Recent Post

Wednesday, July 26, 2017

සදානුස්මරණිය ප්‍රථම ප්‍රේමය ~ මේ ආදරයයි ~ 65



සදානුස්මරණිය ප්‍රථම ප්‍රේමය


මේ ආදරයයි



65.

එදා ඉඳලා මම ජීවත් වුනේ කොහොමද කියලා මම දන්නේ නෑ.

මට හැම දෙයක්ම එපා වුනා. දිලිනි හොයාගන්න බැරිවුනා නම් කවදාහරි හොයාගන්න පුළුවන් වෙයි කියන බලාපොරොත්තුවෙන් ජීවත් වෙන්න තිබ්බා. ඒත් දැන් එයා කෙලින්ම මට කිව්වා එයා ආයෙත් එන්නේ නෑ කියලා.

මට මේක දරාගන්න පුළුවන් වුනේ නෑ.

මම හිටපු තත්වේ දැකලා සචියා විතරක් නෙවෙයි යාළුවෝ හැමෝම බය වුනා මට ඇත්තටම මානසික ලෙඩක් හැදෙයි කියලා.

මොන දේ වුනත් මම ගෙදරදි සාමාන්‍ය විදිහට ඉන්න බැලුවා. ඒක දිගටම කරන්න අමාරු නිසා මම ගෙදර එන එක අඩු කරන්න පටන් ගත්තා. ගොඩක් වෙලාවට මම එරංග අයියගේ රෙස්ට් එකට ගියා. නැත්නම් වැඩ ඉවර වෙලා ගරාජ් එකේම නිදා ගත්තා.

ඒකත් එක දිගටම කරන්න බැරි බව තේරුණේ අම්මා මගේ වෙනස දැකලා තිබුණ නිසා.

අම්මා මගේ ඒ ලෙවල් ලකුණු බලලා කැම්පස් එකට ඇප්ලයි කළා. රජරට කැම්පස් එක. මමත් ඒකට කැමැත්තෙන්ම අත්සන් කළේ ඒ වගේ ඈතට ගිහිල්ලා හරි මේ පරිසරයෙන් ගැලවෙන්න. කැම්පස් ගියා කියලා ඉගෙන ගන්න නම් බෑ. ඒත් අවුරුද්දක් දෙකක් ගෙදරින් ඈත් වෙලා ඉන්න පුළුවන් කියලා හිතලා මම ඒකට කැමති වුනා.

ඒත් ඒ අවුරුද්දේ කැම්පස් ගන්න මාස ගාණක් පරක්කු වෙනවා කියලා දැනුම් දුන්න නිසා අම්මා මට කම්පියුටර් කෝස් එකක් කරන්න බල කළා.

මට දිලිනි එදා කියපු වචන මගේ ඔළුවේ තාම දෝංකාර දෙනවා. ඒ නිසා මට නිවනක් තිබුණේ නෑ. වෙලාවකට මට හිතුනා කඩුගන්නාවේ පොඩි සාදු ළඟට ගිහිල්ලා මහණ වෙන්න. දෙපාරක් විතර ඒ අරමුණින් පන්සලට ගියත් පොඩි සාදු මාව ආපහු එව්වේ, කලකීරීම නිසා මහණ නොවී හිත සුවපත් කරගත්තට පස්සේ හිතලා බලලා කැමතිනම් මහණවෙන්න කියලා.

ඊට පස්සේ මම ඒ අදහසත් අතහැර ගත්තා.

අම්මා කට කැඩෙනකම් කිව්ව නිසා, ඕනෙ දෙයක් වෙන්න කියලා හිතාගෙන මම කම්පියුටර් ක්ලාස් එකකට ඇතුල් වුනා. මාත් එක්ක හැමදාම වගේ අපේ සෙට් එකම ක්ලාස් ආවා.

“අන්තිමට උඹ ආව එකනම් හොඳයි කාවා. හැබැයි මේ ක්ලාස් එකේදි නම් වලි දාගන්න ලෑස්ති වෙන්න එපා. අපිට වඩා සීනියර් සෙට් එකක් ඉන්නේ.. උන් මදාවි සෙට් එකක් වගේ.... පරිස්සමින්... මේ දවස් වල ළඟින් ගියත් උඹට වලියක් සෙට් වෙනවනේ.”

සචියා කිව්වා.

ඇයි උන් උඹලට පාට් දානවද? මටනම් මොනව හරි කිව්වොත් ඉතින් මේ දවස්වල මම මරාගෙන මැරෙන් ගේමට එන්ටර් වෙනවා. අර කෙල්ල නැති වුනාට පස්සේ මට උලත් එකයි පිළත් එකයි.

කතාවෙන් කතාවෙන් අපි ක්ලාස් එකටත් ආවා.

ඒක කම්පියුටර් ක්ලාස් එකක් වුනාට ප්‍රැක්ටිකල් තියෙන්නේ සතියට දවස් දෙකයි. අනිත් වෙලාවට පන්ති කාමරේම තමයි.

හොඳ වෙලාවට පන්ති තිබුණේ කොනටම වෙන්න තිබුණ බිල්ඩින් එකේ. හදිසියකට රේල් පාරට පැනලා මාරු වෙන්න පුළුවන්.

“මොකද කාවා උඹ රේල් පාර දිහා බලාගෙන කරන්නේ.”

නෑ බං මම මේ බැලුවේ වැටේ කැඩිච්ච තැනක්. හදිසි අවශ්‍යතාවකදී පැන ගන්න.

“ඉස්කෝලේ වගේ මෙහේ බෑ හරි. එහේ වගේ නෙවෙයි අපි මෙහේ ඉගෙන ගන්නේ පට්ට ගාණක් ගෙවලා. සෙටිෆිකට් එක ගන්න බැරි වුනොත් ගෙදරන් කණ පුරවලා අහගන්න වෙනවා.”

සචියා බණ කියනවා.

අනිත් එක කාවා මේ ක්ලාස් එකේ ඉන්නවා පට්ටම ලස්සන එල කිරි කෙල්ලෙක්.. උඹ ඒ කෙල්ලට නම් ට්‍රයි කරන්නවත් හිතන්න එපා.”

දිලිප් කිව්වා.

“මට කෙල්ලෝ එපා වුනා බං. අර කෙල්ල නැති වුනාට පස්සේ මට කෙල්ලෝ එපාම එපා.”

“ඒක හොඳයි... අපිටත් දෙයියනේ කියලා වැඩක් කරගන්න දීපං.. නැත්තං උඹ ඒකටත් බැල්ම දාලා අපි අනාථ වෙයි.”

අපි පන්තිය ඇතුලට යනකොට කොල්ලෝ හතර පස් දෙනෙකුයි, කෙල්ලෝ කීප දෙනෙකුයි හිටියා.”

“ඔය ඉස්සරහම ඉන්න කෙල්ලට මම ට්‍රයි හරිද.. උඹ බලන්නවත් එපා.”

දිලිප් කිව්වා.

මම කොකටත් කියලා ආයෙත් වතාවක් ඒ කෙල්ල දිහා බැලුවා.

මාව දැකලා එයාට ලස්සන හිනාවක් ගියා.

“සමාධි...” මට කියවුනා.

“කාවින්ද.... වට සප්‍රයිස්...!”

එතකොටයි මම දැක්කේ අපේ සෙට් එක මහපාරේ මහදවල් හොල්මනක් දැක්කා වගේ මගේ දිහා බලනවා. දිලිප්ගේ ඇස් දෙක පිටට පනින්න වගේ...

“ඔයා මේ ක්ලාස් එකට කලින් ආවේ නෑ නේද කාවින්ද? ටේක් එ සීට්”

සමාධි කිව්වා.

 මමත් අපේ එවුන්ව ගණන් ගන්නේ නැතුව සමාධිට එහා පැත්තේ තිබුණ සීට් එකේ ඉඳ ගත්තා.

සමාධි කියන්නේ දිනිගේ හොඳම යාළුවෝ දෙන්නගෙන් කෙනෙක්.

“නෑ සමාධි. පහුගිය කාලේ ටිකක් ගෙදරට වෙලා හිටියා. අම්මගේ කරදරේ නිසා අප්පා මේකටත් ආවේ.”

“මමත් පාළුවෙන් ඉන්නේ කාවින්ද. අම්මයි තාත්තායි මායි විතරයි. අක්කි දැන් ඇමරිකාවේ සෙට්ල් වෙලා අයියත් එක්කම. දැන් ඒ දෙන්නට බබෙකුත් ඉන්නවා. අන්තිමට දිනිත් නැතිවුන එකෙන් මට පාඩු වුනා. යාළුවෙක්වත් නැති වුනා.”

“යන දවසේ මම දිනිව බලන්න ගියා සමාධි.”

“කෙල්ල ගියේ ලොකු දුකකින් කාවින්ද. මොකද එයා කිව්වේ?”

“ඒවා කතා කරලා දැන් වැඩක් නෑ සමාධි. එයා ඔයාගේ හොඳම යාළුවා වගේම මගේ නංගි වගේ. පොඩි කාලේ ඉඳලම අපි හිටියේ එකට. ඒක මටත් පාඩුවක්.”

“දිනි යන්න කලින් මාව හම්බවුනා. එයා හිටියේ ගොඩක් දුකෙන්. ඔයා දන්නවද එයා ගොඩක් බයවුනා ඔයා පිස්සු නටයි කියලා. දිනි හිතාගෙන හිටියේ ඔයාව බලාගන්න එක එයාගේ වගකීමක් වගේ. ඒත් අපි වෙලාවකට විහිලුත් කළා, දිනි ඔයාගේ අම්මා කියලා.”

“අපි කතා කරමු පස්සේ. මම පස්සට යන්නද, දැන් පන්ති පටන් ගන්න  වෙලාව හරි.”

එහෙම කියලා මම පිටිපස්ස බැලුවා. අපේ උන්ගේ මූණු දැක්කම මට ඇත්තටම හිනා යන්න ආවා.
“අනේ. එතන කට්ටිය ඉන්නවනේ... ඔයා අදට මගේ එක්ක ඉන්න, මගේ යාළුවෝ දෙන්නත් අද ඇවිල්ලා නෑ.... මටත් කම්මැලියි.”

මම ආයෙත් පිටිපස්ස බැලුවා.

දිලීප් මට අතින් කියනවා වරෙන් යකෝ කියලා. මම කෝකටත් කියලා නැගිට්ටා.

එතකොට සමාධි මගේ අතින් අල්ලගත්තා.

“අනේ කාවින්ද ඉන්න.”

කෙල්ල මගෙ අතින් අල්ල ගන්නවා දැකලා දිලිප් ගේ කට හොඳටම ඇරුණා. ඌ හිත ඇතුලෙන් මට හොඳ සිංහලෙන් බණිනවා ඇති.

ඌ එක එක විදිහට කට හද හද මට බණිනවා, සද්ද නැතුව.

ඒත් එක්කම තව කොල්ලෝ හතර දෙනෙක් පන්තියට ආවා. උන් ආපු ගමන් මගේ දිහාත් සමාධි දිහාත් මාරුවෙන් මාරුවට බැලුවා. එතකොටයි මට තේරුනේ ඒ වෙනකොටත් සමාධි මගේ අත අත්තගෙන කියලා.

අපේ උනුත් බය වෙලා වගේ බලාගෙන ඉන්නවා.

සමාධි මගේ අතින් අල්ලලා ආයෙත් එතනින් ඉන්දවගත්තා‍.

මමත් කරන්න දෙයක් නැති නිසා ඉඳගෙන පොත එලියට ගත්තා

අර කොල්ලෝ හකර දෙනත් මට රව රව ඉඳ ගත්තා.

ටිකකින් මගේ පස්සේ පේලියේ හිටපු කෙල්ලෙක් ගුලි කරපු කොළ කෑල්ලක් මට දුන්නා. “අයියේ පිටිපස්සේ අයියලා මේක මට දුන්නේ.”

‘බූරුවා, මිත්‍ර ද්‍රෝහියා, රට හරකා, නරියා, බලු කොටියා.... ඌරා.... මං තෝව මරණවා.’ ඒකේ ලියලා තිබුණා.
එතකොටම ලෙක්චර් එක පටන් ගත්තා.

‍පැය දෙකකට විතර පස්සේ අපිට පොඩි විවේකයක් දුන්නා.

මම සමාධිට කතා කරලා අපේ උන් එක්ක එලියට ආවා.

“උඹ නම් වැඩක නෑ කාවා...” දිලිප් කිව්වා.

“ඇයි බං..?”

“අපි දෙයියනේ කියලා කෙල්ලෙක් දිහා බැලුවොත් ඒකි උඹත් එක්ක සෙටි වෙනවා. ඉස්කෝලේ ඉන්නකම්ම අපි මිස් දිලිනි දිහා බල බල හිටියා... වැඩක් නෑ... උඹට සෙට් වුනා... ඊට පස්සේ අර 400 කරන කෙල්ල... දැන් මෙයා. උඹට තමා දැන් පැණියගේ නම රෙජිස්ටර් කරන්න වෙන්නේ.”

“ඇයි බං...”

“යකෝ... මම ආපු ගමන් කිව්වේ අර කෙල්ල ගැන තමයි.... උඹ මෙලෝ චාරයක් නැතුව ගිහින් ඒකි ළඟම ඉඳගෙන අතින් අල්ල ගත්තේ.”

“උඹ ඒ කෙල්ලට ට්‍රයි කරනවා කියලා මම දන්නවද... අනික සචියා කිව්වේ නැද්ද ඒ කව්ද කියලා?”

“නෑ... ඌත් දන්නවද කෙල්ලව?”

“යකෝ... ඒ කෙල්ලගේ නම සමාධි... දිනි ව උඹ දන්නවා නේද..? අන්න ඒ දිනිගේ හොඳම යාළුවෝ දෙන්නගෙන් එක්කෙනක්.”

“ඉතින් බං අර බූරුවා ඒ කෙල්ලව දන්නෑ වගේ හිටියේ... කිව්වනම් කලින්ම සෙට් කරගන්නවනේ.”

“ඌට සමහර විට මතක නැතුව ඇති. සමාධිටත් ඌව මතක නෑ. කොහෙද ඌ කෙල්ලෙක් ළඟ ඉද්දි උණ ගැනෙනවනේ.”

“ඉතින් බං.... උඹ දන්නවනම් මට සෙට් කරල දියංකෝ....”

“අම්මේ මට නම් බෑ... උඹම කරගන්න දෙයක් කරගනින්. හැබැයි වැඩක් වෙන්නේ නෑ.”

“යකෝ එහෙම හිත කඩා‍ගෙන යන කතා කියන්න එපා. නන්නත්තාර වෙනවා බං.”

“යකෝ... උඹ කොච්චර ට්‍රයි කළත් වැඩක නෑ බං. ‍සමාධිගේ කොල්ලා ඉන්නේ ඇමරිකාවේ... උන් මම හිතන්නේ දැනටමත් එන්ගේජ් වෙලා ඉන්නේ”

“මේක මාර අසාධාරණ ලෝකයක් බං. අපි තොප්පි කඩයක් දැම්මොත් ළමයි ඉපදෙන්නේ ඔළු නැතුව. උඹට වගේ කෙල්ලෝ ඉන්න උන්ට දෙතුන් දෙනා ඉන්නවා... නැති අපිට එකෙක්වත් නෑ.”

“විකාර කියවන්න එපා බං. මට කෙල්ලෝ දෙතුන් දෙනෙක් නෑ. දැන් ඔය මගුල අමතක කරලා වරෙන් තේකක් බොන්න යන්න.”

මම එහෙම කියනකොට සමාධිත් එතන.

“මේ කොල්ලෝ ටික හරිම නරකයි... මාව දාලා ‍‍තේ බොන්න යන්න... මට බඩගිනිද කියලා බැලුවෙවත් නෑ.”
සමාධි කිව්වා.

මම දැක්කා දිලිප් ඇඹරෙනවා.

මෙයත් මාව මාර අමාරුවක තමා දාන්නේ. දැන් මං මුන් හය දෙනාව හලලා සමාධි එක්ක කොහොමද තේ බොන්න යන්නේ. අපි ඔක්කොම ගියොත් මගේ කාඩ් කුඩු වෙනවා සිකුරුයි. ඇයි මුන් සාගත හමුදාව වගේ කඩේ තියෙන ඔක්කොම කාලා දාපුවාම බිල ගෙවන්න වෙන්නේ සමාධිට තමයි. මගේ අතෙත් මේ දවස් වල සල්ලි නෑ.

“මොනවද කාවින්ද කල්පනා කරන්නේ? යාළුවොත් එක්කම යමු.”

“මොනව හරි කාලා එමු. වරෙන් බං...”

මම කිව්වා.

අමිලයා උගේ විශ්ලේෂණය පටන් ගත්තා.

“කාවා... චූටියගේ කඩේ නම් වැඩක් නෑ බං. පරණ වෙච්ච මාළු පානුයි, මෙලෝ රහක් නැති බිත්තර එකකින් රොටි තුනක් වත් දාන බිත්තර රොටියි, පරාක්‍රමබාහු රජතුමාගේ කාලේ ඉඳළා තිබුණ ගල් බනිසුයි තමා ඇත්තේ. පුරා විද්‍යා එකෙන් ආවොත් ඔය කඩේ එතිහාසික උරුමයක් කියලා නම් කරනවා.”

අමිල කියපු එකට සමාධි කට වහගෙන හිනා ‍වෙනවා.

“අද බිල ගෙවන්නේ මම. එහෙනම අයියා කියන්‍නකෝ හොඳ තැනක්.”

“අන්න එහෙම එන්න නංගී. අපේ කාවා ඉඳලා ඉඳලා හොඳ වැදගත් කෙල්ලෙක් එක්ක සෙට් වුනාමයි මේ.”

අමිල ආයෙත් කිව්වා.

මුන්ට කන්න දෙනවනම් මොකා වුනත් හොඳ වැදගත්.

“උඹලගේ බඩේ ඉඩ කොච්චර තිබ්බත් වැඩක් නෑ, චාරයක් ඇතුව මගේ කාඩ් කුඩු කරන්නේ නැතුව ගාණට කාපං හරිද.”

“අපිට උඹත් එක්ක කතා නෑ. මේ නංගි අපි එක්ක යන්නම්.”‍

ෂිහ්... අම්මපා මුන් නම් මොන නැකතකින් ඉපදුන උන්ද මන්දා.... අද සමාධි ගාව රුපියල් දාහක්වත් තිබුනේ නැත්තං අනාථයි.

මම සමාධිගේ කණට ලං කරලා කතා කළා.

“සමාධි.. ඇත්තටම ඔයා ගාව සල්ලි තියෙනවද? මොකද මුන් කන්න ගියාම කන්නේ සෝමාලියාවේ සාගත් සෙට් එකක් බැස්සා වගේ.”

“මං ළඟ සල්ලි තියෙනවා අයියේ. බය වෙන්න එපා. අනිත් එක ඒ අය හරි හොඳයි කියලා දිනි මට කියලා තියෙනවා.”

“ඒකනම් ඇත්ත තමා සමාධි. මුන් මට පණ වුනත් දෙයි. ඒත් ප්‍රශ්ණේ තියෙන්නේ මුන්ට කෑම දැක්කහම උන්හිටි තැන් අමතක වෙනවනේ.”

“කියන්නකෝ අයියේ හොඳ තැනක්.” සමාධි දිලිප්ට කතා කරලා ඇහුවා.

ඌ දෙකට කැපිච්ච පණුවා වගේ ඇඹරෙනවා. ඇයි දවස් ගාණක් කතා කරන්න බයේ හිටපු ඌට දැන් කෙල්ලම කතා කරනවා ගාණක් නැතුව. ඌ නිකං කලිසමේ චූ ගියා වගේ හැසිරෙන්නේ.

“සචිත්‍ර අයියේ.. යං හොඳ තැනකට.”

සමාධි ඒ සැරේ සචියගේ අතට තට්ටුවක් දාලා කිව්වා.

අප වෙනදට යන ලෑලි කඩේට නොයා අපි හොඳ පේස්ට්‍රි ෂො‍ප් එකකට ගියා.

“නංගි ඔයා අතේ තියෙන ගාණ කියන්න.. අපි ගාණට මිම්මට ඒ ගාණට හරියන්න කන්නම්. සතයක්වත් වැඩි වෙන්නෙත් නෑ අඩු වෙන්නෙත් නෑ.”

7 comments:

  1. දිලිනිත් යන්න ගියා.. දිනී ආයෙත් එයිද.. අපි බලමුනේ

    ReplyDelete
  2. ඒ පාර සමාධි...

    ReplyDelete
  3. me katawe tawa kotas kiyak witara tiyenawada.

    ReplyDelete
    Replies
    1. ඔක්කොම 100 විතර තියෙනවා.

      Delete
    2. නාකි වෙනකල් හරි, කල්ප විනාශය වෙනකල් හරි කියවන්න වෙයි වගේ

      Delete
  4. නෑ එහෙම නෑ. Interest එක අඩු කරගන්න එපා. මේ දවස් වල ටිකක් හෙමීට කතාව දාන්නේ ලියපු කොටස් ආයෙත් බලලා අනවශ්‍ය පොඩි පොඩි කතා වුන දේවල් අඩු කරලා, කතාවේ ගලාගෙන යන බව වැඩි කරලා දාන්න. අනිත් එක කතාවේ අනවශ්‍ය දිග අඩු කරන්නත් පුළුවන් ඒ විදිහට.

    ReplyDelete