Recent Post

Friday, July 21, 2017

සදානුස්මරණිය ප්‍රථම ප්‍රේමය ~ මේ ආදරයයි ~ 60



සදානුස්මරණිය ප්‍රථම ප්‍රේමය


මේ ආදරයයි


60.

දවස් කීපයකට පස්සේ අපි කතා කරගත්ත විදිහට දිලිනිගේ පාස්පෝට් එක ගන්න වැඩේ කරන්න හිතාගත්තා.

අරුණ අයියා උදේම දිලිනිව කෝච්චියට දාන්න පොරොන්දු වුනා. සචිත්‍ර තමයි දිලිනිව ස්ටේෂන් එකෙන් ගන්නේ. ඊට පස්සේ ළඟම තියෙන හොටෙල් එකක එයාව නවත්තනවා. හවස් වෙලා වැඩේට බහිනවා.

මොන තරම් ප්ලෑන් කළත් මගේ හිතේ මේ වැඩේ ගැන සම්පූර්ණ විශ්වාසයක් තිබුණේ නෑ.

උදේ නවය වෙනකොට සචියා අපේ ගෙදර ආවා.

සචියා... උඹ යන්නේ නැද්ද දිලිනිව ගන්න.”

එකොළහට නේ බං එන්නේ.”

හරි උඹ ජීප් එකේ යන්න එපා... බයික් එකේ පලයං. ෆුල් ෆේස් හෙල්මට් එක අරන් පලයන් දෙන්නටම. එතකොට කාටවත් අඳුරන්න බෑ. උඹ කෙලින්ම එයාව අරගෙන කැසමාරා එකේ නවත්තපං. මම රූම් එකක් බුක් කරලා තියෙන්නේ. කෙල්ල සල්ලි බලාගනියි. මතක් කරලා කියපං කිසිම දේකට රිසෙප්ෂන් එකටවත් එන්න එපා කියලා.”

අඩෝ... මට බෑ බං දිලිනිව බයික් එකේ දාගෙන යන්න.... කව්රුහරි දැක්කොත් වස නෝන්ඩිය... අනිත් එක යකෝ හොටෙල් එකකට.... මට බෑ වගේ බං...”

දැන් විකාර කියවන්න එපා... උඹේ නේ ප්ලෑන් එක.... පිස්සු කියවන්න එපා යකෝ... අනික උඹව කව්රු දැක්කහම මොකද.......? ඇයි බං බය වෙන්නේ?”

ඒ වුනාට බං.... මං කවදාවත් කෙල්ලෙක්ව බයික් එකක දාගෙන ගිහිල්ලා නෑ බං.”

යකෝ.... උඹ කෙල්ලෙක වගේනේ බං ඇඹරෙන්නේ... ඇයි තොට ලැජ්ජද?”

හරි හරි.... මං කරන්නම්කෝ....”

දවස් කීපයකින් දිලිනිව දැකලා නැති නිසා මට ආසා හිතුනා එයාව බලන්න යන්න. ඒත් ගිහාන් මගේ පස්සෙන් ආවොත් වැඩේ අහුවෙනවා. මොකද එදා සිද්ධියෙන් පස්සේ වුනත් ගිහාන් මගේ පස්සෙන් මිනිස්සු දාලා කියන එක මට දැනුනා.

දහය හමාරට විතර සචියත් ඇඹරි ඇඹරි ඉඳලා ස්ටේෂන් එකට පිටත් වුනා.

දොලහ වෙනකොට දිලිනිව හොටෙල් එකට ඇරලුවා කියලා සචියා මට කෝල් එකක් දුන්නා.. ඒත් එක්කම දිලිනිත් කෝල් කළා.

කාවින්ද.... මම ආවා....”

ඔව් සචියා මට කිව්වා....”

පව් අනේ... එයා ලැජ්ජාවේ පණ යනවා...”

ඌ එහෙම තමා.... ඉතින් දැන් මොකද කරන්නේ...?”

මම රූම් එකට ආවා විතරයි කාවින්ද... පාළුයි... ඔයා නැතුව... කොච්චියේ ඇවිත් මහන්සියි.”

එහෙනම් හොඳ බබා වගේ වොෂ් එකක් දාලා.... මොනව හරි ගෙන්නගෙන කාලා ටිකක් නිදා ගන්න....”

මට පාළුයි අනේ... ඔයාට වැඩද?”

ඇයි.....?”

නෑ..... මේ.... ඔයාට එන්න බෑ නේ...?”

මොකක්....?”

මං ඇහුවේ ඔයාට එන්න බැරිද කියලා... වැඩනේ... බැරුව ඇති නේ...”

වැඩ නම් නෙවෙයි... ඒත් බෑ.... මාව නෝට් වෙලා තියෙන්නේ දිලිනි... කව්රු හරි මගේ පස්සෙන් ආවොත් වැඩේ අහුවෙනවා.”

ඒ වුනාට කව්රුත් ඔයත් එක්ක හොටෙල් එක ඇතුලට එන්නේ නෑනේ.”

ඒකනම් එහෙම තමයි.... ඒත්...... ඒක අවදානමක් නේ.”

අනේ කාවින්ද... මෙච්චර දුර ඇවිත් අන්තිමට ඔයාව බලන්නේ නැතුව ඉන්න බෑ.”

දිලිනි පොඩි එකෙක් වගේ කියවනවා.

මටත් යන්න තදින්ම ඕන කම තිබුණත් මම හිත පාලනය කරගත්තා.

රෑ වෙනකොට අමිල, දිලිප්, චතුර, සචිත්‍ර හතර දෙනාම නුවර අපේ සුපුරුදු තැනට ආවා.

මේ කාවා... අපි දැන් වෙනදා වගේ ගෙවල් වලට යමු.. එතකොට මොකෙක් වත් සැක හිතන්නේ නෑ. උඹත් ගෙදර ගිහින් නිදා ගනින්. එතකොට ගිහාන්ගේ එකා වුනත් උඹේ ගේ ළඟින් නවතිනවා. ඒ අතරේ අපි වැඩේ දෙන්නම්.”

අමිල කිව්වා.

හරි. එහෙනම් සචියා උඹ මුන් පනින වෙලාවට විනාඩි දහයකට කලින් කැසමාරා එකට ගිහින් දිලිනිත් එක්ක හිටපං.හදිසියක් වුනොත් ඒ කියන්නේ වැඩේ මාට්ටු වුනොත් චතුර කෝල් එකක් දෙයි දිලිනිගේ ‍ෆෝන් එකට, ඌ ළඟ මගේ ෆෝන් එක. එතකොට උඹ දිලිනිව අරන් ඒ කියන තැනට වරෙන්. එයා වැඩේ බලාගනියි. මොනම හරි කේස් එකකට වැඩේ ගොඩින් බේරගන්න පුළුවන් නම් දිලිනිව ගෙන්න ගන්න එපා.” මම කිව්වා.
ඒක කියපු ගමන් සචියා හොල්මන් වෙලා වගේ මගේ දිහා බලාගෙන හිටියා.

මොකද බං?”

දැන් මුන් ගෙට පනින්නේ පාන්දර එකට... යකෝ ඒ වෙලාවට මම දිලිනිත් එක්ක කාමරේ ඉන්න ඕනෙද..?”

ඔව්... උඹ ඒ වෙලාවට කාමරේට යන්න එපා ගොනෝ... රෑ දහයට විතර පලයං... නැත්තං හොටෙල් එකේ උන් බලයි පාන්දර එකට උඹ රූම් ගානේ යන්නේ ඇයි කියලා.”

ඒ වුනාට කාවා... මේක චරිතේ සම්පූර්ණයෙන්ම ඝාතනය වෙන වැඩක් බං... වෙන එකෙකුගේ කෙල්ලෙක් එක්ක තනිවෙලා රූම් එකක රෑ එක වෙනකම් ඉන්නවා කියන්නේ පිස්සු හැදෙන වැඩක් බං....”

උඹ බය වෙන්න එපා ඩෝ... දිලිනි කාවාගේ... ඒ නිසා උඹගේ පතිවත නැති කරන එකක් නෑ...”

අමිල කියවනවා.

ඒ වුනාට පව් බං සචියා... කෙල්ල මූව දූෂණය කරයිද?” චතුර මූව බයිට් එකට ගන්න හදනවා.

මේ සචියා... විකාර කියවන්න එපා ඩෝ... දිලිනි උඹට මොකුත් කරන්නෑ... අනික උඹව කව්රුහරි දැක්කත් මොනව වෙන්නද... ඇයි බං උඹට කෙල්ලෙක් එක්ක රූම් එකක ඉන්න තහනම් නෑනේ.”

හා ඉතින්... ඒකත් කරන්නම්කෝ... ඕක තමා කුපාඩි යාළුවෝ හොඳම යාළුවා කරගත්තහම තියෙන හෙනේ.... ඌ කරන හැම මගෝඩි වැඩේටම උදව් කරන්න එපැයි...”

මට මැවිලා පෙනුනා මූ ගිහිල්ලා ඉන්න විදිහ. මූ නම් මලාට දිලිනි දිහා බලන්නෙවත් නැතිවෙයි... දෙන්නා දෙපැත්ත බලාගෙන පැය තුනක් විතර ඉන්නකොට නියමෙට තියෙයි.

හවස් වෙනකොට මගේ හිතේ ආයෙත් පොඩි සැකයක් මතුවුනා. මේ වැඩේ හරියයිද කියන එක ගැන. අපේ එවුන් මේ වැඩේ කොහොමහරි අහුවෙන්නේ නැති වෙන්න කරන්න නම් දක්ෂයි. ඒත් පාස්පෝට් එකයි බැංකු පොත් ටිකයි නෑ කියලා ගෙදර මිනිස්සු ඉක්මනටම දැන ගත්තොත් ප්‍රශ්ණයක් වෙයි.

කොහොම වුනත් මේක නවත්තන්න දැන් පරක්කු වැඩියි. එන දේකට මූණ දෙන්න මම හිතාගත්තා.

රෑ අට වුනා... මම වෙනසක් නැතුව ගරාජ් එකේ ඉඳලා ගෙදර ආවා. නවය වෙනකොට මම ඇඳට යන්න කලින් ආයෙත් පාර පැත්තට ගියා. තාමත් ගිහාන් මගේ පස්සේ කාව හරි එවනවද කියලා දැන ගන්න. ඒත් පාර පාළුයි. වාහණයක් වත් පයින් යන කෙනෙක් වත් පේන්න හිටියේ නෑ.

ආයෙමත් ඇඳගෙන දිලිනි ඉන්න හොටෙල් එකට යන්න මට තදින්ම හිතුනා. මොන කරුමයකටද මන්දා මට දැන් දිලිනිව නොබලා ඉන්නම බැහැ.

ඒත් මේ වෙලාවේ මම ගෙදරින් එළියට බහිනවා කියන්නේ අම්මාගෙන් හොඳ බැණුම් ටිකක් අහගන්න වැඩක්. ඒ නිසා මම ඇඳට ගියා. ඒත් නිදිමතක් නම් ආවේ නැහැ. තව පැය දෙක තුනකින් මුන් මොනවා කර ගනීද?

මගේ ෆෝන් එක චතුරට දුන්න නිසා කාටවත් කෝල් එකක්වත් ගන්න විදිහක් නෑ.

මම ගැස්සිලා ඇහැරුණේ කාමරේ ජනේලය ළඟින් ආපු සද්දයක් නිසා. වෙලාව පාන්දර දෙකයි. මට නින්ද ගිහිල්ලා. මම කාමරේ ලයිට් එක නොදා හොදින් කන් දුන්නා. ආයෙත් අර සද්දේ ඇහෙනවා. කව්රු හරි කාමරේ බැල්කනි එකට නැඟලා ජනේලය ගාව ඉන්නවා.

හොරෙක්ද? නැත්නම් ගිහාන් මාව මරන්න කාවහරි එවලද?

මම කාමරේ තිබුණ ලෙදර් බැට් එක අතට අරන් බැල්කනිය පැත්තට ගියා. මට ඕනේ වුනේ එකපාරටම බැල්කනි එකේ ජනේලය ඇරලා එළියේ ඉන්න එකාගේ ඔළුවටම හොඳ බැට් පාරක් දෙන්න.

මම ජනේලේ ඇරලා බැට් එක උස්සනවත් එක්කම ඒ හොරා කතා කළා.

ගහන්න එපා යකෝ..... මම සචිත්‍ර.“

අම්මට සිරි.... යකෝ තෝ මොකද මෙහේ කරන්නේ?“

හිටපංකෝ කියනකං.“

එහෙම කියාගෙන සචියා කාමරේ ඇතුලට ආවා.

කාවා..... වැඩේ ගොඩ.... බඩු ටික දිලිනි මිස්ගේ අතට දීලා ඉවර වෙලා තමයි මේ ආවේ. අමිලයා තිතට ගේම දුන්නා. සද්දයක්වත් එන්න කළින් ඌ වැඩේ කළා.“

නෑ.... මරුනේ..... කෝ දැන් දිලිනි?“

එයා හොටෙල් එකේ.“

ප්‍රශ්ණයක් නෑ නේ....?“

මොන.... ක්ලීන් එකට වැඩේ ගියා. දිලිනි මිස් කියපු තැනම බඩු ටික ටිප් ටොප් එකට තිබුණා. ඒක නෙවෙයි කාවා. එතන බැංකු පොත් හයක්. එකවුන්ට් හයක්. මම දැක්ක විදිහට සෑහෙන සල්ලියක් තියෙනවා. කරන දෙයක් පරිස්සමින්...“

ඇයි මොකක්ද ප්‍රශ්ණේ... සල්ලි එයාගෙනේ...“

ඔව් ඒක තමයි බං. එතන සෑහෙන ගාණක් තිබුණා මගේ හිතේ. ලක්ෂ ගාණක්. ඇත්තම කිව්වොත් උඹටවත් මටවත් හිතාගන්න බැරි ගාණක්. අනිත් එක එතන තිබුණ තවත් ඩොකියුමන්ට් එකක් දිලිනි ගෙන්න ගත්තා. ඒක ෆොරින් බෑන්ක් එකවුන්ට් දෙකක විස්තර...“

“ෆොරින් එකවුන්ට් එකක්... දිලිනිගේ.... එයා කොහොමද බං ෆොරින් එකවුන්ට් ඕපන් කරන්නේ.“

“ඒක මම දන්නේ නෑ.... හැබැයි එතන ඩොලර් වලින් බැලන්ස් එක තිබුණේ...“

“කීයක්ද?“

මම පුදුමෙන් ඇහුවා.

“මම බැලුවේ එක එකවුන්ට් එකයි. ඩොලර් ලක්ෂ තුනක්....“

“මොනවා..... වෙන්න බෑ...“

“වෙන්න බැරි නෑ බං.... වෙලා තියෙනවා. මොනවත් නොකරන ඔය කෙල්ලගේ එකවුන්ට් වල ඔච්චර සල්ලි තියෙනවනම්, බිස්නස් වල ඇති කෝටි ගණන්. ඒවා එහෙම තියාගෙන අරූ ලේසියෙන් මේ ගේම අතාරින එකක් නෑ.

ඒක උඹ කියන්න ඕනේ නෑ බං... මම දන්නවා.“

සචිත්‍ර කියන දේවල් වලින් මගේ හිතේ බයක් ඇතිවුනා.

දිලිනි මට නොකියන මේ වගේ තවත් දේවල් තියෙනවද. එයාගේ තාත්තගේ නමට මේ සල්ලි තිබුණනම් තේරුම් ගන්න පුළුවන්... ඒත් එයා‍ගෙම නමට කෝටි ගාණක සල්ලි....

සචියට වැරදිලා බින්දුවක් දෙකක් වැඩි වෙලා වෙන්න ඇති.

එහෙම හිතලා මම හිත හදා ගත්තා.

2 comments:

  1. මේක එන්න එන්නම පැටලිච්ච නූල් බෝලේ වගේ වෙනවනේ බං.... මෙහෙම ගිහින් කාවට පිස්සු හැදෙයිද?

    ReplyDelete