Recent Post

Tuesday, July 25, 2017

සදානුස්මරණිය ප්‍රථම ප්‍රේමය ~ මේ ආදරයයි ~ 62




සදානුස්මරණිය ප්‍රථම ප්‍රේමය


මේ ආදරයයි




62.

ටික වෙලාවකින් තාත්තා ආවා.

“අබේකෝන් එන්න කියලා තියෙනවා. මම ගිහින් එනකම් සද්ද නැතුව ඉන්නවා.”

එහෙම කියලා තාත්තා ගියා.

මොනව වුනත් තාත්ත යන්න ගියාම හිතට ටිකක් බයයි. ඕනේ එකෙක් මට ගැහුවොත් මම දන්නවා ඌට කොහොමද රිටන් එක දෙන්න ඕනේ කියලා. ඒත් පොලිසියේ කවුරු හරි කරදර කරන්න ආවොත් මට මිනිහට ගහන්න බෑ. නීතියෙන් මම වැරදි වෙනවා. ඒ නිසා තාත්තා එනකං කවුරුවත් මට අත  තියන එකක් නෑ කියලා මම හිතුවා.

ටික වෙලාවකින් මම බලාපොරොත්තු නොවුන කෙනෙක් ආවා.

දිලිනිගේ තාත්තා.

ඕ අයි සී එක්ක කතා කරලා මිනිහා කෙලින්ම මං ඉන්න තැනට ආවා.

“කාවින්ද.... මම කී සැරයක් කිව්වද මේ පිස්සු වැඩ නවත්තන්න කියලා. ඇහුවේ නෑ නේ. දැන් මට කරන්න දෙයක් නෑ.”

“මිස්ටර් කිසිම දෙයක් කරන්න අවශ්‍ය නෑ. මගේ තාත්තා මාව එළියට ගනී.”

“තමුසේ වැරදි කරලා එහෙම ලේසියෙන් බේරෙන්න හිතනවද?”

“මම වැරදි කරලා නැහැ.”

“තමුසේ වැරදි දෙකක් කරලා තියෙනවා. එකක් දිලිනිව හංගගෙන ඉන්න එක. ඒකට මට මොකුත් කරන්න බෑ මොකද කෙල්ල කැමැත්තෙන් ඉන්න බව කියලා තියෙන නිසා. හැබැයි ඊයේ රෑ තමුසේ මගේ ගෙට පැනලා දිලිනිගේ පාස්පෝට් එකයි, සල්ලියි අරන් තියෙනවා. ඒක වැරැද්දක්. ඒකට මම උපරිම දඬුවම තමුසෙට දෙනවා.”

“පුළුවන් දෙයක් කරන්න මිස්ටර්. මම ඔය කියන වෙලාවේ ගෙදර හිටියේ.”

“ඒක මම බලාගන්නම්. තමුටසෙට ගැලවෙන්න මම එක චාන්ස් එකක් දෙන්නම්. මට දිලිනි ඉන්න තැන කියනවා. මම පැමිණිල්ල අස්කර ගන්නම්.”

“මම දන්නේ නැති දෙයක් කියන්නේ කොහොමද? දිලිනි ඉන්න තැන මම දන්නේ නෑ. අනිත් එක මේ පැමිණිල්ලත් අස්කර ගන්න අවශ්‍ය නෑ. මම හරි විදිහට ඇප අරගෙන උසාවි ගිහින්ම ඔප්පු කරන්නම් මම වැරදි නෑ කියලා. ඊට පස්සේ මම වන්දියකුත් ඉල්ලන්නම් මට වුන අපහාසයට.”

මම එහෙම කිව්වහම අංකල්ගේ මූණ අප්සෙට් වුනා.

“ඒ කියන්නේ තමුසේ පිළිගන්නෙම නෑ.....”

“නෑ.... මම නොකරපු දෙයක් පිළිගන්න බෑ....”

මේ වෙනකොට මම දැක්කා සචියා පොලිසියට ඇතුල් වෙනවා. පිටිපස්සෙන් අබේකෝන් අංකල් එක්ක තාත්තා ආවා. ඒත් එක්ක මගේ බාප්පත් ආවා.

අබේකෝන් අංකල් ඕ අයි සී ට කතා කළා.

“මෙන්න බේල්අවුට් ඩොකියුමන්ට්ස්. දැන් කරුණාකරලා මෙයාව එළියට දාන්න. සඳුදා උසාවියේදි හම්බවෙමු.“ ඒ ටික අංකල් කිව්වේ දිලිනිගේ තාත්තට.

දිලිනිගේ තාත්තා මේ සිද්ධියෙන් ටිකක් කලබල වුනා.

“නෑ මිස්ටර්.... මම ආවේ මේ ළමයා මගේ දරුවා ඉන්න තැන දන්නවනම් අහගන්න. එහෙම වුනොත් මම මේ පැමිණිල්ල අස්කර ගන්නම්.”

“වැඩක් නෑ.. දැන් අපි එක පාරක් පොලිසියට කටඋත්තරයක් දුන්නානේ මේ ළමයා ඒක දන්නේ නෑ කියලා. ඒ නිසා ආයෙත් ඒක අහලා වැඩක් නෑ. කැමතිනම් පැමිණිල්ල දැන්ම අස්කරගන්න... නැත්නම් අපි උසාවි ඇවිත් මේ දරුවාගේ නිර්දෝෂි බව ඔප්පු කරනවා.”

“එතකොට කව්ද ඊයේ රෑ මගේ ගෙට පැනලා තියෙන්නේ?”

“ඒක අපි දන්නෑ. ඒක අහන්න පොලිසියෙන්. පොලිසියට කියන්න ඒක හොයාගන්න කියලා. අනිත් එක කව්ද දන්නේ ඔයාගේ දුවම මේක කළාද කියලා. මොකද ඔය පාස්පෝට් එකයි බැංකු පොතුයි වෙන කව්රුහරි ගත්තත් වැඩක් වෙන්නෑ. අයිතිකාරයා නැතුව වෙන කෙනෙකුට සල්ලි ගන්න බෑ කියලා මිස්ටර් හොඳටම දන්නවනේ.”

ඒක කිව්වහම දිලිනිගේ තාත්තා තවත් අප්සෙට් වුනා. මිනිහා දැම්ම පැමිණිල්ල මිනිහටම වදයක් වෙලා වගේ.

මෙච්චර වෙලා සද්ද නැතුව හිටපු තාත්තා කතා කළා.

“මිස්ටර් විජේසුන්දර, කරුණාකරලා අපිට ඉඩ දෙන්න. මම හිතුවේ නෑ මේ තරම් කැත විදිහට මගේ දරුවගේ අනාගතේ එක්ක මිස්ටර් විජේසුන්දර සෙල්ලම් කරයි කියලා.”

“මිස්ටර් බණ්ඩාර, අපි කලින් ඉඳලම දන්නවා. මාව වරදවා තේරුම් ගන්න එපා, ඇයි මේ දරුවට කියන්න බැරි මගේ දුව ඉන්න තැන.”

“දැන් එක වතාවක් කිව්වනේ මෙයා ඒක දන්නේ නෑ කියලා. ප්ලීස් ලෙට් අස් ගෝ.“

දිලිනිගේ තාත්තා හොල්මන් වෙලා බලාගෙන ඉද්දි අපි පොලිසියෙන් එළියට ආවා.

අබේකෝන් අංකල් මට කතා කළේ කාර් එකටත් නැගලා ඉවර වෙලා.

“කාවින්ද, මට ඇත්ත කියන්න... ඔයා ඊයේ එහෙම දෙයක් කළාද?”

“නෑ අංකල්... ම ඇත්තටම හිටියේ ගෙදර.”

“ඔයා බොරු කිව්වොත් මමත් අමාරුවේ.... පුතා ඇත්තනේ කියන්නේ?”

“ඔව් අංකල්... මම දන්නවා ලෝයර් කෙනෙකුට බොරු කියන්න හොඳ නෑ කියලා.”

“ගුඩ්.... එතකොට ඔයා කියන්නේ කව්රුවත් මේක කළේ නෑ කියලා.”

“අංකල්... කේස් එකට ඕනේ වුනොත් නිසා මම කියන්නම්... ඒත් අපේ තාත්තටවත් කියන්න එපා.”

“මොකක්ද?”

“මේකයි... මම දන්නවා දිලිනි මිස් ඉන්න තැන... හැබැයි මම නෙවෙයි එයාව අරන් ගිහින් හංගගෙන ඉන්නේ. එයා ඉන්නේ එයාගේ කැමැත්තෙන්. ඒත් මම එයා ඉන්න තැන දන්න බව නම් කාටවත් කියන්න එපා.”

“ඒ කියන්නේ මිස්ටර් විජේසුන්දර කියන දේ ඇත්ත.”

“නෑ... එයා කියන්නේ මම ඒක කළා කියලනේ. ඒක වැරදියි. දිලිනි මට කෝල් කරලා එයා ඉන්න තැන කිව්වා. ඊට පස්සේ එයාගේ පාස්පෝට් එකයි, බැංකු පොත් ටිකයි ගන්න ඕනේ කිව්වා.”

“දැන් ඔයා කිව්වා නේද ඔයා ඒව ගත්තේ නෑ කියලා.”

“ඔව් .... මම ගත්තේ නෑ... ඒත් ඊයේ දිලිනි මෙහේ ඇවිල්ලා මගේ යාළුවෝ එක්ක ගිහිල්ලා ඒවා අරගත්තා.”

“මොකක්... මාර රිස්ක් එකක් නේ අරගෙන තියෙන්නේ ඔයාගේ යාළුවෝ....”

“දිලිනි හිටපු නිසා හැමෝම හිතුවේ අහුවුනොත් දිලිනි මිස් ඉදිරිපත් වෙලා බේරෙන්න.”

“ඒ කියන්නේ දිලිනි කියල ළමයා නෙවෙයිද ගෙදරට ගියේ?”

“නෑ... මගේ යාළුවෙක්....”

“හ්ම්...... පොලිසිය ඉන්වෙස්ටිගේෂන් එකක් පටන් ගත්තොත් මෑන් අහුවෙන්නත් ඉඩ තියෙනවා. මොනව වුනත් ඔයා ඊයේ රෑ කාමරෙන් පිට වුනේ නෑ නේද?”

“නෑ අංකල්.....”

“වයිස් ඩිසිෂන්... හොර වැඩ කරලා හොඳ පුරුද්දක් තියෙනවා වගේ නේද කට්ටියටම?”

“නෑ අංකල්. මම නම්  කොහොමත් කැමති වුනේ නෑ වැඩේට. ඒත් දිලිනි මිස් කැමති වුන නිසා කට්ටියම වැඩේට බැස්සා.”

“අපි බලමු ඉන්වෙස්ටිගේෂන් එකක් නැතුව වැඩේ ගොඩ දාගන්න. සමහර විට මිස්ටර් විජේසුන්දර මේ පැමිණිල්ල අස් කර ගන්න ලොකු ඉඩක් තියෙනවා. මොකද මිනිහා මේක ඔයා කළා කියලා සාක්ෂි තියෙනවා කිව්වත් දැන් ඔයාම කියන විදිහට ඔයා හිටියේ ගෙදර නම් මිනිහා ඒකත් දන්නවා. ඔයාව බය කරන්න තමයි එහෙම කිව්වේ. එතකොට කේස් එක උසාවි ගිහින් සාක්ෂි ඇහුවොත් මිනිහට සාක්ෂි නැති වෙලා මිනිහා බොරු කාරයෙක් වෙනවා.”

“එතකොට අංකල්.”

“ඒ නිසා මට ෂූවර් මේ කේස් එක මිනිහා අස් කර ගනී. ඒත් දිලිනි ඉන්න තැන හොයන එක නම් පොලිසියට බාරදෙයි. ඒ වගේම පොලිසියෙන් ඒක ඉක්මනටම හොයා ගනියි. ඔයා ඒකට ගෑවෙන්නේ නැතුව ඉන්න. ඒක දෙමව්පියන්ගෙයි දරුවොන්ගෙයි දෙයක්.”

“හොඳයි අංකල්.”

“දැන් ගෙදර යං. දවස් කීපයක් යනකං කොහේවත් නොයා ඉන්න. ගෙදර ඉන්න.”

අපි හතර දෙනාම ගෙදර ගියා. අම්මට කොහොම හරි පනිවිඩේ ගිහිල්ලා. ගිය ගමන් මාව බදා ගත්තා.

“අබේ... යං මොනව හරි කාලා, සවස් වෙලා යං.”

තාත්තා කතා කළා.

“යං... බඩගිනියි... ගොඩක් කාලෙකින් චිත්‍රාගේ කෑම කන්න එන්න බැරිවුනා. උඹට මතකද උඹ බැන්ද මුල් කාලේ.. අපේ උන් උදේට දවල්ට දෙවේලටම කන්නේ මේ කෑම.”

අබේකෝන් අංකලුත් තාත්තයි කතාවට සෙට් වුන අතරේ මමයි සචිත්‍රයි කාමරේට ගියා.

“කාවා... උඹ නම් මාර බේරිල්ලක් බේරුණේ. හොඳ වෙලාවට උඹව දවල් ගත්තේ. රෑක ගත්තනම් උදේ වෙනකම් ඉන්න වෙනවා.”

“ඔව් බං.... හැබැයි දැන් නම් වැඩේ ලේසි වෙන්නේ නෑ. මුන් කෙල්ලව හොයන්න පටන් ගනියි පිස්සු වගේ. කෙල්ල පාස්පෝට් එක ගත්ත කියල දන්න එකේ, රට යන්න ප්ලෑන් කරනවා කියලා හිතන එක ෂුවර්.”

“කාවා. මිස්ට කියන්න වෙනවා පුළුවන් තරම් ඉක්මනට රටින් යන්න කියලා. නැත්නම් එයා විතරක් නෙවෙයි අපි හැමෝම මාට්ටු වෙනවා. ගෙදරක ඉන්න බැරි වෙනවා අපිට.”

“බලමු බං.... කෙල්ල ඉක්මන් කරයි.”

“දැන් උඹ කියනවද මේ සීන් එක?”

“නැතුව බෑ.”

එහෙම කියලා මම දිලිනිට කෝල් එකක් ගත්තා. වෙච්ච දේ අහපු ගමන් දිලිනි කිව්වේ බය වෙන්න එපා කියලා.

“කාවින්ද... බය වෙන්න එපා. මම අම්මට කතා කළා. මම කිව්වා මට ටික කාළයකට කරදර නොකර ඉන්න කියලා. මම කිව්වා මම ස්වීඩන් යනවා කියලා.”

“නැහ්... අම්මා මොකද කිව්වේ?”

“එයයි තාත්තයි දෙන්නම කියනවා මට එන්න කියලා. ඒ ගොල්ලන් කිසිම බලපෑමක් කරන්නේ නෑලූ. මට පිටරට යන්න ඕනෙනම් ඒකත් කරල දෙන්නම්ලු.”

“ඉතින්...”

“මම කිව්වා මට විශ්වාස නෑ කියලා. ඒ නිසා මම ඉක්මනටම වීසා හදාගෙන යනවා කියලා කිව්වා.”

“මොකද කිව්වේ?”

“මොකුත් නෑ.... මම කිව්වා මට ඔයා එක්ක කිසිම එෆෙයාර් එකක් නෑ, ඒ නිසා ඔයාට කරදර කරන්න එපා කියලා. මම හිතන්නේ දෙන්නට දැන් හිතෙනවා ඇති ඔයා මේවට සම්බන්ධ නෑ කියලා.”

“එතකොට ඔයාට යන්න දීල ඒ අය ඉඳීද?”

“ඔව් කාවින්ද.”

“මට තේරෙන්නේ නෑ දිලිනි. අපේ අම්ම නම් මම ඔය වගේ කතා කළොත් පිස්සු හදා ගනී. ඒ අයට නොකියා පිටරට යනවා කිව්වොත් මොනව කර ගනීද දන්නෑ. ඔයා කෙල්ලෙක් වෙලත් අම්මා තාත්තා ඒ තරම් හොයන්නේ නෑ. ඇයි ඒ? මම නොදන්න මොනව හරි තියෙනවද?”

“අයියෝ නෑ... මම ඇයි ඔයාට බොරු කියන්නේ. මම පොඩි කාලේ ඉඳලම තනියම හැදුනේ කාවින්ද. ඒ නිසා අම්මයි තාත්තයි මම තනි තීරණ ගත්තා කියලා කලබල වෙලා නෑ කවදාවත්.”

“හරි... දැන් ඔයා යන වැඩේ මොකද? මෙහේ ඉන්න එක නම් සේෆ් නෑ.”

“ඔව් කාවින්ද? මම  හිමාලිට අදත් කතා කළා. එයා ඒ වැඩටික කරනවා. මම දැන් ළඟදිම එම්බසි එකට යන්න ඕනේ. වීසා ඇප්ලයි කරන්න. ඒ අයියා මට ස්පොන්සර් ලෙටර් එක මේ සතියෙම එවනවා කිව්වා.”

“හැබැයි පරිස්සමින් දිලිනි. ගිහාන් කොයි වෙලාවේ ඔයාව අල්ලගනීද දන්නෑ. දන්නවනේ ඒ යකාගේ පිස්සුව.”
“මම පරිස්සමින් ඉන්නේ කාවින්ද. ඔයා පරිස්සම් වෙන්න. මං වෙනුවෙන් ඔයා මේ කරන දේ මට ගෙවල ඉවර කරන්න නම් බැරි වෙයි.”

“මේ කෙල්ලට පිස්සුද මන්දා. මම මොනවත් බලාපොරොත්තුවෙන් කෙනෙකුට උදව් කරන්නෑ”

“සොරි කාවින්ද... එහෙම අදහසකින් කිව්වේ නෑ.... මම කිව්වේ ඔයා කරන උදව් කවදාවත් මට අමතක කරන්න බැරි වෙයි.”

“හරි... එහෙනම් මට කතා කරන්න ඕනෙකමක් වුනොත්.”

“තෑන්ක්ස් කාවින්ද.... මට ආසයි ඔයාව බලන්න.”

“එන්නද?”

“එපා.... ඒක භයානකයි. සතියක් දෙකක් ඉන්න.”

0 comments:

Post a Comment