Recent Post

Tuesday, July 11, 2017

සදානුස්මරණිය ප්‍රථම ප්‍රේමය ~ මේ ආදරයයි ~ 48



සදානුස්මරණිය ප්‍රථම ප්‍රේමය
මේ ආදරයයි




48.

මට එදා රෑ පැයකට වඩා එක දිගට නින්ද ගියේ නෑ.

උදේ වෙනකොට මම සම්පූර්ණයෙන්ම අවුල් වෙලා. උදේ දහය වෙනකොටත් මම ඇ‍ඳෙන් නැගිටලා හිටියේ නෑ.

දීප නැන්දා තුන් පාරක්ම ඇවිල්ල දොරට තට්ටු කළා. ඒත් මම ඇරියේ නැහැ. හතරවෙනි පාර කතා කළා.

“බබා දොර අරින්න. දැන් මම කී සැරයක් කතා කළාද.”

මම සද්ද නැතුව හිටියා.

“මොනවද දෙයියනේ වෙලා තියෙන්නේ. දොර අරින්න මගේ හොඳ මහත්තයෝ මාව බය කරන්නේ නැතුව.”

දීප නැන්ද ගැන දුක නිසාම මම දොර ඇරියා.

“හත් දෙයියනේ කාවින්ද බබා, මොකද මේ. ඇස් දෙකත් රතු කරගෙන, නිදි මරලා?”

“ආ මේ මම ඊයේ රෑ බණ ගෙදරක ගියානේ.”

“අනේ දෙයියනේ, බොරු කියන්න එපා, මේ මුළු රෑම කාමරේම නේද හිටියේ.”

“හරි හරි දැන් දීප නැන්ද යන්න.”

දීප නැන්ද කතාවක් නැතුව යන්න ගියා.

මම ඇඳ උඩ ඉඳගෙන කල්පනා කළේ දැන් මොක්කද කරන්නේ කියලා.

දිලිනි ඊයේ කතා කරලා අඬපු විදිහ මට තාමත් ඇහෙනවා වගේ. ඒත් ඒ වෙලාවේ මම කියලා මොනවා කරන්නද? මොක්කද මට තියෙන අයිතිය.

එකොළහට විතර මම ඇඳගෙන පහලට යනකොට මොබයිල් එකට කෝල් එකක් ආවා.

“කාවා, උඹ‍ ගෙදරද?”

ඒ සචිත්‍ර.

“ඔව් බං. මොකද?”

“නෑ මම දැන් එනවා.”

“දැන් කොහෙද ඉන්නේ?”

“මම ඉන්නේ හන්දියේ.”

“එහෙනම් කෙලින්ම එන්නේ නැතුව මොන මගුලකටද කෝල් කරන්නේ... වරෙන් ඉක්මනට.”

“නෑ බං, උඹ ගාව ෆෝන් එකක් තියෙන එකේ කෝල් එකක් දීලම එන්න හිතුවා.”

“ඈ ගොනෝ, උඹ ගෙදර ඉඳලා කිලෝමිටර් අටක් ඇවිල්ලා, අපේ ගෙදරට මීටර් පන්සීයක් තියලා කෝල් කරලා ඉන්නවද බලනවා. ඇය යකෝ ගෙදරින් කෝල් කරන්න තිබුණනේ.”

“අඩෝ... බිල යනවා... මම තියනවා.”

මූ නම් අමු හරකෙක්. මම මේ සම්පූර්ණයෙන්ම අවුල් වෙලා ඉන්නවා, මූ එනවා ආතල් දෙන්න.

මම දීප නැන්දට කියලා ස්පැගටි එකක් හදාගත්තා. සෝමාලියාවේ සාගත හමුදාවේ එකෙක් එන නිසා එකක් නෙවෙයි දෙකක්ම හදා ගත්තා.

අපි දෙන්නා උදේ කෑම එකොළහට කාලා ටවුන් එකේ සුපුරුදු තැනට ආවා. තාම අපි දෙන්නා විතරයි. අමිලයි, චතුරයි මග ඇති. මොනවා වුනත් දවසට එක සැරයක් හරි මෙතෙන්ට ඇවිල්ලා ගියේ නැත්තතං හිතට කිසිම හොඳක් නෑ වගේ අපි මෙතෙන්ට එනවාමයි.

මට කල්පනා වුනේ දිලිනි ගැන. මම උදේට කල්පනා කරලා මොනව හරි කරන්නම් කිව්වට තාම හිතාගන්න බැරිවුනා මොකක්ද වුනේ කියලවත්. දිලිනිගේ මොබයිල් එකට කොල් ගත්තත් වැඩක් වුනේ නෑ, ඕෆ් කරලා.
ගෙදරට ගත්තට වැඩක් නෑ කියලා දැන දැනම මම ගත්තා.

ගෙදර වැඩට ඉන්න කෙනෙක් ෆෝන් එක ගත්තා.

මම දිලිනිව ඇහුවා.

“මහත්තයා, දිනිලි පුංචි නෝනා උදේ ගමනක් ගියා. අද එන්නේ නෑ.”

“එතකොට ගෙදර අනිත් අයත් නැද්ද? මිස්ට විජේසුන්දර?”

“නෑ මහත්තයා. ඒ හැමෝම තමා ගියේ.”

“කොහේද?”

“ඒක නම් දන්නේ නෑ. අද එන්නේ නෑ කියලා තමා කියලා ගියේ.”

දැන් මොකද කරන්නේ. කෝල් කර කර ඉන්නේ නැතුව උදේම දිලිනිලාගේ ගේ ළඟට ගිහිල්ලා බලන්න තිබුණේ.

සමහර විට එයා යන තැනක් දැන් ගන්න තිබුණා.

“කාවා, උඹ මොන ලෝකෙද ඉන්නේ.”

අමිල මට අතින් ගහලා කතා කරනකම් ඌ ඇවිල්ලා ඉන්නවා කියලවත් මම දැක්කේ නෑ.

“නෑ බං.”

“නැතිවෙන්න බෑ.. උඹට මොකක්ද තියෙන අවුල?”

“අමිලයා, මම ඊයේ හවස දිලිනි එක්ක කඩුගන්නාවේ ගියා. වැස්ස නිසා කරුමෙට එනකොට රෑ වුනා. ‍”

“ඉතින්.”

“මම එයාව ගෙදර එක්ක යනකොට අටට විතර ඇති. තාත්තා හිටියා ගේට්ටුව ළඟ. මටත් කතා කළා.”

“නෑ....”

“ඔව් බං. ඒ වෙලාවේ නම් මෑන් වෙනසක් පෙන්නුවේ නෑ. ඒත් රෑ දිලිනි මට කතා කරලා ඇඬුවා, එයාට බැනලා, කොහෙවත් යන එකත් තහනම් කරලා, එයාව හිර කරලා කියලා.”

“අම්ම ගහයි බැට් එකෙන්... ඉතින්.”

“එතකොටම අංකල් ෆෝන් එක අරගෙන කතා කළා, පොර මට පොඩි අනතුරු ඇඟවීමක් කළා, මේක නවත්තන්න කියලා.”

“ඉතින් උඹ ගොනා වගේ බෑ කිව්වා.”

“නෑ යකෝ. මම කිව්වා ‍එහෙම දෙයක් නෑ කියලා.”

“මෑන් විස්වාස කළාද?”

“නෑ බං.”

“හරිනේ බං. මෙච්චර උඹේ ළඟින් ඉන්න අපිට ඔය කතාව විශ්වාස කරන්න බැරිකොට මෑන් කොහොමද බං කරන්නේ. උඹල දෙන්නා හරියට ඉන්නේ ළඟදි බැඳපු ජෝඩුවක් වගේනේ. හරි දැන් මොකද වෙලා තියෙන්නේ?”

“මම උදේ කෝල් කරද්දි එයාගේ ෆෝන් එක ඕෆ් කරලා. මම උදේ පාන්දර ඉඳලා තාම ට්‍රයි කරනවා. ඒත් නෝ කන්ටැක්.”

“ගෙදරට කතා කළේ නැද්ද?”

“කළා. සර්වන්ට් විතරයි ඉන්නේ. ඌ කියනවා කට්ටටියම උදේ කොහේදෝ ගියාලු. අද එන්නේ නෑ කියලා කිව්වලු.”

“ඌ දන්නේ නැද්ද ගිය දිහා.”

“මම ඇහුවා. ඌ දන්නෑ බං.”

“ඕකට හොම්බට දෙකක් අනින්න එපැයි බං. ගෙදර උන් ගිය දිහා දැනගෙන ඉන්න එපැයි.”

“ඒ අහිංසකටය ගහලා වැඩක්ද බං. ඌ සර්වන්ට.”

මම ආයෙත් කල්පනාවට වැටුනා.

මොකක්ම හරි ක්‍රමයක් හොයා ගන්න වෙනවා දිලිනි ගැන තොරතුරක් ගන්න. දිනි ගේ ප්‍රශ්ණයකදිනම් එයාගේ යාළුවෝ හැම කෙනාම වගේ මම දන්න නිසා මොනවා හරි කරන්න තිබුණා. ඒත් දිලිනිගේ යාළුවෙක් කියලා කව්රුවත්ම මම දන්නේ නෑ.

“කාවා.... අහස පොලව එකතු කරන්න වගේ කල්පනා කරන්න එපා බං. උඹ ඔහොම ඉන්නකොට අපිටත් අවුල්.”

මම කතා කළේ නැහැ.

“මේ කාවා.....”

“ම්....”

“කෙල්ල‍ කොහේ යන්න ඇද්ද?”

“දන්නෑ බං. මටත් හිතාගන්න බෑ.”

“මම නම් හිතන්නේ කෙල්ලව ගෙදර තියාගත්තොත් උඹගෙන් බේරගන්න බැරි වෙයි කියලා හිතලා ෂුවර් එකටම කොහේ හරි එක්ක යන්න ඇති. සමහර විට ඈත, ලංකාවේ කොනක ඉන්න නැන්දම්ම කෙනෙක් ළඟට යැව්වද දන්නෑ.”

“විකාර කියවන්න එපා අමිලයා. ඒව තියෙන්නේ ෆිල්ම් වල. උඹට නම් හින්දි ෆිල්ම් අජීරණයක් තියෙන්නේ.”

“කාවා... උඹට අප්සෙට්ද?” ඒ සචිත්‍ර.

“නැත්තං යකෝ....”

“හරි උඹට කෙල්ල ඉන්න තැනනේ හොයාගන්න ඕනේ.” ඒ අමිල.

“ඔව්.”

“හරි..... හරි...”

“මොකක්ද හරි?”

“හරි කියන්නේ අපි හොයමු කෙල්ලව.”

“කොහේ හොයන්නද බං. උන් පිටත් වෙලා තියෙන්නේ උදේ අටට විතර. දැන් දොළහයි. මේ වෙනකොට රටේ අනිත් කොනට වුනත් යන්න වෙලාව හරි අමිලයා.”

“උඹ බය නැතුව හිටපං... මේ රට වටේ රස්තියාදු ගහන අපේ උන්ට ඕක වැඩක්ද?”

“දැන් මොකද උඹ කරන්න යන්නේ?”

“උඹ බලාගෙන හිටපංකෝ. මම කරන දේ. අන්තිමට උඹට කෙල්ල ඉන්න තැන හොයාගන්න පුළුවන් වෙයි.”

“මේ සචියා.... උඹ හිතන්නේ කෙල්ල කොහේ යන්න ඇද්ද?”

“දෙයියෝ තමා දන්නේ බං. කෙල්ල හිතල ගිය ගමනක් වෙන්න බෑනේ. අම්මයි තාත්තයි තමයි බලෙන් කෙල්ලව කොහේ හරි නවත්තලා තියෙන්නේ.”

“කෙල්ලව ගිහාන්ට බලෙන් බන්දල දුන්නද දන්නෙත් නෑ.” ඒ අමිල.

“පව්කාර කතා කියන්න එපා යකෝ. මූ මේ අනාථ වෙලා ඉන්නවා. උඹ ආතල් දෙනවා. උඹ මොකෙක්ද බං?”

“සොරි සොරි බං හිතලා කිව්වේ නෑ.”

“අනේ වඳින්නම් අමිලයා, උඹ මේකට මැදිහත් වෙන්න එපා. අපිට කරන උදව්වක් වශයෙන් තවත් අයිඩියා නොදී කට වහගෙන හිටපං.”

සචියා කිව්වා.

“නෑ බං... මම ඇත්තටම කියන්නේ. අප කොහොම හරි ඕක හොයා ගමු.”

“එහෙනම් ඔය ෆිල්ම් වල තියෙන බහුබූත නොකියා, ප්‍රැක්ටිකලි කරන්න පුළුවන් දෙයක් කියපං.”

“පොඩ්ඩක් හිටහං.... කල්පනා කරනකං....”

“මුලින්ම කරන්න වෙන්නේ මෙයාව එක්ක යන්න පුළුවන් තැන් මොනවද කියලා හිතන එක.”

“ඉතින් ගොනෝ මම අද උදේ ඕක දැනගත්ත වෙලාවේ ඉඳලා කල්පනා කළේ ඕකම තමයි.”

“හිටපංකෝ කාවා කියනකං. අපි මුලින්ම බලමු උඹ දන්න දිලිනිගේ යාළුවෝ කව්ද කියලා විස්තරයක් ගන්න පුළුවන්. කව්ද උඹ දන්න උන්?”

“එකෙක්වත් නෑ බං. දිලිනි කීප දෙනෙක්ව හඳුන්වලා දීල තියෙනවා, ඒත් අහම්බෙන් හම්බවුන වෙලාවල් වල.”

“ඕකනේ බං කරන්න බැරි. උඹ කෙල්ලෙක්ට ලව් කරනකොට යාළුවෝ කව්ද, නෑදෑයෝ කව්ද, කින්ද මන්ද හොයල බලන්න ඕනේ.”

“දැන් කව්ද ලව් කළේ.”

“ඇයි යකෝ, පාරවල්, රෙස්ටොරන්ට්, පන්සල් පල්ලි ගානේ ඇවිද ඇවිද, දවල් විතරක් නෙවෙයි රෑ තිස්සේ උඹලා කළේ ලව් නැත්තං උලව්ද?”

“මේ අමිලයා, මම කිව්ව කියල හිතා ගනින්.... යකෝ මගේ හොඳ යාළුවෙකුට ප්‍රශ්ණයක් ‍වෙලා, මගෙන් උදව් ඉල්ලුවා. මට මොකුත් කරගන්න බැරිවුනා, දැන් කෙල්ල ඉන්න තැනක් දන්නෑ, තොපි මේ බයිලා කියනවා.”

“ඇත්තනේ කාවා මම කියන්නේ. ලව් හරි උලව් හරි උඹලා ආශ්‍රය කළානම් අඩුගානේ ප්‍රශ්ණයක් වුනාම කතා කරලා බලන්න පුළුවන් යාළුවෙක් හරි නෑදෑයෙක් හරි ඉන්න එපැයි.”

“දැන් එහෙම එකෙක් නෑ. ඒක එතනින් ඉවරයි. වෙන දෙයක් හිතපං.”

“හරි කාවා අපි මෙහෙම කරමු, ඕකට ගිහාන් සම්බන්ධ නම් ඌ දන්නවා කෙල්ල ඉන්න තැන. අපි ඌව ෆලෝ කරමු.”

“නෑ අමියලා... මම හිතන්නෑ ඌ තාම මේකට සම්බන්ධයි කියලා.”

“හරි ඒකට කමක් නෑ අපි පැණියව ඒ වැඩේට දාලා බලමු. පාඩුවක් වෙන්නෑ.”

“බලපං. ඒත් ඌට කියපං පරිස්සම් වෙන්න කියලා.”

“ඒක නෙවෙයි කාවා, අපිට බැරිද කොලෙජ් එකෙන් විස්තරයක් ගන්න.”

“කාගෙන්ද?”

“ඔය ආශ්‍රය කරපු ටීචර්ස්ලා ඉන්නවනේ. දැන් එයා ඉස්කෝලෙ එන්නේ නැත්නම් නිවාඩු දාලා ඇතිනේ. එතකොට කාට හරි කියල ඇතිනේ ඉන්නේ කොහෙද කියලා.”

“අදහසනම් හොඳයි සචියා, ඒත් කොහොමද බං රෙද්දක් ඇඳගෙන ඕක අහන්නේ. මොනව කියල කියන්නද? අනිත් එක අපි ඉස්කෝලෙවත් හිටියනම් වැඩේ කරගන්න තිබ්බා. ඒත් දැන්!”

“ඒකත් ඇත්ත. මොකද අපි කියන්නයැ අනේ ටීචර් ඊයේ කාවින්ද එක්ක හිටපු කෙල්ල ගෙදර ගියා ගියාමයි දැන් ඉන්න තැනක් නෑ කියලා. අයෙත් ඉතින් ඉස්කෝලෙ පස් පාගනවා බොරු.”

“කාවා, උඹ බය වෙන්න එපා... අපි බලමු මොනව හරි කරන්න.” 

3 comments:

  1. Replies
    1. කියෙව්වා

      තව දිගට ලියන්න වෙයි... කතාව දැන් යන්නේ බොහොම හෙමින්

      Delete