Recent Post

Friday, July 14, 2017

සදානුස්මරණිය ප්‍රථම ප්‍රේමය ~ මේ ආදරයයි ~ 51

සදානුස්මරණිය ප්‍රථම ප්‍රේමය

මේ ආදරයයි





51.

අපි කෑම මේසෙට ආවා. සෑහෙන ලොකු කෑම ගොඩක් ඇරලා.

“අක්කා ඇයි මෙච්චර මහන්සි වුනේ. පොල් රොටියක් එක්ක ලුණු මිරිසක් තිබ්බනම් මරු. මතකද ඒ කාලේ?”

“මොකද මතක නැත්තේ. අම්මෝ අපි කාපු කට්ටක්.”

“මම තනියම නෙවෙයි මල්ලි ඉව්වේ. දමයන්ති ඉන්නවනේ.”

“කව්ද දමයන්ති.”

“මේ ඉන්නේ.”

අක්කා එහෙම කියලා එයාගේ සර්වන්ට ව පෙන්නුවා.

“දමයන්ති මේ පලාතෙද?”

මම ඇහුවා.

“ඔව් සර්. මට නම් සර්ව මතකයි සර්ට මතක නැතිවුනාට. මැඩම් අපේ සර්ව බලන්න මෙහෙට එන කාලේ සර් එක්කනේ ආවේ.”

අප්පා. මේ කෙල්ල ඒ කාළෙත් ඉඳලා.

“අරුණ සර්ගේ අප්පා (තාත්තා) මට ඒ කාලේ ගහලත් තියෙනවා, මැඩම්ටයි අරුණ සර්ටයි උදව් කරනවා කියලා.”

“එහෙනම් අක්කේ.... ඔයාට නියම කෙනා තමයි ලැබිල තියෙන්නේ.”

“ඔව් මල්ලි... දමයන්තිට ගෙදර යන්න කිව්වත් යන්නේ නෑ. අනික කෙල්ල උයන කෑම කාලා දැන් මම උයන ඒව මටම කන්න බෑ.”

කතාවෙන් කතාවෙන් අපි කෑම කෑවා.

දැන් වෙලාව එකොළහටත් ළඟයි.

හෂිනි අක්කා මට ආපහු යන්න දුන්නේම නෑ. රෑ යන්න එපා කියලා තමයි කිව්වේ.

අපි කෑම කාලා ආයෙත් කාමරේට යන්න හැරුණා.

“එතකොටම හෂිනි අක්කා මට පැත්තකට කතා කළා.”

“මල්ලි.... කෙල්ලව අරන් ආවේ ආයේ ගිහින් දාන්න නෙවෙයි නේද?”

“ඒ කියන්නේ?”

“ඒ කියන්නේ මොඩයෝ උඹල දෙන්න කසාද බඳිනවද?”

“මේ අපි....?”

“නැත්තං අපිද?”

“නෑ අක්කේ.... මම කියන්නේ මේක වෙනම කතාවක්.”

“මට තේරෙන්නේ නෑ. ඔයා කියන්න අකමැතිනම් කියන්නත් එපා. ඒත් දෙන්නා පරිස්සමින්. දැන් කෙල්ලගේ ගෙදරින් හොයනවා ඇති. දැන්ම බඳින්න අදහසක් නැත්නම් අනිත් දේවලුත් කල් දාන්න වෙයි.”

“මොනවද?”

“අනේ මොඩයෝ... දැන් දෙන්නා එක කාමරේද නිදාගන්න යන්නේ?”

“එයාට තනියම ඉන්න බයලු.”

“මෙච්චර දුර කොල්ලෙක් එක්ක පැනල එන්න පුළුවන්, තනියම කාමරේක නිදාගන්න බයයි. බබාද එයා.”

“අනේ අක්කේ.. එයාට මොකුත් කියන්න එපා කෙල්ල අප්සෙට් වෙලා ඉන්නේ.”

“දැන් දෙන්නා මොකක්ද කරන්න යන්නේ?”

දිලිනිට කාමරේට යන්න ඇරලා මම අක්කගේ අතින් අල්ලගෙන ඉස්තෝප්පුවට ආවා. එතකොට අරුණ අයියත් ආවා.

මම මුල ඉඳලම විස්ත‍රේ දෙන්නටම කිව්වා.

“මේක මහ පිස්සු කතාවක්නේ මල්ලි. කෙල්ලෙකුයි කොල්ලෙකුයි මෙහෙම පැනලා එන්නේ උන් දෙන්නා ආදරේ කරලා. එක යාළුවෙක් තව කෙනෙකුට උදව් කරන්න මේ වගේ එනවා කියලා මම ජීවිතේටම මේ ඇහුවමයි.”

හෂිනි අක්කා කිව්වා.

“දැන් කාවින්ද මොකක්ද කරන්න බලාපොරොත්තු වෙන්නේ?”

“මම දන්නෑ අයියේ.තාම හිතුවේ නෑ. එයාව මේ කසාදෙන් ගලවගන්න තමයි මට ඕනේ. එයාටත් ඕනේ ඒක.”

“ඉතින් බං ඒකට මෙහෙම ගෙදරන් පැනල ඇවිල්ල හරියනවද?”

“නැත්තං මොකද කරන්න ඕනේ?”

“අනේ මෝඩයෝ.... කෙල්ලව ඔය උගුලෙන් ගලවගන්න තමුසෙට කරන්න තියෙන්නේ එක දෙයයි?”

“ඒ මොකක්ද?”

“දැන් පන්නගෙන ආවනම් කෙල්ලව බඳිනවා. තමුසෙට වෙන කිසිම දෙයක් කරලා කෙල්ලව ඔය ප්‍රශ්ණෙන් ගලවගන්න බෑ.”

“ඒක හරියන්නෑ අක්කේ. අපි දෙන්නා අතරේ එහෙම දෙයක් නෑ.”

“ඒ කියන්නේ ඔයා එයාට ආදරේ කරන්නේ නෑ.”

“මම දන්නෑ. අපි තාම ඒ වගේ දෙයක් කතා වෙලා නෑ.”

“එතකොට දිලිනිත් ඔයාට ආදරේ නැහැ.”

“නැහැ.”

“මෝඩයෙක් වෙන්න එපා කාවින්ද. ඔයා මගේම මල්ලි වගේ නිසා කියන්නේ, මමත් කෙල්ලෙක්. කෙල්ලෙක් ඔය වගේ ගමනක් එන්නේ නෑ නිකං දන්න කියන යාළුවෙක් එක්ක. කෙල්ල උඹට ආදරෙයි, ඒක මම ඕනේ දෙයක් ඔට්ටුවට තියලා කියනවා.”

“ඒ වුනාට අක්කේ....”

“ඒක ‍එහෙම තමයි. තමුසෙට දැනගන්න ඕනේ නම් කෙලින්ම අහනවා. ආයෙ හෝදන්න දෙයක් නෑ කෙල්ල ඔව් කියයි.”

“දැන් මම මොනවද කරන්න ඕනේ අක්කේ?”

“දැන්ම මොනවත් කරන්න යන්න එපා. මොනදේ වුනත් ඔයා ඉන්නේ කසාද බඳින වයසක නෙවෙයි නේ. තාම විසි එකයි. ඔය වයසට කසාඳ බැන්දහම ජීවිතේ ගොඩක් දේවල් පස්සේ කාලේ එපා වෙයි. ඒ නිසා දැන් කෙල්ලව තියලා යන්න. අපි බලා ගන්නම්. ඊට පස්සේ එන විදිහකට මූණ දෙමු. ඇත්තටම ඔයා කෙල්ල ගෙනාවේ ඔය ඔයාම කියන හේතුවටනම් ආදරේ ගැන අහන්න යන්න එපා. ඉන්න විදිහට ඉන්න දෙන්න. සමහර විට එයාම මේක විසඳගන්න විදිහක් හොයා ගනියි.”

“අක්කලාට කරදරයක් වෙයිද?”

“මොන කරදරයක්ද මල්ලි. අපි වෙනුවෙන් ඔයා කරදර වුන විදිහ අපිට අමතක නෑ. මොනව වුනත් කාවින්ද කෙල්ල ලස්සනයි. ලක්ෂෙකින් එකක්වත් හොයා ගන්න බෑ මේ තරම් ලස්සන කෙල්ලෙක්. ඒ වගේම කෙල්ල අහිංසක පාටයි. ඔයාටනම් ඇත්තටම ගැලපෙනවා. ඒත් මේ විදිහට පන්නගෙන යන්න නෙවෙයි. ලස්සන වෙඩින් එකක් අරන් කසාද බඳින්න.”

මේ අතරේ දිලිනිත් අපි ඉන්න තැනට ආවා.

“අක්කේ, මම නිසා කාවින්ද විතරක් නෙවෙයි දැන් ඔය දෙන්නත් ප්‍රශ්ණ හදාගන්නවා. මට සමාවෙන්න.”

“ඔයා ම හිතුවනම් මේ වැඩෙන් කාවින්ද අමාරුවේ වැටෙනවා කියලා, ඇයි මේ වගේ ගමනක් ආවේ?”

හෂිනි අක්කා අහන්න ඕනේ දේ කෙලින්ම කනට ගැහුවා ‍වගේ ඇහුවා.

දිලිනි කියන්න දෙයක් නැතුව ගොළු වුනා.

“බය වෙන්න එපා දිලිනි නංගි, මම ඔයාව බය කරන්න නෙවෙයි එහෙම ඇහුවේ.... කාවින්දගේ යාළුවෙක් නම් අපි මොන ප්‍රශ්ණේ ආවත් උදව් කරනවා.  ඒත් ඒ හැමදේටම කලින් හේතුවක් තියෙන්න ඕනේ.”

“අ‍ක්කේ මට සමාවෙන්න. මට හේතුවක් තියෙනවා. ඒත් මම ඒක අක්කට හෙමීට කියන්නම්. මාව විශ්වාස කරන්න කාවින්දට නරකක් වෙන කිසිම දෙයක් මම කරන්නේ නෑ. දැන් වුනත් එහෙම වෙනවනම් මම යන්න ලෑස්තියි. මම කාවින්දටත් කිව්වා. ඒත් එයා මට යන්න දෙන්නේ නෑ.”

“දැන් ඔයා කොහෙවත් යන්න ඕනේ නෑ. ඔයාගේම ගෙදර වගේ ඉන්න. අප බලමු මොකද කරන්නේ කියලා. යන්න දැන් නිදාගන්න.”

“කාවින්ද හෙට උදේ කතා කරමු. යන්න නිදා ගන්න.”

හෂිනි අක්කා කිව්වා.

“ආ‍ මේ තව එකක්... කෙල්ලට කරදර කරන්නෑ හරිද?”

“මොකක්...”

මට හිනා ගියා.

“බය වෙන්න එපා අක්කේ... අපි ඔයිට වඩා තනිවෙලා ඉඳලා තියෙනවා.”

මම මගේ කාමරයට ගියා.

මේ සීතලේ ගුලි වෙලා නිදාගන්න තියෙනවනම් වෙන මොනවත් ඕනේ නෑ.

මම ඇඳල නැගලා බෙඩ් ෂිට් දෙකම පොරව ගත්තා. ඒත් මට නින්ද ගියේ නෑ. පැයක් විතර යන්න ඇති, දිලිනි හොර පූසියෙක් වගේ මගේ කාමරේට ආවා.

 “මට නින්ද යන්නෑ කාවින්ද?”

“මටත්.”

“මම ඔයා ළඟට එන්නද?”

“හ්ම්...”

“එදා වගේ...”

මම ඇ‍ඳේ ඉඩ දුන්නා.

දිලිනි ඇඳට නැගලා මට තුරුලු වුනා.

“අනේ සීතලයි කාවින්ද, මට ලං වෙන්නකෝ. ඇ‍ඟේ ගෑවෙයි කියලද ඈතින් ඉන්නේ.”

“ඔව්. ඔයා ගෑවුනත් ලෙඩක්.”

“සොරි කාවින්ද? මට මේක නවත්තගන්න බෑ.”.

“මෙන්න මෙහෙ එනවා විකාර නැතුව.”

මම දිලිනිව ඇදලා ළඟට ගත්තා.

“කාවින්ද නිදා ගන්න, ඔයා හෙට උදේම යන්නත් ‍ඕනේ.”

දිලිනි මට තුරුල් වෙලා කිව්වා.

මට නින්ද යන්න ඇති. ආයෙත් ඇහැරෙනකොට පහුවෙනිදා උදේ.

හෂිනි අක්කා දුන්න ලොකු දේශනයකට පස්සේ මම එන්න පිටත් වුනා. දිලිනිට හිතක් තිබුනේ නැහැ තනියම ඉන්න.

“කාවින්ද මමත් එන්නම්.”

“ඇවිත් මොකද කරන්නේ? ඔයාමනේ කිව්වේ ගෙදර යන්න බෑ කියලා.”

“ඒ වුනාට ඔයාගේ ළඟින් ඉන්න මට ඕනේ. මෙහෙම ඉන්න මට බයයි, පාළුයි.”

“ටික දවසක් ඉන්නකෝ සුදූ... අපි බලමු මොකද කරන්නේ කියලා.”

“හොඳයි, කාවින්ද පරිස්සමින්. අපේ ගෙවල් වල අය හොයයි මාව. සමහර විට ඔයාව සැක කරයි. ඔයාගෙන් මොනව ඇහුවත් රණ්ඩුවට යන්න එපා.”

“බලමු.... මම නිකරුණේ කාත් එක්කවත් රණ්වු වෙන්නෑ.”

පිටත් වෙනකොට ම සචියා කතා කළා.

“කාවා, උඹ කෙලින්ම ගෙදර පලයන්. මම අම්මව ශේප් කළා උඹ අපේ ගෙදර කියලා. උඹ ගෙදර ගිහිල්ලා දවල් වෙලා ගරාජ් එකට ගිහිල්ලා නෝමල් විදිහට වැඩ කරපන්. මම පැණියටයි, දිනූෂිටයි කිව්වා දිලිනි මිස්ගේ ගෙවල් පැත්තේ ඇන්ටනා එක දාගෙන ඉන්න කියලා.”

“ඊයේ රෑ තත්වේ මොකද බං.”

“අමිලයා ගිහින් තිබුණා ඒ පැත්තේ. කිසිම සද්දයක් නෑලු බං. පොලිසි ගිහිල්ලත් නෑ.”

“ඒ මොකද?”

“මට පේන්නේ කාවා උන් උඹව සැක කරනවා. ඒ නිසා මේක පොලිසි ගිහිල්ලා ප්‍රසිද්ද නොකර හෙමීට විසඳගන්න බලනවා වගේ.”

“ඒ කියන්නේ?”

“ඒ කියන්නේ ගොනෝ උඹට පරිස්සම් වෙන්න වෙනවා. උන් මොනවා කරයිද දන්නෑ.”

“හරි බලමු.”

එහෙම කියලා මම දිලිනිව නොදන්න පලාතක නවත්තලා ආපහු එන්න පිටත් වුනා.

ජීවිතේ ලොකු වෙනසක් අත ළඟ කියලා මට දැනුනා.

4 comments:

  1. Replies
    1. ටිකක් විතර අවිස්වාසබල් වගේ... හා හා කමක් නැහැ ලියන්නකෝ

      Delete
    2. මේ හරියේ ඒ වගේ ගතියක් දැනෙන එක පුදුමයක් නෑ. ඒත් මින් ඉදිරියට වුන දේවල් එක්ක බලනකොට මේක තේරුම් ගන්න පුළුවන් වෙයි.

      අනිත් එක එන්ඩ් රිසල්ට් එක වෙනස් නොකර කතාවේ රසය ගන්න මැදදි පොඩි පොඩි දේවල් අතින් දාන්න වෙනවා. ඒ නිසා සමහර දේවල් සත්‍යම නෙවෙයි කියලා දැනෙන එක ස්වභාවිකයි.

      Delete
    3. මම හිතන්නේ මට ඉව වැටෙනවා ගොනා හැරෙන්නේ මොකටද කියල! හි හි හි

      Delete