Recent Post

Tuesday, July 11, 2017

සදානුස්මරණිය ප්‍රථම ප්‍රේමය ~ මේ ආදරයයි ~ 47



සදානුස්මරණිය ප්‍රථම ප්‍රේමය
මේ ආදරයයි



47.

අපි දෙන්නා පන්සලට ආවා.

අපිව දැක්ක ගමන් පොඩි සාදු කතා කළා.

“අදත් දෙන්නම මොකද මේ පැත්තේ?”

“පොඩි සාදු, මේ දිලිනිට ඕනේලු එදා සාදු හදපු කේන්දරේ ගැන දැනගන්න.”

“ආ පුංචි නෝනගේ කේන්දරේද? යමු එහෙනම් ඇතුලට.”

අපි ඇතුලට ගියා. පොඩි සාදු කෙන්දරෙත් අරන් ආවා.

“මට මුලින්ම කියන්න පුංචි නෝනා හඳහන් විශ්වාස කරනවද?”

“මම ඒ ගැන දන්නේ නෑ සාදු. අපි කතෝලික නිසා තාත්තා හරි අම්ම හරි කවදාවත් මේ ගැන කතා කරල නැහැ. ඒ නිසා මේ ගැන මම දන්නේ නෑ.”

“හරි, මම කියන කිසි දෙයක් එක පාරට විශ්වාස කරන්න එපා. ජීවිතේ ඒ කාලේ ගතවෙනකොට තේරෙයි, මේ වෙන්නේ මම කියපු දේවල් නේද කියලා.”

“හොඳයි පොඩි සාදු.”

“කාවින්ද නම් ගියාට පස්සේ කියයි පිස්සු විකාර කියලා. ඒ නිසා ඔය සම්බන්ධව දෙන්නා රණ්ඩු වෙන්නත් එපා.”

“හොඳයි.”

“මම එදා පුංචි නෝනා ගියාට පස්සේ මේක හොඳට එකලස් කරලා බැලුවා.”

“ඉතින් පොඩි සාදු.”

“පුන්චි නෝනට තියෙන්නේ බොහොම බලගතු හදහනක්. ඒකේ විදිහට බොහොම සිත්ගන්නා රූප සම්පත්තියකුත්, ඥාන සම්පත්තියකුත්, ඒ වගේම අසන්නන්ට ප්‍රිය උපදවන කටහඬකුත් පිහිටනවා. මේවායින් රූපයයි, කටහඬයි නම් මට කලින්ම දැක දැන ගන්න පුළුවන් වුනා. ඒත් මම හිතනවා හදහනේ විදිහටම ඥාන සම්පත්තියත් නොඅඩුව පිහිටලා ඇති කියලා. ඒ වගේම ධන සම්පත් බොහොම පෙන්නුම් කරනවා.”

“තව මොනවද සාදු?”

“හදහන බලගතුයි. මේ දරුවා ටිකක් මුරණ්ඩුයි. හැබැයි තමන් දෙයක් කරනවා කියලා හිතාගත්තොත් කොහොම හරි ඒ අරමුණට යනවා. මොන බාධක ආවත් ඒ අරමුණ නැති කරගන්නේ නෑ. ඒ වගේම තමයි ජීවිතේ තීරණ ගන්න වෙන වෙලාවලදී වෙන කිසිම කෙනෙකුට බෑ ඒ තීරණ වෙනස් කරන්න එක් කෙනෙකුට ඇර.”

“ඒ කව්ද?”

“ඒ තමයි මේ දරුවගේ අත පතාගෙන ආපු කෙනාගේ බලපෑම. එයාට විතරයි ඒ වගේ බලපෑමක් කරන්න පුළුවන්.”

“කව්ද ඒ පොඩි සාදු?”

දිලිනි බයෙන් වගේ ඇහුවා.

“ඒ ගැන නම් මට දැන් හරියටම කියන්න බෑ. අනුමානයක් විතරක් කරන්න පුළුවන්..... නෑ එක්කෝ ඔනේ නෑ. සිද්ධ වෙන දේ අපි බලාගෙන ඉමු.”

“තව මොනවද සාදු කියන්න පුළුවන්?”

“මේ දරුවට දැන් වයස කීයද?”

“විසි තුනයි පොඩි සාදු.”

