Wednesday, May 31, 2017

සදානුස්මරණිය ප්‍රථම ප්‍රේමය ~ මේ ආදරයයි ~ 32


සදානුස්මරණිය ප්‍රථම ප්‍රේමය
මේ ආදරයයි


32.

මම එදා වෙච්ච කිසිම දෙයක් දිලිනිට කිව්වේ නෑ. මොකටද කෙල්ලව බොරුවට බය කරන්නේ.

ඒත් සචියටනම් කිව්වා. ඌ හැමදාම වගේ ‍අනිත් කොල්ලොත් සෙට් කරගෙන මට ගාඩ් එක දෙන්න ප්ලෑන් කරනවා.

මේ අතරේ මම මොනවහරි කෝස් එකක් පටන් ගන්නකම් නිකං ඉන්න බැරි නිසා අම්මගේ යාළුවෙකුගේ පුතෙකුගේ වාහන හදන ගරාජ් එකකට සෙට් වුනා. එතන වාහන හදනවා කිව්වට හදන්නේ 4 x 4 ජීප් විතරයි.

මමත් කැමතිම වාහනේ නිසා කැමැත්තෙන්ම වැඩ ඉගෙනගන්න ගියා. සෑහෙන්න බිස්නස් තියෙන තැනක් වුනත් ඒක කරපු ධනුෂ්ක අයියා ගෝලයෝ නැතුව තමා වැඩේ කරගෙන ගියේ. ගෝලයෝ පුරුදු කරලා උන්ගෙන් වැඩ අරන් ධනුෂ්ක අයියට එපා වෙලා තිබුනේ.

මම යද්දි ධනුෂ්ක අයියත් වීරේ කියලා තව ගෝලයෙකුත් විතරයි හිටියේ.

“මල්ලි උඹ ආපු එක ලොකු දෙයක්. සෑහෙන්න වැඩ තියෙනවා. හොඳ බිස්නස්. ඒත් කරගන්න බෑ. උඹ ඉක්මනට වැඩ අල්ල ගනින්. සෑහෙන ගාණක් හොයන්න පුළුවන්.”

“සල්ලි බලාගෙනම නෙමෙයි අයියේ... දෙයක් ඉගෙනගන්නත් එක්ක මම ආවේ.”

“උඹ මෝටර් මිකැනිසම් ටිකක් කරලා තියෙනවනේ. මේ 4 x 4 පොඩ්ඩක් වෙනස්. මම දෙන්නම් ට්‍රේනින් එක. උඹ අල්ල ගනින්.”

“ෂුවර් අයියේ.”

“පටන් ගන්න උඹ සතියට දවස් කීයක් වැඩ කරනවද?”

“අවුලක් නෑ අයියේ හැමදාම එන්නම්.”

“හරි. මෙහේ වැඩ උදේ නවයේ ඉඳලා හවස හය වෙනකම්. උඹට කලින් යන්න ඕනේ නම් අවුලක් නෑ. හැබැයි හැමදාම බෑ. මම මුලින් දහයක් දෙන්නම්. වැඩේ අල්ලගත්තොත් මම අනිවා ගාන ඩබල් කරනවා.”

යකෝ දහදාහක්! මේ කාලේ දහදාහක් ට්‍රේනි කෙනෙකුට ලැබෙනවා කියන්නේ සිරා වැඩක්නේ. මගේ යාළුවෝ ඉන්නවා කොළඹ ජොබ් කරන, උන් ගන්නෙත් මාසෙට දහ දොලොස් දාහක්. ඒ අතින් බලදද් මේ වගේ ආතල් රස්සාවට දහයක් කියන්නේ නියම වැඩක්.

මම පහුවදා ඉඳලම වැඩ පටන් ගත්තා. මූලික දැනීම තිබුණ නිසා අමාරු වුනේ නැහැ. හැබැයි හිතපු තරම් වැඩ ආතල් වුනේ නැහැ. 4 x 4 එකක ඇනයක් ගලවන්නත් බිත්තර හය හතක් කාලා එන්න වෙනවා. ඒවා මහ දඩාර් සයිස්.

මුල දවස් කීපයේම මම යාළුවෝ හම්බවෙන්නවත් ගියේ නෑ. මම උනන්දුවෙන් වැඩ ඉගෙන ගත්තා. මොන දේ කරත් මට ඕනේ වුනේ ඒකේ හොඳම එකා වෙන්න. ඒ නිසා මගේ උනන්දුව අඩු වුනේ නෑ.

නිකං ඉන්නවනම් රෙස්ටොරන්ට් එකේ වැඩට එන්න කියලා එරංග අයියත් කිව්වා. ඒත් අම්මයි තාත්තයි දෙන්නම කැමති වුනේ නෑ. නිකං රෙස්ටොරන්ට් එකක වේටර් වෙනවට වඩා මේ වගේ දෙයක් ඉගෙන ගන්න එක හොඳයි කියනව එක තමා ඒ අයගේ අදහස වුනේ.

හරියටහ දවස් දහයකට පස්සේ මට නිවාඩුවක් ලැබුනා.;

එදා මම නුවර ගියේ අපේ උන් ඉන්නවද බලන්න. එදා ගිහාන් කතා කරපු දවසෙන් පස්සේ දිලිනිව දැක්කෙත් නැති නිසා එයාව බලන්නත් ආසාවක් තිබුණා.

ධනුෂ්ක අයියා මට මේ දවස් දහයට රුපියල් පන්දාහක් දුන්නා.

ඒ තරම් සල්ලියක් එකපාර අතගාල නැති නිසා මොනව කරන්නද කියලා මට අදහසක් තිබ්බේ නෑ. මම රුපියල් දාහක් මාරු කරලා බයික් එකට ෆුල් ටෑන්ක් ගහලා ඉතුරු හාරදාහම අම්මට දුන්නා.

“පුතේ ඇයි මේ.”

“පඩි.”

“තාම මාසයක් නෑනේ.”

“නෑ දවස් දහයක් එක දිගට වැඩ කළ නිසා මට මාස බාගෙකට පන්දාහක් දුන්නා. දාහක් මාරු කරලා පෙට්‍රල් ගැහුවා. මේ ඉතුරු එක.”

අම්මා හිනා වුනා.

“මට ඔයාගේ සල්ලි එපා. මේක තියාගන්න. පලවෙනි පඩිය නිසා ඇදුම් ටිකක් අරගෙන අනිත් ඒව වියදම් කරන්න. ඔයාට ඕන දේවල් ගොඩක් ඇතිනේ. ඊළඟ පඩියේ ඉඳලා බාගයක් විතර ඉතුරු කරන්න බලන්න.”

“අනිත් එක පුතේ ඔයාව මිකැනික් කෙනෙක් කරන්න මට ඕනේ නැහැ. රිසල්ස් එනකම් තව මොනව හරි ඉගෙනගන්න. සල්ලි මම දෙන්නම්. ඊට පස්සේ ඩිග්රියක් ගන්න. හොඳ රස්සාවක් කරන්න. මම ඔයාව මේකට දැම්මේ වැඩක් නැතුව රස්තියාදු ගහන නිසා.”

මම හිනා වෙලා ආවා.

මගේ අම්මා හැමදාම ඒ වගේ තමා.

ඊට පස්සේ මම නුවර ‍ට ආවා.

මාව දැක්ක ගමන් සෙට් එක කතාව පටන් ගත්තා.

“අන්න බලපං කොල්ලෝ... ආං කොල්ලෝ... ඉස්කෝලෙන් අවුට් වුනා දවස් දෙක තුනක් ලකා ගැහුවා. ඊට පස්සේ අම්ම අප්පගේ සල්ලි විනාස කරන්නේ නැතුව ජොබක් සෙට් කරගත්තා. දැන් ඌ මිකැනික් කෙනෙක්. නිකම්ම නෙවෙයි, ලංකාවේ ඉන්න 4 x 4 රෙපෙයාර් කරන ටික දෙනාගෙන් වැඩ්වෙක්.”

“උඹට පිස්සු.”

“නෑ බං. මට අපි ගැන දුකයි. අපි මොනවද බං කරන්නේ. අම්ම අප්පගේ සල්ලි නාස්ති කර කර ඉස්කෝලේ ගියා. මෙලෝ බෝලයක් කරගන්න බැරිවුනා. එග්සෑම් ලිව්වා, ලිව්වේ මොනවද කියලවත් ෂුවර් නෑ. ඊට පස්සේ ඉස්කෝලෙන් අවුට් වෙලත් අම්ම අප්පගේ සල්ලි කකා, සිගරට් ගගහා වැව රවුමේ චාටර් වෙනවා. අපි මොක්කුද බං. උඹනේ වැඩ්ඩා.”

“මේ සචියා මම තාම වැඩ්ඩෙක් නෙවෙයි. තාම වැඩ ඉගෙනගන්න පටන් අරගෙනත් සති දෙකක්වත් නෑ.”

“හරි හරි කවදාහරි උඹ එහෙම වෙනවනේ. මට ෂුවර්. ඒක නෙවෙයි කාවා, උඹ ළඟ කියක් හරි නැද්ද. ෆැග් එකක් ගහන්න වත් අතේ සතේ නෑ.”

මම පර්ස් එක ඇද්දා. ඒත් එක්කම දිලිනි දුන්න ෆෝන් එකත් සාක්කුවෙන් එලියට ආවා.

“යකෝ... මුන්නේ මිනිස්සු... කාවා උඹ එහෙනම් අපේ සෙට් එකෙන් මුලින්ම ෆෝන් එකක් ගත්තා ඈ...”

“මොන?”

“ඇයි යකෝ ඔය අතේ තියෙන්නේ.. අන්න මචං හැදෙන කොල්ලෝ. උඹල අපි වගේ පීචං නෑ. ජොබක් කරා, පඩි ගත්තා, ෆෝන් එකක් ගත්තා. දැන් සුද්දා ව‍ගේ අපිට කන්නත් අරන් දෙනවා.

ඒත් එක්කම පර්ස් එකේ තිබුණ දාහේ කොල හතරක චතුරයා දැක්කා.

“මගේ අම්මේ කාවා. උඹනම් මාර පොරක්. දවස් දහයෙන් උඹ මෙච්චර හම්බ කළාද?”

“නෑ ඩෝ පන්දාහක් හම්බකළා. සුද්දා වගේ වියදම් කරලාත් හාරදාහක් ඉතුරු වුනා බං.”

“එතකොට ෆෝන් එක.”

“ආ ඒක තෑග්ගක්.”

“කාගෙන්ද?”

“උඹට වැඩක් නෑනේ.”

“යකෝ..... මූ නම්. මටත් හිතෙනවා බං මොකක් හරි ජොබක් කරන්න. අපි දැන් චාටර් වුනා ඇති.”

අමිල දාර්ශනික ටෝක් දෙන්න පටන් අරන්.

“කාවා උඹනම් දෙයියෙක් බං. අඩෝ යමං කොහෙන්හරි බඩ පැලෙන්න කාලා, ප්ලේන්ටියක් බීලා, ටිකක් ඇවිදලා සුපුරුදු විදිහට ගෙදර යමං.”

අපි සෞම්‍යා එකට ගිහිල්ලා වාඩි වුනා. අමිල කතා කළා වේටර්ට.

“අයියේ අපිට කන්න මොනවද තියෙන්නේ.”

“තෝස, මසාල තෝස, වඩ, උළුදු වඩ, අල බොන්ඩා, ඉඳි ආප්ප. මහත්තලාට මොනවද ඕනේ?”

“ඔය තියෙන හැම එකෙන්ම ගෙනෙන් බං අයියේ. තෝස, මසාල, වඩේ, ඉඳිආප්ප. ආ එක්කෝ ඉඳිආප්ප එපා. අනිත් ඔක්කොම ගේන්න.”

“ආ අනිත් එක ඔය අයිටම් එකකින් දෙක තුන එපා දහයක් දොළහක් එකවර ගේන්න.”

සචියත් කෑ ගහනවා.

වේටර් අයියා මේස ‍පිරෙන්නම කෑම ගෙනාවා.

අපේ උන් කන්න පටන් ගත්තා, මොනවද විනාඩි දහයක් යනකොට බාගයක් ඉවරයි.

“කාවා, කෑවයින් කෑවේ නෑ බං මේ වගේ කෑමක්. මේ වගේ හිතේ බය නැතුව අත දිගෑරලා කන්න හම්බවුනේ නෑ මතක ඇති කාලෙක.”

“මොකක්ද යකෝ ඒකේ තේරුම?”

“නෑ බං වෙනදා කනකොට පණ බයේනේ බං කන්නේ. අතේ තියෙන ගාණට වඩා බිල ගියොත් කකුල් දෙක සරණං ගච්ජාමි නේ.”

අමිල ඒක කියපු විදහට අපි හැමෝටම හිනා ගියා.

“ඒ කියන්නේ දැන් උඹලට බය නෑ.”

“මොකට බය වෙනවද බං උඹ ළඟ දාහේ කොල හතරක්ම තියෙන්නේ.”

“යකෝ දැන් උඹ හිතන්නේ මම මේ දවස් ගාණක් මැරිලා ගාණක් හොයා ගත්තේ ඒ මුළු එකෙන්ම උඹලට කන්න අරන් දෙන්න කියලද?”

“නැත්තං. එකනේ බං යාළුවෝ කියන්නේ.”

“පල යකෝ යන්න මම දෙන්නේ රුපියල් තුන්සීයයි වැඩිම වුනොත්.”

ඒක කිව්ව විතරයි අමිල කන එක නැවැත්තුවා.”

“බඩ පපුව දාලා යන කතා කියන්න එපා කාවා. අඩෝ අපි පස් දෙනා දැනටම රුපියල් දාහක විතර කාලා ඇති බං. අඩේ අපිට කුස්සියේ පිගන් හෝදන්න තමා වෙන්නේ. හොඳ කොල්ලා වගේ හා කියපං බං.”

අන්තිමේ කොහොමහරි රුපියල් හාරසිය පනහකින් ෂේප් වුනා.

මුන් හැම එකාටම ගෙවල් වලින් මදි නොකියන්න කෑම බීම හම්බවෙනවා. මේ එකෙක්වත් කන්න බොන්න නැතුව ඉන්න උන් නෙවෙයි.

අමිලගේ තාත්තා බිස්නස් කරන්නේ. සචියාගේ තාත්තා අම්මා දෙන්නම බෑන්ක් මැනේජර්ලා, චතුරගේ තාත්තා ඉන්ජිනියර් කෙනෙක්, අම්මා ලෝයර් කෙනෙක්. පැණියගේ තාත්තා විශ්ව විද්‍යාලයක ‍මහාචාර්ය වරයෙක් අම්මා ටීචර් කෙනෙක්. ඒත් ගෙදර කොච්චර කෑම තිබුණත් වැඩක් නෑ, ටවුමට ඇවිල්ලා සයිවර් කඩේකින් කන එක තරම් ආතල් එකක් මුන්ට නෑ.

“කාවා උඹට ජාති ජාතිත් මේ පින පල දෙනවා බං. පුදුම කෑමක් යකෝ අපි කෑවේ. මම හිතුවා කඩේ එකා බයවෙලා දුවයි කියලා. ඇයි බං තෝසෙම විස්සක් විතර, නිකං ඒවා නෙවේ අර අලි සයිස් ඒවා. වඩේ නම් මම හිතන්නේ කඩේ තිබුණ ඔක්කොම ඉවරයි.”

“හරි හරි, දැන් මොකද කරන්නේ කියපං. අනිත් එක මේ මම උඹලට අරන් දුන්න අන්තිම කෑම වේල. හැමදාමනම් බලාගෙන ඉන්න එපා තොපිල.”

“මචං, බඩ පපුව පිච්චිලා යන කතා කියන්න එපා ඩෝ. උඹ නැත්නම් කව්ද බං ඉන්නේ අපට කන්න අරන් දෙන්න. අනිත් එක අපේ සෙට් එකෙන් ජොබක් කරන වගකීම් සහිත පොරකට ඉන්නේ උඹ විතරයි. අපි තාම රැකියා විරහිත බං.”

“ඒක නෙවෙයි බං, කාවා, උඹ දැන් කොහෙද යන්නේ?”

සචියා ඇහුවා.

“ම්... පොඩි ගමනක් තියෙනවා.......”

“මම දන්නවා උඹේ පොඩි ගමන. අදත් ඉල්ලන් කන්න නේද යන්නේ? යකෝ මේ කාපු තෝසෙ කෑමට තව ගුටිත් කන්න බෑ.”

“මොකක්?”

“යකෝ, ටික දවසක් යනකම්වත් උඹ තනියම ගමන් බිමන් අඩු කරපං. අපි එක්ක හිටපං. අරූ කොයි වෙලාවේ උඹට වටකරලා නෙලයිද දන්නෑ?”

“මම ඌට බය නෑ බං. අනිත් එක මම ඉන්නෙත් ඌ ඒක කරනකම් තමයි. එදාට මම ඌට පෙන්නන්නම් මම කව්ද කියලා.”

“අනේ පලයං බං යන්න... උඹ එකෙකුට ගහයි, දෙන්නෙකුට ගහයි, දහයක් විතර වට කරගත්තහම මොකද බං උඹ කරන්නේ.”

“මොනවා වුනත් ඌට බයේ මට ම‍ගේ වැඩ නතර කරන්න බෑ.”

“ඒ වුනාට බූරුවෝ උඹ කොටලුවා වගේ ඌට මල පනින වැඩමනේ කරන්නේ. දැනුත් උඹ දිලිනිව බලන්න යන්නනේ හදන්නේ. ඉතින් ඌට මල පනින එක සාදාරණයි බං.”

“යකෝ දිලිනි කියන්නේ උගේ කව්රුවත් නෙවෙයි. ඉස්සර බඳින්න හිතාගෙන හිටියා. දැන් ඒකත් නෑ. දිලිනි මැරුවත් ඌව බඳින්නෑ කියලා කිව්වා.”

