Recent Post

Wednesday, July 26, 2017

සදානුස්මරණිය ප්‍රථම ප්‍රේමය ~ මේ ආදරයයි ~ 64




සදානුස්මරණිය ප්‍රථම ප්‍රේමය


මේ ආදරයයි



64.

දිලිනි ඉන්න තැනක් නොදැන ගතවුන හතරවෙනි දවසේ ගෙදර ඉන්න වෙලාවක දීප නැන්දා කතා කලා.

“බබා... තාරුකා කියන්නේ බබාගේ කව්ද?”

“මොකක්.... තාරුකා... තාරුකා තියෙන්නේ අහසේ දීප නැන්දේ...”

“අනේ බබා... ඒක මම දන්නවා. මම අහන්නේ තාරුකා තියලා ගෑනු ළමයෙක්ව බබා දන්නවද?”

“තාරුකා.... ම්හ්... නෑ.....”

“බොරු නේද?”

මම ආයෙත් කල්පනා කළා. තත්පරෙන් මට ඒ නම මතක් වුනා. පුදුම වුන තරමට මම පුටුවෙන් නොවැටී බේරුණේ වාසනාවකට.

යකෝ තාරුකා කියන්නේ දිලිනිට. දිලිනි තාරුකා....

“ඇයි දීප නැන්දේ... එයා කෝල් කළාද?”

මම පුදුමෙන් ඇහුවා.

“ඔව්.... බබාගේ සෙල් ෆෝන් එකේ නොම්මරේ මතක නෑ කියලා ගෙදරට කතා කළා.”

“දීප නැන්නේ... කතා කළේ දිලිනි තාරුකා ද?”

“මට නම් කිව්වේ තාරුකා කියලා විතරයි. බබා දන්න කෙනෙක්ද?”

“දන්නවදත් අහනවා... අපි මේ දවස් ගාණක් නොකා නොබී හොයන්නේ එයාව... අයියෝ..... දීප නැන්දට තිබුණනේ මට කතා කරන්න.”

“කොහේ කතා කරන්නද.. බබා ගොරව ගොරව නිදිනේ.”

“අම්මපා දීප නැන්දට තේරෙන්නේ නැද්ද මේ ප්‍රශ්ණේ.... ෂිහ්... වැඩේ කාලනේ...”

“අනේ බබා මටනම් ඔය කිසිම දෙයක් තේරෙන්නේ නෑ... දැන් කිව්වේ හොයනවා කියලා... ඇයි මක් වෙලාද ඒ ළමයට?”

“ආගිය අතක් නෑ දීප නැන්දේ..”

“එහෙනම් ඔය කතා කළේ...”

“ඒක තමයි.... දීප නැන්දා ආපහු කෝල් කරන්න නොම්මරයක් ඉල්ල ගන්න තිබ්බනේ. නැත්තං ඉන්නේ කොහෙද කියලා අහන්න තිබ්බනේ.”

“අනේ මට බෑ ඕවා... මම කිව්වා තව පැයකින් කතා කරන්න කියලා. දැන් කතා කරයි.”

තවත් පැයක් විතර බලාගෙන හිටියත් කෝල් එක ආවේ පැය දෙකකට පස්සේ.

මම ෆෝන් එක ගත්තා.

“කාවින්ද...“ දිලිනි ඒක කියලා  අඬන්න පටන් ගත්තා.

මොකද වුනේ කියලා අහනකං මට ඉවසුමක් තිබ්බේ නෑ. ඒත් දිලිනි මම කියන කිසිම දෙයක් අහන තත්වෙක හිටියේ නෑ.

“මට මැරෙන්න ඕනේ කාවින්ද...... ඔයා මාව හොයන්න එපා. මම ඔයාගෙන් සදහටම ඈත් වෙනවා. හැබැයි මම ජීවත් වෙන්නේ නෑ කාවින්ද... මට මැරෙන්න දෙන්න...”

දිලිනි විනාඩි පහක් විතරම ඔය විදිහට කියවගෙන ගියා.

“මේ සුදූ.... පොඩ්ඩක් අහන්න...“ මම කිව්වා.

“ඇයි?”

“මුලින් කියන්න ඔයා ඉන්නේ කොහෙද කියලා. ඊට පස්සේ කියන්න මොකද වුනේ කියලා... ඔයා ඉන්නේ කා එක්කද?”

“තාත්ති මාව හොයාගත්තා කාවින්ද... මම දැන් ඉන්නේ කොළඹ... තාත්ති මට කොහේවත් යන්න දෙන්නේ නෑ. මම දැන් ඉන්නේ සිකියුරිටි ගාඩ් එකක් මැද. අම්මිත් ඉන්නවා මගෙත් එක්ක. අම්මිට වැඳලා අඬලා තමයි ඔයාට කතා කරන්න ඉල්ලගත්තේ. මගේ ෆෝන් එක නෑ. මට ඔයාගේ නම්බර් එකත් අමතක වෙලා. ගෙදර නම්බර් එක විතරයි මතක තිබ්බේ.”

“දැන් මම මොනවද කරන්න ඕනේ...?”

“මොනවත් කරන්න එපා කාවින්ද.... ඔයා මාව මේකෙන් ගලවගන්න උත්සහ කළා. මාත් පුළුවන් තරම් බැලුවා මේකෙන් ගැලවෙන්න.... ඒත් තර දුරටත් ඒක කරන්න බෑ. එන විදිහට මූණ දෙන්න වෙනවා මට.”

“මට තේරෙන්නෑ.”

“ඔයා හොඳින් ඉන්න කාවින්ද... මං ගැන... මේ කාලකණ්නි කෙල්ල ගැන ආයේ හොයන්න එපා. ඔයාගේ ජීවිතේ ලස්සනම කාලේ ඉස්සරහට... ඒක මං නිසා නාස්ති කරගන්න එපා.”

“මොනවද දිලිනි මේ කියන්නේ... ඔයාට පිස්සුද?”

“නෑ.... මම කියන්නේ ඇත්ත. මාව අමතක කරන්න... මට කරදරයක් වෙන්නෑ. ජීවිතේ සතුට මට නැති වුනත් කරදරයක් නොවී ඉන්න පුළුවන් වෙයි. මං නිසා ඔයාගේ ජීවිතේ දැනටම අවුල් වෙලා. තවත් අවුල් වෙන්න කළින් මෙහෙම වුන එක හොඳයි.”

“දිලිනි... මං කියන දේ අහන්න.. මම ඔයාට කිව්වනේ මම කවදාවත් ඔයාව අතරමං කරන්නේ නෑ කියලා. මම ඒ පොරොන්දුව ආයෙත් දෙනවා. මම ඔයාව බේරගන්නවා.”

“ඒක කරන්න බෑ කාවින්ද.... මට මේ තීරණේ ගන්න තවත් අමාරු කරන්න එපා....”

“ප්ලීස් දිලිනි... මට ඔයාට කියන්න දෙයක් තියෙනවා. ඒක සෑහෙන කාලෙක ඉඳලා හිතේ තිබුණත් ඊයේ තමයි හරියටම දැනුනේ...”

“දැන් එපා කාවින්ද... වැඩක් වෙන්නෑ.... මම ලංකාවෙන් යනවා ටික දවසකට. අම්මත් යනවා මාත් එක්ක. මම ඔයාට ආයේ කෝල් කරන්නේ නෑ හැමදාම. ඒත් මම ජීවත් වෙනවා කියලා කියන්න මම සතියකට වතාවක් මම ඔයාට කතා කරන්නම්.”

“තියන්න එපා දිලිනි... මට කතා කරන්න ඕනේ...”

“මං වෙනුවෙන් කරපු හැම දේටම තෑන්ක්ස් කාවින්ද.... ඔයා මට පොරොන්දු වෙන්න හොදින් ඉන්නවා කියලා.”

“සුදූ පොඩ්ඩක් ඉන්න...”

මම එහෙම කිව්වත් වැඩක් වුනේ නෑ.

“බායි කාවින්ද...”

එයා ෆෝන් එක තිබ්බා.

මටත් නොදැනීම මගේ ඇස් වලට කඳුලු ආවා. ජීවිතේ පළවෙනි වතාවට කෙල්ලෙක් නිසා මම අඬනවා. මෙච්චර කාලයක් ආශ්‍රය කරලා... අන්තිමට මම එයාට ආදරේ කරනවා කියලා දැනුන දවසෙම එයා මගෙන් ඈත් වෙන්න තීරණය කරලා.

මුළු ලෝකෙම කැරකෙනවා වගේ මට දැනුනා. දිනි, ලයාංගි මේ දෙන්නවම මට එපා වෙලා සම්මතේට පිටින් ගිහින් මගේ හිත නැවතුනේ දිලිනි ළඟ.... ඒත් දැන් මම පරාද වෙලා. මගේ ජීවිතේ පළවෙනි ආදරේ පිපෙන්නත් කළින්ම පරවුන මලක් වගේ වෙලා.

ඒ මොහොතේ ඉඳලා මගේ ජීවිතේට අරමුණක් නැති වුනා.!

1 comment: