Recent Post

Thursday, July 13, 2017

සදානුස්මරණිය ප්‍රථම ප්‍රේමය ~ මේ ආදරයයි ~ 49



සදානුස්මරණිය ප්‍රථම ප්‍රේමය
මේ ආදරයයි







49.

පණ වගේ හිටපු යාළුවෝ ටික මොන තරම් උත්සහ කළත් දවස් හතරක් ගිහිල්ලත් දිලිනි ගැන කිසිම තොරතුරක් හොයාගන්න බැරිවුනා.

හොයාගන්න පුළුවන් වුන එකම දේ, දිලිනිගේ අම්මයි තාත්තයි ආපහු ගෙදර ඇවිල්ල ඉන්නවා කියන එක විතරයි.

පැණියා, දිනූෂිත් එක්ක දවසට තුන් හතර වතාවක් දිලිනිගේ ගේ පැත්තේ කැරකුණත් එයා ඉන්න බවක් නම් දැකලා නැහැ.

දිලිනිගේ ෆෝන් එකත් තාමත් වැඩ නැහැ.

කෙල්ලගේ යාළුවෙක් නෑදෑයෙක් ගැන කිසිම විස්තරයකුත් අපි දන්නෑ. කාගෙන් කියල අහන්නද, කොහේ කියල හොයන්නද? මට හිත කොයි තරම් අවුල් වෙලාද කියලා මට හිතාගන්නවත් බෑ.

“කාවා, ඇයි බං උඹ ඕකට මේ තරම් අප්සෙට් ගහන්නේ.” චතුර ඇහුවා.

“ඒක තමයි කාවා. දිලිනි මිස් ගෙදර නැති බව ඇත්ත. ‍ෆෝන් එක ඕෆ් කරල බවත් ඇත්ත, කිසිම විස්තරයක් නැති බවත් ඇත්ත, හරි එහෙම කියමුකෝ. එයා නැතිවෙලා නෑනේ. දෙමව්පියන්ගේ කැමැත්තටනේ එයාව කොහේ හරි නවත්තලා තියෙන්නේ.”

“හරි උඹ මොකක්ද කියන්නේ අමිලයා?”

“මම කියන්නේ බං, ඔය කතා සේරම ඇත්ත. ඒත් උඹට ඇති අමාරුව මොකක්ද? උඹලා දෙන්නා ලව් නැත්තං උඹට තියෙන ඇම්ම මොකක්ද බං කෙල්ලව ඔච්චරම හොයන්න.”

“මේ අමිලයා, මාගෙන් කුණුහරප අහගන්න එපා. උඹලට වැඩක් නැත්නම් පැත්තකට වෙලා හිටපං. මම කාගෙන්වත් උදව් ඉල්ලුවේ නෑනේ. මම ම තනියම හොයා ගන්නම් දිලිනිව.”

“හිතට දුකයි තමයි කාවා, ඒත් යථාර්ථය තේරුම් ගනින්. උඹට කෙල්ල ගැන හොයන්න කිසිම අයිතියක් නෑ.”

“මට බණ කියන්න එපා අමිලයා. කෙල්ල එදා රෑ මට කතා කරලා එයාට ගෙදර ඉන්න බෑ, ඇවිල්ලා කොහේ හරි එක්ක යන්න කිව්වහම, මම කිව්වා උදේ වෙනකම් ඉන්න මම මොනවහරි කරන්න බලන්නම් කියලා. මට ඒක අමතක කරන්න බෑ බං. මම පොරොන්දු වුනා එයාට උදව් කරනවා කියලා.”

“මටනම් තේරෙන්නේ නෑ කාවා උඹ කරන්න යන දේ. ඒත් එකක් නම් ෂුවර්, අපි මේකෙන් කනවා කෑමක් අම්බානකට, ආයේ හත් අවුරුද්දකට ඔළුව උස්සන්න බැරි වෙන්න.”

“උඹලට බයනම් පැත්තකට වෙලා හිටපං. මගේ ප්‍රශ්නේ මම විසඳගන්නම්.”

“අන්න අන්න කාවා, එහෙම රෝන් ටෝක් දෙන්න එපා. අපි කවදද යකෝ උඹව දාලා ගියේ. අපායට යන්න වුනත් අපි එනවා.”

“ඔව් කාවා. කෙල්ලෙක් හින්දා උඹ ඔහොම මූඩ් ගහලා ඉන්න එපා. අපි හැමෝටම ඒක අවුල්. වෙනදා අපි අවුල් ගියත් උඹ කෙලින් හිටියා, අද උඹ පිස්සෙක් වගේ හැපෙනවා.”

ඔය විදිහට දවස් ගාණක් ගතවුනා. සති  දෙකක් විතර.

ඒත් දිලිනි ඉන්න තැනක් ගැන කිසිම විස්තරයක් නෑ.

එදා ඉරිදා දවසක උදේ පැණියා දුවගෙන ආවා.

“කාවා... ගුඩ් නිවුස්.”

ඌ ඒක කියනවත් එක්කම මටත් කලින් අපේ උන් ඌව වට කරගත්තා.

“මොකක්ද බං?”

“කාවා, කෙල්ල ඉන්නවා.”

“කොහෙද?”

“ගෙදර.”

“යකේ පිස්සුද, දැන් දවස් ගාණක් ගෙදර හිටියේ නෑ. අපි රට වටේම හෙව්වා. දැන් උඹ කියනවා ගෙදර ඉන්නවලු.”

“නෑ නෑ ඇත්ත බං. දිනූෂි දැකල තියෙනවා බැල්කනි එකේ ඉන්නවා. හැබැයි කෙල්ලගේ පෙනුම නම් එච්චර හොඳ නෑලු. මලමිණියක් වගේ සුදුමැලි වෙලාලු.”

“උඹ ඇත්තද කියන්නේ.?”

“ඔව් යකෝ.”

මට දැනගන්න ඕනේ වුනේ එච්චරයි. මම බයික් එක ස්ටාර්ට් කරගත්තා.

මම බයික් එකත් අරගෙන කෙලින්ම ගියා දිලිනිගේ ගේ ළගට. ගෙදර කිසි කෙනෙක් පේන්න නෑ. මොකද කරන්නේ ගේට්ටුවේ බෙල් එක ගහනවද නැත්නම් සද්ද නොකර කෙලින්ම ඇතුලට යනවද.

කෝකටත් කියලා මම පලවෙනි පාර ගේ ළඟින් බයික් එක රේස් කරලා, හෝන් එකත් ගහලා ගේ පහුකරලා කන්ද පැත්තට බයික් එක අරන් ගියා.

ඒත් කිසිම හැල හොල්මනක් නෑ.

විනාඩි පහක් විතර ඉඳලා මම ආයෙත් බයික් එක හරවගෙන ගේට් එක ළඟට ගිහිල්ලා කකුලෙන් ගේට් එක තල්ලු කළා.

ම්හු. ලොක් කරලා.

ආයෙත් මම බයික් එක කන්ද පැත්තට අරන් ගියා.

එතකොටම මම දැක්කා බැල්කනි එකේ දිලිනි ඉන්නවා. එයා මාව දැකලා වගේ.

තත්පරයක් ගියේ නෑ එයා මට අත වනලා එන්න කියලා ගේ ඇතුලට නොපෙනී ගියා.

ඕනේ මගුලක් කියලා මම බයික් එක ගේට්ටුව ළඟට අරන් ගියා.

ගේට්ටු කනු අතරින් මම යන්තමට දැක්කා දිලිනි ගෙදරට ඇඳගෙන හිටපු ගවුම පිටින්ම මිදුල හරහා දුවගෙන එනවා.

එයා ගේට්ටුව යන්තම් ඇරලා එලියට ඇවිල්ලා කතාවක් නැතුව බයික් එකට නැග්ගා.

“යමු කාවින්ද?”

“කොහේද?”

“මම දන්නෑ. තව විනාඩියක් මෙතන හිටියොත් අපි දෙන්නා අහුවෙනවා. ඉක්මන් කරන්න.”

මට තවත් කියන්න උවමනාවක් තිබුනේ නැහැ. මම කෙලින්ම කටුගස්තොට පාරට දාලා ලේවැල්ලටත් එනකම්ම දිලිනි වචනයක්වත් කතා කළේ නැහැ. මට හේත්තු වෙලා හිටියා.

මම ගඟ අයිනට ඇවිල්ලා බයික් එක නැවැත්තුවා.

දිලිනි බයෙන් වගේ වට පිට බැලුවා.

“දිලිනි බහින්න.”

එයා බැහැපු ගමන් කතාවක් නැතුව මාව බදා ගත්තා.

විනාඩි ගාණක්ම එයා කතා කලේ නැහැ. මට දැනුනා එයාගේ පපුව ගැහෙන වේගේ.

“දිලිනි... ඇයි මේ?”

“කාවින්ද මට තවත් ඒ ගෙදර ඉන්න බෑ. මාව කොහේ හරි අරන් යන්න.”

“කොහේ යන්නද දිලිනි. අනිත් එක ඔයා ගෙදර හිටපු විදිහටම මේ ආවේ.”

“මට කරන්න දෙයක් තිබුණේ නැහැ කාවින්ද. ‍සොරි ඔයා දැක්කහම මට ඉන්න තැනත් අමතක වුනා. තාත්ති මොන නීති දාල තිබුණත් ඔයාව බලන්න ඕනේ කියන හැඟීම වැඩි නිසා මම සෙරෙප්පු දෙකක් විතරක් දාගෙන දුවගෙන ආවා.”

අපි දෙන්නා ගං ඉවුරේ ඉඳ ගත්තා.

“කාවින්ද... ඔයා මං නැතුව පාළුවෙන්ද හිටියේ.”

“නැහ්.”

“අනේ.... මම නම් පිස්සු හැදිලා හිටියේ. අනිත් එක මට තරහේ බෑ. තාත්තා මාව එලියටවත් යන්න නොදී හිරකළා. මාව නුවරඑළියේ හොටෙල් එකේ තියලා තිබ්බා සති ‍තුනක්. කෝල් එකක්වත් ගන්න බෑ.”

“මම බොරු කිව්වේ දිලිනි. මට ඔයා දකින්න නැතුව ෆුල් අප්සෙට් එකේ හිටියේ. අදනම් කොහොම හරි හොයා ගන්නවා කියලා හිතාගෙනමයි ආවේ.”

“ඒ වුනාට ඔයා හරි නරකයි. ඔයාට තිබුණා මොනව හරි කරලා මට මැසේජ් එකක්වත් දෙන්න. ඔයා කොහේ ගියාද, කොහොමද හොයාගන්නේ කියලා මම හොඳටම අවුල් වෙලා හිටියේ.”

“මාව හොයාගන්න ඔයා ඒ තරම් මහන්සි වුනේ ඇයි කාවින්ද. මම වගේ කාලකණ්නි කෙල්ලෙක් ඒ තරම් වටිනවද?”

මම දෙන්න උත්තරයක් තිබුණේ නැහැ.

“කි‍යන්න කාවින්ද, ඇයි ඔයා මාව හොයන්න ඔය තරම් මහන්සි වුනේ.

“මම දන්නෑ දිලිනි. මට හිතුනා. එච්චරයි.”

“මාව ඔයා ආයෙත් අතරමං කරනවා කාවින්ද!”

 “හරි දැන් මොකද ඔයා කරන්නේ?”

“මම දන්නෑ කාවින්ද. මට කොහේවත් යන්න එපා කියලා තියෙන්නේ. අම්මි හැම වෙලාවෙම මාත් එක්කමයි. අඩුගානේ ඔයාට කෝල් එකක්වත් දෙන්න බෑ.”

“දැන් ඔයා මොකක්ද කරන්න හිතාගෙන ඉන්නේ?”

“දැන් නම් මොකුත් නෑ. මොනව වුනත් දැන් මට ආයෙත් ගෙදර යන්න නම් බෑ.”

“මොකක්. ගෙදර නොයා මොකද කරන්නේ.”

“මම දන්නෑ කාවින්ද. මට දැන් යන්න කියන්නේ ඔයාට පිස්සුද? මාව එක්ක ඇවිල්ලා දැන් කියනවා යන්නලු.”
“මමද ඔයාව එක්ක ආවේ. ඔයානේ කිසිම හෙවිල්ලක් බැලිල්ලක් නැතුව දුවගෙන ඇවිල්ලා බයික් එකට නැගලා යං කිව්වේ.”

“ඒ වුනාට ඔයාට මාව එපා නම් ඇයි එක්කගෙන ආවේ. ප්ලීස් කාවින්ද මට යන්න බෑ. මාව වෙන කොහේ හරි නවත්තන්න.”

“කොහෙද දිලිනි. අනිත් එක කී දවසකටද?”

“සදහටම.”

“පිස්සු කියවන්න එපා.”

“පිස්සු නෙවෙයි. මාව ගෙදරින් එලියට අරන් ආවනම් මාව තියාගන්නත් වෙයි.”

මේ මොන මරාලයක්ද කඩා පාත් වුනේ. දැන් ඉතින් හොයපංකෝ මෙයාට ඉන්න තැනක්. කොල්ලෙකුටනම් මොනව හරි කරන්න තිබුණා. ඒත් කෙල්ලෙකුට ඉන්න තැනක් කොහෙන් කියල හොයන්නද? අනිත් එක කෙල්ලෙක්ව ගෙදරින් පන්නගෙන ඇවිල්ලා වගේ වැඩක් මේක. මෙයාට මොකක් හරි කරදරයක් වුනොත් මම තමා මාට්ටු වෙන්නේ.

කල්පනා කරපං කාවා. කල්පනා කරපං. දැන් ඉතින් කෙල්ලව පන්නගෙන ආවානම් පරිප්පු කන්නත් ලෑස්ති වෙලා හිටපං.

මේ වගේ වෙලාවට මට උදව්වට හිටියේ එකම එක්කෙනයි. ඒත් දැන් එයත් නැහැ. දිනි නැති අඩුව දැනෙන්නේ මෙන්න මේ වෙලාවට තමයි.

“මොනවද කාවින්ද කල්පනා කරන්නේ? මාව කරදරයක් වුනා නේද?”

“පිස්සුද... මම කල්පනා කළේ කොහොමද ඔයාව මේකෙන් බේරගන්නේ කියලා.”

“මට දැන් යන්න බෑ කාවින්ද? තාත්ති මාව මරයි. නැත්නම් අදම ගිහාන්ට බන්දලා දෙයි.”

“හරි මට කියන්න දැන් ඔයා මොනව කරන්නද හිතාගෙන ඉන්නේ.”

“මම දන්නෑ කාවින්ද, මොනව වුනත් මට තව වැඩි කාලයක් නෑ. අනිවාර්යයෙන්ම මගේ කැමැත්ත බලන්නේ නැතුව මාව බන්දලා දෙයි ඉක්මනටම. මට ඒක වෙන්න දෙන්න බෑ.”

“එතකොට ඔයා දැන් ගෙදර යන්නෙ නෑ.”

“මට බෑ අනේ. ඔයා මට දවසක් පොරොන්දු වුනා මට ගෙදර ඉන්න බැරි තත්වයක් ආවොත් මාව බේරගන්නවා කියලා.”

“ඒත් දිලිනි මම කොහේද ඔයාව නවත්තන්නේ. අනිත් එක එහෙම කළත් ඔයාගේ තාත්තයි ගිහානුයි වැඩ දවසක් යන්න කලින් හොයා ගනියි ඉන්න තැන.”

“මම ඔයාගෙන් මේ වගේ උදව්වක් ඉල්ලන එක වැරදියි. ඒත් මට මගේ ප්‍රශ්ණේ කියන්නේ වෙන කවුරුවත්ම නෑ.”

“හරි ඔයාට ගෙදර යන්න බෑනේ. එන්න මම එක්ක යන්නම් ඔයාව තැනකට.”

මට මතක් වුනේ එකම එක තැනක් විතරයි. ඒ සචිනිගේ ලොකු අක්කගේ ගෙදර.

සචිනි කියන්නේ දිනිගේ හොඳම යාළුවා. ඒ වගේම මගෙත් හොඳය යාළුවෙක්. එයාගේ ලොකු අක්කා මට සලකන්නේ එයාගෙම සහෝදරයෙකුට වගේ. ඒ දෙන්නගේ ‍එෆෙයාර් එකට ගෙවල් වලින් අකමැති වෙලා තියෙනකොට මමයි සචිනියි උදව් කරලා තමයි දෙන්නට බඳින්න පුළුවන් වුනේ. සචිනිගේ අක්කා හෂිනි, 

එයාගේ මහත්තයක් එක්ක පදිංචි වෙලා හිටියේ තලවකැලේ. අයියාට අයිති තේ වතු තියෙනවා තලවකැලේ.

“මොකක්ද කාවින්ද කල්පනා කරන්නේ?”

“යන්න නම් තැනක් තියෙනවා. ඒත් ටිකක් දුරයි. අනිත් එක ඔයාට අඳින්න ඇඳුමක්වත් නෑ.
“මම පර්ස් එක ගෙනාවා කාවින්ද. මට බැන්කුවෙන් සල්ලි ගන්න පුළුවන්.”

“දැනට මගේ ළඟ සල්ලි තියනවා දිලිනි.”

“කො‍හේද යන්න හදන්නේ.”

“තලවකැලේ. මගේ යාළුවෙක් ඉන්නවා එයාගේ වයිෆ් එක්ක. එයාට තේ වතු තියෙනවා තලවකැලේ.”

“මේ දැන්ම යනවද?”

“ඔයාට හොඳටම ෂුවර්ද දිලිනි මේ ගමන යන්න ඕනේ කියලා. මොකද ගියොත් අයෙ හැරෙන්න බෑ. රිවර්ස් නැති ගමනක් අපි යන්න හදන්නේ.”

අපි ගං ඉවුරෙන් උඩට එනකොට කොල්ලෝ ටිකත් ඇවිල්ලා හිටියා. මුන් මගේ පස්සෙන්ම එන්න ඇති.

“සචියා, අපි තලවකැලේ යනවා.”

“තලවකැලේ. කොහේද?”

“අරුණ අයියගේ දිහා.”

“දෙන්නම.”

“ඔව් බං. මම විස්තර පස්සේ කියන්නම්. අම්මට පොඩි බොරුවක් කියන්න වෙනවා. උඹෙන් මොනවහරි ඇහුවොත් පොඩි බැලන්ස් එකක් දාපං.”

මම මුලින්ම කළේ හෂිනි අක්කට කතා කරලා විස්තරේ කියපු එක.

අක්කා මට හොඳටම බැන්නා. ඒත් අන්තිමට කෙල්ලව බාරගන්න කැමති වුනා.

සචියා ගරාජ් එකට ගිහින් මගේ ජීප් එක ගෙනාවා. මම ඌට බයික් එක දීල ජීප් එක ගත්තා.‍

“නගින්න දිලිනි.”

දිලිනි කතාවක් නැතුව වාහනේට නැගලා ඉඳ ගත්තා.

මම නගින්න කලින් සචියා මට කතා කළා.

“කාවා... උඹ හොඳට හිතලම නේද මේ වැඩේ කරන්නේ. මොකද පුතෝ ගියොත් ආය රිවර්ස් නැති ගමනත් උඹ මේ යන්නේ. වැඩේ පත්තු ‍වුනොත් එක්කෝ උඹට මේ ලෝකෙන් චුත වෙලාම යන්න වෙයි, නැත්නම් කෙල්ලව කර ගහන්න වෙයි.”

“ගොඩක් හිතන්න දෙයක් නෑ බං. මම දැනට කෙල්ලව නවත්තලා එනවා. පස්සේ බලනවා මොකද කරන්නේ කියලා.”

“පරිස්සමින් කාවා. මොනවා වුනත් අපි උඹට ඉන්නවා.”

“එල, ෆිට් මචං.”

5 comments:

  1. ඇති යන්තම් දාල.... ඉන්න කියවන්න

    ReplyDelete
    Replies
    1. කියෙව්වා... හ්ම්ම් හ්ම්ම්ම්ම් ඉතින් ඊට පස්සේ?

      Delete
    2. ඇයි කතාව බෝරිං වගේද? නැත්නම් විශ්වාස කරන්න අමාරුද? මේ දේවල් ඇත්තටම මෙහෙම වුනා. සිද්ධි හැම ‍එකක්ම හරියටම පෙලගස්වලා තියෙනවා. මොකද මේ හැම එකක්ම මීට කාලෙකට කලින් ලියලා තිබුණ සිද්ධින් ඩයරි එකේ.

      Delete
    3. නෑ... විස්වාස කරන්න අමාරු නැහැ. මම කිව්වේ කුතුහලේ නිසා කාවා!

      Delete
  2. යකුනේ දැන්වත් හිතේ තියෙන්නෙ ආදරේ කියලා පිලිගනින්කො.

    ReplyDelete