Tuesday, August 22, 2017

සදානුස්මරණිය ප්‍රථම ප්‍රේමය ~ මේ ආදරයයි ~ 78




සදානුස්මරණිය ප්‍රථම ප්‍රේමය


මේ ආදරයයි


78.

දිලිනි ඒ විදිහටම විනාඩි පහක් විතර කතා නොකරම හිටියා.
“කාවින්ද.... තවත් මේව හංගලා වැඩක් නෑ... යමු අපි ඇතුලට, මම කියන්නම් මම කව්ද කියලා.“
අපි දෙන්නා ආයෙත් කාමරේට ආවා.
“කාවින්ද, මම කව්ද කියලා ඇහුවනේ...  ඒකට දෙන්න උත්තරයක් මම දන්නේ නෑ. මගේ අම්ම ඒ පවුලේ එකම දුව, පරම්පරාවෙන් ලැබුණ ලොකු දේපලක් එයාට තිබුණා. තාත්තා බිස්නස් කළා. එයාට ඒවලින් ලොකු ආදායමක් තියෙනවා. ඉතින් ඒ දෙක එකතු වුනාම ඒ දෙන්නගේ එකම දුව වෙන මමත් සල්ලි වලින් පෝසත්.“
මම අහගෙන හිටියා.
“කාවින්ද, මේ හැම දෙයක්ම මට ලැබුණේ අන්න එහෙම.“
“ඔයා තාම මගේ ප්‍රශ්ණෙට උත්තරේ දුන්නේ නෑ.“
“මීට වඩා දේවල් මට කියන්න බෑ කාවින්ද? ඒවා අපේ පවුලේ බිස්නස් රහස්.“
“ඒ කියන්නේ ඔයාට තාම මාව විශ්වාස නෑ.“
“එහෙම දෙයක් නෙවෙයි දෙයියනේ.... ඒව මගේ රහස් නෙවෙයි.... තාත්තිගේ බිස්නස් සම්බන්ධ දේවල්. මට ඒව කියන්න බෑ.... අනික මම ඔයාගේ තාත්තගේ දේවල් අහනවද. මම ඔයාට කවදාවත් මම ගැන බොරු කියලා නෑ. ඒ ගැන මට ෂුවර්.“
“ඒ වුනාට මගේ හිතට හොඳ නෑ. ඔයා මාව රැවැට්ටුවා වගේ දැනෙනවා.“
“අනේ කාවින්ද, එහෙම හිතන්න එපා... ඔයාව රවට්ටන්න ඕනේ කමක් නෑ මට. එකම වැරැද්ද මම ගොඩක් දේවල් ඔයාට කිව්වේ නෑ.“
“ඔව්... දැන් වුනත් ඔයා ගොඩක් දේවල් කියලා නෑ. හිතන්න දිලිනි... මම ඔයා ගැන මොනවද දන්නේ....? ඔයාගේ අම්මයි තාත්තයි කව්ද කියලා දන්නවා ඇරුණාම මම ඔයාගේ වෙන නෑදෑයෙක්වත්, යාළුවෙක්වත් වෙන කිසිම කෙනෙක් දන්නේ නෑ. ඔයා මට ඒ දේවල් කවදාවත් කියලා නෑ... මම එහෙමද, මම හැම දෙයක්ම ඔයාට කියලා තියෙනවා.“
“අනේ මට වද දෙන්න එපා කාවින්ද..... මුළු ලෝකෙන්ම මට ඕනේ ඔයා විතරයි. ඔයාගේ වෙන කිසිම දෙයක් මට එපා. ප්ලීස් මට කියන්න පුළුවන් දෙයක් තියෙනවනම් මම කියනවා.“
“හරි... අඩු ගාණේ කියන්න මේ ගේ කාගෙද කියලා.“
“හ්ම්..... මේ ගේ මගේ තාත්තගේ.... එයා මේක ලෝන්ග් ටර්ම් ලීස් එකකට අරන් තියෙන එකක්. සිංගප්පූරුව කියන්නේ බිස්නස් හබ් එකක්.... මෙහේ ලොකු බිස්නස් නැති වුනාට, ලොකු බිස්නස් ඩීල් හැම එකක්ම පටන් ගන්නේ මෙහෙන්. ඉතින් කළින් මම කිව්වා වගේ තාත්ති ඉස්සර සති මාස කීපයකට වතාවක් මෙහේ එනවා. ඒ ආපු සමහර වෙලාවට මාසයක් විතර නවතිනවා. සමහර වෙලාවට අම්මයි මමයි දෙන්නත් එක්ක එනවා. එහෙම වුනාම හොටෙල් එකක ඉන්නවට වඩා මේක ලේසියි, ලාබයි. ඒ නිසා තාත්ති මේක ස්ථිරවම අපිට ගත්තා.“
දිලිනි කියන දේ අදහගන්න බැරි වුනා මට.
“ඔයා ඇත්තද කියන්නේ.... මට හිතාගන්න බෑ.“
“ඔයා ඔය ඉන්න කාමරේ මගේ.... මම ආපුවාම ඉන්නේ ඔය කාමරේ.... මේ දේවල් මම ඔයාට හැංගුවේ මොකටවත් නෙවෙයි, මම බයවුනා... ඔයා මේ දේවල් දැනගෙන මගේ වත්කම් ගැන හිතලා මට ආදරේ කරන්න බය වෙයි කියලා. නැත්නම් ඒව ගැන විතරක් හිතලා මට ආදරේ කරයි කියලා. මට සමාවෙන්න කාවින්ද, මට ඕනේ වුනේ මේ කිසි දෙයක් නැති දිලිනිට ඔයා ඇත්තටම ආදරේ කරනවද කියලා දැනගන්න.“
මට හිනා ගියා.
“ඇයි අනේ හිනා වෙන්නේ....“
“දැන් දැනගත්තද මම ආදරේ ඔයාට කියලා..“
“ඔව්......“
“මෝඩ කෙල්ල... මම මේව ගැන ආසාවක් ඇති කරගන්නෑ. මට ඕනේ සල්ලි නෙවෙයි ඔයාව.“
“දැන් ඔයාගේ සැකේ නැති වුනාද?“
“මට හිතෙනවා මේ දේවල් අපි දෙන්නට දරා ගන්න බැරි වෙයි කියලා. මගේ දෙමව්පියෝ ඉස්කෝලෙ ටීචර්ස්ලා. දැනට යන්තම් අම්මා වයිස් ප්‍රින්සිපල් ලෙවල් එකේ ඉන්නවා. මම නිකං ඒ ලෙවල් විතරක් කරලා, ගරාජ් එකක වැඩ ඉගෙනගන්නවා. ඒත් ඔයා...“
“ඇයි කාවින්ද, මගේ වෙනස මොකක්ද?“
“ඔයාට තේරෙන්නේ නැද්ද? ඔයාගේ අම්මා කෝටි ගාණක දේපල තියෙන වලව් කාරියක්, තාත්තා ඉන්ටර්නැෂනල් බිස්නස් තියෙන කෙනෙක්. ඔයා ඒ දෙන්නගේ එකම දුව. ඔයා ගමන් යන්න එකක්  නෙවෙයි කාර් දෙක තුනක් පාවිච්චි කරනවා. ඒවා ඔයාටම විතරක් ගත්ත ඒවා. අනිත් එක අපිට ගන්න තියා හිතන්නවත් බැරි තරම් ගණන් වල ඒවා. ඔයාට ලංකාවේ විතරක් නෙවෙයි සිංගප්පූරුවෙත් ගෙවල් තියෙනවා. ඔයා අඳින ඇඳුම්, පාවිච්චි කරන පර්ෆියුම් දාස් ගණන් වල ඒවා. පාවිච්චි කරන ජ්වලරි ලක්ෂ ගණන්. ඒ වෙනස ගැන මට බයයි දිලිනි. අපි දෙන්නට ඒ පැත්තෙන් කොහොමවත් කිට්ටු වෙන්න බැරි තරම් දුරයි.“
“ඒත් ඒ කිසි දෙයක් මගේ නෙවෙයි, මගේ තාත්තගේ... මට ඒ හැම දෙයක්ම දාලා ඔයා වෙනුවෙන් එන්න පුළුවන්. මම දැනටමත් හිත හදාගෙන ඉවරයි. ඔයා ජීවත් වෙන විදිහට ඉන්න මට අමාරු නෑ. ඒත් ඔයාගේ ආදරේ නැතුව ජීවත් වෙන්න් නම් බෑ ඒ නිසා ඒ අතින් අපි දෙන්නගේ කිසිම වෙනසක් නෑ.“
“තව එක දෙයක් තියෙනවා. ඇයි ඔයා මේ හැම දෙයක්ම තියාගෙන ඉස්කෝලෙක උගන්වන්න ආවේ?“
“ගිහාන්ගේ ප්‍රශ්ණ නිසා මට ගෙදර ඉන්න එක එපාවුනා. සැරයක් මම ආයෙත් නැන්දලාගේ ගෙදර ගිහින් එහේ පදිංචි වුනා. ගිහාන් තාත්තිගේ බිස්නස් වලට සම්බන්ධ වුනාම මට ඒ දේවල් එපා වුනා. මම ඩිග්රි එක කරලා නිසා පොඩි කාලේ ඉඳලම ආසාව තිබ්බ ගුරු පත්වීමක් ගන්න අමාරු වුනේ නෑ. එකක් තාත්ති‍ගේ සම්බන්ධකම්, අනිත් එක ඔයාගේ තාත්තයි අ‍පේ තාත්තයි අඳුරන එක. ඔයාගේ තාත්තත් ම සෑහෙන්න උදව් කලා මේ පත්වීම ගන්න.”
“මොකක්, අපේ තාත්තත් මේ පත්වීම ගන්න ඔයාට උදව් කළාද. මාර සීන් එක, ඒ කියන්නේ ඔයා ගැන අපේ තාත්තා නොදන්න දෙයක් නෑ.”
“එහෙමම නෑ කාවින්ද... ඒත් ඔයාගේ තාත්තා ඒ කාළේ මට ගොඩක් ආදරෙන් හිටියා.”
“එහෙනම් ඇයි මේ ඔයාගේ තාත්තා මට ඔච්චර අකමැති.”
“මම දන්නෑ කාවින්ද... හැබැයි මම එක දෙයක් සැක කරනවා.”
“මොකක්ද?”
“ඒ දෙන්නා ගොඩක් කල් ඉඳලා හොඳට අඳුරනවා. යාළුවෝ නොවුනට හොඳට දන්න කියන අය. ඉතින් දෙන්නට දෙන්නා ගැන හැම දෙයක්ම දන්නවා ඇති. ඔයාව මට නොදෙන්න ම‍‍ගේ තාත්තගේ මොනව හරි දේවල් ඔයාගේ තාත්තා දන්නවා ඇති. ඒ වගේම මාව ඔයාට නොදෙන්න මගේ තාත්තා ඔයාගේ තාත්තගේ මොනව හරි අකමැති දේවල් ඇති.”
“මටනම් තේරෙන්නේ නෑ අප්පා මේක.. කොහෙන් ගියත් කොනක අපේ තාත්තා ඉන්නවා, විච් ඉස් වෙරි ඩේන්ජරස්....”
“ඇයි....?”
“සුදූ, ‍අපේ තාත්තා ඕනෙවටතත් වඩා මට ආදරෙයි. මම ඒක හොඳට දැකල තියෙන දෙයක්... මොන හේතුවකටද දන්නෑ එයා මල්ලිට වඩා මට ගොඩක් ආදරෙයි. පවුලේ මගෝඩි වැඩ ඔක්කොම කරලා පිස්සු කෙලින්නේ මම, මල්ලි අහිංසකයා, කාගෙවත් හිත රිදෙන වැඩ කරන්නෑ, ඒත් තාත්තා වැඩියෙන්ම ආදරේ මට. ඒ නිසා මං වෙනුවෙන් එයා හරියි කියලා හිතන දේ වෙනුවෙන් එයා කොන්දේසි විරහිතව පෙනී ඉඳියි. ඒ වෙනුවෙන් කරන්න පුළුවන් ඕනෙම දරුණු දෙයක් වුනත් කරන්න එයා දෙපාරක් හිතන එකක් නෑ. ඔයාගේ තාත්තත් ලොකු සම්බන්ධකම් තියෙන බලයක් තියෙන කෙනෙක්...අර සචියා කියනවා වගේ දෙන්නා හැප්පුනොත් ‍තුන්වෙනි ලෝක යුද්දේ වගේ තියෙයි. යුද්ධ කරන්නේ ඒ දෙන්නා වුනාට වට පිටාවේ මිනිස්සුත් යුද්ධ ප්‍රකාශ කරයි. මට බය අන්න ඒකට.”
“අපි දෙන්නා මේ කිසි දෙයක් නොකියා ඉමු කාවින්ද.”
“ඒක කොහොමද කරන්නේ... මොනව හොරෙන් කළත් කවදාහරි අපි දෙන්නට එකතු වෙන්න නම් ඒ අයට කියන්න වෙනවා.”
“ඒක ගැන අපි දැන්ම නොහිතා ඉමු. කාලය ආවහම වෙන දෙයක් වෙයි.”
“ඒ වුනාට ඔයා මේ කිසි දෙයක් කිව්වේ නැහැ. ඔයා මේ තරම් දේවල් දැනගෙන ඉඳලා ඇයි මට කිව්වේ නැත්තේ. මම වැඩ කරලා තියෙන්නේ අන්ධයෙක් වගේ. ඔයා මට හැම දෙයක්ම හැංගුවා.“
“මට සමාවෙන්න කාවින්ද... මම වැරදියි.... මට දැන් හිතෙනවා මේ හැම දෙයක්ම මම ඔයාට කළින්ම කියන්න තිබුණා කියලා.
.”ඒක නෙවෙයි සුදු. අන්තිමට මම නිසා ඒ ජොබ් එක නැතිවුනා නේද ඔයාට.“
“ඒකට කමක් නෑ... මට මගේ ජීවිතේ වටිනාම දේ ලැබුණනේ. ඒක නෙවෙයි කාවින්ද දැන් ඔයාගේ සැකේ නැති වුනාද?“
“ඔයා ඔය කතාව කළින් කියලා තිබුණනම් මෙච්චර ප්‍රශ්ණයක් වෙන්නෑ.“
දිලිනි ලස්සනට හිනා වුනා.
“කාවින්ද අපි යමු එළියට. මෙච්චර අමාරුවෙන් ඔයාව මෙහෙට ගෙන්නගෙන, මාත් ආවේ මෙහෙම ගෙවල් ඇතුලට වෙලා රණ්ඩු වෙවී ඉන්නද? ”
“දිලිනි ඔයා තවත් මට නොකියපු දෙයක් නැද්ද?”
“නෑ... බබා..... මට ඔයාට හංගන්න දෙයක් නෑ. එකම දේ අපි දෙන්නා එකට ඉන්න ඕනේ.”
“මම කිව්වනේ... මොන ප්‍රශ්ණ ආවත් මම ඔයාව අතාරින්න ලෑස්ති නෑ. ඒ වුනාට අද ඉඳලා අපි දෙන්නා අතරේ රහස් තියෙන්න බෑ.”
“මම එකඟයි කාවින්ද.”
එදා දවසම අපි මුළු සිංගප්පූරුවෙන් බාගයක්වත් ඇවිදින්න ඇති. මගේ කකුලේ ප්‍රශ්නේ නිසා අපි හැමතැනම ගියේ වාහනේ. දිලිනි අරන් ඇවිත් තිබ්බේ BMW කාර් එකක්. ලංකාවේ පාවිච්චි කරපු එක වගේම එකක්.
දිලිනි වාහනේ එලෙව්වේ හොඳට පුරුදු කෙනෙක් වගේ. මම නම් ලංකාවේ කොච්චර වාහන එලවලා තිබුනත් මේ රටේ නම් පාරවල් පිස්සු වගේ. වාහන නම අඩුයි, ඒත් හරවන තැන්, හරවන විදිහ, කලර් ලයිට් දැක්කම ඔළුව අවුල් වෙනවා.
ම‍ගේ ජීවි‍‍තේ ලස්සනම දවස් ගෙවෙන්නේ දැන් කියලා මට හිතුනා. අපි දවල් කෑම වෙලාවේ දිලිනිගේ ෆෝන් එකෙන් සචිත්‍රට කතා කළා. මම ලංකා‍වෙන් එනකොට මගේ ෆෝන් එක ඌට දීල ආව නිසා කතා කරන්න ලේසියි.
“අම්ම ගහයි බැට් එකෙන්, කාවා නේද? යකෝ... උඹට කොහොමද?”
“අවුලක් නෑ... බං...”
“කොහොමද හොස්පිට්ල් එකේද ඉන්නේ....?”
“නෑ බං.... හෙට තමයි ඇඩ්මිට් වෙන්නේ. අද අපි ටිකක් ඇවිදිනවා.”
“නෑ, සිරා නේ බං... උඹලට තමයි බං ඔය අහක යන පින කඩා වැටෙන්නේ. අපරාදේ බං අරූ මට ගහලා කකුලක් කැඩුවනම් මමනේ ඔතන ඉන්නේ.”
ඌ කියපු දේට මට හිනා ගියා. දිලිනිත් මට හේත්තු වෙලා අහගෙන හිනා වුනා.
“කාවා, කෙල්ලෙක් හිනාවෙනවා ඇහෙන්නේ, උඹ ඔය දවස් දෙකට සිංග කෑල්ලක් දාගත්තද?”
“ඔව් ඇයි..... උඹට කතා කරන්න දෙන්නද?”
“අපෝ එපා... මට ඔය මගුල් බාසාව තේරෙන්නෑ බං.”
“නෑ යකෝ... හොඳට සිංහල කතා කරනවා. උඹට, මට වඩා හොඳට කතා කරනවා.”
“ඈ... උඹට මඤ්ඤංද?”
“ආ කතා කරලා බලපංකෝ අඳුරනවද කියලා.”
මම දිලිනිට ෆෝන් එක දුන්නා.
“හලෝ සචිත්‍ර ගුඩ් ආෆ්ටර්නූන්.”
දිලිනි කිව්වා.
“සචිත්‍ර, මාව අඳුරන්න පුළුවන්ද?”
එහෙම අහලා දිලිනි මට ආපහු ෆෝන් එක දුන්නා.
“යකෝ...... තෝ නම් තියන්න වටින්නෑ... අපිටත් පානිය දාලා උඹලා දෙන්නා හනිමූන් ගියා නේද? හරකා... උඹ නම් කොච්චර ගුටි කෑවත් හැදෙන්නෙ නෑ..... උඹට පිස්සුද යකෝ....”
“ඇයි බං... මම ආවේ බෙහෙත් ගන්න. මම එනවා කියල දැනගෙන දිලිනිත් ඇවිත්.”
“බම්බුව.... එහෙම හිතුන ගමන් රටවල් වලට යන්න පුළුවන්ද? ඕක තොපි දෙන්නා ප්ලෑන් කරලා කරපු දෙයක්. මට දුක අපිටත් බොරුව දාපු එකනේ.”
“නෑ බං.... සිරාවටම, දිලිනි මෙහෙම ඇවිල්ලා මම හිටපු හොටෙල් එකට ආවහම තමයි මම දැනගත්තේ.”
“උඹල දෙන්න එකටද ඉන්නේ?”
“ඒ කියන්නේ?”
“ඒ කියන්නේ යකෝ, උඹල දෙන්නාා එක රූම් එකේද ඉන්නේ.”
“ඔව්....”
“හම්ම යකෝ... ලැජ්ජාවක් නැතුව කියන ලස්සන, ගොන් වහන්සේ... යකෝ... උඹට ඕකි මොනව කරයිද දන්නෑ... මේ කාවා, උඹ කෙල්ලෙක් උස්සන එක තේරුම් ගන්න පුළුවන්. ඒත් ඔය වගේ ගාගන්න එපා. උඹට කසාද බඳින එකෙන් මෙහා ගැලවීමක් නැති වෙයි.”
“උඹ වලිගේ පාගගෙන, අපි දෙන්නා නිදාගන්නේ එකම රූම් එකේ කිව්වේ බාප්ප කාරයයි මමයි බං... සිසිරයා... ඌනේ ආවේ මාත් එක්ක.”
“හරකෝ... උඹල දෙන්න ගැන නෙවෙයි ඇහුවේ... කෙල්ල ගැන....”
“ඒකෙන් වැඩක් නෑ... කෝ අමිලයා...?”
“ආ හිටපං...”
ඌ අමිලට ෆෝන් එක දුන්නා.
එතන හිටපු සෙට් එකටම කතා කරලා තමා මම ෆෝන් එක තිබ්බේ.
“කාවින්ද, මොනව වුනත් ඔයාට හොඳම හොඳ යාළුවෝ ටිකක් නම් ඉන්නවා. මොන හොර වැඩේ කලත් ඒවට උදව් කරන්න සැදී පැහැදී ඉන්න යාළුවෝ ඉන්න එකත් ලොකු දෙයක්.”
පහුවෙනිදා පටන් ගත්ත මගේ ප්‍රතිකාර දවස් පහක් කළා. රෝහලට ඇතුල් වෙලා දෙවෙනි දවසේ දිලිනි ආපහු ලංකාවට ගියා. දවස් පහකට පස්සේ මම ආපහු එපාර්ට්මන්ට් එකට ආවා. තවත් දවස් පහකින් තමා ආයෙත් ප්‍රතිකාර පටන් ගන්න තිබුනේ.
ඒ දවස් පහේ මට ඇවිදින්න තහනම් කරලා තිබුණා. ඒ නිසා දිලිනි ආයෙත් එන්න අහපු වෙලාවේ මම එපා කිව්වා. නැවතත් දවස් පහකට පස්සේ ප්‍රතිකාර පටන් අරන් දවස් පහකින් නැවැත්තුවා. ඒ වෙනකොට මම හිතන්නේ සියයට අනූවක්ම හොඳ අතට හැරුනා. ලංකාවෙදි තිබ්බ ගොඩක් අමාරුකම් නැතිවුනා.
තවත් දවස් දහයක් විතර එක දිගට ෆිසියෝතෙරපි කරන්න කියලා දොස්තර නියම කළා. ඒත් ඒ උපකරණ ලංකාවේ තියෙනවද කියන එක ෂුවර් නැති නිසා දිලිනි මාව ඒ දවස් දහයත් සිංගප්පූරුවේම තිබ්බා. ඒකට වියදම් හැම එකක්මත් එයා කළා.
ඇත්තටම ඒ රෝහලේ දොස්තරලා විතරක් නෙවෙයි හැමෝම මට සැලකුවේ බොහොම හොඳට. විශේෂයෙන්ම මලල ක්‍රීඩකයෙක් කියලා දැන ගත්ත නිසා විශේෂම විදිහකට සැලකුවා. පැය විසිහතරම මාව බලාගත්තා. ලංකාවේ මලල ක්‍රීඩා ගැන ගොඩක් දේවල් ඇහුවා. ඒ රටේ නම් මේ වගේ දෙයක් වුනොත් රජයෙන් හැම දෙයක්ම නොමිලේ දීලා සම්පූර්ණයෙන්ම හොඳ කරලා ආපහු තරඟ වලට යොමු කරනවා කිව්වා. ලංකාවේ වගේ නෙවෙයි බොහොම අඩු ජනගහනයක් ඉන්න නිසා දක්ෂයෙක් හොයාගත්තහම එයාට අවශ්‍ය හැම පහසුකමක් ම දීලා තියා ගන්නවලු.
ඒ දොස්තර ක්‍රීඩා වෛද්‍ය කෙනෙක් නිසා මම කරන ඉසව් ගැන වගේම, ඒවට අවශ්‍ය කරන මාංශ පේශි මොනවද, ඒවා ශක්තිමත් කරන්නේ කොහොමද, අනවශ්‍ය මාංශ පේශි ලොකු නොකර ජිම් එකේ වර්ක්අවුට් කරන්නේ කොහොමද කියලා ලස්සනට කියලා දුන්නා. ලංකාවෙදිනම් අපි ජිම් ගියාට දන්න දෙයක් කරනවා මිසක් ඔය වගේ උපදෙස ලැබුණේ නැහැ. මම ඒ හැම දෙයක්ම පොතක් තියාගෙන ලියා ගත්තා.
ඒ දවස් දහයේ ප්‍රතිකාර වලින් පස්සේ දොස්තර නියම කළා තවත් මාසයක් යනකම් දවසක් ඇර දවසක් ෆිසියෝතෙරපි කරන්න කියලා. ඒ අතරේ පොඩි පොඩි ව්‍යායාම වලින් පටන් ගන්න කිව්වා. ඒත් සති දෙකක් යනකං දුවන්න එපා කිව්වා.
සති දෙකකින් මීටර් පහන. හැට වගේ අඩු වේගයකින් දුවන්න පටන් අරන් හතරවෙනි සතියේ වේගේ වැඩි කරන්න උපදෙස් දුන්නා. කකුලට සම්පූර්ණ බර දාලා දුවන්න මාසයක්ම ඉන්න කියලා උපදෙස් දුන්නා. හරියටම මාසයකට පස්සේ කකුල තිබුණ විදිහෙන් සියයට අනූනවයක්ම හරි කියලා තමයි කිව්වේ. එකම දේ කකුල ලොකු වෙලාවක් එකම ඉරියව්වෙන් තියාගෙන ඉන්න එපා කිව්වා.
ඇත්තටම මේ ප්‍රතිකාර වලින් පස්ස් ඇවිදිනකොට වෙනදා දැනුන වේදනාව දැනුනේ නැහැ.
බයක් නැතුව කකුල බිම තියන්න පුළුවන් කම ලැබුනා.
අන්තිමට මම ලංකාවට ආවේ හරියටම දවස් තිහක් සිංගප්පූරුවේ ගත කරලා.

2 comments: