සදානුස්මරණිය ප්‍රථම ප්‍රේමය
මේ ආදරයයි
11.
මොන තරම් භයානක වැඩක් වුනත් එරන්දිකා වැඩේ හරියට කරල
තිබුණා. දිනි මට එයා අතේ පනිවිඩයක් එවල තිබුණා. මම ඒ ලියුමත් අරගෙන සචිත්‍ර ඉන්න
තැනට ආවා.
“කාවා මොකක්ද සීන් එක?”
“මේ තියෙන්නේ රිප්ලයි එක”
“බැලුවේ නැද්ද තාම?”
මම ලිපිය දිග හැරියා. ඒකෙ තිබුණ දේ දැකල මම විතරක්
නෙවෙයි සචිත්‍රත් ගල් ගැහුණා. මගේ කටට වචන ආවේ නැහැ. ජීවිතේ ප්‍රථම වතාවට කෙල්ලෙක්
නිසා මගේ ඇස්වලට කඳුළු ආවා.
ආදරණිය කාවින්ද අයියේ....
ඔයාට කියන්න ගොඩක් දේවල් තිබුණත් ලියන්න වෙලාවක් නැහැ.
මම ඔයාගෙන් ඈත්වෙලා ඉන්නෙ මගේ කැමැත්තෙන් නෙවෙයි කියල විතරක මතක තියාගන්න.
මට ඔයා නොදැක තව වැඩි කාලයක් ඉන්න බැරිවෙයි. මොකද
දරාගැනීමේ සීමාවට මම ඇවිල්ල ඉන්නේ. පුළුවන්නම් මාව බලන්න එන්න.
දවල් වරුවේ බැරිවෙයි. ටිකක් රෑ වෙලා අනිත් අය නිදාගන්න
ගියාම එන්න. පුළුවන්නම් සචිත්‍රට කියන්න මං වෙනුවෙන් ඔයත් එක්ක එන්න කියල. තනියම එන්න එපා.
මේ ඔයාගේ දිනි
“මොකක්ද බං මේ වෙන්නේ?”
සචිත්‍ර හොල්මන් වෙලා
“ආන්ටි උඹත් එක්ක මෙච්චර හොඳින් ඉඳලා එකපාරටම උඹේ හුළගත්වත් වදින්නේ
නැති වෙන්න දිනි ව හංගන්නේ ඇයි.”
“මටත් හිතාගන්න බැරි ඒකම තමයි. කළින් ආන්ටි මට කිසිම අකමැත්තක් තිබුණේ
නැහැ. මම දන්න විදිහට අපේ ෆැමිලි දෙකේ පොඩි අයිඩියා එකකුත් තිබුණා අපි දෙන්නා කැමතිනම්
අපිට ඉඩ දෙන්න”
“එහෙනම් යකෝ මොකද මේ හදිසි කේස් එක”
“මම හිතන්නේ මම දිනි ට කැමති නැහැ කියපු එක දිනි ට වඩා ආන්ටිට වදින්න
ඇති. ඒත් බං..... අනේ මං දන්නේ නැහැ.”
“කාවා මම කියන්නද, ඉස්සෙල්ලා උඹ කියපං උඹ දිනි
ට ලව් කරන්න යනවද නැද්ද කියල”
“ඇයි?”
“මොකද එහෙම නැත්තං අපි මේ කරන වැඩෙන් වෙන්නේ ෆැමිලි දෙකත් කචල් දාගෙන ඒ කෙල්ලගෙත්
ජීවිතේ කාලකන්නි වෙලා උඔට දැන් තියෙන නිදහසත් නැති කරගන්න එක”
“ඉතින්”
“ඉතින් කියන්නේ මැට්ටෝ උඹ ඒකිට ලව් නැත්තං මේ තරං කට්ටක් කාලා හතර වටේටම
ගාගන්න ඕනෙ නැහැනේ. ටික දවසකින් කෙල්ල ආපහු ගෙදර එයි. නැත්තං පිටරට යවයි තාත්තා ළඟට.
එතකොට වැඩේ හැම පැත්තෙන්ම ෂේප්.”
“උඹ ඒකිට ආදරේ නම් සීන් එක වෙනස්. එහෙනම් මේ සචියා බොක්කෙන්ම උදව්
කරනවා. ගාගෙන නාගෙන හරි උඹට උදව් කරනවා.”
“මං සිරා ද කියල බලන්න කලින් මට එයාව හමිබවෙලා බලන්න ඕනෙ. යකෝ කෙල්ලෙක් හම්බවෙන්න
එන්න කියල තිබුණහම මම ඒ කෙල්ලට ආදරෙයිද, ඒ කෙල්ල මට
ආදරෙයිද කියල පේන බල බල ඉන්න බැහැ. බෙල්ල කඩාගෙන හරි යන්න වෙනවා. නැත්තං කේස්.”
“එහෙනම් යමං”
“කොහෙද?”
“සිගරට් එකක් ගහන්න, ඉරිදා රෑ වැඩේට බහිමු.
කලින් සැරේ වගේ වෙන්නේ නැහැ. දැන් කෙල්ල බලාගෙන නේ ඉන්නේ”
මම ඊළඟ ඉරිදා වෙනකං දවස් ගතකළේ පුදුම නොඉවසිල්ලකින්.
ඉස්කෝලෙ ගියාට ඉගෙනගත්තේ මොන පාඩමද කියලවත් මතක නැහැ. ක්ලාස් නොගිය තරම්. මගේ
ජීවිතෙන් වැඩිම කැමැත්ත තිබුණ ක්‍රීඩා වලට යන්න හිතුවෙවත් නැහැ. මට මේ මොකද වෙලා
තියෙන්නේ. කෙල්ලෙක් නිසා මුළු ජීවිතේම අනාගන්න යනවද කියල මට වෙලාවකට බයත් හිතුනා.
අපි ඉරිද උදේ ක්ලාස් ගියා. අම්මලට පේන්න ඕන නිසා තමයි
වැඩිපුරම එහෙම කළේ. අපි ක්ලාස් ගියත් කරන්නේ ඇනිත් වුන්ට ඉගෙනගන්න දෙන්නේ නැතුව
පිස්සු කෙළින එකයි. ඒත් ගෙදරින් ෂේප් කරගන්න ඕන නිසා අමාරුවෙන් හරි ගියා.
හවස් වෙනකොට මගේ හිත නොසන්සුන් වුනා. සචිත්‍ර කියනවා වගේ
මම තවම දන්නේ නැහැ මම දිනි ට ආදරේ කරයිද කියලා. මට තියෙන්නේ එයා ගැන ආදරයක් වුනත්
ඒක පොඩි කාළේ ඉඳල තිබුණ බැදීමක්. කවදාවත් දිනි මගේ සහකාරිය කරගන්න ඕන කියන හැඟීම
මට ආවේ නැහැ. එහෙම තියෙද්දිත් මේ කරන්න යන වැඩෙන් මොනවා වෙයිද. කවුරුහරි දැනගත්තොත්, විශේෂයෙන් අම්මා දැන ගත්තොත් නම් ඉඳල ඉවරයි.
අපි ටිකක් රෑ වෙනකං ගණන් වගයක් හැදුවා. දැන් සති දෙකක
ඉඳලා දුන්න වැඩක්. අපි දෙන්නා ට ලැබුණ අන්තිම චාන්ස් එක. සඳුදා වෙනකොට ගණන් හදලා
නැත්තං ෆිසික්ස් පීරියඩ් දෙකේ ඉන්න වෙන්නේ ලැබ් එකේ දොරෙන් එළියේ තමයි. ඒ නිසා
හිතේ තිබුණ නොසන්සුන් කම යටපත් කරගෙන අපේ ගෙදරට වෙලා කොහොමහරි ගණන් ටික හැදුවා.
රෑ අටට විතර අම්මා කෑම බෙදල දුන්න. මට කෑමට පිරියක්
ආවෙත් නැහැ. ඒත් සචිත්‍ර නම් අතහැරියේ නැහැ.
“යකෝ හොඳට කාපං. ආන්ටි පෝක් එකනම් එලට හදලා තියෙනවා.”
මගේ හිත නිකං හොල්මන් වෙලා මූ මෙහේ කෑම වල රහ ගැන කතා
කරනවා.
“මචං කාවා, උඹ නොකෑවා කියල වැඩේ ලේසිවෙන්නේ
නැහැනේ, ඒ නිසා කාපං, මොකද කව්ද දන්නේ
තව දවස් ගාණකට කන්න ලැබෙන අනිත්ම කෑම වේලද කියලා. පොලිසියට මාට්ටු වුනොත් අල වගේද
ගෝවා තමයි.”
“බූරුවා හෙමින් කතා කරපං, අම්මට ඇහුනොත් පොලිසි
යන්න කලින් කෑම තමයි. කන්න ඕන නම් තව බෙදාගෙන කාපං, හැබැයි
කට පරිස්සමින්.”
අපි දෙන්නා කාලා ඉවරවෙලා අම්මට පොඩි බොරුවක් දැම්මා.
වෙසක් එකට සචිත්‍රලාගේ ගෙවල් කිට්ටුව ලොකු කූඩුවක් හදනවා. ඒකට පොඩි සපෝට් එකක්
දෙන්න තමයි යන්නේ කියලා බොහොම අමාරුවෙන් අවසර ගත්තා රෑට සචිත්‍රලාගෙ ගෙදර නවතින්න.
අපි ගෙදරින් එළියට එනකොට රෑ නවය හමාර විතර වෙන්න ඇති.
මෙතන් ඉඳල දිනි ඉන්න තැනට යන්න පැය බාගයක් ඇති. ඒත් දිනි එන්න ඕන වෙලාව හරියටම
කිව්වේ නැති නිසා ප්‍රශ්ණයක් වුනා.
“කමක් නෑ බං අපි දහය වෙනකොට ඒ කිට්ටුවට යමු. ගෙදර ලයිට් දාලා වගේ නම්
බස් හෝල්ට් එකක් අල්ලලා බයික් එකේ ස්පාක් ප්ලග් එක ගලවලා සිගරට් එකක් ගහමු.”
“යකෝ ඒත් කෙල්ල කොහොමද දැන් ගන්නේ අපි ආවා කියල. අපි ගියත් කොහොමද ඇතුලට
යන්නේ. මෙලෝ දෙයක් අපි දන්නේ නැහැ නේ.”
“කරන්න දෙයක් නැහැ කාවා. කෙල්ල මොකක් හරි මැසේජ් එකක් දෙනකම් අපිට අවට
කැරකෙන්න වෙනවා.”
අපි දෙන්නා මං හිතන්නේ එකොළහ විතර වෙනකං ඉන්න ඇති. ගෙදර
සම්පූර්ණයෙන් ම කළුවරේ තිබුණේ. අවට ගෙයක් තිබුණේ දකුණු පැත්තේ විතරයි. වම් පැත්තේ
තිබුණේ අතුරු පාරක්.
මම සචිත්‍රට බයික් එක ඒ පාරට හරවන්න කියලා වැට කිට්ටුවටම
ගියා. වැට ළඟ ඉඳල ගෙදරට අඩි 20ක්
විතර තියෙනවා. ඇතුළට යන්නය එපාද කියල මගේ හිතේ දෙගිඩියාවක් ඇතිවුණා.
විනාඩි පහක් මම එහෙමම ඉන්නකොට ඉස්සරහ පැත්තේ ඉඳල දෙවෙනි
ජනේලය ළඟ පොඩි එළියක් දැක්කා.
“මචං, අන්න සිග්නල් එක වගේ.”
සචිත්‍ර රහසින් කිව්ව
“කව්ද දන්නේ බං ගෙදර වෙන කෙනෙක්ද කියලා.”
“මං කියන්නං, මම බයික් එක ස්ටාට් එකේ
තියාගන්නම් උඹ හෙමිහිට වැට පැනල කිට්ටු කරපං.”
“යකෝ කියන්න ලේසියි. මගේ පපුව ගැහෙනවා එකසිය ගාණට. හාට් ඇටෑක් කාරයෙක්
නම් දැනටම මැරිල”
“කුම්බලා මාළු කෑවනං විඳවපං පූසෝ කිව්වලු. පලයං යකෝ.”
මම බයික් එකෙන් බැහැල වැට ළඟට ගියා. එකෙන් ඇතුළට පනින එක
අමාරු වුණේ නැහැ. ඒත් එළීය පෙණුන ජනේලය ළඟට යන්න කළින් මම තව විනාඩි කීපයක් එහෙමම
හිටියා.
ජීවිතේට මම මේ තරම් බය වෙලා නැහැ. අඩිය තිබ්බට ඉස්සරහට
යැවෙන්නේ නෑ වගේ. ඒත් මොනව කරන්නද යන්නම වෙනවා.
හොඳ වෙලාවට අර කළින් කියපු ජනේලෙ ඇරුණා. පපුව ගැහෙන වේගෙ
තවත් වැඩිවුනා. ආපහු දුවන්න බලාගෙන මම සචිත්‍ර දිහා බැලුවා. ඒත් එකකම මම දිනිගේ
මූණ දැක්කා.
එතකොටයි මගේ ගැහෙමින් තිබුණ ස්නායු සාමාන්‍ය තත්වයට
පත්වුනේ.
මම ඉක්මනට ජනේලෙ ළඟට ගියා. දිනි හිනා වේගන මගේ දිහා
බලාගෙන ඉන්නවා.
“දිනි, ඔයාටද පිස්සු මටද පිස්සු?”
මට එහෙම කියවුනා
ඒත් එයා ඒකට මොනවත් නොකියා ලස්සනට හිනාවුනා. මම හැමදාමත්
දකින්න ආසකරපු ඒ හිනාව මගේ බය මට අමතක කෙරෙව්වා. මටත් හිනා ගියා.
“අයියේ, ඉන්න මම ඩ්‍රිල් එක අරින්නම්. එහෙම
කියලා එයා ජනේලයට දාලා තිබුණ ඩ්‍රිල් එක ඇරියා.”
“කාමරේ ඔයා විතරද ඉන්නේ.”
“ඔව්”
දිනි ගෙදරදි වුනත් එයාගේ කාමරේ වෙනම තියාගෙන හිටියා.
අම්මට හැර වෙන කිසිම කෙනෙකුට එයාගේ අවසර නැතුව එන්න තහනම්. පිට තැනක වුනත් එයා ඒක
ඒ විදිහටම කරලා තිබුණා.
“අයියේ ඉක්මනට එන්න.”
මම සචියා දිහා බැලුවා. කළුවර නිසා ඌ මොනවා කිව්වද කියල
පෙනුනේ නැහැ. මම ඇතුලට යනවත් එක්කම සචියා බයික් එක පාරේ ඉස්සරහට අරන් ගියා මම
දැක්කා. දැන් මම කීයට හරි එනකං ඌ මදුරුවෝ තල තල ඉන්න බව මම දන්නවා.
මම ඇතුලට ගියා විතරයි දිනි මාව බදාගත්තා. ඊට පස්සේ
විනාඩි පහක් විතරම එහෙමම හිටියා. මමත් කතාවක් නැතුව හිටියා.
අපි දෙන්නා ඇඳට ගිහිල්ලා ඉඳ ගත්තා. කතාව කොතනින් පටන්
ගන්නද කියල මට හිතාගන්න බැරි වුනා. දිනි ත් මගේ දිහා බලාගෙන ඉන්නවා විතරයි.
වචනයක්වත් කතා කරන්නේ නැහැ.
“කාවින්ද අයියේ තව එක දවසක් මෙහෙම හිටියනම් මට පිස්සු හැදෙනවා. ඒක නම්
ෂූවර්. මම දන්නේ නැහැ මට වුනේ මොනවද කියල”
“ෂ්.......”
මම එයාගේ කටට ඇඟීල්ල තියල කතාව නැවැත්තුවා
“දිනි දැන් ඒ දේවල් වැඩක් නැහැ. මම ඔයාව බලන්න ආවනේ. අපි ලස්සන දෙයක්
කතා කරමු.”
එයා ආයෙත් හිනා වුනා. මේ හිනාව තමයි හැමදාම මාව නැති
කළේ.
“හොඳයි හැබැයි රහසින්. ගෙදර අය ඇහැරුණොත් අපි දෙන්නම ඉවරයි.”
ඒකට මට ඇත්තටම හිනා ගියා"
“මෝඩයා මම කියන්නේ ඇත්ත සද්ද කරන්න එපා.”
“ඉතින් දිනි ඇයි මට එන්න කිව්වේ?”
“ඔයාව බලන්න, ඇයි ඔයා ආවේ.”
“ඔයාව බලන්න”
අපි දෙන්නා ආයෙත් ගොළු වුනා.
දිනිගේ හිතේ මගෙන් අහන්න දෙයක් තියෙන බව මම දන්නවා. ඒත්
එයාටත් ඒක අහන්න බැරිව ඉන්න බව මට තේරුණා. ඒක අහන්න එයාට අවස්ථාවක් නොදෙන්නත් මම
හිතා ගත්තා
මේ වෙනකම්ම් දිනි මගේ ඇඟට තුරුල් වෙලා මගේ උරහිසට ඔළුව
කියාගෙනයි හිටියේ. එයා ඈත් වෙන පාටක් නැහැ. මට ඒ විදිහට දිගටම ඉන්න බැහැ. මහ රෑ, කව්රුවත් නැති තැනක කෙල්ලෙක් එක්ක තනිවෙලා. එයා මට තුරුල් වෙලා.
ටික වෙලාවකින් මගේ කම්මුලට දිනිගේ සීතලම සීතල දෙතොල් වල
ස්පර්ෂය දැනුනා. මම ගැස්සිලා ගියා. එයාව ඈත් කරන්න හැදුවත් දිනි මගෙන් එක අඟලක්වත්
ඈත් වුනේ නැහැ.
දිනි මගේ ඇස් දෙක දිහා බලාගෙන. මම අහක බලා ගත්තා. මටත්
නොදැනීම එයා මගේ දෙතොල් වලට එයාගේ දෙතොල් තිබ්බා. මට හිතාගන්න බැරි වුනා කරන්න ඕනෙ
මොනවද කියලා. වරදක් බව දැන දැනත් මම එයාව කිස් කළා. දිනි නොනැවතීම මාව සිපගන්න
පටන් ගත්තා.
විනාඩි පහක් ගතවෙන්න ඇති, මම
දැනුනා කාමරෙන් පිට ලයිට් එකක් දානවා වගේ. මම ඉක්මනට දිනිව මගෙන් ඈත් කළා. එයත් ඒක
දැකලා බයවෙලා මගේ දිහා බැලුවා.
“දිනි දුව මොකක්ද ඒ සද්දයක් ආවේ”
කටහඬක් ඇහුනා.
අපි දෙන්නා සද්ද නැතුව එහෙමම හිටියා. දැන් සාලෙත් එළියේ
ඉස්තෝප්පුවෙත් ලයිට් දාලා.
මම හිතන්නේ දිනිගේ ලොකු තාත්තත් නැගිටින්න ඇති. මෙන්න මේ
පැත්තෙන් සද්දයක් ආවා පොඩ්ඩක් බලන්න දිනිගේ ලොකු අම්මා කියනවා ඇහුනා.
ඒත් එක්කම දිනි “අයියේ යන්න” කියල කිව්වා.
දිනි මට කියනවත් එක්කම මම ජනේලයෙන් පැන්නා. මම වැට ළඟට
දුවනකොටම සචියා බයික් එක ස්ටාට් කරගත්තා.
තත්පරයත් ගතවුනේ නැහැ ගමේම බල්ලෝ ටික බුරන්න පටන් ගත්තා.
“යකෝ ජීවිතේට ආසාවක් තියෙනවනම් නවත්තන්න එපා.”
මම එහෙම කියනවත් එක්කම බයික් එකට පැන්නා. සචියා විදුලි
වේගෙන් යන්න පටන් ගත්තා.
මම එදා දිනිව දැක්කේ ආයෙත් සෑහෙන කාළෙකට නොදකින්න කියල
මම හිතුවේ නැහැ.
0 comments:
Post a Comment