Recent Post

Friday, July 14, 2017

සදානුස්මරණිය ප්‍රථම ප්‍රේමය ~ මේ ආදරයයි ~ 50




සදානුස්මරණිය ප්‍රථම ප්‍රේමය
මේ ආදරයයි




50.

නුවර ඉඳලා සෑහෙන දුරක් එනකං දිලිනි කළේ මගේ අත අල්ලගෙන හිටපු එක විතරයි.

වෙලාව රෑ හතට කිට්ටුයි.

දැන් නම් දිලිනිව ගෙදර අය හොයනවා ඇති. ඒ නිසා පුළුවන් තරම් ඉක්මනට යන එක තමයි හොඳ.

දිලිනිත් බය වෙලා වගේ. කිසිම කතාවක් නෑ.

“ඔයා බයද දිලිනි?”

“ඔව් කාවින්ද. දැන් නම් මාව හොයනවා ඇති. මට බයයි තාත්ති දැනටමත් පොලිසියට ගිහිල්ලා ඇති කියලාඑහෙම වුනොත් අපි අහුවෙයිද?”

“නෑ මම හිතන්නෑ පොලිසිය එච්චර ඉක්මනට වැඩ කරයි කියලා. කොහොම වුනත් තව පැයක් ඇතුලත අපිට තලවකැලේට යන්න පුළුවන්. එතනින් පස්සේ බය නෑ. ඩයගම පාරේ ඇතුලට යන්න තියෙන්නේ. ඒ හරියේ මගේ යාළුවාගේ බල ප්‍රදේශය.”

දිලිනි හිනා වුනා. ඒත් ඒක වෙනද හිනා වෙන ලස්සන හිනාව නෙවෙයි.

“මේ දවස් ටිකට ඔයා වෙනස් වෙලා දිලිනි. කෙට්ටු වෙලා, සුදුමැලි වෙලා.”

“මට ජීවත් වෙන එකත් එපා වෙලා තිබුණේ කාවින්ද. ඇත්තටම මට ජීවත් වෙන්න හේතුවක් නැතිවුනා. අද ඔයාව දැක්කට පස්සේ තමයි ටිකක් හරි හිතට හයියක් ආවේ.”

කතාවෙන් කතාවෙන් අපි තලවකැලේ ටවුන් එකට රෑ අට වෙනකොට ආවා. එතනින් ඩයගම පාරේ හැරිලා කිලෝ මීටර් නවයක් යන්න ඕනේ.

“හරිම සීතලයි කාවින්ද?”

“ඔව් ඉතින් ගෙදර හිටපු විදිහටනේ අපි දෙන්නම ආවේ. ටී ෂර්ට් එකක් විතරක් ඇඳලා තලවකැලේ යන්නේ මොන මෝඩයද?”

“ඇඳුමක්වත් ගන්න තැනක් නෑනෙ කාවින්ද මේ හරියේ.”

“ආ ඒකට නුවරඑලියේ ටවුන් එකට යන්න වෙනවා. අවුලක් නෑ අපි හෂිනි අක්කගෙන් ඇඳුමක් ඉල්ලගමු.”

අපි තලවකැලේ ටවුන් එකෙන් හැරිලා ගෙදර එනකොට නවයයි.

හෂිනි අක්කයි, අරුණ අයියයි දෙන්නම අපි එනකම්ම බලාගෙන ඉඳලා.

දිලිනි වාහනෙන් බැස්ස ගමන් හෂිනි අක්කා ඇවිල්ලා බදාගෙන ඉම්බා.

ඊට පස්සේ මගේ දිහා කන්න වගේ බලාගෙන හිටියා.

“මොකද හලෝ...”

“නෑ මල්ලියාගේ වැඩ නරක නෑ..... කොහෙන්ද කෙල්ල හොයාගත්තේ.”

“ඇයි... මොකද?”

“නෑ තේරීම නම් නියමයි. කොහෙන්ද හලෝ මෙච්චර ලස්සන අහිංසක කෙල්ලෙක්ව දැලේ දාගත්තේ.”

“මම දාගත්ත දැලක් නෑ අක්කේ. මේ අනිත් එක දිලිනිට ඇහෙයි.”

“යං මල්ලි ගෙට.”

අරුණ අයියා මගේ කරට අත දාගත්තා.

“දැන් මොකද බං කරන්න යන්නේ.”

“මේක දිග කතාවක් අයියේ. මම පස්සේ කියන්නම් හැම දෙයක්ම. ප්ලීස් දවස් කීපයක් මෙයාව තියාගන්න.”

“උඹ?”

“මට ඉන්න බෑ. මම යනවා.”

“මේ රෑ යන්න එපා. හෙට උදේම පලයං.”

“බෑ අයියේ. දැන් ගියොත් වැඩේ ෂේප්.”

“නෑ නෑ දැන් කොහේවත් යන්නෑ. අද ඉඳලා හෙට යන්න. මම දෙන්නටම කාමර දෙකක් ලෑස්ති කළා. දැන් කාල නිදා ගන්න.”

අක්කා දිලිනිගේ කාමරේ පෙන්නුවා. මට මගේ කාමරේ පෙන්නුවා.

ඒ වෙලාවේ දිලිනි මගේ දිහා දුකෙන් බලාගෙන හිටියා.

එයා මට ලං වෙලා රහසින් කතාකළා.

“කාවින්ද. මගේ ළඟ ටිකක් ඉඳලා යන්න. මට තනියම ඉන්න පාළුයි.”

වැඩේ ඉවෙන් වගේ තේරිලා අක්කා කතා කලා.

“දෙන්නට කතා කරගන්නත් දේවල් ඇතිනේ, අපි කෑම ලෑස්ති කරනකං දෙන්නා වොෂ් එකක් දාගෙන එන්න. දිලිනිගේ කාමරේ ඇටෑච් බාත්රූම් එකක් තතියෙනවා. මම ටවල් තියලා ඇති. නංගි ඔයාට මම ඇඳුමකුයි ස්වෙටර් එකකුයි තියලා තියෙනවා.”

අපි දෙන්නා කාමරේට ගියා. ඇතුල් වුන ගමන් දිලිනි මාව බදා ගත්තා.

“තෑන්ක්ස් කාවින්ද හැම දේකටම.”

“අයියෝ ඒක පොඩි දෙයක්.”

“ඔයාට පොඩි වුනාට මට ලොකුයි කාවින්ද. මේක මගේ ජීවිතේ ගැන ප්‍රශ්ණයක්.”

“දැන් ඔය කතා නවත්තන්න. කියන්න මොනවද ඔයාට හිතෙන්නේ. බයද?”

“ඔයා ළඟ ඉන්නකොට නෑ.”

“එහෙනම්.”

“මට හිතෙනවා....”

“මොකක්ද?”

“නෑ මොකුත් නෑ.”

“කියන්න.”

“මතකද අපි දෙන්නා එදා රෑ..... මගේ රූම් එකේ.”

“ඔව්.”

“මට ආසයි ආයෙත් දවසක ඒ වගේ ඉන්න.”

අපි දෙන්නා ඇ‍‍ඳේ වාඩි වුනා.

මම දිලිනිගේ අත අල්ල ගත්තා.

“කියන්න කාවින්ද මම මොනවද ඔයා වෙනුවෙන් කරන්න ඕනේ.”

“මේ කරන දේ හොඳටම ඇති දිලිනි.”

“ඒක නෙවෙයි මම කිව්වේ. ඔයා මේ තරම් මට උදව් කරද්දි මම මොනවද කරන්නේ? ඔයාට තේරෙන්නෑ කාවින්ද. ඔයාගේ ගතිගුණ ඉස්සරහ මම අතරමං වෙනවා. අඩුගාණේ මං ඔයා ගැන හිතන්න ඕනේ මොන විදිහටද කියලවත් මම දන්නෑ.”

“මොනවත් හිතන්න ඕනේ නෑ.”

“එහෙම බෑ අනේ..... මට දැනගන්න ඕනේ අපි දෙන්නගේ මේ සම්බන්දෙට කියනනේ මොකක්ද කියලා.”

“ඔයාමනේ මට කිව්වේ ඒක හොයන්න එපා කියලා.”

“ඔව් කාවින්ද.... ඒත් අනේ මට දැන් ඒක දරා ගන්න බෑ.”

දිලිනි තවත් මට ලං වුනා. අපි දෙන්නගේ පපුව ගැහෙන සද්දේ දෙන්නට ඇහෙනවා.

දිලිනි මූණ උඩට හරවලා මගේ දිහාම බලාගෙන ඉන්නවා. ආයෙත් සැරයක් ඒ නිල් පාට දිලිසෙන ඇස් මාව අතරමං කළා. ඒ ඇස් දිහා බලාගෙන ඉන්න බැරි තරම් දිලිසෙනවා.

මම දිලිනිව තවත් ලං කර ගත්තා.

තත්පරයක් ගියේ නෑ දිලිනි අඬන්න පටන් ගත්තා.

“ඇයි?”

“මට බෑ දෙයියනේ මේක තවත් කරන්න.”.

“මොනවද?”

“මට බෑ කාවින්ද මේ දුක තවත් හිතේ තියාගෙන ඉන්න. මාව පිච්චිලා යයි. ඇයි දෙවියනේ මාව මේ තරම් අඬවන්නේ. වයි ලෝඩ් වයි?”

මම කවදාවත් දැකලා තිබුනේ නෑ දිලිනි ඒ වගේ අඬනවා.

“ඔයා ගිහාන් ගැන ඒ තරම් හිතන්න එපා දිලිනි. තව කල් තියෙනවා. අනික ගිහාන්ට බෑ ඔයාව බලෙන් බඳින්න. ඔයාට උදව්වක් ඕනේ වුනොත් මමත් ඉන්නවා මේ අද ඉන්නවා වගේම.”

“බෑ කාවින්ද, මට බෑ තවත් ඔයාව මේ අමාරුවේ දාන්න. ඔයා මේ විදිහට මාත් එක්ක ඉඳලා කවදාහරි ඔයාට කෙල්ලෙක්වත් හොයා ගන්න බැරිවෙයි බදින්න. මුළු ලංකාවම දැනගනියි අපි දෙන්නා හිටපු විදිහ.”

 “දිලිනි... ඔයා මං ගැන මොනවද හිතන්නේ?”

ගොඩක් කාලෙක ඉඳන් හිතේ තිබුණ ප්‍රශ්ණයක් නොදැනීම මගේ කටින් පිටවුනා.

 දිලිනි ටිකක් වෙලා කල්පනා කළා.

“මොකුත් නෑ කාවින්ද? මට ඔයා ගැන හිතන්න කිසිම දෙයක් නෑ.”

“ඒ කියන්නේ ඔයාට මගෙන් වැඩක් නෑ.”

“නෑ කාවින්ද ඒකේ තේරුම ඔයා ගැන හැම දෙයක්ම මම හිතලා ඉවරයි. ආයෙ අලුතින් හිතන්න දෙයක් ඉතුරු වෙලා නෑ.”

“කවදාහරි ඔයාව මැරි කරන ගර්ල් පුදුම වාසනාවන්ත වෙයි.”

“දැන් අඬන්න එපා. අපි යමු කෑම කන්න.”

“බෑ කාවින්ද? මට තව ටිකක් ඔයා ළඟ ඉන්න ඕනේ. සමහර විට අපි දෙන්නා මේ විදිහට ඉන්න අන්තිම දවස්ටික මේ වෙන්න පුළුවන්.”

“පිස්සු කෙල්ල, මොනවද මේ කියවන්නේ.”

“ඒ ගැන හිතන්න එපා කාවින්ද. එදා මම කිව්වා වගේ ඔයාට මාව අමතක කරන්න වෙනවා. නැත්නම් අහක ඉන්න ඔයත් මම නිසා දුක් විඳියි. මම දැන් හිත හදාගෙන ඉන්නේ.”

“ඔයාට බෑ මට බොරු කරන්න දිලිනි. ඔයා හිත හදාගෙන නම් ඉන්නේ මගේ කිසි ප්‍රශ්ණයක් නෑ. ඒත් ඔයා කියන්නේ තනිකරම බොරු කියලා මට පේනවා.”

“අනේ කාවින්ද..... මාව අතාරින්න. මාව ගෙදර ගිහින් දාන්න. මම මේ දෙපාරක් නොහිතා කරපු දේ බරපතලකම මට දැන් තමා තේරෙන්නේ.”

මම දිලිනිගේ අත තදින් අල්ල ගත්තා.

“ඔයා හොඳින් කියලා මට දැනෙනකම් මම ඔයාට යන්න දෙන්නේ නෑ. සොරි මට ඒක කරන්න බෑ.”

“අනේ කාවින්ද....”

දිලිනි හයියෙන් අඬාගෙන මට හේත්තු වුනා. එයා මගේ පපුවේ ඔළුව ගහගෙන අඬන්න පටන් ගත්තා.

කෙල්ලගේ හිතේ තියෙන දුක පිට කරගන්න අඬන එක හොඳයි. ඒ නිසා මම කතාවක් නැතුව එයාව ලං කරගත්තා.

ටික වෙලාවකින් දිලිනි ආයෙත් පරණ හිටපු තත්වෙටම ආවා. එයාගේ මූණේ තිබුණ සුදුමැලි පාට නැතිවෙලා මූණට ලස්සන හිනාවකා ආවා.

ටිකින් ටික එයාගේ මූඩ් එක හොඳ පැත්තට හැරුණා. දැන් ටිකකට කලින් අඬපු කෙල්ල මගේ ළඟට වෙලා හිනා වෙනවා.

“මොකද හලෝ වෙලා තියෙන්නේ. දැන් කඳුලු ඉවර වෙනකං වගේ අඬලා, පැය බාගයක් ගියේ නෑ හිනා වෙනවා.”

“ඔයා ළඟ ඉන්නකොට දවස් ගාණක් හිතේ තිබුණ දුක නැතිවුනා. මගේ බයත් නැතිවෙලා.”

“ඒ මොන පුදුම කතාවක්ද? හරිනම් දැන් තමයි බය වෙන්න ඕනේ. අපි දෙන්නා අහු ‍වුනොත් උසාවි ගිහින් තමා බේර ගන්න වෙන්නේ.”

“ඒ වුනාට මගේ හිතේ දුක දැන් නෑ කාවින්ද. ඔයා ළඟ ඉන්නකොට මගේ මූඩ් එකත් හොඳ වෙනවා.”

“දැන් මොකද එතකොට හිනා වෙන්නේ?”

“හිනා යන්නේ නැද්ද අනේ. අපි දෙන්නා කරපු පිස්සු වැඩේ මතක් වෙනකොට. කිසිම හෙවිල්ලක් බැලිල්ලක් නැතුව මම ඔයා ළඟට දුවගෙන ආවා. ඔයත් මාව අරගෙන මෙහෙට ආවා.”

“ඉතින්.”

“ඉතින් කියන්නේ.... සාමාන්‍යයෙන් මෙහෙම පැනලා යන්නේ කපල්. අපි දෙන්නාටම පිස්සු වෙන්න ඇති මේ වගේ වැඩක් කළේ.”

“වෙන්න ඇති. ඔයා එක්ක ඉන්නකොට මට පිස්සු හැදෙනවා අප්පා.”

“දැන් ඉතින් හොඳ ළමයා වගේ වොෂ් එකක් දාගන්න. මම එලියෙන් ඉන්නම්.”

“නෑ ඔහොම ඉන්න. ඔයා එක්ක ඉන්න මට බය නෑ.”

මම මහන්සියටත් එක්ක ඇ‍‍ඳේ හාන්සි වුනා.

මම හිතන්නේ මට විනාඩි කීපයක් නින්ද යන්න ඇති. සීතල අතකින් මගේ මූණ අතගානවා දැනිලා මම ඇහැරුණා.

ඒත් එක්කම කණ ළඟ කොදූරනවා ඇහුනා.

“නිදිමතයා, නැගිටිනවා. මේ නිදාගන්න වෙලාවක්ද?”

දිලිනි මගේ කනට කොඳුරනවා.

මම නැගිට්ටා.

කෙල්ල නාලා. තෙත කොන්ඩේ වතුර බේරෙනවා. ලස්සන ‍ලා නිල් පාට ටවල් එකකින් කොන්ඩේ පිහදාන ගමන් අර නිල් කැට වගේ ඇස් වලින් මගේ මූනට එබුනා.

“කරදර නොකර යනවා හලෝ. පැය තුනක් විතර එක දිගට ඩ්‍රයිව් කරලා මහන්සියි. කරදර නොකර නිදාගන්න දෙනවද?”

“බෑ..”

දිලිනි එහෙම කියන ගමන් එයාගේ කොන්ඩේ මගේ මූනට ගැසුවා.

“ඒයියා.... බලනවා.... නෑවුනානේ.....”

“ඉතින් මොකද? මගේ ඇ‍ඟේ ගෑවුන වතුර ජරාවද?”

“නෑ ගඳයි.”

“මෝඩයා.”

එයා එහෙම කියලා අතේ තිබුණ ටවල් එක මගේ මූණට දැම්මා.

“අ‍පෝ.... මට මොන ලෙඩ බෝවෙයිද දන්නෑ.....”

“මොකද ඒ. හරිම නරකයි.”

“නෑ ඉතින් ඔය ටවල් එකේ ඇ‍ඟේ තිබුණ මේකප් ටික ඔක්කොම ඇතිනේ. කෙල්ලන්ගේ ඇඟවල් වලට හරිගියාට අපේ ඇඟවල් වලට ඔය මේකප් විස වෙයි.”

“මම මේකප් දාලා නෑ හලෝ.... මම නාලා ඉන්නේ.... ඇයි මේකප් නැතුව මම කැතද?”

එයා ටවල් එක මගේ මූණට තවත් තද කළා.

“නෑ නෑ... කැත නෑ... ලස්සනේ බෑ.....”

“අන්න එහෙම කියන්න....”

එයා තවත් ටවල් එකක් අරන් කොන්ඩේ බැඳගන්න ගමන් කිව්වා.

“යනවා නා ගන්නවා හඩ්ඩා.”

“නාන්නේ කොහොමද.... රූම් එකේ තිබ්බ ටවල් දෙකම මෙයා පාවිච්චි කරලනේ. නාලා ඇඟ පිහදාන්න එකයි, කොන්ඩේ බැඳ ගන්න එකක්.”

“ඇයි කැතයි වගේද මම පාවිච්චි කරපු ටවල් එක ගන්න. ඉන්නකෝ මම හෂිනි අක්කට කියලා තව එකක් ගෙනත් දෙන්න.”

“නෑ එපා.. කෝ දෙනවා ඕක.”

මම එයාගේ අතේ තිබුණ ටවල් එක උදුරගෙන නාන කාමරේට යන්න හැරුනා.

“හොඳ බබා.”

දිලිනි ඇහෙන නෑ‍හෙන ගානට කිව්වා.

“ඉන්නවකෝ මම නාලා ඇවිත් අල්ලගන්නම්.”

“මම ආසාවෙන් තමයි ඉන්නේ මාව අල්ලගන්නකම්.”

“බලාගෙන් ඉන්නවා. මම අල්ලයි.”

“අනේ කාවින්ද මට සවුත්තුවට හිනාවුනොත් නම් මම ගහනවා සත්තයි.”

එයා කොට්ටයක් ගත්තා. මම ඉක්මනට බාත්රූම් එකට පැන ගත්තා.

රස්නේ වතුර නෑවත් එලියට ආවහම සීතලයි.

දිලිනිට නම් හෂිනි අක්කගේ ඇඳුම් දුන්න නිසා, හොඳට ඇඳගෙන හිනා වෙවී ඉන්නවා. මට තිබුණ ටී ෂර්ට් එක විතරයි.

“මොකද කාවින්ද සීතලද? එන්න මම බදාගන්න.”

එහෙම කියලා දිලිනි මාව බදා ගත්තා.

එතකොටම ‍හෂිනි අක්කා දොරට තට්ටු කළා.

“මේ හලෝ... හනිමුන් කපල් එක මුලින් කාල ඉමු නේද? අපිටත් බඩගිනියි.”

“අක්කේ එන්න.” දිලිනි මගෙන් ඈත් වෙන ගමන් කිව්වා.

“මල්ලි යමු කාලා ඉන්න.”

6 comments:

  1. මොකද හිතන්නේ.... කාවා වැරදිද?

    ReplyDelete
    Replies
    1. වැරදියි නෙවෙයි... කපටියි

      Delete
  2. First he need to figure out this relationship. මුන් දෙන්නගෙම කපටිකම මේක කතා කරල විසඳගන්නෙ නැති එක

    ReplyDelete
  3. //මට දැනගන්න ඕනේ අපි දෙන්නගේ මේ සම්බන්දෙට කියනනේ මොකක්ද කියලා//

    අම්මපා මටත් දැනගන්න ඕනෙ ඒකම තමයි බං......

    ReplyDelete
  4. ඉන්න කියෝලා බලන්න. ඇයි කලින් කමෙන්ට් වලට උත්තර දෙන්නේ නැත්තේ?

    ReplyDelete
    Replies
    1. මොනව හරි ප්‍රශ්ණයන් අහල තිබ්බ හැම දේකටමනම් මම උත්තර දුන්නා. මොනවටද උත්තර දෙන්න මට මගහැරුනේ?

      Delete