Recent Post

Saturday, April 22, 2017

සදානුස්මරණිය ප්‍රථම ප්‍රේමය ~ මේ ආදරයයි ~ 3

සදානුස්මරණිය ප්‍රථම ප්‍රේමය
මේ ආදරයයි




3.

ඔය විදිහට දවස් කීපයක් ගතවෙලා ගියා. ඊලග සතියේ සෙනසුරාදා මම සත්ව විද්‍යාව අතිරේක පන්තියට යන්න කියලා හිතාගෙන නගරයට ආවා.

ඒ දවස්වල මම බලපත්‍ර නොතිබුන යතුරු පැදි ධාවකයෙක්.

මගේ වාසනාවකට මම ඕ ලෙවල් පාස්වුන නිසා මට තෑග්ගක් ලැබිල තිබුණා මිල කරන්න බැරි දෙයක්. ජපානෙන් ගෙන්නපු ට්රේල් වරගයේ බයික් එකක්.

ඉතින් මම පංති යන්න මේක යොදා ගත්තා. විශේෂයෙන් බයික් එකක් තියෙනවා කියන්නේ ක්ලාස් එකකදි එහෙම සම්පූර්ණ අවධානය තියෙනවා කියන එකයි.

ඉතින් එදාත් මම පංති ගියේ මේ බයිසිකලයේ තමයි.

පොලිසියෙන් නැති පාරවල් හොය හොය නගරයට එනකොට කොහොමත් බස් එකේ එනවට වඩා කාලය ගතවෙනවා.

මේ පංතිය තිබුන ගොඩනැගිල්ලෙම තිබුනා දිනිගේ පන්ති පැවැත්වෙන තැනකුත්. එතෙන්ට දිනී එනවා. මම හැමදවසකම දිනී ට කතා කරලා තමයි මගේ පංතියට යන්නේ.

මම පරක්කු නම් දිනී කවදාවත් එයාගේ පන්තියට ගියේ නැහැ. මම එනකං ඉදලා කතා කරලම තමා එයා ඇතුලට යන්නේ. මට නම් හැමදාම අමතක වෙනවා එයා ආවද බලන්න.

එදත් මම යනකොට දිනී එලියට වෙලා ඉන්නවා.

“අයියේ මොකද අද පරක්කු?”

“ආ, ඔයා ඇතුලට ගියේ නැද්ද?”

“ඔයා එනකම් හිටියා”

“තෑන්ක්ස්, එහෙනම් ඔයා යන්න”

“ඇයි ඔයා පංතියට යන්නේ නැද්ද?

“නෑ නංගියා, අද මගේ හිතට හරි නෑ. මම පොඩ්ඩක් එලියෙන් ඉදලා සචියට කතා කරල යනවා”

“ඇයි මොකක්ද ප්‍රශ්නේ?

“ප්‍රශ්නයක් නම් නැහැ නංගියා, ඒත් ........... නිකං බෑ බෑ වගේ”

“එහෙනම් මටත් බෑ. මමත් ඉන්නවා ඔයත් එක්ක”

“මේ පිස්සු නැතුව යන්න. මම තව ටිකකින් ගෙදර යනවා.”

“ඉතින් මාවත් එක්ක යන්න, ආන්ටිගෙන් බත් කටක් කෑවෙ නැහැ ගොඩක් දවසකින්”

කොහොමහරි අන්තිමට දිනී පංතියට නොයා මාත් එක්ක නැවතුනා.

“දැන් ඉතින් මොකද කරන්නේ?”

‘ඇයි ඔයා කිව්වෙ ගෙදර යනවා කියලා. ඉතින් ඇත්තටම මාවත් එක්ක යන්න”

“පිස්සුද අම්මා මාව කන්න හදයි ක්ලාස් ගියේ නැත්තේ ඇයි කියලා”

“එහෙනම් මොකද කරන්නේ.?”

“මම කියන්නද දිනී, ඔයා දැන් පංතියට හරි ගෙදර හරි යන්න”

“මට බැහැ, ඔයාගේ ප්‍රශ්නේ කියනකම්ම මම යන්නේ නැහැ"

"මේ ක්ලාස් එක ඉස්සරහ අපි දෙන්න වැඩි වෙලා හිටියොත් තවත් නිවුස් එකක් වෙයි දිනී"

“එහෙනම් වෙන තැනකට යමු”

මේ කෙල්ලට පිස්සුද මන්දා, වෙන කොහේ යන්නද, අනික අපි දෙන්නා යාළුවෝ දෙන්නෙක් විතරයි, තැන් තැන් වල ගිහින් කතා කර කර ඉන්න ගියොත් හොද කතා ටිකක් අහගන්න වෙයි.

“අයියෙ, මොනවද කල්පනා කරන්නේ?”

“මොනවත් නැහැ දිනී, මම කල්පනා කළේ අපි කොහෙද යන්නේ කියලා”

ඔන්න මට පොඩි අදහසක් ආවා. සචිත්රගේ අයියට අයිති පොඩි රෙස්ටෝරන්ට් එක්ක තියෙනවා මේ කිට්ටුව. රෙස්ටෝරන්ට් කිව්වට ඇත්තටම මේක හදලා තිබුනේ ගග අයිනේ එළිමහනේ බොහොම සුන්දර විදිහට. අපි ඔය සිගරට් එකක් බොන්න තැනක් නැති වුනාම වගේ යන්නේ මෙතනට තමයි.

මම කවදාවත් දිනී එක්ක මේ වගේ තැනකට ගිහින් නැති වුනත් වෙන කරන්න දෙයක නැති නිසාත්, පංතිය ඇරෙනකං පැය 3 ක් ඉන්න ඕනෙ නිසාත් මම හිතුවා එතනට යන්න.

“දිනී, අපි සචියගේ අයියගේ රෙස්ට් එකට යමුද?

“යං”

දිනී කිසිම දවසක මම කියන දේවල් වලට උත්තර දුන්නේ මෙහෙමයි. මම කියන්නේ මොනවද එයාට පුළුවන්.

අපි යනකොට එරංග අයියා බාර් එක පැත්තේ ඉදලා එලියට ආවා.

“ආ මල්ලි මොකද මේ පැත්තේ?”

එහෙම කියලා එරංග අයියා බයිසිකලේ පිටිපස්සට එබුනා, මොකද මාත් එක්ක මේ වගේ වෙනද එන්නේ සචියා නිසා.

එරංග අයියා එතන ඉන්නේ කව්ද කියල දැක්ක ගමන් නිකං පුදුමෙන් වගේ මගේ දිහා බලාගෙන හිටියා.

මම බැහැලා අයියව පැත්තකට එක්කරගෙන ගියා.

“යකෝ මේ උඹේ කසීන් නේද?”

“අනේ එරංග අයියේ එහෙම සීන් එකක් නැහැ. මේ අපිට අද ක්ලාස් එකට පරක්කු වුනා, ඉතින් පොඩ්ඩක් මේ පැත්තට ආවා.”

“මටනම් උඹේ මේ සීන් එක එච්චර දිරවන්නේ නැහැ.”

“ෂුවර් අයියේ, වෙන සීන් එකක් නැහැ”

“හරි හරි දැන් මොකද කරන්නේ?”

“මොකුත් නැහැ, අපි දෙන්නා අර පැත්තකට වෙලා ටිකක් ඉන්නම් සචිත්‍ර එනකං”

“හා හා කැමති දෙයක් කරපං මල්ලි හැබැයි පරෙස්සමෙන්”

මම දිනිවත් එක්කගෙන ගගට කිට්ටුවෙන් තිබුණ සමර් හට් එකක් යටට ගියා.

ගගේ වතුර මට්ටම බොහොම වැඩි වෙලා. දින කීපයක්ම වැස්සක් වැටුන නිසා වෙන්න ඇති. මම ටික වෙලාවක් දිය පහර දිහා බලාගෙන හිටියා. ගල් අතරින් පෙන උතුරුවාගෙන ගලාගෙන යන දිය පහරත් ජීවිතය වගේ කියලා හිතුනා.

“අයියේ, මොකද කතා නැත්තේ.?”

“මුකුත් නැහැ දිනි, මට මේ ගග දැක්කහම ලයිෆ්  එකත් ඒ වගේම නේද කියලා හිතුනා”

“ඒ කියන්නේ? මට තේරුණේ නැහැ”

“මෙහෙමයි,

අපි කාලයක් කිසිම හැල හැප්පීමක් නැතුව බොහොම සැහැල්ලුවෙන් දෙමව්පියන් ගේ ආදරය යටතේ ජීවිතය ගලාගෙන යන්න ඉඩ දෙනවා. ටිකක් වයසින් වැඩෙද්දි හිත වෙනත් පැති වලට යනවා. වතුර පාර ගල් ගොඩක නැත්නම් පස් කන්ඩියක වැදිලා එයාගේ මාර්ගය වෙනස් කරගන්නවා වගේම අපිත් ජීවිතයේ දිශාව වෙනස් කරනවා. ටික දුරක් ඒ විදිහටම යනවා. ආයෙත් ඒ ගල මග හැරිලා ටිකකින් තවත් ගල්ක වැදිලා දිශාව තවත් වතාවක් වෙනස් කරගන්නවා ජීවිතයත් එහෙමයි. අන්තිමට ගග මූදට එකතු වෙලා ඒ විවිධත්වය නිශ්චිත බවකට හැරෙනවා. අපිත් අන්තිමට කසාද බැදලා ඒ විදිහටම නිශ්චිතව තැන්පත් වෙනවා.

මේ කතාව අපේ ජීවිතයට කොයිතරම් කිට්ටුද, මට හිතෙන්නේ මටත් වෙන්නේ ඒ වගේ දෙයක්.”

මම මේ ටික කිව්වට පස්සේ දිනි ඇස් දෙකත් ලොකු කරගෙන මගේ දිහා බලාගෙන ඉන්නවා.

“මොකද දිනි, හොල්මනක් දැකලා වගේ?”

“නෑ අයියේ හොල්මනක් දැක්කනම් මේ තරම් බය වෙන්නේ නැහැ.”

“ඒ ඇයි.?”

“මේ ඉන්නේ මම කළින් ඉදලම දන්න කාවින්ද අයියද නැත්නම් දවස් දෙක තුනකින් වෙනස් වෙලාද, එහෙමත් නැත්නම් ඉස්සර ඉදළම හිතේ තිබුන ලස්සන දේවල් අර පිස්සු වැඩ වලින් යට වෙලා තිබිලද?”

“මම වෙනස් වෙලා නැහැ නංගි, මම එදා ඉදලම කල්පනා කළේ මේ විදිහට තමයි ඒත් කොලු කමට තිබුන පිස්සුව නිසා ඒව ඒ තරම් පෙනුනේ නැති වෙන්න ඇති.”

“කොහොමත් මම කැමති නැහැ දැන්ම ඉදලම බොරුවට කරදර වගකීම් ගොඩක් ඔලුවට දාගෙන ඕනවට වඩා බර ඔලුවට දාගන්න, මට ඕනේ සැහැල්ලුවෙන් ඉන්න, වගකීම් ගන්න තව කල් තියෙනවා.”

“අනේ අයියේ ඔයාගේ හිත ඔය තරම් ලස්සනයි කියල මම දන්නේ අද, මම දන්නේ හැම දේම සැහැල්ලුවෙන් ගත්ත, පිස්සු වැඩවල උපරිමේටත් ටිකක් එහාට ගිය කාවින්ද අයිය කෙනෙක් ගැන, ඒත් අද ඉදලා මම දන්නේ ඒ දේවලුත් එක්කම ගොඩක් ලස්සන හිතක් තියෙන අයියා ගැන”

“ඔයා ඔය ලයාංගි ගේ සිද්ධිය ගැන ඕනවට වඩා හිතන්න එපා අයියේ, ඔයාව හරියට තේරුම් ගත්තොත් ඔයාට මේ ලෝකෙ කිසිම කෙල්ලෙක් අකමැති වෙන එකක් නැහැ”

“ඔයාට ෂුවර්ද?

“ඔව් අයියේ”

“නංගි, මම ඇත්තටම කියන්නද මගේ හිතේ තියෙන දේ, නෑ ඊට වඩා හොදයි මම කතාව මුල ඉදලා කියල ඉන්නම්කෝ”
ඔය විදිහට මම ලයාංගි ගැන මුලින්ම සචිත්‍ර මට කියපු දවසේ ඉදලා මේ වෙනතුරු සිද්ධ වුන හැම දෙයක්ම දිනි ට කිව්වා.
කතාව ඉවර වුනාට පස්සේ මම දිනිගේ මූණ දිහා බැලුවා

එයා කිසිම හැගීමක් නැති විදිහට කල්පනා කරනවා.

“දිනි, මොකද හිතන්නේ?”

“මම නෙවෙයි අයියේ, ඔයා මොකද හිතන්නේ?”

“තේරුණේ නැහැ”

“මම අහන්නේ ඔයා මොකක්ද හිතන්නේ ලයාංගි ගැන?”

“තාමත් තේරුණේ නැහැ”

“මම අහන්නේ ඔයා ලයාංගිට ආදරේද?”

“නැහැ”

“එහෙනම් ඔයා එයාට කැමතිද?”

“ඔව්”

“එහෙනම් ඔයා දෙකෙන් එකක් තෝරගන්න, ඔයා එයාට ආදරේ කරන්න බලාපොරොත්තුවක් තියෙනවා නම් කොහොමහරි සම්බන්ධකමක් හදාගෙන යාළුවෙක් විදිහට ආශ්‍රය කරන්න, ආදරය කියන එක නිකම්ම ඇතිවෙයි.”

“එහෙම නැත්තං?

“එහෙමනම්, ඔයා එයාව අමතක ම කරලා හිටපු විදිහට ඉන්න”

“බලමු”

“මගෙන් ඕන උදව් මොනවද?

“එකම ඉස්කෝලෙ නිසා ඔයාට විතරයි උදව් කරන්න පුළුවන්”

“කියන්න”

“මට එයා එන ක්ලාස් එකක විස්තර හොයලා දෙන්න”

“කවදද?

“දැන්ම වුනත් කමක් නැහැ”

“සුලු දෙයක්, එහෙනම් දැන් යමු”

“හරි, ඉන්න මම එරංග අයියට කියල එන්නම්”

මම ගිහිල්ලා එරංග අයියට කියල ඇවිල්ල බයිසිකලේට නැංගා.

“අයියේ ඔයා අහන්නෙ නැද්ද කොහෙද යන්නේ කියලා?”

“නෑ මට මගේ දිනි ව විශ්වාසයි”

ඒක කිව්ව විතරයි දින අමුතු විදිහට මගේ දිහා බැලුවා, නිකං ඇයි කළින් කිව්වේ නැත්තේ අහනවා වගේ
මම බයිසිකලය පදවගෙන එලියට ඇවිල්ල දිනි දිහා බැලුවා

“යං.”  එයා අත දික්කරලා කිව්වා.

මම බයිසිකලය පේරාදෙනිය පාරට හැරෙව්වා, දිනි කියපු තැනට මීටර් 100 විතර තියෙද්දි එයා මට නවත්තන්න කිව්වා.

“ඇයි නංගි?”

“ඔයා දැන් තනියම යන්න, තව විනාඩි 15 කින් ෆිසික්ස් පංතිය ඉවර වෙලා එයා එළියට එයි”

“එතකොට ඔයා?

“අනේ අනේ, කෙල්ලෙක් බලන්න තව කෙල්ලෙක් එක්ක යනවද?

“ඒකත් ඇත්ත. දැන් මම ගිහිල්ලා මොකද කරන්නේ?”

දිනි කතා නැතුව අත වනලා මෙහෙම කිව්වා.

“ආදරේ කියන එක හිතේ තියෙනවනම් කතා කරන්නේ මොනවද කියන එක ඒ වෙලාවට කටට එයි. අයියේ තව පැයකින් මම ගුඩ්ෂෙඩ් හෝල්ට් එකේ ඉන්නවා, මාව ගෙදර ඇරලවන්න”

එහෙම කියලා දිනි බස් එකක නැග්ගා.

දැන් තමයි මට තේරුණේ කරපු මෝඩකම. තනියම මම ක්ලාස් එක ඉස්සරහ, තව විනාඩි දහයකින් ලයාංගි එනවා, තට්ට තනියම මම මොනවා කරන්නද. මොනවා කතා කරන්නද?, නැත්නම් එයාට නොපෙනෙන්න ඉදලා පස්සෙන් ගිහිල්ලා බලනවද?

මට කිසිම දෙයක් හිතාගන්න බැරිවුනා.

විනාඩි දහය ගතවෙලා ඉවරයි කියලා තේරුනේ ළමයි එක්කෙනා දෙන්නා එළියට එනවා‍‍‍ දැක්ක නිසයි.

ඔන්න ඔය වෙලාවෙ තමයි මගේ කූල් ඔළුවට අයිඩියා එකක් ආවෙ.

මම ගියා බයික් එක ළගට, ස්ටාට් කළා, අරන් ගියා පංතිය ඉදිරිපස තියෙන ෆැෂන් ෂොප් එකට. මම හොඳට අඳුරන තැනක්.

දැම්මා හෙල්මට් සිකියුරිටි එක අයියා ළඟට.

දිව්වා ඇතුලට.

“විමල් අයියා, මට ටී ෂර්ට් එකකුයි, ඩෙනිමකුයි ගන්න ඕනෙ සල්ලි පස්සේ”

“ඇයි හදිස්සියේ මල්ලි?”

“විස්තර පස්සේ කියන්නම්, අනේ අයියේ මේක ජීවිතයත් මරණයත් අතර ප්‍රශ්ණයක්, මම ගන්නද?”

'මොනවද කියන්නේ බං හරි හරි තෝරලා ගන්න”

“තෝරන්න දෙයක් නැහැ, මොකක් හරි දෙන්න”

මම දිව්වා පිරිමි ඇදුම් තියෙන පැත්තට, ගත්තා ඩෙනිමක් සහ ටී ෂර්ට් එක්ක දාගත්තා බෑග් එකක, කැෂියර් අක්කට ඇහැකුත් වහලා ආරක්ෂක නිලධාරියා ඉන්න තැනට ගිහිල්ලා නුවර පැත්තට යන බස් නවත්තන හෝල්ට් එක පේන විදිහටත් හෝල්ට් එකේ ඉන්න අයට මාව නොපෙනෙන්නත් ඉදලා මිනිහා එක්ක කතාවක් පටන් ගත්තා.

වැඩි වෙලාවක් ගතවුනේ නැහැ ලයාංගි එනවා පොත් දෙකකුත් තුරුලු කරගෙන, මම බැලුවා දෙපැත්තෙන් ඉන්නේ කව්ද කියල, මගේ වෙලාව කියන්නේ කව්රුවත් නැහැ.

ඕකට තමයි කියන්නේ දෙන දෙයියෝ දෙනකොට ටොකු ඇන ඇන දෙනවා කියලා.

“මොකක්ද මල්ලි කිව්වේ?”

මම මටම කියාගත්ත දේ කියපු දේ සිකුරිටි අයියට ඇහිලා වගෙයි.

“නැහැ අයියේ, ජීවිතේ අමාරුම මිෂන් එක දැන් තමයි පටන් ගන්නේ”

මම එහෙම කියලා හෙමිහිට පාර මාරු වෙලා ලයාංගිට කිට්ටු කළා.

මම ළගට එන්න කළින්ම එයා මාව දැක්කා, හිනාවුනා, මමත් හිනාවුනා.

ඔන්න මම දැන් ළගට ගියා. 

“හලෝ, මම එහා පැත්තෙදිම දැක්කා ඔයා ඉන්නවා”

“ඇත්තද අයියේ?, ඉතින් ඔයා කොහෙද ගියේ අයියේ?, මම නම් ක්ලාස් ඉවර වෙලා”

අහන්නත් කළින් ලයාංගි කියල දැම්මා‍.

දැන් තමයි මගේ මොලේ උපරිමෙන් වැඩ කරන්නේ.

“මම මේ පොඩි ෂොපින් වටයක් ගියා, ලබන සතියේ මීට් එකටයි අදින්න ෂෝට් එකකුයි, ඩෙක්ස් දෙකකුයි ගන්න”

ලයාංගි බෑග් එක දිහා යන්තමින් බැලුවා, මගේ පපුව දිඩි දිඩි ගාලා ගැහෙනවා, කෙල්ල දකීද බෑග් එකේ තියෙන්නේ වෙන දෙයක් කියලා, නැත්නම් සපත්තු දෙක බලන්න ඉල්ලයිද?

හොද වෙලාවට මොනවත්ම සිද්ධ වුනේ නැහැ.

“ඉතින් ලයාංගි කොහොමද, මේ දවස් වල මොකද කරන්නේ?”

“මම නම් විශේෂයක් නැහැ, ඒත් අයියව අද හම්බවෙයි කියලනම් මම හිතුවෙම නැහැ”

කෙල්ල මේ කියන්නේ මාව හම්බවුන එක වදයක් කියලද, මූණෙන් නම් පෙනුනේ නැහැ එහෙම දෙයක්.

“මමත් ඔයාව දකින්න ලැබෙයි කියලනම් හිතුවේ නැහැ නංගි, ඒත් දැක්ක නිසා කතා කරන්න හිතුවා.”

“අනේ ඒකට කමක් නැහැ අයියේ. මට ඔයාව හම්බවුන එක දවසකවත් කතා කරන්න වෙලාවක් තිබුනේ නැහැනේ”

“ඒක ගානක් නැහැ නංගි, මම තාම ඔයාව දන්නෙත් නැහැනේ බොහොම පොඩි දේවල් ටිකක් ඇරෙන්න.”

“ඉතින් අයියේ කොහොමද මේ දවස්වල වැඩ?”

“අවුලක් නැහැ කෙරෙනවා”

“ඔයාල ගැන කව්ද නොදන්නේ අයියේ. ඔයාලගේ ටීම් එක හැමදාම වින් කරනවා. නුවර ඔයාලව නොදන්න ඉස්කෝලයක් තියෙනවද?”

“එහෙම විශේෂයක් නැහැ නංගි, අපි කරන එකම දේ වරද්දන්නේ නැතුව හැමදාම ස්කෙඩුයුල් එකකට ප්‍රැක්ටිස් කරන එක”

“අයියේ මම දැන් යන්නද, අම්මා ටවුන් එකේ ඉන්නවා මාව බලාගෙන”

“ඕකේ. මමත් යන්නේ ඒ පැත්තට. මාත් එන්නම්”

“අයියා ඇත්තටම යන්නේ නුවරටද?

“ඔව්”

“එහෙනම් යමු”

මම ආපු බස් එකට අත දැම්මා.

දැන් දෙන්නම බස් එක ඇතුළේ. මම ටිකට් ගන්න ගමන් තවත් ඊතලයක් විද්දා ඉලක්කය නොබලා.

“කොහාටද ටිකක් ගන්න ඕන ලයාංගි, ඹයා ටවුමටම යනවද නැත්නම් මගින් බැහැලා ගෙදර යනවද?”

“මගින් බැහැලා මට ගෙදර යන්න බැහැනේ, ගුඩ්ෂෙඩ් එකෙන් තලාතුඹය බස් එකක් ගන්න වෙනවා”

උත්තරේ දෙනවත් එක්කම කෙල්ලට තේරුණා මගේ ඉලක්කේ නැතුව විද්ද ඊතලයට එයා ඉලක්කය දුන්න බව. ලයාංගි හිනාවෙන්ම කට තද කර ගත්තා.

මම අහිංසක ළමය වගේ 'ඇයි ලයාංගි?' කියල ඇහුවා

“අම්මේ ඔයා වගේ කපටියෙක්”

මම ලයාංගි ගියාට පස්සෙ ආයෙත් බයික් එක අරගෙන එනකොට සචියා හම්බවුනා.

'මචං කාවා උඹ මාවත් දාගෙන පලයන්කෝ ආයෙ බස්වල ගාටන්න බෑ බං.'

මුගෙත් තියෙන කරදරයක්

“හරි හරි නැගපංකෝහැබැයි අරුප්පල කන්ද ගාවට විතරයි හරිද ඉතුරු ටික පයින් පලයං”

“හරි ඔන්න මම නැංගා, යමං”

මම බයික් එක හරවගත්තා.

“මචං කාවා, උඹ අද කොහෙද ගියේ කියපං, බොරු නේද ගාමිණි අයියා හම්බවෙන්න ගියා කිව්වේ?”

“සිරා බං, මං වෙන කොහේ යන්නද?

“වෙන කාවද හම්බවුනේ?”

“කවුරුත් නැහැ යකෝ, බලපං පොලීසියෙන් ඉන්නවද කියලා”

“අඩෝ බොරු කරන්න එපා මමයි ලයාංගි ගැන අයිඩියා එක දැම්මේ, උඹ දැන් තනියම යනවා නේද?”

ලයාංගි ගැන හොයල දෙන්නම් කියලා උඹ කරන මගුලක් නෑනේ, ඉතිං මම කොහෙන් ඒ කෙල්ලව හම්බවෙන්නද?”

“එතකොට අර උඹ බයික් එකේ දාගෙන අපේ අයියා කාරයාට නෝන්ඩි වුන කෙල්ල කවුද, දැන් බයික් වල දාගෙන යන තරමට වැඩේ දියුණුද?”

එරංග අයියා වැඩේ කාලා වගේ.

“මොකද යකෝ කට ලොක් වෙලාද?

“නෑ බං ඒ මේ දිනි”

“දිනි මොකටද උඹත් එක්ක යන්නේ, උඹ ඒකත් තියාගෙන කනවද”

“මගුලක් කතා කරන්න එපා යකෝ“

“උඹ රවුමම ගහලා කෙල්ලව ගෙදරත් ඇරලලා මම ගිහින් දාපං කිව්වහම තමා නේද අමාරුව, උඹල යාළුවෝ නෙමෙයි, මාරයෝ බං”

“මං ඒ කෙල්ලව ගිහින් දාපු ගෙදරක් නෑ බං”

“දිනි..

මට දිනීගේ නම කියවුනා නෙමෙයි, කෑ ගැස්සුනා.

දෙයියනේ කෙල්ලව ගෙදර ගෙනියන්න මම පොරොන්දු වුනා නේද තුන හමාරට, දැන් වෙලාව පහයි.

මම ගහපු බ්රේක් එකේ තරමට සචිත්රගේ එක කකුලක් බයිසිකලේ අනෙක බිම.

“බැහැපන්කෝ ඉක්මනට, පොලිසි ගිහින් වත් බේරගන්න බැරි නඩුවක් වැටෙනවා දැන්.

“මොකක්ද සීන් එක?”

“කිය කිය ඉන්න බැහැ දැන්, තරහ නැතුව උඹ බස්එකේ පලයන්. මට පොඩි ගමනක් තියෙනවා”

“මට යකෝ උඹේ ......!”

“ඕන මගුලක්, මම යනවා”

මම බයිසිකලේ හරවගත්තේ නොහිතන වේගෙකින්.

ඒත් ගුඩ්ෂෙඩ් එක පැත්තට යනකොට ටිකක් බයයි වගේ. කෙල්ල පරක්කු නිසා බස් එකේම ගෙදර ගිහිල්ලද?

“අයියා, ඔයා දැන්ද ආවේ, ලයාංගි මෙච්චර වෙලා හිටියද? වාව් නියමයිනේ”

කෙල්ල හිතාගෙන ඉන්නේ මම ලයාංගි එක්ක කතා කරලා දැන් තමා එන්නේ කියල වගේ.

පුදුමේ කියන්නේ මේ කෙල්ල වැඩිපුර පැය එක හමාරක් මම එනකං හිටපු එක.

“අපේ අක්කත් ආවා, ඒත් මම ගියේ නැහැ අයියේ, ඔයාගේ වැඩේ ගැන  දැනගන්න ඕන නිසා මෙච්චර වෙලා හිටියා”

පවු දෙයියනේ, දැන් මම මොනවද කියන්නේ?

“ලයාංගිනම් කතා කළා තමයි, ඒත් මෙච්චර වෙලා පරක්කු වුනේ නම් වෙන වැඩක් සෙට් වුනා නංගි‍.”

“කමක් නැහැ වැඩේ ගොඩනේ, මගේ පරක්කුව වගේද ඔයාගේ වැඩේ.”

“හරි දැන් නගින්නකෝ මම ඉක්මනට ගිහින් දාන්නම්.”

මම දිනි ව ගෙදර ගිහින් දැම්මා, දිනිගේ අම්මා මට තේ එකක් නොබී එන්න දුන්නෙම නැහැ. මම එන්න හැරෙනකොටම දිනි කතා කළා.

“අයියේ ඔයාට මාව අමතක වුන බව මම දන්නවා ඒත් මම තරහ නැහැ.”

“මොනවද නංගි මේ කියන්නේ?”

“ඔයා ලයාංගි එක්ක කතා කරලා බස් එකේ නුවරට එනවා මම දැක්කා, ඊට පස්සේ ආයෙත් බයික් එකේ යනවා දැක්කා, ඊටත් පස්සේ පැයකින් තමා ඔයා මාව ගන්න ආවේ. කමක් නැහැ එහෙම හරි මතක් වුනානේ.”

වස ලැජ්ජාවයි, මේ කෙල්ල මේ ඔක්කොම දැකලා, මගේ බොරු අතටම අහු වෙලා.

“අනේ රත්තරං ආයෙත් නං ඔයාව අමතක කරන්නේ නැහැ.”

“බලමුකෝ අයියේ.”

මට ඇත්තටම පුදුම දුකක් දැනුනා. දිනි මට මොනතරම් උදව්කරල තියෙනවද? මම දුකෙන් ඉන්න හැම වෙලාවකම එයා මගේ ළඟ ඉඳලා තියෙනවා. සමහර දවස් වල රෑටත් ගෙදර යන්නේ නැතුව මාත් එක්ක කතා කර කර ඉන්නවා. ඒත් මට හැම වෙලාවෙම දිනිව අමතක වෙනවා. ගිය අවුරුද්දේ උපන් දිනේ අමතක වුනා. දිනි මට එන්න කියලා රෑ කෑම අරන් දීලා, ඒක කාලා ගෙදර ඇවිල්ලා පහුවෙනිද උදේ තමයි මට මතක් වුනේ.

ඊළඟට එයාගේ ගෙදර කවුරුවත් නැති දවසක කෑම එකක් ගිහින් දෙන්නම් කියල ඒක අමතක වෙලා කෙල්ල මුලු රෑම බඩගින්නේ හිටියා. මගේ අමතක වීමේ සීමාවක් නැහැ. ඒත් වැඩේ කියන්නේ මට අමතක වෙන්නෙම දිනිගේ දේවල් විතරමයි.


කොහොමහරි එදා දවස ගෙවුනා. පහුවෙනිදා ඉරිදාවක්, මම උදේම නැගිට්ටේ දිනිව බලන්න යන බවට වුන පොරොන්දුව ඉෂ්ඨ කරන්න.

ප්‍රකාශකගේ ලිඛිත අවසරයකින් තොරව මෙම ප්‍රකාශනයේ කිසිදු කොටසක් කුමන ආකාරයකින් හෝ කුමන ක්‍රමයකින් ඉලෙක්ට්‍රොනිකව, යාන්ත්‍රිකව, ඡායා පිටපත් මගින් සම්ප්‍රේෂණය සහ භාවිතය පිණිස කිසියම් පද්ධතියක සටහන් කිරීම හා ගබඩා කර තැබීම සපුරා තහනම්ය.

1 comment:

  1. හත්වලාමේ මේ නුවර පෙම්කතාවක් නේද? හය්යු............................... ඉයාව්

    ReplyDelete