“අනේ පලයං බං යන්න. උඹ මොනවද දන්නේ කෙල්ලෝ ගැන. ඒකිට ටිකක් ප්‍රෙෂර් එක වැටෙනකොට නිකම්ම ඌට කැමති වෙයි. අනිත් එක බර කියලා ඌට අඩුවක්ද?”

“කෙල්ලෝ එහෙම වෙන්න පුළුවන් ඒත් දිලිනි එහෙම නෑ.”

“ආ.... දැන් උඹ කොහොමද ඒක දන්නේ?”

“ඇයි ගොනෝ දිලිනි මට කියලා තියෙනවා.”

“එතකොට ඒකි බඳින්නේ ඌව නෙවෙයිනම් උඹවද?”

සචියා ඉඳලා ඉඳලා නියම ප්‍රශ්ණේ ඇහුවා.

“ඒක...... මම දන්නෑ බං.”

“අන්න ඒක තමා ගොනෝ කියන්නේ.... උඹ අනුන්ගේ වත්තක තියෙන කෙහෙල් පැලේට හොම්බ දාලා ඉල්ලගෙන කන්න යන්නේ. උඹ විතරක් නම් මදෑ, මේ අහක ඉන්න අහිංසක අපිටත් කන්න වෙන්නේ අම්ම පොවපු කිරි පිටඋගුරේ යන්න.”

“උඹ ගෑණියෙක් වගේ නේ ඩෝ බය.”

“උඹට තේරෙයි, සෙට් එකක් බැහැලා උඹට බයිසිකල් චේන් වල රහ ‍දෙනකොට, නැත්තං දැලි පිහි පාර වදිනකොට.”

“යකෝ බයිසිකල් චේන් වලින් අපි මීට කලින් කාල නැද්ද. එහෙම වුනා කියලා අපි පස්ස ගහල තියෙනවද?”

“උඹට ඕනේ මගුලක් කර ගනින් කාවා. හැබැයි අපි ඉන්න වෙලාවට. අනිත් වෙලාවට ටිකක් ෂේප් එකේ ඉඳපං.”

“මම යනවා දිලිනිට කොල් එකක් ගන්න.”

“පලයං පලයං.... මම කිව්වේ උඹට යමක් කියලා තේරුම් කරන්න බෑ කියලා.”

සචියා බනිද්දී මම පිටත් වුනා.

හැම එකෙකුටම තිබ්බේ මට කව්රුහරි වටකරලා ගහයි කියන බය. ඒ නිසා උන් හැම වෙලාවෙම බැලුවේ මගේ පිටිපස්සෙන් ඉන්න.

කොහොම වුනත් දිලිනි ව බලන්න ඕනේ කම මට තදින්ම තිබ්බ නිසා මම එයා දුන්න ෆෝන් එකෙන්ම කෝල් එකක් ගත්තා එයාගේ මොබයිල් ෆෝන් එකට.

Friday, May 26, 2017

සදානුස්මරණිය ප්‍රථම ප්‍රේමය ~ මේ ආදරයයි ~ 31


සදානුස්මරණිය ප්‍රථම ප්‍රේමය
මේ ආදරයයි


31.

රමුණක් නැතුව පටන් ගත්ත ගමන අන්තිමට ලස්සන තැනක නැවතුනා.

“අනේ කාවින්ද බලන්නකෝ ලස්සන... ඊයේ වැස්ස නිසා වතුර පාර හොඳටම වැඩි වෙලා... පුදුම ලස්සනක්.... අපරාදේ එයා කලින් කිව්වනම් මම කැමරා එකක් අරන් එනවා..”

“ඔයා ආසද?”

“ඔව් කාවින්ද... මම කීප සැරයක්ම එන්න හිතපු තැනක්. ඒත් කවදාවත් එන්න බැරිවුනා. තෑන්ක්ස් කාවින්ද”

දිලිනි මගේ අත අල්ලගෙන තුරුලු වුනා.

සීතලම සීතල වටපිටාවත් එක්ක මට දිලිනිගේ උණුසුම තදින්ම දැනුනා. ඒ උණුසුම දාලා යන්න බැරි තරමට මගේ හිත ලොභ කමෙන් පිරුනා.

දිලිනි රහසින් වගේ කතා කළා.‍

“කාවින්ද... ඔයා මගේ ජීවිතේ ලස්සන කරනවා කාවින්ද....”

“මම විශේෂ දෙයක් කළේ නැහැ දිලිනි... ඔයා ලස්සන තැනකට එක්ක යන්න කිව්වා.... ඔන්න මම ආවා.”

“ඒක ඇත්ත කාවින්ද... ඒත් හැම කෙනෙකුටම මේ විදිහට ලස්සන තැන් මතක් වෙන්නේ නැහැ. ගෑණු ළමයෙක් කොහේට හරි යමු කිව්වාම බලන්නේ කොහේ හරි රූම් එකකට එක්ක යන්න. ඒත් ඔයාට පුළුවන් වුනා මට ඒ ලස්සන දෙන්න.”

“මම ඔයාව රූම් එකකට එක්ක යන්න ඕනේ නැහැනේ. ඔයා මාව එක්ක ගියේ ඔයාගේ රූම් එකට.”

“ඊයා, මොනවද ඔය කියන්නේ. ගහනවා කටට හරිද?”

“සොරි සොරි මැඩම්.”

“ඔයා නිසා මම පුදුම විදිහට සතුටින් ඉන්නේ මේ දවස් වල... තෑන්ක්ස් කාවින්ද.... කිසිම උදව්වක් නැති මේ කාලකන්නි කෙල්ලට ඔයා කරන උදව් වෙනුවෙන්...”

“මම කීප සැරයක්ම කිව්වා දිලිනි... ඔය කාලකන්නි කතාව නවත්ත ගන්න...”

“ඔයා නැත්නම් මම මේ වෙනකොට මැරිලා කාවින්ද... ගිහාන්ව බඳින්න වුනොත් ඊට කලින් මැරෙන්න වුනත් පුළුවන් තත්වෙකයි මම හිටියේ. ඒත් ඔයා මට බලාපොරොත්තුවක් දුන්නා කාවින්ද.... ඔයා මට ජීවිතේ ගැන හීන පෙන්නුවා.... මම දැන් ඒවට ආස වෙලයි ඉන්නේ....”

“මට සමාවෙන්න මම අනවශ්‍ය විදිහට බලාපොරොත්තු දුන්නා නම්. මම ඔයාට ප්‍රශ්ණයක් ඇති කරන්න හිතුවේ නැහැ. ඔයාගේ හිතේ ප්‍රශ්ණයක් ඇතිකරන්න හිතුවෙත් නැහැ.”

“ඔයාට පිස්සුද කාවින්ද.... ඔයා මට දුන්න බලාපොරොත්තු නිසා තමයි මම මේ තරම් කල් ජීවත් වුනේ... ඒකට ඔයා සමාව ඉල්ලන්න එපා. හරිනම් මමයි තෑන්ක්ස් කරන්න ඕනේ.... ඔයා දන්නෑ කාවින්ද මම හිටපු තත්වේ. පොඩිකාලේ ඉඳලා මට යමක් එපා කියල හිතුනොත් කවදාවත් ඒක එපාම තමයි. මට ගිහාන්වත් එපා වුනේ හේතු ගොඩකට. මිනිහා මට ආදරේ කරනවා කියල හිතුවට මට දැනුනේ ඊට වඩා ආදරේ කරන්නේ මගේ ඇඟටයි සල්ලි වලටයි කියලා. අපි දෙන්නා තනිවුන පලවෙනි ද‍වසෙම ගිහාන් ඒ බව පෙන්නුවා. මිනිහට ඕනේ වුනේ මාගේ ඇඟ. මම ඒකට කැමති නැති වුනාම එයාට තරහා ගියා. මාව දාලා ගියා. දවස් ගාණක් කතා කළේ නැහැ. ඒකෙන් තමයි මම තේරුම් ගත්තේ ගිහාන් කව්ද කියලා.”

“ඒ වුනාට දිලිනි මිනිහට සමහර විට හැඟිම් පාලනය කර ගන්න බැරි වෙන්න ඇති.”

“කෙහෙම්මලක් කතා කරන්න එපා කාවින්ද.... කෙල්ලෙක් ඉස්සරහ හැඟීම් පාලනය කරගන්න බැරි කෙනෙක් මට එපා. ඔයා එදා මාත් එක්ක මුළු රැයක්ම තනිවෙලා,  මගේ ළඟින්ම ඉඳලා වුනත් ඔයාට පුළුවන් වුනා ඔයාගේ හැඟිම් පාලනය කරගන්න. මම බාත් රූම් එකේ ඉඳලා‍ ටවල් එකක් විතරක් ඇඳගෙන ඇවිල්ලා ඇඳුම් මාරු කරනකම් ඇස් වහගන්න කිව්වහම ඒක කරන්න ඔයාට ඉවසීම තිබ්බා. ඒක තමයි පිරිමිකම කියන්නේ. මම කැමති ඒ වගේ කොන්ද පණ තියෙන කොල්ලෙකුට කාවින්ද... නැතුව කෙල්ලෙක් ඉස්සරහ හැඟීම් පාලනය කරගන්න බැරි කෙනෙකුට මගේ ජීවිතය බාරදෙන්න මට බෑ.”

“ගිහාන් ඔයාට කරදරයක් කළාද?”

“පිස්සුද කාවින්ද... මිනිහා කීප සැරයක්ම ට්‍රයි කළා. ඒත් මාත් එක්ක ඒ සෙල්ලම් හරියන්නෑ කියලා මම එයාට කියලා දුන්නා.”

“මොකක්ද ඔයා කළේ....”

“මම හොඳ වැඩක් කළා කාවින්ද... කාටවත් බැහැ මගේ කැමැත්තක් නැතුව මගේ ඇඟට අතක් තියන්න.... එහෙම වුනොත් මම කව්ද කියල ඒ අය දැනගනී.”

“අම්මෝ බය හිතෙනවා... ආයෙත් නම් වැරදිලාවත් ඔයාව අල්ලන්නෑ. තද වුනොත් මාටත් මොනව කරයිද දන්නෑ.”

“අයියෝ කාවින්ද... ඔයා මොනවා කළත් මම ප්‍රශ්ණයක් කරගන්නෑ... ඔයාට විතරයි මුළු ලෝකෙන්ම මාව අල්ලන්න පුළුවන්.”‍

“මොකක්ද ඒ කතාවේ තේරුම.... ඔයා කවදාහරි බඳින කෙනාට අල්ලන්න දෙන්න වෙනවා.”‍

“ඒ කවදාහරි බඳින කෙනාටනේ. මම කවදාහරි බඳිනවනම් බදින්නේ මම මගේ ජීවිතේටත් වඩා ආදරය කරන කෙනෙක්ව. එයාට මම දැනටම අවසර දීල තියෙන්නේ...”

අපි දෙන්නා අත් අල්ලගෙනම එතන තිබුණ ගල් බංකුවක ඉද ගත්තා. සීතල මීදුමත් එක්ක පිනි බින්දු ඇවිල්ලා මූණේ වදිනවා. දිලිනි උදේ පිපුන මලක් වගේ ලස්සනයි.

මට දිලිනි ගැන ලෝබකමක් දැනුනා.

වෙන කිසිම කෙල්ලෙකුට වඩා මේ ටික දවසට දිලිනි මට හිතාගන්න බැරි තරම් ලංවුනා. එයාගේ ජීවිතේ හැම දෙයක්ම මට කිව්වා. හැම ප්‍රශ්ණයක්ම මට කිව්වා. දැන් වුනත් මට දිලිනි ගැන තියෙන හැඟීම අපැහැදිලි එකක්. කල්පනා කරල බලනකොට දිලිනිගේ කෙල්ලෙක් විදිහට කියන්න කිසිම අඩුවක් නැහැ.

දිලිනි මට දැන් ගොඩක්ම සමීපයි. එයා ඕනෑවටත් වඩා ලස්සනයි. ඉගෙනගෙන තියෙනවා. රස්සාවක් තියෙනවා. සල්ලි තියෙනවා. හොඳ පවුලක් තියෙනවා... එකම නොගැලපීම වයස පරතරය විතරයි. ඒත් දෙන්නෙක් ඇත්තටම ආදරය කරනවා නම් අර සචියා කියපු විදිහට ඔය වයස කියන එක ලොකු දෙයක් නෙවෙයි. ඉතින් තව දුරටත් මේ විදිහට කිසිම තේරුමක් නැති විදිහය ඇවිදින්නේ නැතුව ඇයි මට බැරි දිලිනිට ආදරය කරන්න. ‍කිසිම අඩුවක් නැති කෙල්ලෙක්... මොකක්ද මට තියෙන ප්‍රශ්ණේ...?

එයා ළඟදි ඉදලා කියනවා එයා පණ වගේ ආදරේ කරන කෙනෙක් ඉන්නවා කියලා. ඒ මම වෙන්න පුළුවන්ද? එහෙමනම් මමත් දිලිනිට ආදරේ කලොත් අපි දෙන්නගේ ආදරේ සම්පූර්ණයි..... ඒත්‍‍...... බැරි වෙලාවත් දිලිනි කියන කෙනා මම නොවුනොත්.... එහෙම වුනොත් ඔක්කොම ඉවරයි.... මේක දැන ගන්න විදිහක් නැද්ද?

“මොනවද කාවින්ද කල්පනා කරන්නේ?”

“මොකුත් නැහැ දිලිනි... මම කල්පනා කළේ අපි මේ විදිහට තැන තැන ඇවිදින එකේ තේරුම මොකක්ද කියලා?”

“අපි තේරුමක් ඇති දේවල් විතරද කාවින්ද කරන්න ඕනේ... තේරුමක් නැති දේවලුත් කළොත් තමයි ජීවිතේ ලස්සන වෙන්නේ.. අනිත් එක මම ඔයා එක්ක ඉන්න එක තේරුමක් නැති දෙයක් නෙවෙයි. මාව සම්පූර්ණයෙන්ම තේරුම් ගත්ත කෙනෙක් එක්ක ඉන්න එකත් හිතට සැනසීමක්... අඩුගාණේ මගේ අම්මටවත් බැරිවුනා මාව තේරුම් ගන්න... ඒත් ඔයා ඒක කළා. ඒක මට විහිලුවක්වත් තේරුමක් නැති දෙයක්වත් නෙවෙයි‍. මම ඔයා එක්ක ගත  කරන හැම දවසක්ම මට ලස්සන දවසක්. ජීවිතේ ඉස්සරහට ලොකු ප්‍රශ්න එයි.... ඒත් එහෙමයි කියලා මට දැන් ජීවත් නොවී ඉන්න බෑ..”

“ඔයානම් හරි පුදුමයි දිලිනි. ඔයා වගේ හිතන කෙල්ලෙක් මට හම්බවෙලාම නෑ...”

“පුදුම වෙන්න දෙයක් නෑ... මම ඒ වගේ තමා. මම කවදාවත් සමහරු වගේ බොළඳ දේවල් පස්සේ ගියේ නැහැ. මම මගේ හිතට අවංකව වැඩ කළා. ඒ නිසා මම ගත්ත තීරණයක් වැරදුනේ නැහැ. අනිත් එක මම කවදාවත් හරියි කියල හිතෙන දෙයක් කරන්න බයවුනෙත් නැහැ.‍ මට ඕනේ වුනේ සතුටින් ජීවත් වෙන්න...”

“ආ.... කාවින්ද ඒක නෙවෙයි, මම ඔයාට තෑග්ගක් ගත්තා. එපා කියයිද දන්නෑ.”

“තෑග්ගක්? මට? ඇයි?”

“නිකං අනේ. දෙන්නද?”

“හම්.”

එයා බෑග් එකෙන් පොඩි බොක්ස් එකක් අරගෙන දුන්නා.

“මොකක්ද?”

“බලන්නකෝ.”

ෆෝන් එකක්.

“මේක සෑහෙන ගණන් ඇති. ඇයි මට?”

“නිකං කාවින්ද. ඔයා තියා ගන්න. මම ඕකට සිම් එකකුත් දාලා තියෙන්නේ. දන්නව නේද ඔපරේට් කරන විදිහ?”

“ම් මම මොබයිල් ෆෝන්ස් නම් වැඩිය යූස් කරලා නෑ. ඇත්තම කියනවනම් කාගේ හරි එකක් නිකං බලලා තියෙනවා විතරයි.”

“කමක් නෑ ඔයා කෝල් ගන්න දන්නවනේ. ඒ ඇති. ඉතුරු ඒවා නිකම්ම ඉගෙන ගනී.”

“මොකක්ද දිලිනි මේක. ගණන් ඇති නේද?”

“මේක නොකියා එකක්. මේ විදිහට ඩයල් කරලා කෝල් එක ගන්න. ඉවර වුනාම මේ වගේ වහන්න. මේක තමයි මාකට් එකේ තියෙන හොඳම එක.”

“මේක ගණන්ද?”

“ඒක ඔයාට වැඩක් නැහැනේ.”

“ලොකු බිලක් එයි නේද?”

“ඒකත් ඔයාට වැඩක් නැහැනේ. ඒක මම බලාගන්නම්. හැබැයි රට වටේම ඉන්න කෙල්ලොන්ට කෝල් අරන් අහුවෙන්න එපා හරිද?”

“මට වෙන වැඩ නෑනේ රට වටේ ඉන්න කෙල්ලොන්ට කෝල කර කර ඉන්න.”

“නෑ තමයි. ඔයාගේ වැඩේ උදව් ඕනේ කෙල්ලෝ හොය හොය උදව් කරන එකනේ.”

“අම්මේ.... මේ කෙල්ලෝ කොච්චර සෙල්ෆිෂ්ද? මම ඔයාව අඳුරගත්තෙත් ඒ විදිහටනේ. දැන් එක් අමතකයි නේ?”

“ඕව්නේ”

“ඒක තමයි, මම උදව් කරද්දි ගෑණුද පිරිමිද කියල බලන්නේ නෑ. ඒ නිසා බය නැතිව ඉන්න.”

“හරි හරි...... ඕනෙ කෙනෙකුට කෝල් කරගන්න. ඒත් එක්කම මාව මතක් වුනොත් මටත් කෝල් කරන්න.”

“බලමු.”

“ආ අමතක වුනා මේක සයිලන්ට් කරන්න මේ විදිහට. නිදාගන්න කොට.”

“ඇයි නිදාගන්න කොට ඕෆ් කරන්නේ නැද්ද?”

“අනේ එපා. එතකොට මට ඕනේ වුනොත් ඔයාට කතා කරන්න බැරි වෙයි.”

“අපෝ මේ නිදාගන්නකොට නම් කතා කරන්න එපා. මම නිදිනේ.”

“හා හා... ලොකු කම.”

මගේ ජීවිතේ පලවෙනි ෆෝන්එක හම්බ වුනේ ඒ විදිහට.

එදා අපි දෙන්නා කොච්චර වෙලාවක් එතන හිටියද කියලා අපිට තේරුණේ වික්ටෝරියා නැරඹුම් මැදිරිය වහන්න ලෑස්තිවෙලා කරපු එනවුස්මන්ට් එක ඇහුනාම.

වෙලාව පහයි. අදත් අනිවාර්යයෙන්ම පරක්කු වෙනවා‍‍. මේ පාරේ බයික් එකේ හයියෙන් යන්න කොහෙත්ම පුළුවන් කමක් නෑ.

අපි දෙන්නා නුවරට එනකොට වෙලාව අටයි.

මම බයික් එක අස්ගිරියේ පිට්ටනියට ඇතුල් වෙන පාරේ නැවැත්තුවා‍.

“කාවින්ද අද නම් මට බයයි. තාත්ති මාත් එක්ක ලොකු කතාවක් ගියා. මම ඒ රණ්ඩුව ඉවරවෙන්නත් කලින් තමයි එලියට බැහැලා ආවේ. ඒත් එනකොටත් අම්මා කිව්වා හයට කලින් ගෙදර ආවේ නැත්නම් හොඳ වැඩක් කරනවා කියලා.‍”

“දිලිනි ඔයා ඔය කතාව කලින් කිව්වනම් මම මේ ගමන යන්නේ නැහැනේ. කොහෙද කිව්වේ මම එක්ක යන තැනක එන්නම් කියලා. ඉතින් මාත් ආවා.”

“කමක් නෑ කාවින්ද... ඔයා මාව මෙතනින් දාන්න.. ඉතුරු ටික මම ටුක් ටුක් එකක යන්නම්.”

“ඒක කරන්න බෑ දිලිනි.... මට ඔයාව මගින් දාලා යන්න බෑ...”

“පන්ඩිතයා වගේ නැතුව මම කියන දේ කරන්න.. අපි අහුවෙන්න ඉඩතියන්න බෑ...”

එයාට ඒක කියල හැරෙන්නවත් හම්බවුනේ නැහැ. සුදුපාට කාර් එකක් නැවැත්තුවා අපේ ළඟ.

වීදුරුව පාත් කරලා කෙනෙක් අපි දෙන්නා දිහා බලලා යන්න ගියා. තත්පර දෙක තුනකදි මේ හැමදේම වුනා.

“අනේ කාවින්ද ගිහාන්. මම හිතන්නේ අපේ ගෙදර යන ගමන්.”

“දැන් එහෙනම් ඌ ගිහිල්ලා තාත්තගේ කනේ තියයි.”

“නෑ... මම හිතන්නෑ කාවින්ද, හැබැයි මිනිහා මාව නම් අල්ල ගනියි.”

“ඔයා බයද?”

“මම බය නෑ කාවින්ද. ඒත් අනවශ්‍ය රණ්ඩු වලට පැටලෙන්න මම කැමති නෑ. ගිහාන් එක්ක කිසිම විදිහක කතාවකට මම කැමති නෑ.”

“දැන් මොකද කරන්නේ?”

“ඔයා යන්න කාවින්ද... බය වෙන්න එපා මට මුකුත් වෙන්නේ නෑ. ඒත් ප්ලීස් ඔයා ටිකක් පරෙස්සම් වෙන්න. ගිහාන්ට ඔ‍නේ ඔයත් එක්ක රණ්ඩුවක් දාගන්න. එයා මොනව කිව්වත් සද්ද නැතුව ඉන්න.”

“ඒක නම් කරන්න බැරි වෙයි දිලිනි. ඌ සද්දේ දාගෙන ආවොත් මම නැතත් මගේ කොල්ලෝ ටික ඌට නෙලලා දායි.”

“ප්ලීස් එපා කාවින්ද...”

“බලමු.”

“බලමු නෙවෙයි. මම පොරොන්දු වෙන්න ඔයා කතාවට යන්නේ නෑ කියලා.”

“ඒත්....”

“ඒත් නෙවෙයි. මේ දැන්ම මට පොරොන්දු වෙන්න.”

“හ්ම්.... ඔයා කියනවනම් මම පොරොන්දු වෙන්නම්.”

මම දිලිනිව දාලා ටිකක් දුර එනකොටම ගිහාන්ගේ වාහනේ මාව ෆලෝ කරන්න පටන් ගත්තා.

එහෙනම් මූ ගෙදර නොගිහින් මග ඉඳලා මාව අල්ලගන්න ඇවිත්.

ගිහාන් දෙපාරක් විතර පිටිපස්සෙන් ඉඳලා ලයිට් ගැහැව්වා.

“මොන මගුලක්ද යකෝ” කියාගෙනම මමත් බයික් එක නවත්තලා බැස්සා.

“ඒයි කාවින්ද... ඔහොම හිටපං.”

ගිහාන් තව දෙන්නෙකුත් එක්ක මගේ ළඟ‍ට ආවා.

නරක නෑ... අද දවසට දෙවෙනි පාරට රණ්ඩුවකට පැටලෙනවා.

කාවා උඹේ වෙලාව නම් අන්තිම නරකයි. මට හිතුනා.

“ඇයි....”

“උඹ දන්නවද මම කව්ද කියලා?”

“ඔව්...”

“කව්ද?”

“ගිහාන්, මේ මට බයිලා කියවන්න වෙලාවක් නෑ... ඇයි මට නවතින්න කිව්වේ?”

“මටත් බයිලා කියන්න වෙලාවක් නෑ. වැඩ තියෙනවා. කෙටියෙන්ම කියනවනම් උඹ දිලිනි එක්ක තියෙන සම්බන්දේ නවත්තන්න ඕනේ අද ඉඳලා. ඒක යාළුකමක් වුනත් වෙන මොකක් වුනත් මට වැඩක් නෑ. උඹට ආයේ දිලිනිව හම්බවෙන්න බෑ.”

“මේ.... එක් තීරණය කරන්න ඕනේ දිලිනි. උඹ නෙවෙයි. එයාට මගේ යාළුකම එපානම් එයා මට ඒක කියපුදෙන්. එහෙම වුනොත් මම කෙලින්ම වැඩේ නවත්තන්නම්. එහෙම නැතුව උඹ කිව්වට මම ඒක නවත්තන්නේ නෑ.”

“හ්ම්... එහෙනම් උඹ චන්ඩියෙක් නේද?”

“නෑ... මම චන්ඩියෙක්නම් නෙවෙයි. ඒත් මම කරන්න ඕනේ දේ මම කරනවා. ඒක කාටවත් නවත්තන්න බෑ.”

“උඹ දන්නවද දිලිනි මගේ කව්ද කියලා?”

“නෑ.. එයා මට එහෙම විශේෂ දෙයක් කියලා නෑ.”

“ඒ කියන්නේ උඹ දන්නේ නෑ?”

“එක පාරක් නෑ කියන්නේ නැති හින්දා.”

“එහෙනම් අද දැනගනින් මම තමයි දිලිනිගේ හස්බන්ඩ්.”

“ආ කවදා ඉඳලද? දිලිනි මට එහෙම දෙයක් කියලා නෑනේ.”

“එහෙනම් අහ ගනින්.”

“මම මොකටද ඒක අහන්නේ... දිලිනි මැරි කරලා නෑ කියලා මම දන්නවා.”

“මැරි කරලා නැති බව ඇත්ත ඒත් එයා ළඟදිම මාව මැරි කරනවා.”

“ඒ එතකොටනේ. දැන් එයා බැඳලා නෑනේ. ඒ නිසා මම එයා කැමතිනම් එයාව ආශ්‍රය කරනවා.”

“එහෙමද උඹ... අඩෝ දැනගනින් මට ඕනේනම් උඹව නැති කරලම දාන්න පුළුවන්.”

“ඇත්තද? මට හරි බයයි. අනේ පලයන් බං යන්න.... මම උඹට බය නෑ. පුළුවන් දෙයක් කරපං.”

දැන් කතාව දිග්ගැස්සෙනවා වැ‍ඩී. මූ ලොකු කතා කිව්වට මට අතක් වත් තියන්න බයයි වගේ. මටත් කිසි දෙයක් කරන්න බෑ. දිලිනිට පොරොන්දු වුනානේ.

“මේ කාවින්ද... මේක මතක තියාගනින්. උඹට මාත් එක්ක හැප්පෙන්න බෑ. මට ඕන තරම් මිනිස්සු ඉන්නවා.”

“උඹගේ සල්ලිවලට ඕනේ තරම් මිනිස්සු ඉන්නවා වෙන්න පුළුවන්. ඒත් මට සල්ලි නැතුවම මිනිස්සු ඉන්නවා. උන් උඹේ එවුන් වගේ සල්ලි වලට වැඩ කරන උන් නෙවෙයි. සත පහක් නැතුවත් මට උදව් කරන උන්. උඹ මාත් එක්ක හැප්පෙනවනම් උන් එක්කත්  හැප්පෙන්න වෙයි.”

“උඹට මොනවද බං තියෙන්නෙ කෙල්ලෙක් කැමති වෙන්න. ජොබ් එකක් හරි බිස්නස් එකක් හරි තියෙනවද? ඕන විදිහට වියදම් කරන්න සල්ලි තියෙනවද? අඩු ගානේ ඉන්න උඹටම කියලා ගෙයක් හරි වාහනයක් හරි තියෙනවද?”

“මට උඹ ගැන දුකයි ගිහාන්. උඹේ කතාවෙන් තේරෙනවා මොලේ වැඩ කරන්නේ කොහොමද කියලා.”

ගිහාන් ටික වෙලාවක් කතා නැතුව හිටියා. මූ කල්පනා කරන්න ඇති මම මේ තරම් බය නැතුව කතා කරන්නේ කොහොමද කියලා.

මම උගේ යාළුවෝ දෙන්න දිහාට හැරුනා.

“තමුසෙලගේ යාළුවත් අරන් යනවා, මෙතන තවත් වාත වෙන්නේ නැතුව.”

මම ‍එහෙම කියනවත් එක්කම ගිහාන් කතාවක් නැතුව වාහනේට නැංගා.

“කාවින්ද, මතක තියා ගනින් මම මේ යන්නේ බයට නෙවෙයි, මම මේක මෙතනින් අතාරින්නේ නෑ.”

මමත් වාහනේ ළඟට ගියා.

“ගිහාන්, මම එක දෙයක් කියන්නම් කොල්ලෙක් විදිහට. ආදරේ කියන එක බලෙන් ගන්න බෑ. ඒක කෙල්ල ඉස්සරහ තව කොල්ලෙකුට පාට් දාලා ගන්නත් බෑ. සල්ලි පෙන්නලා ගන්නත් බෑ. ඇත්ත ආදරේ දන්න කෙල්ලෝ කොල්ලෙක්ගේ පෝසත් කම මනින්නේ පර්ස් එකේ තියෙන කොල ගාණින් නෙවෙයි, හදවතින්. ඉස්සෙල්ලා කෙල්ලෙකුට රෙස්පෙක්ට් කරන්න ඉගෙන ගනින්. කෙයා කරන්න ඉගෙන ගනින්, ඊට පස්සේ ආදරේ කරපං. නැත්නම් උඹට බඳින්න වෙන්නේ හැමදාමත් උඹට වෛර කරන කෙල්ලෙක්, නැත්නම් සල්ලි ඉවර වුන දාට දාල යන කෙල්ලෙක්!.”


ගිහාන් මට රවලා යන්න ගියා!