Recent Post

Friday, July 07, 2017

සදානුස්මරණිය ප්‍රථම ප්‍රේමය ~ මේ ආදරයයි ~ 45




සදානුස්මරණිය ප්‍රථම ප්‍රේමය
මේ ආදරයයි






45.

පහුවෙනිදා උදේ මම නැගිටිනකොට මට ඇහුනා දීප නැන්දා ගෙදර ටෙලිෆෝන් එකට කතා කරනවා.

“කාවින්ද මහත්තයා නෑ කියල කිව්වනේ පුංචි නෝනා. ඊයේ රෑ ගෙදර ආවේ නෑ.”

දීප නැන්දා කාටද මේ උදේ පාන්දර ගල් ‍පැලෙන බොරු ඇද බාන්නේ?

කෝකටත් කියලා මම ගියා.

“කව්ද දීප නැන්දේ. කාව්ද ඔය මාව හොයන පුංචි නෝනා?”

“මේ කවුරු හරි නොම්මරේ මාරු වෙලා.”

එහෙම කියලා දීප නැන්දා ෆෝන් එක තිබ්බා.

“මට බොරු කියන්න එපා දීප නැන්දේ. එහෙනම් වැරදි නොම්මරයක් නොකියා මම ගෙදර නෑ කියලා කිව්වේ.”

“අනේ බබා, ඕවට පැටලෙන්න එපා.”

“මොනවටද?”

මම ඒක අහනකොටම ආ‍යෙත් ෆෝන් එක රින්ග් වුනා.

“බබා ඉන්න මම බලන්නම්.”

“නෑ ඕනේ නෑ.. දීප නැන්දා මට කන්න දෙයක් හදන්න, මට අම්බානක බඩගිනියි. මම බලන්නම් ෆෝන් එක.”
“හෙලෝ...”

“කාවින්ද අයියේ...”

“දිනි....”

“අඳුර ගන්න පුළුවන් වුනාද?”

“ඔයාව අඳුරගන්න මට හිතන්න ඕනේ නෑ.”

“ඉතින් අයියේ?”

“ඒක නෙවෙයි. කලින් ඔයා කතා කළාද?”

“මම?”

“ඔව්. දීප නැන්දා ආනසර් කළේ ඔයාට නෙවෙයිද?”

“ආ.... නෑ අයියේ.”

“වෙන්න බෑ. දීප නැන්දා පුංචි නෝනා කියන්නේ ඔයාට ම විතරයි.”

“අනේ අයියේ අපි ඔය කතාව අමතක කරමු. මම මාස ගාණකට පස්සේ කතා කළාම මට කොහොමද අහන්නේ නැද්ද?”

“හරි හරි... ඉතින් කියන්න. මොකද මේ දවස් වල කරන්නේ?”

“ම් ඉගෙන ගන්නවා. මම මෙහේ යුනිවර්සිටි කොලෙජ් එකකට ඇතුල් වුනා.”

“නියමයි.”

“ගෙදර කට්ටිය.”

“හොඳින්. තාත්තා ආයෙත් මෙහේ බිස්නස් පටන් ගත්තා. ඒව හොඳට යනවා.”

“ඒක නෙවෙයි දිනි... මට ඔය නැතුව කියන්න බැරි තරම් පාළුයි බබා.”

“ඇයි... මගෝඩි වැඩ කරලා මාට්ටු වුනාම බේරගන්න කෙනෙක් නැතුවද?”

“ඔව් අප්පා.”

“හොඳ වැඩේ..... දැන්වත් පිස්සු වැඩ නවත්තලා ඉන්න.”

“අයියේ... මම කතා කළේ තව දේකට.”

“ඒ මොකක්ද?”

“රිසල්ට් කොහොමද?”

“මොන?”

“ඇයි අනේ ඒ ලෙවල්.”

“අප්පට සිරි..... දිලිනි කිව්වහමයි මතක් වුනේ. අද විභාග ප්‍රතිපල එනවනේ. ගෙදර කවුරුත් සද්ද නැත්තේ මොකද?”

“ඔයා බැලුවේ නැද්ද?”

“නෑ දිනි.. තාම මෙහේ උදේ.......”

මම ‍එහෙම කියලා වෙලාව බැලුවා.

යකෝ.... මේ ගෙදර ඔරලෝසුවේ වෙලාව වැරදිද.

“ඇයි අයියේ වෙලාව කීයද?”

“මලා.. නංගෝ.... වෙලාව නවයත් වෙලානේ.”

“කම්මැලියා වගේ නිදාගෙන විභාග ප්‍රතිපල බලන්නත් අමතක වුනා නේද?”

මට පිස්සු වගේ. හැමදාම වගේ වැදගත් දෙයක් මට අමතක වුනා. හැතැප්ම දාස් ගාණක් පිටරටක ඉන්න දිනිට මගේ වැඩේ මතක් වෙලා නවය වෙනකොට කෝල් එකකුත් දීල.”

“අයියේ දැන්මම යන්න. බලලා මට කියන්න. මම හවස කෝල් කරන්නම්. තුනට විතර ගෙදර ඉන්න.”

“නංගා පොඩ්ඩක් ඉන්න. මං ගාව හෑන්ඩ් ෆෝන් එකක් තියෙනවා. ඒකට කෝල් කරන්න.”

මම එයාට නම්බර් එක දුන්නා.

“ඔයා මොබයිල් එකකුත් ගත්තද අයියේ.”

“නෑ.. මට යාළුවෙක් දුන්නා.”

“හ්ම්. එහෙනම් අයියේ යන්න. ගුඩ් ලක්.”

මම එහෙමම කල්පනා කරන්න පටන් ගත්තා.

මම ගොනා වගේ නිදාගත්තනේ. කොල්ලෝ ටික ඔක්කොම ඇවිල්ල ඇති. දැන් තව ටිකකින් අම්මා හරි තාත්තා හරි කතා කරයි මේක අහන්න.

මම දඩබඩ ගාලා ඇඳ ගත්තා.

“බබා මොකද මේ... කොහේ යන්නද කන්නෙත් නැතුව.”

“දීප නැන්දේ. අද විභාගේ ප්‍රතිපල එනවා.”

“කිරි අප්පේ... ඉන්න බබා යන්න කලින් බුදුන් වැදලා යන්න ප්‍රතිපල හොඳ වෙන්න කියලා. සියලු දෙවි දේවතාවුනේගේ උදව් උපකාර වලින් මගේ චූටි මහත්තයාට හොදක්ම වේවා කියලා.”

“ඕව දැන් කරලා වැඩක නෑ දීප නැන්දේ. බඩු ඇවිල්ල ඉවරයි. ආයේ දෙයියන්ටවත් බෑ ප්‍රතිපල වෙනස් කරන්න.”

“බබා ඉන්න මම කිරිබත් ටිකක් හදන්නම්.”

“මේ විකාර කියවන්න එපා දීප නැන්දේ. දැනටමත් වැඩේ පත්තු වෙලාද දන්නේ නෑ. මට ඕනේ ඇති කෑමක් නෑ.”

මම ‍එහෙම කියලා බයික් එක අරන් පැන්නා එලියට.

ෂික් අම්මපා මේ සචියවත් මට කෝල් එකක් දුන්නේ නෑනේ.

මම ‍එහෙම හිතලා කෝකටත් කියලා ගත්තා උගේ ගෙදරට.

“නංගි සචිත්‍ර ඉන්නවද?”

“ඔව් අයියේ පොඩ්ඩක් ඉන්න.”

එහෙනම් මේකත් ගිහිල්ලා නෑ ප්‍රතිපල බලන්න.

“යකෝ.... උඹ මොකද කරන්නේ ගෙදරය වෙලා?”

“ඇයි කාවා මොකක්ද සීන් එක.”

“බූරුවෝ.. අද ප්‍රතිපල එනවා කිව්ව නේද?”

“ඔව් බං....”

“ඉතින් ගොනෝ යන්නේ නැද්ද බලන්න.”

“යන්න ඕනේ බං... ඒත් මම මේ රෑ ඉඳන් කල්පනා කරන්නේ රෙද්දක් ඇඳගෙන ගියෑකිද කියලා ඕක බලන්න. අපි විභාගේ ලියපු විදිහට බලලා වැඩක් වෙයිද බං?”

“විකාර නැතුව ලෑස්ති වෙයං. මම විනාඩි පහෙන් එනවා උඹව ගන්න.”

මම යනකොටත් සචියා රෑට ඇඳපු එක පිටින්ද කොහෙදෝ ආතක් පාතක් නැතුව කල්පනා කරනවා.

“මොකද යකෝ වෙලා තියෙන්නේ. වරෙන් ඉක්මනට ඇඳගෙන.”

“බෑ බං. හෙට යමු.”

“සචියා මේ මගෙන් කුණුහරප අහගන්න එපා. අද ගියත් හෙට ගියත් ප්‍රතිපල වෙනස් වෙන්නේ නෑ ගොනෝ. වර යන්න.”

මම එහෙම කියලා අමිලට කෝල එකක් ගත්තා.

“අමිලයා, උඹ කොහේද?”

“යකෝ අපි චූටි අයියගේ කඩේ දැන් පැයකට වැඩී. උඹයි සචියයි එනකං බලන් ඉන්නවා කොලෙජ් එකට යන්න. රිසල්ස් බලන්න උඹල නැතුව ගිහිල්ලා ගතියක් නෑ බං. තොපි කොහේද?”

“අපි දැන් එනවා. විනාඩි පහලවෙන් අපි ඔතන.”

මම සචියවත් දාගෙන ඉස්කෝලෙට ඉගිලුනා. යනකං ඌ නහයෙන් අඬනවා.

අපි අමිලයි, චතුරයි, පැණියයි තව කීප දෙනෙකුයි එක්ක ඉස්කෝලෙට ඇතුල් වුනා.

ප්‍රධාන ගේට්ටුව ළඟ ඉඳලා බිල්ඩින් එක ළඟට යනකං එකෙක්වත් කතා කළේ නෑ. වෙනදනම් කටවලා වහන්න බැරි උන් අද නෝ කතා.

යකෝ. ඉස්කෝලේ ප්‍රින්සිපල් ගේ ඔෆිස් එක ළඟ කොරිඩෝ එකේනේ ‍සීන් එක තියෙන්නේ.

කොල්ලෝ නෝටිස් බෝඩ් එකේ වට වෙලා එක විකාරයයි.

අපිත් ගියා ඒ ළඟට

“අයින් වෙයල්ලා... අයින් වෙයල්ලා..... අමිල කෑ ගහනවා.”

පපුව එකසිය ගාණට ගැහෙද්දි මම බෝඩ් එක දිහා බැලුවා.

ම්හ්. මගේ අංකේ නෑ.

මම තව ටිකක් බැලුවා.

එතකොටම සචියා දුවගෙන ඇවිල්ල මාව බලා ගත්තා.

“එලකිරි කාවා. උඹ ගොඩ යකෝ....”

“ඇයි...?”

“මෙහෙ වරෙන්... මේ තියෙන්නේ උඹේ අංකේ. බී දෙකයි, සී එකයි, එස් එකයි.”

මට ඇස් අදහා ගන්න බැරි වුනා. පාස් වෙයි කියලා දැනගෙන හිටියත් මෙච්චර හොඳ විදියට කියලා හිතුවෙවත් නෑ.

“සචියා උඹ.”

“‍බ්‍රදර්ස් ෆ්‍රොම් එනදර් මදර් කියන්නේ ඕකට තමයි බ්‍රෝ....”

“මොකක්ද බං.”

“මටත් සේම් ඩෝ. ෆිසික්ස්, සූලොජි වලට බී.... බොට්නි වලට සී, කෙමිස්ට්‍රි වලට එස්. අනේ අම්මපා මේ කෙමා නෑනේ මට හොම්බට දෙකක් අනින්න. ඒකත් දෙයියනේ කියලා සී එකක්වත් තිබ්බනම් ගොඩේ ‍ගොඩ.”

බලාගෙන යනකොට අපේ සෙට් එකේ හැම එකාම පාස් වෙලා. අඩුම තිබුණේ දිලිප්ට ඒත් සී ‍එකයි එස් ‍තුනයි.
“කාවා, අදනම් බොන්න වෙනවා කණ පැලෙන්න මේ සන්තෝසෙට.”

අමිල කිව්වා.

“දැන් බෑ බං. අපි ගෙදර ගිහින් අම්මලට ප්‍රතිපල කියලා රෑට සෙට් වෙමු.”

“ඔව් කාවා ඒකත් හොඳයි. නැත්නම් අපිව කවල පොවල හදපු අම්මලා හෙට වෙනකම් බලාගෙන ඉදී මේක දැනගන්න.”

“හරි එහෙනම් අපි හවස පහට ලේක් සයිඩ් එකේ සෙට් වෙමු.”

තාත්තනම් කලින්ම ප්‍රතිපල දැනගෙන තිබුණා. අම්මත් ලොකු සතුටකින් හිටියේ.

“මම දැනගෙන හිටියා පුතාට පුළුවන් කියලා. අපරාදේ ඔයා පිස්සු වැඩ නවත්තලා තව ටිකක් මහන්සි වුනා නම් මෙඩිසින් යන්න තිබුණා.”

අම්මා කිව්වා.

“දැන් දෙවෙනි පාර කරනවද?”

තාත්තා ඇහුවා.

“අනේ බෑ... ආයෙ නම් පාඩම් කරන්න බෑ.”

“මේ ප්‍රතිපල වලින් මෙඩිසින් බැරි වුනත්, බයෝ සයන්ස් හරි වෙන අළුතින් පටන් ගත්ත ඩිග්‍රි වගයක් තියෙනවා ඒව හරි එකකට යන්න පුළුවන් වෙයි. එහෙමනම් ඒක බලලා ඇප්ලිකේෂන් දාමු.”

“අම්මා හිතන්නේ මට කැම්පස් යන්න පුළුවන් කියලද?”

“අනිවාර්යයෙන්ම පුළුවන්. මමත් ටීච කෙනෙක්... ඒ නිසා මම හොයලා බැලුවා.”

“ඒ වුනාට අම්මේ, මම හිතන්නේ මේ යන විදිහට හොඳයි.”

“මොනවද? ගරාජ් එකක් වැඩ කරන්න. ඔයාට පිස්සුද. ජීවිතේ කියන්නේ සල්ලිම නෙවෙයි. ඔයා දෙයක් ඉගෙනගන්න, ඊට පස්සේ ගරාජ් එකක් නෙවෙයි මොකක් කළත් මට කමක් නෑ.”

“ඒ වුනාට අම්මේ, මම නම් හිතන්නේ වෙන පාත් එකක් ගැන.”

“ඔයාටනම් පිස්සු. කොච්චර ළමයි ඉන්නවද කැම්පස් යන්න බැරුව.”

“හරි දැන් ඔය කතාව නවත්තමු. ඒක අපි ඇප්ලිකේෂන් කෝල කරනකොට බලමු.”

තාත්තා අවසන් තීරණේ දුන්නා.

ඒ අතරේ ගෙදරට ආපු කෝල ගාණ ජීවිතේට දැකලා නෑ. හැම කෙනාම මං ගැන අහනවා.

දිලිනිත් කලින්ම දැනගෙන තිබුණා. එයා මගේ මොබයිල් ෆෝන් එකට කෝල් කරලා විෂ් කළා.

හරියටම තුනට දිනි කතා කළා. එයාටත් සතුට උහුලගන්න බෑ. ඒත් දිනි අමුතුම කතාවක් කිව්වා.

“අයියේ, ලංකාවේ කැම්පස් යන්න එපා. ඔයා ඔස්ට්‍රේලියා හරි ස්ටේට්ස් හරි ඇප්ලයි කරන්න. මම උදව් කරන්නම්.”

“එච්චර සල්ලි.”

“ඒව ගැන වොරි වෙන්න එපා. ඔයාට මම ඇප්ලිකේෂන් එවන්නම්, ඇප්ලයි කරන්න. අපි සල්ලි පස්සේ බලාගමු.”

දිනි, මේ වගේ කතාවක් කිව්වේ ඇයි?

4 comments:

  1. ඇති යන්තම් කතාව දාලා. ඇති යන්තම් දිනී ඇවිත්... :D

    ReplyDelete
  2. අනේ අම්මෝ ඇයි මේ පරක්කු උනේ.. ඉන්න කියෝලා එන්නම්

    ReplyDelete
    Replies
    1. කාවා....

      උඹ නම් ඇඹලයෙක්.. කරන්න දෙයක් නැහැ මම ඇත්තම කිව්වේ. බබෙක් නෙවෙය්නේ

      Delete