Thursday, April 27, 2017

සදානුස්මරණිය ප්‍රථම ප්‍රේමය ~ මේ ආදරයයි ~ 5

සදානුස්මරණිය ප්‍රථම ප්‍රේමය
මේ ආදරයයි




5.
 “මචං කාවා, කියපංකෝ මොකද මේ දවස්වල උඹ කරන්නේ කියල?”

“මොන මගුලක්ද බං කතා කරන්නේ, උඹ දන්නේ නැද්ද බං මං මොනවද කරන්නේ කියල?”

“මචං, චතුවා උඹ දන්නවද අපේ කාවා අද අනාගෙන කියල?”

බියර් ෂොට් දෙකයි දාගත්තේ, සචිත්‍රගේ කටට පණ ඇවිල්ලා.

“මොකක්ද සීන් එක?

“උගෙන්ම අහගනින්, ඌට මාව විශ්වාස නැතිලු කියන්න”

“සචියා මේ මට උඹව විශ්වාස නැතුව නෙවෙයි, ඒත් කියන්න තරම් දෙයක් වුනේ නැහැ”

“අනේ පලයං බං යන්න, උඹට මොකක් හරි ලොකු සීන් එකක් නැත්තම් ඔය වගේ උඩ බලාගෙන ඉන්නේ නැහැ. මම දන්නවනේ උඹේ හැටි”

“සචියා, උඹ කෑවනං බිව්වනං කට වහගෙන හිටපං, මේ වෙලාවට ඔය මගුල් කියවන්නේ නැතුව”

“හරි අපි කියවන්නේ නෑ, හැබැයි තව බියර් එකක් ගහමු”

“පිස්සුද යකෝ, ආයෙ ගේන්න යන්නේ කව්ද?”

“කාවා උඹ පලයං, බයික් එක තියෙනවනේ, සල්ලි මගේ ගානේ”

“මටනම් බෑ, උඹ පලයං”‍

කොහොමහරි අපි තව එකක් අරගෙන තමයි කතාව ඉවර වුනේ.

“කාවා අපි යන්නේ නැද්ද?”‍

“කොහේ යන්නද බං?

“ඇයි යකෝ ගෙවල් වලින් පොලිසි ගිහිල්ලත් ඇති”

“ඕනෙ බම්බුවක් බං, මමනම් දැන්ම යන්නේ නෑ”

“සචියා උඹ කිව්ව එක ඇත්ත කාවා ට නම් අද මොකක් හරි සීන් එකක් වෙලා තියෙනවා.”‍

චතුර කතාව පටන් ගත්තා

“මේ, කාවා උඹට දැන් ගෙදර යන්න බැරිනම් කොහෙද යන්නේ? ලයාංගිව බලන්න ඕනෙද?

මූ මගුලක් කතා කරනවා, මම මේ බයේ ඉන්නවා දිනිට මොනවා වෙලාද කියල. කෙල්ල ඇත්තටම තරහ වෙලා නම් මට මොනව කරන්නද කියල හිතා ගන්න බැහැ.

“කාවා අපි එහෙනම් මෙහෙම කරමු, චතුර උගේ බයික් එකේ එයි, උඹට ඕනෙ තැනකට ගිහිල්ලා අපි ප්‍රශ්නේ විසදගමු”

අන්න නියම යාළුවෝ.

“හරි”

“කොහෙද දැන් යන්න හදන්නේ"

“කතා නැතුව මාව ෆලෝ කරපං”

මම යන්නේ කොහෙද කියලවත් දන්නේ නැතුව බයිසිකලේ හරවාගත්තා, මුලින්ම මගේ ඔලුවට ආවේ දිනි. මම කොහොමහරි ආයෙත් එයාව හම්බවෙලා සමාව ඉල්ලන්න ඕනේ. නැත්නම් කවදාවත් මේ වැඩේ ගොඩදාගන්න බැරි වෙනවා.

මම ලේවැල්ල පාරට බයිසිකලය හැරෙව්වා.

සචිත්‍ර මගේ පස්සේ ඉදලා කතා කළා

“කාවා, කොහෙද යන්නේ, නවත්තපං”

මම කිසිම දෙයක් ඇහෙන්නේ නෑ වගේ කෙලින්ම ගියා, නැවැත්තුවා බයික් එක දිනිගේ ගෙදර ඉදිරිපිට.

සචිත්‍ර බයිසිකලයෙන් බිමට පැන්නා.

“යකෝ තොට පිස්සුද?”‍

ඒත් එක්කම චතුරත් ආවා

“මොකද මේ?

“මූට පිස්සු බං, මේ කෙල්ලගේ ගෙදර මේ මහ රෑ ඇවිල්ලා අයෙත් අපිට ජීවිතේට නැති පරිප්පුවක් කන්න වෙනවා.”

“කාවා උඹට ඩෝප් වැඩිනම් කියපං, අපි ගිහින් දාන්නම්, මේ වෙලාවෙ දිනිට නම් කතා කරන්න එපා, එයාගේ අම්මා මොනවා හිතයිද දන්නෑ”

‍මට කිසිම දෙයක් ඇහුනේ නැහැ. යාළුවෝ දෙන්න මොනව කරනවද කියලවත් බලන්නේ නැතුව මම ගියා දිනිගේ ගෙදර ලගට.

මම ජනේලය ළගට ගියා විතරයි දිනි ජනේලය ඇරියා. ඒක පුදුම දෙයක්. එයා කොහොම දැනගත්තද මම ඒ වෙලාවේ එන බව. සංසාරේ පතාගෙන ආපු ආදරයක් කියන්නේ මේ වගේ දේකටද? මට නිකමට හිතුනා.

“අයියේ, ඉන්න මම සර්වන්ට් එන්ට්‍රන්ස් එක අරින්නම්, ඒ පැත්තෙන් එන්න”

මමයි කිසිම බයක් නැතුව මේ මහ රෑ කෙල්ලව බලන්න වීරයා වගේ ආවේ. ඒත් දැන් දිනි කරන දේවල් දැක්කහම මම ඇත්තටම පුදුම වෙලා බලාගෙන හිටියා. දිනි මේ මොනවද කරන්නේ, මහ රෑ මම එනකම් ඇහැරගෙන ඉදලා දැන් මාව ගේ ඇතුලට ගන්න හදනවා. මගේ තිබුන මත් ගතිය අඩුවෙලා ගියා වගේ දැනුනා.

සචියයි, චතුරයි ජීවිතේ දැකපු ලොකුම පුදුමේ වගේ මගේ දිහා බලාගෙන ඉන්නවා.

දිනි බොහොම පරිස්සමින් ගෙදර අයව ඇහැරෙන්නේ නැති වෙන්න මාව ඇතුලට ගත්තා.

“දිනි, ඔයා ..... කෝම......ද  දන්නේ මම එන බව.....?”

“ෂ්...... කතා එපා..... දැන් නිදාගන්න ටිකක්.....”

ඒත් මට නිදාගන්න හිතකවත් නැහැ. පුදුමය, ආදරය, කුතුහලය, බය මේ හැම දේකින්ම මගේ හිත පිරිලා.

“නංගියා මට සමාවෙන්න මම කරපු වැඩේට...... මට සමාවෙන්න. ... මාව ගණන් නොගෙන ඉන්න එපා...., ඇයි ඔයා මට මොනවත් කියන්නේ නැත්තේ රත්තරනේ........”

දිනි කිසිම කතාවක් නැතුව මාව එයාගේ ඇදේ නිදිකරවලා ඔලුව අතගාන්න පටන් ගත්තා.

“දිනි ඇයි ඔයා මට ආදරේ කරන්නේ......”

මම නොදැනුවත්වම මගේ කටින් මේ වගේ දෙයක් පිටවුනා

“ෂ්.... සද්ද කරන්න එපා අපි උදේට ඒ ගැන කතා කරමු”

“මට උදේ වෙනකම් ඉන්න බැහැ.....................,  ඔයා ඇත්ත කිව්වෙ නැත්නම් මම ඇහැ පියවන්නේ නැහැ. මෙතනින් යන්නෙත් නැහැ.”

“ඔන්න ඔන්න අයියේ ඔයා නරක ළමයෙක් වෙන්න යනවා, මම කියන දේ අහල නිදා ගන්න. ඔය දේවල් කතා කරන්න පුළුවන් තත්වෙක ඔයා දැන් නැහැ”

“නෑ නෑ මට කියන්න ඇයි ඔයා මට මේ තරම් ආදරේ කරන්නේ?”

“මම දන්නවා අයියේ මට අයිතියක් නැති බව ඔයාට ආදරේ කරන්න, කව්ද ඔයාට කිව්වේ මම ඔයාට ආදරෙ කරනවා කියලා?”

“කව්රුත් කියන්න ඕන නැහැ දිනි, ඔයා මාව මේ තේරුම් අරන් ඉන්න තරම් දැක්කාම, මේ කරන දේවල් දැක්කහම මට ඒක පේනවා.......”

“ඔයාට වැරදිලා අයියේ, මම ඔයාට ආදරේ කරනවා තමයි ඒත් ඔයා මගේ අයියා විදිහට”

“ආදරේ කරන්න නෑදෑ කම් බලපාන්නේ නැහැ නංගියා”

“අනේ අයියේ දැන් පොඩ්ඩක් කතා නොකර නිදාගන්න, මම උදේට ඔයාව ඇරලවන්නම් කාටවත් නොපෙනෙන්න”

“බෑ මට දැනගන්නම ඕනේ.....”

“හරි මම තරහා නැහැ, දැන් හොද බබා වගේ නිදා ගන්න”

“ඒ මදි, මට කියන්න ඇයි මට ආදරේ කරන බව කිව්වේ නැත්තේ කියලා?”

“මම කොහොමද ඒ බව ඔයාට කියන්නේ අයියේ. මට බය හිතුනා ඔයා ලයාංගි ගැන කියනකොට මට ඔයා නැතිවෙයි කියලා. ඔයා මට ආදරේ නැතත් මට ඕන වුනේ නංගි විදිහට හරි ඔයා ලගින් ඉන්න......... මගේ ආදරේ ගැන කියන්න ගිහිල්ලා ඒ ටිකත් නැතිවෙයි කියලා මට බය හිතුනා අයියේ.”

“පිස්සු කෙල්ල, මම කවදාවත් එහෙම කරනවද, මට ඔයා එක්ක තරහ වෙලා දවසක්වත් ඉන්න බැහැ.”

“ඔයාට හැමදාම මගේ දේවල් අමතක වෙනකොට, ඔයාගේ කිසිම දෙයක මට අමතක වුනේ නැහැ. ඔයාගේ හැම පොඩි දෙයක්ම මට මතක තිබුනා, ඉතින් මට බය හිතුනා ඔයාට ඒ විදිහට දවසක මාවත් අමතක වෙයිද කියලා.”

“මට සමාවෙන්න.....”

දිනිති එයාගේ හිතේ මෙච්චර කල් හිරවෙලා තිබුන හැම දෙයක්ම මට කියන්න පටන් ගත්තා.

“මම ඔයාට ආදරේ කළේ පුදුම විදිහට, මම දන්නේ නැහැ කවදා කොහොම ඒ ආදරේ ඇති වුනාද කියලා අයියේ. ඒත් ගොඩක් පිරිමි වගේ ඔයා කෙල්ලෝ පස්සේ ගියේ නැහැ, කවදාවත් කෙල්ලෙක්ව ගණන් ගත්තේ නැහැ, ඔයා ඔයාගේ වැඩ කරගෙන ගියා, ඔයාගේ ළගින් හිටපු එකම කෙල්ල මං විතරයි. ඔයා කෙල්ලෙක් කියන දෙයක් ඇහුවේ මම කියන දෙයක් විතරයි. මම ඒ ගැන ආඩම්බර වුනා. ඒ නිසාම වෙන්න ඇති මම ඔයාට ආදරේ කරන්න පටන් ගන්න ඇත්තේ.”

“ගොඩක් ගෑණු ළමයි කැමති නැහැ කොල්ලෙක් පස්සෙන් ඇවිල්ලා ආදරේ හිගාකනවට, මමත් එහෙමයි, මම ආදරේ කළේ ඔයාගේ ඒ ගතිගුණ වලට. ඔයා ගෑණූ ළමයිව ගණන් ගත්තේ නැතත් මගේ ම යාළුවෝ පවා බැලුවේ ඔයාව කතාවට අල්ලගන්න, ඒ අයට ඕන වුනේ ඔයාවත් අනිත් කොල්ලෝ වගේ අප්සට් කරවන්න, ඒත් ඔයා ඒ කිසි දෙයක් නිසා වෙනස් වුනේ නැහැ. අන්තිමට මගේ හොදම යාළුවෝ පවා මගෙන් ඔයා ගැන ඇහුවා. ඔයාට ආදරේ කරන්න ඕන කියලා මගෙන් උදව් ඉල්ලුවා. ඒ මොනවා වුනත් ඔයා කතා කළේ මාත් එක්ක විතරයි. ඒක මට ආඩම්බරයක් වුනා.”

“ඒ නිසයි මම ඔයාට ආදරේ කළේ”

“අනිත් එක අයියේ ඔයාගේ හිත මොනතරම් ලස්සනද කියලා, ඔයා මොන තරම් ගෑනු ළමයෙකුට රෙස්පෙක්ට් කරනවද කියල, ඔයාව පොඩිකාලෙ ඉඳලම ආශ්‍රය කරපු මම හොඳටම දැනගෙන හිටියා. ඔයා ගැන මගේ හිතේ ආදරයක් ඇති වෙන්න ඒකත් හේතුවක්”

දිනි කියන දේවල් වලට මගේ හිත කඩා වැටෙනවා. මේ තරම් හොද කෙල්ලෙක්ගේ හිතවත් මට තේරුම් ගන්න බැරි වුනානේ.

“අනේ නංගියා මම........ මම දන්නෑ..... මොනවා..... කරන්නද.......?”

“දැන් මොනවත් කියන්න එපා. ඇහැ කන පේන්නේ නැති පොට්ටයෙක් වගේ ඉදලා, මැරෙන තරමට මගේ හිත බයකරලා, මට කිස් කලා. මම මොනතරම් සතුටු උනාද ඔයා එහෙම කළාම. ඒත් ඔයා හැඟීමක් නැති මොඩයෙක් වගේ ඒක වැරදීමක් කිව්වා. දැන් එනවා මගෙන් සමාව ඉල්ලන්න”

“ඔයා මට කිස් කරපු වෙලාවේ මම හිතුවා මගේ ආදරේ ඔයා තේරුම් ගන්න ඇති කියලා, ඒත් එක්කම ඔයා ඒක වැරදීමක් කිව්වහම මගේ මුලු ලොකෙම කඩා වැටුනා. ඔයා කොහොමද ඒ වගේ හිතක් නැති වැඩක් කළේ....?

“අනේ නංගියා මම..........”

මට වචන ආවේ නැහැ. ඇරත් මොනවා කියන්නද

“දැන් මම ඔයාට උත්තර දුන්නනේ අයියේ. දැන්වත් ටිකක් නිදා ගන්න, ඔයාට දැන්ම යන්න බැහැ”

“බෑ...... මට යන්න ඕනේ.   සචියා එලියේ.......”

මම නැගිටින්න හැදුවත් නැගිටගන්න බැහැ..... ඔලුව හොදටම කැරකෙනවා.

“ඉන්න මම ගිහිල්ලා සචිත්‍ර අයියට කියන්නම් යන්න කියලා, ඔයා එතකම් අයියේ හොඳ බබා වගේ සද්ද කරලා අම්මලා ඇහැරවන්නේ නැතුව ඉන්න.”

මට නොදැනීම නින්ද ගිහිල්ලා, ඇහැරුනේ තද වතුර තිබහක් ඇවිල්ලා. බලද්දි යන්තම් පාන්දරට කිට්ටුයි.

දිනි මගේ ඔලුවේ එයාගේ අත එහෙමම තියාගෙන මගේ පපුවට ඔලුව තියාගෙන නිදි.

මම ජීවිතේ ප්‍රථම වතාවට ගැහැණු ළමයෙක් මගේ පපුවට ඔලුව තියාගෙන නිදි, ඒත් ඒ මම ආදරය කරන්න හීනෙකින්වත් නොහිතපු කෙනෙක්.

මට එතකොටයි මතක් වුනේ රෑ මොකද වුනේ කියලා.

සචියා ඇත්තටම යන්න ඇද්ද, නැත්නම් ඌ තාම එලියේ බලාගෙන ඉන්නවද, මට හිතුනා.

දිනි මට ආදරය කරන බව නම් දැන් හොදටම පැහැදිලියි.

මේ කෙල්ල නම් මහ පුදුම කෙල්ලෙක්. මට මේ තරම් ආදරය කරලා මට වචනයකින් වත් ඒ බව කිව්වේ නැහැ. මම යන එන තැන්, හිතන පතන දේවල් මේ හැම දෙයක්ම එයාට දැනෙනවා. මම කියන කරන හැම දේකටම එයා උදව් කරනවා. මේ තරම් ආදරයක් හිතේ තියාගෙන වුනත් මම ලයාංගි ගැන කිව්වහම කිසිම වෙනසක් නොපෙන්වා උදව් කළා.

පුදුම හිතක්! මට හිතුනා

මම බොහොම හෙමින් එයාගේ කොන්ඩේ අතින් ඈත් කරලා අයින් වෙන්න හැදුවා. ඒත් එයා නින්දෙන්ම ලස්සනට හිනාවෙලා මට නැගිටින්න දුන්නේ නැහැ.

මම තවත් විනාඩි කීපයක්ම ඒ විදිහටම හිටියා. ඒත් දැන්නම් යන්තම් එලිය වැටීගෙන එනවා. දැන්ම නොගියොත් වැඩේ අහුවෙනවා. මට හිතුනා

“නංගියා”

මම බොහොම හෙමින් කතා කළා.

දිනි නින්දෙන් අවදිවුනා.

“ඇයි?

“දැන් එලිවෙනවා නංගියා.... මම යන්න ඕනේ....”

“මට තව ටිකක් මේ විදිහට ඔයා ලග ඉන්න ඕනේ අයියේ, මගේ ජීවිතේටම ඒ ඇති , ඊට පස්සේ මම ඔයාට යන්න දෙන්නම් ඔයාට කැමති කෙනෙක් ළගට”

දිනි මොනවද කියන්නේ කියලා මට තෝරගන්න බැරිවුනා, දිනි ට උත්තර දෙන්නවත් මට වචන නැහැ.

“ඔයා මට ආදරේ නොකලට කමක් නැහැ, ඒත් මට වෙනදා වගේම කතා කරන්න අයියේ”

“දිනි, මොනවද මේ කියන්නේ, පිස්සු කෙල්ල. දැන් මේවට වෙලාවක් නැහැ. අපි පස්සේ වෙලාවක හම්බවෙලා කතා කරමු.”

“අද වගේ වෙලාවක් කවදාවත් එන්නේ නැහැ අයියේ. මට ආයේ කවදාවත්ම මේ දේවල් කියන්න හිතට හයියක් නැති වෙයි. අද විතරයි මට පුලුවන්”

“මම කවදාවත් මේ වගේ දේකට ෆේස් කරලා නැහැ දිනි, මට හිතන්න වෙලාව ඕනේ, ඔයා කියන දේවල් තේරුම් ගන්න”

“ඔයා කවදාවත් මාව තේරුම් ගත්තේ නැහැ අයියේ, අඩුගානේ උත්සාහයක්වත් ගත්තේ නැහැ.”

“ඉතින් රත්තරනේ මම කොහොම හිතන්නද ඔයා මට ආදරේ කරනවා කියලා”

“දැන් ඒකෙන් වැඩක් නැහැ. ඔයාට යන්න නේ ඕනේ. එන්න යමු”

මම දිනිගේ පස්සෙන් ගියා, එයා මම ගෙයින් එලියට යන්න මොහොතකට කලින් ආයෙත් කතා කළා

“අයියේ මේ ටික හොදට මතක තියා ගන්න.”

“ඔයාගේ ජීවිතේ හොයාගෙන යන්න ඔයාට මගෙන් බාධාවක් නැහැ. ඔයාගේ ජීවිතේට ලංවෙන්න වාසනාව තියෙන කෙනෙකුට ඒ අවස්ථාව දෙන්න. අද මම මේ කියපු දේවල් සෑහෙන කාලයක් මගේ හිතේ තිබුනා. අදවත් ඒවා ඔයාට කියන්න බැරිවුනා නම් මම පුපුරලා මැරෙයි. ඒත් ඒ දේවල් දැන් අමතක කරලා දාන්න. අපි පරණ විදිහටම ඉමු”

“හොදට මතක තියා ගන්න අයියේ, මාව දුකෙන් මරන්න ඕන නැත්නම් ආයෙත් මේ ගැන මාත් එක්ක කතා කරන්න එපා”

“හ්ම්”

මම නොදැනුවත්වම එහෙම කියවුනා

“දැන් යන්න”

මම එලියට ඇවිල්ලා වටපිට බැලුවා. මේ වෙනකොටත් වටපිටාව කලුවරයි. ඒ නිසා කවුරුවත් පාරේ නැහැ.

ඒත් මම දැන් යන්නේ කොහොමද, සචිත්‍ර කොහේද? මොනවා කරලද? ඊයේ රෑ දිනි සචිත්‍රට මොනවද කිව්වේ.?

ප්‍රශ්න ගණනාවක් මගේ ඔලුවට ආවා

“අඩෝ වලත්තයා, තෝ කොටුව පැනලා ඉවරද?”

සචිත්‍ර දිනිගේ ගෙදරට ඇතුල්වෙන්න හැරෙන පාරේ අයිනක බයිසිකලෙත් නවත්තගෙන ඉන්නවා.

මූ නම් පණ තමා. මට හිතුනා

 “උඹ කොහෙද හිටියේ?

“කොහෙද තමයි මී හරකා, තොට ගෑනු දැක්කහම අපිව අමතකයි”

“නෑ සචියා වුනේ මොකක්ද කියලා මට තාම හොල්මන් වගේ”

“අනේ යකෝ උඹ හිතනවද මහ ලොකු වැඩක් කරා කියලා. වලත්ත කමේ ගියාට කමක් නැහැ, අපිව අමාරුවේ නොදා.”

“සචියා තේරුම් ගනින්න බං මාව, මට මොනවා වුනාද දන්නෙ නෑ, ඩෝප් මරගාතේ”

“හරි හරි දැන් යමං, නැත්නම් ජීවිතේට බේරගන්න බැරි නඩුවක් වැටෙනවා.”

“උඹ නම් දෙයියෙක් බං, මෙච්චර වෙලා කටු කෑවා මං එනකං”

“නැත්තං දාලා ගිහිල්ලා පොලිසියට මාට්ටු වුනා නම් අපිත් ගස්, ඇයි රෑ ආවේ අපිත් එක්ක කියලා හැමෝම දන්නවනේ”

“නෑ සචියා, එතන වුන දේ මෙහෙම කියන්න බෑ, හෙට මං උඹව හම්බවෙන්නම්. දැන් යමං ගෙදර නිදාගන්න”

“යකෝ දැන් ගෙදර ගියොත් අම්ම මුත්ත කාලෙක නැති තරමට කන්න වෙනවා ගුටි”

“එහෙනං කොහෙද යන්නේ?

“අපේ අයිය ගාවට යමං, ඌට කියමු රෑ වැඩිවුනා කියලා. කුණු බැණුම් නම් අහගන්න වෙයි, ඒත් ගෙදරට කියන එකක් නැහැ”
අපි ගියා එරංග අයියා හොයාගෙන, එයා රෙස්ට් එකේම තමයි රෑටත් ඉන්නේ.

බීල වැඩිවෙලා පාක් එකට වෙලා නිදා ගත්තා කියල කතාව කිව්වට පස්සේ නොසෑහෙන්න බැනුම් ඇහුවා. ඒත් අපිට කාමරයක් ලෑස්ති කරලා දුන්නා නිදාගන්න.

පහුවෙනිදා පෝය දවසක්.....

මම දවල් වෙනකම් නිදාගෙන ගෙදර ගියා. අම්මා බනිනවා ඉවරයක්  නෑ. හොද වෙලාවට හිතලා තියෙන්නේ මම සචිත්‍රගේ ගෙදර කියලා

දවල් වෙලා මම නාලා ඇද ගත්තා සචිත්‍ර හම්බවෙන්න යන්න. ඒත් හිතුනා ග්‍රවුන්ඩ් එක පැත්තේ ගිහිල්ලා පොඩි වුන් ප්‍රැක්ටිස් කරනවද කියලා බලන්න. මේ පිස්සු වැඩ නිසා මට ඒ දේවල් දවස් කීපයක්ම මගහැරුනා.

මම ගියා ඉස්කෝලෙට‍.

මම පාසැලට ගියේ නිවාඩු දිනයක නමුත්, ක්‍රීඩා වලට සහභාගි වන ළමුන් පිට්ටනියේ හිටියා.

ඇත්තටම මට මේ වෙනකොට දවස් ගණනාවක්ම පුහුණුවීම් මගහැරිලා තිබුනා.

මම යනකොටම පහල පන්ති වල කීප දෙනෙක්ම පුහුණුවීම් ආරම්භ කරලා. මම එතනට ගිහිල්ලා පොඩි අයට කරන්න ඕන දේවල් කියල දීලා බැලුවා සචිත්‍ර කොහෙද කියලා. මිනිහත් අද අනිවාර්යයෙන්ම එන බව මම දන්නවා.

ඒත් පෙනෙන්න නොහිටිය නිසා මම හෙමිහිට ක්‍රීඩාගාරයේ අපේ කාමරය පැත්තට ඇදුනා බලන්න.

මම දැක්කා සචිත්‍ර මලල ක්රීඩා භාර ගුරුවරයාගේ මේසය ඉදිරිපිට පුටුවක වාඩිවෙලා ඉන්නවා.

මිනිහා මාව දැක්කා විතරයි හොල්මනක් දැක්කා වගේ ඇස් දෙක ලොකු කර ගත්තා.

“ආ කාවින්දතමුසෙත් ආව එක හොදයි, එනවකෝ මෙහාට.

සර් කතාකළා

“ඇයි සර්”

“ඇයි තමයි දන්නවද තමුසෙගෙ යාළුවෝ දෙන්නෙක් කරල තියෙන හපන්කම?”

“මොකක්ද සර්?”

සචිත්රගේ මූණේ මාව මරාගෙන කන්න පුලුවන් බැල්මක් තමයි තියෙන්නේ

“ඊයේ රෑ මූයි, තමුසෙගෙ අනිත් යාළුවා චතුර කියන එකයි කොහෙද දඩාවතේ ගිහිල්ලා බීලා, රෑ තිස්සේ බයිසිකල් වල නැගගෙන පිස්සු කෙලිනවා”

“නෑ සර් අපි...........

මට තව ටිකෙන් කට වරදිනවා. බලාගෙන ගියාම මාව අහුවෙලා නැහැ වගේ. ඒත් කොහොමද මෙහෙම වුනේ?”

“මුන් දෙන්නා මගේ ඇහැටම දැක්කා, ලේවැල්ල හන්දියේ බයිසිකල් දෙකකුත් තියාගෙන වැනි වැනී ඉන්නවා, දැන් කියනවා මම බොරු කියනවලු, යකෝ තොපි හිතුවද මම පොට්ට වෙලා කියලා තොපිව අදුරගන්න බැරුව?”

සර් ඉවරයක් නැතිව බනිනවා.

මමත් කිසිම දෙයක් දන්නෑ වගේ 'ඇත්තද බං?' කියලා ඇහුවා‍. මුගේ මූණ දකිනකොට මට නවත්තගන්න බැරි හිනාවක් එනවා.

“හොදයි පුතෝ මම අදට යන්න දෙනවා, මේක මගේ රාජකාරියක් නෙවෙයි නිසා, හැබැයි ලබන සතියේ මීට් එක තමුසෙට තහනම් පනිෂ්මන්ට් එකක් විදිහට, නැත්නම් තොපි පාඩමක් ඉගෙනගන්නේ නැහැ.
“කාවින්ද තමුසෙටත් කියන්නේ, මූව ගන්නේ නැහැ හරිද?”

“හොදයි සර්, මුන්ට හැමදාම තහනම් කරන්න තියෙන්නේ”

“හැමදාම තහනම් නෙවෙයි, මම මේක ඩිසිප්ලින් බෝඩ් දැම්මනම් එහෙම මුන් දෙන්නට අස්වෙලා ගෙදර තමයි නවතින්න වෙන්නේ”‍

මේ විදිහට වැඩේ යන්තම් බේරගෙන අපි එලියට ආවා. මට හිනාව නවත්තගන්න බැහැ.

“යකෝ තොපි ඉස්කෝලෙන් අස්කරන්න එපැයි මේ කරල තියෙන බලු වැඩේට, කනමදයෝ වගේ බීගෙන”

මම කිව්වා‍.

මට පේනවා සචිත්‍රගේ කට වෙව්ලනවා.

ඇයි යකෝ තෝ නිසා කාපු කට්ටට මෙහෙමද උඹ සලකන්නේ?”

“යකෝ තෝ වලත්ත කමේ යන්නයි අපි නෝන්ඩි වෙන්නයි, තව විරිත්තන්නත් එනවා”

“ඇයි ඉතින් උඹලා පාරේ පිස්සු කෙලියේ?”

“ඇයි ගොනෝ තෝ අරකිගේ රෙද්ද අස්සේ රිංගගත්තහම අපි යන්නේ නැතුව මගුල් නටන්නද?

“ඉතින් උඹ ගියේ නැහැනේ?”

“මම මගට ගිහිල්ලා චතුරයාව දාලා ආවා, ඒ ටිකට තමා අර යකා දැකල තියෙන්නේ.“

“හරි ඒක හරි කියමුකෝ සචියා, මූ මේ සර් කාරයා මේ මහ රෑ කොහෙද යන්නේ?”

“ඒක උඹ උගෙන්ම අහගනින්”‍

“හරි මචෝ මට සමාවෙයල්ලා, දැන් වැඩේ ෂේප් නේ”

“ෂේප් තමයි තව ටිකෙන් අම්බානක කන්න වෙනවා.”

“අපේ සර් ඒ වගේ කැත වැඩ කරන්නේ නැහැ බං, ඌත් කන බොන පොරනේ”‍

මම යන්තම් සචියාගේ තරහ අඩුකරගත්තා

“ඒක නෙවෙයි කාවා උඹ කියපං ඊයේ මොනද සීන් එක කියල”

“මේකයි බං.........

“උඹ ඒකිට මොනවද කළේ?”

“යකෝ බලු කතා කියන්න එපා”

“හරි, හරි බලුවැඩ කරන්න හොදයි කියන්න තමා හොද නැත්තේ”

“නෑ සචියා, එහෙම සීන් එකක් වුනේ නැහැ.

“එහෙනම්?.

“දිනි මට ආදරෙයි කිව්වා”

“තොට මං කිව්වා ගොන් තඩියා ඕක වෙන බව, දැන් ඉතින් කාපංකෝ”

“හරි අහගනිංකෝ”

මම මේ විදිහට කළින් දවසේ සිද්ධ වුන දේ කිව්වා

මූ කතාව අහලා කිසිම කතාවක් නැතුව මගේ මූණ දිහා බලාගෙන ඉන්නවා‍.

“දැන් උඹ මොකද කරන්නේ?”

“දන්නෑ”


“ඇයි යකෝ දන්නෑ කියලා හරියනවද, දෙන්නගෙන් කෙනෙක් තොරගනින්.

“මට ලයාංගිව අමතක කරන්නත් බෑ බං, දිනිව නැති කර ගන්නත් බෑ”

“කරන්න පුලුවන් දෙයක්ද උඹ කරන්න යන්නේ”

“මම ඒක දන්නේ නැහැ, ඒත් මොනවා හරි කරන්න වෙනවා”

“හරි කියපං, උඹ ලයාංගිට ආදරේද?

“තවම නැහැ”

“දිනිට?

“දන්නෑ”

“මගුලක් ද කියවන්නෙ, හරියට කොන්ද කෙලින් තියාගෙන තීරණයක් ගනින්”

උඹ ලව් කරන්න හිතන්නේ කාටද?”

“ඒකත් දන්නෑ”

“මේ උඹත් එක්ක කතා කරලා අපිටත් පිස්සු හැදෙනවා,

“වෙන්න ඇති බං, දැන් මටත් පිස්සු වගේ තමයි”

 “උඹටනම් ඇත්තටම පිස්සු”

“හ්ම්”

“මේ කාවා පිස්සු නෙවේ මම ඇත්තටමයි කියන්නේ, උඹ දිනිට ආදරේ කරන්න බලාපොරොත්තුවක් නැත්නම් ඒකිට තවත් ගින්දර නොදී ඒක ඒ කෙල්ලට කෙලින්ම කියපං”

“පිස්සුද යකෝ, මට ඒකිව නැති කරගන්න බෑ මේ දවස් දෙක තුනක ඉදලා දන්න කෙල්ලෙක් නිසා”‍

“එහෙනම් ලයාංගිව අමතක කරලා දිනි ට ලව් කරපං”‍

“ඒකත් හරියන්නේ නැහැ බං, මම දන්නෑ දිනි මට ගැලපෙන කෙල්ලෙක්ද කියලා”

“මචං අපි මේ කතාව මෙකනින් නවත්තමු, අපි දෙන්න අංගොඩ ගිහින් දාන්න වෙනවා දැන්.“
මම ඇත්තටම මේ උත්තර දුන්නේ අවංකවමයි, මගේ හිත යකාගේ කම්මල වගේ, මොනවා කරන්නද, මොනවා හිතන්නද කියලවත් දන්නේ නැහැ.

ඒත් මගේ හිතේ මටවත් හිතාගන්න බැරි හැගීමක් ඇතිවෙලා.

දිනි කියන්නේ ඇත්තටමමට සුන්දර හීනයක් වගේ. මම පොඩි කාලේ ඉඳලම මට වැඩිය යාළුවෝ හිටියේ නැහැ. දිනි මට වඩා අවුරුදු දෙකක් විතර වයසින් බාලයි. පොඩි කාලෙ ඉඳලම අපි හැදුනේ එකට. එයා මගේ ලේ ඥාතියෙක් නොවුනත් අපි පුදුම විදිහට ලඟින් හිටියා. එයාගේ තාත්තා ලංකාවෙන් පිට රස්සාවකට ගියාත් එක්කම අපේ පවුලේ අය ඒ අයත් එක්ක තිබුණ සම්භන්ධය අඩුවුනා. දිනි ආයෙත් ලංකාවට ආවේ අවුරුදු පහකට පස්සේ. ඒ එනකොටම එයා කරපු පලවෙනි දේ තමයි ගුවන් තොටුපලේ ඉදලා ගෙදර යන්න කලින් මාව හම්බවෙලා යන එක.

එතකොට එයාට වයස පහලවයි. එයයි අක්කයි පාසලේ හොස්ටල් එකට ඇතුල් වුනා. දෙමව්පියෝ ආයෙත් පිටරට ගියා. ඒ කාළෙදි එයාගේ හැම දේකටම දිනි කතා කළේ මට. මම එයාට ඒ හැම උදව්වක්ම කළා.

ඊටත් පස්සේ එයාගේ දෙමව්පියන් ලංකාවට ආවත් අපේ තිබුණ බැඳීම අඩුවුනේ නැහැ. ඒ මොන දේ වුනත් මම කවදාවත් දිනි මගේ ආදරවන්තිය කරගන්න හිතුවේ නැහැ. දිනි කියන්නේ මට ඊටත් වඩා වටින දෙයක් වුනා. ආදරවන්තියකට වඩා වෙනස්ම කෙනෙක් වුනා.‍

ඒත් දැන් එයා මට ආදරේ කරනවා. අපේ කලින් තිබුණ බැඳීම් වලට මොනවා වෙයිද?

මට කිසිම දෙයක් හිතා ගන්න බැරි වුනා.

ඊලඟට ලයාංගි. එයා තමයි මගේ හිතට කුලුඳුලේම ඇතුල් වුන කෙල්ල. මට පුළුවන් වෙයිද ඒ හැඟීම යටපත් කරලා දාන්න. ලයාංගි අමතක කරලා දිනිට ආදරය කරන්න පුළුවන් වෙයිද?

‍දැන් මගේ ඔළුව හොඳටම අවුල් වෙලා.

මීට සති දෙකකට කලින් මම මොන තරම් සැහැල්ලුවෙන්ද හිටියේ. ආදරය හිතට ඇතුල් වෙන්න කළින් මොනතරමක් සැලසුම් මගේ හිතේ තිබුනද? ඒත් මේ ටික දවසට මට මොනවද වුනේ? මට හිතාගන්න බැරිවුනා.

රෑ වෙනතුරුම පිට්ටනියට වෙලා තනියම හිටියත් ගෙදර යන්න අදහසක් ආවේ නැහැ.  යාළුවෝ දෙන්නා මට තනියම ඉන්න දීලා ගෙදර ගිහින්.

මම බෑග් එකත් අරගෙන ඉස්කෝලෙන් එලියට ආවා. කොහේ යන්නද? ‍ගෙදර ගියත් නිවනක් නෑ පාඩම් කරන්න කියල අම්මා කෑ ගහනවා. ඊට වඩා හොඳයි මෙහෙමම බස් හෝල්ට් එකක නිදා ගන්නවා.

මම අරමුනක් නැතිවම නුවර බස් එකක නැගලා ටවුන් එකට ආවා. ඊට පස්සේ කල්පනා කළා දැන් කොහෙද යන්නේ කියලා.
මම ටවුන් එකට එනකොට වෙලාව හවස 7.30.

මම බස් එකෙන් බැහැලා, පාර දිහා කිසිම හැගීමක් නැතිව බලාගෙන හිටියා. කිසිම දෙයක් කරන්න හිතට හයියක් නැහැ. ගෙදර යන්න වුනත් කම්මැලි බව මට දැනුනා. ගෙදර ගියත් මොනවා කරන්නද? ඔලුව සම්පූර්ණයෙන්ම පිරිලා තියෙන්නේ පහුගිය දවස් කීපයේ වුන දෙවල් වලින්. දිනි, ලයාංගි, සචිත්, මේ හැම කෙනෙක්ම මගේ සිතුවිලි වල පිරිලා.

මම ආදරේ කරන්නේ කාටද, දිනි ට ද, නැත්නම් ලයාංගිටද?


දිනි නම් මට ආදරේ කරන බව කිව්වා. ඒත් ලයාංගි, මම තවම එයාට හරියට කතා කරලවත් නැහැ. එයා මොන වගේද, මං ගැන මොනවද හිතන්නේ, මේ කිසිම දෙයක් මම හරියට දන්නේ නැහැ. ඒත් දිනි මගේ හිතේ නොමැකෙන විදිහට පසුගිය දවස් වලදී තැන්පත් වුනා.


************************************************************************************************

ප්‍රකාශකගේ ලිඛිත අවසරයකින් තොරව මෙම ප්‍රකාශනයේ කිසිදු කොටසක් කුමන ආකාරයකින් හෝ කුමන ක්‍රමයකින් ඉලෙක්ට්‍රොනිකව, යාන්ත්‍රිකව, ඡායා පිටපත් මගින් සම්ප්‍රේෂණය සහ භාවිතය පිණිස කිසියම් පද්ධතියක සටහන් කිරීම හා ගබඩා කර තැබීම සපුරා තහනම්ය

1 comment: