්ල පොලිසියට මාට්ටු වෙලා කූරු ගණිනවට වඩා.”

“මේකයි සචියා. මට එන්න වෙන්නේ නැහැ!”‍

“මොකක්... ඇයි යකෝ?”

“අම්මා පොඩි බරයක් දැම්මා බං.”‍

“අඩෝ බොරු කියන්න එපා. මේ වගේ දේකට උඹල අම්මා එපා කියන්නෑ. මම කතා කරන්නද?”

“හරි හරි, අම්මගේ ප්‍රශ්ණයක් නෙවෙයි බං. ඒත් මට එන්න බැහැ. මම පස්සේ වෙලාවක කියන්නම් හේතුව. හොඳ කොල්ල වගේ අනිත් එවුන් ෂේප් කරපං සචියා.”

“පිස්සු කතා කරන්න එපා බං. මටනම් බැහැ. උඹ එන්නේ නැත්නම් හිටපං. මට අනිත් වුන්ව ෂේප් කරන්නනම් බැහැ.”

“එහෙම කියන්න එපා බං. උඹ මට මේ උදව්ව කරපං. ප්ලීස්. මේ කාවා උඹෙන් උදව්වක් ඉල්ලුවේ නෑ මතක ඇති කාලෙක. මේ උදව්ව කරපං. අම්ම ඇහුවොත් කියපං මම උඹල එක්ක කියල.”

“බංබුව තමා. උඹ කුණු වැඩ හැම එකකටම මගෙන් උදව් ඉල්ලනවා. අපිත් ඉතින් ගාගෙන, නාගෙන උදව් කරනවා. කෙල්ලෙක් බලන්න වගේ ලස්සන වැඩ වලට උඹ තනියම යනවා. යාළුවෙක් නම් කතා කරපංකෝ ඩෝ ඒ වගේ ලස්සන වැඩ වලටත්.”

“උඹ වගේ රිලවෙක් කෙල්ලෙක් බලන්න එක්ක යන්න බෑනේ බං.”

“මගේ කට. උඹලනම් යාළුවෝ නෙවෙයි, පාප මිත්‍රයෝ. මිත්‍ර ද්‍රෝහියෝ....”

“දැන් කියපං, මම කියන දේ කරනවද?”

“ඒ පාර මොන මගුලකද යන්න හදන්නේ. මට දිරවන්නේ නැහැ ළඟදි ඉඳලා උඹේ වැඩ. ඇයි බං උඹ මටත් හොරෙන් වැඩ කරන්නේ. මෙච්චර කාලෙකට අවුරුදු දහතුනක් මම උඹව කිසිම දේකට පාවලා දීලා තියෙනවද කාවා. ඇයි උඹ මටත් හංගන්නේ?

“මට උඹ යාළුවෙක් විතරක් නෙවෙයි බං. උඹ මගේ බොක්ක. මම ඒක නෑ කිව්වේ නැහැ. මේ වෙනකම්ම මම උඹට කිසිම දෙයක් හංගලත් නෑ. ඒත් මේ සීන් එක වෙනම එකක්. ඒක උඹට කියන්න මට බැරි කමක් නෑ. ඒත් ඒ කතාවේ අනිත් කොනේ තව කෙනෙක් ඉන්නවා. ඒ නිසයි මට උඹට කියන්න බැරි. මාව තේරුම් ගනිං බං.”

“හරි දැන් උඹ එන්නේ නෑනේ. මම වැඩේ ෂේප් කරන්නම්. ඒත් ම‍ට කියපං මේ ‍මොකක්ද කියල? නැත්නම් උඹල අම්ම ප්‍රශ්ණ අහන්න පටන් ගත්තම මාත් හිරවෙනවා.”

“මම එන්නේ නැහැ නෙවෙයි බං. මම එනවා ඒත් උඹලත් එක්ක නෙවෙයි. ඒකයි මම උඹට කියන්නේ වැඩේ ෂේප් කරපං කියලා.”

“මොකක්....!!! උඹ කාත් එක්කද එන්නේ. අනිත් එක උඹ හිතනවද අපේ උන් උඹව නොදැක ඉඳි කියල?”

“මම එන්නේ කව්රු එක්කද කියල උඹ සමහර විට එතනදි දකී. ඒ වෙනකම් ඒ ගැන හිතන්න එපා. මට උදව් කරපං.”

“උඹ නම් මොනවා කරනවද දන්නෑ. හරි හරි මං වැඩේ ෂේප් කරන්නම්.”

“තෑන්ක්ස් මචං. මම ඉක්මනටම මේ සීන් එක උඹට කියනවා.”

මම ‍බිල ගෙවල එලියට ආවා. මගේ හිත තවම දෙගිඩියාවෙන්.

මොකද මම කරන්නේ?

ඇයි මට මිස් දිලිනිට බෑ කියන්න බැරි? බෑ කියන්න බැරි තරමට මට එයත් එක්ක තියෙන බැඳිම මොකක්ද?

මම නොගිහින් හිටියොත් එයා මොනව කරයිද?

මාත් එක්ක තරහ වෙලා ආයෙත් කවදාවත්ම කතා නොකර ඉඳියිද?

එහෙම හිටියත් මට තියෙන ප්‍රශ්ණේ මොකක්ද?

ඇයි මම එයා තරහ වෙනවට බය?

ඇයි මම එයා මොනවහරි කිව්වහම බෙල්ල කඩාගෙන හරි ඒ වැඩේ කරන්නේ?

මොකක්ද මේ අපි දෙන්නා අතර තියෙන බැඳීම?

ඔය හැම ප්‍රශ්ණයක් ම මගේ ඔළුවට ආවත් ඒ එකකටවත් මට උත්තර තිබුණේ නැහැ.

එක්කෝ මම යනවා මිස්ව හම්බවෙන්න. ඊට පස්සේ එයාව එක්ක වෙන කොහේ හරි යනවා. ෂෝ එක බලන්න ගියොත් ලොකු ප්‍රශ්ණයක් වෙන නිසා වෙන තැනකට යනවා.


එහෙම හිතාගෙන මම මිස් දිලිනිගේ ගෙදරට ගියා.

1 comment: