Monday, August 28, 2017

සදානුස්මරණිය ප්‍රථම ප්‍රේමය ~ මේ ආදරයයි ~ 83




සදානුස්මරණිය ප්‍රථම ප්‍රේමය


මේ ආදරයයි


83.

මම ගෙදර ගියේ අවුල් වුන හිතින්.
දිනි එකපාරටම කාටවත් නොකියා ලංකාවට ආවේ මොකද? ඊට පස්සේ මොනවත් නොදන්නව වගේ මාව හම්බවෙලා අනිත් පැත්තට දිලිනිට කතා කරලා.
සමාධියි, දිනියි දෙන්නා එකතු වෙලා කරන්න යන දේ මොකක්ද? මොකක් වුනත් ලොකු ප්ලෑන්  එකක් ඇති. නැත්නම් දිනි මොකටද හදිස්සියේම කඩා පාත් වුනේ.
මට හිතාගන්න බැරි වුනේ දිනිගේ වෙනස් වීම. දැනට අවුරුදු දෙකකට කලින් හිටපු පොඩි කෙල්ල දැන්  ලොකු ගෑණියෙක් වගේ.... ඒ අතින් බලද්දි වයස වැඩි වුනත් දිලිනි තාම පොඩි කෙල්ලෙක් වගේ. අනිත් එක මගේ කැමැත්තට පිටින් ගිහිල්ලා එයාට මාව බලෙන් අයිති කරගන්න බෑ කියලා දිලිනිට තේරෙන්නේ නැද්ද මන්දා.
කොහොම වුනත් දිලිනි හිටියේ බයෙන්. මම ගෙදර යන පැයක කාලයක් ඇතුලත එයා මට හය පාරක් කෝල් කළා. පරිස්සමින් යන්න කිව්වා. මේ ‍චූටි කෙල්ලටයි එයාගේ යාළුවාටයි මොනවට බය වෙනවද කියලා මම හිනා වුනා. ඒත් දිලිනි ඒක සැහැල්ලුවට ගත්තේ නෑ.
වෙලාව හතට විතර ඇති.
අද ගෙදර කිසිම කෙනෙක් නෑ. අඩු ගාණේ දීප නැන්දවත් නෑ. හැම දෙනාම නෑදෑ ගෙදරක ගිහිල්ලා.
ගෙදර ඉන්න කම්මැලි නිසා මම සචියට කෝල් කරලා ගෙන්න ගත්තා.
“යකෝ... උඹ කලින් කිව්වනම් මොනව හරි අරගෙනම එන්න තිබුණා.”
“මේ මේ... මම නෑනේ ඩෝ දැන් ඔය ජරා වැඩ වලට. බීම නැවැත්තුවා සම්පූර්ණයෙන්ම. සිගරට් වුනත් නෝ යූස්..”
“අම්ම ගහයි බැට් එකෙන්... යකෝ... කෙල්ලෙක් සෙට් වෙලා දවස් පහට උඹ වෙනස් වුන තරමක්.”
“බම්බුව කෙල්ලෙක් නිසා නෙවෙයි බං. එකක් කකුලට ගන්න බෙහෙත්... අනිත් එක ප්‍රැක්ටිස්. යකෝ වට දෙකක් දුවනකොට ෆිල්ටර් කටෙන් එනවා. හති ලෝකයක්....”
“නෑ... උඹට දුවන්න බැරි තරම් හතිද බං?”
“ඔව් යකෝ... සිගරට් එකක් බිව්වොත් එදාට ෆුල් හන්තර්... සර් දෙපාරක්ම කිව්වා.”
“එක අතකට ඒකත් හොඳයි බං.... කෙල්ල වුනත් කැමති වෙයිනේ...”
ඌ මට හීන් නූලෙන් හින්ට් එකක් පාස් කළා.
“ඒක නවෙයි සචියා... අමිලවයි චතුරයවයි ගෙන්න ගමු. පාළුයි බං. උන් තාම රෑට කාලා නැත්නම් අපි කෑම ගේමු.”
“කොහෙන්ද... සල්ලි.... උඹ ළඟ තියෙනවද?”
“ඔව්... උඹ උන්ට එන්න කියපං... අපි බයික් එකේ ගිහින් කෑම අරන් එමු. ඩෙවෝන් එකෙන්.”
“එල එල...”
සචියා අමිලටයි, චතුරටයි කතා කළා. උන් එන අතරේ අපි දෙන්න කෑම ගෙනාවා.
හතර දෙනාම ගෙදර සෙට් වෙනකොට අට හමාරයි.
“කාවා උඹය නම් සිරා බෝනස් එකක් බං ඇදිලා තියෙන්නේ... සල්ලි කියන්නේ උඹට සෙල්ලම් වගේ වෙලානේ.”
“ඇයි?”
“නෑ.. ඉස්සර අපි සතේ අතේ නැතුව කොච්චර චාටර් වෙලා තියෙනවද...? දැන් අපි තාමත් එහෙම... ඒත් උඹ...? පට්ට සල්ලි කාරයෙක් වෙලා. අර කෙල්ලගේ සල්ලි ඔච්චර වියදම් කරන්න එයා කාවා. අන්තිමය දිරවගන්න බැරි වෙයි.”
සචියා කිව්ව කතාවට මට තදවුනා.
“බලු කතා කියන්න එපා බං.... මම ඒ කෙල්ලගේ සල්ලි මගේ වගේ වියදම් කරන්නෑ... මම ගරාජ් එකේ වැඩ කරලා ගත්ත සල්ලි වලින් තොපිට කන්න දුන්නාම අහක ඉන්න අහිංසක කෙල්ලෙකුට බනිනවා. යකෝ මම කවදාවත් අනුන්ගේ සල්ලි වලින් පොර වුනේ නෑ. අනිත් එක මතක තියා ගනින් ඒ කෙල්ලට බලු කතා කිව්වොත් මම තොටත් ගහනව කන පැලෙන්න. හැම දේකම සීමාවක් තියෙන්න ඕනේ...”
මට තදවුනා කියලා දැක්ක අමිල මගේ පිට‍ට තට්ටුවක් දාලා කතා කලා.
“ඌ හිතන්නැතුව කිව්ව දෙයක් කාවා. ගණන් ගන්න එපා.”
“නෑ බං... යාළුවෝ විදිහට මම උඹලට සත පහක වැරදි දෙයක් කරලා තියෙනවද? අපි හැමදාම එකට හිටියේ. කොච්චර කෙල්ලෝ ආවද අපිත් එක්ක. ඒ කිසිම කෙල්ලෙකුට නැති බලු කතා උඹල දිලිනිට කියනවා. ඇයි ඒ...? හිතපං... තාමත් මගේ බොක්ක උඹලා... ඒ වුනාට උඹලා මට හිනා වෙනවා. මට මල පැනල ඉන්නේ බං... මේ ගොන් බූරුවා.. සචියා.... දැන් කියන්නෙම කට කැඩිච්ච කතා.”
“නෑ කාවා... මම කියන දේ අහපං...” අමිල කතා කළා.
“මට අහන්න දෙයක් නෑ අමිල.... ඇයි උඹල මට මෙහෙම කරන්නේ? මම සිංගප්පූරුවේ ඉඳලා ආව දවසේ ඉඳලා උඹලා වෙනස් වෙලා.... මම උඹලට මොනව කළාටද....?”
“එහෙම දෙයක් නෑ කාවා. අපිට තැනින් තැන ආරංචි වුන විදිහට දිලිනි කියන්නේ අමුතුම කැරැක්ටර් එකක්. ‍කෙල්ල අම්බානක රිච් කියලා අපි දන්නවා වුනාට මෙච්චර රිච් කියලා දන්නේ ලඟදි. අනික කෙල්ල හැසිරෙන විදිහ වෙනස් කියලා උඹට හිතුනේ නැද්ද? අපිට තිබුණ සැකේ ඒක. අනිත් එක දිනි සචියට කියලා තිබුණා දිලිනිව විශ්වාස කරන්න එපා කියලා.. අපි බැලුවේ උඹේ ආරක්ෂාව.”
“දිනි. දිනි. දිනි.. ලංකාවෙත් නොහිටපු දිනි කොහොමද බං මෙතෙනට ආවේ. අනිත් එක උඹලා දිනි කියන ‍දේවල් ඔච්චර සීරියස් ගන්න පටන් ගත්තේ කවදා ඉඳලද?”
“අපි දන්නෑ කාවා. මොනව වුනත් දිලිනි අපි දන්න අනිත් කෙල්ලෝ වගේ නෑ... ඒකයි අපිට සැක හිතුනේ. අපිට සමා වෙයන් ආයෙත් අපි එහෙම කතා කරන්නේ නෑ. ඒක උඹේ තීරණේ. උඹේ අයිතිය.”
“මම එකක් කියන්නම්. අපි වෙනද වගේ එකට ඉමු. දිලිනි මට කියලා නෑ කවදාවත් උඹලා ආශ්‍රය කරන්න එපා කියලා. ඒ කෙල්ල අදටත් උඹට පණ ඇරලා සචියා, උඹ බලු කතා කිව්වට. අපි වෙනද වගේම ඉමු... ඒකට දිලිනි ගාව ගන්න එපා.”
“හරි කාවා...... අපි එකඟයි...” අමිල කිව්වා.
ඒත් සචියා බුම්මගෙන ඉන්නවා.
“බලපං... උඹල ඔහොම කිව්වට අරූ ඉන්න විදිහ..” මම සචියව පෙන්නුවා.
ඌ මගේ දිහා බලලා අහක බලා ගත්තා.
“සචියා මොනවද ඩෝ.... උඹල හොඳට යාළුවෝ නේද? තරහ අමතක කරපං බං...” චතුර කිව්වා.
“මොන තරහද බං... අපි තරහ නෑ... ඒ වුනාට කාවා පිළිගන්නෑ දිලිනි නිසා ඌ වෙනස් වෙලා කියලා.”
“එහෙම තමයි බං. කවදාහරි කාවා බඳින්නේ ඒ කෙල්ලනම් ඌ ඒ විදිහට ඉන්න වෙනවා. අපි කියන විදිහට ඉඳලා හරියන්නේ නෑ.”
චතුර ආයෙත් කිව්වා.
“නෑ... නෑ... මම කියන්නේ ඒක නෙවෙයි.... මම කියන්නේ මට දිලිනිව විශ්වාස නෑ. ඕකි මූත් එක්ක ඉන්නේ කොහොමද? ඒකි ඒකිගේ ඇඟ පාවිච්චි කරලා මූව අල්ලගෙන. මූත් ඉතින් ඇඹලයා පැණි හැලියේ වැටිලා වගේ ඒකෙම නැහෙනවා. ඒකි හොඳ කෙල්ලෙක් නම් බඳින්න කලින් ඔය විදිහට එක එක කොල්ලා එක්ක කාමර ගාණේ ප්‍රොස් කෙනෙක් වගේ යයිද?”
සචියා කියපු  එකට මට හොඳටම තද වුනා. මම උගේ බෙල්ලෙන් අල්ලගත්තා. එතකොටම අමිල පැනලා අපි දෙන්න දෙපැත්තට කරන්න බැලුවා. ඒත් මම සචියගේ බෙල්ල අතහැරියේ නෑ.
“බලු කතා කියන්න එපා යකෝ.... ඒකි කවදද එක එක කොල්ල එක්ක ගියේ? ඒකි ගියේ මාත් එක්ක විතරයි. කටට එනවට කියවන්න එපා... සිංගප්පූරුවේ මොනවද උනේ කියලා උඹල දන්නවද? කව්ද කිව්වේ අපි ගෑණියි මිනිහයි වගේ හිටියා කියලා. බොරු කිව්වොත් තොගේ දත් ටික බඩට යන්න ගහනවා, බූරුවා.
“අතෑරපං කාවා... උඹලට ලැජ්ජ නැද්ද බං කෙල්ලෙක් නිසා යාළුවෝ යාළුවෝ රණ්ඩු වෙන්නේ.” අමිල කිව්වා.
“මට නෙවෙයි මූටයි ලැජ්ජා නැත්තේ.. කෙල්ලෙකුට ඔහොම කතා කරන්න.” මම සචියව අතාරින ගමන් කිව්වා.
“හරි දැන් උඹල දෙන්නම සමාව ගනින්. යකෝ... ලැජ්ජාවේ බෑ එකට හිටපු උඔල දෙන්න කෙල්ලෙක් නිසා මරාගන්නවා කිව්වහම.”
“මට බෑ.. මූ දිලිනි ගැන කියපු බලු කතා ඉල්ලා අස්කරගන්න කියපං. නැත්තං මම මුගේ මූණ වත් බලන්නේ නෑ.” මම කිව්වා.
“හරි මම ඒවා ඉල්ලා අස්කරගන්නම්.. උඹ කියපං කාවා දිනි කියන්නේ බොරු කියලද උඹ කියන්නේ?”
“මොනවද ඒකි කියන්නේ. ඒකි ලංකාවෙත් නැතුව මොනවද දන්නේ?”
“දිනි උඹ ගැන හොයනවා බං... උඹ වලත්ත කමේ යන හැම දෙයක්ම ඒකි දන්නවා.”
“මම එක සැරයකුත් කිව්වා... ඔයා කතාව කියන්න එපා... මම තොට ගහනවා...” මම කිව්වා.
“ගහපන්... හැබැයි මතක තියාගනින් මම කියපු දේ...... දිලිනි උඹට පිටුපෑව දවස අපිව ඕනේ වෙයි.... කමක් නෑ... මොනව වුනත් පොඩි කාලෙ ඉඳලා දන්න යාළුවා නිසා එදාටත් මම ගොනා වගේ උඹ ළඟ ඉඳී.”
“පලයං බං යන්න. මම හිතුවා උඹ මගේ හොඳම යාළුවා කියලා.”
“යකෝ.... එදා උඹේ තාත්තා කිව්වා වගේ හොඳම යාළුවා කියන්නේ උඹ කරන හැම ගොන් වැඩේටම හරි කියලා ගොන් ඔපිනියන් දෙන එකා නෙවෙයි. උඹ වැරදි දෙයක් කරනකොට ඒක නවත්තන එකා. මම කරන්න හදන්නේ ඒක. කොහෙද උඹ මෙලෝ හසරක් නැතුව උඹ හිතාගත්ත එකම කරනවනේ. වෙන කිසිම දෙයක් අහන්නේ නෑ.....”
“මම වැරදි දෙයක් කරන්නෑ යකෝ.. කෙල්ලෙකුට ආදරේ කරන එක වැරදි වෙන්නේ කොහොමද?”
“වැඩක් නෑ කාවා. උඹට කොහොම කිව්වත් වැඩක් නෑ.. මම යනවා....”
“පලයං..... උඹ ඔය කතාව අයින් කරගත්තේ නැත්තං ආයෙත් එන්නත් එපා.”
“එන්නෑ තමා යකෝ...... උඹ වගේ යාළුවෙක් හොඳම යාළුවෙක් කරගත්ත මටයි ගහන්න ඕනේ... ගොන් බූරුවා....”
මූ කොච්චර කිව්වත් කට වහන්නෑ. මම ආයෙත් පැන්න ඌව අල්ල ගන්න. ඒත් අමිල මැදට පැනලා මාව අල්ලගෙන සචියව යැව්වා.
සචියා යන්න ගියාට පස්සේ මමත් කාමරේට යන්න හැරුනා. එතකොට අමිල කතා කළා.
“උඹට මොකද වෙලා තියෙන්නේ කාවා. ඌ උඹේ හොඳම යාළුවා. අපිත් උඹගේ යාළුවෝ තමයි, ඒත් ඌ තරම් උඹේ පස්සෙන් හිටපු එකෙක් වෙන හිටියේ නෑ. උඹ ඌව තරහ කරගත්තා.”
“මොන දේට වුනත් සීමාවක් තියෙන්න ඕනේ බං... මම ඌට ඇති වෙනකං කිව්වා දිලිනි ගැන කතා කරන්න එපා කියලා. ඌ ඒකම ඒකම ඇදලා ගන්නවා. මටත් මල පනිනවා බං.”
“ඒක නෙවෙයි... ඕව දිගට ගෙනියන්න එපා. ඌට කතා කරලා ෂේප් වෙයං... කෙල්ලෙක් නිසා අපි තරහ වෙන්න ඕනේ නැහැ බං.”
“මම යන්නෑ.... ඌ කියපු දේවල් වැරදියි කියල පිළිගත්තොත් මම යන්නම්..”
“මම දන්නෑ බං... උඹල දෙන්නම එකයි....”
“අමිල උඹලා කාලා පලයං. මට දැන් කන්න බැ... ආතල් එකක් ගන්න තිබුණ එක අරූ කෑවා.”
“දැන් කාපු දේ ඇති බං. අපිත් එහෙනම් යනවා. උඹ පරිස්සමින් ඉඳපං. හෙට හවසට නුවර වරෙන්.”
උන් ගියාට පස්සේ මම කාමරේට ආවා.
නිදිමතකුත් නෑ.. වෙන කරන්න දේකුත් නැති එකේ මම දිලිනිට කෝල් එකක් ගත්තා.
“ඔයාව මතක් කරා විතරයි කාවින්ද.”
“හ්ම්... මොකද කරන්නේ...?”
“නිදාගන්න ගියා. ඒත් ඔයාව මතක් වෙලා නිදිමත නැති වුනා. ඔයා කෑවද කාවින්ද?”
“ඔව්....”
“නිදාගන්නේ නැද්ද?”
“නිදාගන්නවා.”
“එහෙනම් මම තියන්නද?”
“ඇයි... මම කෝල් කරපු එක වදයක් වුනාද?”
“අනේ නෑ කාවින්ද.... ඔයා නිදාගන්නවා කියපු නිසා මම තියන්න ගියේ.”
“එතකොට වෙනදත් ඔයා එහෙම කරනවද?”
“අනේ කාවින්ද... මොකද ඔයාට වෙලා තියෙන්නේ... ඇයි මාත් එක්ක තරහෙන් කතා කරන්නේ...?”
“මම තරහ වෙලා නෑ.... දැන් මමනේ ඔයාට කෝල කළේ. එතකොට ෆෝන් එක තියන්න ඕනෙත් මමනේ. ඔයා තියන්න හදන්නේ මාව වදයක් වෙලා.”
“අනේ ... මොකද මේ...... මට ඔයාව එපා වුනොත් ඊට කලින් මට මාව එපා වෙන්න ඕනේ.”
“ඇත්තද?”
“කාවින්ද පොඩ්ඩක් ඉදලා මම කියන දේ අහන්න.”
“මොකක්ද?”
“ඔයා ගෙදර ගියාට පස්සේ මොකද වුනේ... ප්ලීස් මට කියන්න.”
“මොනවත් වුනේ නෑ. යාළුවෝ ටික ආවා.”
“ඊට පස්සේ...”
“අපි කෑම ගෙනාවා. සචියා කතාවක් ඇදලා ගත්තා ඔයා ගැන.”
“මොනවද කිව්වේ...”
“දිනි ඌට කිව්වලු ඔයාව විශ්වාස කරන්න එපා කියලා.”
“මම කිව්වේ කාවින්ද... දිනි හැම තැනකටම කතා කරලා. හරි ඊට පස්සේ මොකද වුනේ.”
“ඌට කොච්චර කිව්වත් ඇහුවේ නෑ. පස්සෙ මම ඌට ගහන්න ගියා.”
“අයියෝ... මොනවද ඔයා කරන්නේ.. මම නිසා ඔයා හොඳම යාළුවට ගැහුවද?”
“නෑ... ඌට ගැහුවේ නෑ... අමිල මාව අල්ල ගත්ත නිසා ... නැත්නම් මම ඇත්තටම ඌට දෙකක් අනිනවා.”
“පිස්සු වැඩ කරන්න එපා කාවින්ද... අපිට කවුරුත් නැති වෙලාවේ ඉන්නේ ඔයාගේ ඔය යාළුවෝ ටික විතරයි. ඒ අයව තරහ කරගන්න එපා. අනිත් එක මට මොනව කිව්වත් ඔයා කාත් එක්කවත් රණ්ඩු වෙන්න එපා. ඒක ඒ අයගේ කැමැත්ත. සචිත්‍ර ඉස්සර ඔහොම නෑනේ. මම හිතන්නේ දිනි එයාගේ ඔළුව හදලා.”
“මම දන්නෑ.. මට තද වුනා.”
“හරි හරි දැන් හොඳ බබා වගේ නිදාගන්න... හෙට සචිත්‍ර හම්බවෙලා කතා කරන්න. මම වෙනුවන් ඒක කරන්න. ඒක නෙවෙයි යාළුවෝ ගෙදර ආවේ මේ රෑ ගෙදර කවුරුත් නැද්ද?”
“නෑ... මම විතරයි. දීප නැන්දවත් නෑ.“
“අනේ.................“
“ඇයි මොකද කෙඳිරි ගාන්නේ...?“
“ඔයාට අද මාත් එක්ක තව ටිකක් ඉන්න තිබුණනේ.... ගෙදර කවුරුත් නැත්තං....“
“බෑ... අද තමයි මම ගෙදර ඉන්න ඕනේ. මට ගේ බලාගන්න දීල ගියේ....“
“කාවින්ද....“
“මොකද?“
“මට ඔයාව බලන්න ඕනේ...“
“මේ දැන්.....“
“ඔව්....“
“පිස්සුද මන්දා... මේ රෑ.... මට එන්න බෑ....“
“ඔයා එන්න එපා... මම එන්නම්...“
“අපේ ගෙදර.... විකාරද... හොඳට තියෙයි.....“
“ඇයි බබෝ... ගෙදර කව්රුත් නෑ කිව්වේ...“
“නෑ තමයි... ඒ වුනාට කව්රු හරි දැක්කොත් හරි නෑ....“
“ඇයි එහෙනම් ඔයා මට කිව්වේ ගෙදර කවුරුත් නෑ කියලා... ඒකනේ මට ඔයාව බලන්න හිතුනේ...“
“ඒක හරි වැඩක්නේ... ඔයා අහපු දේට මම උත්තර දුන්නා... එච්චරයි.... මේ ඒක නෙවෙයි... මම එහෙනම් බයික් එක අරගෙන එන්නද?“
“කොහේ යන්නද...?“
“ඔයාට හොරෙන් ගෙදරින් එළියට පැනගන්න පුළුවන්ද සුදූ...“
“පුළුවන්.....“
“එහෙනම් මම එන්නම්...“
“කොහේ යන්නද කාවින්ද.....?“
“අපි කොහේ හරි යමු.....“
“අනේ බලන්න... දැන් හවස අපි ප්‍රොමිස් වුනා ආයෙත් නරක වැඩ කරන්නෑ කියලා. දැන් ඔයා මාව අවුස්සනවා..... හරි නරකයි... ඊට පස්සේ ඉතින් මටත් ඉන්න බැරි වෙනවා....“
“ඕකේ ඕකේ මැඩම්.... මම එහෙනම් නිදා ගන්නම්කෝ.....“
“එපා... “
“ඇයි ඒ....“
“මට පාළුයි....“
“මේක මාර සීන් එකක් නේ.... දැන් ඔයාට පාළු වුනාම මමත් නිදිමරන්න ඕනෙද?“
“ඔව්........ ඔයාට දැන් බෑ තනියම හිතන්න.... ඔයා කරන හැම දේකටම මාත් ඉන්නවා කියලා හිතන්න.“
“අප්පා... කෙල්ලෙක් සෙට් වුනාම නිදහස නෑ කියන එක ඇත්ත වගේ..... මොනව කරන්නද. බැඳගත්ත බෙරේ ගහන්නත් එපැයි....“
“මොකක්... ඒ කියන්නේ මාව වාතයක් වෙලා මේ ටිකදවසට.“
“හ්ම්....“
“හරි නරකයි අනේ..... ඔයා කෑවද කියලා නොදැන මට කන්නවත් බෑ.... මෙයා මාව අමතක කරලා හොඳට නිදි.... තරහම තරහයි..“
ඔය විදිහට අපි දෙන්නා රෑ එකොළහ විතර වෙනකම් කෝල් එකේ හිටියා.
මම ෆෝන් එක තියනකොටම ආයෙත් කෝල් එකක් ආවා. සමාධිගෙන්.
“අයියේ.... මම දිනි.”
“ඔව් නංගි කියන්න....”
“ඔයාට මම පැය දෙකක් තිස්සේ ට්‍රයි කරනවා. කාත් එක්කද කොල් එක?”
“කාත් එක්කවත් නෑ.. මම නිදාගෙන හිටියේ....”
“අම්මෝ කියන බොරු... එතකොට ෆෝන් එක එන්ගේජ් වුනේ කොහොමද?”
“මම දන්න එන්ගේජ් එකක් නෑ..... ඇයි ඔයා කතා කළේ...?”
“ඔයා බොරු කියන්නේ... දිලිනි නේද කතා කළේ...”
යකෝ මේක මාර වාතයක් වුනානේ. මේ කෙල්ලන්ගෙන් බේරෙන්න පුදුම අමාරුවක්නේ තියෙන්නේ.... එක පාරක් දිලිනි වාත වුනා... දැන් මෙයා... මට රෑට වත් නිදහසේ ඉන්න නෑනේ.....
“අයියේ... මට හෙට ඔයාව හම්බ වෙන්න ඕනේ.... උදේ දහයට වැව රවුමේ ජෝයි බෝට් හවුස් එක ළඟ.”
“එන්නම්.. ඒත් වැව රවුමෙ බෑ... මම උදේ කැම්පස් ග්‍රවුන්ඩ් එකේ ප්‍රැක්ටිස්. ඔයා දහයයි කාලට ගලහ හන්දියට එන්න. මම ඔයාව පික් කරන්නම්.”
BMW එකේද?” දිනි ඒක ඇහුවේ හින්ට් එකට වගේ...
“නෑ.. මගේ සුපුරුදු බයික් එකේ.”
“ඒක හොඳයි...”

4 comments:

  1. ඔන්න කාවින්දට කවදාවත් නැතුව තද වෙලා..... හොඳම යාළුවත් නැති කරගත්තා...

    ReplyDelete
  2. මොනා උනත් තමන්ගෙ යාලුවා නැති කරගත්ත එක නම් අපරාදෙ. දැන් දැන් දිලිනිව ෂුවර් නැති ගතියක් එනවා.

    ReplyDelete