“තව අවුරුදු දෙකක් ඇතුලත ජීවිතේ ගොඩක් දේවල් වෙනස් වෙයි. බොහොම හැල හැප්පීම්, කෙලින් තීරණ ගන්න වෙයි. සමහර විට බොහොම දරුණු දේවල් වලට මූණ දෙන්න වෙයි. මේ දරුවට විතරක් නෙවෙයි, මේ දරුවගේ ළගින්ම ඉන්න කෙනෙකුටත් ඒ දේවල් වලට මූණ දෙන්න වෙයි.”

“එතකොට පොඩි සාදු මට කරදරයක් වෙයිද? මම අකමැති විවාහයම කරගන්න වෙයිද?”

“මම එදත් කිව්වා. එහෙම වෙන්නේ නෑ. මේ දරුවගේ හදහන බොහොම බලගතුයි. පොරොන්දම් බොහොම කලාතුරකින් පිහිටන වාසනාවන්ත ඒවා. ඒ නිසා ඉරණම් කාරයාටම පුංචි නෝනාව ලැබෙයි. හැබැයි ‍ලේසි පහසුවෙන් නෙවෙයි. මොනවා වුනත් තමන් ගැන තියෙන විශ්වාසය නැති කරගන්න එපා.”

“හ්ම්.”

“පුංචි නෝනගේ ඉරනම් කාරයාගේ හදහනත් බොහොම බලගතු එකක් වෙන්නම ඕනේ. ඒ නිසා මොන කරදර ආවත් දෙන්නා එකතු වෙනවා. ඒ නිසා බය නැතුව ඉන්න.”

“හොඳයි පොඩි සාදු”

“ජීවිතේට බය නැතුව මූණ දෙන්න. තමන් හරි කියලා හිතන දේ නුවනින් විමසලා බලලා කරන්න. තව කෙනෙක් කියන දෙයක් කරන්න හදන්න එපා.”

“හොඳයි.”

“කාවින්දට කියන්නේ.”

පොඩි සාදු මට කතා කලා.

“කාවින්දගේ මිතුරියක් කිව්වනේ. එයාට උදව්වක් ඕනේ වුනොත් පස්ස ගහන්න එපා. මොකද මට දෙයක් පේනවා, ඒක දැන්මම කියන්න බෑ.”

“මම කවදාවත් එහෙම උදව්වක් ඕනේ කෙනෙකුට මග ඇරලා නෑ පොඩි සාදු. ඒ වගේම ඉස්සරහට කරන්නෙත් නෑ.”

“ඒක හොඳයි. හැබැයි තව අවුරුදු දෙකක්වත් යනතුරු දෙන්නම පරෙස්සම් වෙන්න. බොහොම කරදර ඇති වෙන්න ඉඩ තියෙනවා.”

“කාවින්දටනම් මම එදා වගේම අදත් කියනවා, මහණ දම් පුරන්න සාසනේට එකතු වුනා නම් කාවින්දට යන්න පුළුවන් දුර හිතාගන්නත් බෑ. ඒ තරම් වාසනාවන්ත ගුණයක් පෙන්නුම් කරනවා. හැබැයි ගිහි ජීවිතේ නම් ගොඩක් කරදර වලට මුණ දෙන්න වෙයි. ඒත් ඒකෙනුත් එක කාලෙකට ජයෙන් ජයම වෙනවා.”

“අනේ පොදු සාදු, මම කිව්වනේ ඔය කතාව අයෙත් කියන්න එපා කියලා.”

“හොඳයි මම ආයෙත් කියන්නේ නෑ. දැන් පරෙස්සමට ගිහිල්ල එන්න.”

අපි දෙන්න පන්සලෙන් එලියට බහින්න හදනකොටම ලොකු වැස්සක් කඩන් පාත් වුනා තද හුළඟකුත් එක්ක.

“මේ වැස්සේ යන්න එපා. ඉඳලා වැස්ස අඩු වුනාම යන්න. මෙන්න මේ පැත්තට වෙලා ඉන්න.”

පොඩි සාදු ආවාස ගේ පුටු දෙකක් පෙන්නුවා.

අපි වැස්ස අඩුවෙනකම් කියලා පොඩි සාදු එක්ක කතා කර කර හිටියා. පැය බාගයක් ගත වුනත් වැස්ස අඩුවුනේ නෑ. දැන්නම් කරුවලත් වැටෙනවා.

වෙලාව හතයි. තාම වැස්ස අඩුවෙලා නෑ. නුවරට වහිනකොට වෙන තැන්වලට වගේ නෙවෙයි. ඉවරයක් නෑ.

“පොඩි සාදු, තවත් පරක්කු වෙන්න බෑ. අපි යන්න ඕනේ.”

“මේ වැස්සේ ඔය ගල මතුපිට යන්න බෑ. ලිස්සලා වැටෙයි.”

“නෑ පොඩි සාදු. මම කොහොම හරි දිලිනි ව අල්ලගෙන යන්නම්.”

පොඩි සාදු දුන්න කුඩෙත් අරන් අපි දෙන්නා පිටත් වුනා. ඒත් ඒ හුළඟයි වැස්සයි එක්ක කුඩයකුත් අරන් යන්න බෑ. අමාරුවෙන් අපි වාහනේට එනකොට දෙන්නම හොඳටම තෙමිලා.

කඩුගන්නාවේ තියෙන්නේ එසේ මෙසේ සීතලක් නෙවෙයි. අපි වාහනේට ඇතුල් වුනා. දිලිනි සීතලේ ගැහෙනවා.

හොඳ වෙලාවට වාහනේ ඒසී එකයි හීටර් එකයි දෙකම මම හදාගත්ත නිසා, මම හීටර් එක දැම්මා.

“හොඳටම සීතලයි කාවින්ද.”

“සීතලයි තමා. අපි දෙන්නා ෂවර් එකෙන් ව‍ගේ නේ නෑවේ. පොඩ්ඩක් ඉන්න, හීටර් එක දැම්මා දැන් හරියයි.”

“හීටර් එක දැම්මා වුනත් තෙත ඇඳුම් ඇඳගෙන ඉන්නකං සීතල නැති වෙන්නේ නෑ කාවින්ද.”

“එහෙනම් ඉතින් ඇඳුම් ගලවන්න.”

“ආස ඇති. ඔයාටනම් මොකද අර ගරාජ් කිට් එක ඇඳලා, තෙමුනත් එකයි වේලුනත් එකයි.”

“දැන් රෑ උනා වැඩි නැද්ද දිලිනි. දැනටම හත හමාරයි.”

“දැන් කරන්න දෙයක් නෑ. අදනම් අම්මා ගෙදර. තාත්තිත් අට වෙනකොට එන කතාවක් කිව්වා.”

“එහෙනම් වැඩේ අවුල් වෙයිද?”

“කරන්න දෙයක් නෑ කාවින්ද, එන විදිහකට මූණ දෙන්න වෙනවා.”

මම ටිකක් ඉක්මනට වාහනේ පදවගෙන ආවා. කොච්චර වුවමනාව තිබුණත් වැස්ස නිසා පාර ලිස්සන එකයි, ටවුන් එකේ ට්‍රැෆික් එකයි නිසා දිලිනිගේ ගේ ළඟට එනකොට අට හමාරයි.

“මම යන්නම් කාවින්ද.”

දිලිනි ගේට්ටුව බාගෙන අරින ගමන් කිව්වා.

ඒත් එක්කම මම දැක්කා තවත් කෙනෙක් මිදුල හරහා එනවා.

“කාවින්ද, තාත්තා.”

එහෙනම් අද දෙකෙන් එකක් වෙයි. මට හිතුනා.

“ඔයා යන්න කාවින්ද?”

“බෑ දිලිනි, මට තාත්තා එද්දි හොර පාරෙන් යන්න බෑ.”

මම එහෙම කියලා වාහනේ දොර වහලා දිලිනිගේ තාත්තට හිනා වුනා.

“තෑන්ක්යූ පුතා දිලිනිව පරෙස්සමට එක්ක ආවට. වැස්ස නිසා මම බයේ හිටියේ.”

“ප්‍රශ්ණයක් නෑ මිස්ට විජේසුන්දර, මම එහෙනම් යන්නම්.”

මම කෝකටත් කියලා අංකල් නොකියා නම කියලම කතා කළා.

“පුතා, කාවින්ද නේද?”

“ඔව්.”

“මම තාත්තව දන්නවා ටිකක්. ඔනැක් ගෘප් එකේ මිස්ට විජේසුන්දර කියන්‍නකෝ. තාත්තා විතරක් නෙවෙයි අම්මත් දන්නවා.”

“හොඳයි මිස්ට විජේසුන්දර. මම කියන්නම්.”

“පුතා දැන් මොනව හරි ජොබ් එකක් කරනවද?”

දිලිනිගේ තාත්තා එහෙම අහපුවාම මම දිලිනිගේ මූණ බැලුවා. මෙයා මේ විස්තර කියලද? තාත්තා මාත් එක්ක වෙනසක් පෙන්වන්නේ නැතුව මෙච්චර කතා කරන්නේ මොකද? කතා කර කර ඉඳලා එක පාරටම කණ  පුරවලා එකක් දෙයිද?

“නෑ මම එහෙම ඇහුවේ මේ ඔයා මිකැනික් කෙනෙකුගේ කිට් එකක් ඇඳලා නිසා.”

“ආ ඔව් මිස්ට විජේසුන්දර. මම අපේ රිලේෂන් වෙන අයිය කෙනෙකුගේ ගරාජ් එකකයි, සර්විස් ස්ටේෂන් එකකයි වැඩ ඉගෙන ගන්නවා.”

“ඒක හොඳයි. අදත් ට්‍රයල් එකක් යද්දි වෙන්න ඇති දුවව හම්බ වුනේ.”

මෙයා ඒක ඇහුවේ නිකං සවුත්තුවටද නැත්නම් මගේ කටින් වැඩේ අල්ලගන්නද. කෝකටත් මම පරෙස්සමෙන් උත්තර දෙන්න ඕනේ.

“ඔව් මිස්ට විජේසුන්දර.”

“ලස්සන වාහනේ. අයිතිකාරයා කව්ද?”

“ට්‍රයල් එකක් ආව වුනත් වාහනේ මගේ මිස්ට විජේසුන්දර. ගොඩක් කාලයක් පැත්තකට දාලා තිබුණ එකක්, මම වැඩ ඉගෙන ගන්න අතරේ හදලා ගත්තා.”

“හ්ම්.... එනිවේ ගුඩ් ජොබ්.” දිලිනිගේ තාත්තා ඒක නොඇහෙන ගා‍ණට කිව්වා.

“මම යන්නම් මිස්ටර් විජේසුන්දර.”

“ඇතුලට ආවොත් තේකක් බීල ටිකක් කතා කරලා යන්න පුළුවන්.”

දිලිනිගේ තාත්තා එහෙම කිව්වත් දිලිනි මගේ දිහා බලලා සද්දේ ඇ‍හෙන්නේ නැති වෙන්න එයාගේ අත වනලා එන්න එපා කියලා කිව්වා.

“බෑ මිස්ටර් විජේසුන්දර. එකක් මම ගේකට එන්න පුළුවන් විදිහට ඇඳලා නෑ. අනිත් එක මට පරක්කු වෙනවා. ගරාජ් එක වහන්න ඕනේ.”

“ඕකේ. ඉට්ස් යුවර් චොයිස්. එනිවේ නෙක්ස්ට් ටයිම් යූ ෂුඩ් කම් ඉන් ඇන්ඩ් හැව් එ කප් ඔෆ් ටී.”

“ෂුවර් විල්. තෑන්ක්ස් ෆොර් ද ඉන්විටේෂන් මිස්ට විජේසුන්දර.”

“මම යන්නම් දිලිනි. මම හෙමීට එයාට කිව්වා.”

වාහනේට නැගලා මට කල්පනා වුනේ, මොකක්ද මේ දැන් වුනේ කියලා.

දිලිනි කියන විදිහටනම් එයාගේ තාත්තා එයාට මාව ආශ්‍රය කරන්න එපා කියලා කීප සැරයක්ම කියලා තියෙනවා. ඒත් දැන් මොකද මේ වෙන්නේ.
මට හොඳට කතා කළා. ඒ මදිවට අම්මවයි තාත්තවයි දෙන්නවම දන්නවත් කිව්වා. සමහර විට මේ ඔක්කොම රඟපෑමක් වෙන්න ඇති. මම ඉස්සරහ තරහ ගිහිල්ලා බොරු කලබලයක් කරන එක අවාසියි කියලා හිතලා මාව රවට්ටන්න කරපු බොරු රඟපෑමක්.

ඒත් තාත්තාව දන්නවා කියපු එකනම් පොඩ්ඩක් අවුල් වගේ. මේ සීන් එක තාත්තට කියලා තිබුනොත් මගේ නිදහස අඩුවෙනවා. අනිත් එක දිලිනිව තාත්තා දන්නේ ඉස්කෝලෙ ටීචර් කෙනෙක් විදිහට. වැඩේ සම්පූර්ණයෙන්ම අවුල් වෙන්න මුලක් ඒක.

වෙලාව කියන්නේ මොකද වුනේ කියලා අහලා දිලිනිට කෝල් එකක්වත් දෙන්න බෑ මගේ ෆෝන් එකේ බැටරි බැහැලා.

ගෙදර ගිහිල්ලා ලෑන්ඩ් ෆෝන් එකෙන් කෝල එකක් ගන්න හිතාගෙන මම ගරාජ් එකේ වාහනේ දාලා, බයික් එකත් අරගෙන ගෙදර ගියා.

බයික් ‍එකෙන් බහින්නවත් හම්බවුනේ නෑ, දීප නැන්දා දුවගෙන ආවා.

“බබා, කෝල් එකක්....”

වෙනදටත් මට කෝල් එනවා.. එතකොට දීප නැන්ද මේ වගේ දුවගෙන එන්නේ නැහැ. අනිත් එක දීප නැන්දගේ මූණේ තියෙන්නේ මහ දවල් හොල්මනක් දැක්කා වගේ බය වෙච්ච බවක්.

මට තේරුණා මොකක් හරි අවුලක් කියලා.

“බබා ඉක්මනට යන්න... ගෑණු දරුවෙක් කතා කරන්නේ. හොඳටම අඬනවා... අනේ මම දන්නෑ මේව කොහෙන් කෙලවර වෙයිද කියලා.”

මම දුවගෙන ගියා.

“හෙලෝ”

මට කියන්න ලැබුණේ එච්චරයි...

“අ‍නේ කාවින්ද මට මේ ගෙදර ඉන්න බැහැ... මාව ඇවිල්ලා කොහේ හරි අරන් යන්න.”

මට කියා ගන්න දෙයක් නැතිවුනා.

“අනේ කාවින්ද කතා කරන්නකෝ. තාත්තා යනකම් ඉඳලා මම ගත්තේ. මට තවත් මෙහෙම ඉන්න බැහැ.”

“දිලිනි...” මට කියාගන්න පුළුවන් වුනේ ඒ ටික විතරයි.

“අනේ කාවින්ද කතා කරන්නකෝ.... මට මේ වෙලාවේ මැරෙන්න වුනත් පුළුවන්.... මාව එක්ක යන්න...”

“දිලිනි... පොඩ්ඩක් කලබල නැතුව ඉන්න. අපි ටිකක් කල්පනා කරලා කරන දෙයක් කරමු. මට දැන් ඇවිල්ලා ඔයාව ගන්න බැරිකමක් නෑ... ඒත් ඊට පස්සේ මොකද කරන්නේ... ඒ නිසා පොඩ්ඩක් ඉවසන්න...”

“මට බෑ කාවින්ද?”

“මොකද වුනේ. තාත්තා මට හොඳට කතා කළානේ?”

“ඒක බොරුවක් කාවින්ද. මම දැනගත්තා තාත්තා ඔයාට ඔය තරම් හොඳට කතා කරනකොටම ඒක රැවටිල්ලක් කියලා.”

“ඔයාට බැන්නද?”

“බැන්න විතරක් නෙවෙයි කාවින්ද, මාව හිර කරලා.”

“ඔයා බය නැතුව ඉන්න, මම කල්පනා කරන්නම් මොකක්ද කරන්න පුළුවන් කියලා.”

මම ඒ ටික කියල ඉවර කළා විතරයි.... අනිත් පැත්තෙන් ඇහුණේ දිලිනිගේ කටහඬ නෙවෙයි....

ඒ දිලිනිගේ තාත්තා.

“මම දිලිනිගේ තාත්තා‍‍‍‍.... කරුණාකරලා ඔය කරන මෝඩ වැඩේ නවත්තන්න. දිලිනි ඔයාටවත්, දිලිනිට ඔයාවත් ගැලපෙන්නේ නැහැ. අනිත් එක ඔයා හොඳ අනාගතයක් තියෙන දරුවෙක්... තාම ඉස්කෝලෙන් අවුට් වුනා විතරයි.... ඔයාගේ තාත්තා අම්මා දෙන්නම වැදගත් මිනිස්සු... මේ වගේ නොගැලපෙන දේවල් කරලා ඒ දෙන්නටත් නින්දා කිරන්න එපා.”

බලාගෙන යනකොට දිලිනිගේ තාත්තා මං ගැන හැම විස්තරයක්ම දන්නවා. ඒත් ප්‍රශ්ණේ තියෙන්නේ එයා කියන විදිහේ සම්බන්ධයක් අපි අත‍‍රේ නැති එක.

“අන්කල්... කව්රු මොනවා කිව්වත්... ඇත්ත නම් අපි දෙන්නා අතරේ එහෙම සම්බන්ධයක් නැහැ.”

“ඇයි මේ බොරු කියන්නේ... ඔය දෙන්නා දවස් කීයක් බයික් එකේ නැගලා තැන් තැන්වල ඇවිද්දද? අදත් ඔය දෙන්නා එකටමයි. හතරට ගෙදරින් ගිය කෙල්ල අට වෙනකම් ඔයා එක්ක හිටියා කියලා මම දන්නවා. ඊට පස්සේ දෙන්නා බය නැතුව ගෙදරත් ආවා. ඉතින් තවමත් ඔයා කියන්නේ ඔය දෙන්නා අතරේ සම්බන්ධයක් නෑ කියලද‍‍‍... මට ඒක විශ්වාස කරන්න කියලද?”

“ඔව්. මම ගෙදර ආවේ බය නැති කමට නෙවෙයි. මට එයාව මග දාලා යන්න බැරි නිසා.”

“එකක් තියෙනවා, ඔයාට කොන්දක් තිබුණා දිලිනිව දාලා හොරෙන් යන්නේ නැතුව මට කතා කරලා යන්න. මම ඒක ඇප්රිෂියේට් කරනවා. ඒත් ඔයාට දිලිනිව ලැබෙන්නේ නෑ. ඒක මතක තියා ගන්න.”

මට තේරුණා මම කොච්චර කිව්වත් මේ අය මේ කතාව විශ්වාස නොකරන බව. ඒ නිසා මම කට වහගත්තා‍.

“දරුවෝ.. ඔයාගේ අනාගතේ විනාශ වෙන තීරණ ගන්න එපා. දිලිනි අපි වෙන කෙනෙකුට කතා කරල ඉවරයි. හොඳ කෙනෙක්. අනිත් එක ඔයා දිලිනිට වඩා බාලයි. ඔයා හිතනවද ඔය දරුවගේ දෙමව්පියෝ මේ වගේ දේකට කැමති වෙයි කියලා... කරුණාකරලා දිලිනිව හම්බවෙන එක... එයාගේ කිසිම දේකට මැදිහත් වෙන එක නවත්තන්න. මේක මම කරුණාවෙන් කියන දෙයක්. ඒත් ඊළඟ වතාවේ මම මේ තරම් හොඳ වෙන එකක් නෑ..”

ආදරෙන් කිව්වත් අන්තිම වචන ටිකේ තනිකරම තිබ්බේ තර්ජනයක්.

ඒත් එක්කම මට අනිත් පැත්තෙන් දිලිනි එයාගේ තාත්තට කතා කරනවා ඇහුනා‍‍.

“තාත්ති‍‍‍‍.... ඔයා කාවින්දට කරදරයක් කරලා තිබුනොත් මම ඒකනම් ඉවසන්නේ නැහැ. හොඳට මතක තියාගන්න.... මම ඕන දෙයක් පොරොන්දු වෙන්නම්... ඒත් කාවින්දට කරදරයක් කළොත් මම මැරෙන එක මැරෙනවාමයි. ඒක නවත්තන්න කාටවත් බැරිවෙයි.‍”

දිලිනි මේ තරම් තදින් කතා කරයි කියලා මම හිතුවේ නැහැ.

සෑහෙන වෙලාවකින් කවුරුවත් කතාකලේ නැති නිසා මම ෆෝන් එක තිබ්බා.


මගේ ඔළුව තනිකරම අවුල් වෙලා‍.

3 comments: