Wednesday, February 28, 2018

සදානුස්මරණිය ප්‍රථම ප්‍රේමය ~ මේ ආදරයයි ~ 118

සදානුස්මරණිය ප්‍රථම ප්‍රේමය


මේ ආදරයයි







118.



අපි බලන්න ගිය ගැහුණු ළමයා අම්මගේ මිතුරියකගේ දුවක් නිසා ඒ දෙන්නා එකතු වෙලා අපි දෙන්නව එකතු කරන්න උත්සහ කරනවා කියලා මට දැනුනා.

විශාකා ආන්ටි... අම්මගේ යාළුවා දවස් දෙකකට පස්සේ මට කතා කළා. මගේ විස්තර ඇහුවා.

ඊට පස්සේ අම්මා ඇවිටිලි කරන්න පටන් ගත්තා ඒ ගෑණු ළමයට ටිකක් කතා කරන්න කියලා.

කරදරෙන් බේරෙන්න මම කතා කළා.

“කාවින්ද? ඔයා මට කතා කරන්නවත් කැමති නෑ නේද?“

“නෑ එහෙම එකක් නෑ මාලිකා...“

“නැත්තේ මොකද? ඔයාගේ අම්මා කිව්වට පස්සෙනේ ඔයා මට ගත්තේ...!“

“සොරි... මම ඒක එච්චර හිතුවේ නැහැ. මගෙයි වැරැද්ද?“

“වැරැද්දක් නෙවෙයි කාවින්ද, ඔයාට මාව ඒ තරම් වත් වැඩක් නැතුව ඇති, ඒකයි...“

“මේ කෙල්ලොනම් ඔක්කොම එකයි අප්පා... පොඩ්ඩ බැරිවෙන්න බෑ නාහෙන් අඬ අඬා නෝක්කාඩු කියනවා.“ මම කිව්වා.

“ඇයි තවත් කෙල්ලොත් ඔයාට ඔහොම කතා කරනවද?“ ඒ පාර නම් මාලිකා මට බවුන්සර් එකක් දැම්මා. ඔළුව නමලා බේරෙනවද, නැත්නම් උඩ පැනලා ගහනවද?

එහෙමම නෑ ඉතින්... එ් වුනාට මටම කියලා කරදරකාර නංගිලා රොත්තක්ම ඉන්නවනේ නෑදෑයෝ.. උන් ඔක්කොම ඔය වගේම තමා.“

කෝකටත් කියලා මම පසුපාදයේ ආරක්ෂාකාරී පහරක් එල්ල කළා.

“ආ.... ඒ කියන්නේ එහෙම විශේෂ කෙනෙක් නැද්ද?“

හිටියා... ඒත් දැන් හුළඟක් වගේ ඇවිත් ගිහින්... මම බොහොම අමාරුවෙන් එ්ක කියවෙන එක නවත්තගත්තා.

“කාවින්ද.... ඔයා කල්පනා කරනවද?“

“ඔව්... මම කල්පනා කළේ එහෙම විශේෂ කෙනෙක් ඉන්නවද කියලා තමා. ඒත් හිතාගන්න බෑ.“ මම පොඩි බොරුවක් දැම්මා.

“ඒක නෙවෙයි කාවින්ද... අපේ අම්මයි ඔයාගේ අම්මයි දෙන්නම කියනවා අපි දෙන්නට ටිකක් අඳුරගන්න කියලා.“

“මටත් කිව්වා.“

“ඉතින්.... මෙහෙම ටෙලිෆෝන් එකෙන් විතරන් ඒක කරන්න පුළුවන්ද?“

“බෑ නේ..... එහෙනම් අපි හම්බවෙමු...“

කෙල්ල කියාගන්න බැරිව තටමන දේ මම කියලා දැම්මා.

“කොහේද?“ එයා ඇහුවා.

“ඔයා කැමති තැනක් කියන්න මාලිකා. මම අවුරුදු ගාණකින් ලංකාවට ආව නිසා කිසිම තැනක් ගැන අයිඩියා එකක් නැහැ.“

“අනේ මමත් එහෙම කියලා තැනක් දන්නේ නෑනේ... ඔයාගේ යාළුවෙකුගෙන්වත් අහලා බලන්න..“

උඹ බබා... මම හිතුවා විතරයි කිව්වේ නෑ.

එතකොටම කාමරේ දොරත් ඇරගෙන සචියයි අමිලයි කඩන් පාත් වුනා.

මම ෆෝන් එක අතින් වහලා කතා කළා.

“යකෝ... උඹලට රස්සාවල් තියෙනවා නේද? මේ අවේලාවේ මොකද මෙහේ කරන්නේ?“

“හරි හරි.... රස්සාව වගේද උඹ. අපි උඹව බලන්න ආවා. කව්ද ලයින් එකේ... මාලිකාද?“

“ඔව් යකෝ... ටිකක් කට වහන් ඉඳපන් කතා කරනකං.“

මම එහෙම කියලා ආයෙත් මාලිකාට කතා කළා.

“මොකක්ද මාලිකා මම කිය කිය හිටියේ.. මතකත් නෑ...?“

“අපි දෙන්නට හම්බවෙලා කතා කරන්න තැනක්...“

“ආ... හරි..... ඒත් කොහෙද? ගෑණු ළමයෙක් එක්කගෙන යන්න හොඳ තැනක් මම දන්නේ නෑ...“

මම ඒක කිව්වා විතරයි අරුන් දෙන්නා කන්න වගේ මගේ දිහා බැලුවා.

මම කටට ඇඟිල්ල තියලා නිශ්ශබ්ද වෙන්න කියලා ආයෙත් මාලිකාට කතා කළා.“

“ඔයා හරි හොඳ කෙනෙක්නේ කාවින්ද... මීට කලින් ගෑණු ළමයෙක් එක්ක එහෙම කතා කරලම නැද්ද?“

“නැත්තේ නෑ... ඒත් එහෙම විශේෂ තැනකට කියලා ගිහින් නෑ... හම්බවුන තැනක මොකක් හරි ජූස් සෙන්ටර් එකකට හරි, කූල් ස්පොට් එකකට හරි ගිහින් කතා කරනවා. යාළුවෝනේ...“

“එතකොට මම යාළුවෙකුට වඩා වෙනස්ද...? ඔයා මාව එක්ක යන්න විශේෂ තැනක් හොයන්නේ...?“

කෙල්ල ලෝ කරනවා කිව්වේ සෙල්ලමට නෙවෙයි වගේ... කන පුරවලා දෙකක් දුන්නා වගේ හරස් ප්‍රශ්ණ අහන්නේ.

“විශේෂයි තමා. ඔයා මගේ යාළුවෙක් නෙවෙයිනේ.. අම්මලා එකතු වෙලා මට මැරි කරන්න ප්‍රපෝස් කරපු කෙනෙක්.“ මම ඇඟ බේරගෙන උත්තරයක් දුන්නා.

“කාවින්ද... එහෙනම් මම කියන්නද, ඔයා එන්න අපේ ගෙදර....“

“ගෙදර... අප්පා.. ඒක නම් ලෙඩක්...“ මට කියවුනා.

“ඇයි ලෙඩක් කියන්නේ.?“

“නෑ අපි නුවරදි හම්බවෙමු.... මම කියන්නම්, මගේ යාළුවෙකුගේ අයිය කෙනෙකුගේ අළුතින් දාපු හොටෙල් එකක් තියෙනවා... එතනට ගොඩක් එන්නේ ෆොරිනර්ස්ලා... අවුලක් නෑ අපි යමු... හොඳ කොෆි ෂොප් එකක් තියෙනවා එතන.“

“කොහෙද හොටෙල් එක?“

“හන්තානේ... හෙට ඔයා නුවර මාලිගාව ළඟට එන්න... මම එක්ක යන්නම්..“

“හරි... කීයටද?“

“හවස පහට විතර කමක් නැද්ද...? දවල් යන්න බෑ...“

“කමක් නෑ... මම එන්නම්...“

මම ෆෝන් එක තිබ්බා විතරයි යාළුවෝ දෙන්නා මගේ බෙල්ලෙන් අල්ල ගත්තා.

“උඹ නම් කාවා.... යකෝ... අපිටත් බොරු කිය කිය..... ඒ පාර අර කෙල්ලව අල්ල ගත්තා නේද?“

“මම අල්ල ගත්ත මගුලක් නෑ.. තොපිනේ අපේ අම්මත් එකක් එකතු වෙලා මේක මට සෙට් කළේ..“

“යකෝ උඹ කටක් ඇරලා ඒකිට කිව්වනේ කෙල්ලෙක් එක්ක යන්න තැනත් උඹ දන්නෑ කියලා... යකෝ උඹ දන්නේ නැත්නම් මේ නුවර එකෙක්වත් දන්නෑ.“

“හරි ඉතින් ඒක ඇඳගත්තනම් මම මොනව කරන්නද?“

“ඒක නෙවෙයි උඹ අපේ අයියගේ අළුත් හොටෙල් එකටද එක්ක යන්න හදන්නේ කෙල්ලව?“

“ඔව් ඇයි...?“

“යකෝ... උඹට අමතක වුනාද මම එතන මැනේජර් කියලා.“ සචියා කිව්වා.

“ඉතින්... මොකක්ද තොට තියෙන ප්‍රශ්ණේ..? අපි එන්නේ සල්ලි දීලා කන්න බොන්න, නැතුව උඹෙන් පිනට කන්න නෙවෙයි.“

“වරෙන්කෝ..... එහෙනම්.... උඹට මොකක්ද බං වෙලා තියෙන්නේ... කෙල්ලෙකුට උඹව පේන්න බෑ... උඹේ පස්සෙම එනවා... යකෝ අපි අවුරුදු ගාණක් කෙල්ලෙක් නැතුව වේලෙනවා...“

“එහෙම තමයි බං ලක් එක....“

********************************************************************************

සෙනසුරාදා හවස පහට මම ජීප් එකේ නුවරට ගියා. කෙල්ල මේ වාහනේ දැක්කොත් බය වෙයිද මන්දා.

මාලිකාවත් දාගෙන මම එරංග අයියගේ හන්තාන හොටෙල් එකට එනකොට හයට විතර පහ හමාරට ඇති.

එරංග අයියා මාව දැක්ක ගමන් දුවලා ආවා.

“උඹව දකින්නත් සන්තෝසයි බං... කොහොමද දැන් ලෙඩේ...?“

“පහුගිය අවුරුදු තුනටම මොකුත් වෙනසක් නෑ අයියේ..... හොඳටම හොඳ වෙලා..“

“අර කෙල්ලගේ ගේම තමයි බං... නැත්තං ලේසි පාසු පුතයෙකුට උඹව ගොඩ දාන්න ලේසි තත්වෙක නෙවෙයි උඹ හිටියේ.“

එහෙම කියපු එරංග අයියා මාලිකාව දැකලා මට ඇහැක් ගැහුවා.

“අයියේ මේ මාලිකා... අම්මගේ යාළුවෙකුගේ දුවක්... අපි දෙන්නව ප්‍රපෝස් කරලා...“

“ආ... එන්න නංගි... අඳුරගන්න ලැබුණ එකට සතුටුයි.“

මාලිකා හිනා වුනා. “තැන්ක් යූ අයියේ.“

“වරෙන් කාවා... කොහෙටද යන්නේ... ලොබි එකේ ඉන්නවද, පූල් බාර් එක පැත්තට යනවද නැත්නම් රෙස්ටොරන්ට් එකටම යනවද?“ අයියා ඇහුවා.

“පූල් එක පැත්තට යමු අයියේ...“

මම මාලිකාත් එක්ක ඒ කිට්ටුව තිබුණ පුටු දෙකක ඉඳ ගත්තා.

එරංග අයියා කලින් කරපු රෙස්ටොරන්ට් එක හොඳටම කරපු නිසා අවුරුදු කීපයකදී මේ හොටෙල් එක ගන්න පුළුවන් වුනා. අයියා මේක ගන්නකොට පාඩු වෙලා, ගරා වැටිලා තිබුණේ... මිනිහා බිස්නස් වලට ම ඉපදුන කෙනෙක් නිසා මාස හයක් ඇතුලත අළුත්වැඩියා කරලා බිස්නස් පටන් ගත්තා. පූල් එකක් අළුතින්ම හැදුවා. අවුරුද්දක් යනකොට අයියගේ ටුවරිසම් වලට තියෙන සම්බන්ධකමුත්, ටුවරිසම් කරපු මගේ යාළුවෝ කීප දෙනෙකුත් කරපු උදව් නිසා වැඩේ හොඳටම ලාභ කරගන්න අයියට පුළුවන් වුනා.

“ඉතින් අයියේ කොහොමද බිස්නස්...?“

මම ඇහුවා.

“හොඳයි... පටන් ගත්ත ගමන් උඹ කරපු උදව් නිසා ගොඩ යන්න පුළුවන් වුනා.“

“ඒක තමයි අයියේ... මමත් දැනගෙන හිටියේ නෑ මෙතන මේ වගේ හොටෙල් එකක් තියෙනවා කියලා.“ මාලිකා කිව්වා.

“ඔව් නංගි... මම මේක ගන්නකොට වහලදාලා තිබුණේ... මම මුලින්ම අදහස කිව්වේ කාවින්ද මල්ලිට තමයි. එයා එතකොට ඇමරිකාවේ. එයා තමයි මාව උනන්දු කළේ. මාස හයකදි මම රෙනොවේෂන් ඉවර කරලා ඕපන් කළා.“

“ලෝකල්ස්ලා ගොඩක් අය මේ තැනට එන්නෑ වගේ නේද?“ මාලිකා ඇහුවා.

“ඔව් නංගි... අපි හැමදාම හවුස් ෆුල්... කාවින්දටයි එයාගේ යාළුවන්ටයි පින් සිද්ධ වෙන්න.“

“ඒ කොහොමද?“

“මම මේක ඕපන් කරලා මාසයක් යනකං එක ගෙස්ට් කෙනෙක් වත් ආවේ නැහැ. ආවේ දන්න කියන කීප දෙනෙක් විතරයි. පස්සේ මම කාවින්ද මල්ලිට කිව්වා. මෙයා තමයි ඇමරිකාවෙයි අනිත් රටවලයි ඉන්න එයාගේ යාළුවන්ට කියලා ඒ අය දන්න එයාලගේ යාළුවෝ, රිලේෂන්ස්ලා මෙහෙට එව්වේ. ඇමරිකාවෙන්, මැලේසියාවෙන්, ජර්මන් වලින් විතරක් නෙවෙයි රුසියාවෙනුත් කට්ටිය ආවා.... මම උන්ට උපරිමෙන් සැලකුවා. මෙහේ මම දන්න ටුවරිසම් කරන කීප දෙනෙකුටත් කියලා එන ගෙස්ට්ලට රවුන්ඩ් ටුවර් සෙට් කළා. උන්ව ආපහු මෙහෙන් යැව්වේ පුළුවන් උපරිමේට එන්ටර්ටේන් කරලා. අන්තිමට ඒ අයගේ රෙකමන්ඩ් උඩ තව තව ගෙස්ට්ලා ආවා. ඒකෙන් වුනේ ලෝකල් අයට ඉඩ නැතිවුන එක.“

“ඒ කියන්නේ කාවින්ද සෑහෙන්න දෙයක් කරන්න පුළුවන් කෙනෙක්..“

මාලිකා කිව්වා.

“නැත්තං නංගි, කාවින්ද කෙනෙකුට උදව් කරනකොට කරන්නේ බොක්කෙන්ම.. ආයෙ ඒකෙ කොනක් නෑ.. මූ නැත්තං මාස හයෙන් මම මේක වහනවා.“

“ඔච්චර බටර් ගාන්න එපා අයියේ. මම කළේ මට කරන්න පුළුවන් දේ. මම එවපු උන් අල්ලගෙන බිස්නස් හදාගත්තේ ඔයා. ඒක ඔයාගේ ටැලෙන්ට් එක.“

මම කිව්වා.

“ඒක නෙවෙයි... ඉන්න මම බොන්න දෙයක් එවන්නම්... නංගි හවස් වෙලා නිසා හොඳ කොෆී එකක් එවන්නම්.“

එරංග අයියා යන්න ගියා.

“ඔයාට හරිම හොඳ යාළුවෝ තමා ඉන්නේ.“ මාලිකා කිව්වා.

“ඔයා තාම හරියට මගේ යාළුවෝ සෙට් එක දැක්කේ නැහැ. ඉස්කෝලෙ යන කාලේ සෙට් එකක්ම හිටියා. දැන්නම් ටික දෙනෙක් හැලිලා, හොඳම දෙන්නා විතරයි ඉන්නේ, සචිත්‍රයි අමිලයි... මම වෙලාවක අඳුන්වලා දෙන්නම්. සචිත්‍රනම් ඔයාව බලන්න එන දවසේ ආවා.“

“මට ටිකක් මතකයි. ඒ වුනාට මේ අයියා නම් හරිම හොඳයි.. මෙච්චර ලොකු බිස්නස් එකක් කරනවා වුනත් කියන්නේ ඔයාගේ උදව් ගැන. ගොඩක් මිනිස්සුන්ට උඩට යනකොට උදව් කරපු අය මතක නෑ..“

“මට එහෙම යාළුවෝ නෑ මාලිකා... හිටියත් වැඩිකල් එහෙම එවුන්ට ඉන්න බෑ. ඒක නෙවෙයි, අපි මේ ආවේ අපි ගැන කතා කරන්න ඕනේ කියලා ඔයා කියපු නිසා නේද?“ මම ඇහුවා.

8 comments:

  1. සුපිරි.අද දවසට තව කොටසක් දාමු නේ.

    ReplyDelete
  2. Kathawa tikk borring wage kotas pata kotayi......

    ReplyDelete
  3. දැන් එක පාරටම දිලිනි හුළඟක් වගේ කොහෙන් හරි එයි.

    ReplyDelete
  4. ආ තව දෙයක්. මෙන්න මෙහෙම කොටසක් 116 එපිසෝඩ් එකේ තිබ්බනෙ.

    "අන්තිමට උන් ගිහිල්ලා සතියකට පස්සේ මමත් ලංකාවට යන්න පිටත් වුනා. තනියම නෙවෙයි... නතාලියාත් එක්ක. මම මේ ගත්ත තීරණය අනාගතේට කොහොම බලපායිද කියලා මම ලොකුවට හිතුවේ නෑ."

    නතාලියා එක්ක ලංකාවට ආවා කියල තිබ්බට එතනින් එහාට මොකද උනේ කියලා නෑනෙ. අමතක උනාවත්ද?

    ReplyDelete
    Replies
    1. අමතක වුනේ නෑ... ඒත් ‍ලොකු දෙයක් සිද්ධ වුනේ නෑ... ඒ නිසා ඒ ටික කතාවට වැඩක් වෙන එකක් නෑ

      Delete
  5. Machan patta kathawa iye idan eka digeta kotas 118 kiyewwa.digatama
    ithuru tikath ikmanat danna.

    Good luck!

    ReplyDelete