Thursday, July 20, 2017

සදානුස්මරණිය ප්‍රථම ප්‍රේමය ~ මේ ආදරයයි ~ 58



සදානුස්මරණිය ප්‍රථම ප්‍රේමය


මේ ආදරයයි





58.

එදා දවසේ අපි ඒ ගැන ආයෙත් කතා වුනේ නෑ.

උදේ කෑම කාලා අපි පස් දෙනාම හෝර්ටන් ප්ලෙන්ස් යන්න ලෑස්ති වුනා.

ඒ පරිසරයේ තියෙන ලස්සන වචනයෙන් කියන්න බෑ. අපි ඉස්කෝලේ යන කාලේ කීප වතාවක් නුවර එළියේ ඇවිත් තිබුණත් මේ වගේ තැන් නිස්කලංකව බලන්න වුනේ නෑ. පිස්සු නටපු එක තමා වුනේ. මම හිතපු එකම සචියටත් තේරිලා වගේ.

අපි කී පාරක් නුවරඑළියේ ඇවිත් තියෙනවද බං.. ඒ වුනාට මේ වගේ ලස්සන බලන්න නැවතුනේ නෑ නේ බං. පිස්සු නැටුවා මිසක්.” සචිත්‍ර කිව්වා.

උඹල ඉතින් නුවර එළියේ ඇවිත් කරන්නේ බොන එකනේ. මේව කොහේ බලන්නද?” ඒ අරුණ අයියා.

ඔයත් දැන් උපාසක වෙන්න එපා අයියේ.. අපි දන්නැද්ද ඔයගොල්ලන්ගේ ක්ලාස් වල උන් ට්‍රිප් ගිහිල්ලා කරපු දේවල්. අයියා සතියක් විතර පන්ති තහනම් වෙලා හිටියා නේද?”

සචිත්‍ර අරුණ අයියගෙත් රෙදි ගලවනවා වගේ.

ඔයා මට ඔය වගේ කතාවක් කියලා නැහැනේ කවදාවත්.” ඒ හෂිනි අක්කා.

අන්න දැක්කද අක්කේ... ඕව දැනගන්න එකම ඉස්කෝලේ එකෙක්ගෙන්ම අහන්න ඕනේ.”

උඹල හොඳ වැඩනේ කරලා තියෙන්නේ... නේද?” අරුණ අයියා කිව්වා.

ඇයි?”

දැන් මේ වෙලා තියෙන දේම බලපං. උඹලගේ එකෙක් ඉස්කෝලෙන් අවුට් වුනා විතරයි, මනමාලකම ගහලා කෙල්ලෙක් පන්නගෙන ඇවිත්...”

අන්න කාවා... ඒක නම් කිව්වේ උඹට... හැබැයි කාවාගේ ‍මීට වඩා හොඳ ඒවා තියෙනවා කියන්න.” සචියා කිව්වා.

මචං මේ අපි කාගෙත් පිස්සු වැඩ තියෙනවා... ඕව මේ ගෑණු ළමයි ඉස්සරහ කියලා නාගන්න ඕනෙ නෑ බං.” මම කිව්වා.

අන්න කාවින්ද බය වෙලා එයාගේ ඒව කියයි කියලා. සචිත්‍ර ඔයා කියන්න අනේ.” දිලිනි හිනා වෙවී කිව්වා.
දැන් මූ කට ඇරියොත් නම් මම ඉවරයි..

මේ දැන් අපි ආවේ මේ ලස්සන බලන්න නේද...? කට වහගෙන වට පිටාව බලපං. නැත්තං අම්මපා මේ කන්දකින් පහලට තල්ලු කරනවා. උඹ මාත් එක්ක ආවා කියලා කවුරුවත් දන්නෑ...  මිසින් තමයි.”

ඔව් උඹ ඒකත් කරයි... ඔන්න මම කට වහගත්තා.... උඹව නිකං මිනීමරුවෙක් කරන්න ඕනේ නෑනේ.”

සචිත්‍ර කට වහගත්තා. අපි ඉස්කෝලෙදි කරන දේවල් කෙල්ලෝ ඉස්සරහ කිව්වොත් ඉතින් ඊළඟ දවසේ මූණ වත් බලන්න බැරි වෙනවා.

අපි ඇවිදගෙන ආවා... සීතල නිසා දාඩිය දාන එක නැති වුනත් මහන්සියි...

යකෝ මාර මහන්සියක්නේ තියෙන්නේ.... ගිනි ගහන අව්වේ නුවර ඇවිදිනවට වඩා මේක අමාරුයිනේ.” සචියා කියවනවා.

අව්ව නෙවෙයි බං.... මේ හරියේ උස නිසා ඔක්සිජන් අඩුයි.. ඒ නිසා හුස්ම ගන්න අමාරුයි. ඒ නිසා තමයි මහන්සි දැනෙන්නේ.. අනිත් එක සීතල පැතිවල ඇවිදින කොට ඇඟට සීතල නොදැනුනත් ඇඟ කවර් කරගන්න ඕනේ... නැත්නම් ඇඟේ රස්නේ පිටවෙනවා වැඩී... ඒකෙනුත් මහන්සි වෙනවා.”

අරුණ අයියා කිව්වා‍.

අම්මට සිරි.... මේ අරුණ අයියා මොනවද නොදන්නේ....”ඒ සචියා.

මල්ලි මේ .... ලෝකෙට වැඩක් නැතුව නිකං ඉන්න එකේ පොතක් පතක් කියවපං.. එතකොට ඔය දේවල් දැනගන්න පුළුවන්. අනිත් එක බං අපි දෙන්නා දැන් අවුරුදු දෙකක් මෙහේ ඉඳලා ඕව එක්ස්පීරියන්ස් කරලා තියෙනවා.”

කතාවෙන් කතාවෙන් අපි ගමන ඉවර වෙන තැනටම ආවා. හොඳම වෙලාවට අපි ආවා වගේ අහස පැහැදිලි වෙලා... ලෝකාන්තයේ පහලත් පැහැදිලි වෙලා. මම මීට කලින් මෙතෙන්ට දෙපාරක් ඇවිල්ල තිබුණත් ඒ වතාවල වලාකුළු ඇර වෙන දෙයක් බලන්න බැරි වුනා.

ඒත් අද වෙනස්... පහල බලපුවාම හොඳට පේනවා. වලාකුළු තියෙනකොට බයක් නොදැනුනාට පහල හොඳට පැහැදිලිව පේන කොට බය හිතෙනවා. කකුල ලිස්සුවොත් ඉතින් කෑලි තමයි.

දිලිනි බය වෙලා මගේ අත අල්ලගෙනම ඉන්නවා. එයා නම් පහල බලන්න කිව්වහම ඇස් වහගෙනම තමයි ඉන්නේ.

අයියෝ ළමයෝ, බය වෙන්න එපා.. ඇස් ඇරලා බලන්න. මෙච්චර කට්ටක් කාල ඔයාව අරගෙන ආපු කාවින්ද ඔයාව අතාරින්නේ නෑ.”

හෂිනි අක්කා කිව්වා.

ඒක තමයි... කාවා කවදාවත් කෙල්ලෙක්ගේ අත අල්ලගත්තොත් අතාරින්නේ නෑ.” සචියා කිව්වා.

මොකක්ද බං ඒ කැත කතාවේ තේරුම... මම අත අල්ල‍ගත්තට කෙල්ල කැමති නැත්නම් මම යන්න දෙනවා.”

මම ඒක කිව්වම දිලිනි තවත් තද කරලා අත අල්ලගත්තා.

අර බලපං... පව් කෙල්ල.... උඹ අතාරිනවා කිව්වහම කෙල්ල තද කරලා උඹේ අත අල්ලගත්තා.”

සචිත්‍ර දිලිනිව මඩවනවා.

අනේ නෑ සචිත්‍ර... කාටහරි මාව එපා නම් මමත් යන්න දෙනවා.” දිලිනි කිව්වා.

හරි හරි ළමයි... දැන් ඔය කතා නවත්තලා අපි ආපහු යමු. මගදි කොහේ හරි නැවතිලා ගෙනාපු දේවල් කමු... මට අම්බානක බඩගිනියි....”

අරුණ අයියා කිව්වා.

එහෙනම් යමු.”

අපි ටිකක් දුර ආපහු ඇවිල්ලා පොඩි ගල් තලාවක් තියෙන තැනක නැවතුනා. අපි ගෙනාපු කාපට් එක දාලා හෂිනි අක්කා කෑම බෑග් එක ඇරියා.

හ්ම්.... උදේ කෑම නරක නෑ වගේ.....” සචිත්‍ර කිව්වා.

හෂිනි අක්කා සෑහෙන කෑම ජාති ගොඩක් ගෙනත් වගේ...

චිකන් සැන්ඩ්විච්...., එග් සැන්ඩ්විච්, අම්මපා තව බීෆ් සැන්ඩ්විචස් තියෙනවා...”

සචිත්‍ර කෑම එළියට ගන්න ගමන් කමෙන්ට්‍රි දෙනවා.

මේ බලපං.... බිත්තර බුල්ස් අයි දාලා, සොසේජස් වෙනම... මේ මොනවද අක්කේ....”

ඔය සැලඩ් එකක්....”

ෆෘට් සැලඩ් ඩෙසර්ට් එකක්ද?”

නෑ ගොනෝ..... උදේ කෑමට ෆෘට් සැලඩ් කනවද... ඔය වෙජිටබල් සැලඩ් එකක්....”

අම්මපා.... මම නම් ජීවිතේට කාලා නෑ බං...”

ෂිහ් අප්පා මේ සචියා උඹ නම් මාව විතරක් නෙවෙයි, උඹේ අර වැදගත් අම්මයි තාත්තවයිත් නෝන්ඩ් කරනවා. යකෝ බඩ නිසා ඔච්චර බලු වෙන්න එපා.”

උඹ කට වහගනින්... කන්න බැරි නම් හිටපං... අපි නම් කනවා.”

මෙන්න මල්ලි මම උදේ බැදපු රොල්ස් තියෙනවා.”

හෂිනි අක්කා කිව්වා.

ඇත්තටම සීතල නිසා අපේ බඩගින්න වැඩි වෙලා තිබ්බේ. අට දෙනෙකුට විතර තිබුණ කෑ අපි පස්දෙනා කාලා ඉවර කළා.

තව මුකුත් නැද්ද බං... නිකං පාන් ගෙඩියක් සම්බෝල එක්ක වගේ..”

සචිත්‍ර ඇහුවා.

ඊට වඩා හොඳ දෙයක් තියෙනවා... කාපං මේ තණකොල...”

ඒවත් කන්න පුළුවන් නම් කනවා තමයි බං.”

දිලිනියි, හෂිනි අක්කයි උඩ පැන පැන හිනා වෙනවා මූ දෙන ආතල් ‍වලට. ඒ වුනාට අපි දෙන්නා සෝමාලියාවෙන් ආවා කියලා හිතං මේ අය.

මේ සචියා... උඹගෙ අම්මයි තාත්තයි හොඳ රස්සා කරන වැදගත් මිනිස්සු නේද? ඒ දෙන්නා උඹට කන්න දෙන්නේ නෑද්ද? අනිත් එක උඹේ අයියා රෙස්ටොරන්ට් එකක් කරනවා නේද? තෝ ජීවිතේට ඒ තැනකින් වත් කාලා නැද්ද

දෙනවා බං.... හොඳ කෑම කාලා තියෙනවා.. ඒ වුනාට මේ බඩගින්න නැති වෙන්නෙම නෑනේ...”

අපි කෑම කාලා, දවල් වෙලා හක්ගල ගියා. දිලිනි හිටියේ අනිත් හැම දේම අමතක වුනා වගේ සතුටින්.

අනිත් කට්ටිට ගාර්ඩ්න් එක පුරා ඇවිදින් අතරේ මමයි දිලිනියි එතන තිබුණ ලස්සන තණකොල පිට්ටනියේ ඉඳ ගත්තා.

මහන්සියි කාවින්ද!”

ඉතින්....!!!”

ඇයි?”

නෑ ඔයා මොනවද කල්පනා කරන්නේ දිලිනි....”

මට මේක හීනයක් වගේ...... මම කවදාවත් හිතුවේ නැහැ මගේ ජීවිතේ මෙහෙම වෙයි කියලා.”

ඔයාට දුකද?”

නෑ.... එහෙම නෑ... ඒත් පුදුමයි...... මම ජීවිතේ කෙල්ලෙකුට තියෙන්න ඕනේ හැම දෙයක්ම තිබුණ කෙල්ලෙක්.... එකක් හැර...”

ඒ මොකක්ද?”

මට කැමති කෙනෙකුට ආදරේ කරන්න තියෙන අයිතිය මට තිබුණේ නෑ. ඒකෙන් වුනේ අනිත් හැම දේම අතෑරලා දාලා මම ඒ වෙනුවෙන් ගෙදරින් ආවා. මට ඒ ගැන දුකක් නෑ කාවින්ද... මම හිතන්නේ මම හරි තීරණේ ගත්තා කියලා.. ඒත් ඉස්සරහට මොනව වෙයිද කියලා බයයි.”

දැන් ඔයා හිතපු විදිහට ස්වීඩ්න් යන්න පුළුවන් වුනොත් අවුලක් නෑ නේද?”

ඔව්... ඒත් ඒ ගිහිල්ලා ජීවිතේ අලුතින්ම පටන් ගන්න එක ලේසි වෙන එකක් නෑ. ඇත්තම කියන්නම් කාවින්ද.... මට පිරිමහලා ජීවත් වෙලා පුරුදුම නෑ. මට අවශ්‍ය දේවල් ඕනෙවටත් වඩා මට තිබුණා. එකක් ඕනේ තැනදි මට හතර පහක් ලැබුණා. ඒ නිසා පිරිමහලා සල්ලි වියදම් කරන්න මම පුරුදු වෙලාම තිබුණේ නෑ. දැන් ඒකත් පුරුදු වෙන්න වෙනවා.”

බය වෙන්න එපා. ඒක මට හොඳට පුරුදුයි. අපේ අම්මලා එහෙම කළේ නැත්නම් මේ වෙනකොට අපි හිඟන්නෝ වගේ පාරේ.. බය වෙන්න එපා, මම කියලා දෙන්නම් අවශ්‍ය දේවල් අඩුවක් නැතුව කොහොමද පරිස්සමින් වියදම් කරන්නේ කියලා.”

ඔයා ළඟ ඉන්නව නම් මට ඕනේම දේකට පුරුදු වෙන්න පුළුවන්... ඒත් ඔයාට හැමදාම පුළුවන්ද මං වෙනුවෙන් ඉන්න....? ඔයාගේ අනාගතේ...”

අමතක කරන්න... දැනට මං ඉන්නවා කියලා හිතාගන්න.”

තෑන්ක්ස් කාවින්ද මගේ හිත හදනවට.”

කාවින්ද මට ආසයි තව ටිකක් දිනි ගැන දැනගන්න. ගොඩ දෙනෙක් දන්නවා දිනිගෙයි ඔයාගේ සම්බන්ධය... මම කියන්නේ මේ දිනිගේ ඉස්කෝලේ එක පන්තිවල ළමයි ඔයාව හොඳට දන්නවා. ඔයාගේ ඉස්කෝලේ හැමෝම කියන්නෙත් ඔය දෙන්නා යාළු වෙලා හිටියා කියලා.”

මම එදා කිව්වේ ඇත්ත දිලිනි... ඔයාට මාව විශ්වාස නැද්ද?”

එහෙම දෙයක් නෙවෙයි කාවින්ද.. මම ආසයි ඔයාට මේ තරම් ලං වුන කෙල්ල කවුද කියලා දැන ගන්න.”

දිනි ඔයාගේ කව්ද?”

දිනි කව්ද?.... ම්.... කොහොමද මම ඔයාට කියන්නේ...”

ඇයි ඔයාගේ නෑදෑ කමක් තියෙනවා කිව්වා නේද?”

ඔව්.... ඒත් ඒක හරියටම පැහැදිලි නෑ. කව්රුවත් ඒ පවුල් වල අවුල් කියන්නේ නෑ.”

ඇයි කාවින්ද... මොකක්ද අවුල...?”

මම දන්න විදිහට දිනිගේ අම්මා අපේ සීයගේ ඥාති සහෝදරයෙකුගේ දුවක්. මම ‍ඉපදෙන්න කළින් ඉඳලා අපේ තාත්තලා, නැන්දලා, ඒ ගොල්ලන් එක්ක එකටමයි ඉඳලා තියෙන්නේ. නැන්දා කියන විදිහට ඉස්කෝල නිවාඩු කාලේ වුනත් දෙගොල්ල ඉඳලා තියෙන්නේ එක්කෝ අපේ ගෙවල් වල නැත්නම් ඒගොල්ලන්ගේ ගෙවල් වල.”

ඊට පස්සේ වෙනසක් වෙලාද?”

ඔව්. මට මතක ඇති කාලෙක ඒ යාළුකම් තිබුණේ නෑ... හේතුව දිනිගේ අම්මාගේ එෆෙයාර් එක. අපේ කට්ටියගේ ඔය පිස්සු විකාර කුල මල තියෙනවනේ. දිනිගේ අම්මා යාළුවෙලා තියෙන්නේ අඩුකුල කෙනෙක් එක්ක. අඩු කිව්වට ඒක හොඳටම පහත් ‍කුලයක්ලු. හැබැයි දිනිගේ තාත්තා හරිම හොඳයි. ඒත් අපේ අයට ඒව වැඩක් වෙලා නැහැ. දිනිගේ අම්මා, ඒ කියන්නේ සිතාරි ආන්ටිව එයාගේ තාත්තා ගෙදරට අරගෙන නෑ. අපේ අයත් ඒ සම්බන්ධකම් හැම එකක්ම කඩලා දාලා. එයාව අමතකම කරලා දාලා.”

ඊට පස්සේ...”

හැබැයි අපේ තාත්තා එහෙම නෑ.. එයා ඕව විශ්වාස කරන කෙනෙක් නෙවෙයි.. ඒ නිසා එයා සම්බන්ධය තියාගත්තා. මම පොඩි කාලේ වුනත් මට මතකයි සිතාරි ආන්ටි මාව බලන්න එනවා.”

ඒත් මොකක් හරි ප්‍රශ්ණයක් නිසා අපේ තාත්තයි දිනිගේ තාත්තයි තරහ වෙලා... දැන් ඒ දෙන්නගේ සම්බන්ධයත් නෑ. හැබැයි මම පොඩි කාලේ ඉඳලම දිනිව දැනගෙන හිටියා. අපි දෙන්නා සෙල්ලම් කළේ එකට, නිවාඩු කාලේ නිදාගත්තේ එක ගෙදර එක ඇ‍ඳේ... සමහර විට අපේ ගෙදර නැත්නම් දිනිගේ ගෙදර... තාත්තා තරහ වුනත් මම ඒ සම්බන්ධකම් නැති කරගත්තේ නෑ.”

ඔයා දිගටම එහේ ආවා ගියාද?”

ඔව් .... ඔය ප්‍රශ්ණ නිසා එක පාරක් දිනිගේ පවුලම රට ගියා.... ඒ ගිහිල්ලා ආවේ අවුරුදු ගාණකින්.... එතකොට දිනි සෑහෙන්න පොඩියි... ඒත් ලංකාවට ඇවිල්ලා දිනි මුලින් ම ආවේ මාව බලන්න. මොන ප්‍රශ්ණ තිබුණත් මම ඒ අයව බලන්නත් ගියා. එතකොට මමත් පොඩියි... ඒත් මම ඒ වැඩේ කළා.”

ඊට පස්සේ දිනිගේ අම්මයි තාත්තයි ඔයාව හොස්ටල් එකට දාලා ආයෙත් පිටරට ගියා. ඒ අතරේ දිනිගේ ඕන එපාකම් හැම එකක්ම හොයල බැලුවේ මම. එයාගේ ලොකු අම්මයි, නැන්දයි හිටියා.... ඒත් දනි හැමදේටම කතා කළේ මට. වෙන එකක් තියා සමහර දවස් වලට එයාට කෑම එකක් ගිහින් දුන්නෙත් මම. හොස්ටල් එකේ දි වුනත් මම නිතරම එයාව බලන්න ගියා. ඒකෙන් තමයි මුළු ඉස්කෝලෙම මාව දැන ගත්තේ....”

ඒ වගේම මගේ හැම දෙයක්මත් දිනි දැනගෙන හිටියා. මට අමතක වෙන ඕනෙ දෙයක් එයාට මතකයි. මට කවදාවත් එයාට බොරුවක් කියන්න බැරි වුනා... කිව්වත් විනාඩියෙන් ඒක අල්ලගන්න දනිට පුළුවන්.... කොටින්ම කිව්වොත් එයා මගේම නංගි වගේ වුනා. මම ලොකු වෙලා යාළුවෝ එක්ක කරපු මගෝඩි වැඩ හැම එකක්ම එයා දැනගෙන හිටියා. මගේ අම්මට වඩා එයා ඒ ගැන දන්නවා. මට පළු යන්න බැන්නා.... ඒත් මාව අමාරුවේ වැටුනාම මාව බේරගත්තේ එයා. අපි දෙන්නා අතරේ තිබුණේ ඒ වගේ පුදුම බැඳීමක්.”

ඉතින් කාවින්ද පුදුමයක් නෑ පස්සේ කාලෙක දිනි ඔයාට ආදරේ කරපු එක...”

ඔව්.... මට දැන් තේරෙනවා මම එයාට ඕනෙවට වඩා ලංවුනා කියලා. ඒත් කවදාවත් මම එයාට නංගි කෙනෙකුට වඩා වෙනස් විදිහට ආදරේ කරලා නෑ.”

ඒක විශ්වාස කරන්නත් බැරි සම්බන්ධයක් කාවින්ද.... මොනව වුනත් ඔය දෙන්නා ලස්සනට ඉන්න ඇති. අයිය කෙනෙකුට ඒ වගේ නංගි කෙනෙක් කියන්නෙයි, නංගි කෙනෙකුට ඒ වගේ අයිය කෙනෙක් කියන්නෙයි නියම වැඩක්.”

ඔව්... අපි දෙන්නා එහෙම හිටියා.... ඇත්තටම ඕ ලෙවල් ඉවර වෙලා ඒ ලෙවල් වලට එනකොට වුනත් මම කෙල්ලෙක් දිහාවත් බැලුවේ නැත්තේ ඒ නිසා වෙන්න ඇති.”

ඔව් කාවින්ද... ඒක වෙන්න පුළුවන්. ඒත් දැන් දිනිට මොනවද වෙලා තියෙන්නේ. ඇයි එයා ගියේ.”

දිනි මට ආදරේ කරන්න පටන් ගත්තට පස්සේ වුන හැම දෙයක්ම මම දිලිනිට කිව්වා.

පව් කාවින්ද දිනි.....”

ඔව්.... ඒත් මගේ හිතේ එයාට ඒ විදිහේ ආදරයක් ඇතිවුනේ නෑ... මම දන්නේ නෑ ඇයි කියලා.”

ඒ වුනාට කාවින්ද තාමත් දිනි ඔයා ගැන බලාපොරොත්තු තියාගෙන ඉන්නවා.”

ඔයා කොහොමද එහෙම කියන්නේ... ඔයා දිනි ගැන දන්නවද?”

ඔව් කාවින්ද... කොහොමද කියලා අහන්න එපා.... ඒත් දිනි දන්නවා මට ඔයා ලංවෙලා කියලා. එයා ඒකට කැමති නෑ කියලත් මම දන්නවා.”

වෙන්න බෑ...”

බැරි නෑ පුළුවන් කාවින්ද.... ඔයාට පුළුවන් නම් කෙල්ල ගැන හොයල බලන්න. එයා තාමත් කැමතියි එයා ඉන්න තැනට ඔයාව ගෙන්න ගන්න.”

ඒක ඇහුවාම මට මතක් වුනා මගේ ඒ ලෙවල් ප්‍රතිපල අහලා දිලිනි මට එහේ එන්න කිව්ව කතාව. මෙයා කොහොමද මේ ඔක්කොම දන්නේ?

ඒ වුනාට මම දිනිට ආදරේ නැත්නම්...”

එහෙනම් ඔයා කාටද ආදරේ කාවින්ද?”

දිලිනි කෙලින්ම මගේ ඇස් දෙක දිහා බලාගෙන ඇහුවා. අර දිලිසෙන ඇස් ආයෙත් වතාවක් මාව අතරමං කරනවා.

කියන්න කාවින්ද.... ඔයා කාටද ආදරේ...”

ඉන්නවා එක්කෙනෙක්...”

කව්ද.... කොයි වගේ කෙනෙක්ද?”

ලස්සනම ලස්සන,සුදු, උස කෙල්ලෙක්.... දිග කොන්ඩයක් තියෙන කෙනෙක්. තරුකැට වගේ දිලිසෙන ඇස් දෙකක් තියෙන, ඒ ඇස් දිහා බැලුවහම මගේ ඇස් අහකට ගන්න බැරි තරම් දිලිසෙන කෙල්ලෙක්. මාව විශ්වාස කරලා ජීවිතේ හැම දෙයක්ම වුනත් අතාරින්න සූදානම් කෙනෙක්.”

එහෙම කෙනෙක් ඇත්තටම ඉන්නවද කාවින්ද?”

ඔව්..... ඔයාට පුළුවන් වෙයි හොයා ගන්න.”

මේ ඔයාට කියන්න බැරිද ඒ කව්ද කියලා.”

බෑ.....”

එතකොට මම හොයා ගන්න ඕනෙද?”

කැමැත්තක්... ඕනෙ නම් හොයා ගන්න....”

අනේ... පොඩි හින්ට් එකක් වත් දෙන්න බැරිද?”

ම්...... අමාරුයිනේ.” මම කිව්වා.

මේ... ඔයාගේ ළඟින්ම ඉන්න කෙනෙක්ද?”

ඔව්.....”

මම දන්නවා කව්ද කියලා.... කියන්නද කාවින්ද?”

හා.... කියන්න බලන්න...”

ම්.... එක්කෝ ඕනේ නෑ.... මට තව ටිකක් හිතන්න ඕනේ....”

එහෙම කියලා දිලිනි කල්පනා කරන්න ගත්තා.

මේ හලෝ.... මොකද කල්පනාව?”

ඔයා හරි නරකයි කාවින්ද... මාව ළඟ තියාගෙන වෙන කෙල්ලෝ ගැන කතා කරනවා. මට දුකයි.”

සොරි... ඔයා ඇහුවනේ... ඒකයි කිව්වේ. මම ඔයාට ෂුවර් කරලා කියන්නම්, දිනි මගේ නංගිමයි... එයා ගැන මගේ හිතේ වෙනත් විදිහේ ආදරයක් නෑ..... ඒක ෂුවර්. ඒත් එක දෙයක් තියෙනවා... දිනි වෙනුවෙන් මට ඕනෙම දෙයක් කරන්න පුළුවන්. එයා ඒ තරම් ම‍ට වටිනවා. ඒක සහෝදර ප්‍රේමයක්...”‍

මම දන්නවා කාවින්ද ඔයා අවංකයි කියලා. ඒත් දිනි මොනතරම් හොඳ කෙනෙක් වුනත් ටිකක් පරිස්සමින් වැඩ කරන්න. දිනි හොඳ වුනත් එයාගේ පස්සෙන් ඉඳලා එයාව කන්ට්‍රෝල් කරන අය ඉන්න පුළුවන්.”

දිලිනි ඒ කිව්ව දේ මට පුදුමයක් වුනා. ඒක ඇත්තක්ද. දිනි නිසා ආයෙත් මගේ ජීවිතේ වෙනස් වෙයිද?”

2 comments: