Wednesday, July 26, 2017

සදානුස්මරණිය ප්‍රථම ප්‍රේමය ~ මේ ආදරයයි ~ 63



සදානුස්මරණිය ප්‍රථම ප්‍රේමය


මේ ආදරයයි



63.

පහුවෙනිදා උදේම තාත්තා මට කතා කලා.

“කාවින්ද.... තමුසේ දැන් ඇති මේ පිස්සු වැඩ කලා. ගරාජ් රස්සාවත් ඇති. එක්කෝ ඩිග්රි එකක් කරනවා. නැත්නම් කලින් වගේ ස්පෝර්ට්ස් කරනවා. තමුසෙට කැන්ඩි ක්ලබ් එකෙන් එන්න කියලා තියෙනවා. ඒකට ගියේ නෑ. උස පැනීමටයි මීටර් හාරසියයටයි දක්ෂ නිසා තමුසෙට නැෂනල් පූල් එන්න කිව්වා, ඒකට ගියේ නෑ.”

“ඉතින් තාත්තා... අම්මා කැමති වුනේ න රගර් වලට යනවට. ඇත්ලටික්ස් වලට ගියා. කොළඹ ගියා දවස් ගාණක්. වැඩක් වුනේ නෑනේ තාත්තා. අපිට ප්‍රැක්ටිස් තියා පිට්ටනියේ දුවන්නවත් දුන්නේ නෑ.”

“දැන් කැම්පස් වැඩේ මොකද?”

“ඇයි තාත්තා?”

“අම්ම කිව්වේ නැද්ද?”

“මොකක්ද?”

“තමුසෙට කැම්පස් යන්න පුළුවන්. මෙඩිසින් නෙවෙයි. අළුතින් පටන් අරන් තියෙනවා හොඳ ජොබ් මාකට් එකක් තියෙන ඩිග්රි එකක්. ෆුඩ් ටෙක්නොලොජි කියලා. ඒකට යන්න තමුසෙට ලකුණු ඇති.”

“එහෙනම් මම ඇප්ලිකේෂන් දාන්නම් තාත්තා.”

“ඔව්... ඒ මොකක් හරි කරන්න. නැත්නම් මගේ යාළුවෙක් ඉන්නවා සිංගප්පූරුවේ... යන්න ලෑස්ති වෙනවා.”

“මම කැම්පස් යන්නම් තාත්තා.”

“එහෙනම් අම්ම එක්ක එකතු වෙලා ඇප්ලිකේෂන් දානවා. හැබැයි මීට පස්සේ පිස්සු වැඩ බෑ. දැන් තමුසේ වැඩිහිටියෙක්. ඉස්කෝලේ යන කොල්ලෙක් නෙවෙයි. තේරුණාද?”

“ඔව්.”

“එහෙනම් පරිස්සමින් වගකීමකින් වැඩ කරනවා.”

“හොඳයි තාත්තා.”

“තව එකක්... මොකක්ද අර කෙල්ලෙක් එක්ක තියෙන කතාව. දිලිනි කව්ද කියලා මම දන්නවා. තමුසේ දන්නේ නැද්ද ඒ කෙල්ල තමුසෙට වඩා වයසින් වැඩියි කියලා.”

“දන්නවා. අපි දෙන්නගේ කිසිම විශේෂ කතාවක් නෑ. ඉස්කෝලෙ ඉන්න කාලේ අපි අඳුරනවා. මම අවුට් වුනාට පස්සෙත් ඒ ඇඳුනුම්කම් තියෙනවා. එච්චරයි.”

මම බොහොම අමාරුවෙන් වචන එකතු කරලා කියා ගත්තා.

“මට බොරු කරන්න එපා. ඩැනී මට කීප වතාවක්ම කියලා තියෙනවා ඔය ගැන. කොලු වයස නිසා මම ගණන් ගත්තේ නෑ. ඔය වයසට ලස්සන කෙල්ලෙක් දැක්කහම හිත යනවා තමා. ඒ වුනාට මොලේ කල්පනා කරනවා. කෙල්ල ලස්සනයි තමා, ඒ වුනාට ඒක තමුසෙට ගැලපෙන එකක් නෙවෙයි.”

“තාත්තා මොනවද කියන්නේ. මමයි මිස් දිලිනියි අතරේ එහෙම දෙයක් නෑ.”

“නැත්නම් හොඳයි... හැබැයි ඇතිකරගන්නත් එපා. මගෙන් කිසිම බුරුලක් නෑ.”

බලාගෙන යනකොට මම  හොරෙන් කරනවා කියලා හිතලා කරපු දේවල් තාත්තා මුල ඉඳලම දන්නවා. ඒ කියන්නේ දිලිනිව මම දැන් බලන්න යනවා කියලත් දන්නවද?”

තාත්තා කතාකරන දේ අම්මත් පැත්තක ඉඳලා බලාගෙන ඉඳලා වගේ.

“පුතා... උඹ ඔය වැඩේ කරගත්තොත් නම් මේ අම්මා නෑ කියලා හිතාගනින්.”

අදනම් ගැලවිල්ලක් නෑ වගේ.

“අම්මා මොකක්ද කියන්නේ?”

“කියන්නේ තමන්ට ගැලපෙන දෙයක් කරගන්න කියලා. මේ ලංකාවේ වෙන කෙල්ලෝ නැතුවද තමන්ට වඩා වයස වැඩි කෙල්ලෙක් අල්ලගත්තේ?”

“මම දන්නෑ අම්මා මේක කොහොම තේරුම් කරන්නද කියලා. මම දැන් තාත්තටත් කිව්වා... මගේ එහෙම කිසිම දෙයක් නෑ. අපි දෙන්නා අඳුරනවා එච්චරයි.”

“ඒ අදුරන එකත් දැන් නවත්තන්න.”

“ඒක හරි වැඩක්නේ අම්මා... මට යාළුවෙක්වත් ආශ්‍රය කරන්න බැරිද අම්මගෙන් නාහා.”

“ඕනේ යාළුවෙක් ආශ්‍රය කරාට කමක් නෑ හැබැයි මේ වැඩේ නම් නවත්තන්න ඕනේ. දැනටම ඔයාගේ නම කැතවුනා ඇති. කෙල්ලෙක්ගේ ගෙදරට හොරෙන් පැනලා කියලා පොලිස් පොතේ ලියවිලා.... අපි කොහොමද මිනිස්සුන්ට මූණ දෙන්නේ. මම ගුරුවරියක්... මේව දැනගත්තොත් මට රස්සාව කරන්න පුළුවන්ද?”

මම කතාවක් නැතුව පාරට ආවා. ගරාජ් එකට යන්න ලෑස්ති වුනත් දැන්නම් මේ කතාවෙන් පස්සේ හැම දෙයක්ම එපා වුනා.

මේ ටික කාලෙට දිලිනියි මමයි මොන තරම් ලං වුනාද... සමහර විට අපිටත් නොදැනීම අපි පුදුම විදිහට ලංවෙලා. දවස් කීපයක් කතා නොකළොත්, දැක්කේ නැත්නම් හිතට හරි නෑ. ඒත් අද අම්මයි තාත්තයි දාපු විරෝධයේ හැටියට මට ලේසි වෙන එකක් නෑ.

මම පාරට බහිනකොටම සචියත් දුවගෙන ආවා.

“කාවා.. මම කාමරේ ඉඳළා අහගෙන කතාව... උඹට ලේසි වෙන්නේ නෑ බං... දිලිනි එක්ක තියෙන සීන් එක නවත්තලා දාපං... දෙමව්පියන්ගේ හිත් කඩන්න එපා බං.”

“මගුලක් කියවන්න එපා බං.. අපි දෙන්නා ලව් කරන්නේ නෑ...”

“ඒ උඹනේ... මම කියන්නේ කෙල්ල උඹට ආදරෙයි.... ඒ නිසා දැන්ම වැඩේ කඩලා දාපං.”

“සචියා කට වහගනින්... මම කරන්නේ හරි දේ....”

මගේ හිත හොඳටම නොසන්සුන් වෙලා. පහුගිය දවස් වල වුන දේවල් එක්ක තේරුම් ගිහින් තිබුණා මම දිලිනිට ඇත්තටම ආදරේ කරනවා කියලා. මට දිලිනිව නොදැක ඉන්න කතා නොකර ඉන්න බෑ...

මට එයා ළඟ ඉන්නකොට දැනෙන ආදරේ කියන්න වචන නෑ.... මට ඕනේ වුනේ දිලිනිගේ හිතේ තියෙන දේ හෙමිහිට දැනගන්න විතරයි. එයත් හැසිරුණ විදිහෙන් මට දැනුනා එයා මට ආදරේ කරන බව. අනිත් එක හෂිනි අක්කා මට ඒක කෙලින්ම කිව්වා. එයා හෂිනි එක්කට කියලා තිබුණා එයා මට ආදරේ කරනවා වුනත් මම ඉන්න තත්වේ නිසා ඒක කියාගන්න බෑ කියලා.

ඒත් දැන් මගේ අම්මයි තාත්තයි කියපු දේවල් නිසා ඒ හීන හැම එකක්ම හීනයක් විතරක්ම වෙයි වගේ.
මේ සිදුවීම් අතරේ දවස් කීපයකට පස්සේ දිලිනිගේ තාත්තා පැමිණිල්ල අස්කර ගෙන තිබුණා. ඒ නිසා උසාවි යන්න වෙයි කියන බය නැතිවුනා.
ඒ මොනව වුනත් තාත්තා හිටියේ හොඳ සෙවිල්ලෙන්.

ඔය අතරේ දිලිනිත් ස්වීඩන් යන්න ලෑස්ති වුනා. පොලිසියෙනුත් දිලිනිව හොයන එක නවත්තලා නෑ. මම හිතන්නේ දිලිනි යන්න කලින් එයාගේ තාත්තා එයාව හොයාගන්න බලනවා ඇති.

ඔය අතරේ අපි කව්රුත් නොහිතපු විදිහට දෙයක් වුනා.

එදා හෂිනි අක්කා මට කෝල් කළා.

“කාවින්ද මල්ලි... කෙල්ල කෝ...”

“මොන කෙල්ලද අක්කේ.”

“ඇයි බං... දිලිනි අද උදේ කොළඹ ආවා වීසා ඔෆිස් එකට යන්න. උඹවත් හම්බවෙලා එනවා කිව්වා.”

“දැන් වෙලාව දෙකයිනේ අක්කේ. එයා ආවේ නෑ. මට කෝල් කළෙත් නෑ.”

“එහෙනම් තාම් එතන හිරවෙලා ඇති.”

“නෑ අක්කේ වෙන්න බෑ. එයාට කොළඹ ගිහිල්ලා ආපහු නුවරින් බැහැලා මාව හම්බවෙන්න වෙලා මදි.”

“එතකොට කෙල්ල තාම කොළඹද?”

“අක්කේ.. එයාගේ මොබයිල් එකට ගත්තේ නැද්ද?”

“වැඩක් නෑ, ඕෆ් කරලා.”

“මගේ හිතේ සැකයක් තියෙනවා අක්කේ... කොහේදි හරි කෙල්ල මාට්ටු වුනාද?”

“නෑ වෙන්න බෑ.... අපි ටිකක් බලමු. සමහර විට එම්බසි එක ඇතුලේ ෆෝන් ඕෆ් කරන්න කියනවා ඇති.”

අපි තව පැයක් බලන් හිටියත් දිලිනිගෙන් කෝල් එකක් ආවේ නැහැ. එයාගේ ෆෝන් එකත් වැඩ කළේ නැහැ.
දැන් මොකද කරන්නේ?

මම ඉක්මනට කෝල් කරලා සචියව ගෙන්න ගත්තා

“කාවා මොකද?”

“කෙල්ල නෑ...”

“මොකක්.....?”

“ඔව් බං.... කොළඹ එනවා කියලා එම්බසි එකට ඇවිල්ලා තියෙනවා උදේ... ඒත් තාම කෙල්ල නෑ. ෆෝන් එකත් ඕෆ්.”

“දැන් මොකද කරන්නේ?”

“කොළඹ ගිහිල්ලා බලමුද?”

“පිස්සුද කාවා.... මේ අපි කොළඹ ගිහිල්ලා කෙල්ලව හොයන්න තියා අපිවත් පාරක් තොටක් දන්නවද බං.”

“ඒකත් ඇත්ත ජීවිතේටම තනියම කොළඹ ගිහින් තියෙන්නේ දෙපාරයි... අන්තිමට අපිව හොයන්න තව එකෙක් එන්න වෙයි.”

“ඒකනේ කාවා. අපිට පොඩ්ඩක් ඉවසලා බලන්න වෙනවා.”

අපි දෙන්නා කාමරේට වෙලා පැය දෙකක් විතර හිටියා. ඒ අතරේ විනාඩි පහෙන් පහට මම දිලිනිගේ ෆෝන් එකට කෝල් කළා. ඒත් ඒක වැඩ නෑ.

අන්තිමට මම ආයෙත් හෂිනි අක්කට ගත්තා. එයත් කිව්වේ එකම දේ. කෙල්ල නෑ.

දැන් වෙලාව හවස හයයි... තව රෑ වුනොත් නම් කිසිම දෙයක් දැන ගන්න බැරි වෙනවා.

“සචියා.... වරෙන් යන්න ගමනක්.”

“කොහේද?”

“දිලිනිගේ ගෙදර....”

“ඊට පස්සේ....”

“මම දන්නෑ..... අපි ඒ පැත්තේ රවුමක් දාලා බලමු. මට හිතෙනවා මොනව හරි දැනගන්න පුළුවන් වෙයි කියලා.”

සචිත්‍ර කිසිම කතාවක් නැතුව බයික් එකේ පිටිපස්සට නැග්ගා.

මූ වගේ යාළුවෙක් ඉන්න එක කියලා නිම කරන්න බැරි උදව්වක්.

අපි දෙන්නා විනාඩි දහයක් යනකොට දිලිනිගේ ගේ ළඟට ආවා. ගෙදර කිසිම සද්දයක් නෑ. ගේ ඉස්සරහ එකම එක ලයිට් එකක් විතරයි දැල්වුනේ. කාමරවල කිසිම එළියක් නෑ.

“මචං... කව්රුත් නෑ වගේ...”

“ඔව් කාවා... පහුගිය දවස් කීපයේම ගෙදර කිසි කෙනෙක් ඉඳලා නෑ. පැණියා මේ පැත්තේ කොහොමත් ඇහැ ගහගෙන ඉන්නේ.“

“ඌ පහුගිය දවස් වලත් බැලුවද?”

“ඔව් බං. දිලිනි නැති වුනත් අපි බලාගෙන හිටියේ මොනව හරි වෙනසක් තියෙනවද කියලා.”

“ඒ කියන්නේ කවුරුවත් ගෙදර නෑ... වැඩකාරයෝ විතරයි.... අදත් වෙනසක් නෑ.”

“නෑ.... මම හිතන්නේ අංකල් ආන්ටි දෙන්නම කොළඹ ගෙදර ඉන්නේ.”

“කොළඹ ගෙදර?”

“ඇයි උඹ දන්නේ නැද්ද? දිලිනි කියලත් නැද්ද?”

“නෑ යකෝ....”

“උන්ට කොළඹ ගෙයක් තියෙනවා... කඩවත.”

“උඹල දන්නේ කොහොමද?”

“මචං.... කා එක්ක හරි අනාගතේ හැප්පෙන්න වෙනවනම් අපි ඒ යකා ගැන හැම දෙයක්ම දැනගන්න වෙනවා. උන් උඹට ඇටෑක් කරපු දවසේ ඉඳලා අපි මේව හොයන්න පටන් ගත්තා. දැන් අපි ඒ පවුල ගැන ගොඩක් දේවල් දන්නවා.”

“යකෝ..... උඹලනම් මාර පොරවල්නේ... ඔච්චර දේවල් හොයාගත්තද මේ ටික දවසට?”

“තව තියෙනවා. දිලිනිගේ තාත්තට සීගිරියේ, අනුරාධපුරේ, දඹුල්ලේ, නුවරඑළියේ හොටෙල් තියෙනවා. හෙන ලොකු ෆයිව් ස්ටාර් ඒව නෙවෙයි... පොඩි ඒවා. කාමර වැඩිම වුනොත් විස්සක් වගේ තියෙන ඒවා. හැබැයි පට්ට ප්‍රොෆිට්. දඹුල්ලේ හොටෙල් එක නම් ගිය අවුරුද්දේ පොඩි හොටෙල් වලින් හොඳම එක වුනා.”

“තව”

“තව තියෙනවා. ලොක්කට දියතලාව පැත්තේ ෆලවර් නර්සරි එකක් තියෙනවා. රදැල්ලේ අක්කර ගානක වත්තක් තියෙනවා තේ දාපු.”

“නෑ...”

“ඔව් බං... දිලිනි මිස් උන්ට මාට්ටු වුනා නම් ඔය තැන්වලින් එකක ඇති. අපිට මුල ඉඳලා එකින් එකේ හොයන්න වෙනවා.”

“පිස්සු හැදෙයි.... ඕක කොහොම කරන්නද බං.... අනිත් එක අපි දන්නෑනේ දිලිනි අහුවෙලා කියලා.”

“එහෙනම් කෙල්ල කෝ.”

“මං දන්නෑ බං.”

කතා කර කර අපි සෑහෙන වෙලාවක් එතන හිටියා. ඒත් ගෙදර කිසිම කෙනෙක් ඉන්න බව අපි දැක්කේ නෑ.

“මේක හරියන්නෑ කාවා. වරෙන් යමු. කෙල්ලගෙන් කෝල එකක් එනකම් ඉමු. කලිනුත් අපි හොයාගත්තනේ කෙල්ල ඉන්න තැන.”

“විකාරද බං... උඹලා වැඩර්ලා වගේ හෙව්වා. අන්තිමට කෙල්ල ගෙදර ආවට පස්සෙනේ දැක්කේ.”

“එහෙම තමයි බං.... වරෙන්කෝ යන්න. අපි බලමු.”

මට ගෙදර යන්න හිතක් තිබුණේ නෑ. ඒ නිසා අපි දෙන්නා නුවර වැව පැත්තට ආවා.

මගේ හිත හොඳටම අවුල් වෙලා. ජීවිතේ පලවෙනි වතාවට කෙල්ලෙකුට ආදරේ කරනවා කියලා හිතට දැනිලා දවසක් යනකොට කෙල්ල නැතිවෙලා. කාලයක් පෙරුම් පුරලා කෙල්ලෙකුට ආදරේ කළා. අන්තිමට ඒක කියන්නත් කළින් කෙල්ල ඉන්න තැනක් වත් හොයා ගන්න බැරි වෙලා.

2 comments: