Friday, August 18, 2017

සදානුස්මරණිය ප්‍රථම ප්‍රේමය ~ මේ ආදරයයි ~ 76 සහ 77




සදානුස්මරණිය ප්‍රථම ප්‍රේමය


මේ ආදරයයි



76.

මම වාහනේ එන අතරේ කල්පනා කළේ මේ වෙනකම් බොහොම සාමාන්‍ය විදිහට ගලාගෙන ගිය මගේ ජීවිතේ පහුගිය අවුරුදු දෙකක් ඇතුළත මොන තරම් වෙනස් වුනාද කියන එක.
ලයාංගි, දිනි, ඒ දෙන්නම මට ළංවෙන්න උත්සහ කළත් අන්තිමට මගේ ජීවිතේට ආවේ කවදාවත් කිසිම කෙනෙක් නොහිතපු විදිහට දිලිනි.
මමත් කාන්දමකට ඇදෙනවා වගේ දිලිනිට ඇදුනා. අවුරුදු ගාණක් දුක සැප දෙකේදිම මාත් එක්ක හිටපු දිනිව අමතක කරලා දැන අඳුරගෙන මාස දෙකක් තුනක් යනකොට මම දිලිනිට ඒ හැමෝටම වඩා ලංවුනා.
අන්තිමට මගේ ජීවිතේ බොහොම කෙටි කාළයකදී නොහිතපු විදිහේ හැල හැප්පීම් ගොඩකට මූණ දෙන්න වුණා. ඒ හැම දේකටම පස්සේ දිලිනි මාව විශ්වාස කරලා එයාගේ ජීවිතේ වටිනා හැම දෙයක්ම මට දීලා හීනයක් වගේ මට ආදරය කරන්න පටන් ගත්තා. ඇත්තටම එක වෙලාවකට මේ හැම දෙයක්ම හීනයක් වගේ.
ලස්සන හීනයක් වගේ.
දිලිනිගේ ආදරේ මගේ හිත නොසන්සුන් කරපු කාලයක් තිබුණා. ඒත් දැන් ඒ ආදරේ මගේ හිතත් ආදරෙන් පුරවනවා. එයාගේ සුවඳ මගේ හැම තැනම පිරිලා.
සුරංගනාවක් වගේ එයා මගේ ඇස් වලට එබුන හැටි, පොඩි ටවල් එකකින් විතරක් වැහිලා තිබුණ එයාගේ ඇඟ මාව මත් කරපු හැටි මට මැවිලා පේනවා. ඒ ඇස්වල තිබුණ කාන්තිය දරාගන්න බැරුව මම එයාව නොනවත්වා සිපගත්ත විදිහ මට දැනුත් දැනෙනවා වගේ.
අපි මත්  වෙලා වගේ හිටපු ඒ විනාඩි ගාණ අපි දෙන්නගෙම ජීවිත වෙනස් කළා.
ආදරේ මේ තරම් ලස්සනයි කියලා මම දැනගත්තේ අද!
මෙච්චර කාලයක් හදවත් වලින් විතරක් එක් වෙලා තිබුණ අපි දෙන්නා ශරීර වලිනුත් එක් වුනාම දෙන්නට දෙන්නා ගැන මොන තරම් ආදරයක් ඇති වෙනවද කියලා ජීවිතේ පලවෙනි වතාවට මට දැනුනේ අද.
දිලිනිගේ ආදරේ නැතුව ඉදිරි ජීවිතේ කිසිම තේරුමක් නැහැ කියලා මට දැනුනේ අද!
මගේ හීන ලෝකෙන් මම ඇහැරුණේ අපි හොටෙල් එකට ආවා කියලා චෑන් කියනකොට.
“අයි විල් පික් යූ අප් ටුමෝරෝ මෝනින් ඇට් ටෙන් සර්....“
“ඕකේ චෑන්. හියර්ස් යුවර් ටිප්.“
මම කාමරේ ඇතුළට යනකොටත් බාප්පා නිදි නැහැ. ටී.වී. එක දාගෙන ඒක බලනවා.
“අයියෝ මේ.... තමුසේ නිදා ගත්තේ නැද්ද?“
“කොහේ නිදා ගන්නද, ලෙඩෙක් එක්ක ආවා බෙහෙත් කරන්න, බලාගන්න ආපු මිනිහව කාමරේ දාලා ලෙඩා යනවා කෙල්ලෝ එක්ක ඇවිදින්න.“
“හරි හරි ඉතින්, පරණ යාළුවෙක් හම්බවුනාම එහෙම තමයි.“
“ඒ කෙල්ල මෙහේද වැඩ කරන්නේ.“
“ඉන්නේ මෙහේ නෙවෙයි... මෙහේ බිස්නස් කරනවා. ඒ නිසා යනවා එනවා.“
“බොරුනේ අයිසේ... තමුසෙලා දෙන්නා සෙට් වෙලා නැද්ද?
“නෑ... පිස්සුද? අපි දෙන්නා හොඳ යාළුවෝ.... ඉතින් එයත් මේ දවස්වල ඉන්නේ මෙහේ...“
“මට තමුසෙව ෂුවර් නෑ..... ඇත්ත කියනවා... මම කාටවත් කියන්නෑ... එත් තමුසෙව එව්වේ මාත් එක්ක... මට තමුසේගේ ගමන් බිමන් ගැන වග කියන්න වෙනවා.“
“හරි, හිතා ගන්නවකෝ අපි දෙන්නා මෙහේදි සෙට් වුනා කියලා. අපි දෙන්නට ටිකක් ලව් කරන්න දීලා ඔයත් ටිකක් ඇවිදලා කරලා ඉන්නවා.“
“අන්න  එහෙම කියනවා. දැන් හෙට තමුසේ ඕනේ මගුලක යනවා. හැබැයි යන තැනක් මට කියලා යනවා. අර කෙල්ලගේ ෆෝන් එකක් තිබ්බනේ, ඒකේ නම්බර් එක දෙනවා.“
“හරි... අනිවා... මම උදේට ඒක ඉල්ලලා දෙන්නම්.“
“අනික පුතා මේ, පලවෙනි දවස් පහේ ට්‍රීට්මන්ට් වලින් පස්සේ දවස් පහක කාලයක් නිකං ඉන්න තියෙනවනේ.... ලංකාවට ගිහින් එනවද?“
“ඒක නම් මම දන්නේ නෑ... අපිට ගිහින් එන්න ටිකට් නෑනේ...“
“කමක් නෑ... මට නම් යන්න වෙනවා. ඔයාට අමාරුවක් නැත්නම් ගිහින් එමු.“
“බලමු.“
මම පොඩි වොෂ් එකක් දාලා නිදාගන්න ලෑස්ති වෙනකොට දිලිනි මගේ රූම් එකට කතා කළා.
“මට නින්ද යන්නෑ කාවින්ද..... ඔයා ළඟ නැතුව මට ඉන්න බෑ.... පාළුයි, දුකයි, මට තේරෙන්නෑ මොනව කරන්නද කියලා... මම කවදාවත් මේ තරම් ආදරේ කරලා නැහැ.“
“නොකිව්වට මටත් එහෙම තමයි දිලිනි.... ඔයා ළඟ ඉන්න තියෙනවනම් කියලා හිතෙනවා.“
“අපි දෙන්නා මොන කරුමයක් කරලද දන්නෑ, මෙච්චර ළඟට ඇවිල්ලත් එකට ඉන්න නෑ.... බලන්න කාවින්ද, මට තිබුණේ ඔයාව විතරක් මෙහේ එවන්න.“
“එහෙම ලෙඩ්ඩු එවනවද, එතකොට මගේ බෙහෙත් පටන් ගත්තහම මාව බලාගන්නේ කව්ද?“
“ඇයි මම...“
“අපේ අම්මා මාව ඔයත් එක්ක එවයි, මේං බලාගන්න කියලා.“
“අයියෝ.... ඇයි අනේ මේ ලෝකේ මේ තරම් නපුරු...?“
“දැන් හොඳ සුදූ වගේ නිදා ගන්න.... මටත් පාළුයි තමා. අපි හෙට හම්බවෙමු.“
“ඒ වුනාට ඔයාගේ බාප්පා ඉන්නවනේ....“
“නෑ... එයා අවුලක් නෑ.... අපි වෙනම යමු.... මෑන් ඕකේ.“
 “ඒක හොඳයි..... ඔයාට හොස්පිට්ල් යන්න තියෙන්නේ අනිද්දනේ. අපි හෙට යමු ෆෙරී එක බලන්න. ඒක ලස්සන තැනක්. ඊට පස්සේ යමු මුස්ටාෆා සෙන්ටර් එකටයි, ලිට්ල් ඉන්ඩියා වලටයි, චයින ටවුන් එකටයි.. ඒවා ඔයා දකින්නම ඕනේ තැන්.“
“යමු... මට නම් නෝ අයිඩියා... ඒත් ඇවිදින එක තමා අමාරු.“
“අපි චෑන් ගෙන්නගෙන දවසම තියාගමු.“
“හ්ම්...“
“එහෙනම් කාවින්ද නිදාගන්න... දැන් දෙකටත් කිට්ටුයි.“
“ඕකේ... ගුඩ් නයිට්....“
“ගුඩ් නයිට් මගේ පණ“ දිලිනි කිව්වා.

 -------------------------------------------------------------------------------------------------------------------------------------------------

   

77.

ඇඟේ තිබුණ මහන්සියටත්, කකුලේ වේදනාවට ගත්ත බෙහෙත් වල සැරටයි මට එක දිගටම නින්ද ගියා.

උදේ ඇහැරෙනකොට වෙලාව දහයටත් කිට්ටුයි.

බාප්පා නම් හොටෙල් එකෙන් උදේ කෑම ගෙන්නගෙන කාලත් ඉවරයි.

“පුතා...... අද අපි අර එපාර්ට්මන්ට් එකට යන්න ඕනේ නේද?“

“ඔව්.... චෑන් දවල් වෙලා බඩු ටික ගිහින් දාන්නම් කිව්වා. අපි එළියට යන්න කලින් ඒවා පැක් කරලා දීලා යමු.“

දිලිනි කිව්වේ දහයට චෑන් ආවහම බඩු ඔක්කොම පැක් කරලා චෑන් එක්කම ගිහින් ඒ ටික එපාර්ට්මන්ට් එකට ගිහින් දාන්න. ඊට පස්සේ බාප්පට කැමති තැනක යන්න කියලා අපි එයාර්පෝර්ට් එකෙන් ආපු ටැක්සි එක සෙට් කරලා මට චෑන් එක්ක දිලිනිව ගන්න එන්න.

චෑන් අපිට එපාර්ට්මන්ට් එකට අරන් ගියා. ඒක හවුසින් ස්කීම් එකක් වගේ තැනක තියෙන එක ගෙයක්. හැම ගෙයක්ම එක වගේ. පොඩියි, ඒත් ලස්සනයි, හැම දේම ලස්සනට ඩිසයින් කරලා. චෑන් කියපු විදිහට එතන ගෙවල් විස්සක් තියෙනවා. ඒ ගෙවල් විස්සටම පාවිච්චි කරන්න ජිම් එකක්, ස්විමිං පූල් එකක් සහ පාර්කින් එකක් තියෙනවා.

“පුතා... මේක මරු පොට් එකක්නේ...“

මම ගේ ඇතුල බැලුවා.

සාලේ ගොඩක් පොඩියි, හැබැයි, ටීවී එකයි, ඩීවීඩී එකයි, සෙටප් එකයි, සෝෆා සෙට් එකකුයි තියෙනවා. අඩි දෙක තුනක් උඩින් කෑම කන තැන. ඒකටම අල්ලලා පොඩි කිචන් එකක්. සම්පූර්ණ බඩු එක්ක. යට බේස්මන්ට් එකේ බාත් රූම් එකයි, රූම් එකයි. සාලෙට උඩ තට්ටු දෙකයි. ඒ දෙකම බෙඩ් රූම් දෙකක් විතරයි.
“මේක නම් සිරා ඩිසයින් එකක් බාප්පේ.... අපේ ගෙවලුත් මෙහෙම හදන්න තියෙන්නේ.. පොඩි ඉඩක...“

“ඒකනම් ඇත්ත.“

“බාප්පේ.... ඔයා උඩම කාමරේ... මම දෙවෙනි එකේ...“

එහෙම කියලා මම දෙවෙනි තට්ටුවේ කාමරේට ගියා. ලස්සන ලොකු ඇඳක් එක්ක බෙඩ් රූම් එකකට ඕනේ හැම දෙයක්ම තියෙනවා.

දිලිනි මේකට ලොකු ගාණක් ගෙවනවා ඇති මේ ටික දවසට. මට හිතුනා.

කබඩ් එක ඇරල බලපුවාම ඒකේ කොට්ට ගොඩකුයි, ටවල් කීපයකුයි තිබුණා.

මම නිකමට ඩ්‍රෙසින් ටේබල් එකේ ලාච්චුව ඇරලා බැලුවා.

එකේ ෆ්‍රේම් කරපු පින්තූරයක් තිබුණා.

එකේ හිටියේ දිලිනි!!

මට හිතාගන්න බැරිවුනා මේක වුනේ කොහොමද කියලා.

සමහර විට දිලිනි මේක වෙන් කරනකොට එන්න ඇති. මාව සප්‍රයිස් කරන්න මේක දැම්ම වෙන්න ඇති. එහෙම කියලා මම හිතුවා.
ඒත් දෙවෙනි ලාච්චුව ඇරපුවාම මම දැක්කේ දිලිනි හැමදාම පාවිච්චි කරන පර්ෆියුම් වර්ගයේ බෝතලයක්, බාගයක් විතර පාවිච්චි කරපු එකක්. තව ටිකක් හොයල බලනකොට දැක්කා එයා සිංගප්පූරුවට ආව ගිය ටිකට් කීපයක්.... කෝච්චියේ යන්න ගන්න පාස් එකක්. අවුරුදු එකහමාරකට කළින් ඒවා. ඊටත් යටින් ලස්සන චූටි මුද්දක්. මට මතක් වුනා මම එයාව මුළින්ම දැකලා එයාගෙ අත අල්ලපු දවසේ දාගෙන හිටපු මුද්ද. මේක ඒකම තමයි. මට මතකයි එයා ඒක ගලවලා ඇතුල් පැත්තේ තියෙන අකුරු පෙන්නුවා. මේ  ඒකම තමයි!
මොකක්ද මේකේ තේරුම! ඒ කියන්නේ දිලිනි මීට කළින් මෙහේ ඉඳලා තියෙනවා. වෙන්න පුළුවන්. ඒත් ඒ කාලේ අමතක වෙලා ගිය දේවල් තාමත් තියෙන්නේ කොහොමද? ඊට පස්සේ කිසිම කෙනෙක් මේ කාමර පාවිච්චි කරල නැද්ද? ඒක වෙන්න බෑ.
කෝකටත් කියලා මම මුද්ද සාක්කුවේ දාගත්තා. මේක මම අහන්න ඕනේ. දැනටමත් මම දිලිනි ගැන දැනගෙන හිටිය දේවල් වලට වඩා නොදන්න දේවල් වැඩියි. අපි දෙන්නා ආදරේ කරනවනම් මේ දේවල් මම දැනගන්න ඕනේ.
ඒත් එක්කම කාමරේ තිබුණ ෆෝන් එක රින්ග් වුනා.
“හලෝ...“
“හලෝ බබා....“
“සුදූ.... ඔයා කොහෙද?“
“මම ඉන්නේ එපාර්ට්මන්ට් එක ළඟ... බාප්පා ඉන්නවද?“
“ඔව්... ඒත් දැන් චෑන් එක්ක යන්න හදන්නේ......“
“එහෙනම් ගියා ගමන් මට කියන්න..... මම එන්නම්....“
ටික වෙලාවකින් චෑන් එක්ක බාප්පා ගියා.
විනාඩි කීපයකදී දිලිනි ආවා.
“ඔයා ආව ටැක්සි එක තියාගන්න... අපිට යන්න..“
“මම කාර් එකක් හයර් එකට ගත්තා කාවින්ද.... මම ආවේ ඒකේ...“
“ඔයාට මෙහේ එළවන්න පුළුවන්ද?“
“ඇයි බැරි.. මට ලයිසන් තියෙනවා.... ඒක නෙවෙයි කාවින්ද තැන හොඳද....?“
“හොඳයි ඒත් මම අහන්න ඕනේ දෙයක් තියෙනවා.“
“හරි.... ඊට කළින් කියන්න ඔයා ඉන්න කාමරේ මොකක්ද කියලා.“
“ඇයි... දෙවෙනි එක... ඒක ලස්සනයි...“
“නියමයි.... සේම් චොයිස්.... හව් ස්වීට්...“
“මොකක්ද...?“
“නෑ... මුකුත් නෑ...“
මම දිලිනිවත් එක්කගෙන ඒ කාමරේට ආවා. එයාව ඇඳෙන් ඉන්දවලා මම කතා කළා.
“සුදූ... ඔයාට බඩ්ඩක් දෙන්න තියෙනවා.“
“මොකක්ද?“
“මේ...“ මම මුද්ද එයාට දුන්නා... එයාගේ වෙනසක් පේනවද කියලා බලන්නයි මට ඕනේ වුනේ.
“අනේ කාවින්ද කොහෙන්ද මේක ඔයාට, මම මේක නැතිවෙලා කියලා හිතාගෙන හිටියේ....“
“දන්නේ නැද්ද කොහෙන්ද කියලා...?“
“නෑ.... ඔයාට මේක කොහෙන්ද.... අවුරුද්දකට විතර කළින් මේක නැතිවුනා. මම හෙව්වා හැම තැනම... හොයා ගන්න බැරි වුනා.“
“ඔයා ඇත්තද කියන්නේ....?“
“මම ඇයි ඔයාට බොරු කියන්නේ...?“
“ඒ වුනාට ඔයා සම්පූර්ණ ඇත්ත කිව්වේ නෑ...“
“අනේ කාවින්ද... මම ඔයාට බොරු කියන්නේ නෑ... ඇයි එහෙම කියන්නේ.?“
“එන්න...“
මම එයාව ලාච්චුව ළඟට එක්ක ගිහින් ඒක ඇරලා පෙන්නුවා. ෆොටෝ එක දැක්ක ගමන් දිලිනි අප්සෙට් ගියා...
“දිලිනි... කොහෙන්ද මේව මෙහාට...“
එයා කල්පනා කරන්න පටන් ගත්තා.
“මට ඇත්ත කියන්න.... මම දැනටමත් ඔයා ගැන දන්න දේවල් වලට වඩා නොදන්න දේවල් වැඩියි... දැන් මට ඇති... මේ හැම දෙයක්ම මට දැනගන්න ඕනේ.“
“බබා ඉඳගන්න.... කලබල වෙන්න එපා....“
“කලබල නොවී බෑනේ.... ලංකාවෙත් නොවී, වෙන රටක ගෙයක ඔයාගේ ෆොටෝ එකයි, මුද්දකුයි, පර්ෆියුම් එකකුයි තියෙනකොට මට කලබල නොවී බෑ....“
“මම හැම දෙයක්ම ඔයාට කියන්නම්.... වෙලාව ආවහම. ඒත් කලබල නොවී ඉන්න.“
“බෑ...... මට මේක දැනගන්න ඕනේ.... දැන් තමයි වෙලාව දිලිනි... අපි දෙන්නා ආදරේ කරනවා කියන එක බොරුවක් නෙවෙයි නම් මේකත් මට බොරුවක් වෙන්න බෑ... ඔයා මගේ නම් ඔයා ගැන හැම දෙයක්ම දැනගන්න ඕනේ....“
“කාවින්ද....“
“තේරුම් ගන්න සුදූ... මම ඔයාට පණටත් වඩා ආදරෙයි.... ඒත් ඔයා ගැන කිසිම දෙයක් මම දන්නේ නැහැ.  ඒක ඉවසන්න පුළුවන් කියමු... ඒත් හැතැප්ම දාස් ගාණක් දුර රටකට ඇවිල්ලා එතනත් රහසක්...“
දිලිනි කිසිම දෙයක් නොකිව්ව නිසා මම නැගිටලා එළියට ආවා.
මෙහෙම ඉන්න මට බැහැ. මගේ යාළුවෝ, දන්න කියන හැම කෙනෙක්ම දිලිනි ගැන අමුතු කතා කිව්වා. එයාව විශ්වාස කරන්න එපා කිව්වා. එයා ලංකාවේ පෙන්නන මූණ නෙවෙයි එයාගේ ඇත්තම මූණ කියලා හැමෝම කිව්වා. ඒත් මම ඒ කිසි දෙයක් අහන්නෙ නැතුව දිලිනිට ආදරේ කළා.
ඒත් දැන්...... මාව ඒ අයට විහිළුවක් වෙයි.
එතකොටම දිලිනි ඇස් දෙකේම කදුලු පුරවගෙන මගේ ළඟට ආවා.
දිලිනි මගේ පිටිපස්සෙන් ඇවිල්ලා අත් යටින් එයාගේ අත්දෙක දාලා මාව බදාගත්තා.
“මාව සැක කරන්න එපා රත්තරන්.... ඔයා නැතුව මට ජීවත් වෙන්න බෑ.... මම ඔයාව රවට්ටන්නේ නෑ හීනෙකින්වත්.... අනේ මාත් එක්ක තරහ වෙලා ඉන්න එපා... මේ මුළු ලෝකෙන්ම මට ඉන්නේ ඔයා විතරයි කාවින්ද...“
“ඒ මොකුත් ඕන්නෑ, මට කියන්න ඔයා කව්ද කියලා දිලිනි...?“

6 comments:

  1. ඒ පාර මොකද්ද වෙන්න යන්නෙ

    ReplyDelete
  2. ඇත්තටම මොනව වෙයිද ඊට පස්සේ. කාටද කියන්න පුළුවන්.

    ReplyDelete
    Replies
    1. දිලිනි ගහපු ප්ලෑන් එකේ කොටසක් හිතාගන්න පුළුවන්. අනුන්ට කැපූ වලේ තමන්ම වැටෙයි බොලේ කිව්වා කියන්න

      Delete
    2. මොන ප්ලෑන් එකද?

      Delete